Menu Close

දුර ඈත දේශ

(Translation of Tim Winton’s short story ‘Distant Lands’)

‘තඩි මේසි’ යන විසුළු නම පටබැඳී තිබුණු ඈ රැකියාව කළේ ඇගේ පියාගේ පොත් කඩයේ ය. නොන්ඩි කකුලක් තිබුණු ඇගේ පියා නිරතුරුව කෝපයෙන් පසුවූයේ ඔහුගේ ආබාධය හේතුවෙන් අතීතයේදී ඔහු ව හමුදා සේවයට නොගැනීම නිසා ය. දවස තිස්සෙම ඔහු කඩය තුළ සඟරා පිරුණු රාක්ක අතර නොන්ඩි ගසමින් එහා මෙහා ඇවිද්දේ හොරු ඇල්ලීමටත් මුදල් නොගෙවා පොත් කියවමින් කඩයේ රස්තියාදු වන්නන් එළවා දැමීමටත් ය. කෙල්ල ගේ අම්මා නම් දවස පුරාම කැෂියර් පුටුවේ හිඳ පාරේ ගමන් කරන රථ දෙස දෑස යොමාගෙන ම පසුවිය. ඈ එතැන උන් බව මේසි ට නම් මතක් වූයේ පරණ නැෂනල් රේඩියෝවේ ඒකාකාරී ශබ්දය ඇසෙද්දී පමණි. නගරාන්තර දිවෙන විශාල ග්‍රේහවුන්ඩ් බසය කඩය පසු කර උතුරු දෙසින් ඇති නගරය වෙත දවසකට වරක් ගමන් කළේය. දෙමව්පියන් කඩය ඇයට භාර දී දිවා ආහාරය සඳහා නිවසට යන වෙලාව නම් ඇයට සැනසිලිදායක කාලයක් විය. 
හැම දිනකම, දිවා අහාර පැයේදී උස තලඑළලු පුද්ගලයෙක් කඩයට පැමිණියේ ය. කඩයේ දොරින් ඇතුල් වූ වහාම ඔහු මඳක් නිසොල්මන් ව සිටින්නේ එක්කෝ අඳුරට දෑස හුරුකරගැනීමට, නොඑසේ නම් හිත හදා ගන්නට ය. ඉන්පසු ඔහු කෙළින්ම යන්නේ එක් පොත් රාක්කයක් වෙතට ය. එහි තිබෙන ‘දුර ඈත දේශ’ නම් වූ පොතක් අතට ගන්නා ඔහු, එක පාදයක් රාක්කයේ යට තට්ටුව මත රඳවාගෙන, හිටගෙනම විනාඩි පහලවක් ඒ පොත කියවයි. මුලින්ම කඩයට ආ දිනයේ ඔහු පොත කියෙව්වේ සොරෙක් මෙනි. එදා ඔහු කියවන්නට වැය කළ තරම් ම වෙලාවක් වටපිට බලන්නට වැය කළේ ය. පොතේ විසිතුරු දම් පැහැති කවරයට ඉහළින් දිස් වුණු ඔහුගේ දෑස නොසන්සුන්ව, සුදු පැහැති ව පෙනිණි. ඔහුගේ කියවීම ගැන තමන්ට වගක් නැති බව පෙන්වීමට කෙල්ල ඔහු හා සිනා සී උරහිස් හැකිලුවා ය. 
“හොඳයි ද පොත?” පළමු දවසේ ඔහු සතයක් වත් වියදම් නොකර කඩයෙන් පිටතට ඇවිද යද්දී ඇය ඇසුවා ය. 
ඔහු දෑස බිමට යොමාගෙන ඈ ව පසුකරගෙන ගියා මිස පිළිතුරු ලෙස වචනයක් වත් කීවේ නැත. මහමඟට පිළිපන් ඔහු තමන්ගේ ටයි පටිය සකසාගෙන, වරාය පිසගෙන හමන දුගඳ සුළඟ නොවදින්නට කබායේ බොත්තම් පියවාගෙන යන්නට ගියේ ය. 
ඉන්පසුත් ඔහු නැවත නැවත පැමිණි නමුත් ඇය දෙස බැලුවේ වත් ඇය ව හඳුනන බවක් පෙන්වූයේ වත් නැත. මුදල් නොගෙවා කඩයේ විකුණන්නට ඇති පොතක් කියවන ඔහු පකිස්තානු කාරයෙක් දැයි ඇයට සැකයක් ඇති විය. ඇගේ පියා මේ සිද්ධිය දන්නේ නම් ඔහු ව පළවා හරිනු ඇත. අමුත්තාගේ කෝපි පාට දෑත පිරිසිදුවට පිළිවෙලට තිබිණි. ඔහුගේ ඇඳුම් කට්ටලය හොඳින් මසන ලද ඉස්තරම් වර්ගයේ එකක් විය. ඔහු ගිය පසු ඇය ‘දුර ඈත දේශ’ පොත පරීක්ෂා කළ විට දුටුවේ ඔහු තනි කළු කෙස් ගසකින් තමන් කියවමින් උන් පිටුව සලකුණු කර ගොස් ඇති බව ය. ඒ බව හැරෙන්නට ඒ පොත කියවන ලද බවක් බැලූ බැල්මට නම් නොපෙනිණි. එහි පසු පිටුවේ ‘මේ පොත කිසිදින ඉවර නොවේ යැයි ඔබ පතනු ඇත’ යැයි මුද්‍රිත ව තිබිණි. 
මෙසේ සති ගණන් ගත වෙද්දී ‘දුර ඈත දේශ’ තමනුත් කියවිය යුතුදැයි ඇය කල්පනා කරන්නට විය. තලඑළලු මිනිසා එය කියවීමෙන් මහත් ජවයක් ලබා ගන්නා බව ඔහු කඩයෙන් එලියට ගිය පසු සුළඟට එරෙහිව සිය කබාය බොත්තම් ලන අයුරෙන්ම පැහැදිලි ව පෙනිණි. එහෙත් එය පිටු බොහෝ ගණනක් ඇති පොතක් නිසාත්, ඇය පාසැල් වියෙන් පසු පොතක් කියවා නැති නිසාත්, එය කියවීම අනුන්ගේ කතාවක් හොරෙන් අසා සිටීමක් වැනි නොමනා දෙයක් බව දැනෙන නිසාත් ඇය ඉන් වැළකිණි. දැනට දිවා ආහාර විවේකයේදී ඔහු එනතුරු මඟ බලා සිටීමත්, ඔහු කඩය තුල සිටින විට ඔහු හා දැනෙන අමුතු මිතුරුකම විඳීම ත් ඇයට සෑහිනි. ඇයට තමන් යම් රහස් කුමන්ත්‍රණයක කොටස්කාරියක් බව දැනෙමින් තිබිණි. කෑම පැයේ දී කඩය තුළ ක්‍රියාත්මක වූයේ ඇගේ නීති ය. පොත කියවද්දී පොත් රාක්කයේ පහළ තට්ටුව මත රැඳවුණු ඔහුගේ ඔප දැමුණු සපත්තුවත්, විදුලි බුබුළු වල එලියට දිලිසුනු ඔහුගේ පහතට නැමුණු නළල ත් ඇයට මහත් සතුටක් ගෙන දුනි. 
ඇයට ක්‍රීඩාවන්ට සමත්කමක් තිබුණේ නැත. ඇය පොත්පත් කියවූයේ නැත. ඇයට පෙම්වතෙක් හිටියේ නැත. ඇතැම් දිනවල ඈ පාපැදියේ නැගී නගරයේ කෙලවර වෙත ගොස් අධිවේගී මාර්ගය දෙස බලා සිටින්නට පුරුදුව සිටියා ය. ඈ දවසින් දවස තව තවත් තර වන බවක් ඈට දැනෙමින් තිබිණි. වරාය දෙසින් හමන් දුගඳ ඇයට මහත් සේ අප්‍රසන්න ව තිබිණි. මෙතරම් කල් මෙහි විසූ තමන් වෙතින් ද ඒ ගඳ වහනය වේදැයි ඇය නිතරම කල්පනා කළා ය. 
පොත කියවීම හොඳින් කෙරීගෙන යනවාදැයි ඔහුගෙන අසන්නට ඇයට කිහිප වරක්ම සිතිනි. වරක් ඇයට ඔහු ලඟට ගොස් ඔහු ඒ පොත හොරෙන් කියවීම ගැන අසා අභියෝග කරන්නටත් ඔහු එය කියවන්නේ කුමකටදැයි අසන්නටත් සිතිණි. එහෙත් එසේ කරන්නට අසුනෙන් නැගිටිද්දී ම, මුව විවර කරද්දීම ඉන් සිදුවන්නේ ඔවුන් දෙදෙනාගේම දිවා විවේකය විනාශ කර දැමීමක් බව ඇයට වැටහිණි. කඩයට ආ පළමු දවසින් පසු ඔහු ඇය දෙස එක වරක්වත් නොබැලුවත්, ඔවුන් අතර කිසිම කතාබහක් සිදු නොවූවත්, ඔහු කිසිදින කඩෙන් යමක් මිළදී නොගත්තත්, ඔවුන් එකිනෙකා ව තේරුම් ගෙන සිටි බවක් මේසි ට වැටහිණි. මීට පෙර කිසි කෙනෙක් සමඟ මෙවැනි නිහඬ තෙරුම්ගැනීමක් ඇයට දැනී නොතිබිණි. 
දවසක් තලඑළලු මිනිසා පැමිණියේ ප්‍රමාද ව ය. ඒ වෙද්දී ඇගේ දෙමව්පියන් දිවා අහාරයෙන් පසු නැවත කඩයට පැමිණ තිබිණි. එය දැක ඇයට ඇගේ සිරුර සිරවෙන ගතියක් දැනිණි. ඔහු වගක් නොමැතිව කඩයේ කෙලවර පොත් රාක්කය වෙත ඇවිද ගියේ ය. ඇය හුස්මක්වත් නොගෙන බලා සිටියා ය. එහෙත් පොතට අත තියන්නත් පෙර ඔහුට ඇගේ මව රේඩියෝවට ඉහලින් ඔහු වෙත හෙලන බැල්ම දැනුණා සේ විය. ඔහු වහා වහා කඩයෙන් පිටව ගියේ ය. ඊළඟ දිනයේ ඔහු පැමිණියේ නියමිත වේලාවටම ය. 
දිනක් මීටත් වඩා බරපතල අර්බුදයක් ඇති විය. දිලිසෙන කබායක් හැඳ සිටි, රතු පැහැති පිම්බුණු මුහුණක් ඇති ගැහැනියක් ‘දුර ඈත දේශ’ පොත මිලදීගන්නට කවුන්ටරය වෙත රැගෙන ආවා ය. ඒ වෙලාවේ මේසි ගේ අම්මා කඩයෙන් පිටත පදික වේදිකාවේ සිට තෙමුණු පත්තර මිටි කඩය තුළට ඇදගෙන එමින් සිටියා ය. 
“සමාවෙන්න” කෙල්ල කීවා ය. “ඔය පොත වෙන්කරලා තියෙන්නේ”
“මොකක්? වෙන්කරලා? මේක පුස්තකාලයක් ද?” රතු මුහුණැති ගැහැණිය කෑගෑවා ය.
“ඒක ඇනවුමක්. සමාවෙන්න”
ඊළඟ දිනයේ දිවා විවේකය තෙක් ඒ පොත රඳවා ගැනීම කෙසේ හෝ කරගත යුතු යයි ඇයට දැනෙමින් තිබිණි. මෙවැනිම තවත් පොතක් නගරයෙන් ගෙන්වා ගැනීමට සති ගණනක් වැය වන්නට හැක. අමුත්තා නැතිව ගෙවෙන දිවා විවේකයන් ගැන සිතීම පවා ඇය තුළ මහත් බියක් ඇති කරන්නට සමත් විය. 
“ඒ ජාතියේ වෙන පොත් නැද්ද?” මහත ගැහැණිය මස් එල්ලෙන, මුදු පිරුණු ඇඟිලි ඇති අතක් කවුන්ටරය මත තබමින් ඇසුවා ය.
“කණගාටුයි වෙන නැහැ”
කළ යුත්තේ කුමක්දැයි සිතමින් ඒ ගැහැණිය මඳ වෙලාවක් එතැන ලතවුණු නමුත් අවසානයේ ඒ පොත කවුන්ටරයේ වීදුරුව මත දමා ගසා යන්නට ගියා ය. තමන්ට පිටුපා යන ඒ මහත සිරුර දකිද්දී මේසි ට බියක් දැනිණි. ‘මමත් ඒ වගෙයි’ ඇයට සිතෙන්නට විය. ඒ සිරුරේ මහත බවටත් වඩා යම් වැදගත් දෙයක අඩුපාඩුවක් මේසි ට කැපී පෙනෙන්නට විය. ඒ ගැහැණියට පොත වුවමනා ව තිබුණේ නැති බවත් තමන් හා ඇති කරගත් ඒ පුංචි රණ්ඩුව කම්මැලිකම දුරු කරගැනීමට කළ දෙයක් බවත් ඇයට වැටහිණි. 
අම්මා පත්තර මිටි කඩය තුලට ඇදගෙන එන අයුරු මේසි බලා සිටියා ය. තාත්තා කේන්තියෙන් නොන්ඩි කකුල විසිකරමින් එතැනින් ගියේ ය. එළියේ හිස් ග්‍රේහවුන්ඩ් බසයක් පිටත් වෙමින් තිබිණි. 
එදා රෑ කඩය වසා දමන්නට උදවු වෙද්දී මේසිට මෙතෙක් කල් නොදැනුණු අමුතුම දෙගිඩියාවක් දැනෙමින් තිබිණි. එහෙත් රාත්‍රී ආහාර වෙලාව වෙද්දී එය සමනය වී තිබුණු අතර ඇය පුටුවේම නින්ද යන තෙක් රූපවාහිනිය නැරඹුවා ය. 
පසු දින ඇයට මහත් වරදකාර බවක් දැනිණි. ඇයට යහළුවන් සිටියේ නැත. ඇයව රැක බලා ගත්තේ ඇගේ දෙමව්පියන් ය. ඒ කුඩා නගරයේ රැකියා සොයාගැනීම දුෂ්කර නිසා පාසැලින් ඉවත් වූ පසු ඔවුහු ඇයට රැකියාවක් දුන්නෝ ය. ඇතැම්විට ඇය හිතූ තරම් දේවල් අප්‍රසන්න නොවන්නට ඇත. 
පසු දිනත් සුපුරුදු ලෙස තලඑළලු මිනිසා කඩයට පැමිණියේය. ඔහු කියවන අයුරු බලා සිටි ඇයට ඔහු කඩවසම් නැති නමුත් ඔහුගේ පැහැය ප්‍රියමනාප බව සිතිණි. ඔහුගේ දත් පෙළ ඔප දැමූ හාල් ඇට සේ දිස් විය. ඔහු පිටුවක් පෙරලද්දී ඇයට තම මුවේ නිරායාසයෙන් සිනහවක් නැඟෙනු දැනිණි. ඔහු ඒ ශබ්ද නැඟෙන සේ පිටු පෙරළන්නේ අමුතු උනන්දුවකින් ද? ඇයට මේ දැනෙමින් තිබෙන්නේ සතුට බව ඇයට ඒකාන්තයෙන්ම වැටහිණි. සතුට නම් මෙයයි, වෙන කිසි දෙයක් නොවේ.
කඩය හිස් ව තිබිණි. කඩයේ සිටියේ ‘දුර ඈත දේශ’ කියවන තලඑළලු මිනිසාත් ඔහු දෙස එළිපිටම එබී බලන ඇය ත් පමණි. ඔවුන් අතර තිබුණේ විසිතුරු ව දිලිසෙන පොත් කවර දහසක් පමණි. ‘ඔහුත් සතුටින්’ ඔහු තවත් පිටුවක් පෙරලනු බලා සිටි ඇයට සිතිණි. 
ඇය බලා සිටිද්දී කෝපි පාට මිනිසා පොතේ අන්තිම පිටුව පෙරලුවේ ය. ඇයගේ උගුර සිරවෙනු සහ හදවත නතර වෙනු ඇයට දැනිණි. ඔහු සුසුමක් හෙලනු ඇයට ඇසිනි. ඔහු පොත වසා නැවත රාක්කය මත තබනු ඇයට පෙනිණි. ඔහු කවුන්ටරය වෙත එමින් සිටියේ ය. 
ඔහු සිනාසෙද්දී ඔහුගේ කුඩා දසන් පැහැදිලිව දිස් විය. 
“ස්තුතියි” ඔහු කීය. 
ඇය මුව විවර කළත් කිසිවක් කීවේ නැත. 
“මේ බස් එක‍ට” ඔහු මුදල් නෝට්ටුවක් ඇගේ අත්ලත තැබුවේ ය. “යන්නම්” 
‘තඩි මේසි’ යන විසුළු නම ලැබූ කෙල්ල ඔහු යන අයුරු බලා සිටියා ය. ඔහු මහමඟට ගොස් වරාය දෙසින් හමන සුළඟ නොවදින්න කොලරය ඔසවාගෙන යන්නට ගියේ ය. 
මොහොතකට පසු ඇය කඩයේ කෙළවර වෙත ඇවිද ගියා ය. ඇගේ සිතිවිලි කැළඹී, පටලැවී තිබිණි. ‘දුර ඈත දේශ’ රාක්කය මත තිබුණි. එහි තිබුණු කළු කෙස් ගස ඇය ඇහින්දා ය. එය තම ඇඟිල්ල වටා එතූ විට ලේ ගමන නවතා ඇඟිල්ල නිල් පැහැයට හරවන්නට තරම් එය සවිමත් විය. රාක්කයට පිටුපා සිටි ඇයගෙන් කෙඳිරියක් නික්මිණි. ඔහු දුන් ඩොලර් පනහේ නෝට්ටුව අලුත්ම එකක් විය. ඇය එය තම තනපට තුළ රඳවාගෙන රාක්කය ට හේත්තු වී දොර දෙස බලා සිටියා ය. ඇය හුස්ම ගනිද්දී තනපට තුළ ඇති මුදල් නොට්ටුවෙන් විදුලියක් වැනි ශබ්දයක් නිකුත් විය. 
ඇයට ඇගේ දෙමව්පියන් දොරකඩදී මුණගැසිනි. සැකයෙන් ඔවුන්ගේ මුහුණු අඳුරු වන හැටි ඇයට පෙනිණි. ඇය සෙමෙන් දිලිසෙමින් සිටියා ය. 
photo- Eureka books

%d bloggers like this: