Menu Close

මරන්න ගෙන ගිය බැටළුවා

Translation of the short story ‘Lamb to the Slaughter’ by Roald Dahl
 
 
උණුසුම්ව, පිරිසිදුව තිබුණු කාමරයේ ජනෙල් තිර වසා තිබිණි. ඇගේ පුටුව අසලත් ඊට ඉදිරියෙන් තිබුණු හිස් පුටුව අසලත් මේස ලාම්පු දල්වා තිබිණි. ඈ පසුපස තිබූ මේසය මත උස වීදුරු දෙකක සෝඩා වතුරත්, විස්කිත් විය. තර්මොස් බඳුනක් අලුත් අයිස් කැටවලින් පුරවා තිබිණි
මේරි මැලෝනි ඇගේ සැමියා රැකියාවෙන් පසු ගෙදර එනතුරු බලාගෙන සිටියා ය.
ඇය වරින්වර ඔරලෝසුව දෙස නෙත් යොමු කළේ කලබලයකින් නොවේ. ඈ එසේ කළේ ගතවෙන හැම විනාඩියක් පාසාම ඔහු එන වෙලාව ළඟා වන බව මතක් කරමින් සතුටු වන්නට ය. ඈ වටා පැතිරුණේ මඳහසක ස්වරූපය යි. ඈ කළ හැම දේකම මුදු බව දැවටී තිබිණි. මැහුම වෙත ඇගේ හිස නැමී තිබුණේ නොවූ විරූ නිසල බවකිනි. මේ ඇගේ ගැබිණි බවේ හය වෙනි මාසය නිසා ඇගේ හමේ විනිවිද පෙනෙන ගතියක් තිබුණි. ඇගේ වත පුරා අමුතු සිලිටි බවක් පැතිරී තිබුණු අතර, දෑස අලුත් සෞම්‍ය ගතියකින් පෙරට වඩා විශාලව දිස් විය. ඔරලෝසුවේ වෙලාව පහට දහයක් ලෙස සටහන් වෙද්දී ඈ වඩාත් හොඳින් සවන් දෙන්නට විය.  ඉන් සුළු මොහොතකට පසු, හරියටම වේලාවට, එළියේ රථයක් නවත්වන හඬත්, එහි දොරක් වැසෙන හඬත්, කවුළුව අසලින් පිය ගැටෙන හඬත්, දොරේ යතුර කරකැවෙන හඬත් ඇසිණි. ඇය මැහුම පසෙකින් තබා නැගිට ඉදිරියට ගියේ ඔහු එද්දීම හාදුවක් දීමට ය.
“හෙලෝ ඩාලිං” ඈ කීවා ය.
“හෙලෝ ඩාලිං” ඔහු පිළිතුරු දුන්නේ ය.
ඇය ඔහුගේ කබාය ගෙන එය අල්මාරියේ රැඳවූවා ය. ඉනික්බිති බීම තබා තිබුණු තැනට ගොස් ඔහුට සැර බවින් වැඩි බීම වඩියක් ද, තමන්ට සැර අඩු වීදුරුවක් ද ගෙනැවිත් නැවත මහමින් සිටි ඇඟලුම අතට ගෙන හිඳගත්තා ය. ඔහු ඇයට ඉදිරියෙන් ඇති අසුනේ හිඳ, දෑතින්ම උස වීදුරුව කලතමින් සිටියේ එහි වූ අයිස් කැට ගැටී සිහින් හඬක්  නැංවෙන ලෙසිණි. 
ඇයට නම් මේ දවසේ තෘප්තිකර ම වේලාව යි. පළමු විස්කි වීදුරුව අවසන් වන තුරු ඔහු නිහඬව සිටීමට ප්‍රිය කරන බව ඇය දැන සිටියා ය. දවස පුරාම නිවසේ තනිව ගත කළ දිගු හෝරාවන්ට පසු එළැඹෙන මේ වේලාවේ ඈ ද නිහඬව ඔහුගේ සමාගම විඳින්නට කැමැත්තෙන් සිටියා ය. ඔහු ඇසුරේ දැනෙන සුවය උපරිමයෙන් විඳිමින් ඔහු හා තනි වූ විට ඔහුගෙන් නික්මුණු පිරිමි රශ්මියේ ඈ කිමිදුණේ හිරු රැස් නාන අයෙක් මෙනි. ඔහු දොරකින් ඇතුල් වන ආකාරයට, කාමරයක් හරහා දිගු අඩි තබමින් ඇවිදින ආකාරයට, සැහැල්ලුවෙන් අසුනක හිඳ සිටින ආකාරයට ඈ ආදරය කළා ය. ඔහු ඈ දෙස බලද්දී ඔහුගේ දෑසේ දිස් වූ තියුණු, කල්පනා භරිත පෙනුමටත්, ඔහුගේ මුවේ හැඩයටත් ඈ ප්‍රිය කළා ය. ඒ හැමටත් වඩා ඔහු විස්කි වීදුරුවේ බලයෙන් තමන්ගේ මහන්සිය අඩු වෙන තෙක් ඒ තෙහෙට්ටුව ගැන කිසිවක් නොකීම ගැනත් ඇයට මහත් ආදරයක් දැනුණි.
“මහන්සි ද ඩාලිං?”
“ඔව්” ඔහු කීය. “හරි මහන්සියි” එසේ කියූ ඔහු හදිසියේම වෙනදාට නොකරන දෙයක් කළේ ය. ඒ, වීදුරුව ඔසවා එහි ඉතිරි ව තිබුණු විස්කි වඩිය එක හුස්මට මුවට හලා ගැනීම ය . ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ නැතත් වීදුරුවේ අඩකට වඩා විස්කි තිබුණු බව අයිස් කැට හිස් වීදුරුවේ ගැටෙන හඬින් ඇයට වැටහිණි. පුටුවේ ඉදිරිපසට නැමී මොහොතක් නිසොල්මන් ව උන් ඔහු, නැගිට තවත් විස්කි වීදුරුවක් වත්කර ගැනීම පිණිස සෙමෙන් ඇවිද ගියේ ය.
“මං අරන් දෙන්නම්!” ඇය හඬ නගා කීවේ පුටුවෙන් වහා වහා නැගිටමිනි. 
“වාඩිවෙන්න” ඔහු කීය.
ඔහු නැවත පැමිණි විට ඔහුගේ අලුත් බීම වඩියේ විස්කි සාන්ද්‍රණය වැඩි කම නිසා එය තද පැහැති බව ඇයට පෙනිණි.
“ඩාලිං, ඔයාගේ සෙරෙප්පු දෙක ගෙනත් දෙන්නද?”
“එපා”
ඔහු අඳුරු පැහැ බීම වීදුරුව තොලගාන අයුරු ඈ බලා සිටියා ය. එහි සැර බව නිසාම තෙල් ගතියෙන් යුතු රැළි නැගෙනු ඇයට පෙනිණි.
“ඔයා තරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් දවස තිස්සෙම හිටගෙන ඉන්න වෙන එක හරි අසාධාරණයක් කියලායි මට නම් හිතෙන්නේ” ඈ කීවා ය.
ඔහු කිසිවක් කීවේ නැති නිසා ඇය යළිත් ඇගේ අතේ වූ මැහුම වෙත නෙත යොමු කළා ය. ඔහු වීදුරුව තොලගාන හැම වරකම එහි අයිස් කැට ගැටෙන හඬ ඇයට පැහැදිලි ව ඇසිනි.
“ඩාලිං මම ඔයාට චීස් ටිකක් ගේන්නද? අද බ්‍රහස්පතින්දා නිසා මම රෑට කෑම හැදුවේ නැහැ.”
“එපා” ඔහු කීය.
“ඔයාට කෑමට එළියට යන්න මහන්සි වැඩි නම් තාම උයන්න පරක්කු වැඩි නැහැ” ඇය දිගටම කියාගෙන ගියා ය. “ෆ්‍රීසර් එකේ ඕනෑතරම් මස් ජාති තියෙනවා. ඔයාට ඔය පුටුවෙන් නැගිටින්නේවත් නැතිවම කෑම කන්න පුළුවන්”
ඔහුගෙන් පිළිතුරක්, සිනහවක්, කුමක් හෝ සන් කිරීමක් ලැබේදැයි ඇගේ දෑස බලාපොරොත්තුවෙන් විය.
“කොයිකටත් මම ඔයාට මුලින්ම චීස් ටිකක් එක්ක ක්‍රැකර්ස් ටිකක් ගේන්නම්” ඇය යළිත් කීවා ය.
“මට ඕන නැහැ” ඔහු කීය.
ඔහු දෙස අයාගත් විශාල දෙනෙතින් යුතුව ඇය නොසන්සුන් ව පුටුවේ හිඳ සිටියා ය.
“ඒත් ඔයා මොනවා හරි කන්න ඕන නේ! මම ලෑස්ති කරන්නම්, එතකොට ඔයාට ඕන නම් කන්න පුළුවන්, අකමැති නම් නොකා ඉන්න පුළුවන්”
ඇය පුටුවෙන් නැගිට මැහුම මේස ලාම්පුව අසලින් තැබුවා ය.
“වාඩිවෙන්න” ඔහු කීවේය. “විනාඩියකට වාඩිවෙන්න”
ඇයට බියක් දැනෙන්නට වූයේ එවිට ය.
“ඉතින් වාඩිවෙන්න” ඔහු නැවතත් කීය.
ඇය හෙමින් සීරුවේ පුටුවට පහත් වූයේ කැළඹුණු විශාල දෑස ඔහු දෙස යොමාගත් ගමන්ම ය. ඔහු දෙවෙනි බීම වඩිය අවසන් කර හිස් වීදුරුව තුළට ඔරවාගෙන සිටියේ ය.
“මේ අහන්න” ඔහු කීය. “මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”
“ඇයි ඩාලිං? මොකක් හරි ප්‍රශ්නයක් ද?”
මේ වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම නිසොල්මන් ව සිටියේ ය. ඔහු හිස නවා සිටියේ ලාම්පුවේ ආලෝකය මුහුණෙන් කොටසකට වැටී මුව අඳුරේ තිබෙන ලෙස ය. ඔහුගේ වම් ඇස අසල නහරයක් ගැහෙන බව ඇයට පෙනිණි.
“ඔයාට මේක ටිකක් කම්පනයක් වෙයි” ඔහු කීය. “ඒත් මම සෑහෙන්න කල්පනා කරලා තීරණය කළා ඒක ඔයාට කෙළින්ම කියන එකයි කරන්න ඕන කියලා. ඔයා මට වැඩිය දොස් කියන එකක් නැහැ කියලා මං හිතනවා”
ඉනික්බිති ඔහු ඇයට කීවේ ය. ඒ සඳහා උපරිමයෙන් විනාඩි තුන හතරක් මිස ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය බොහෝ සෙයින් නිශ්චලව ඒ සියල්ල අසා සිටියේ කැලඹීමක් මුසු වූ ත්‍රාසයකිනි. ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා ඔහු ඇයගෙන් දුරස් වෙමින් සිටියේ ය.
“ඉතින් ඒක තමයි විස්තරය” ඔහු අවසන් වශයෙන් කී ය. “මං දන්නවා මේ ඔයාට මේක කියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා, ඒත් වෙන ගැලපෙන වෙලාවක් එන එකක් නැහැ. මම කොහොමත් ඔයාට සල්ලි දෙන්නම්, ඔයාගේ වැඩ කටයුතු ගැන බලන්නම්. ඒත් ඔයා ප්‍රශ්න ඇති කරන්නේ නැතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම වුනොත් මගේ රස්සාවට හොඳ නැහැ”
ඇයට මුලින්ම සිතුණේ ඒ කිසිවක් විශ්වාස නොකර ප්‍රතික්ෂේප කරන්නට ය. සමහරවිට ඔහු කිසි දෙයක් නොකියන්නට ඇති  බවත්, මේ සියල්ලම ඈ සිතින් මවා ගන්නට ඇති බවත් ඇයට සිතිණි. සමහරවිට ඈ සුපුරුදු වැඩකටයුතු වල නියැලුනොත්, මේ කිසිවක් නොඇසුණා සේ රඟපෑවොත් ටික වෙලාවක් යද්දී මේ කිසිවක් සිදු නොවූ බව ඇයට දැනෙනු ඇත.
“මම කෑම ලෑස්ති කරන්නම්” ඇය රහසෙන් මෙන් කියන්නට සමත් විය. මෙවර නම් ඔහු ඇයව වැළකුවේ නැත.
කාමරය හරහා ගමන් කරද්දී ඇයට තමන් පාවෙන බවක් දැනිණි. සුළු අප්පිරියාවක්, ඔක්කාර ගතියක් ඇරෙන්නට ඇයට වෙන කිසිවක් දැනුණේ නැත. ඇය යාන්ත්‍රිකව මෙන් බිම් මහලට ගොස්, විදුලි බුබුල දල්වා, ෆ්රීසරය විවර කර, අත ගැටුණු පළමු දේ පිටතට ගත්තා ය. එය ඔතා තිබුණු කඩදාසිය ඉවත් කර ඇය එය දෙස බැලුවා ය.
එය බැටළු මස් ගාතයක් විය.
එහෙනම් ඔවුන්ට රෑ කෑමට බැටළු මස් අහාරයට ගනු හැක. මස් ගාතයේ සිහින් කෙළවර දෑතින්ම අල්ලාගෙන ඇය එය යළි උඩුමහලට ගෙන ගියා ය. විසිත්ත කාමරය හරහා යද්දී ඔහු ඇයට පිටුපා කවුළුවෙන් පිටත බලා  සිටිනු දැක ඇය නැවතුණා ය.
“දෙවියන්ගේ නාමෙට මට කෑම හදන්න එපා” ඇය නැවත ආ හඬ ඇසුණත් ආපසු හැරී නොබලාම ඔහු කීය. “මම එළියට යනවා”
ඒ මොහොතේ මේරි ඔහු වෙත ඇවිද ගොස්, බිඳක්වත් නොනැවතී, ඈ අත තිබුණු සීතලෙන් ගල් වූ මස් ගාතය ඉහළට ඔසවා හැකි වෙර යොදා ඔහුගේ හිස පසුපසට පහර දුන්නා ය.
එය යකඩ ආයුධයකින් ගැසූ පහරක් තරමට ශක්තිමත් විය.
ඈ අඩියක් පසුපසට ගෙන බලා සිටියා ය. වඩාත්ම පුදුම සහගත කරුණ වූයේ පහර වැදුණු පසු ත් ඔහු තත්පර හතරක් පහක් වැනි වැනී සිටගෙනම පසුවීමයි. ඉන්පසු ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටුණි.
ඔහු ඇද වැටුණු හඬේ බියකරු බව, ඔහුගේ සිරුරේ ගැටී මේසයක් උඩු යටිකුරු වීම වැනි දේ ඇයව කම්පනයෙන් මුදවා ගැනීමට සමත් විය. ඇය සෙමෙන් සිහි එලවා ගනිමින් සිටියා ය. ඇයට පුදුමයක් ද තද සීතලක් ද දැනෙමින් තිබිණි. වේගයෙන් ඇසිපිය හෙලමින් ඇය ඔහුගේ සිරුර දෙස බලා සිටියේ ඒ විහිලු සහගත මස් ගාතය දෑතින්ම තදින් අල්ලාගත්වනම ය. 
හරි, ඈ තමාටම කියාගත්තා ය. මම එයාව මැරුවා.
ඇගේ මනස හදිසියේම නිරවුල් වී තිබුණේ පුදුම සහගත ලෙස ය. ඇය ඉතා වේගයෙන් සිතන්නට විය. රහස් පරීක්ෂක නිලධාරියෙක්ගේ බිරිඳ වූ ඈ මීට අදාළ දඬුවම ගැන හොඳාකාරවම දැනගෙන සිටියා ය. ඇයට ඒ ගැන කම්පාවක් දැනුණේ නැති අතර එය එක්තරා ආකාරයක සැනසිල්ලක් සේ සිතෙමින් තිබිණි. එහෙත් දරුවාට කුමක් සිදුවනු ඇතිද? නූපන් දරුවන් කුසේ දරාගත් මිනීමරුවන් වෙනුවෙන් තිබුණේ කවරාකාරයේ නීති ද? ඔවුන් අම්මාත් දරුවාත් දෙදෙනාම මරා දැමුවා ද? නොඑසේ නම් දඬුවම දීමට දරුවා බිහි වන තුරු බලා සිටියා ද?
මේරි මැලෝනි ඒ ගැන දැන සිටියේ නැත. ඒ නිසා ඒ අවදානම ගැනීමට ඇගේ සූදානමක් තිබුණේ ද නැත.
ඇය මස් ගාතය කුස්සියට ගෙන ගොස්, එය බඳුනක බහා, විදුලි පෝරණුව ක්‍රියාත්මක කර, එය ඊට ඇතුළු කළා ය. ඉනික්බිති දෑත සෝදා ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියා ය. කැඩපත ඉදිරියේ හිඳ කොණ්ඩය පිළිවෙල කර වත්සුණු තවරා ගත්තා ය. ඇය සිනාවක් පලඳාගන්නට උත්සාහ කළ නමුත් එය අමුතු විරිත්තීමක් සේ දිස් විය. ඈ යළි වරක් උත්සාහ කළා ය.
“හෙලෝ සෑම්” ඈ උද්යෝගයෙන්, ශබ්ද නගා කැඩපතට කීවා ය.
ඇගේ කටහඬේ තිබුණේ නොගැලපෙන ස්වරයකි.
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, බෝංචි ටින් එකකුත් දෙන්න”
එවර නම් ඇගේ කටහඬත් සිනාවත් සාමාන්‍ය වෙමින් තිබිණි. ඇය තව කීපවරක් ඒ ස්වරය අභ්‍යාස කළා ය. ඉන්පසු පහත මාලයට දිවගොස්, කබාය ඇඟලාගෙන, නිවසේ පසුපස දොරින් පිටවී මහමඟට බැස්සා ය.
වෙලාව සවස හය පසු වී නොතිබුණත් කඩය තුළ විදුලි බුබුළු දැල්වී තිබුණි.
“හෙලෝ සෑම්” ඇය කවුන්ටරය පසුපස උන් මිනිසා වෙත සිනාවක් පාමින් කීවා ය.
“සුබ සන්ධ්‍යාවක් මිසිස් මැලෝනි, කොහොමද?”
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, ආ.. ඔව්, බෝංචි ටින් එකකුත් දෙන්න”
ඔහු ඈ ඉල්ලූ දෑ දීමට උත්සුක විය.
“පැට්‍රික් ට මහන්සිලු, අද රෑ කෑමට එලියට යන්න බැහැලු” ඈ ඔහුට කීවාය. “අපි සාමන්‍යයෙන් බ්‍රහස්පතින්දාට රෑ කෑමට එළියට යනවා. අද ඉතින් ගෙදර උයන්න එලවලු මොනවත් නැති බව එයාට අහු වුණා”
“එහෙනම් මස් ටිකකුත් ඕනද මිසිස් මැලෝනි?”
“නෑ, බොහොම ස්තූතියි, මස් තියෙනවා. මම ෆ්රීසර් එකෙන් හොඳ බැටළු මස් ගාතයක් ගත්තා”
“ආ!”
“අනේ මන්දා සෑම්, මම නම් ඒතරම් කැමති නැහැ හීතල පිටින්ම මස් උයන්න, ඒත් අද ඒක කරන්න වුණා. ඔයා හිතන්නේ ප්‍රශ්නයක් නැතිවෙයිද?”
“මම නම් හිතන්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ කියලා” කඩහිමියා කීය “මේ ලොකු අල වලින් දාන්නද?”
“ඔව් ඒවා හොඳයි, එයින් දෙකක් දාන්න”
“වෙන මොනවාද?” ඔහු හිස ඇල කර ඇය දෙස බලා සිනාසෙමින් ඇසීය. “කෑමට පස්සේ? අතුරුපසට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?”
“සෑම් හිතන්නේ මොනවාද හොඳ?”
කඩහිමියා කඩය සිසාරා නෙත් යොමු කළේය. “ ලොකු චීස්කේක් කෑල්ලක් දුන්නොත් මොකද? එයා ඒවාට කැමති බව මම දන්නවා”
“නියමයි” ඈ කීවාය. “එයා චීස්කේක් කන්න හරිම ආසයි”
හැමදේම ඔතා අසුරා දුන් පසු ඈ මුදල් ගෙවා, ඇගේ කාන්තිමත් ම සිනහව ඔහුට දී “බොහොම ස්තූතියි සෑම්, සුබ රාත්‍රියක්” කීවාය.
“ඔබටත් බොහොම ස්තූතියි මිසිස් මැලෝනි, සුබ රාත්‍රියක්”
දැන්, මේ සිදුවන්නේ රෑ කෑම පිළියෙළ කෙරෙන තුරු බලා සිටින තම සැමියා වෙත් තමන් ඉක්මනින් ගෙදර යෑම බව ඇය තමන්ටම කියා ගත්තාය. ඔහු දවස පුරා වෙහෙසවී ගෙදර පැමිණ ඇති නිසා ඇය රෑ කෑම හැකි තරම් රසවත් ව පිළියෙළ කළ යුතු ය. මෙවැනි සිතුවිල්ලකින් නිවසට යන ඇය හට හදිසියේ වත් එහිදී අසාමාන්‍ය, බියකරු දෙයක් දකින්නට ලැබුණොත් ඇය කම්පනයත් ශෝකයත් නිසා උමතුවෙන් මෙන් හැසිරෙන්නට ඉඩ ඇත. එහෙත් ඇය එවැනි කිසි දෙයක් තුන් හිතකින් වත් බලාපොරොත්තු වන්නේ නැත. ඇය මේ කඩයෙන් එළවලු මිළදීගෙන ගෙදරට යනවා පමණි. මිසිස් පැට්‍රික් මැලෝනි බ්‍රහස්පතින්දා හවසක කඩෙන් එළවලු මිළදීගෙන තම සැමියාට රෑ කෑම සූදානම් කරන්නට ගෙදර යනවා පමණි.
එහෙමයි ක්‍රමය, ඇය ඈ ටම කියාගත්තාය. හරි විදිහට, සාමාන්‍ය විදිහට හැම දේම කරන්න. හැමදේම ස්වභාවිකව කරද්දී රඟපාන්නට වුවමනා නොවනු ඇත.
ඉතින් මේ විදිහට සිතූ නිසා නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වෙද්දී ඈ පුංචි තාලයක් මුමුණමින්, සිනාසෙමින් සිටියා ය. 
“පැට්‍රික්!” ඈ හඬ නඟා කතා කළා ය. “ඔයාට කොහොමද ඩාලිං?”
 
ඇය අත වූ පාර්සලය මේසය මත තැබූ ඈ විසිත්ත කාමරය වෙත ගියා ය. එසේ ගොස් හදිසියේම ඔහු එහි බිම වැටී සිටි අයුරු දුටු විට, ඔහුගේ දෙපා ඇකිලී, අතක් සිරුරට යටවී ඇඹරී තිබෙනු දුටු විට ඇයට සැබවින්ම කම්පනයක් දැනුණි. ඔහු ගැන ඇගේ සිතේ නිධන්ගතව තිබුණු ආදරය උතුරායන්නට විය. ඇය ඔහු වෙත දිවගොස්, ඔහු අසල දණගසාගෙන වැළපෙන්නට විය. එය කෙතරම් පහසු වීද යත් කිසිම රඟපෑමක් අවශ්‍ය වූයේ නැත.
විනාඩි කිහිපයකට පසු ඇය නැගිට දුරකථනය වෙත ගියා ය. පොලීසියේ දුරකථන අංකය ඇය දැන සිටි අතර අනෙත් පසින් පිළිතුරු ලැබුණු විට ඈ කෑගසන්නට විය.
“ඉක්මනට එන්න! ඉක්මනට! පැට්‍රික් මැරිලා!”
“කවුද කතාකරන්නේ?”
“මිසිස් මැලෝනි, මිසිස් පැට්‍රික් මැලෝනි”
“මොකක්? පැට්‍රික් මැලෝනි මැරිලා?”
“මට එහෙම හිතෙනවා” ඈ හඬා වැටෙන්නට විය. “එයා බිම වැටිලා ඉන්නේ, මට හිතෙන්නේ එයා මැරිලා කියලා”
“අපි ඉක්මණටම එනවා”
පොලිස් රථය ඉතාමත් ඉක්මණින් පැමිණියේ ය. ඇය දොර විවර කළ විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ඇතුළු විය. ඈ ඔවුන් දෙදෙනාව හැඳිනුවාය. ඈ ඒ පොලිස් ස්ථානයේ හැම දෙනෙක්ම පාහේ හැඳිනුවා ය. ඇය වැළපෙමින් ජැක් නූනන් නම් පොලිස් නිලධාරියාගේ සිරුරට බර විය. ඔහු සෙමෙන් ඇයව පුටුවක අසුන් ගැන්වුවේය.
“එයා මැරිලාද?” ඇය හඬමින්ම ඇසුවා ය.
“බොහොම කණගාටුයි, මැරිලා නම් තමයි. මොකද වුණේ?”
ඇය කඩයට ගිය අයුරු, ආපසු නිවසට ආ පසු ඔහු බිම වැටී සිටිනු දුටු අයුරු කෙටියෙන් විස්තර කළා ය. ඇය හඬමින් විස්තර කියද්දී නූනන් නම් පොලිස් නිලධාරියා මියගිය මිනිසාගේ හිස පසුපස වියළි ලේ පැල්ලමක් දුටුවේය. ඔහු වහාම දුරකථනය වෙත ගියේ ය.
වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් දොස්තර කෙනෙක්, රහස් පරීක්ෂක වරුන් දෙදෙනෙක්, පොලිස් ජායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු විශේෂඥයෙක් ඇතුළු තවත් නිලධාරීහු කිහිපදෙනෙක්ම පැමිණියහ. මල සිරුර අසල රහස් සාකච්ඡා පැවැත්විණි. රහස් පරීක්ෂක නිලධාරීන් ඇගෙන් නොනවත්වා ප්‍රශ්න රැසක් අසන්නට විය. ඔවුහු ඇයට කරුණාවෙන් කතා කළහ. ඇය යළිත් මුල සිටම ඇගේ කතාව කීවා ය.  පැට්‍රික් එද්දී ඈ ඇඳුමක් මසමින් සිටි බව, ඔහුට මහන්සි වැඩි නිසා කෑමට එළියට නොගොස් සිටින්නට තීරණය කළ බව, ඇය මස් පිසීම සඳහා පෝරණුවට දමා එළවලු ගෙන ඒමට කඩයට ගොස් එද්දී ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කළා ය.
“කොයි කඩේ ද?” එක් නිලධාරියෙක් ඇසීය.
ඇය ඊට පිළිතුරු දුන් විට ඔහු ඇගෙන් ඉවතට හැරී තවත් නිලධාරියෙකුට රහසින් යමක් කීවේ ය. දෙවැන්නා වහා වහා නිවසින් පිටතට ගියේ ය.
පැය කාලකින් ඔහු නැවත පැමිණියේ සටහන් පිරුණු කඩදාසියක් අතැතිව ය. වැළපෙමින් සිටි ඇයට ඔවුන්ගේ රහස් සාකච්ඡාවල ඇතැම් වැකි ඇසිණි.
“බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.. සතුටින්.. මහත්තයාට හොඳ කෑමක් දෙන්න ඕනෑකම තිබුණා, බෝංචි, චීස්කේක්.. එයා නම් වෙන්න විදිහක් නැහැ”
ටික වෙලාවකට පසු දොස්තරත්, ජායාරූප ශිල්පියාත් තව මිනිසුන් දෙදෙනෙකුත් සිරුර රැගෙන ගියහ. ඇඟිලි සලකුණු ශිල්පියාත් ගිය පසු ඉතිරි වූයේ රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනාත් පොලිස් නිලධාරීන් දෙදෙනාත්  පමණි. ඔවුන් ඇයට සැලකුවේ ඉතා විනීතව ය. ඇයට මේ නිවසින් පිටව යන්නට ජැක් නූනන් යෝජනා කළේ ය. ඇගේ සොයුරියගේ නිවසට එසේත් නැත්නම් ඔහුගේම නිවසට වුව යා හැකි බවත් ඔහුගේ බිරිඳ ඇයට නවාතැන් දෙනු ඇති බවත් ඔහු කීය.
එහෙත් ඇය ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා ය. ඇයට අඩියක් වත් සෙලවෙනු බැරි තරමේ අපහසුවක්  දැනෙන බව කී ඇය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් නොකරන බවට පොරොන්දු වී එතැනම රැඳී සිටින්නට අවසර ඉල්ලුවා ය.
ඇයට අමාරුවක් දැනෙනවා නම් නිදන කාමරයට ගොස් මඳක් වැතිරී සිටීම වඩාත් සුදුසු නොවන්නේදැයි එවර ජැක් නූනන් විමසුවේ ය.
ඇයට ඒ පුටුවටම වී ටික වෙලාවක් සිටින්නට අවශ්‍ය බව ඇය කියා සිටියා ය. ටික වේලාවක් ගත වූ පසු ඇයගේ අමාරු ගතිය පහවූ විට ඇය එතැනින් ඉවත්වන බව කීවා ය.
ඉන්පසු ඔවුහු ඇයට එතැනම ඉන්නට ඉඩ හැර නිවස පරීක්ෂා කිරීමේ නියැලුණහ. ඉඳහිට රහස් පරීක්ෂක වරයෙක් ඇයගෙන් ප්‍රශ්නයක් දෙකක් අසනු පෙනිණි. ඇගේ සැමියා මියගොස් ඇත්තේ හිසේ පසුපසට එල්ල කළ තද පහරක් නිසා බව ජැක් නූනන් ඇයට සෙමෙන් පැහැදිලි කළේය. ඔවුහු ඒ ආයුධය සොයමින් සිටියහ. මිනීමරුවා එය රැගෙන පලායන්නට ඉඩ තිබුණු බවත් නොඑසේ නම් එය ඉවත දමා හෝ සඟවා යන්නට ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.
“මේක ඉතින් පරණ කතාවම තමයි. ආයුධය හොයාගත්තොත් මිනීමරුවා අල්ලන්න පූළුවන්”
ටික වෙලාවකට පසු එක් රහස් පරීක්ෂකවරයෙක් ඇය අසලින් අසුන් ගෙන නිවසේ ආයුධයක් ලෙස භාවිත කළ හැකිව තිබුණු දෙයක් ගැන ඇයට අදහසක් තිබුණේ දැයි විමසුවේ ය. මුරිච්චි යතුරක්, එසේත් නැත්නම් බර යකඩ  මල් පෝච්චියක් වැනි දෙයක් නිවසින් අතුරුදන් වී ඇත්දැයි සොයා බලන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය.
ඔවුන්ගේ නිවසේ යකඩ මල් පෝච්චි නොතිබුණු බව ඈ කීවා ය.
“එහෙනම් මුරිච්චි යතුරක්?”
එවැනි ආයුධයක් නොතිබුණු බවට ඇයට විශ්වාස නමුත් එවැනි වෙනත් දේ ගරාජයේ තිබෙන්නට හැකි බව ඈ කීය. 
නිවස පරීක්ෂාකිරීම නොකඩවාම සිදු විය. තවත් පොලිස් නිලධාරීන් නිවස වටා සැරිසරන බව ඇය දැනගෙන සිටියා ය. ඔවුන්ගේ අඩි ශබ්දය මිදුල දෙසින් නිරතුරුව ඇසුණු අතර වරින්වර විදුලි පන්දම් එළියක් තිර රෙදි අතරින් පෙනිණි. ඒ වෙද්දී රාත්‍රිය එළැඹි තිබුණි. වෙලාව රාත්‍රී නමයට ආසන්න බව සාලයේ ඔරලෝසුවෙන් ඇය දුටුවා ය. නිවස පරීක්ෂා කරමින් උන් නිලධාරීන් සිව් දෙනා හෙම්බත් ව සිටියහ. 
“ජැක්” ඊළඟ වතාවේ ජැක් නූනන් එතැනින් යන්නට ආ විට ඈ ඔහුව ඇමතුවේ ය. “මට අතනින් බොන්න මොනවා හරි ගෙනැත් දෙනවා ද?”
“හරි ඉන්න මම දෙන්නම්, ඔයා කිව්වේ විස්කි ද?”
“ඔව්, හැබැයි පුංචි වීදුරුවක්. එයින් මගේ අමාරු ගතිය මඟ ඇරිලා යන්න පුළුවන්”
ඔහු ඇය අතට වීදුරුවක් දුන්නේ ය.
“ඔයාත් එකක් බොන්න. දැන් හොඳටම මහන්සි ඇතිනේ. මට කොයිතරම් හොඳට සැලකුවාද ඔයගොල්ලෝ හැමෝම.”
“අපේ නීති වලට නම් පටහැනියි, ඒත් මම පොඩ්ඩක් බොන්නම්, නැතිනම් තව ටිකක් වෙලා යන්න කළින් මාව මහන්සියට ඇදගෙන වැටෙයි”
එයින් පසු එතැනට පැමිණි අනෙත් අයත් මඳ පෙරැත්තයකින් පසු පුංචි විස්කි වඩියක් බීමට එකඟ විය. ඔවුහු වීදුරු අතැතිව තැන තැන සිටගෙන සිටි අතර ඈ ළඟපාතක සිටි නිසා අපහසුතාවයෙන් එකල මෙකල වෙමින් ඇගේ හිත හැදීමට නොයෙක් දේ කියමින් පසු වූහ. කුස්සියට යන්නට ගිය ජැක් නූනන් යළිත් එසැණින් නැවත පැමිණියේ ය
“මිසිස් මැලෝනි, තාම පෝරණුව වැඩකරන බව දන්නවාද? මස් ටික තාම ඇතුලේ ද?”
“ආ ඔව්නේ! හැබෑටම!” ඇය කීය.
“මම ඒක නිවලා දාන්නද?”
“අනේ ජැක් ඒක නිවනවාද? බොහොම ස්තූතියි”
පොලිස් නිලධාරියා දෙවෙනි වරට කුස්සියෙන් පිටතට එද්දී ඈ කඳුළු පිරුණු විශාල දෑසින් ඔහු දෙස බැලුවා ය.
“ජැක් නූනන්”
“ඔව්?”
“ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න?- ඔයාටයි මේ අනෙත් කට්ටියටයි?”
“අපි උත්සාහ කරන්නම් මිසිස් මැලෝනි”
“මෙතැන ඉන්න හැමෝම පැට්‍රික් ගේ හොඳ යාලුවෝ, ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ එයාව මැරුව මිනීමරුවා අල්ලන්න. ඔයගොල්ලන්ගේ රෑ කෑම වෙලාව දැන් හොඳටම පහුවෙලා නිසා හැමෝටම දැන් උහුලන්න බැරි තරම් බඩගිනි ඇති. ඔයගොල්ලන්ට කෑම ටිකක් නොදී ගෙදර තියාගත්තා කියලා දැනගත්තොත් පැට්‍රික්ගෙන් මට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැහැ. ඔයගොල්ලෝ එකතුවෙලා අර කෑම ටික කනවාද? පෝරණුවේ තිබුණු මස් ටික මේ වෙද්දී ගාණට හරි ගිහින් ඇති.”
“කොහොමවත්ම බැහැ” නූනන් කීය.
“අනේ කොහොමහරි කන්න” ඈ බැගෑපත් වූවාය. “මට නම් කිසි දෙයක් කටේ තියන්න බැහැ. එයා ඉන්දැද්දී උය උයා හිටිය දෙයක් නම් කොහොමවත්ම කන්න බැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ටික කෑවොත් මට ඒක ලොකු උදව්වක් වේවි. ඊටපස්සේ රාජකාරි ඉවරකරන්න”
නිලධාරීහු කිහිපදෙනා මුලදී අදිමදි කළත් ඔවුන් හැමදෙනාම තද කුසගින්නෙන් පසු වුණු බැවින් අවසානයේදී හැමදෙනාම කුස්සියට ගොස් කෑම බෙදාගන්නට වූහ. කාන්තාව ඇය උන් තැනම හිඳිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙමින් සිටියාය. මස් තළුමරමින් ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටි ඔවුන්ගේ හඬ ඇයට ඇසිණි.
“තව ටිකක් බෙදා ගන්න චාලි”
“ඉවර කරන්න හොඳ නැහැ නේද?”
“එයා කිව්වේ අපිට ඉවර කරන්න කියලා, ඒ නිසා කමු”
“පැට්‍රික් ට ගහන්න මිනීමරුවා පාවිච්චි කරලා තිබුණේ ලොකු ආයුධයක්. දොස්තර කිව්වේ හිස්කබල කුඩුවෙලා කියලා”
“ඒ නිසාම තමයි ඒක හොයාගන්න එක ලේසි වෙන්න ඕන”
“ඔව් මමත් හිතුවේ ඒකමයි”
“ඔයතරම් ලොකු ආයුධයක් නම් මිනීමරුවාට පැනලා යද්දී ඕක උස්සාගෙන යන්න බැහැනේ”
“මම නම් කියන්නේ ඕක මේ හතර මායිමේ ම ඇති”
“සමහරවිට අපේ නහයවල් යටම ඇති, මොකද කියන්නේ ජැක්?”
එහා කාමරයේ මේරි මැලෝනි සෙමෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.
 
 
 
 
Original Story from the book ‘Lamb to the Slaughter’ by Roald Dahl published in 1953
Photo- Source: Wikimedia Commons- Mary Cassatt, Woman Sewing
 

%d bloggers like this: