Menu Close

223. සුහදිනියේ – 26 | තීරණාත්මක වටපිටාවක්. මධුලිකා කුමක් කරයිද?

කලින් කොටසට 

සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත් කෑම පාර්සලයක්ද සහිතවය. මා දුටු විරංග වැඩි කතාවක් නොමැතිවම මම ගෙනා පාර්සලය නිවසේ තබා , මම සමඟම පිටතට පැමිණීමට සුදානම් විය.

විරංග රැගත් මෝටර් රථය පදවාගෙන මම නිහඬවම අප දෙදෙනාගේ සුපුරුදු මුහුද අසබඩ කබානා අවන්හලට පැමිණියෙමි. වාහනය රථගාලේ කෙළවරක නැවැත්වූ මම විරංග දෙස නොබලාම රථයෙන් බිමට බැස්සෙමි. විරංග මා දෙස බලා සිටිනු මට දැනුනි.

කලින් කතාබහ කරගෙන තිබුණු බැවින් මම කෙලින්ම පිවිසියේ කළමනාකාරවරයාගේ කොටසටයි. ඒ වනවිටත් මගේ මිතුරා මා එන බව දැන සුදානම්ව සිටියේය.

“මේ තියෙන්නේ බඩු… !”

ඔහුගේ මේස ලාච්චුවෙන් ගත් ජංගම දුරකථනය මේසය මත තබමින් මා මිත්‍ර කළමනාකාරවරයා ; සමන් ; පැවසීය.

“මේක ටෙස්ට් කරන්න ඕනේ !”

මම දුරකථනය අතට ගෙන ඔහු ලවා එය විවෘත කරගතිමි. අනතුරුව ඔහු දෙස සුහද සිනහවක් පෑ මම දුරකතනයේ තිරයේ මගේ අංකය සඳහන්කර ඇමතුමක් ගතිමි. මගේ දුරකතනයට එයින් ඇමතුමක් එද්දී එහි අංකයක් දිස් වුයේ නැත. ඒ වෙනුවට පුද්ගලික අංකයක් බව පමණක් සඳහන් විය. එසේ නම් එය නිවැරදිය.

මට පිටුපසින් විරංග පැමිණ සිටගන්නවා යන්තමට පෙනුන මුත් මම ඊට එකවරම ප්‍රතිචාර දැක්වුයේ නැත. සමන් ඔහු හා ආචාර කරනු පමණක් පෙනුනි.

“උඹ මේ වගේ සම්බ්ජෙක්ට් කරනවා කියලා දන්නෙත් නැහැනේ..”

සමන්ගේ කතාවට මට සිනහවක් නැගුණි.

“එහෙම එකක් නෙවෙයි බන්… මම මේ දන්නා එකෙක්ට පොඩි පාට් එකක් දාලා මුන්.. එකපාරක් මම කිව්වා පැහැදිලි කරලා. ඒ උනාට උන් ආයෙමත් මොනවාහරි කරන්න කලින් ටිකක් කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕනේ. නැතිනම් මම ඔය මදාවි වැඩ වලට නෑනේ බං”

එසේ කියා මම ඔහුගෙන් දුරකතනයද රැගෙන කබානා වලින් ඈත පිවිසි ගොඩනැගිලි අතරේ හුදකලා පෙදෙසකට ඇවිද ගියෙමි. විරංග මා පසුපස ආ බවක් මට දැනුනේ නැත. ඔහු සමන් හා කතාවට වැටෙන්නට ඇත.

අංකය ඔබා මම දුරකථනය කනෙහි තබාගතිමි. දුරකතනයේ කතාකරන කොටසට මෙතෙක් වෙලා සාක්කුවේ තබාගෙන සිටි කුඩා ඊයම් කොළ කැබැල්ල තබා, යන්තමට හුස්ම පිඹ එය අවශ්‍ය පමණට සකසා ගත්තෙමි. කිහිප වරක් නාදවිමෙන් පසුව දුරකතනයට පිළිතුරු දුන්නේ ගැහැණු කටහඬකි.

“හලෝ?”

“වාසුල ඉන්නවද?”

“ආ… කව්ද කතාකරන්නේ?”

“කතාකරන්නේද? ඒක මම වාසුලටම කියන්න.. එයාටම දෙනවද?”

“මොකක්?”

ගැහැණියට කෝපයක් ඇතිවූ බව පෙනුනද මම එය අපේක්ෂා කලෙමි.

“මොකටද කතාකරන්න ඕනේ?”

“ඒකත් මම එයාටම කියන්නම්… කරුණාකරලා වාසුලට දෙනවද ෆෝන් එක”

“එහෙම බැහැ..”

“කවුද නීටා??” පසුබිමෙන් ඇසුනි. මම වඩාත් තීව්‍රව සවන් දෙන්නට පටන් ගතිමි. වාසුල පැමිණ යම් තර්කයකින් පසුව දුරකථනය උදුරා ගන්නවා වැනි ශබ්දයක් ඇසුනි.

“තමුසේ කවුද?”

ඒ වාසුල බව මට ස්ථිරය.

“වාසුල මහත්තය.. මම මේ හදිස්සි පණිවිඩයක් කියන්න කතාකලේ”

“තමුසේ කවුද කියනවා..”

“කවුද කියන එක එතරම් වැදගත් නැහැනේ මහත්තය.. කාරණේ මේකයි… “

“………………?”

“ආරංචියි මහත්තය හොයන අර ළමයා කසාද බැඳලා කියල… “

“මොන ළමයද? මොනවද මේ කියවන්නේ?”

“ඇයි අර මැරිච්ච ජයවර්ධන මහත්තයාගේ ළමය..”

“මෝ.. මොන… ක කවුද තමුසේ  ?”

“එතකොට දැන් දේපල අයිතිවෙන්නේ නෑනේ”

“තමුසේ කවුද කතාකරන්නේ??”

වාසුලගේ ගිගිරිම මෑතක සිටියා නම් ගල් බෝරයක් සේ දැනුන තරමට ඔහු කෑගැසුවේය. ඉන්පසු හති හලනු ඇසුණු අතර පසුබිමෙන් ගැහැණිය මොන මොනවාදෝ කියනවා ඇසුනි.

“වාසුල මහත්තය.. මම මේ කතාකලේ ඔහේගේ බැනුම් අහන්න නෙවෙයි. වැදගත් පණිවිඩේ කියන්න. ඔහොමනම් කතාකරන්නේ…..”

“හරි හරි.. තමුසේ කියනවකො බලන්න… කාවද ඒ කෙල්ල බැන්දේ කියල”

“ඇයි අර දුලිප් සතරසිංහ මන්ත්‍රීතුමාගේ පුතාවනේ!”

ඒ සමඟම මම දුරකථනය විසන්ධි කලෙමි.

දැන් මගේ කොටස හමාරය. දුලිප් සතරසිංහත් ; වාසුලත් දැන් ප්‍රශ්නය විසඳාගත යුතුය. මම දුරකතනයේ සඳහන් අංකය මකාදමා, පැමිණ විරංග සමඟ කතා කරමින් උන් සමන් අත එය තැබුවෙමි.

“මේවට ගෙවන්න වෙයි ඔන්න.. උන් සී අයි ඩී ගියොත්?”

සමන් සිනාවෙමින් පැවසීය.

“උඹ දන්නවනේ මචන්.. මම ගැරඬි මරන්නේ නැහැ. උඹට ඉතින් අමුතුවෙන් ගෙවන්න ඕනෙද, අපි මෙතන බිපුවාගෙන් තමයි උඹ ඉතින් අර අලුත් ගේ හැදුවේ.. නැද්ද විරංගයෝ…?”

විරංග යන්තම් සිනහවක් පෑවේය.

“.. මචන් අපිට කූල් බියර් එවපන්.. වෙනද එව්වම… අතනට”

එසේ කියමින් මම සෙවන ඇති මේසයක් දැක්වීමි.

“මට බොන්න බෑ බන්..”

විරංග පැවසුවේ පහත් හඬිනි. මම ඔහු දෙස බලා කරට අත දමා ඔහු ලංකර ගතිමි.

“අද වෙරි වෙන්න බොන්න බැහැ. ඒ උනාට බොන්න වෙනවා බන්… “

විරංග මා දෙස එක එල්ලේ බලා සිටින්නට විය. ඔහුගේ ඇස්වල තිබුනේ සෑහෙන මිලාන පෙනුමකි. මම ඔහු උරයට දමාගත් අතින් යුතුවම මේසය කරා ඇවිද ගියෙමි. අප දෙදෙනාට අවැසි පුද්ගලිකත්වය එම මේසයේ පැවති අතර, කුෂන් කරනලද පුටුවේ එල් හැඩති මුල්ලේ හිඳගත් මම විරංග දෙස සැහැල්ලුවෙන් බැලුවෙමි.

“…. මම දන්නවා මචන්..! උඹ මට කියන්න ඕනේ නැහැ”

විරංග මා දෙස හිස් බැල්මෙන් බලා සිටියේය.

“.. මම ආවේ ඒවා ගැන කියවන්න නෙවෙයි බන්… උඹට මම එදත් කිව්වේ.. උඹ මතක තියාගනින්, උඹ තමයි මගේ හොඳම යාළුවා.. මොකක් උනත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔතනින් වාඩි වෙයන්… අද බියර් විතරයි බන්… ජින් බොන්න බෑ”

මට මධුලිකා සිහිවිය. සිනහවක් ඇතුලතින් ආවද කුමක්දෝ බියක් ඒ තුල විය.

ජින් මතින් මම කලේ කුමක්දැයි තවමත් මම නොදනිමි. සිතුවිලි රැස ගඟක් වන්නට පෙර මම විරංග දෙස බලා සිටියදී ඔහු යන්තම් හිස දෙපසට වනා මට තරමක් සම්මුඛව හිඳගත්තේය. මම ඈතින් පෙනෙන මුහුද දෙස දෑස් යොමුකළේ සිතෙහි වූ වික්ෂිප්තභාවය යම් තරමකට සමනය කරගැනීමටය. විරංග හා අද මේ සිදුවන කතාබහ සෑහෙන ප්‍රවේශමෙන් කළයුත්තකි.

“උඹ නොදන්නා දෙයක් තියෙන්නත් පුළුවන්”

විරංග එලෙස කියන්නට ඇත්තේ මම පුදුම කිරීමට විය යුතුය. මම රහස් පරීක්ෂක වරයෙකු හෝ දාමරිකයෙකු හෝ නොවේ. විරංග ඒ බව දනී.

“ඔව්.. පුළුවන්..”

මද වෙලාවකින් මම මෑත සිටි විරංග දෙස සැහැල්ලු බැල්මක් හෙලුවෙමි.

“… මචන්… උඹ ඉන්නේ අවුලෙන්.. ඒ අවුලට මුල මමද කියන්න දන්නේ නැති උනාට.. මමත් ඒ කොනක ඉන්නවා.. එහෙම නේද?”

විරංගගේ මුහුණ අඳුරු විය. ඔහු ඉදිරියට නැවි, දනිස් මත වැලමිට තබා එයට වාරුවිය.

“…………….”

ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිටවුනේ නැත.

“උඹට මට කියන්න බැරි දෙයක් තියෙන්න පුළුවන්. ඒත් ඒ කිසි දෙයක් අපි දෙන්නාගේ යාළුකමට බාධාවක් නෙවෙයි. ඒක මතක තියාගනින්”

“ඇයි උඹ මධුලිකාව හැංගුවේ?”

විරංග එකවරම ඇසුවේ, තරමක පහත හඬකිනි. මම එකවරම ඒ ප්‍රශ්නය තේරුම් ගැනීමට උත්සහ කලෙමි.

“මම හැංගුව? උඹ හෙව්වද?”

“ඔව්.. මම හෙව්වා”

මම විරංග අසලට ලංවීමි.

“ඔව්… මම හැංගුවා තමයි. ඒ හැංගුවේ උඹෙන් නෙවෙයි. ඒ වෙලාවේ හැටියට මට හංගන්න ඕනේ උනේ උඹෙන් නෙවෙයි. මධුලිකා ගැන වෙන කවුරුහරි ඇහැ ගහගෙන ඉන්නවා. ඇරුන්ම වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ජයවර්ධනගේ වෙන කවුරුහරි වෙන්නත් පුළුවන්”

විරංග කල්පනාවට වැටුණු බවක් පෙනුණි.

“ඒ කියන්නේ… වෙන වෙලාවක මධුලිකාව මගෙන් හංගන්න උඹට ඕනේ කලාද?”

විරංග කිසි දිනෙක එවන් තීව්‍ර ප්‍රශ්නයක් මා වෙත එල්ල නොකරන්නට ඇත. මම එවන් ප්‍රහාරයක් බලාපොරොත්තුව සිටි නිසා එය තදින් බලපෑවේ නැති වුවද, යම් පමණකට කම්පනය වීමි.

“මචන්… උඹ මට අවංක උනේ නැතුවට කමක් නැහැ.. උඹ උඹට අවංක වෙයන්”

බීර විදුරු ඒ වනවිට අප වෙත එමින් පැවතුනි. මම කල්පනාවට වැඩි කාලයක් වැය කලෙමි. සැමවිටම මාතෘකාවේ තබාගතයුතු සංවාදයක් මට අවැසි වී තිබිණි.

“… උඹ බොරුකාරයෙක් නෙවෙයි. නමුත් මේ කාරණයේදී.. උඹ මිට වඩා අවංක උනා නම්, මම හිතනවා හොඳයි කියලා”

බීර වීදුරුවේ සීතල බින්දු වීදුරුවේ පිටත පෘෂ්ඨයේ සිට බිමට රූරා වැටෙනු දකිමින් මම පැවසුවෙමි. විරංග වඩා වේගයෙන් හුස්ම අල්ලන බවක් මට පෙනුනි.

“හරි.. අපි කෙලින් කතා කරමු”

මම ඔහුට ඉඩහසර ලබාදෙනු වස් ඉදිරියට නැමී මේසය මත තිබුණු බීර වීදුරුව අතට ගෙන ඉන් උගුරක් බිව්වෙමි. අයිස් මෙන් සීතල බීර මගේ ගත සිසිල් කරමින් මුව තුලින් සිරුර පුරා අමුතු ආනන්දයක් ඇතිකරනවා මෙන් මට දැනුනි.

“මේ කලබල ඉවර උනහම…. “

“…….?”

“මම මධුලිකාට කියනවා මගේ අදහස. “

“…………….!”

“උඹට කොහොමත් ඒ කෙල්ල බඳින්න අදහසක් තිබ්බේ නැහැනේ. මොන තත්වෙක හිටියත් මම මධුලිකාව බාරගන්න කැමතියි”

“නෑ මචන්.. මට දැනගන්න ඕනේ ඒක නෙවෙයි”

විරංග මා දෙස එකවරම බලා , ඒ සමඟම ඉවත බලාගත්තේය.

“.. මට දැනගන්න ඕනේ, උඹ ලක්ෂ පන්සීයක සල්ලියක් මධුලිකාගෙන් ගන්න හිතාගෙන ඉන්නේ කොහොමද කියල”

විරංග විදුලියක් මෙන් සෘජුව නැගී සිටියේය.

“ප… පන්සියක්? පි පිස්සුද? මම පන්සීයක් ඉල්ලුවේ නෑ”

“පන්සියක්නේ කොහොමත් ඔක්කොම ගෙවන්න තියෙන්නේ?”

ඔහුගේ හිස වසා තිබුණු ඔහුගේ තොප්පිය ගෙන මහත් ආවේගයෙන් එය බිම ගසා කෑගැසුවේය.

“ඒ බැල්ලි ඒකත් කිව්වද?”

මම නිහඬව බලා සිටියෙමි. විරංග මට පිටුපස හරවා කලබලයෙන් සිය හිස බදාගෙන ඈත බලාගෙන සිටියේය.

“ඒක මෙතනට අදාළ නැහැ මචන්.. උඹ එක්ක මගේ අවුලක් නැහැ. උඹ දන්නවනේ, මම කවදාවත් උඹට බොරුවක් කරලා නැහැ.. උඹත් මට බොරු කරලා නැහැ. අපි ඕනේ දේ කතාකරමු…. උඹට ඕනේ සල්ලි නම්, ඒක ගන්න විදිය කතාකරමු. උඹට ඕන කෙල්ල නම්… එතන අවුලක් තියෙනවා. කෙල්ලයි, සල්ලියි දෙකම මට දෙන්න විදියක් නැහැ”

විරංග ආපසු හැරි මා දෙස විමතියෙන් බැලුවේය.

“….මේකට උඹව පටලව ගත්තේ මම. ඒ හින්දා ලෙහන්නෙත් උඹත් එක්කම තමයි”

විරංග බීර වීදුරුවෙන් උගුරු කිහිපයක්ම බිව්වේය. අනතුරුව සෝෆාව මත කඩාවැටී දෑස පියාගෙන යම් කාලයක් ගතකළේය. මම සංයමයෙන් බලා උන්නෙමි. මධුලිකා ගැන මට විරංගගේ මුවින් පිටවූ වදන් මා සෑහෙන වේදනාවට පත්කර තිබිණි.

මගේ අනුමානයේ යම් යම් කරුණු මේ වනවිට තහවුරු වී හමාරය. මුදල ගැන මා තුල වූ සැකය සාධාරණ විය. විරංග සියල්ල පිළිගැනීම එක අතෙකින් සෑහෙන ගැටළු රාශිකයට පිළිතුරු සැපයීමක් වැනිය. තවදුරටත් මට සඟවා කලයුතු දෙයක් ඔහුට නොවීම, මට වාසි සහගතය.

විරංග කෙරෙහි මට කෝපයක් නොනැගුනත් , යම් පමණකට කලකිරීමක් ඇතිවිය. ඔහු අත වරදක් නැති බව සිතන්නට මට නොහැකිය. කුමක් වුවත් ඔහුට මට අවංක වීමට තිබුනා නොවේද?

දැන් කාඩ්පත් සෙල්ලම්කල යුත්තේ මට වාසි සහගත තුරුම්පු ඉතුරුවන පරිද්දෙනි. මේ සෙල්ලමෙහි ප්‍රධාන රැජින ; මධුලිකා ; වෙතින් ලෙහාගතයුතු ප්‍රශ්න කිහිපයකි. ඒ ප්‍රශ්න සඳහා යම් පමණක පිළිතුරක් ලැබීම, හෙටදින මම විරංග සමඟ දියත්කරන්නට යන මෙහෙයුමට පිටුවහලක් වනු ඇත.

*********************************************

තාත්තා පැමිණ ආපසු ගොස් ඇති බවට සලකුණු තිබිණ. එබැවින් මම මත්කුඩු සොයන සුනඛයෙකු සේ නිවසේ ඒ මේ අත ගමන්කොට ඔවුන්ගේ නිදන කාමරය අවට ඉවකරමින් තාවර උනෙමි. මැණිකා පැවසු පරිදි අම්මා බෝධිපුජාවකට ගොස්ය. මම ඒ පමාවෙන් ඉහල මාලයට ගියෙමි.

සුදම් තවමත් පැමිණ නැත. ඔහුට අද දින යහළුවන් සමඟ සාදයක් ඇති බව මැණිකා පැවසුවා මතකයට නැගුණි. මම කාමරයේ දොර අසල හිඳ දොරට කන තබා සවන් දුන්නෙමි. කිසිදු ශබ්දයක් නොමැත. මම චකිතයෙන් වුවද හඬක් නොනැගෙන පරිදි කාමරයේ යතුරෙන් විවෘතකොට සෙමෙන් දොර විවර කලෙමි.

කාමරය තිබුනේ අඳුරේය.

මෑත්වූ ජනෙල් තිර අතරින් අඳුරට හුරුවූ මට, ජනෙල් ආසන්නයේ තබා තිබුණු සෝෆාවේ නින්දට වැටි සිටි මධුලිකා වෙන්කර හඳුනා ගතහැකි විය. දුරකතනයද, පසෙක පොතක්ද අතැතිව ඈ නිදන විලාසය දුටු මගේ සිත උණුසුම්ව නැගී ආවේය.

හඬක් නොනැගෙන්නට දොර අගුළු ලෑ මම මේසය මත වූ ලාම්පුව දල්වා, ඈ ඉදිරියෙන්ම වූ සෝෆාවේ තනි පුටුවට බර වුයෙමි. ඇය පුබුදන්නට ඇතිවූ ලෝබකමක්ද , ඈ දෙස බලා සිටින්නට ඇති අවස්තාවක් අතහැර නොගන්නට අවශ්‍යතාවක්ද යන දෙකම විසින් මගේ  පොළඹවාලුයේය. සැමවිටම ඈ මම එනවිට නින්දට වැටි සිටීමට හේතුව, මම නැති තනිකමද? එය එසේ වනවාට මගේ සිත කෙතරම්ම කැමතිද?

විරංග පවසන අයුරෙන් නම්, ඔහුට වඩා වැදගත් වනුයේ මුදල් විය හැකිය. නමුත්, මධුලිකා වැනි ආකර්ශනීය තරුණියක ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු මෝඩයෙකු නොවනු ඇත. ඇය තුල ඇති පොපියන තරුණකම සහ ප්‍රේමනීය බව ඔහු නොදැක්කා කියා සිතිය නොහැක.

විරංග තබා, කිසිවෙකුටවත් ලබාදිය නොහැකි ලෙස මම ඈ කෙරෙහි බැඳී සිටිමි. ප්‍රේමය යනු කවර ආකාරයේ සියුම් තතකින් වැයෙන මාධුර්ය ගිතයක්දැයි නොදැන පවා , ස්පර්ශ කරන්නට බිය ගින්දරක් වැනි ඈ සමඟම මගේ සිත බැඳී ඇති අයුරු පුදුමය.

මෙතරම් අවස්තාවන් ලැබුනද, ඒවා මම ගිලිහෙන්නට ඉඩහරිමින් මධුලිකා කෙරෙහි වෙනස් ආකාරයක පිවිසුමක් සෙව්වාද ? එතරම් මහන්සියෙන් තරුණියක් නෙලාගන්නට මම කිසිදිනෙක උත්සහ කර තිබුනේ නැත.

ප්‍රේමය යන බාධකය නොසිටින්නට, මේ වනවිටත් මා සතු ඈ නතුකරගන්නට මට නොහැකි යයි මට කිව නොහැකිය. මගෙන් ගිලිහි ගොස් වෙන කිසිවකුට අයිති වුවද, මා සතුවූ බවට සලකුණු තබන්නට සිතා මම ඈ සිපගත් වාර ගණන කොපමණද? ඒවා සියල්ලම කොතරම් බොළඳද?

ප්‍රේමය යනු, නිදැල්ලේ හිඳිම ;  සිටින්නට ඉඩදීම යයි සිතා වඩාත් එවන් නිදහස් ප්‍රේමයක් කෙරෙහි මම කෙතරම් පෙම්වතියන් මාරු කරන්නට ඇතිද? ඒත් මැය ?? ඈට රිසිසේ ඉන්නට , කතාබහ කරන්නට , යන්නට – එන්නට ඉඩක් නොදෙන්නට තරමටමගේ සිත කෙතරම් ඈ අල්ලාගෙනද? එසේ වුයේ ඈගේ ආරක්ෂාව පතාමද?

ඈ ආරක්ෂා කොට හොදින් සිටින්නට නිදහස් කරන්නටද? සත්‍ය වශයෙන්ම ඈ තවත් අයෙකුට ලබාදීමට මම සුදානම්ද?

‘නැත… මධුලිකා මගේය!’

මගේ සිත මුරගෑවේය.

‘විරංග , වාසුල නෙවෙයි…. ඩඩාට උනත් කියන්න තියෙන්නේ එච්චරයි!’

මා තුල උන් වෘකයාගේ ඝර්ජනාව ඇසුනා මෙන්, මධුලිකා එකවරම ගැස්සී අවදි වුවාය. අනතුරුව නින්දෙන් කාමරයේ මේස ලාම්පුවත්, ඒ සමඟම ඈ දෙස බලා සිටින මමත් දුටු මධුලිකාට එකවිටම කෑගසෙන්නට වුවත් ඈ තම මුව වසා ගත්තාය. මගේ සිතුවිලි සමඟ මුහුණ වෙනස්ව තිබෙන්නට ඇත. ඇස්වල කෑදරකම තිබුනාද?

මොහොතින් සිහි එලවාගත් මධුලිකා සිය ඇඳුම් සකස් කොටගෙන එකවරම නැගී සිටියාය. ඈ මගේ විලාසයෙන් බියවන්නට ඇත.

මම නිරායාසයෙන් ඈ දෙස බලා සිටියා වන්නට ඇත. මධුලිකා ඉන් අපහසුතාවයට පත්වුවා විය හැකිය. මධුලිකා නැගිට බිත්තියේ වූ ස්විචය වෙත අත ගෙනගියාය. මම වහා නැගිට ඈගේ මග අහුරා සිටගතිමි.

“වාඩිවෙන්න.. කතාකරන්න තියෙනවා”

ඈගේ සිරුරෙන් විහිදෙන සියුම් උණුසුමත්, අසලින් නිතරම නැගෙන විලවුන් සුවඳත් විසින් මා මත්කොට තිබේ. එය ජින් මතට වඩා දරුණුය. පා පහරකින් විසිරි යන අළු ගොඩක් වැනිය. මධුලිකා මගේ සිරුරේ ගෑවී නොගෑවී ආපස්සට අඩියක් තැබුවාය. මම මධුලිකාගේ වමතේ ඉහලින් අල්වා ඈ සිටි සෝෆාවේ මෑතින් පහතට ඇද ඉන්දවුයෙමි. ඒ තීව්‍ර ඇස් කැළඹීමෙන් මෙන් ඒ මේ අත නොයා මා වෙතම රැඳුනි. හුස්ම යන්තමින් ගනිමින් මම හදවතට රුධිරය පොම්ප කලෙමි.

මධුලිකා සිය සිරුර මගේ ග්‍රහණයෙන් මුදවා ගත්තාය. එය එක අතකට යහපතකි.

“මෝ… මොනවද?”

මම සාමාන්‍ය වන්නට උත්සහ කලෙමි. කාමරය ආලෝකමත් උනා නම් හොඳය. එසේ නොඋනා නම් ඊටත් හොඳය.

“කාරණා දෙකක්… එකක් තමයි.. මට ඇත්ත කියන්න… විරංග ගැන”

මගේ කටහඬේ මම බලාපොරොත්තු වුනු ඝර්ජනාව තිබුනේ නැත.

“ඇයි මම බොරු කියල තියෙනවද එයා ගැන?”

“ඔව්!”

“මම? බොරු කිව්වා විරංග ගැන?? කවදද?”

මධුලිකා මුහුණ හකුලවා ගත්තද, එහි තිබුනේ කෝපයක් නොවේ.

“.. ඔයාගේ ඔලුවේ තියෙන විකාර මිසක්!”

ඇය මා සමච්චලයට ගෙන කතාකරනවාද?

“විකාර? විකාර තමයි යන යන තැන ඔක්කොම කිය කියා පණිවිඩ දෙන්නේ!? “

මධුලිකා නිරුත්තර වුවාය.

“මෙහෙ ආවා කියලා කිව්වේ නැහැනේ”

ඇය කිවේ සිහින් හඬිනි. ඇගේ මුහුණ බිමට බරව තිබුණි.

“ඇත්තටම අහන්නේ… ඌ ඔයාගෙන්…”

මධුලිකා ඇස් ලොකු කොට මගේ දෙස බැලුවාය.

“විරංග ඒක කිව්වද?”

දැන් නම් තත්වය බරපතලය. මම සෝෆාවේ කෝපි මේසය මත තිබුණු විදුරු අළු බඳුන ගෙන මහා ශබ්දයෙන් බිම ගැසුයේ ආවේගයෙනි. මධුලිකා බියෙන් පුටුවට ඇලුනාය. මම මධුලිකාගේ දෙවුරෙන් අල්ලාගත්තේ මහත් වූ ආවේගයෙන් වෙව්ලමිනි.

“ඌ… ඔයාට අතක් වත් තිබ්බද?”

මධුලිකා බියෙන් ගැහෙන්නට වුයේ සා පැටියෙකු පරිද්දෙනි. මම නැවතත් ඈ සෙලවුයෙමි.

“.. උත්තර දෙනවා!”

මම දත්මිටි කෑවේ කෑගැසීමට නොහැකි නිසාය.

“ලොකු බේ………….බි……………………..?”

මැණිකා දොර අසල සිට කතාකරනු ඇසුනි. අළු බඳුන බිම ගැසීමෙන් සෑහෙන ශබ්දයක් නැගෙන්නට ඇත.

“ආ.හ්.. මේ වීදුරුවක් බිඳුනා… හෙට උදේට අස්කරපන් දැන් ඕනේ නැහැ…”

මම මධුලිකා වෙතින් නෙත් ඉවත්කොටගෙන මැණිකාට උස් හඬින් කීවෙමි. මැණිකා ඉවත්වනතුරු මම සවන් යොමාගෙන සිට, සිටි අයුරින්ම මධුලිකා අසල බිම හිඳගත්තෙමි.
මගේ දත්මිටි කෑ පිළිතුරෙන් මධුලිකා ගොළුව ගියාය.

“… ඌ ඔ-යා-ගේ ඇඟට අතක් – වත් තිබ්බද?”

මම වචන වෙන් කරමින් කියන්නට ඇත්තේ හුස්ම අල්ලන බැවින් විය යුතුය. මධුලිකාට පිළිතුරක් දීමට නොහැකිව වෙව්ලනවා දැනුනි. මම ඊට වඩා ආවේගයෙන් වෙව්ලමින්, ඊර්ශ්යාව ; ක්‍රෝධය විසින් පිළිස්සෙන යක්ෂයෙක් වී සිටියෙමි.

“.. මම අහපු එකට උත්තරයක් දෙනවා! මාව යකෙක් කරන්න එපා!!”

මධුලිකා මා දෙස කෙලින් බලා අසරණ ලෙස උන්නාය. ඒ ඇස්වල වරදක් තිබුනේ නැත.මම වේගයෙන් හුස්ම සලමින් ආවේගය සමනය කරගන්නට වෑයම් කලෙමි. මද වෙලාවකට පසුව මම සිහිය එලවාගතිමි.

“.. මට… මට කියන්නකෝ… මම මේ අහන එකට උත්තර දෙන්නකෝ..”

මම යන්තම් නිවෙමින් පැවසුවෙමි.

“නෑ”

“හ්ම්ම්”

“නෑ තීක්ෂණ…”

ඒ වචනවල යම් මුසාවක් ඇතිබව මගේ සිත කීවද, ඊට වඩා ඈ වෙහෙස කරවන්නට මට අවැසි නොවුනි. මධුලිකා වෙනත් කෙනෙකු ස්පර්ශ කළා යයි සිතීම සියල්ල පරසක්වල ගසන්නට තරම් ආවේගයකි. ඈට අනතුරක් වුවා නම් මට කෙලෙසක හෝ පවසනු ඇති. ඈ කැමැත්තෙන් සිදුවූ දෙයක්ද? මම මාවම පාලනය කරගන්නට උත්සහ කලෙමි.

“මට ඔයයි විරන්ගයි අතරේ ප්‍රශ්නයක් හදන්න ඕනේ උනේ නැහැ… ඔයා මේ ප්‍රශ්න වලට…”

“මට කියන්න ඕනේ නැහැ ඒවා!”

මම හිස ඔසවා මධුලිකා දෙස බැලුවේ තර්ජනාත්මක බැල්මකි.

“විරංග ගැන අහිතක් හිතන්න එපා. එයාට සල්ලි වගයක් ඕනේ. ඒක නිසා..”

“මම දන්නවා ඒ සල්ලි ගැන. ඒ ගැන මම හොයාගත්තා. ඒක හින්දා ඌ කිව්වද ඔයාව බඳින්න ඕනේ කියල?”

“ඒක.. ඒක…  ගොඩක් කලින්… “

“ගොඩක් කලින්?? ඒ කියන්නේ කවදට කලින්ද?”

මම මධුලිකාගේ නිකටෙන් ඔසවා ඇගේ මුහුණ මා දෙසට හරවා ගත්තෙමි. මධුලිකා වෙව්ලන බව මට දැනුනි.

“ඔයාව…. ඔයාව මැරි කරන්න කලින්…. “

මම මධුලිකා අතහැර සෝෆාව මතට කඩා වැටුනෙමි.

“මට විස්තරේ කියන්න”

මේ වචනවල තිබුනේ පරාජයද, ශෝකයද?

“ඔයාව බඳින්න කියලා හිතන්න කලින්.. විරංග.. මට කිව්වා එයා මට කැමතියි කියලා… ඒ වෙනකොට මට දහ අට වෙලා තිබ්බේ නැහැ. මම හිතන්නේ.. විරංග ඒකට මොකක් හරි ප්ලෑන් එකක් ගැහුවා. මට ඒක ඉව වැටුන නිසා තමයි මම කිව්වේ ඔයාට මාව මැරි කරන්න කියල…  ඊට පස්සේ මට තේරුනා විරංග සල්ලි වලට මොකක් හරි ඔනෙකමකට තමයි මේවා කරන්නේ කියල. මට සැක හිතුනා… වෙලාවට ඒ වෙනකොට මම ඔයාව මැරි කරලා”

මම නිහඬව අසා සිටියෙමි.

“… විරංග ගැන මට ඔයාට කේලම් කියන්න බැහැ. ඔය දෙන්නා බිඳවන්න මට ඕනේ කලේ නැහැ. ඔයාට කරදරයක් වෙයි කියලත් මම බය උනා. මම යන තැනවල් ගැන කලින් විරංගට මට කියන්න උනේ….. එයා මට එහෙම කරන්න කියලා තිබුන නිසා. වෙනසක් උනොත් එයාව සැක කරලා කියලා දැනගැනී කියලා මට බය හිතුනා එයා ඔයාට මොනවා හරි කරයි කියලා. මම ඇත්තටම බය උනා”

මධුලිකාගේ හඬ බිඳී ගියේය. මම කුමන හේතුවකට හෝ ඈ මගේ උරහිසට වාරු කරගත්තෙමි.

“ඇයි ළමයෝ මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ?”

“…………………..”

“ඌට සල්ලි ඕනේ කියලා මම කලින් දැනගෙන හිටියා නම්… ඔයාට මෙහෙම වෙන්නේ නැහැ. බයවෙන්න එපා… මම දැන් ඉන්නවනේ”

“මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න”

මධුලිකා මා තරයේ වැළඳ ගත්තාය. පිරි ඉතිරි යාමට ආසන්න බඳුනක් මෙන් මම හුස්ම අල්වාගෙන උන්නෙමි.

“නෑ මධු… මමත්….”

මට කතාකරගන්නට හඬක් පිටවුයේ නැත. මම මධුලිකාගේ ගෙලෙහි වම්පස සෙමෙන් සිප ගත්තෙමි. එය වුයේ කෙලෙසකද කියා මට තේරුම් කරන්නට අදටත් නොහැකිය. මධුලිකා වහා මා තල්ලුකොට දැමුවාය.

මට මොන යක්ෂයා ආවේශ වුවාදැයි මම නොදනිමි. එකවරම අල්ලා මා අසලට ඇදගත් මධුලිකා මම තදින් සිපගත්තේ ඒ නිමේශයේය! තත්පර වලින් කෙතරම්ද නොදන්නා කල්ප ගණනාවක් ඔස්සේ මම තාරුකා ද්වාරයකින් ගමන්කරන්නාක් මෙන් දැනුනා නම් මතකය.

බලහත්කාරයෙන් උදුරාගත් ඒ දීර්ඝ හාදුවෙන් මන්මත්ව උන් මගේ වම් කම්මුල හරහා මධුලිකා එල්ලකලේ අතුල් පහරකි!

මම ඇගේ දකුණත කරකවා ඈට පසුපසින් අඹරවා අල්ලා ගතිමි.

“මධු…. ඔයා මගේ!”

ඒ ඇස්වල තරම් කාන්තියක් මම දියමන්තියකවත් දැක නොතිබෙන්නට ඇත. මද අඳුර තුලින් දිලිසුනු ඒ ඇස්වල තිබුනේ මම සිහි විකල් කරවන ආකර්ෂණයකි. සත්‍ය වශයෙන්ම මම විකල් වන්නට ඇත.

“…… ආයෙත් ගැහුවොත්… ආයෙත් කිස් කරනවා!”

මම තදබල ලෙස කීවෙමි. 

“ඒ කම්මුල්පාර දුන්නේ මේ කතාව අහගන්න තමයි… මෝඩයා!”

*************************************

සුහදිනියේ සඟවන් – සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කල ප්‍රතිමා සේ දිලෙනා
සඳමිනියේ නුඹ නම් සැණකෙලියයි මගේ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
සිහිනෙන් රෑ ලංවූ සුවඳක් සේ ළඟ උන්
සංවරියේ රන්සිත කෝ මා පිනනා

වාත්තු කර ඇති දේහ ලතාවට
හේත්තු වෙන්නද සෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හී දැල්වේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනවිය නුඹ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ

වීනා බඳවට කැරකෙන වරලස
අණදෙන හර්දස්පන්ධනයෙන්
සුසුමේ රිද්මයටම රඟදෙයි නුඹ
මගේ පෘතක්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන නුඹ මගේ හිත අවතැන්කල එකම ලඳයි මෙලොවේ

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: