Menu Close

බෞද්ධ අන්තවාදයට ගොදුරු වූ මහනුවර


ඇත්ත. හරිත වර්ණයන් තැවරුණ නිම්න භූමියක් වන මහනුවර, රටේ තියෙන රමණීයතම නගරයක්. එ්ත් ඒ ඇස් මට්ටමේ ඇති සුන්දරත්වයට යටින් හැංගිලා තියෙන ඛේදනීය යථාර්ථය රටට හෙළිවුණේ අද ඊයෙ නොවේ. ඒ මහනුවර නගරය වායු අදූෂණය අතින් රටේ ඉහළම නගරය ලෙසත්, ඒ හේතුකොට ප‍්‍රදේශවාසී ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති සෞඛ්‍ය ප‍්‍රශ්න ප‍්‍රමාණය රාශියක් බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ඒ.අයි. ඉලේපෙරුම සහ මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන අනෝමා සිරිබද්දන ඇතුළු කණ්ඩායමක් විසින් පෙන්වා දුන් දා සිට ය. පරීක්ෂණ වාර්තාවට අනුව මේ වායු දූෂණයේ ප‍්‍රධාන සාධක ස්වභාවික හේතූන් නොවේ. බලාධිකාරයෙහිි සහ පරිපාලනයේ හිතුමති කත්වය නොවන්නට බොහෝදුරට වෙනස් කළ හැකිව තිබෙන ඒවා ය. එදා සිට ගෙවී ගිය කාලය වසර පහකටත් වැඩිය. ඒ කාලය තුළ පැවති ආණ්ඩු දෙකකි. නගරසභා දෙකකි. සෙසු පරිපාලන නිලතල රාශියක් ද වෙනස් විය. ඒත් තවමත් ලංකාවේ දූෂිතම වායුගෝලයේ වාර්තාව හිමි සුන්දර මහනුවරටම ය.
වායු දූෂණය නැවැත්වීම සඳහා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කළ ප‍්‍රමුඛතම නිර්දේශය වූයේ දළදා මාලිගාව අසලින් යන මාර්ගය රථවාහන සඳහා නැවත විවෘත කිරීම යි. මේ මාර්ගය දළදා මාලිගාව අද්දරින් දිවගියත් එය මාලිගාවේ බලවතෙකුගේ හෝ වෙන අයෙකුගේ බූදලයක් නොවේ. එය රටේ ප‍්‍රධානතම මාර්ගයක් වන මහනුවර – මහියංගණය ‘ඒ විසිහය’ මාර්ගයයි. එය මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින පාරකි. නගරසභා ආඥා පනත යටතේ නාගරික බල ප‍්‍රදේශය තුළ පාරක් ඇරීම හෝ වැසීම පිළිබඳ තීරණාත්මක බලය ඇත්තේ නගරසභාවට ය. එසේනම් ඒ විසිහය වැහුවේ ඔවුන්ද? නැත.
මේ මාර්ගයේ ගමන් කිරීමට වාහන සඳහා වැට බැෙඳෙන්නේ ගෙවීගිය යුද සමයත් සමගය. යුද්ධය නිමාවීමත් සමගම ඒ මාර්ගය ජනතාවට විවර කිරීමට එවකට පැවති නගර සභාව විසින් ගන්නා පරිශ‍්‍රමය ඉමහත්ය. ඒ පරිශ‍්‍රමයට මල්වත්ත මහානායක හිමියන් පවා එකසිතින් එක්විය. එහෙත් එකී උත්සාහය සම්පූර්ණ ලෙස යටපත් කිරීමට රටේ බලධාරීන් හා මාලිගාවේ බලධාරීන් කිහිපදෙනකු උත්සාහ ගත්තේ තම තීරණය යට පවත්නා බිහිසුණු යථාර්ථයන් ද හිතාමතා වසන් කරමිනි.
මේ වායු දූෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස ධර්මරාජ, මහාමායා, හිල්වුඞ්, ගෝතමී සහ ඞී.එස්. සේනානායක යන, මහනුවර වැවරවුම ආශ‍්‍රිතව ඇති පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට පණහක් පමණ ඇදුම රෝගයෙන් පීඩා විඳින බව පර්යේෂකයන් පෙන්වා දී තිබුණි. එපමණක් නොව එම දරුවන්ගේ පෙණහලූ දුම්පානය කරන මැදිවියේ පසුවන පුද්ගලයකුගේ තරම් මෝරා ඇති බව ද මේ පර්යේෂකයන් කණ්ඩායම හෙළි කර තිබුණි. මහනුවර මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගෙන් සියයට හැටක් පමණ එන්නේ මේ ආශ‍්‍රිත රෝගීන් බව ද පැවසිණි. පසුකාලීන පර්යේෂකයන් කියන ආකාරයට ජනතාවට ගෙවන්න වී තියෙන වන්දිය ශ්වසන රෝගයන්ගෙන් පමණක් සීමා නොවේ. පිළිකා වැළ`දීමේ සම්භාවිතාවද ඒ තරමට ම ඇති බව ඒවා හෙළි කරයි.
‘උදේටයි දවල්ටයි හවසටයි මුළු වැව රවුම පුරාම ට‍්‍රැෆික්. ටර්න් එකකට දීලා තියෙන වෙලාවට අපිට කවදාවත් ගමන යාගන්ඩ බෑ. වැවරවුම පහු කරන්ඩ විතරක් පැයක් විතර යනවා. ඒ විදිහට ට‍්‍රැෆික් එකේ පැය ගානක් හිරවුණාම ඉතිරි ටික යන්න වෙන්නේත් ෂෝට්කට්වලින්. නැත්තම් වෙලාව පහුවෙනවා. ඒ විදිහට ස්ටෑන්ඞ් එකට ආවාම අපේ අනික් ටර්න් එකටත් වෙලාව හරි. ඉතිං ඒ ගිය ගමං සෙනගත් නැතිවම බස් එක ආපහු හරවං එන්ඩ වෙනවා. ට‍්‍රැෆික් එකට හිරවෙලා රුපියල් දෙතුන් සීයක තෙලූත් පුච්චගෙන අන්තිමට අපිට යන්ඩ වෙන්නේ රුපියල් සීයක දෙසීයක මිනිස්සු පටවාගෙන. ගිය සතියේ පිට පිට දවස් දෙකක් හවස හතරයි හතළිස් පහේ බස්එක හතයි හතළිස්පහ විතර වෙනකම් පාරෙ තියන් ඉන්න වුණාඳී එහෙම වෙද්දි නම් මේ රස්සාව එපා වෙනවා. මිනිස්සුන්ට වෙලාවට යාගන්ඩ බැරිවුණාම ඒ අය එන්නේත් අපේ ඇඟට. අපිට නෙමෙයි, මේ ට‍්‍රැෆික් කරුමෙ නිසා හදිසි ලෙඩෙක් ගෙනියන ඇම්බියුලන්ස් එකකටවත් ලෙඩා මැරෙනකම් ඉස්පිරිතාලෙට යන්ඩ බෑ.’
මේ ගැටලූවේ තමන්ගේ පැත්ත අපට කිව්වේ ඩබ්ලියු. එම් ජයතිලකය. ඔහු යක්ගහපිටිය බස්රථ රියදුරෙකි. පාර වහන්නට පෙර විනාඩි විස්සෙන් තිහෙන් ගමන නිමා කළ තැන්නේකුඹුර, අම්පිටිය, ලේවැල්ල, යක්ගහපිටිය වැනි නගරාසන්න ප‍්‍රදේශවල බස්රථවලට පවා හිමිවෙලා තිබෙන ඉරණම එයයි. ඒ පමණක් නොව තැන්නේකුඹුර දෙසින් ඒ විසිහයෙන් නගරයට සේන්දුවන මගීන්ගේ ඉරණම ඊටත් වඩා ඛේදනීය ය. අද දරුවෙකුට සීනුවට කලින් පාසලට යන එකත්, වැඩිහිටියෙකුට රතු ඉරට කලින් වැඩට යන එකත් දුෂ්කර ඉලක්කයක් වී ඇත. ඉදින් ඒ දුෂ්කර ක‍්‍රියාවෙන් ජයගන්න නම් එදා යා යුතුව තිබුණ කාලයට වඩා පැය දෙක තුනකටවත් කලින් මගට බැසිය යුතුව තිබේ.
මේ වගේ නගරාසන්න ප‍්‍රදේශවලින් පමණක් නොව මහියංගණය, බදුල්ල, අම්පාර, වලපනේ, තෙල්දෙණිය හසලක වැනි දුරබැහැර ප‍්‍රදේශවලින් පවා දිනපතා මහනුවරට පැමිණෙන දහස් ගණනක් පිරිස මේ පීඩාවට උරුමකම් කියති. වෙනකක් තියා වැවරවුම හරහා යෑමට ගතවන කාලය දරාගත නොහැකි, දිනපතා මගී ප‍්‍රවාහන රථවලින් එන මගීන් මහනුවර බෞද්ධ මන්දිරය අසළින් බැස ඉතිරි ටික පයින්ම යන්නට පුරුදු වී ඇත. ඒ වාහනවලට වසා ඇති පාර හරහාය. නුවර නගරයටම ටිකට් ගත්තත් තදබදයේ පැය ගානක් පරක්කු වෙනවාට වඩා මගින් බැහැලා දාඩිය මුගුරු දමාගෙන හරි වැඩපළට පාසලට යන එක හොඳය කියා හිතෙන තරමට මේ ප‍්‍රශ්නය මිනිසුන් අසරණ කර තිබේ.
තමන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමුවේයැ’යි උදම් අනමින් හිටි පහුගිය රජය පාර වසා දමන්නට මූලික හේතුව ලෙස කීවේ දළදා මාලිගාවේ ආරක්ෂාව ය. මේ හිතුමතික පාර වැහීම ස්ථිර කළේ එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට මීටර් සියයක් පයින්ම ගිය සිද්ධිය එදා මෙරට බහුතරයක් වූ ජනමාධ්‍යවලට ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සපයා දී තිබුණි. පාර වසා තිබෙන අයුරින්ම තිබිය යුතු බවත් නොඑසේ නම් පයින් යෑමේ සුන්දරත්වය සහ දළදා මාලිගාවේ පූජනීයත්වය කෙළෙසී යනු ඇති බවට ඔහු ශපථ කළ බවත් ඒ ප‍්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.
ඔවුන් හුවා දැක්වූ පරිදි පාර වහන්නේ දළදා මාලිගාවේ ආරක්ෂාවට ය. ආරක්ෂාව පාර වසාදැමීම නම්, 1998දී එල්ටීටීඊ සංවිධානය විසින් තම ලොරිරථය දළදා මාලිගාවේ ප‍්‍රවේශ දොරටුවටම හප්පමින් සුප‍්‍රසිද්ධ බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ද මේ කියන ඊනියා ආරක්ෂාව තිබියදී බැව් ද අමතක කළයුතු නැත. එපමණක් නොව, පාර වැසීම සඳහා අටවා තිබුණු බැරියර් ගලවා දමා මාර්ගය වාහනවලට විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තම සාම ගිවිසුම් කාලය තුළ කටයුතු කළ බව රාජපක්ෂ ආණ්ඩුවට එදා අමතක වන්නට ඇත. ඛේදයට කරුණ වන්නේ යුද්ධය නිමාවන්නට පෙර පවා තම රජය එසේ කළ බවත් එසේ නමුත් දළදා මාලිගාවට කිසිදු හානියක් නොවුණු බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට අමතක වූ සේයාවක් පේන්නට තිබීම ය. එපමණක් නොව, සාම ගිවිසුම් කාලයේ නගරයේ වායු දූෂණය සියයට පනහක් දක්වා පහත වැටුණු බැව් මහාචාර්ය ඉලේපෙරුම තම පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙයි.
වාර්තාවේ සඳහන් වන පරිදි (ඒ කාලය වන විට) දිනක් ඇතුළත මහනුවර නගරයට ඇතුළුවන වාහන ප‍්‍රමාණය ලක්ෂයට ආසන්න ය. අද වන විට රථ වාහන ඝනත්වය ඊට වඩා කීපගුණයකින් වැඩියැ’යි හිතන්නට පුළුවන. ඔවුන්ට අනුව, නගරය තුළ රථවාහන තදබදය පවතින අවස්ථාවේදී මේ වාහන ගමන් කරන වේගය පැයට කිලෝමීටර් හතරක් තරම් මඳ ය. එනම් වාහන ගමන් කරන්නේ ගමන් නොකරන තරම් සෙමින් ය. තත්ත්වය එසේ නම් මේ තුළින් නිකරුණේ පරිසරයට එකතු වන දුම් ප‍්‍රමාණය කොතරම් ද? ඒ සමග දැවී යන ඉන්ධනවල වටිනාකම කෙතෙක් වේද? ඒ විතරක් නෙමෙයි මහමගට දියවී යන මිනිස් පැය සංඛ්‍යාව සහ තම ගමන අරබයා නගරයට පිටින් එන අයත් නගර වැසියනුත් දෛනිකව විඳින දුක කොතරම්ද?
‘මිනිස්සු ත‍්‍රීවිල් එකකට නගින්නේ බස් එකේ ගියාම පරක්කු වෙන හින්දා. ඒත් මාලිගාව පැත්තෙන් යනවා නම් විනාඩි දෙක තුනෙන් යන්න පුළුවන් ගමන අද අනික් පැත්තෙන් යන්න පැය භාගයක්වත් යනවා. සමහර වෙලාවට එහෙමත් බෑ. එතකොට අපි කරන්නේ පොඩි පොඩි අතුරු පාරවල්වලට දාන එක. ඒත් එහෙම වෙලාවට අතුරු පාරවල්වල ඊටත් වඩා බ්ලොක්. අවුරුදු දහයකට කලින් නුවර තිබුණ වාහන ප‍්‍රමාණය නෙමෙයි දැන් තියෙන්නේ. වාහන වැඩිවෙද්දි කරන්න ඕනෑ අලූත් පාරවල් හදන එක. ඒත් දැං කරලා තියෙන්නේ තිබ්බ පාරවල් ටිකත් වහන එක.
රුපියල් සීයක් අරන් විනාඩි පහකින් යන හයර් එකටම පැයක් ගියා කියලා අපිට ඒ මුදල කස්ටමර්ගෙන් ගන්න බෑනෙ. අන්තිමට මේ බ්ලොක් එකේ ඉඳපුවාම වෙන්නේ ගන්න ගානට වඩා තෙල් පිච්චෙන එක විතරයි. අනික් පැත්තට එක හයර් එකකට පැය ගාණක් යද්දි, මිනිස්සු ඉන්න වෙලාවෙ යන්න පුළුවන් හයර් එක දෙකත් අපිට නැතිවෙනවා.’
ඒ අබ්දුල් හලීම්ගේ අදහසයි. ඔහු ත‍්‍රිරෝද රථ ධාවනය තම ජීවන වෘත්තිය කරගත් මහනුවර නගරයේ ත‍්‍රිරෝද රථ රියදුරෙකි.
එදා මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවත් දියවඩන නිලමේ ඇතුළු මාලිගාවේ බලධාරීනුත් පාර සදාකල් වසා තබන්නට වෙරදරද්දී මහනුවර මහ නගරසභාව පැවතුණේ එක්සත් ජාතික පක්ෂයට ය. එහෙත්් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයක් ඇති මේ මොහොත වනවිට කඹයේ දෙපැත්ත මාරුවී ඇත. අද නගරසභාව මහින්දවාදී නිදහස් පක්ෂයේ ය. එදා පාර ඇර මේ ගැටලූව අහවර කරන්ට මල්වත්ත මහානායක හිමිපාණන් සමග එකතුව උත්සාහ කළ එක්සත් ජාතික පක්ෂ නගර සභාව කීවේ පාර අරින්නට තමන් උත්සාහ කළත් ඉහළ බලධාරීන් ඉඩ නොදුන් බවයි. එපමණක් නොවේ, ඉහළ බලධාරීන් එසේ කර තිබුණේ, අදාළ මාර්ගය වසා තිබීම මහජනතාවට පීඩාවක් බව පිළිගත් ආරක්ෂක අමාත්‍යාංශය කොන්දේසි කිහිපයකට යටත්ව පාර විවෘත කරන ලෙස 2009 දෙසැම්බර් 23 වැනි දින මහනුවර නගරාධිපති, දළදා මාලිගාවේ දියවඩන නිලමේ, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ආදීන් ලිඛිතව දැනුවත් කර තිබියදී වීම ය. එසේ තිබියදී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කළේ මහියංගණ-නුවර මහාමාර්ගය තම බූදලයක් සේ සලකා එය කඩා ඊට මතුපිටින් කොන්ක‍්‍රීට් ගඩොල් ඇතිරීමයි. ඒ ගඩොල් තට්ටුව මගින් වාහන ධාවනය වසා දමනවා සේ ම අදාළ මාර්ගය වාහන සඳහා ඇරියයුතු එකකැ’යි සිතා ඒ සඳහා අරගල කිරීමට මිනිසුන් දරන පෙළඹුමද සියුම් ලෙස වසා දමන්නට පුළුවනැයි ඔහු කල්පනා කරන්නට ඇත. අනෙක් අතට මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, රටේ ප‍්‍රධාන පාරක් වසා කොන්ක‍්‍රීට් ගල් ඇතිරීමට දියවඩන නිලමේවරයාට බලය ලැබුණේ් කාගෙන්ද? ඒ පිළිබඳ එදා කිසිම ප‍්‍රශ්නකිරීමක් සිදු නොවුණි.
පාර වසාදැමීමේ නිරුවත වහගන්නට ඔවුන්ට එදා තවත් අමුඩ ලේන්සුවක් තිබුණි. ඒ හදිසි නීතිය ය. එහෙත් අද ඒ නීතියද නැත. ඒ නිසා මේ නිරුවත් වැඬේ තවදුරටත් කරනවා නම් ඒ කරන්න වෙලා තියෙන්නේ අමුඩ ලේන්සුවද නැතිව යඳී ඉහත කාරණා මගින් පෙනුණ තවත් කරුණක් නම්, පාර ඇරීම සම්බන්ධයෙන් වර්තමාන නගරාධිපතිවරයා සහ නගරසභාව කුමන අදහසක හිටියත් මිනිසුන් ගැන හිතා මේ ගැටලූව විසඳන්නට අවශ්‍ය නම් රජයට එය අපහසු නොවන බවයි.
පාර වසා දැමීම සාධාරණීයකරණයට මේ අය තවදුරටත් භාවිත කළ තර්කයක් වූයේ දළදා මාලිගාව අසළින් වාහන ධාවනය වීම තුළින් ඇතිවන දෙදරුම දළදා මාලිගාවේ පැවැත්මට හොඳ නැත යන්නය. මේ කුතර්කය කොතරම් විද්‍යාත්මක වුණත් නැතත් මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් පෙනී සිටි සෑම දෙනාම කීවේ, එසේ නම් මෙය කුඩා වාහනවලට පමණක්වත් විවෘත කරන ලෙස ය. මක්නිසාද යත් කුඩා වාහන පමණක් වුවත් ඒ හරහා යද්දී මාර්ග තදබදය අඩකින්වත් අඩුවෙනු ඇතැ’යි විශ්වාස කරන්නට පුළුවන් නිසා ය. තවත් අතකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබුණු පෙර කී නිර්දේශ තුළ ද එය මුල් වටයේ කාරණයක් ලෙස පැවතිණ. ඔවුන්ගේ නිර්දේශ වුණේ, දළදා මාලිගාවේ අධිආරක්ෂක කලාපයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුවේ සිට එය අවසාන වනතුරු ඉදිකොට ඇති යකඩ වැට සම්පූර්ණ කිරීම, මාලිගාවේ සංස්කෘතික ලක්ෂණයන්ට හානි නොවන පරිදි එහි මහමළුවේ සිට දළදා මාලිගාව තෙක් අධිආරක්ෂිත කලාපවල කොන්ක‍්‍රීට් බැමි ඉදිකිරීම, අදාළ සියලූ ඉදිකිරීම් නිමවන තුරු මේ මාර්ගය සැහැල්ලූ වාහන සඳහා පමණක් වෙනුවෙන් විවෘතකිරීම, මාර්ගය දිනපතා උදේ 5.30 සිට රාත‍්‍රී 7 දක්වා පමණක් වාහන සඳහා විවෘත කිරීම, මේ මාර්ගයේ ගමන් කරන සියලූම වාහන දැනට වසා ඇති සීමාව පසුවන තෙක් නොනවත්වා ගමන් කරවීමට කටයුතු කිරීම ආදිය යි. මේ සියල්ල පහසුවෙන් සපුරාගත හැකි දේවල් ය. එසේනම් මේ සදහා ගෙවන්න ඕනෑ මිල ප‍්‍රදේශයේ දරුවන්ගෙන් සියයට පනහක් ශ්වසන රෝගවලට ගොදුරුවීමෙන් නොනවතින තරමට දික් වුණේ ඇයි?
අනිත් පැත්තට ඔවුන් එදා කීවේ පාර ඇරීම දළදා මාලිගාවට හානියක් බවය. එහෙත් පාර වැසීම නිසා ඇතිවී තිබෙන වායු දූෂණය මිනිස්සුන්ගේ පෙණහැලි ඉක්මවා ගොස් දළදා මාලිගාවේ බිතුසිතුවම් ඇතුළු පෞරාණික දේවලට ද සිදුකරන හානිිය අනෝමා සිරිබද්දන මහත්මිය මේ වනවිට පෙන්නා දෙයි.
මේ දුෂ්කර නේරංජනාව තරණය කරන්නට එදිනෙදා ජීවිතයේදී මේ වින්දිතයන්ට කන්ථක අස්සයෙකු නැති බව අමතක කළත්, අවුරුදු ගානකට පාරක් ඇවිත් වසා ඇති පාරේ වෝකිං ආතල් ගන්නා ගමන්ම කිසිදු අවහිරයකින් තොරව තමන්ගේ නිල අස්සයන් පිට දළදා මාලිගාව ඇතුළට ම යන්නට උඩවත්ත කැලේ රක්ෂිතදාරය සහ ආණ්ඩුකාර නිල නිවස අසළින් වෙනම මාර්ගයක් හදාගන්නට හිටපු බලවතුන් අමතක කළේ නැත. වත්මන් බලධාරීන්ටත් මේ ගැටලූව නොපෙනෙන්නේ ඔවුනුත් ඒ පාර දිගේම ගමන් කරන්න හිතා ඉන්නා නිසාද?
එදා පාර වැසුවේ තමන් විසින් යුද්ධය ඉවර කළාය කියමින් වැජඹෙන ගමන්ම, ඒ වුණත් අපිට තවමත් තර්ජන ඉවර නෑය කියමින් පැවැත්ම සාදාගත් ආණ්ඩුවකි. අද ඒ ආණ්ඩුව නැත.
මේ ගැටලූවට විසඳුම් ලෙස අලූතින් ඉදිකරන පාලම් සහ උමං පිළිබඳ එදා සිට බරපතළෙට සාකච්ඡුා කෙරුණි. මේ සිහින පාලං-උමං සංවාදවලට දැන් වසර ගාණකි. ගොඩනැඟුණු පාලමක්වත් උමගක්වත් නැත. ඒවායින් කළේ මූලික විකල්පය මගහරින එක විතර ය. මේ සීමාව පසුකර යන දීර්ඝ උමං මාර්ගයක් ඉදිකිරීම ගැටලූවට හොඳ විසඳුමක් විය හැකි වුවත් දික්ගැහෙන පාලං උමං සංවාදවලට ජනතාවගේ ශ්වසන පද්ධතිය ආරක්ෂාකර දෙන්නටවත් ඔවුන්ගේ කාලය ශ‍්‍රමය ඉතිරිකර දෙන්නටවත් බැරිය. මේවා යථාර්ථයක් බවට පත්වන තුරුවත් මූලික විකල්පය ඉටු කළ යුත්තේ ඒක ය. මහනුවර ජනතාවගේ නිරාදුක තව ගොඩක් දිග ද? පෙණහලූ පුරා නිදහසේ හුස්මක් කටක් ගන්නට මහනුවර පුරවැසියන්ට ඇති අයිතිය අටවෙනිදායින් විවරවූ යහපාලන අවකාශයේදීවත් හිමිවන්නේ නැද්ද? ඡන්දයට ආසම බලකොටුවක් වන මහනුවර ජනතාවට මේ අයිතිය දෙන්නට බලධාරීන් තවමත් උදාසීන මන්ද?



මේක දේශපාලනික කඹඇදිල්ලක්  | මහාචාර්ය ඕ.ඒ.අයි. ඉලේපෙරුම

මේ ගැන අපි රිසර්ච් එක කරලා දැන් ටික කාලයක් වෙනවා. ඒ කාලෙදිත් මහනුවර වායු දූෂණය කොළඹට වඩා කීපගුණයක් ම වැඩියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ පිරිසකුත් මේ පිළිබ`ද ව මෑතකදී පරීක්ෂණයක් කළා. ඔවුන් කියන විදිහටත් මහනුවර වාතයේ අංශූ සාන්ද්‍රණය ඉතාම වැඩියි. මේ දහනය නොවුණ තෙල් අංශු. ඒ අතර තියෙන්නේ කාබන් අංශු විතරක් නෙමෙයි පොලි ඇරෝමැටික් හයිඩ්‍රො කාබන් වගේ ඍජු පිළිකාකාරක අංශුත් විශාල ප‍්‍රමාණයක් තියෙනවා කියලා ඒ අය කියනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ළඟගදි කියලාත් තියෙනවා ඞීසල් දුම නිසා පිළිකා ඇතිවෙනවා කියලා.
මෙතැන තියෙන්නේ දේශපාලනික කඹඇදිල්ලක්. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්න කලින් අපිට කිව්වා තමන් ඇවිත් සති දෙකක් ඇතුළත පාර අරිනවා කියලා. ඒත් තාම ඒක වුණේ නෑ. රට පාලනය කරන්නේ කොහෙවත් ඉන්න දියවඩන නිළමේ කෙනෙක් හරි හාමුදුරුකෙනෙක් හරි නම් ඒක ගැටලූවක්නේ.

අපි කවදත් කිව්වේ පාර අරින්න කියලා | සුමින්ද වික‍්‍රමසිංහ 
මහනුවර මහනගර සභාවේ විපක්ෂ නායක

අපිට නගරසභාව තියෙන කාලේ ඉඳන් අපි කිව්වේ පාර අරින්න කියලාඳී මම වැඩබලන නගරාධිපතිවෙලා හිටි කාලේ පවා මේක අරින්න උත්සාහ කළා. නමුත් අපිට ඒක කරගන්න බැරිවුණා. මොකද දළදා මාලිගාව නගරසභා ප‍්‍රදේශයේ තිබුණාට ඒක අධිආරක්ෂක කලාපයක් විදියට නම් කරලා තියෙන්නේ. මල්වත්තේ මහනායක හාමුදුරුවොත් පාර අරිනවාට කැමතියි. ඒත් එදා හිටි අස්ගිරියෙ හාමුදුරුවෝ ඒකට විරුද්ධ වුණා.
දළදා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ තමයිඳී ඒත් අපි මේ තදබදය ගැනත් ළමයින්ගේ සෞඛ්‍යය ගැනත් හිතන්න ඕනෑ. මේ අවට ඉස්කෝලවල ළමයි දහස් ගාණක් ඉන්නවා. ඒ අය දවසට පැය හය හතක් මේ අපිරිසිදු වාතය තමයි හුස්ම ගන්නේ. අනික විනාඩි පහළොවෙන් නුවරට එන්න පුළුවන් මිනිස්සු පැයගානක් දුක්වි`දින එක අපරාධයක්. අපි වර්තමාන නගරාධිපතිතුමාටත් කියන්නේ ඒකයි. කොහොම වුණත් පාර අරිනවාට මාත් අපේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හැමෝමත් කැමතියි.

විනාශය කොහොමහරි නවත්තාගන්න ඕනෑ | රංජිත් විජේසිංහ 
පරිසර හා සෞඛ්‍යය සුරැකීමේ සංවිධානය

උද්ගතවෙලා තියෙන තත්ත්වය ගැන විවිධ අය අවුරුදු ගාණක් කතා කෙරුවත් ප‍්‍රයෝජනයක් වුණේ නෑ. ඒ නිසා අපි තීරණය කළා පාසල් දරුවන් හා දෙමව්පියන් ඇතුළු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගෙනියන්න.
පහුගිය දවසක අපිට පුළුවන් වුණා අනෝමා සිරිබද්දන වෛද්‍යතුමියත් එක්ක ගිහින් මල්වත්ත මහනායක හිමියන් සමග මේ ගැන සාකච්ඡුා කරන්න. මහනායක හිමියන් මේකට එක පයින්ම කැමති බව තමයි පේන්න තිබුණේ. මේ වායු දූෂණයේ සෞඛ්‍ය ප‍්‍රතිඵල වගේම අනෙක් භෞතිකමය ප‍්‍රතිඵල මල්වත්ත පන්සලට තදින්ම දැනෙනවා. පන්සලේ ගොඩනැගිලිවලටත් අනෙක් වස්තූන්ටත් දවසින් දවස වෙන හානිය උන්නාන්සේ අපිට පෙන්නුවා.
ඒ වගේම අපි හිතං ඉන්නවා හෙට අනිද්දා දවසක අස්ගිරි මහනායක හාමුදුරුවනුත් හම්බවෙලා මේ ගැන කතා කරන්න. කලින් හිටි නායක හාමුදුරුවෝ එදා තිබුණ පරිසරයත් එක්ක පාර අරිනවාට අකමැති වුණා. ඒත් වර්තමාන නායක හාමුදුරුවෝ මේ තත්ත්වය තේරුම්ගනියි. කොයි විදිහකින් හරි මේ විනාශය දැන්වත් නවත්තගන්න ඕනෑ කියලායි පරිසර හා සෞඛ්‍ය සුරැුකීමේ සංවිධානය විදිහට අපි කල්පනා කරන්නේ.

– ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(රාවය 2015 නොවැම්බර් 08)
%d bloggers like this: