Menu Close

The Flowers of War



ජපන් අධිරාජ්‍යය විසින් සිදු කරන ලද ‘නැන්කිං සංහාරය’ (Nanking Massacre) මිනිසාට එරෙහිව ලෝක ඉතිහාසයේ ඇති කළ පළමු ගනයේ කළු පැල්ලමක්. දෙවැනි චීන-ජපන් යුද්ධයේ (Second Sino-Japanese War) බිහිසුණුම අවස්ථාව ලියවෙන්නේ එවකට චීන සමූහාණ්ඩුවේ අගනුවර වූ නැන්කිංවල. සමූලඝාතනයන්හි සහ බලහත්කාරකම්හි තීරණාත්මක වකවානුව පාදක කරගෙන නැන්කිං සංහාරයේ දිනවකවානු 1937 දෙසැම්බර් 13 දින සිට 1938 ජනවාරි දක්වා සලකුණු කරනවා. (නමුත් චීන වැසියන්ට එරෙහි මේ බලහත්කාරකම් සම්පූර්ණයෙන් නතර වෙන්නේ මිත්‍ර පාර්ශ්වය හමුවේ දෙවන ලෝක යුද්ධය පරාජය වීමත්, තමන් කොන්දේසි විරහිතව යටත්වන බව ජපානය 1945 අගෝස්තු 15 දින නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙනුත් පස්සේ). 1937 දෙසැම්බර් ‘නැන්කිං’ නුවර ඉතාමත් කෲර අන්දමින් අත්පත් කරගත් ජපන් හමුදාව සති කීපයක් තුළදී සිවිල් වැසියන් තුන් ලක්ෂයක් ඉක්මවා ඝාතනය කරනවා. කාන්තාවන් විසිදහසක් ඉක්මවා දූෂණය කරමින් කෲර ලෙස වදහිංසා පමුණුවා ඔවුන්ගේ සිරුරු විකෘති කර උසුලු විසුලු කරමින් මරා දමනවා. හමුදා නිලධාරීන්ගේත් සෙබලුන්ගේත් ලිංගික වහලියන් ලෙස ගැහැනුන් යොදාගන්නවා. මහලු ස්ත්‍රීන්ට, ගැබිනි කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට පවා මේ ඉරණමින් ගැලවෙන්න සංහාරකයෝ ඉඩ තියන්නෙ නෑ.

Iris Shun-Ru Chang විසින් ලියන ලද The Rape of Nankingනම් ග්‍රන්ථය ඇතුළු එම සංහාරය පිළිබඳ සාධක සපයන බොහෝ මූලාශ්‍ර හෙළි කරන ආකාරයට, ජපන් හමුදා මුලින් ‘ෂැන්හයි’ නගරයත් දෙවනුව නැන්කිනුත් අත්පත් කරගන්නේ දරුණු ගුවන් බෝම්බ හෙළීම් මගින්. ඔහුන් විසින් දිනකට සමූල ඝාතක බෝම්බ පන්සීයක් පමණ මේ නගරවලට හෙළනවා. මේ බෝම්බවලට ආරක්ෂක කඳවුරු, රාජ්‍ය ආයතන පමණක් නොව පාසල්, පූජ්‍ය ස්ථාන සහ රජයේ රෝහල් පවා ඍජුව ඉලක්ක වෙනවා. 

අතිවිශාල මංකොල්ලයන්ගෙනුත්, අන් සතු භූමිය අත්පත් කරගැනීම්වලිනුත්, හිංසනයේ වින්දනය තුළිනුත් දැඩි ව්‍යාප්තවාදී මේනියාවකට තල්ලුව සිටි ජපන් අධිරාජ්‍ය දේශපාලනය ඒ මොහොතේ කැප වුනේ චීනයෙන් පමණක් සෑහෙන මට්ටමකින් නෙමෙයි. මේ සංහාරය ඉන්දියාව, මධ්‍යම ආසියාව විතරක් නෙමෙයි යුරෝපය දක්වා ව්‍යාප්ත කිරීමේ අභිලාශයෙනුයි ඔවුන් හිටියෙ. “සියල්ල ගිනිතියන්න, හැම වස්තුවක් ම පැහැරගන්න. සියලු දෙනා මරා දමන්නකියන විධාන තුන විතරයි අපිට ලැබුණේ” නැන්කිං සංහාරයට සහභාගී වූ ජපාන හමුදා නිලධාරීන් පස්සෙ කාලෙකදී සාක්ෂි දෙනවා. සිවිල් වැසියන්  ඝාතනය කිරීම කොතරම් විනෝදාත්මක දෙයක් වුණාද යත්  තමං ඝාතනය කරන නැන්කිං වැසියන්ගේ ප්‍රමාණය ගැන ඔවුන් දෛනිකව තරග පවත්වන මට්ටමට ගිහින් තිබුණා. “චීන මිනිස්සු සුනඛයින් සහ බළලුන්ට වඩා වැඩි දෙයක් හැටියට නොසැලකීමටයි අපේ මනස් හුරුවෙලා තිබ්බෙ.” ඔවුන් පාපොච්ඡාරණය කරනවා.

සුප්‍රකට චීන සිනමාකරුවකු වන Zhang Yimou ගේ අපූර්වතම කෘතියක් වන The Flowers of War (2011) සිනමාපටය දේශපාලනිකව පිහිටුවන්නේ මේ නැන්කිං ඝාතන භූමිය මත. සිනමා කෘතිය සඳහා පාදක කරගන්නා Geling Yan නම් ලේඛිකාවගේ 13 Flowers of Nanjing නවකතාවට අනුප්‍රාස සපයන්නේ නැන්කිං නගරයේ පාසලක බාරකරුවා ලෙස හිඳිමින් රැකවලුන්ගේ ජීවිත රාශියක් බේරාගත් Minnie Vautrin නම් බටහිර පූජකවරයාගේ දිනසටහන් ආදී සැබෑ සිදුවීම්. මේ සංවේගකර භීතිය The Flowers of  War සිනමාපටයේ පාදස්ථයේ ගලා ගියද, සිනමා පටයයෙහි කතා වස්තුව එකී භීතියට ඉක්මවා ප්‍රේමය, අභිමානය, මරණ බිය ආදී කාරණාවන් පිළිබඳව දෙවැනි මානයන් සපයනවා. 

කතාව දිගහැරෙන්නේ ජපන් හමුදාව විසින් විනාශකරමින් පවතින නැන්කින් නගරයේ පවතින රෝමානු කතෝලික පල්ලියක. මෙය බටහිරින් පාලනය වන ආයතනයක් වන අතර නීත්‍යානුකූලව ජපන් හමුදාවට මේ පල්ලියට පහර දීමට නොහැකියි. නමුත් බලයේ සහ භීෂණයේ හස්තය රතුකුරුසය සලකුණු කළ මෙන්ම දෙවියන් සඳහා වෙන්වුණු මේ තාප්ප හතර මැදටත් එනවා.

කතාව ආරම්භ වන්නේ ම ජපන් හමුදාව හෙළන ලද බෝම්බයකින් පල්ලියේ පූජකවරයා පල්ලිය මිදුලේ මිය ගිය පරිසරයක. පල්ලියේ සිටින්නේ ඔහු විසින් හදාගත් කුඩා පිරිමි ළමයෙක් සහ එහි අධ්‍යාපනය ලැබූ අයගෙන් දැනට ඉතිරිව සිටින වයස දොලහක දහතුනක වන බාලිකාවන් පිරිසකුත්. මියගිය පූජකවරයාගේ අවසන් කටයුතු සිදුකිරීමට පැමිණෙන ‘ජෝන් මිලර්’ නම් එම්බාම්කරුවකුත් පල්ලියට පැමිණෙනවා. පල්ලියේ තාප්ප හතරින් එහා නිරන්තර යුධ ගැටුම් බෝම්බ පිපිරීම් සිදුවනවා. මේ අතර ගණිකා මඩමකින් පලා එන තරුණියන් පිරිසක්ද ජීවිතය බේරාගැනීමට පල්ලියට පැමිණෙනවා. ‘ගණිකාවන්’ සහ ‘කන්‍යාවන්’ ‘පල්ලියක්’ තුළ මුණගැස්වීම තුළ සිනමාකරුවා ජීවිතය, හැඟීම් සහ සම්ප්‍රදායන් අතර ඉතාමත් සංකීර්ණ මානයක් විවෘත කරනවා. කන්‍යාවන් විසින් ගණිකාවන් පිළිකුළෙන් හෙළා දකින අතර ගනිකාවන් කන්‍යාවන් හා ගැටුම් ඇති කරගන්නවා. නමුත් ඒ, පල්ලිය තුළට මරණයේ භීතිකාව කඩාගෙන එනතුරු විතරයි!
ජපන් හමුදාව පල්ලියට ආ විට ගණිකාවන් යටිබිම් ගබඩාවේ සැඟවෙනවා (කිසිම මොහොතක ජපනුන් මේ පල්ලියේ ගණිකාවන් සැඟවී ඇති බව දැනගන්නේ නෑ) බාලිකාවනුත් බිම් ගඩඩාවේ සැඟවීමට දිව එනවා. ගණිකාවන් මුලින් අකමැති වුනත් පසුව ඔවුන් යටිබිම් ගබඩාවට ගන්නට හදනවා. නමුත් එසැනින් බාලිකාවන් හමුදාවට හසුවෙනවා. මදක් විවර කළ ඇති බිම් දොරටුවෙන් ජපනුන් ගනිකාවන් දකින්නට කළින් බාලිකාවන් කරන්නේ වෙන දිසාවකට දිව යෑම. මොවුන් විසින් කන්‍යාවන් ලුහුබඳිමින් ඔවුන් දූෂණය කිරීමට යෑමේදී එම්බාම්කරුවා මියගිය පූජකවරයාගේ ඇඳුම් ඇඳගෙන පූජකයෙක් සේ රඟපානවා. පල්ලියට පැමිණීමත් මේ බාලිකාවන්ට හිරිහැර කිරීමත් වැරදිසහගත බව ඔහු පවසනවා. නමුත් ඔවුන්ගේ කන්‍යා ලෝලීත්වයත් යුධ ජයග්‍රහණයේ උමතු මානසිකත්වයත් බටහිර ජාතික පූජකවරයාවත් තමා ඉන්නේ පහර දිය නොහැකි කලාපයක වීමත් කියන යුධ නීති සලකන්නේ නෑ. කෙසේ නමුත් පල්ලියේ දැරියන්ට ආරක්ෂාව දීමට හිතාගෙන පල්ලිය ආසන්නයේ සැඟවී සිටි (තමුන්ගේ මුළු සේනාංකයම මිය ගිය) මේජර් ලී නම් චීන හමුදා නිලධාරියා ඔවුන්ට එළියේ සිට වෙඩි තබමින් මේ අයගේ අරමුණ වෙනස් කරනවා. මේ සිදුවීමෙන් කන්‍යාවන් දෙදෙනෙක් පල්ලියේදී මියයන අතර, චීන මේජර්වරයාගේ උපක්‍රමශීලී පහරදීම් හමුවේ ජපන් බට ඛණ්ඩයත්, අවසන ඔහුත් පිටතදී විනාශ වෙනවා. 

ජනකාන්ත නලු Christian Bale විසින් රංගනයෙන් දායක වන ‘ජෝන් මිලර්’ නම් එම්බාම් කරුවාගේ චරිතය කතාව තුළ දිගහැරෙන ආකාරය ඉතාමත් ගැඹුරුයි. ඔහුගේ චරිතය කෘතියේ මුල් භාගය තුළ නිර්මාණය වෙන්නේ වැඩිදුර නොසිතන විනෝදකාමියෙක් හැටියට. මියගිය පූජකයාගේ අවසන් කටයුතුවලට ඔහු එද්දි පූජකයාගෙ අවසන් කටයුතු සිදුකරලා ඉවරයි. ඒ නිසා ඔහු මුලින් උත්සාහ කරන්නේ අදාල කටයුත්තට අදාල මුදල් ලබාගැනීමට සහ පල්ලියේ සඟවා ඇතැයි ඔහු සිතන මුදල් සෙවීම. වයින් පානය කරමින් පල්ලියේ සැපපහසු කුටිවල නිදා ගැනීමට ඔහු කැමති වනවා. ගණිකාවන් පැමිණි පසු ඔහු කල්පනා කරන්නේ කෙසේ හෝ ඔවුන් හා සතුටු විය යුතුයි කියා. නමුත් සැම දෙනාම එකම ඉරණමක ගොදුරු බව ක්‍රමයෙන් අවබෝධ වෙනකොට ඔහු තමන්ගේ චරිතය වගකීම් විරහිත සල්ලාලත්වයෙන් ඈතට ගෙනයනවා.

ගණිකාවන්ගේ නායිකාව වූ සුරූපී ‘යු මෝ’  කියන්නේ දැන් මේ පල්ලියේ ඉන්න හැමෝගේම ගැලවුම්කරුවා ඔහු බවයි. මක්නිසාද යත් ඔහු බටහිර ජාතිකයෙක් වීම නිසා ඔහුට ජපනුන් හිරිහැර නොකරන බව ඒ අය විශ්වාස කරනවා. (අවසන මොවුන් දෙදෙනා අතර සැබෑ ප්‍රේමයක් දලුලනවා. එසේම පල්ලියට රහසේ ගෙන එන ලද තුවාල ලබා මියයමින් සිටි හමුදා නිලධාරියෙක්ට එක ගණිකාවක් ද ප්‍රේම කරනවා. මරණය පිළිබඳ හාත්පස භීතිකාව කොතරම් වුවත් මිනිස් සිතුවිලි සහ ප්‍රේමය වැනි හැඟීම්වල අස්ථානගත සංකීර්ණත්වය එයින් පෙන්නනවා). එසේම බාලිකාවන්ද කියන්නේ මිලර් තමන්ගේ ගැලවුම්කරුවා බව. පල්ලිය මිදුලෙහි ඇති ට්‍රක් රථය ඔහුට කියා හදාගෙන පලා යා හැකි වන බව ඔවුන් හිතනවා. එසේම තම ගැලවුමට මුලදී ඇඳගන්නා ලද පූජක ඇඳුමට ජපනුන් සැබවින්ම මුලාවීමත්, කන්‍යාවන් සහ ගණිකාවන් ඇතුලු අනිත් හැමගේම පැවැත්ම ඒ පූජක ජවනිකාව මත පැවතීමත් නිසා තමන් ගැන ම සැබෑ පූජක වගකීමක් ඔහු ඇති වුණ බව පේනවා.

කෙසේ නමුත් අවසන ජපන් හමුදාව නිළධාරීන් පිරිසක් කියන්නේ පල්ලියේ සිටින කන්‍යාවන් ලවා තමන්ගේ ජයග්‍රහණය ගැන ගීත ගායනා කළ යුතු බව. නමුත් තමන්ගේ සියලු දේ විනාශ වුණ මේ කුඩා දරුවන් ඊට යවන්නට බැරි බව පූජකවරයා (ජෝන් මිලර්) කියනවා. නමුත් ජපන් හමුදාව එය බාරගන්නෙ නෑ. කෙසේ හෝ පහුවදා පල්ලියේ ගීතිකා කණ්ඩායම එවිය යුතු බව පවසනවා. මෙයින් කලකිරීමට පත් බාලිකාවන් සියලු දෙනා උඩුමහලින් පැන සිය දිවි නසාගැනීමට සැරසෙනවා. එහිදී ගණිකාවන් කන්‍යාවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියන්න ඉදිරිපත් වෙනවා. ඒ තමන් ශිෂ්‍යාවන් මෙන් සැරසී පහුවදා ගී කියන්නට යන බව පවසා. අවසන ගණිකාවන් ශිෂ්‍යාවන් මෙන් සැරසෙනවා. එම්බාම්කරුවකු වූ ජෝන්ගේ වේශ නිරූපණ හැකියාව ඊට දායක වෙනවා. ජපනුන් ගැන ගෙන සිටි ශිෂ්‍යාවන් සංඛ්‍යාවට වඩා එක ගණිකාවක් මද වීම නිසා පල්ලියේ පූජකවරයා හදාගත් පිරිමිදරුවා ද දැරියක ලෙස වෙස්ගන්නවා. ඔවුන් ජපනුන්ට සැමරුම් ගීත ගයන්නට පිටත් කළ විගස මිලර් සිසුවියන් තමන් විසින් ජපනුන්ට රහසේ හෙමෙන් හෙමෙන් හදන ලද ට්‍රක් රථයේ දමාගෙන පලා යනවා.

The Flowers of War සිනමාපටය අවසන් කරන්නේ සංවේදී අවකාශයන් කිහිපයක ප්‍රේක්ෂක මනස ගැටගසමින්. ජීවිතය මරණය හා ප්‍රේමය පිළිබඳ අනිර්වචනීය වූ අත්දැකීම් රාශියක් අනන්‍ය කරමින්. සංවේදී නෙතට කඳුලක් කාන්දු කරමින්.

–           ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

  (රාවය 2018 ජූලි 15)
%d bloggers like this: