Menu Close

පරිගණකයයි ලෙඩයි

     

     මේ පරිගණක නිසා අපිට හැදෙන ලෙඩ ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ කියල මට හිතෙනවා. අනිත් අය කොහොම වුනත් මම නම් ඒ හැටි ඕව ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ. හැබැයි වැඩේ අපි හිතනවට වඩා බරපතලයි. මේ ලියන්න යන්නේ පහු ගිය අවුරුදු 20ක විතර කාලයක් දවසෙන් බොහෝ කාලයක් පරිගණකය ඉස්සරහට වෙලා ජිවත් වීම හින්ද අවසානයේ උරුම වෙලා තියෙන දේ ගැන. හොඳ සහ නරක දෙකම තිබුනට හොඳ ගැන නැතුව නරක ගැන ලියන්නම්.
මම කණ්නාඩි දාන්න පටන් අරන් දැන් අවුරුදු 9ක් වගේ වෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳල හොඳට තිබුණු ඇස් දෙක රස්සාවට ගිහින් පළවෙනි අවුරුදු 5-6 ඇතුලත දුර්වල වුනා. මට මතක විදියට රස්සාවට ගිහින් තුන් වෙනි අවුරුද්දෙදි වගේ දවසක් මගේ ප්‍රධානියා වශයෙන් හිටපු කෙනා කිව්වා මොනිටර් එකට වැඩිය කිට්ටු වෙලා බලන්න එපා කියල. නමුත් මට ඒක ඒ හැටි අවුලක් විදියට තේරුනේ නෑ. වයසත් එතකොට 25ක් වගේ ඇති. කොහොම උනත් ඒ දවස් වල දවසේ පැය 12-15ක් විතර අනිවාර්යෙන් මේක ඉස්සරහ තමා. ඔෆිස් එකේ අවම පැය 8-9ක් වැඩ කරලා ගිහින් ගෙදරත් අඩුම තව පැය 4-5ක් වත් එක එක ටීවී සීරීස් ඇතුළු නොයෙක් දේ බලමින්, කරමින් ගෙවිච්ච කාලයක්. ඒ දවස් වල මට ඩෙස්ක්ටොප් පරිගණකයක් සහ ලැප්ටොප් එකක් තිබුනා. ඔය දෙකේම මාරුවෙන් මාරුවට එක එක වැඩ තමා. නමුත් නිවැරදි දුරකින් හරි ඉරියව්වකින් බැලීම ගැන කිසිම අවධානයක් තිබුනේ නෑ… දැනෙන්න කිසිම ලෙඩක් අමාරුවක් තිබිච්ච නැති නිසා කොහොමත් කවුරුවත් කියන ඒවා ගණන් ගත්තෙත් නෑ. ඔය විදියට තව අවුරුදු 3ක් වගේ යද්දී ටික ටික ඔලුව කැක්කුම හැදෙන්න ගත්තා කම්පියුටරේ වැඩ කරද්දී. අවසානයේ කන්නාඩි දාන්න සිද්ද වුනා. ඇස් දෙකම දුර්වල වෙලා. ඒ කියන්නේ ඉතින් හැමදාටම කන්නාඩි දාන්න වෙනවා.
ඊට පස්සේ ඉතින් වැඩි කරදරයක් නැතුව තව අවුරුදු කීපයක් රස්සාව කරගෙන ගියා. මේ වෙද්දී මම අවුරුදු 10ක් විතර මේ පුරුද්ද දිගටම කරගෙන ඇවිල්ල තිබුනේ. ඒ කියන්නේ දවසට පැය 10-15 අතර කාලයක් පරිගණකය ඉදිරිපිට ගෙවීම. මේ වෙද්දී බඩත් ටිකක් ඇවිල්ලා ( ඒ කියන්නේ v ෂේප් එක b ෂේප් වෙලා ). ඔහොම ඉද්දි මගේ වම් කකුලේ අමාරුවක් ආවා. ඒ කියන්නේ මුලින්ම නිකන් කකුල කොර වෙලා වගේ අමුතු වේදනාවක් ඇවිල්ලා පස්සේ වෙද්දී උදේ පාන්දර නැගිටලා අඩිය තියන්න බැරි මට්ටමකට ආවා. අඩිය තියද්දි කකුලේ විළුඹට කටුවකින් අනිනවා වගේ රිදෙනවා. මේ ගතිය මුළු කකුලටත් සම්පුර්ණ වම් පැත්තටත් එක්කම පැතිරුණු වේදනාවක්. පස්සේ වෛද්‍යවරුන්ගේ තීරණේ වුනේ උදේ පාන්දර නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට හේතුව Plantar fasciitis කියන ලෙඩේ කියලා. ඒ කියන්නේ අපේ පාදවල අස්ථිවල ඇතිවන පුංචි පුංචි නෙරුම් නිසා ඇතිවෙන තත්වයක්. මේ ලෙඩේට පරිගණක වල සම්බන්ධයක් නැති වුනාට. තරබාරු බව බලපානවා. නමුත් මට තිබුණු ප්‍රස්නේ තමා මේ කකුලේ වේදනාව පිට කොන්ද සහ වම් අත දක්වා පැතිරිලා වම් අතේ මැද ඇඟිල්ල සහ වෙදගිල්ල හිරි වැටෙන තත්වයක් විදියට පැතිරීයාම. ඒකට හේතුව දොස්තරලටත් හරියට හිතා ගන්න බැරි වුණා. 
මේ වෙද්දී මම හිටියේ මැලේසියාවේ. බටහිර වෙදකම් වලට අමතරව මෙහෙ චීන කටු චිකිත්සාව සහ පාරම්පරික චීන වෙදකම් එහෙමත් කරලා බැලුවත් හරි සහනයක් දැනුනේ නෑ. උදේ නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට ප්‍රතිකාරයක් විදියට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමා ඉන්ජෙක්ෂන් එකක්. මම හොයල බලපු විදියට මේ ඉන්ජෙක්ෂන් එක අම්බානක් රිදෙන එකක්. ඒ කියන්නේ කකුලේ අස්ථියට තමා බෙහෙත විදින්නේ… නමුත් ඒකත් තාවකාලික විසදුමක්. අනිත් එක තමා ඔපරේෂන් එකක් කරන එක. නමුත් ඒ මට්ටමට යන්නේ වැඩේ ගොඩක් බරපතල නම්. එතකොට ගොඩින් බේර ගන්න නම් කරන්න පුළුවන් වැඩ තමා හැම වෙලාවෙම සෙරෙප්පු පාවිච්චිය, මෘදු අඩි සහිත පාවහන් පැලදීම සහ බර අඩු කර ගැනීම. මම ඉතින් ගොඩින් බේර ගන්නම් කියල මුළු දවසම සෙරෙප්පු පාවිච්චිය සහ හොඳ සැප සපත්තු පාවිච්චිය පටන් ගත්තා. බර නම් ඉතින් ලොකු වෙනසක් නොවුනත් පාලනය කරගෙන යනවා.
නමුත් මේ කිසිම දෙකින් මගේ වම් පැත්ත රිදෙන එක නතර වුනේ නෑ. විනාඩි 15ක් විස්සක් ඇවිද්දොත් එක විදියකට ඉන්න බැරි තරම් වම් කකුලයි, වම් අතයි සම්පුර්ණ වම් පැත්තම රිදෙනවා. කොටින්ම පුටුවක වාඩි වෙලා ඉන්නත් බැහැ. දොස්තරලගේ උපදෙස් පරිදි physiotherapy එහෙමත් කරලා බැලුවා නමුත් කිසි සහනයක් නෑ. අන්තිමට ඔය ලංකාවට අපු වෙලාවක MRI එකක් කරලා බැලුවා. ඒකෙන් හොයා ගත්ත මගේ බෙල්ලේ ස්නායුවක තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා මේ වම් පැත්ත කැක්කුම හැදෙනවා කියල. දොස්තර නම් කිව්වේ එහෙම ස්නායු ආබාධය ඇති වෙන්න එක හේතුවක් හරියටම කියන්න බෑ අපේ ඉරියව් නිසා වෙන්න පුළුවන් කියන එක. එහෙම කියල මට බෙල්ලට දාන්න කොලර් එකක් එහෙම දීලා තාවකාලිකව මේ වේදනාව අඩු කරලා දුන්නා. මේ වෙද්දී මම අවුරුදු 4කට ආසන්න කාලයක් මේ වේදනාවට හරි හේතුවක් හොයා ගන්න බැරුව හිටියේ. 
කොලර් එක දාගෙන ඉන්න එකෙන් සහනයක් තිබුනට එක නියම විසදුමක් නෙවෙයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් නිසා මගේ බෙල්ලේ ස්නායුව තෙරපෙනවා. පස්සේ මම ම හොයා ගත්තා මේකට හේතුව. ඒ තමා ලැප්ටොප් එක. ලැප්ටොප් එක මම පාවිච්චි කරන විදිය තමා මේ බෙල්ලේ ස්නායුව තෙරපෙන්න ප්‍රධාන හේතුව. මගේ උස අඩි 5 11″ වගේ. මම පුරුදු වෙලා හිටියේ ඔෆිස් එකේදී ලැප්ටොප් එකෙන් වැඩ කරද්දී මම වාඩිවෙන පුටුවේ උස උපරිම වැඩි කරලා බෙල්ල පොඩ්ඩක් නවාගෙන තිරය දිහා බලන්න. ඔෆිස් වල තියෙන පුටු නියමිත ප්‍රමිතියෙන් යුතු කොන්දට සහ බෙල්ලට සපෝට් කරන පුටු වුනාට ගෙදරදී මම පාවිච්චි කලේ ඔය නිකන් සාමාන්‍ය පුටුවක්. අනිත් එක ගොඩක් වෙලාවට ඇඳ උඩ ඉඳගෙන බෙල්ලයි කොන්දයි නමාගෙන ලැප්ටොප් එක බලන එකත් කරන දෙයක්. මම හොයා ගත්ත දේ තමා මෙන්න මේ ඉරියව්වෙන් පැයක් දෙකක් හිටපු ගමන් අර වේදනවා ඉවසන්න බැරි තරමට එනවා කියන එක. මම ඕක තේරුම් ගත්තේ ගෙදර හිටපු දවසක. එදා මම කලේ මගේ ලැප්ටොප් එක පොත් කිහිපයක් උඩ තියල ලැප්ටොප් තිරය ඇස් මට්ටමට ගෙනල්ල ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපු එක. එහෙම කරපු ගමන් අර වේදනාව ටිකෙන් ටික අඩු වෙන්න ගත්ත.

ලැප්ටොප් භාවිතයේ වැරදි ඉරියව්ව සහ ආසන්න වශයෙන් නිවැරදි ඉරියව්ව පෙන්වන රුපයක් 
මේක පරිගණක පාවිච්චි කරන හැමෝම වගේ දන්න දෙයක්. ඒ කියන්නේ තිරය හැමවෙලේම ඇස්මට්ටම තිබිම සහ නියමිත දුරකින් යුතුව තිරය දෙස බැලීම. මේ ඉරියව්වට මාරු වෙච්ච ගමන් මගේ වේදනාව 90% කින් වගේ අඩු වුණා. පස්සේ මම ගෙදර පාවිච්චියටත් කාර්යාල පුටුවක් අරගෙන නියමිත ප්‍රමිතියට ගෙදර ලැප්ටොප් එක බලන ස්ථානයක් හදා ගත්තා. ඇඳ උඩ සිට හෝ වෙනත් කිසිම අඩමාන ඉරියව්වකින් ඉඳගෙන පරිගණකය බාවිතය සම්පුර්ණයෙන්ම නතර කළා. අඩුම තරමේ මම ටීවී එක දිහාවත් අඩමානෙට ඉඳගෙන බලන්නේ නෑ… එහෙම විනාඩි 15ක් හිටියොත් දවසක් විතර යනකම් අර වම් පැත්තේ වේදනාව එනවා. ඔෆිස් එකෙත් ලැප්ටොප් එක පැත්තකට කරල මොනිටරයක් සහ වෙනම කී බෝඩ් මවුස් සම්බන්ද කරගෙන පුටුව උපරිම පහතට කරගෙන තමා දැන් වැඩ කරන්නේ. එහෙම ඉන්නකොට 99% විතරම වගේ අර වේදනාව නැතිව සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.
නිවැරදි ඉරියව්ව සහ උස දක්වන සටහනක්
මගේ බිරිඳත් මම වගේම පරිගණක ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඇය මා මෙන් රාත්‍රී කාලයේත් වැඩි හරියක් පරිගණකය ඉදිරියේ ගත නොකලත් රාජකාරි වේලාවන් වලදී ලැප්ටොප් භාවිතය පැය 8-10 ප්‍රමාණයක් හැමදාම කරනවා.
ඇයට මීට අවුරුදු 4-5කට කලින් ඉඳල නිතර හිසේ කැක්කුමක් හැදෙන්න ගත්තා. සුපුරුදු පරිදි විවිද වෛද්‍ය වරුන් පස්සේ ඉරුවාරදය (migraine) නැත්නම් සෙම ආදී දේ යැයි සැක කරමින් බෙහෙත් කලත් ස්ථිර සහනයක් ලැබුනේ නෑ. බෙහෙත් මාරු කර මින් වේදනා නාශක ගනිමින් ඉන්න එක තමා කලේ. පසුගිය මාස 4ක විතර කාලයක් ඇයට ඇගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ නිසා දවසේ පැය 12කට වැඩි කාලයක් සහ සති අන්තත් එක දිගට වැඩ කරන්න සිද්ද වුණා. සෙනසුරාද සහ ඉරිදා දෙකම සහ සතියේ දවස් වලත් රෑ අට නවය වෙනකම් මාස දෙකක් විතර වැඩ කරද්දී අර හිසේ කැක්කුම දිනපතා සැදීමත් ඊට අමතරව ඇගේ දකුණු අතේ වළලු කර ආශ්‍රිත ප්‍රදේශය සහ බෙල්ලේ වේදනාවක් එන්න ගත්තා. දකුණු අතින් කිසිම වැඩක් කර ගන්න බැරි මට්ටමට ආවට පස්සේ ඇයට තව දුරටත් වැඩ කර ගන්න එක අපහසු වෙලා වෛද්‍ය උපදෙස් මත රැකියාවෙන් ඉවත් වෙන්න කියන මට්ටමට ආවා. නමුත් ඇගේ ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් සහ ප්‍රොජෙක්ට් එකට ඇගේ ඇති වැදගත් කම නිසා මාසයක නිවාඩුවක් ලබාගෙන ඇයට විවේක ගන්න සිදු වුනා.
මේ සියලු අමාරු වලට හේතුව මොකක් ද කියන එක අපි ඒ මාසය තුලදී හොයා බැලුවා. ඇය ලැප්ටොප් එක භාවිතා කලේ මවුස් එකක් නැතුව. ඒ කියන්නේ ටච් පෑඩ් එකෙන්. අනිත් එක කිසිම වෙලාවක මොනිටර් එකක් භාවිතා කලේ නැහැ. ඊටත් අමතරව ගෙදර සිටින හැමවෙලාවෙම ඇඳ මත තියාගෙන තමා ලැප්ටොප් එක භාවිතා කලේ. අවසානයේ ඇගේ බෙල්ලේ ස්නායුවකත් අර මට ආපු විදියටම ආබාධයක් ඇවිල්ල. ඒ ස්නායු ආබාධය තමා නිතර ඇතිවෙන හිසේ කැක්කුමට හේතුව වෙලා තියෙන්නෙත්. ඊට අමතරව නුහුරු ලෙස ටච් පෑඩ් එක භාවිතා කිරීම නිසා තමා දකුණු අතේ වළලු කර ආශ්‍රිත වේදනාවට හේතුව. අවසානයේ වෛද්‍ය උපදෙස් මත Physiotherapy සහ Pilates කිරීමට සිද්ද වුණා. නමුත් වේදනාව සම්පුර්ණයෙන් සුව වෙලා නැහැ. ඒකට හේතුව ශරීරයේ මාංශ පේශි කාලයක් තිස්සේ වැරදි ඉරියව් වලට හුරු වීම නිසා. අවසානයේ නිවැරදි ඉරියව් සහ උපකරණ සහිතව පරිගණක භාවිතා කිරීම මගින් තමා සහනයක් ලබා ගන්න පුළුවන් වුණේ.
Tech-Neck කියල තමා මේ තත්වය හදුන්වන්නේ. මේක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. පරිගණක නිසා විතරක් නෙවෙයි මොබයිල් ෆෝන් නිසාත් මේ අමාරුව හැදෙන්න පුළුවන්. Tech-Neck කියල පොඩ්ඩක් හොයල බලන්න.
මේ දේවල් හරි සරල විදියට පෙනෙන්න පුළුවන්. නමුත් අපිට හැදෙන ලෙඩ සහ අමාරුකම් වලට අපි මුලින් බෙහෙත් ගන්නේ හෝ සැක කරන්නේ වෙනත් දේවල්. නමුත් ඇත්තම හේතුව අපේ එදිනෙදා ජිවිත වල තියෙන පුංචි පුංචි වැරදි. අනිත් එක පරිගණක භාවිතා කරන මුල් අවදියේදී හෝ වැඩි වෙලාවක් නොකරන විට මෙවැනි දේ ඇති වෙනවා අඩුයි. නමුත් දවසේ වැඩි හරියක් තිරයක් දෙස බලා සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන් නිවැරදි ඉරියව් සහ උපකරණ භාවිතාව කරන්න. අවුරුදු 10-20ක් ගෙවෙන්නේ අපිට නොදැනීම. එතකොට නැවත හදන්න බැරි විදියට අපේ ශරීරය හානි වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි.
මේ ඇවිල්ල ශාරීරිකව අපිට ඇතිවන ලෙඩ. මීට අමතරව මේ අධිතාක්ෂණික සහ නුතන කියන රස්සාවල තියෙන අධික පීඩනය සහ ආතතිය නිසා මොලයට සහ සමස්ත ශරීරයටම ඇතිවෙන දීර්ඝ කාලින බලපෑම් සෑහෙන වැඩියි. ඒවායින් මිදෙන්න සහ අඩු කරගන්න නම් වෙනස්ම ජිවන ක්‍රමයකට අපිට යන්න වෙනවා. පස්සේ වෙලාවක ඒවායින් මිදෙන්න කියල මම කරන දේවල් ගැනත් ලියල දාන්නම්කො…

%d bloggers like this: