Menu Close

අයියර් යුවළ නැවත හමුවීම

(2019 ජූලි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

‘Mr. and Mrs. Iyer’ (2002)
“මචං උඹ Mr. and Mrs. Iyer’ බලල ඇති නේද? මට චිත්‍රපටියෙ වටපිටාවයි අපර්ණා සෙන් ගැනයි උඹ දන්න තොරතුරු ටිකක් කියනව ද…? අපි ළඟදි ඒක බලල පොඩි සංවාදයක් කරන වැඩක් ලෑස්ති කරගෙන යනව…“

මේ නුදුරු දිනයක මගේ දුරකථනයට ආ ඇමතුමකි. සැබවින්ම මිතුරාගේ පිළිතුරට එක ක්ෂණයකින් දීර්ඝ විස්තරාත්මක පිළිතුරක් දෙන්නට තරම් චිත්‍රපටය පිළිබඳ පැහැදිලි මතකයක් මසිත ඇඳී තිබුණේ නැත. මහනුවර සත්‍යෝදයේ දී Mr. and Mrs. Iyer’ චිත්‍රපටය නරඹා ඒ පිළිබඳ සංවාදයක නියැලෙන්නට මාහට ආරාධනා ලැබුණේ මින් වසර 13කට හෝ 14කට පමණ පෙර විය යුතු ය. එසමයේ දී ගැඹුරින් මසිත කම්පනය කළ චිත්‍රපටය පිළිබඳ මතකයන් අපර්ණා සෙන්ගේම The Japanese Wife (2010) ඇතුළු පසුකාලීනව නැරඹූ විශිෂ්ට චිත්‍රපට විසින් කෙමෙන් මකා දමා ඇති බව මට පැහැදිලි වූයේ ‘අයියර් යුවළ‘ මගේ මතක ලෝකය වෙත යළි කැඳවීමට උත්සාහ කරද්දී ය.

කෙසේ වෙතත්, 2002 දී නිර්මාණය වුණු ඉන්දීය, (බෙංගාලි සිනමාවට අයත් සිනමාකාරිණියක වෙතින් නිර්මාණය කෙරුණු) චිත්‍රපටයක් 2019 දී ද යළි නරඹමින් ඒ පිළිබඳ සංවාද නිර්මාණය වීම අප වටහාගත යුත්තේ කුමන ආස්ථානයක සිට ද? චිත්‍රපට පිළිබඳ සංවාද සංවිධානය කරන විවිධ සංගම් සහ සංවාද මණ්ඩප කැඳවන්නන් Mr. and Mrs. Iyer’ යළි යළිත් නැරඹීමට හේතුපාදක වන කරුණු මොනවා ද? චිත්‍රපටය විමසීම හා සමානවම වසර 17ක් පුරා කලාත්මක චිත්‍රපට විමසන්නන්ගේ අවධානය මෙම චිත්‍රපටය වෙත නොනැසී පැවතීම ද විමසා බැලිය යුත්තක් බවට මම යෝජනා කරමි.

Mr. and Mrs. Iyer’ යනු පෙර සඳහන් කළ පරිදි 2002 දී නිර්මාණය වන ඉන්දීය චිත්‍රපටයකි. එය ඉංග්‍රීසි භාෂිත ය. චිත්‍රපටය නිර්මාණය කරන්නේ  36 Chowringhee Lane (1981) සිනමා කෘතිය තනමින් බෙංගාල සිනමාව හරහා ඉන්දීය ජාතික සිනමා කලාපයට පා තැබූ අපර්ණා සෙන් ය. අපර්ණාගේ හයවැනි චිත්‍රපටය වන Mr. and Mrs. Iyer’, දමිළ අයියර් බ්‍රාහ්මණ, හින්දු ආගමික තරුණියක වන, තම අතදරුවා ද සමග ගමනාන්තය කරා යාමට පැමිණෙන, මීනක්ෂි අයියර් සහ බෙංගාලි-මුස්ලිම් ජාතික වන ජීවී ඡායාරූප ශිල්පී තරුණයකු වන රාජා චෞද්රි, (හා සමග තවත් මගීන් පිරිසක්) බස් රථයක ගමන් කරනා අතරතුර මුහුණු දෙන ජාතිවාදී කෝලහාලයක් පසුබිම්ව දිවෙන කතා පුවතකින් සමන්විත ය. මීනක්ෂිගේ මිතුරකු හරහා, කලින් නොහඳුනන මීනක්ෂී සහ රාජා එකිනෙකා හඳුනාගන්නේ, බසයට ගොඩ වදින මොහොතේ දී ය. රාජාගේ ආගමික අනන්‍යතාව නොදැන ඔහු හා හිතවත් වන මීනක්ෂි වරෙක ඔහු වෙතින් ජලය ඉල්ලාගෙන පානය කළ ද පසුව ඔහු ඉස්ලාම් භක්තිකයෙකු බව දැනගෙන කම්පනයට පත් වෙයි. තමන්ගෙන් දුරස්ව සිටින ලෙස ද ඉල්ලයි. හින්දු හා ඉස්ලාම් භක්තික දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මාර්ග වසා දමා ඇති බවත්, ඇඳිරි නීතිය පනවා පොලීසිය ක්‍රියාත්මකව ඇති බවත් බසයේ මගීන් දැනගන්නේ මේ අතරතුර ය.

පොලිස් සෝදිසි කිරීම් හා සමග, ඒ ද ඉක්මවමින්, පොලිසිය හැරී ගිය පසු බස් රථය වෙත පැමිණෙන හින්දු අන්තවාදීන්ගේ සෝදිසි කිරීම් ද අවිහිංසක බස් මගීන් වෙත ගෙන එන්නේ භීෂණයයි. බස් රථයේ සිටින ඉස්ලාම් භක්තිකයින් හඳුනාගනු පිණිස, පුරුෂයින් සුන්නත් කර ඇද්දැයි පරීක්ෂා කිරීමට අන්තවාදීන් තීරණය කරත්ම මීනක්ෂී රාජා යනු තමන් අත රැඳි අතදරුවාගේ පියා හෙවත් තම ස්වාමි පුරුෂයා ලෙස භීෂකයින්ට හඳුන්වා දෙයි. ඒ අනුව ඔහු එතැන් පටන් ‘Mr. Iyer’ හෙවත් අයියර් මහතා බවට පත් වෙයි. 

චිත්‍රපටයේ කතා පුවත, උක්ත සිදුවීම හරහා පැන නගින පසු-සිදුවීම් මාලාවක් හරහා දිවෙමින් ඉන්දියාව අභියස, එරට නිදහස දිනූ මොහොතේ පටන් කෙළවර වී නොමැති ආගමික හා වාර්ගික අරගල පසුබිම්ව තබමින් පෙරට ඇදෙයි. චිත්‍රපටයේ අපට මුණගැසෙන ‘ව්‍යාජ‘ අයියර් යුවළ ස්වකීය ‘ව්‍යාජ අනන්‍යතාව‘ ඔස්සේ පිටු දකින්නට යත්න දරන්නේ දශක ගණනාවක් ඔස්සේ නන්විධ රුධිර ගංගා ඔස්සේ දියව ගිය අමානුෂික අරගලකාරී ප්‍රචණ්ඩත්වයයි; දිනාගන්නට යත්න දරන්නේ මනුෂ්‍යත්වය හා ආදරයයි.

2002 දී අපර්ණා සෙන් මෙය නිර්මාණය කිරීමෙන් අනතුරුව අපට මුල්වරට මුණගැසුණු මොහොතේ පටන් අපි වසර 17ක් පුරා යළි යළිත් සිනමාලෝලීන්ගේ අවකාශ අභිසයට Mr. and Mrs. Iyer’ කැඳවා නරඹමින් අපගේ අසල්වැසි රාජ්‍යයෙන් අප දායාද කොටගෙන ඇත්තේ සංස්කෘතික අනගිතා පමණක් නොවන බවට සංඥා දල්වමින් සිටිමු. එරට ‘ව්‍යාජ අයියර් යුවළ‘ මෙරටට ද එපරිද්දෙන්ම වලංගු ය. සිනමා කෘතිය නිර්මාණය වූ 2002 සිට ගෙවුණු මුල් දශකය තුළ වූ කලාපයෙන් එය වෙනත් කලාපයකට පොළා පැනීම පමණි, මෙරට දී සිදුව ඇති වෙනස වන්නේ.

භික්ෂූන් ලෙස වෙස්වළාගෙන ගිය මුස්ලිම් ජාතිකයින් කෝලහාලකරුවන්ට හසුවූ ආකාරය, ‘බාල්දිය‘ යන්න වහරන්නට නොහැකිව ‘සිංහලයින්‘ ලෙස පෙනී සිටි දමිළයින් ජාතිවාදී ම්ලේච්ඡයින්ට හසුවූ ආකාරය යනාදිය ගැන මෑත ජනශ්‍රැතිය තුළ වන කතා අසමින්, ‘ව්‍යාජ අනන්‍යතා‘ දක්වමින් හෝ සිය දිවි ගලවාගන්නට යත්න දැරූ අවිහිංසක මිනිසුන්ගේ ජීවන වෘත්තීන්  අසන (හා සිනාසෙන) අපට තවත් බොහෝ ‘අයියර්වරු‘ මෙරට මෑත අතීතය සළකුණක් හෝ ඉතිරි නොකොට මැකී ගොස් ඇති බව වටහා ගැනීමට අසීරු නැත. Mr. and Mrs. Iyer’ යළි කැඳවමින් සාකච්ඡා කිරීම එක්තරා අයුරකින් එවැනි අතීත අප වෙත ද පැවති බව වටහා ගැනීමට දොරගුළු විවර කරගැනීමකි.

කෙසේ වෙතත්, අප ඒ ඉමෙහි නොනැවතී තව දුරටත් විමසිය යුතු ඉම් පෙදෙස් ඇත. සාකච්ඡාවට කැඳවිය යුතු මාතෘකා ද ඇත. ‘අයියර් යුවළ‘ සිය සංවේදී පුවත අපට කියන තිරය මත ප්‍රති නිර්මාණය කළ යුතු බොහෝ පුවත් ද ඇත.

ඉන්දීය මෙන්ම දේශීය මෑත ඉතිහාසය තුළ පැන නැගී ඇති මෙම වාර්ගික හා ආගමික ජන කණ්ඩායම් අතර වන අරගල අප භූ කලාපයක් ලෙස කෙතරම් ලෝක දේශපාලනය තුළ පසුපසට තල්ලු කොට ඇද්දැයි විමසීම එහිලා විමසිය හැකි එක් ඉමකි. අසීමාන්තික ලෙස ආගමික හෝ වාර්ගික කලාප වෙත දක්වන ආසක්ත බව මුල් ආගමික ඉගැන්වීම්වල වන අවිහිංසාවාදී දෘශ්ටීන්ගෙන් අප කොතරම් දුරට විතැන් කොට ඇත්දැයි  වටහා ගැනීම එහි තවත් ඉමකි. සමාන්තර ලෙස, මනුෂ්‍යත්වය, මානව දයාව, පුද්ගල අනන්‍යතාවල ඇති ව්‍යාජය ඇතුළු බොහෝ කලාප මෙහිලා අපට විමසා බැලිය හැකි බව ඔබට වැටහී යනු ඇත. සාකච්ඡාවට කැඳවිය හැකි බව ද පැහැදිලි වනු ඇත.

එසේම, ‘අයියර් යුවල‘ වැනි, තම ජීවිතය දෙවැනි කොට තවකකුගේ බේරා ගනු පිණිස ස්වකීය ‘අනන්‍යතා‘ හා සංස්කෘතික බැඳියාවන් පසුපසින් තබා මනුෂ්‍යත්වය පෙරමුණට කැඳවූ නන්විධ චරිත මෙරට මෑත ඉතිහාසයෙන් ද හමුවනු ඇති බවට ද, ඒ විශිෂ්ටයින්ට ‘අයියර් යුවල‘ ජීවමාන වන සිනමා තිරය තුළ අවකාශ හිමිවිය යුතු බවට නිර්මාණකරුවන්ට යෝජනා කළ යුතු බවට ද අපට හැඟී යනු ඇත.

‘සාධු ජන රාව‘ සංගීත ප්‍රසංගය රට වටා ගෙන යමින් උන් සමයේ එහි නිර්මාපක ජයතිලක බණ්ඩාරයන් මෙසේ කියනු මගේ කණ වැකී ඇත.

“මම සතුටු වෙන්නෙ කවද හරි, මේ ප්‍රසංගය නවත්තපු දවසට… ඒක නවතින්නෙ යුද්ධෙ නැවතුනාම නිසා!“
බණ්ඩාරයන් බලාපොරොත්තු වූ පරිදි යුද්ධය නැවතී සාමය උදා නොවුණ ද, යුද්ධය කෙළවර දුටුවේ වෙනත් ආකාරයකින් වුව ද, දැන් සමාන අවශ්‍යතාවකින් ‘සාධු ජන රාව‘ නැගීමෙහි උවමනාව ද නැත. Mr. and Mrs. Iyer’ යළි නැරඹීම කෙළවර විය යුත්තේ ද එහි වන මූලික ඉඟි සමාජගත වීමේ දිගුකාලීන අවශ්‍යතා නැසී ගිය සමාජයක් නිර්මාණය කර ගැනීම තුළ ය.

එය අසීරු ඉලක්කයක් වුව, අප ගමන් කළ යුතුම ය!

-ප්‍රියන්ත ෆොන්සේකා –   

%d bloggers like this: