Menu Close

දම්සාරී…!

විසිකර දමා අවසන් නැති පොරි අහුර
හතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවර
ටියුෂන් නඩේ බැන්දත් කර වට පවුර
ඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර

ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනා
මිල්ටන්, සුලගෙ පාවී ඒ වෙත ඇදුනා
දින පොත බලද්දී මට ඊයෙත් රිදුනා
බෝ ගස් යටත් සමහර සිල්පද බිදුනා

සිනමා හලක මද අදුරක හීතලක
රන්තාලියේ දිය විසිවෙන බංකුවක
නිමිනැති කතාවක කෙලවර රංඩුවක
ප්‍රේමය පවා මිල විය අඩු ලංසුවක

රූ බර ලදුන් සරසන දම් පැහැ සාරී
මග තොට දකිද්දී අදටත් හිත හීරී
මතකයෙ සෝ සුසුම් නැගුනත් නැත කාරී
සද නැති රැයට තරු එළියකි දම්සාරී

            (චින්තක සමන් හේරත්)




ඇතුගල උඩින් පායන සඳ රැස් දහරේ
සුදු බුදු උවන හරි පින් පාටින් බේරේ
තාමත් පහු කරද්දී ඇත්කඳ වෙහෙරේ
බෝ මැඩ එදා දුන් හාදුවෙ රස ඇහැරේ

තිළිණේ ලෙසින් පිලිගන්වා මල් පොකුර
සුදු අසු පිටින් යන්නට බන්ඳා තොරණ
තහනම් කල නිසා ඔබෙ සෙනෙහස ගෙදර
හිරිමල් හීන වට කොට බැන්දා පවුර

සක්මන් මළුවෙ තනිවුන ලී බංකුවක
කාටත් හොරෙන් ගෙල මුල ඇඳි සිතුවමක
හිතුවක්කාර වී පැටලුන රංඩුවක
සෙනෙහස දැවී අළු විය හද ගින්දරක

තාමත් නිරන්තර මතකයෙ දිගේ ඇදී
සිහිනෙන් ගෑ සුවඳ නෙත් වල ඉවුරු බිදී
උරුමය ලෙසට ගියමුත් අත්වැලම සිදී
පොපියන හීන තාමත් හදවතේ නිදී


              ( සොඳුරු සඳවතී )

%d bloggers like this: