Menu Close

රොඳ බැඳ නැරඹිය යුතු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල

(2019 අගෝස්තු 04ඉඉ වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


දශකයකට නැතිනම් දෙකකට පමණ පෙර මරදාන හන්දියෙන් බසයකින් බසින නාට්‍ය ලෝලියෙකුට, ඒ ඔහු හෝ ඇය ගෙවමින් සිටින්නේ සති අන්තයක් ද නම්, සිය නාට්‍ය පිපාසාවට කුමන හෝ පිළිතුරක් සොයා ගැනීමට වැඩි ඉඩක් තිබිණ. හන්දියේ එක් පසෙකින් වන ශ්වේත වර්ණැති සුන්දර ගොඩනැගිල්ල අභියස, එල්ෆින්ස්ටන් රඟහල අභියස, ඒ සමයේ වේදිකාගත වෙමින් පැවතුණු කුමන හෝ නාට්‍යයක දර්ශනයක් ඒ සති අන්තයේත් එහි වේදිකාගත වන බවට වන පුවරුවක් හමුවීමට ඇති සම්භාවිතාව ඉහළ අගයක විය. එතැනින් පහළට මීටර කිහිපයක් ඇවිද ගිය විගස මුණගැසුණු ටවර් රඟහල පසුකාලීනව අලුත්වැඩියාව සඳහා වසා දැමුණු පසු එල්ෆින්ස්ටන් රඟහල මරදානේ එකම ප්‍රේක්ෂක ආකර්ෂණය බවට පත් ව තිබුණු අතර ‘නාට්‍ය පිස්සෙකු‘ මරදාන හන්දිය ආසන්නයක කුමන අයුරකින් හෝ මුණ නොගැසුණේ ‘නවීකරණය සඳහා වසා ඇතැයි‘ යන පුවරුව එහි දොරකඩ ද සවි කළ පසු ය. සමකාලීනව ජෝන් ද සිල්වා රඟහල ද ‘පොළවට සමතලා කළ පසු‘ කොළඹ නාට්‍ය ලෝකයට මුහුණ දෙන්නට සිදු වූයේ තරමක අභාග්‍ය අවදියකට ය.

නාට්‍ය නිෂ්පාදනය වීමේ ප්‍රමාණය, නිපදවෙන නාට්‍යවල ගුණාත්මක තත්වය, යම් ඇගයීමක් ලද නාට්‍යයක් ප්‍රේක්ෂාගාර අභියසට යළි පැමිණීමට ඇති පහළ සම්භාවිතාව ආදී ගැටළු පැවතිය ද ඒ සියලු අර්බුද හමුවේ වුව ‘සති අන්තයක නාට්‍යයක් බලන්නට‘ ඇති හැකියාව බොහෝ දුරට ඉතිරිව තිබුණේ අගනුවර පමණි. සමාන සමයන්හි රඟහලවල් කිහිපයක්ම නවීකරණයට වසා දැමීම හෝ ‘අලුත් එකක් දෙන්නම්‘ කියා කඩා දැමීම මෙම නාට්‍යමය සතිඅන්ත දුර්වල කළේ ය. එහෙත් දැන්, වසර ගණනාවකට පසු, එලිෆින්ස්ටන් රඟහලේ ස්ථිර හැඩතලය යැයි රැවටෙන තරමට එහි බාහිරයෙන් ඉදි කර තිබුණු පලංචි හා වැටවල් ඉවත් වී ගොස්, එය යළි විවෘත ව තිබේ! දැන් මරදාන හන්දිය, කලකට පෙර යළි විවෘත කෙරුණු ටවර් රඟහල ද සමගින් (එහි වේදිකාවේ සිවිලිම බිමට කඩා වැටීම ටිකකට ඔහොමම තිබුණාවේ!) ‘නාට්‍ය පිස්සන්ට‘ යළි ආරාධනා කරමින් සිටියි.

එල්ෆින්ස්ටන්හි යළි විවෘත වීම පිළිබඳ මෙම දීර්ඝ සමාරම්භක සටහන, අවැසි නම් යමෙකුට නොතකාම හැරිය හැකි වුවත්, ඒ විවෘතව ඇති රඟහල පරිශ්‍රය මූලික කර ගනිමින් මේ ගෙවෙන සති අන්තයෙන් ඇරඹෙන නාට්‍ය උළෙල කිසිදු අයුරකින් නොතකා හැරිය නොහැක්කක් බැව් අප පිළිගත යුතු ය. ඒ, නන්විධ අර්බුද නාට්‍ය වේදිකාව අභියස ඇති රටක, සාපේක්ෂ වශයෙන් නාට්‍ය හා රංග කලාව සෙසු කලාපීය රටවලට වඩා පහළ ස්ථරයක ඇති රටක, පාසැල් අධ්‍යාපන පද්ධතිය ද මේ තවත් තරග සංවිධානය කොට, ‘ළමුන් දැක්කිය යුතු කලාපයක්‘ ලෙස හඳුනාගන්නා රටක, වසර අටක් තිස්සේ නොනැවතී ගලා එන ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් අප අභියස මෙවර දිගහැරෙන්නේ එහි සිට බැවිණි; ඒ දිනවල බැවිණි.

අගෝස්තු මස 04 වැනිදායින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 09 වැනිදා දක්වා ජර්මනිය, ඔස්ට්‍රියාව සහ රුමේනියාව යන යුරෝපීය කලාපයේ රටවලින් ද, ඇමරිකා එක්සත් ජනපදයෙන් ද, ඉරානය, ඉන්දියාව සහ පකිස්ථානය යන ආසියානු හා දකුණු ආසියානු කලාපයේ රටවලින් ද නාට්‍ය ගෙනැවිත්, අප රටේ පසුගිය වසරේ දී සම්මාන දිනූ නාට්‍ය හා එක්ව තබා ඉදිරිපත් කරයි. දිගු, කෙටි, ළමා යනාදී ප්‍රවර්ගවලින් මෙහිදී අප වෙත එන නාට්‍ය ගණන 13කි. එසේම එය නාට්‍ය ‘උළෙලක්‘ වන්නේ, වචනාර්ථයෙන්ම ‘ජාත්‍යන්තර ද‘ වන්නේ, නාට්‍ය දර්ශනවලින් නොනැවතී, නාට්‍ය වැඩමුළු, සමුළු ඈ උළෙලක අතාවශ්‍ය තවත් බොහෝ අංග ද නාට්‍යලෝලීන් අභියස තබා ඇති බැවිණි.

වේදිකා නාට්‍යයක ආකෘතිය පිළිබඳ අප සමාජය තුළ ඇත්තේ ඉතා පටු අදහසක් එකතුවකි. නාට්‍ය හා රංග කලා විෂයය හදාරන්නෙකු තුළ වුව නාට්‍යයක් යනු කවරක්දැයි දෙන්නට ඇති නිර්වචනය එතරම් පුළුල් වූවක් නොවේ. දෙබස් විරහිත නාට්‍ය අපට දුරස්ථ ය. නර්තනය, සංගීතය, දෘශ්‍ය කලා ප්‍රයෝග, රූකඩ ආදී වෙනත් රංග කලා ප්‍රවර්ග සමග සම්මිශ්‍රිතව ඉදිරිපත් කරන නාට්‍ය අපට දුරවබෝධ ය. අප නාට්‍ය වටහා ගන්නේ ම දෙබස් හරහා ‘වැඩිපුර‘ සම්ප්‍රේෂණය යුත්තක් ලෙසිනි. හොඳ ‘හඬක් ඇති‘ නළු, නිළියන්ට වැඩි ඉඩක් ඇති කලාපයක් ලෙසිනි. එහෙත් එය ඒ සීමාකාරීත්වය ඉක්මවූ පුළුල් වපසරියක විහිද යන්නක් බව වටහා ගැනීමට නම් අප විශ්ව රංග කලා වේදිකා විමසිය යුතු ය. මෙරට සිට ඒ දෙස බලන්නට ලැබෙන කවුළුව කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලයි.

එක් අතෙකින්, මෙම දුරවබෝධයන් හා අනවබෝධයන්ට මූලික හේතුව රංග කලාවන් පුළුල්ව නොගෙන නාට්‍ය යන්න ඒකල අරුතකින් පමණක් වටහා ගැනීම ද විය හැක. මෙම උළෙලේ දී වුව Colombo International Theatre Festival යන්න සිංහලයට නැගී ඇත්තේකොළඹ ජාත්යන්තර නාට්ය උළෙල‘ යනුවෙන් මිස ‘රංග කලා උළෙල‘ යනුවෙන් නොවේ. කෙසේ වුවත්, මෙය රංග වේදිකාව මත නන්විධ ස්වරූපයේ නාට්‍යමය ඉදිරිපත් කිරීම් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එයි. එය බොහෝ දුරට ඒකමානීය කලාපවල සිට නාට්‍ය හා රංග කලාව හඳුනාගෙන සිටින මෙරට ප්‍රේක්ෂාගාරයට නවමු කලාප දැක්වීමකි.
දෙවරක් පැවැත්වූ ‘කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල‘ එහි තිබූ ඇදහිය නොහැකි විචිත්‍රත්වය හා ජනාකර්ෂණය පරදවමින් දෙවරක් ප්‍රේක්ෂාගාර සාදා මැකී ගියේ ය. එම්. සෆීර් ප්‍රමුඛ ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්‘ සංවිධානය ගෙන එන මෙම ජාත්‍යන්තර නාට්‍ය උළෙල වසර 8ක් මුළුල්ලේ සෙමින් නමුත් නොකඩවා වැඩී වර්ධනය වෙමින් පෙරට ඒම ඇගයුම් කටයුතු කරුණකි. එම කණ්ඩායම කුඩා නමුත් ශක්තිමත් බවත්, සිය ඉලක්ක සපුරා ගැනීම පිණිස නිරන්තරව කටයුතු කරමින් සිටින බවත් වාර්ෂිකව අපට හමුවන මෙම උළෙල සාක්ෂියකි.

අගෝස්තු 04 වැනිදා සිට 09 වැනිදා තෙක් එල්ෆින්ස්ටන් රඟහල පරිශ්‍රය ප්‍රමුඛ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කලාපවල සැරිසරමින් නාට්‍ය සේවනය කිරීමට හේතුවිය යුත්තේ යට කී කරුණු පමණක් නොවේ. සංස්කෘතික වශයෙන් දියුණු සමාජයක් තනා ගැනීමට යත්න දරමින්, වඩා පෝෂිත නාට්‍ය කලාවක අනාගතයක් පිළිබඳ සිහින දකින සියල්ලෝම මේ දිනවල උළෙල රොඳ බැඳ ගොස් නැරඹිය යුතු ය. අපට හමුවන නාට්‍ය විචාල යුතු ය. ඒ නිර්මාණකරුවන් අගයමින් ඔවුන් හා කතාබහ කළ යුතු ය. දුරු කතර ගෙවමින් මෙහි පැමිණීම පිළිබඳ ඔවුන්ට තුති පුද කළ යුතු ය. ඒ සියල්ලෙන් ලැබෙන ආලෝක ධාරා ඔස්සේ අපගේ නාට්‍ය වේදිකාව ඔසවා තැබිය හැකි මානයන් පිළිබඳ විමසිය යුතු ය. ඒ පිළිබඳව අනවරත සාකච්ඡා වෙත යොමු විය යුතු ය.

මරදාන හන්දියෙන් ඔබත් බැස එන්න! අපි නාට්‍ය ශාලාවක අසුන්ගෙන විශ්ව නාට්‍ය ලෝකය වෙත නෙත් විවර කරමු!

-ප්‍රියන්ත ෆොන්සේකා – 
%d bloggers like this: