Menu Close

අපිට ඕනේ මොඩල් එක – සිංහල බෞද්ධ මොඩලයද?


වසර 2014 දිනෙක මට උගන්ඩාවේ වික්ටෝරියා විලට යාබද ගරුගා ප්‍රදේශයේදී අප්‍රිකානු බෞද්ධ ග්‍රාමයක සමාජ හමුවකට සහභාගී වීමේ අවස්ථාව ලැබුණි. කාලවර්ණ දේහධාරී මිනිසුන් සන්සුන්ව පන්සිල් ගන්නවා දැකීම මට අලුත් අත්දැකීමක් විය. ඔවුන් ඉතා සුහදය, ප්‍රිය මනාපය. ඔවුන් අතර සිටි පාසල් විදුහල්පතිවරයෙකුගෙන් මම පැනයක් ඇසුවෙමි.

“බෞද්ධයෙක් වීම පිළිබඳව ඔබ සතුටින්ද?”

“මා බෞද්ධයෙක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?” කිසිසේත් බලාපොරොත්තු නොවූ පැනයක් ඔහු මගෙන් පෙරලා ඇසීය.  

“මා ඇසුවේ ඔබ බෞද්ධ දර්ශණය වැළඳගැනීම (embracing Buddhism) පිළිබඳවයි” මම නිවැරදි වචන තෝරාගැනීමේ අපහසුතාවයකට පත් වුනෙමි.

“මම බුදු දහම (Buddhist philosophy) ගැන බොහෝ දේ කියවූවා. ඒ ගැන බොහෝ දෙනෙකු සමග කතා කළා. මට වැටහුණා මෙම ධර්මයෙහි කියා දෙන බොහෝ ක්‍රියා මාර්ග මගින් අපිට සැනසුම ගෙන දෙන බව. මා ඒ අනුව බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කර ඇති කාරණා පිළිපදින්න පටන්ගත්තා. දැන් මට විශාල ආත්ම තෘප්තියක් සහ සිතේ සැනසීමක් තිබෙනවා”. විදුහල්පතිවරයා කියාගෙන යයි. ඔහුගේ කතාව අවසන් නැත. 

“අපේ ගමේ එකා දෙන්නා බැගින් මෙම මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ සමගම ගමේ තිබූ බොහෝ ඍණාත්මක චර්යාවන් අඩුවී ගියා. මේ ගැන අපිට සතුටුයි. අපි කවුරුවත් කාවවත් බෞද්ධ කියා ලේබල් කරන්නේ නැහැ. එවිට නැවතත් අපි ගෝත්‍රිකයන් සේ බෙදීමකට පත්වෙනවා. එම බෙදීම අපව නැවතත් නොසන්සුන්, අසහනකාරී තත්වයකට පත් කරනවා”. 

මේ කියන්නේ ගෝත්‍රික චින්තනයෙන් වසර කිහිපයකට පෙර අභිනික්මුණ, ගෝත්‍රය අනුව බෙදී එකිනෙකා මුහුණ නොබලන අසල්වැසි ගම් දනව් වලින් වටවූ ගමක සිටින අප්‍රිකාවේ මිනිසෙකි.

ගමට පැමිණ සිටි උගන්ඩාවේ පළමු භික්ෂුව වන භන්තේ බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ එදින පුවත්පත් සාකච්චාවක් පැවැත්වීය.

“ඔබගේ උත්සාහය හැකිතාක් උගන්ඩානුවන් හරවා ගැනීමද? (Is it your effort to convert as many Ugandans as possible?)” එක මාධ්‍යවේදියෙක් ඇසීය.

“ඔව් අපි හැකි පමණ උත්සහ කරනවා හරවාගන්න. අකාරුණික මිනිසුන් කාරුණිකයන් බවට හරවාගන්න. වංචනිකයන් අවංක මිනිසුන් බවට හරවාගන්න, ලෝභයන් පරිත්‍යාගශීලින් බවට හරවාගන්න, වෛරයෙන් පෙලෙන්නන් මෛත්‍රීය පතුරුවන්නන් බවට හරවාගන්න”. බුද්ධරක්ඛිත හිමියන් පවසයි.

“ඔවුන් බෞද්ධයන් වීම ඔබගේ අභිප්‍රාය නොවෙයිද?” මාධ්‍යවේදියා පසුබසින පාටක් නැත. 

“ඔවුන් බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද? තමාටත් සමාජයටත් ඵලක් ඇත්තේ ඔවුන් බෞද්ධ අගයන් (Values of Buddhism) මත හැසිරේ නම් පමණයි. ඒ සඳහා ලේබලයක් තිබීම හෝ නොතිබීම අදාළ නොවෙයි.” ස්වාමින්වහන්සේ පවසයි.

අද ලංකාවේ බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ රාජ්‍යයක් පිළිබඳව කතිකාවතක යෙදෙයි. එය කතිකාවතකට වඩා ගර්ජනාවකි.  

ලාංකිකයා තුල “බෞද්ධ” යන වදන තම කුලකය තහවුරු කරගන්නා ලේබලයකින් ඔබ්බට යන අවස්ථා විරලය. බෞද්ධ, සිංහල බෞද්ධ, සිංහල ගොවිගම බෞද්ධ, සිංහල උඩරට ගොවිගම බෞද්ධ ආදී වශයෙන් ඔවුන් උපකුලක වලට බෙදෙමින් සමාජයෙන් විශේෂ සැලකීමක් මෙන්ම සුරක්ෂිත භාවයක්ද බලාපොරොත්තු වෙයි. 

රටක් ලෙස ලංකාවේ “සිංහල උඩරට ගොවිගම බෞද්ධ” රාජ්‍යයක් බිහිකිරීම අසීරුය. ඒ ජන අනුපාතය පිළිබඳව ගැටළු මතුවන නිසාය. එබැවින් ඔවුන් ප්‍රයෝගිකව යා හැකි කුඩාම උපකුලකය වන “සිංහල බෞද්ධ” රාජ්‍යයේ දැනට නතර වී ඇත. මේ ගැන කතාකරන බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ රාජ්‍යයක ඇති විශේෂතා මොනවාදැයි ඇසුවහොත් විපිළිසර වෙයි.


සිංගප්පුරුව සහ චීනය වැනි රටවල් කිහිපයක් හැරුණු කොට ලොව පවතින බොහෝ රාජ්‍යයන් යම් ආගමක් සහ ඒ හා බැඳී ආගමික සංස්කෘතියක් මුල් කරගෙන ගොඩ නැගී ඇත. මේ බොහෝ රටවල ආගමික අගයයන් පිළිබඳව විශාල කතිකාවතක් පවතී. උදාහරණයක් ලෙස මා වසර 10 ක් පමණ ජිවත් වූ මැලේසියාවේ මුස්ලිම් වැසියන් ඉස්ලාම් අගයයන් (Islamic values) පිළිබඳව නිතර කතා බහ කරයි. මෙය ඉස්ලාම් ආගම පාදක කරගත් සියලුම රාජ්‍යයන්ට පාහේ අදාළ වෙයි. සමහර ඉස්ලාමික රටවල සියලු දෙනා ඉස්ලාම් අගයයන්ට අනුකූලව ජිවත් විය යුතුය. මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ඉස්ලාම් භක්තිකයන්ට පමණක් මෙය අදාළ වෙයි. 


මොනවාද මේ ඉස්ලාමික අගයයන්? 

මුස්ලිම් සමාජය තුල සහෝදරත්වය පැතිරවීම (එකිනෙකාට උදව් කිරීම, වංචා නොකිරීම, බොරු නොකීම, අනෙකා පහත් කර නොසැලකීම ආදී), සියළු මුස්ලිම් වරුන් තම ආදායමෙන් කොටසක් දුප්පතුන් වෙනුවෙන් පිරිනැමීම (zakat), තම දරුවන්ට ඉස්ලාම් ධර්මය කියාදීම සහ ඊට යොමු කිරීම, සිකුරාදා අනිවාර්යයෙන් පල්ලියට ගොස් යාඥා කිරීම, උපවාස සමය පිළිපැදීම, මත්පැන් පානය වැනි හරාම් (දෙවියන් විසින් තහනම් කරන ලද) කටයුතු වල නොයෙදීම, හලාල් (දෙවියන්ගෙන් අවසර ඇති) ආහාර පමණක් ගැනීම සහ එවැනි කටයුතු පමණක් කිරීම මේ ඉස්ලාම් අගයයන් කිහිපයකි.

මේවායේ හොඳ නරක, හරි වැරදි කීමට තරම් මට දැනුමක් හෝ අවශ්‍යතාවයක් නැත. මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ ඉස්ලාමීය සමාජය තුල මෙම හර පද්ධති ක්‍රියාවේ නැංවීමෙහිලා සමාජය තුලින්ම මතුවන අවශ්‍යතාවයයි. මෙම ක්‍රියාවලිය  රජය විසින් යම් නීති සහ රීති මාලාවකින් ස්ථාපිත කර ඇති අතර ඊටත් වඩා ප්‍රභල බලගැන්වීමක් සමාජය තුලින් සිදුවේ.


ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් ඇතැයි මම නොසිතමි. ප්‍රතිශතයක් ලෙස 55% ක් මුස්ලිම්වරුන් සිටින මැලේසියාව ඉස්ලාමීය රාජ්‍යයක් වී ඇත්නම් ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවීමට හේතුවක් මම නොදකිමි. 

එහෙත් ලංකාව බෞද්ධ රාජ්‍යයක් වීම තුල අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? 

බෞද්ධ අගයයන් (Values of Buddhism) මත පිහිටන බෞද්ධ රාජ්‍යයක් බිහි කිරීමට ඔබ සුදානම්ද? (අඩුම ගණනේ බෞද්ධයන් අතරවත් එම අගයයන් ක්‍රියාත්මක වන).

මොනවාද මේ බෞද්ධ අගයයන්?

බුදු දහම තුල සාමාන්‍ය ගිහි ජීවිතයක යහ පැවැත්ම පිළිබඳව ඉතා පැහැදිලි  අර්ථ දැක්වීමක් ඇත. මෙතුලින් මතුවන බෞද්ධ අගයයන් රාශියකි.

සත්ව හිංසනයෙන් මිදීම, සොරකම් නොකිරීම, දුසිරිතෙන් වැලකීම, බොරු නොකීම සහ මතින් තොරවීම ප්‍රධාන බෞද්ධ අගයයන් පහයි.

මීට අමතරව නොයෙකුත් දේශනා රාශියක අනෙකුත් අගයයන් පිළිබඳව සඳහන් වෙයි. කුසිත නොවීම, මාපියන්ට සැලකීම, යහපත් රැකියාවක හෝ කර්මාන්තයක නිරතවීම, අන් මත ඉවසීම, පරුෂ වචනයෙන් ඈත් වීම, කේලම් සහ දෙලොවටම වැඩ නැති බස් නොදෙඩීම, ප්‍රිය වදන් දෙඩීම, කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීම, සියලු සතුන් කෙරේ මෙත් වැඩීම, උපේක්ෂා සහගතව ජිවිතයට මුහුණ දීම, පරාර්ථකාමී වීම ආදී ගුණාංග  රාශියක් බෞද්ධ අගයයන්ට අයත්වෙයි. මේ සියළු යහ කර්ම සියළු  සත්වයා කෙරෙහිම අදාළ විය යුතු බව බුදු දහමේ සඳහන් වෙයි.

මෙබඳු සමාජයක විසීමට අකමැති අයෙක් ඇත්ද?

නමුත් ගැටළුව වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඉල්ලා කෑ මොර දෙන ගිහි පැවිදි දෙපක්ෂයම මේ බෞද්ධ අගයයන් පිළිබඳව කිසිඳු සඳහනක් නොකිරීමයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එකම එක දෙයක් පමණක් බව මට හැඟේ.

“යකෝ මේක අපේ සිංහල බෞද්ධ රට. මේකේ අපිට ඕනේ විදියකට ජීවත් වෙන්න පුළුවන්. උඹල අපි කියන විදියට ඉඳපල්ලා. නැත්නම් වෙන තැනකට පලයල්ලා” 

ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ යන ලේබලය වටා රොක් වී සමුහයක් ලෙස සුරක්ෂිත යැයි කල්පිතයක් ගොඩ නගා ගැනීමයි. එයින් රටට කිසිඳු යහපතක් සිදු නොවේ. මෙලෙස මොවුන් පතන සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහි වුනත් එහි ඊළඟ පියවර වන්නේ කුලය, ප්‍රදේශය, ආර්ථික පංතිය, අධ්‍යාපන මට්ටම ආදී නොයෙකුත් උපකුලකවලට සමාජය විසින්ම බෙදී එකිනෙකා කෙරෙහි වෛරය පැතිරවීමයි.

මේ “සිංහල බෞද්ධවාදය” කරපින්නා ගත් ලාංකිකයා ඉල්ලන්නේ උගන්ඩාවේ බෞද්ධ සමාජය ප්‍රතික්ෂේප කල ඒ ගෝත්‍රික සමාජ පද්ධතිය, ලංකාවේ බිහි කිරීමට බව බොහෝ දෙනෙකුට නොපෙනීම ජාතියේ  දුර්භාග්‍යයකි.

ලංකාවේ මෑත කාලීන ඉතිහාසය (පසුගිය වසර 700 ක පමණ කාලයේදී) පුරාවටම සිදුවුයේ බුද්ධාගම රාජ්‍ය පාලකයාගේ සුරක්ෂිත බාවය තහවුරු කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීමයි. නමුත් විය යුතුව තිබුණේ බුදුදහම (බුද්ධාගම නොව) සාමාන්‍ය ජනතාව තුල රෝපණය කරමින්, බෞද්ධ අගයයන් ප්‍රගුණ කිරීම සඳහා ජනතාව යොමු කිරීමට රාජ්‍ය ක්‍රියා කිරීමයි. බොහෝ රජුන්ට ඒ පිළිබඳව හැඟීමක් තිබුණු බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය අහිමිවෙතැයි ඇති බිය ඔවුන්ගේ මනස නිරන්තර කම්පනයකට ලක් කළා විය හැකි.

පසුගිය දශක තුන හතරේදී පාලකයා ඉතා නිහීන ලෙස සංඝ සමාජය තුල බේද බින්න ඇති කළේය. සංඝයා පක්ෂ වලට බෙදමින්, සංස්ථාපිත කරමින්, බෙන්ස් රථයේ සිට සියලුම ආකාරයේ සුඛ විහරණ වරදාන පුදමින් මුළු සංඝ සමාජයම බුදු දහමින් ඈත් කළේය. මේ අවක්‍රියාව මුළු සමාජයේම පිරිහීම ත්වරණයට ලක් කළේය. අද බෞද්ධ අගයයන් ගැන කතා කිරීමත් දේශ ද්‍රෝහී ක්‍රියාවක් වී ඇත.

බොහෝ බෞද්ධයන් තුල පවා “බෞද්ධ රාජ්‍යයක්” ගැන කතා කරන විට සංඝ පාලනයේ පවතින සෞදි අරබියක් මනසේ මැවෙන්නේ මේ වාතාවරණය නිසාය. මීට සිංහල ප්‍රත්‍යද එකතු වූ විට හැකි ඉක්මනින් විදේශයක පදිංචියට යා යුතුය යන හැඟීම බොහෝ රටවැසියන් තුල ජනිත වෙයි.

රාජ්‍යය ගැන කතා කරන්න නොව බෞද්ධ අගයයන් සමාජය තුල රෝපණය කිරීමට කාලය එළඹ ඇත.  


ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක – අපේම මොඩල් එකක්ද? 

%d bloggers like this: