Menu Close

ගූගල් ඩූඩල් ජූලි : නොගැයුනු වීරයෝ Unsung heroes

ජුලි 12:  Rene Favaloro (1923- 2000)
“අපි, සමුහයක් ලෙස, තනි පුද්ගලයෙක්ට වඩා වැදගත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා  සංවර්ධනය හැමවිටම වසර ගණනාවක් තිස්සේ සමුහයක් ලෙස එකතු කරගත් දැනුම හා දක්ෂතා වල ප්‍රතිඵලයක්”. කිරීටක ධමනි බයිපාස් සැත්කම්, සායනික පුහුණුව උදෙසා  හඳුන්වා දුන් ආර්ජන්ටිනා ජාතික ශල්‍ය වෛද්‍ය රීනි ෆැවලොරෝ ලියා ඇත.

1923 ජූලි 12දා (මීට වසර 96කට පෙර) උපතලද මොහු පාසල් වියේදී ද මිනිස්කම් පිළිබද දැඩිව සිතුවේය. 1949 වෛද්‍ය උපාධිය ලද ෆවලෝරෝ, තම වෛද්‍ය දිවියේ මුල් වසර 12 ගතකළේ ගොවියන් වෙසෙන, කාන්තාරයකට මායිම් වූ දුෂ්කර පෙදෙසක ප්‍රාන්ත වෛද්‍යවරයෙක් ලෙසයි. කෙටි කලකින් ඔහුගේ සොහොයුරාද වෛද්‍ය උපාධිය ගෙන ඔහුට එක්විය. දෙදෙනා එක්ව අඩු පහසුකම් සහිත එම ප්‍රදේශයේ සැත්කම් සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය කාමරයක් සදා ගත්හ. හෙදියන් පුහුණු කළහ. ලේ බැංකුවක් හා වෛද්‍ය සහයක මධ්‍යස්ථානයක් ගොඩනැගුහ. ඊට අමතරව රෝගවලින් වළකින්නේ කෙසේදැයි රෝගීන් නිරතුරුවම දැනුවත් කළහ.
රීනි තම අත්දැකීම් ඇසුරෙන් ඒත්තු ගත්තේ සෞඛ්‍ය සේවාව යනු ආර්ථික තත්වයන් මත බලනොපාන මුලික මිනිස් අයිතිවාසිකමක් බවයි. ‘හැම වෛද්‍යවරයෙක්ම, හැම විද්‍යාඥයෙක්ම තම ජීවිතය හා සේවාව මානව වර්ගයා වෙනුවෙන් කැප කළ යුතුයි”. ඔහු නොයෙක් වර පැවසීය.
ග්‍රාමීය ප්‍රදේශයේ සේවය කරන අතරතුර නිරතුරුව ප්‍රධාන නගරයට ගොස් දැනුම යාවත්කාලින කරගත්හ. 1962දී රීනි එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් වෙත යන්නේ වැඩිදුර ඉගෙනීම පිනිසයි. එහිදී cine angiogrphy, එනම් රුධිර නාල තුළ චලන ඡායාරුප ගැනීම හා කියවීම හඳුන්වා දුන් මේසන් සෝන්ස් සමග අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලද්දේය.

පළමු කිරීටක ධමනි සැත්කම අතරතුර 

අන්ජියෝග්‍රෑම් පිළිබඳව බොහෝදුර ඉගෙනීමෙන් පසු අවහිර වූ කිරීටක ධමනි වෙනුවට වෙනත් රුධිර නාලයක් යෙදවීම ඵලදායි ලෙස කල හැකි බව රීනි වටහාගත්තේය. එය සාර්ථකව කලහැකිබව ඔහු පෙන්වා දුනි.
1957 මැයි 9වනදා දොස්තර ෆවලෝරෝ විසින් 51 වියැති කාන්තාවකගේ අවහිර වූ කිරීටක ධමනියක් සැත්කමට ලක් කළේය. ඇයව heart-lung යන්ත්‍රයකට සම්බන්ධ කර, හර්ද ක්‍රියාකාරිත්වය නවත්වා, ඇයගේ පාදයෙන් ගත් රුධිර නාල කොටසක් ධමනියේ අවහිර වූ කොටස දෙපසින් සම්බන්ධ කර රුධිරය ගමන් කිරීමට නව මාවතක් නිර්මාණය කළේය. මෙම ඓතිහාසික සැත්කම සාර්ථක විය. එදා සිට ගතවූ අඩ සියවස තුළ මෙම සැත්කම ලොව පුරා නොගිනිය හැකි තරම් ජිවිත බේරාගැනීමට සමත් විය. 
1970දී නැවත ආර්ජන්ටිනාවට ගිය දොස්තර ෆවලොරෝ, ඔහුගේ නමින් වෛද්‍ය ආයතනයක් බුවනොස් අයර්ස් නගරයේ පිහිටවිය. එම මධ්‍යස්ථානය රෝගීන්ගේ මුල්‍යමය හැකියාව නොව, රෝගී අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සේවය කිරීමට යෙදවිණි. ඔහුගේ එම තාක්ෂනය හා අදහස් මුළු ලතින් ඇමරිකාවේම වෛද්‍යවරුන්ට යහපත් මග පෙන්වීමක් විය.

ජුලි 29 Chiune Sugihara (1900- 1986)
දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නයේ සුගිහාරාට ලිතුවේනියාවේ ජපානය නියෝජනය කරන උප කොන්සල් ලෙස පත්වීමක් ලැබුණි. යුද්ධය ප්‍රකාශ කිරීමත් සමගම යුදෙව් පවුල් ඔහුගේ නිලනිවාස ඉදිරියේ පෙළ ගැසෙමින් ඉල්ලුයේ ලන්දේසී පාලනය යටතේ තිබු Curacao රටට ජපානය හරහා ගමන් කිරීමට වීසා නිකුත් කරන ලෙසයි. මෙය ඉතා මානුෂික ඉල්ලීමක් වූ නිසා සුගිහරා ඒ සඳහා අවසර ඉල්ලමින් පණිවිඩ තුනක් යැවිය. ඒ සියල්ල ජපාන රජය විසින් බලය යොදවා ප්‍රතික්ෂේප කළේ ‘දැනට වීසා නැති කිසිම සංචාරකයෙක්ට ජපානය හරහා පිටත්වන්නට හැකි ආකාරයේ වීසා නිකුත් නොකරන්න” ලෙසින් සඳහන් කේබල් පණිවිඩයක් එවීමෙනි. ‘No exceptions’ එහි වැඩි දුරටත් සඳහන් විය.
” මෙය මානුෂික ප්‍රශ්නයක් ලෙස සලකන්න. මගේ රැකියාව මට වැඩක් නැහැ” සුගිහාරා නැවත විදේශ අමාත්‍යාංශය අමතා උත්සහ කලත් ප්‍රතිඵලය එකසේ විය.

ජර්මන් ජාතිකයන් අතින් මරණයට පත්වීමට නියමිත මනුෂ්‍ය ජිවිත දහස් ගණනක් බේරාගැනීමට වෙනත් මගක් නොදුටු සුගිහාරා තම ඉහල නිලධාරී අණ නොතකමින් දහස් ගණනක් වූ යුදෙව් අනාථයන්ට ජපානය හරහා ගමන් කිරීමට හැකිවන සේ වීසා නිකුත් කිරීම ඇරඹුයේ තම රැකියාව හා අනාගතය පරදුවට තබමිනි. ඒ 1940 ජූලි 29 වෙනිදා ය.
තම ක්‍රියාවේ නිවැරදි භාවය ගැන හිතා බැලු ඔහු ඒ ගැන පහලවූ සැක ඉවත ලා වීසා ලිවිම ආරම්භ කළේය. දින ගණනාවක් පුරා දිවා රෑ වෙනසක් නැතිව, හරිහැටි නිදි නොලබා ඔහු දිගටම දහස් ගණනක් වීසා ලිව්වේය. “මගේ ඇඟිලි ඇකිලිලා ගියා. මැණික් කටුවේ ඉඳල උරහිසට යනකල් හැම තැනම රිදෙන්න ගත්ත. ඒත් මම නැවැත්තුවේ නැහැ”. ඔහුගේ මෙම අවදානම් සහගත ක්‍රියාවට සහයෝගය දැක්වූ බිරිඳත් ඔහුගේ අත් සම්බාහනය කරමින් ඔහුට තවත් ලියන්නට උපකාර කළාය. ඒ වනවිට සියලුම රටවල තානාපතින් ඉවත් කරන ලෙස ලද අණින් ඔහුට රුමෙනියාවට යාමට සිදුවිය. ඔහුට රටෙන් පිටවීමට නියමිත දුම්රියේ නැගීමට යන අවසාන මොහොත දක්වා ඔහු දුම්රිය වේදිකාවේදී පවා මගීන්ට වීසා ලියාදුනි.
“නිවැරදි දේ කරන්න, එය නිවැරදි නිසා. දඩයක්කරුවෙක්ට වුනත් තමන් වෙත ඉගිලී රැකවරණය පතන කුරුල්ලෙක්ව මරන්න බැහැ. මම එය කළ යුතුව තිබුණා. මගෙන් රැකවරණය ඉල්ලා ආ දහස් ගණනක්  ජනතාවට පිටුපාන්න මට බැරිවුණා”.
රුමේනියාවේදී රජයට අපක්ෂපාති වීම චෝදනාව යටතේ  වසර දෙකක සිර දඬුවමක් නියම විය. එසේම ජපානයට සැපත් වූ වහාම රජයේ නියෝග පිළිපැදීමට අපොහොසත් වූ නිසා  ඔහුගේ සේවය අත්හිටවූ බව දැනුම් දුනි. ඉතා හොඳ අනාගතයක් තිබු රැකියාව ඔහුට අහිමි විය. තම දරු පවුල නඩත්තු කිරීම උදෙසා අඩු වැටුප් ලැබෙන රැකියා කිරීමට සිදුවූ අතර දුක්ඛිත ජිවිතයක් ගත කිරීමට සිදුවිය.  ඔහු කළ කැපකිරීම පිලිබඳ යුද්ධය නිමවූ පසුවවත් කිසිවෙක්ගේ අවධානයට ලක් නොවීය.

ඔහු නිසා දිවි බේරාගැනීමට සමත්ව පසුව ඊශ්‍රායලයේ විදේශ සේවාවක ඉහල තනතුරක් දරු පුද්ගලයෙක් 1968දී සුගිහාරාව සොයාගැනීමට සමත්විය. සුගිහාරා විසින් කල සේවය ලොවට හෙලි කළේ එම තැනැත්තාය.
ජෙරුසෙලමේ Holocaust Memorial හි සුගිහාරා නමින් පැලයක් රෝපණය වූ අතර, ඔහු  Righteous Among Nations (සදාචාරාත්මකව නිවැරදි දේ ජාතීනට සිදුකළ) කෙනෙක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. හෙළිදරව් නොවූ දස දහසක් ජිවිත බේරාගත් වීරවරයෙක් ලෙස ඔහු ලිතුවෙනියවෙත් ජපානයේත් සැලකිල්ලට බඳුන් විය.

‘යමෙක්ට තමන් විශ්වාස කරන නිවැරදි දේ කර, අනිත් අයගේ ජිවිත බේරාගන්නට දිනකට පැය 18ක් 20ක් වැය කරන්නට තරම් ධෛර්යයක් ඇත්නම් ලොවේ මිනිසුන් ඔහු හඳුනාගත යුතුයි. ගෞරව කලයුතුයි’. සුගිහාරා වෙනුවෙන් ගමන් බලපතක ආකාර ඩූඩලය නිර්මාණය කළ මැතිව් ක්රුක්ශෑන්ක් පවසයි.

ජූලි 30: මුතුලක්ෂ්මි රෙඩ්ඩි (1886- 1968)
තම දිවිය පුරාම සමාජයෙන් එන බාධක බිඳ හෙලමින් ඉදිරියට ගොස්, අනෙකුත් කතුනටද සේවය සැලසූ  සාර්ථක කාන්තාවක ඉන්දියාවේ තමිල්නාඩුවේ දී උපන්නේ 1886 ජූලි 30 වන දාකයි.
ලාබාල වියේදී විවාහවන ලෙස දෙමාපියන් කල ඉල්ලීම නොතැකු ඇය ඉගෙනීමට තමන්ගේ ඇති කැමැත්ත අනුව විභාග සියල්ල සමත්ව එවක පිරිමි පාසලක් වූ මහරාජා කොලේජ් වෙත ගියාය. සමාජයෙන් එල්ලවූ සියලු බාධක හා පාසලෙන් එලියට ඇද දමන බවට එල්ල වූ තර්ජන ගණනකට නොගත් ඈ, පිරිමි අතර උගෙන විශිෂ්ඨ ලෙස සමත්ව, ශිෂ්‍යත්වයක්ද ලැබ ගනිමින් මදුරාසි වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යාව ලෙස ලියාපදිංචි වූවාය.

ඉන්දියාවේ මුල්ම වෛද්‍යවරියන් අතරට එක්වූ ඇය කාන්තා හා ළමා රෝහලක ශල්‍ය වෛද්‍යවරියක ලෙස සේවය කළාය. දොස්තර සුන්දර රෙඩ්ඩි සමග විවාහ වූයේද ඔහු කාන්තාවනට වෙනසකින් තොරව සලකන බවට අවබෝධ කරගත් නිසාය.
ඇය මහත්මා ගාන්ධි ගේ ඉන්දියාව නිදහස කිරීමේ සටනට සහය දක්වුවාය. ඒ අතර පොදු වෛද්‍ය සේවා දියුණු කිරීමෙහි නියැලුනාය. කාන්තාවන්ට අධ්‍යාපනය දීම, ඔවුන්  බල ගැන්වීම හා නිසිතැන් ලබා දීම උදෙසා නොකඩවා ක්‍රියා කළාය.

පසු කාලීනව වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ ඇය නිතිය හදාරා මදුරාසි නීති කවුන්සිලයට සම්බන්ධ වුවාය. එහිදී දැරියන්ගේ විවාහ වීමේ වයස ඉහල දැමීම උදෙසා හා ඔවුන්ගේ ශ්‍රමය අඩු මිලට සුරාකෑමට එරෙහිව නොබියව ක්‍රියා කරමින් අනභිබවනීය සේවයක් සිදුකළාය.
රෙඩ්ඩි ගේ සොයුරිය පිළිකාවකින් මිය යාමෙන් පසු 1954දී අදායර් පිළිකා සංගමය පිහිටුවීමේ මුලිකත්වය ගත් ඇය, එය ලොව ඉහලම තැනක් ගන්නා පිළිකා මර්දන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අනගි මෙහෙයක් සිදුකළාය. අද එම මධ්‍යස්ථානයෙන්  වසරකට ප්‍රතිකාර ගන්නා රෝගීන් ගණන 80 000 ඉක්මවයි.
ඉතා පහත් තැනක තිබු කාන්තා අධ්‍යාපනය දියුණු කිරීම, කාන්තාවනට නිසි තැන ලබාදීම, විවාහ වයස වැඩිකර ලීම වැනි ඉන්දීය කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මුතුලක්ෂ්මි කළ කැප කිරීම් හේතුවෙන් අද වනතෙක් සිය ජීවිතවල නව ආලෝකයක් ලැබු ඉන්දීය තරුණියන් මිලියන ගණනකි. ඇය වෛද්‍ය හා නීති ක්ෂේත්‍රයන්ගේත්, පොදුවේ කාන්තා අභිවෘද්ධිය උදෙසාත් කළ අනගි සේවයට උපහාර පිණිස ඇය 1956 දී ඉන්දියාවේ ඉහලම සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

උදව්:
www.google.com/doodles/rene-favaloros-96th-birthday
https://artsandculture.google.com/
www.google.com/doodles/celebrating-chiune-sugihara
https://en.wikipedia.org/wiki/Muthulakshmi_Reddi

%d bloggers like this: