Menu Close

222. සුහදිනියේ – 25 | තීක්ෂණ අන්ත දෙකකට මැදිව

කලින් කොටසට 

එකිනෙකා දෙස බලන්නට නොහැකිව මමත් මධුලිකාත් සේවිකාව හරහා සන්නිවේදනය කරගතිමු. මගේ අවසන් දැනුම් දීමට අනුව මධුලිකා හැඩීම නතරකොට උදෑසන ආහාරය ගෙන තිබුණි. මම තාරුක අයියා සම්බන්ධ කරගන්නට සෑහෙන උත්සහ කලද එය ව්‍යර්ථ විය.

දුරකථනය ආරෝපණය ගැනීම සඳහා විදුලියට සම්බන්ධ කරනවාත් සමඟම සුන්දර් මා ඇමතුවේය. මම වහා පිළිතුරු සැපයුවෙමි.

“සුන්දර්.. කියන්න!”

“සර්… අර මිනිස්සු ටික ගියා… මගේ ෆෝන් එක වැඩකලේ නැහැනේ…”

“අයියෝ සුන්දර් මම සෑහෙන්න ට්‍රයි කළා ඔයාව කන්ටැක්ට් කරගන්න. දැන් කොහෙද ඉන්නේ?”

“ෆෝන් එක හදාගන්න ටවුමට ආව සර්.”

“මම හිතන්නේ…. “

මැරයින් මෙහෙ පැමිණ ඇතිවග මම ඔහුට කියන්නට සිතු දේ මම අතරමගදී වෙනස් කරගත්තේ ඇයිදැයි මම අදටත් නොදන්නෙමි.

“…….. නෑ ඒක නෙවෙයි… එතන කොර ගහන මිනිහෙක් හිටියද?


“ඔව්… පොඩි නොන්ඩියක් තිබ්බ කෙට්ටු මනුස්සයෙක් හිටියා. වපර මනුස්සයෙකුත් හිටියා.. උන් ඊයේ දවල් ගියා.. මට සර්ට පණිවිඩයක් දීගන්න බැරුව හිටියේ”

මගේ අනුමානය නිවැරදිය. එසේ නම් මධුලිකා පැහැරගන්නට යොදාගන්නට සිටි මිනිසුන් ඈ හරියටම ඉන්නා තැන හඳුනාගන්නා තුරු සිට ඇත්තේ වත්තෙහිය. මෙයට තාත්තාගේ සෘජු සම්බන්ධයක් ඇති බවට අකමැත්තෙන් වුවද මට පිළිගන්නට සිදුවී තිබේ.

“….සර් දන්නේ කොහොමද?”

මගේ වචනය සිරවී මම එකවරම නිරුත්තර වීමි.

“තාත්තා එහෙම මනුස්සයෙක් ගැන කියනවා මම අහගෙන..”

එවර සුන්දර් ගොළුව ගියේය. මමත් මද වෙලාවක් කුමක් කියන්නද කියා සිතමින් සිටියෙමි.

“සර් මෙහෙ එනවද ලඟදි?”

“එන්නත් ඕනේ… මේ සතියේ නම් බැරිවෙයි.”

“ලොකු සර්ට කලින් එකපාරක් ඇවිත් ගියොත් හොඳයි..”

ඒ ඉල්ලීමෙහි අමුත්තක් හෝ වෙනසක් මම නොදුටු බැවින් එය නොසලකා හැරියෙමි.

අනතුරුව වත්තේ සාමාන්‍ය කතාබහෙන් පසුව සුන්දර් ඇමතුම නිමකළේය. මම කල්පනාවට වැටුනෙමි. මධුලිකා සමඟ යායුත්තේ කොහිද? තුවාන් අයියා උපකාර කරන්නට ඉදිරිපත් වුවද ඔහුට කරදර කිරීමට මම වැඩි මනාපයක් නොවීය. කවුරුන් වුවද මධුලිකා මම නොදන්නා තැනක නැවත්වීමට මගේ කිසිදු කැමැත්තක් නොවීමත් ඊට බලපාන්නට ඇත.

දුරකථනය ආරෝපණය වන්නට තබා මම මධුලිකාත් සේවිකාවත් සිටින දෙසට සෙමෙන් ඇවිද යද්දී, ඇඳේ වැතිර සිටින සේවිකාවත්, ඒ අසල යම් කලබලයකින් සිටින හෙදියක් සහ මධුලිකාත් දුටුවෙමි.

“ඇයි මොකද? මොකද වෙලා තියෙන්නේ?”

“අනේ බලන්නකෝ තීක්ෂණ.. නැන්දට පපුව ටිකක් රිදෙනවාලු… “

මධුලිකා මා දුටු සැනින් මගේ අතේ එල්ලුනාය. ඈ බියට පත්වී ඇති සැටියකි.

“අපි ඉකෝ එකක් ගම්මු… නර්ස් ඉක්මනට අරගෙන යන්න ලැබ් එකට”

පමණක මැදිවියේ උන් ජේෂ්ඨ යයි සිතිය හැකි හෙදියක් මෙහෙකාරිය ට්‍රොලිය සමඟින් හෙදියක් සමඟ පිටත්කොට හැරියාය. මධුලිකා මගේ උරහිසට වාරුවන්නට මෙන් සැරසෙනු දුටු මම ඈ දෙස බැලුවෙමි. ඇය සිහිසුන්ව වැටෙද්දී මම සැනෙකින් ඔසවා ගත්තෙමි.

“ආ… නේ…. මේ මිස්ට මොකද මේ? “

ඉතිරි හෙදියක් මධුලිකා වත්තම් කොට ගනිද්දී මම මධුලිකා වහා ඇඳක හාන්සි කරවීමි. ඇගේ සිහිසුන්වීමේ ඉතිහාසය යම් පමණකට දන්නා මම හෙදියන්ට සේවිකාවගේ සාත්තුව සඳහා පිටත්කොට හැරියෙමි.

සිහි මද ගතියෙන් උන් මධුලිකා දෙස මම නොදැන හෝ සෑහෙන වෙලාවක් බලා සිටින්නට ඇත. මෙතෙක් මට සිටි පෙම්වතියන් මෙන් කිරිපාට සමක් නොලද එකම තැනැත්තිය ඇයයි. නමුත් ඈ තුල මම නොදුටු රුමත්කමක් මට පෙනෙන්නට පටන්ගත්තේ මෑතක සිට වීම පුදුමයකි. ඇගේ ආඩම්බරකම බිඳින්නට ඈ හා බැඳෙන්නට අවැසිව සිටියා මිස ; ඇගේ ඒ රුමත්කම මගේ ඇස නොගැටුනාද? රාගික උල්පතක් ලෙස මිස කිසිවිටෙක ඈ වෙනත් ලෙසකට මට නොපෙනුනාද? ඇය සැබෑ ලෙසම සරාගී තරුණියකි. එය සනාථ කරන්නට ඒ දිනවල අප ශ්‍රේණියේ පිරිමි ළමුන්ගේ ඈ ගැන කෙරුණු කතාබහ හොඳටම ප්‍රමාණවත්ය.

එදා සිට අද වනවිට මම වෙනස් වී ඇති තරම!

මගේ සිත තුල වසන අසංවර පිරිමියා විසින් මා ආක්‍රමණය කොට තිබිණි. මම ඒ ක්ෂණයෙන් ඈගේ වම් කම්මුල සිපගත්තෙමි. මධුලිකාට සිහිය පැමිණියේ ඒ මොහොතේය. මම සොරාගත් සිපුම සමඟ මැඩගත් හැඟීමෙන් සහ ජයග්‍රාහි සිතින් ඇගෙන් මෑත්ව සිටියෙමි. මෙවැන්නක් කල පළමු වතාව මෙය නොවේ! මම උන්මන්තකයෙකැයි විටෙක මටම සිතුනි. මෙවන් මොහොතක එවන් දෙයක් කරන්නට සිතන්නේ වෙන කවරෙක්ද? හෙදියක් එතැනට පැමිණියෙන් මම මධුලිකාගේ හිස ආසන්නයේ සිටගත්තෙමි.

“හරිද මිස්… අනේ.. ෆේන්ට් උනා නේද? මිස්ට වතුර ටිකක් දෙන්නද?”

එය අනුමත කල මධුලිකාට හෙදිය විසින් ෆිල්ටරයෙන් වතුර කෝප්පයක් ලබාදුන්නාය. මධුලිකා වත්තන්කොට ඇයට වතුර පොවන්නට මට සිදුවිය. හෙදිය සිනාසෙන ගමන් අප දෙස බලමින් වෙනත් වැඩක නිතරවන්නීය.

“ඇයි මිස් ෆේන්ට් උනේ?”

මධුලිකා බියවී මෙන් මා දෙස බැලුවාය. මම ඇගේ අතින් හිස් වීදුරුව ගෙන නිරායාසයෙන් මෙන් ඈට ලංව සිටගත්තෙමි. කුමන මොහොතක වුවද ඇගෙන් හමන ඒ විලවුන් සුවඳ මා මත්කරන බව නොරහසකි.

“මෙයාට පොඩ්ඩ ඇත්තම් කලන්තේ… මොකද නැන්දට දැන්?”

හෙදියගේ සිනහ මුහුණ තරමක් අඩුවිය.

“එකෝ එක එතරම් හොඳ නැහැ වගේ සර්…. ඇටැක් එකක් වගෙයි..”

මට තරු පෙනුනි. මම මධුලිකා එතැන රඳවා ඉක්මනින් සේවිකාව සිටින කොටසට ඇවිද  ගියෙමි. සියල්ලන්ගේම මුහුණු බැරෑරුම් වූ පෙනුමක් වූ අතර එතැන උන් ජේෂ්ඨ හෙදිය මා දෙස බලා මා කැඳවුවාය.

“මේ කවුද සර්ගේ?”

“හ්ම්ම්… අපේ සර්වන්ට්.. ඇයි මිස්?”

“මෙයාට ඇටැක් එකක් ; මයිල්ඩ් එකක් ; ඇවිත් තියෙනවා. වෙලාවට මෙහෙ හිටියේ. මම ඩොක්ටට කියන්නම්.. සර්ට පොඩ්ඩක් කතාකරන්න පුළුවන් නේ ඩොක්ටර් එක්ක?”

මගේ කකුල් දෙක අප්‍රාණික වනවා සේ දැනුනි.

ඉන් හෝරාවකට පමණ පසුව පැමිණ පරික්ෂා කල බැලූ තුවාන් අයියා කියා සිටියේ ඇයට සතියක පමණ ඇඳ විවේකයක් අවශ්‍ය බවකි. මා සතුව විකල්පයක් තිබුනේ නැත. තවදුරටත් නොසිතු මම සේවිකාව මෙහි නවතා මධුලිකා රැගෙනයාමට තීරණය කලෙමි. කොතැනක සිටියද මධුලිකා සමඟ ඉක්මන් තීරණයකට එළඹීම කලයුතු දෙයක්ව පැවතුනි.

තුවාන් අයියා සමඟ මම සේවිකාවගේ සෞඛ්‍ය ගැන කතාබහකොට පැමිණෙන විට ඈතින් මම දුටුවේ මධුලිකා දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන අයුරකි. මම එනු ඈතින් දකින ඈ එම ඇමතුම විසන්ධි කල බව මගේ උකුසු ඇසට නිරීක්ෂණය වුවද, මම කිසිවක් පැවසුවේ නැත.

“මධු…. අපි නැන්දා මෙහෙ තියලා යනවා. ඔයාව මෙහෙ තියන්න මට බැහැ… අනික..”

මගේ දුරකථනය නාදවිය. තාරුක අයියාය. මම වහා ඇමතුමට පිළිතුරු දෙමින් උන් තැනින් ඉවත්ව ගියෙමි.

“තාරුක මචං…! මාර වැඩේ!!”

මම අනතුරුව සිදුවූ සියල්ල සංක්ෂිප්තව ඔහුට විස්තර කලෙමි. තාරුක අයියා බාධාවකින් තොරව සියල්ල අසා සිටියේය.

“ඒ අස්සේ සර්වන්ට් ගෑනි අසනීප උනානේ.. දැන් ඉන්නේ තුවාන් අයියාගේමෙඩිකල් සෙන්ටර් එකේ… “

“හ්ම්ම්.. මට පොඩි අවුලක් තියෙනවා උඹේ ඔය කතාව ඇහුවම..”

“ඔව් බන්.. උඹට විතරක් නෙවෙයි මටත් පොඩි නෙවෙයි ලොකු අවුලක් තියෙනවා… ඩඩා මේකට ගෑවිච්ච එක තමයි පලවෙනි සහ ලොකුම අවුල… වෙන එකෙක් උනා නම් මම කෙලින්ම ගේම ඉල්ලන්නේ..”

“නෑ බං … ඒක නෙවෙයි….”

“එහෙනම්?”

“දැන් උඹ ඔය කියන මැරයෝ දෙන්නා හරි තුන්දෙනා හරි අංකල්ගේ දැනුවත්කම ඇතුව ආව නම්.. එක්කෝ උන් අංකල් ගෙනිහින් බැස්සුවා නම්… අංකල් දන්නවනේ ඒ අපාර්ට්මන්ට් එකේ ගෙයක් තියෙනවා කියලා අංකල්ට… කෙලින්ම ඇතුලට යන්න පුළුවන්නේ”

මගේ හිස තුල යම් එළියක් දැල්වෙනවා සේ දැනුනි. එය සත්‍යකි. තාත්තාට ඇතුල්වීමට බාධාවක් නොවෙන බැවින් ඔවුන් ඇතුලට ගෙනයාම ලෙහෙසියන් කරගත හැකිව තිබුණි. තාත්තාගේ වාහනය මම දුටුවේ නැත. එසේනම් ඔවුන්ගේ ඒ ක්‍රියාන්විතය සිදුවුයේ තාත්තා නොදැනුවත්වද? තාත්තා එතරම් නොසැලකිලිමත් ; මුග්ධ පුද්ගලයෙකු නොවන බව මට හොඳාකාරවම විශ්වාසය. ඔහුගේ දැනුවත්කමක් ඇතිනම් තාරුක අයියා කියන පරිදි ඔවුනට ඇතුල්වීමට බාධාවක් නොවන පරිදි සියල්ල ඔහුට කලහැකිය.

“ඔව්… ඒකත් ඇත්ත තමයි මචන්.. මට හිතාගන්න බැහැ ඩඩා මේ ගැන දන්නේ නැතුවද කියල.”

“වෙලාවේ හැටියට උඹ කෝකටත් කල්පනාවෙන් හිටපන්… මම උසාවියට යන්නේ නැහැ හෙට, අපි හෙට මොකක් හරි ප්ලෑන් එකක් ගහමු.. මොකද්ද උඹේ යාළුවගේ ආරංචි?”

“හ්ම්ම්.. එහෙම මුකුත් නැහැ… ඌ කිව්වා මධුලිකාට කතාකලා කියලා. නමුත් මධුලිකා මුකුත් කිව්වේ නැහැ මට”

“උඹ වගේ තමයි ඒ කෙල්ලත්..”

“ඇයි එහෙම කියන්නේ?”

“ආ… හරි ඒකෙන් වැඩක් නැහැ… දැන් උඹ මොකද්ද කරන්න ඉන්නේ?”

“මධූව මෙහෙ තියන්න බැහැ… තුවාන්ගේ ගෙදර එන්න කිව්වා උනාට, මම එහෙ දන්නෙත් නැහැ.. කවුරු ඉන්නවද කියලත් ෂුවර් නැහැනේ… දවස් කීපයක් යනකල් මොකක් හරි ගැටයක් ගහගන්න වෙනවා”

මම එසේ කිවේ ඇයිදැයි මම නොදනිමි. මධුලිකා ඒ වනවිට ගෙනයා යුත්තේ කොහිදැයි මගේ සිත තුල මම යමක් සිතාගෙන සිටි නිසාද කියන්නට මටම අවබෝධයක් නැත.

*************************************

මධුලිකා බියෙන් මෙන් මා දෙස බැලුවාය. මම ඈ දෙස බලා සිටියේ නළල රැලි කරගනිමිනි.

“ම්ම්ම්…. මේක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ මේ වෙලාවේ හැටියට”

මධුලිකා බිම බලාගත්තාය. ඇයට මේ මොහොතේ සිතෙන්නේ කුමක්දැයි ඇගේ සිත තුලට වැද බලන්නට ඇතිනම් කියා සිතේ. ඈ මා පිළිකුල් කරනවාද? මට බියද? මා කරදරයක් ලෙස පෙනෙනවාද? කපටි දුෂ්ඨයෙක් ලෙස පෙනෙනවාද? ඒ සියල්ලටම වඩා සල්ලාල අවස්තාවදියෙක් ලෙස දකිනවාද?

මගේ උපදෙස් පරිදි ඈ වාහනයේ පසුපස ආසනයේ බිම දිගාවී සිටියදී මම කාර් රථය ගේට්ටුවෙන් ඇතුල්කලෙමි. මුරකරු මා දෙස බලා බයාදු සිනහවක් පෑවේය. ඒ ඔහුගේ ගේට්ටුව විවෘත කිරීමට ඇති ප්‍රමාදය නිසා වෙනදා මෙන් මම කෝපයෙන් ගුගුරනු ඇතිය සිතමින් විය යුතුය. මට දැන් එහෙම කෝපයක් නොනැගෙන්නේ කවර කරුණක් නිසාදැයි මම නොදනිමි.

මම වාහනය වාහන ගාල් කරන ස්ථානයේ ඇතුල්ම කෙලවරට රිවස්කොට බිමට බැස්සේ මධුලිකා එහි සිටියදීය. කලින් ඇමතුමක් දෙන විටදී ස්ථිර කරගත් පරිදි අම්මාත්, තාත්තාත් දෙදෙනාම නිවසේ නැති බව දැනගත්තද, මම නැවතත් එය ස්ථිර කරගත්තෙමි.

වහා කාමරයට ගොස් යන්තම් ඇඳ සහ නානකාමරය යම් පමණකට පිළිවෙලකට සැකසුවේ මධුලිකා මම අපිරිසිඳු , අපිළිවෙල ලෙස දකිනවාට ඇති ලැජ්ජාව නිසාය. ඉන්පසු මම මධුලිකා වහා බැල්කනියේ හොර පාර දිගේ ඉක්මනින් ඉහල මාලයට ගෙන්වා ගතිමි. මල්ලි ; සුදම් ඒ වනවිට නොසිටි බැවින් මධුලිකා මගේ කාමරයට පැමිණෙනතුරු කිසිදු බාධාවක් සිදුවුයේ නැත.

කාමරයට වැදී දොර අගුලු දාගත් පසුව මම මධුලිකා දෙස හැරී බැලුවෙමි. ඈ කාමරය මධ්‍යයේ සිටගෙන උන්නාය.

“හ්ම්ම්.. මේක තමයි ඉතින්!”

“හ්ම්ම්.. ඒක තමයි…”

මධුලිකාත් මමත් එකිනෙකාට කෘතීම සිනහවල් පාමින් සාමාන්‍ය වන්නට උත්සහ කළෙමු.

“කාර් එකේ ‘කී’ එක මගේ ළඟ නිසා ඩොකියුමන්ට්ස් ටික දැනට ඒකෙ තිබුනාවේ. අපි රෑ වෙලා ගිහින් ගම්මු…”

මධුලිකා හිස සැලුවාය.

“… බඩගිනිද?”

මධුලිකා නැහැ කියන්නට මෙන් හිස දෙපසට සැලුවාය.

“… හ්ම්ම් එහෙනම්.. හ්ම්… ගෙදර වගේ ඉන්න… වොෂ් එකක් දාගන්නවද?”

උදෑසන සිට තිබුණු කලබලය නිසා මම හරිහැටි මුහුණ සෝදා නොතිබිණි. මගෙන් අප්‍රසන්න දුර්ගන්ධයක් වහනය වනවාදැයි මගේ සිත මට වද දෙන්නට විය.

මධුලිකා ‘හා’ කියන්නට හිස දෙපසට වැනුවාය. මම ඇයට තුවායක් සහ මගේ කොට කලිසමක් සහ කමිසයක් ලබාදුන්නෙමි. මධුලිකා එයත් සමඟ නානකාමරයට වැදුනාය. මගේ  හුස්ම යම් පමණකට  හෙලුනේ ඒ මොහොතේය.

මම හුස්ම අල්වාගෙන සිටින්නේ කුමකටද?

මගේ සිතගත් තරුණියක් සමඟ මම මගේ නිදන කාමරය තුලය! ඊටත් ඈ තුල ඇති මගේ ආකර්ෂණය තීව්‍රව පවතී!! ඒ සියල්ලටම වඩා ඈ මගේ බිරිඳයි!!!

මධුලිකාගේ සිත තුල මා කෙරෙහි යම් පමණකට කැමැත්තක් ඇති බව මට වැටහී තිබිණ. නමුත් එය ඇගේ ආරක්ෂාකාරී ආවරණයක් ලෙස භාවිත කරන බවත් තේරුම් යන සිදුවීම් කිහිපයක් සිදුවුවා මතකය.

‘ඉතින් මම නෙවෙයිනේ බඳිමු කිව්වේ.. කෙල්ලනේ!’

මට චෝදනාව ඈ දෙසට එල්ල කලෙමි. සත්‍ය වශයෙන්ම මම ඇගේ ඒ තීරණය මමත් විරංගත් අතර ඇතිවූ තෝරාගැනීමක් බව සැමවිටම විශ්වාස කලෙමි. ඈට ඒ මොහොත වනවිට මොන සල්ලාලයෙක් සිටියද එයම කරන්නට ඉඩ තිබුනාද කියා ඇසුවොත් එයට මට පිළිතුරක් නොමැති බව සැබෑවකි. නමුත් ඉවත්කළ නොහැකි කහට පැල්ලමක් සේ එම මතය මගේ සිතෙන් වෙන්ව නොයයි. විරංග කෙරෙහි ඈ තුල ඇල්මක් නොමැති නම්, මමත් විරංගත් සිටින මොහොතවල් වලදී ඇය විරංගට මට වඩා සමීප බවක් මට හැඟෙන්නේ මා සතු ඉරිසියාකාර පිරිමියාද?

විවාහ වන්නට යෝජනා කලේ, ප්‍රේමයක් හෝ වෙනත් ගෘන්ගාරාත්මක බලවේගයක් නිසා නොවන්නට මට හේතු සොයාගැනීම අපහසු නොවේ. මුලදී වැටෙන්නට ගිය ඈ ස්පර්ශ කරනවාට හෝ තදබල විරෝධයක් පෑ ඇය , විරංග නොමැති විට පමණක් මා මත යැපෙන්නට ඇත. මා තුල ඇති අසික්කිත, අසංවර සිතුවිලි ඈ දන්නේ නම් තත්පරයක් හෝ ඒ දිනවල මා සමඟ නොරදෙන බව දන්නා හෙයින් ඒ ගැන මගේ සිතෙහි අමුතු හැඟීමක් නැත. චාපා සමඟ මගේ සම්බන්ධය දැනසිටි හෙයින් ඈ මා වඩා ආරක්‍ෂිත ලෙස සිතන්නට ඇත. වඩාත් සිත් රිදවන කාරණාව නම්, මගේ සිතේ ඈ කෙරෙහි ඇති හැඟීම මට පවා විස්තර කල නොහැකි පටලැවිල්ලක් වීමයි.

ප්‍රේමය, ආදරය ගැන නොයෙකුත් සංවේදී ; හදවත කීරී ගසන බොළඳ දේ මම කිසිදිනෙක විශ්වාස නොකලෙමි. ඒ සියල්ල මට හුදු ආකර්ෂණය තුලින් එළඹ විඳිය යුත්තක් මිස , නහර වලට ; රුධිරයට බද්ධව කිසිදිනෙක දැනී නැත. තරුණියකගෙන් පල ප්‍රයෝජනයක් නැති නම් හෝ ප්‍රයෝජනය අවසන් වීමෙන් ,හිස්කළ යෝගට් කෝප්පයක් සේ සිතනවා විනා තරුණියක් වෙනුවෙන් කැපකෙරුණු අවස්තාවක් මට නොවුනි.

කොතරම් හදවත් නැත්තෙක්ද මම?

එබැවින්, මෙය මට ලැබුණු දඬුවමක් විය හැකිය. දඬුවම විඳිනවා යනු, මගේ විඳවීම නම් මට ඇත්තේ තවදුරටත් හදවත් නැත්තෙකු සේ ඉතිරි කාලයද ගෙවා දමා මධුලිකා ආරක්‍ෂිත කිරීමෙන් මෙය සරලව අවසන් කිරීම නොවේද? නමුත් මම මේ කරන්නේ දිනෙන් දින ඈ මා අසලම රඳවා තබාගන්නා ප්‍රයෝගයක්ද? මාගේ යටිසිත දක්වන එම ප්‍රයෝගය තුලින් රැවටෙන්නේ කවුරුන්ද? නැතිනම් මෙය මායාවක්ද? පිබිදිය යුතු සිහිනයක්ද?

මම කාමරයේ ඔබ මොබ ඇවිදමින් මම සමඟම සටන් කලෙමි.

නාන කාමරයේ දොරගුළු හැරෙනු ඇසුනි. මම ඉන් තිගැස්සුනෙමි. මධුලිකා මම දුන් මගේ ඇඳුම හැඳ ඉන් එලියට එද්දී මට සිනහව වලක්වා ගැනීමට හැකිය. කමිසය ඇයගේ දනිස්සට ඉහළිනි.

ඒ දෙස නොබලන්නට මම ඉටා ගත්තද, මම යනු එතරම් පාලනයක් ඇති සත්වයෙක් නොවේ. එබැවින් මම මධුලිකාට පිටුපා අල්මාරිය තුල ඇඳුම් සොයමින් මිඩංගු කලෙමි. මධුලිකා සුවඳ විහිදුවමින් මා පසුකොට ගියාය. ඈ මම දුන් කලිසම ඇඳ සිටියේ නැතිද? නැතිනම් කමිසය එතරම් කොටට පෙනුනේ? නැවත බලා ස්ථිර කරගන්නද? මම ගැල්වුවාට ඒ සබන් ඔතරම් සුවඳක් විහිදුවන්නේ නැත්තේ ඇයි?

මගේ හිස කම්මලකි!

මධුලිකා කාමරයේ ඔබ මොබ ගමන් කරන්නී, මට ඈතිනි. එසේ නොමැති නම් එය මට දැනෙන සැටිය. මම අල්මාරියේ මගේ ඇඳුම් අදින්නට වුයේ අරමුණකින් නොවේ. ඇඳුම් ගුලියක් ඒ සැනින් බමට පතිතව ගියේය. එය වෙත නැමුණු මට පෙනුනේ මධුලිකා මට වම්පසින් සිටගෙන සිටින අයුරුය; ඇගේ බාධාකාරී දෙපා පමණකි මම දුටුවේ.

“කෝ ඉන්න මම අස්කරලා දෙන්නම්.. ඔයා වොෂ් දාගන්න”

ඒ සැනින් මම අතට හසුවූ දෙයක්ද රැගෙන නානකාමරයට වැදුනෙමි.

‘මේ මොන විකාරයක්ද? මම කෙල්ලෙක් දැකල නැතුවද?’

‘ඒ උනාට මේ ඉන්නේ උඹේ හිත ගියපු කෙල්ලනේ…’

‘ඒ උනාට මට ඒකි කැමති නැහැනේ’

‘උඹ ඇහුවද අකමැතිද කියල?’

‘ඇහුවේ නම් නැහැ තමයි. ඒ උනාට කැමති නැහැ තමයි. නැතිනම් ඔහොම නෙවෙයිනේ’

‘උඹ කියන්නේ අර චාපා වගේ එකපාරට ඇඟට පනී කියලද? හීනෙන් තමයි. මේ කෙල්ල එහෙම කෙනෙක් නෙවෙයි… ‘

‘ඇඟට පනී අර වගේ හුරන්න නම්!’

‘බොරු උපාසක කෙල්ලොන්ට මම කොහොමත් කැමති නැහැනේ… චාපා ඒ අතින් ඕපන්.. මේවා මල විකාර!’

‘ඕපන් කියන්නේ ඒකද ? ඇයි දවසක් කෙල්ල කිව්වේ විරංග එක්ක එහෙම එකක් නැහැ කියල… එතකොට අර ලාච්චුවේ තිබ්බ උඹේ පින්තුරේ??’

මගේ සිත එවර නතරවිය. ඇත්තටම ඈගේ මේස ලාච්චුවේ මගේ පින්තුරයක් තිබුණි. එය තිබුනේ මම නිදා සිටින ඉරියව්වක බව යන්තමට මතකයට නගාගත හැකිය. එය කවදා ; කා විසින් ; කුමක් සඳහා ගනු ලැබුණු එකක්ද? මම නිදාසිටින ඉරියව්වක් ඇය දකින්නට ඉඩක් ඇත. නමුත් එය පින්තුරයට නගන්නට නම් ඈ මා ‘බ්ලැක් මේල්’ කරනවා වත්ද?

වතුර මල යටට වී කොතරම් කල්පනා කලද, මට සිහියට නගාගත හැකි යමක් නොපෙනුණි. මම අවසිහියෙන් නිවසට ආ දින එසේ වන්නට ඇත. නමුත් එය පින්තුරයකට ගන්නට ඇති උවමනාව? මධුලිකා මම සිතනවාට වඩා සුක්ෂම තරුණියක බව මට සිතුනු වාර තිබිණි. ඇය මා අනතුරක හෙලනවාද? වෙන කවුරු හෝ හට ඈ තොරතුරු දෙනවාද?

නාන කාමරයේ බල්බය දෙවරක් නිවී දැල්වුණි. මම වතුරමල නතරකලෙමි. නිශ්ශබ්දතාවය අතරින් කාමරයේ දොරට තට්ටු කරන හඬක් ඇසේ. තරු පෙනුණු මම තෙත පිටින්ම එලියට පැන්නේ තුවාය ඉන දවටමිනි.

එලියට පැමිණි විට මධුලිකා බියපත්ව ගල්ගැසී සිටිනවා දැකීමෙන් ,මට සිහි වුනේ මට නෑවිත් පිළිතුරු දෙන්නට තිබුණු වග.

“ඇයි ??”

“බේබි….. නෝනගේ යාලුවෙක් ඇවිත් ඉන්නවා බේබි…”

මැණිකා දොර අසල සිට කෑගසා කියනු ඇසුනි. මට මධුලිකා දෙස බැලුණි. මගේ විකාර පෙනුමෙන් ඈ තුෂ්නිම්භූතව උන්නාය.

“අ.. අ.. කවුද? නමක් නැද්ද? මම මේ.. මේ.. බාත් රූම් එකේ ඉන්නේ…”

“කලින් ඇවිත් නැහැ බේබි.. නෝනගේ යාලුවෙක්ලු… “

“ආ.. හරි හරි.. වාඩිවෙන්න කියන්න.. අම්මට කෝල් කරන්න.. මම එන්නම්”

මම වතුර විසිරුවමින් නැවත නානකාමරයට පැමිණියෙමි.

කුමක් හෝ හේතුවකට පැමිණි , නොදුටු අමුත්තන් කෙරෙහි මගේ සිත තුල අමනාපයක් ඇතිවිය. ඒ ඇයිදැයි මම නොදනිමි. ඉක්මනින් නෑම නිමකලද, දෙතුන් වරක් සබන් සුවඳ, ෂැම්පු සුවඳ පරික්ෂා කරන්නට මම කාලය මැරුවෙමි. තවත් විනාඩියක් පමණ දොර අසල තාවර වීමෙන් අනතුරුව මම දොර හැරගෙන එලියට එද්දී මගේ මේසය අසල සිට මධුලිකා ගැස්සී මෑත් වනවා මට පෙනුනි.

“ඔතන නැහැ ඔයාගේ පින්තුර…. ලාච්චුවේ බලන්න”

මම මධුලිකා දෙස හොරැහින් බලමින් කියා තුවාය සෝදන රෙදි ගොඩට විසි කලෙමි. හිස මත ඇති යන්තම් තෙත් ගතිය ගසා යවමින් මම කණ්නාඩි මේසය ඉදිරියේ සිටගෙන සිටියෙමි. ඈ සිටින්නේ මට පිටුපසිනි. කණ්නාඩියේ පසෙකින් මධුලිකාගේ ප්‍රතිබිම්භයක් පෙනේ. මම නෑමෙන් පසුව යොදන විලවුන් ආලේප කරගත්තෙමි.

“…. මම ඒක හරියට දැක්කේ නැහැ.. මොකද්ද ඒ පින්තුරේ?”

මම මධුලිකා දෙස බැලුවේ දර්පනයේ ආධාරයෙනි. එසේ වුවද ඇගේ නෙත්වල ඇති ලැජ්ජාශීලි කාන්තිය මට හොඳින් හඳුනා ගත හැකිය.

මගේ සිත ඇවිලෙයි.

“ඒක ඔයාට වැඩක් නෑනේ!”

සුපුරුදු ආරක්ෂාකාරී ;  වචනයෙන් මධුලිකා මගේ ප්‍රශ්නය කපා දමන්නට උත්සහ කළාය.

“මොකද මට වැඩක් නැත්තේ? ඒ හිටියේ මම නම්…..මට වැඩක් තියෙනවා…. ඒ හිටියේ කවුද එහෙනම්?”

ඈ මට එල්ලකළ ප්‍රහාරයේ වචනම මට සෑහෙන ප්‍රයෝජනවත් විය .

මධුලිකා යටිතොල සපාගෙන බිම බලගත්තාය. ඈ දමනය කරගත් කාලකන්ණි සතුට මට විඳින්නට ලැබුනේ සුළු වේලාවකි.

“මොකටද එහෙනම් අර වෙරි මරගාතේ අරෙහෙම කලේ?”

මගේ සර්වාංගයම සීතලව ගියේය. මගේ ඇස්දෙක නිලංකාර වී කන් නෑසී ගියා සේ විය. ‘මොකක් කළා කිව්වා?’

මගේ හදවතට ගලකින් ගසනවා වැනි ශබ්දයකින් දොරට තට්ටු කෙරුනේ ඒ මොහොතේය.

“මොකද දැන්?”

මම ඇසුවේ සෑහෙන තරමක කෝපයෙනි. එකවරම පිළිතුරක් නොලැබුනෙන් ඒ මැණිකා බව මට වටහා ගත හැකිවිය.

මෙතනින් පලා යාමට අවැසිය. මම හැරුණු ආකාරයෙන්, ඉවෙන් මෙන් තේරුම්ගත් මධුලිකා,  පවසන්නටත් පෙර ඈ අල්මාරියට මුවා වුවාය. මම දොර විවෘත කලෙමි. මැණිකා ඉතා බයාදුව බලා සිටියාය. මගේ රුදුරු පෙනුමෙන් ඇය තවත් සැලී යන්නට ඇත.

“… අම්මට කෝල් කරන්න කිව්වනේ…!”

“ක.. කතා කළා බේබි… නෝනා කිව්වා බේබිට පොඩ්ඩක් කියන්න කියල”

“කවුද දැන් ඔය ඇවිත් ඉන්නේ?”

අම්මාගේ යෙහෙලියන් මා සොයනවා නම් එය තරමක අමුත්තකි. අම්මාගේත් මගෙත් පොදු යහළුවන් ලෙස තරමකට හෝ සිටින්නේ විරංග පමණි. විරංගගේ මව පවා මා සොයන්නේ නැත. මම මට පසුපසින් කාමරයේ දොර වසාගෙන එලියට පැමිණි අතර මැණිකා මට පසුව මා පසුපස පැමිණියාය.

පඩිපෙළ අසලදී ඇසගැටුනේ පුරුදු රුවක් නොවේ. රුසපුව මනාව පැවති මැදිවිය ඉක්මවන කාන්තාවකි. ඒ සමඟම දිස්වූ අනෙක් රුවෙන් මේ කවුරුන්දැයි මට සිහියට නැගුණි. ඒ දිනක් මා සමඟ ගොස් හමුවූ අම්මාගේ යෙහෙළියයි. ඇයත් ඇගේ දියණියත් පැමිණ ඇත. ඔවුන් හා දොඩමලු වන්නට කිසිදු උවමනාවක් මට නොවිය.

“අම්මා නෑ කියලා යවපන්.. මට බැහැ කතාකරන්න!”

මම ආපසු හැරුනෙමි. කරුමයක මහත! තරුණිය අසල වූ දර්පණයෙන් මා දැක සිනහවක් පෑවාය. ආපසු හැරී යාම නොහොබිනා බවක් මට වැටහුණු බැවින් විලක්පයක් නොමැතිව මම පහල මාලයට ආවෙමි.

“ආ…. පුතා!! මාලි නෑනේ ගෙදර නේද?”

මා දැක දිලිසෙන දෙනෙතින් යුතුව තරුණිය සිටියදී ඇගේ මව මා වැළඳ පිළිගත්තාය.

******************************

මට දැනුනේ කණගාටුවක්ද , එසේත් නැතිනම් හිස් හැඟීමක්ද කියා වෙන්කළ නොහැකි විය. මම මධුලිකා දෙස බලා සිටියෙමි. ඈ ; මේ වනවිට මගේ ඇඳෙහි මධ්‍යයේ පුසියක පරිද්දෙන් ගුලිවී නිදයි.

මා එනතුරු බලාසිටි ඇයට ඉබේම නින්ද යන්නට ඇතැයි මම උපකල්පනය කලේ , ඈ අත ඒ වනවිට යම් දෙයක් ගුලිකොටගෙන තිබුණු බැවිනි. ඇගේ ජංගම දුරකථනය සයනයේ පසෙක ඈ අසලම වැතිරී සිටී.

අම්මාගේ මිතුරියගේ පැමිණීම නිසා නතරවූ අපේ සංවාදය නැවත පිළිසකර කල නොහැකි විදුරු බඳුනක පැලුමක් මෙන් හිත ඉරිතලා පැවතියද, හෝරා කිහිපයකට පසුව වුවද මගේ චකිතය නොවෙනස්ව පැවතුනි.

මට මග හැරුනේ මගේ වාසනාවන්ත මොහොතක්ද? නැතිනම් මා සතුව යන්තම් හෝ ඉතුරුව ඇති යයි සැලකිය හැකි අභිමානයේ ඉතිරි කොටසක් දියවී යන්නට තිබුණු අවස්තාවක් මගහැරී ගියාද?

බිමත්කමින් මම ඈට කුමක් කලාද? බලහත්කාරකමක් හෝ එවැන්නක් කළා කියා සිතන්නට උගහටය. 

මම මධුලිකා දෙස මෙතරම් අනිමිස ලෝචනය කරන්නේ කවර කරුණක් නිසාද? නින්දෙන් සිටින ඇයගේ විලාසයෙන් මම අවුල්වී ගොස් සිටියෙන් මෙතන තවදුරටත් රැඳීම නුවනට හුරු නොවන බව මගේ මොලයෙන් මට කියන්නට විය. මේ වනවිට අම්මාද , සුදම්ද යන දෙදෙනාම නිවසේ සිටින නිසා මධුලිකා මෙහි රැඳීම අනිවාර්ය විය.

මම විරංගට දෙන්නට කියා බෙදාගත් කෑම පාර්සලය මේසය මත තබා, මගේ කාමරයේ දොර ඇතුලතින් අගුලු දමා උස් ජනේලයෙන් පිටතට පැමිණ බැල්කනියේ වේවැල් පුටුවට බරදුන්නෙමි. මගේ සිත සෑහෙන කැළඹී ඇත.

මධුලිකා මෙලෙස රහසේ සඟවාගෙන තබාගැනීම කෙතරම් හෝරා ගණනාවක් , කෙතරම් දවසක් කලහැකිදැයි මම නොදන්නෙමි. තාත්තා අද නිවසට පැමිණියාට පසුව කුමක් වේදැයි මට තවමත් තේරුමක් නැත. එය සුළුවෙන් තකන්නට නොහැකිය. ඒසා තර්ජනයක් යටතේ මධුලිකා මෙහි තබාගැනීමට මම ගත් තීරණය මුග්ධ ක්‍රියාවක් යයි කවරෙකු වුවද කියනු ඇත. නමුත් මට නොපෙනෙන, මට පාලනය කල නොහැකි ; ලඟාවිය නොහැකි තැනක ඇය තබන්නට මගේ සිත කවර කලෙකවත් මට ඉඩදී නොමැත.

මම මධුලිකාට භයානක ලෙස බැඳී ඇත්තාක් මෙන් මට දැන් දැන් දැනෙන්නට පටන්ගෙන තිබේ. එය සුභාවාදීද කියා සිතන්නට හෝ පිළිතුරක් දෙන්නට මට නොහැකිය.

තරුණ මදයට කල කවටකමක් වැනි දෙයකින් ඇරඹුණු මේ සියල්ල නිසා මේ වනවිට මම විවාහකයෙක් කර හමාරය. ඒ විවාහයේ ඇති විසුළු ස්වභාවය වන්නේ බිරිඳගේ කැමැත්ත ගැන කිසිවක් මම නොදැන සිටීමයි.

සැබෑලෙසම මම මගේ බිරිඳ හෝ බිරිඳගේ කැමැත්ත හෝ බිරිඳ කවර ආකාරයක්ද කියා හෝ මිට පෙර සිතා තිබුනාද? තරුණ ගැටවුන් ලෙස විනෝදමත්ව සිටිනවා විනා ප්‍රේම සම්බන්ධතාවයකින් එහා ගිය විවාහ බැඳීමක් ගැන මම නොසිතුව බව නම් සැබෑවක් වුවත් , මධුලිකා දෙස වඩාත් ලංව බලන්නට පුරුදු වූ දින සිට ඈ තුල මම දකින අම්මාගේ ප්‍රතිබිම්බය නිසා මා තුල නිදාහුන් පිරිමි සැමියෙකු සිතට කතාකරන බවක් මට දැනෙන්නට පටන්ගෙන තිබේ. නිරාශා, රේසිකා , වින්ඩි ලෙස නම් කල හැකි තරුණියන් පෙළ චාපාගෙන් කෙලවර වන බවක් මට හැඟෙන්නේ ඒ නිසාද?

ප්‍රේමාතුර මම මධුලිකා ඉදිරියේ කෙතරම් කුඩාද?

ධනවත්කම අතින් මධුලිකා මගේ පවුලට වඩා ඉදිරියෙනි. නමුත් ඈට කිසිවකුත් නොසිටීම දඩමීමා කරගෙන ඈ අපයෝජනය කරන්නට සැරසෙන උන් ඉදිරියේ මම යනු වඩාත්ම ඈගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා වී හමාරය. නමුත් ඇගේ සිත දිනාගන්නට මම අපොහොසත් වී ඇත. එය මට මදිපුංචිකමක් සේ දැනෙන්නේ මන්ද? තරුණියන් හා මෙතෙක් බැඳුනු හැමවිටම මට ඔවුන්ගේ පුර්ණ අයිතිය හිමිවීම වැඩි උත්සහයක් නොමැතිවම සිදුවුවද, මධුලිකා ඈ වට ඇති පවුරකින් මා වෙන්කොට තබාගැනීමට තරම් ශක්තිමත්ය. ඇත්තටම අසරණ ඈ නොව මමයි!

‘උඹල දෙන්න නම් මාර කපල් එක!’

තාරුක අයියාගේ වචන සිහිවී මට තනිවම සිනහවක් නැගුණි. ඔහුගේ නොසරුප් වදන් මට යම් පමණක ආශ්වාදයක් නොවේද? සත්‍ය වශයෙන් ගතහොත්, මධුලිකා මා කෙරෙහි ආසක්ත වනවාට මම සිහින දකිනවා නොවේද?

මධුලිකා ගැන යම් පමණකට හෝ දැන් කතාබහ කල හැක්කේ තාරුක අයියා සමඟය. විරංග හා ඇති පටලැවිල්ල ඉක්මනින් ලෙහාගත යුත්තකි. ඔහු මධුලිකාගෙන් බලාපොරොත්තු වන්නේ මුදල් නම් ; එය දැන් විසඳාගත යුත්තකි. එපමණ මුදලක් ලබාදිය හැකිදැයි නොදන්නා නමුත් එය කතාබහ කොට විසඳිය හැකි මට්ටමක තිබෙන්නට පුළුවන. සියල්ලටම වඩා විරංග ඒ ගැන මා සමඟ කතාකරන්නට සුදානම්ව සිටිය යුතුය.

ඈ කෙරෙහි ඇති ලෝබකම කුමක් උවත් , පළමුව කලයුත්තේ මධුලිකාට නව ආරක්‍ෂිත ස්ථානයක් සුදානම් කිරීමයි. ඉන්පසුව ඈ ඩැහැගන්නට බලාසිටිනා මිනිසුන්ගේ මුදවා ඈ නිදහස් කරන්නට අවැසි දේ සම්පාදනය කලයුතුය. පවත්නා තත්වය යටතේ ඈ ලංකාව තුර රැඳීම එතරම් සුභ නොවේ. දුලිප් සතරසිංහගේ දඩයමක් වනවාට වඩා ඇගේ යහපත තකා ඈ රටින් පිටවීම නුවණක්කාර වනු ඇත. ලංකාව ඇතුලත දේශපාලන ඉලක්කයකට වැඩි පැවැත්මක් නැතිබවට ඇගේ පියා පාඩමක් උගන්වා ඇතිය.

ඒ බිල්ලට මධුලිකා දෙන්නට තරම් මුග්ධ විය යුතු නොවේ.

වැසිබර දිනයක් නිසා දහවල් එක පසුවී තිබුනද බැල්කනියට එතරම් තද හිරු රශ්මියක් තිබුනේ නැත. තෙතබරිත සුළඟ යම් තරමක සිසිලසක් ඇතිකළ නිසා මම දෙපා හකුලා පුටුව මතට ගත්තෙමි. කාමරයේ බැල්කනියේ ඇති පිහිටීම අනුව එය ඈතක සිට කිසිවෙකුට නොපෙනෙන මුවාවකින් යුතුවීම නිසා මට සැමවිටම අවැසි පුද්ගලිකත්වය එහි තිබිණි. මධුලිකා මෙහි ගෙන ආ පළමු දින මට සිහිවිය. එදින මේ පුටුවලට බරවී මාත් විරංගත් කල කතාබහ සිහිවෙද්දී මට සිනහවක් නැගේ. විරංග හොඳ මිතුරෙකි. මගේ නොපනත්කම් වලට උල්පන්දම් නොදුන්නද, මගේ දුකේදී දුක්වන සහ සැපේදී සතුටුවන විරංග අහිමිවීම මට පාඩුවක් මෙන්ම පාළුවකි.

එකවරම කාමරයේ සිට මම බැල්කනියට බට ජනේලයේ එක කොනකින් හිසක් එලියට පැමිණියේය. ඒ මධුලිකාය. මධුලිකා දැක්මෙන් මගේ සිතුවිලි ගඟ බිඳී ගියද, කුමක්හෝ මිහිරියාවකින් පිරි ගියේය. මට සිනහවක් පැන නැගුනේ ඉබේමද?

ඈ අභිනයෙන් මගේ දුරකථනය පෙන්වූවාය.

මට ඇමතුමක් පැමිණ ඇතිවග කියවුන බැවින් මම නැගිට ජනේලය අසලට එද්දී මධුලිකා පසෙකට වී මට ඉඩ දුන්නාය. නෑමෙන් පසුව මෙතරම් වෙලාවක් ගතවූ පසුවත් ඇගෙන් ඒ සුවඳ වියැකී ගොස් නැති සැටියකි. සිතුවිලි මාරයාගේ ගෙල මුලින් අල්වාගෙන මම කාමරයට වැද ඇඳමත දමා තිබුණු මගේ ජංගම දුරකථනය අතට ගත්තෙමි.

ඇමතුම චාපාගෙනි. එකෙනෙහිම මම එය විසන්ධිකොට දැමුවෙමි. මධුලිකා එය දකින්නට ඇත. හොරැහින් බැලු මම තවමත් නොකෑ දහවල් ආහාරය මේසය මත තිබෙනු දුටුවෙමි.

“කෑම එක කන්න”

මධුලිකා සිටියේ මට පිටුපසිනි. මට ඈගේ මුහුණ නොපෙනේ. කරන්නේ කුමක්ද කියාද නොපෙනේ. දුරකථනය විදන්ධි කොට මම එය මගේ කලිසම් සාක්කුවේ රුවාගතිමි.

“මොකද ඒ කෝල් එක කට් කලේ?”

එය නම් ඔලොක්කුවට ඇසූ පැනයකි. මම කුඩාවී දැනෙන්නේ ඇයි? මැය නම් දමනය කල නොහැකි මායාකාරියකි. මෙපමණ උපකාර කොට ඈ ගලවා ගන්නා මටද මැගේ මේ අහංකාරකම බලන්නට සිදුව ඇත. දැන් නම් ඉවසුවා හොඳටම ඇතිය!

“දැන් මොකද්ද ඔයාට ඒ ගැන තියෙන ප්‍රශ්නේ?”

මම දෑතම ඉනෙහි රුවාගෙන ආපසු හැරී මධුලිකා දෙස තද බැල්මක් හෙලුවෙමි. මධුලිකා සිටියේ ඈ විසින් අවුල්කරනලද මගේ සයනය සකස් කරමිනි. වෙනදා මෙන් හඬ උස්ව කතාකොට බයකරන්නට අවස්තාවක් නොවුණු බැවින්දෝ මධුලිකා එය තඹයකට ගණන් ගත්තේ නැත.

“මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ… මට මොකද! මට ප්‍රශ්නේ තියෙන්නේ වෙන දෙයක් ගැන.. කරුණාකරලා මට ඒ ගැන ටිකක් කියනවද?”

ඒ නම් යහපත් ආරම්භයක් නොවේ. නමුදු මැඩගත් බියෙන් යුතුව මම හොස්ස ඔසවා කතා කලෙමි. කොට ඇඳුම් එතරම් සුභදායක දසුන් නොවේ!

‘මේ කෙහෙල්මල් කොට ටී කමිසය මානසික වදයකි!’

“මොකද්ද එහෙනම් ප්‍රශ්නේ?”

“ප්‍රශ්නෙද? ප්‍රශ්නේ තමයි…. කෝල් කරලා, යන්න හිටපු වැඩෙත් අවුල් කරලා, ගෙට පැනලා අපිවත් උස්සගෙන ඇම්බියුලන්ස් එකකින් පැනලා ඇවිත්, අන්තිමේදී අර වයසක මනුස්සයාවත් ලෙඩ කරලා…. “

“………………”

“කවුද දැන් කිඩ්නැප් කලේ?”

හඬ උස් පහත් කරවමින් මධුලිකා ඇසුවේ,ගෙදරවැඩ නොකර පැමිණි බාලාංශ සිසුවෙකුට අවවාද කරන ගුරුවරියක පරිද්දෙනි. ප්‍රශ්නය බැරෑරුම් නොවුනද පිළිතුර ඉතාම පරෙස්සමෙන් ගොනුකළ යුතුය. පතෝල වර්ගයේ පිළිතුරකින් ඈ පුපුරා හැලිය හැකි බව මම අත්දැකීමෙන් දනිමි.

මම යම් පමණක් තැටමු බව නම් සැබෑවකි.

“හ්ම්ම්.. ම්ම්.. ඒක  පොලිටිකල් වැඩක්… මම මේ කිව්වේ… ඔයා දන්නා කෙනෙක් නෙවෙයි”

මධුලිකා දෑත ඉනෙහි රුවාගෙන මා දෙස බැලුවේ තරවටු බැල්මකි.

“දැන් කියන්නේ මේ රටේ ජනාධිපති ඇවිත් මාව කිඩ්නැප් කරන හැදුවා කියලද?”

මගේ මේ උඩඟුකම නිසා මම කෙතරම් පළිගන්නට තැනුවේද කියා දනී නම්, කිසිවිටෙක මා විශ්වාස කොට එදින තාප්පෙන් පන එන්නේ නැත. නමුදු මේ තරුණිය මගේ මේ හිතුවක්කාර ; නොදැමුණු මගේ හිත නමැති ගෙවත්තේ හිතු හිතු අත ඇවිදිමින් මල්පැල පවා පොඩිපට්ටම් කරන අයුරු පුදුමය.

“ඔයා නොදන්නවට… ඔයාගේ තාත්තා පොලිටික්ස් වලට සම්බන්ධයි”

මධුලිකා පුදුම කරවන්නට මට අවැසි විය. අවාසනාවට එලෙස පුදුමයක් ඈ තුල නොවුනි.

“හ්ම්ම්… ඒ කියන්නේ සතරසිංහ???? “

සත්‍ය වශයෙන්ම මධුලිකාට හොම්බට අනින්නට මට අවශ්‍ය විය. ඒ කිසිවක් නිසා නොවේ, මෙතරම් ඈ වෙනුවෙන් නහින මගෙන් වසන්කොට ගැනීමට ඈට ඇති රහස් ප්‍රමාණය මා උන්මන්තකයෙකු කරනු නොඅනුමානය.

මම දෑතම ඉනෙහි රුවාගෙන මධුලිකා දෙස යටැසින් බැලුවේ කුමන බැල්මක්දැයි මට නොදැනුනද, එයට මධුලිකාගේ ප්‍රතිචාරය වුයේ යටිතොල සපාගැනිමකි. එය අතිශය නොමග යවන සුළුය!

“මධුලිකා… කරුණාකරලා ඔයාගේ ඔය රහස් පෙට්ටියේ තියෙන ඔක්කොම නොකිව්වත්, චුට්ටක් හරි කියනවද මේක විසඳගන්න…!”

මධුලිකා ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියාය.

“.. කරුණාකරලා??”

මම යන්තම් හඬ පාලනය කරමින් කීවෙමි. ඇගේ ඒ බැල්මෙහි ඇති ආකර්ෂණය ඈ දනී නම්! රැවීමක් පවා සෑහෙන කැළඹීමක්!!

“…. හරි… දැන් මට එහෙනම් මේ ටික කියන්නකෝ… දුලිප් සතරසිංහ ඔයා පස්සෙන් පන්නන බව ඔයා දන්නවද?”

මධුලිකා යන්තම් ඇසිපිය හෙලා හිස දෙපසට වනා ‘නැහැ’ බව හැඟවුවාය.

“සතරසිංහ ගැන මට මමී කියලා තියෙනවා. ඒ උනාට… ඒ මනුස්සයා මාව හොයන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ… ඒවා ඒ කාලේ සිද්ධිනේ”

කුමක් හෝ හේතුවකට, එම වචන වලින් මගේ කෝපය නිවී ගියේය. මා තුල හදිසියේ ඇවිලෙන කෝපය ඇගේ කුමක් හෝ අවකල් ක්‍රියාවකින් හෝ නිවීයාම සන් සාමාන්‍ය දෙයක් වී හමාරය. මිට පෙර දෙදෙනාම එකිනෙකා පහුරුගාගත් අයුරු සිහිවී මට සිනහවක්ද නැගුනෙන්, එය නොපෙන්වීමට මම මේසය මත ඇති වතුර බෝතලය ගෙන උගුරු දෙකක් බිව්වෙමි.

“හ්ම්ම්.. ඔක්කොටම කලින් කාලා ඉන්න. මට කොහොමත් ඔයත් එක්ක කතාකරන්න ඕනේ”

අවසන් කොටස මම පැවසුවේ යම් සමනය වන හඬකිනි. මධුලිකා සමඟ කතාබහ කරන්නට බොහෝ දේ මගේ සිත තුල තෙරපුනද, එයින් බේරාගත් ඇගේ ප්‍රශ්නය විසඳීමට අදාළ ප්‍රශ්න කිහිපයක් පමණක් මම කතාකරන්නට ඉටා ගත්තෙමි.

මම මධුලිකාට ආදරය කරන්නට පටන්ගෙන තිබෙන බව , අකමැත්තෙන් වුවද මට පිළිගැනීමට සිදුව තිබේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑ ලෙස, මේ කලබල අතරතුර මගේ ප්‍රේමයක් අවැසි නොවේ යයි මම සිතන්නට උත්සහ කලෙමි. මම වැනි සෙල්ලක්කාරයෙකු පෙම්වතෙකු කරගන්නට ඈ වැනි තරුණියක් උත්සහ නොකරනු ඇත. අනේක සම්බන්ධතා පැවතියද, තරුණියක් කෙරෙහි මෙවන් බැඳීමක් ඇතිවූ බවක් මට කිසිවිටෙක දැනී නැත. එසේ වුවේ මධුලිකා මා නොතකන නිසාදැයි මම නොදනිමි. ඇගේ උඩඟුකම මා රිදවූ බව සැබෑය. ප්‍රතික්ෂේප වීමට වඩා මරණය සුදුසු යයි සිතන තරමට, මමද උඩඟු බැවින්, මේ ගැටලුව දුරසිට විසඳීමත්, ඉක්මණින් අවසානයක් දැකීමත් මේ වනවිට මගේ අභිප්‍රාය වී ඇත.

එය එසේම වේවා!

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: