Menu Close

යුනිවසිටි රෑන්ක් මොකටද?

මීට වසර දෙකකට පමණ පෙර මම ජාත්‍යන්තර සමුළුවක් ඇමතීම සඳහා ලංකාවට පැමිණියෙමි. එම සමුළුව පැවතෙන අතර එක් විවේක අවස්ථාවකදී සහභාගී වූ කිහිප දෙනෙකු සමග මම සුහඳ පිළිසඳරක යෙදුනෙමි. මෙහිදී මාතෘකාව සරසවි ලෝක ශ්‍රේණිගත කිරීම වෙත ඇදී ගියේය. එවකට මා මැලේසියාවේ පුත්‍රා සරසවියේ සේවය කල අතර ඉහළ ශ්‍රේණිගත වීමක් අරඹයා අප දරණ උත්සාහයන් සහ කැපවීම පිළිබඳව මම කෙටි විස්තරයක්  කලෙමි. මෙය අසා සිටි එක් කාන්තාවක් මෙසේ කීවාය.

“ඕක මහා විකාරයක්. අපිට දැනිලාවත් තියෙනවද අපි පාස් අවුට් වුන යුනිවර්සිටි එකේ රෑන්ක් එක. කවුද ඕව අහන්නේ. බොරු වැඩ” ඇයගේ කටහඬේ වුයේ දරුණු උපහාසයකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය රැගෙන, ලංකාවේ රජයේ මුදලින් බ්‍රිතාන්‍යයේ වසරක පුහුණුව ලබා තරමක් දුර ප්‍රදේශයක රජයේ රෝහලක සේවය කරනා විශේෂඥ වෛද්‍යවරියක් බව මම පසුව දැන ගතිමි. 

මට ඇයගේ කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය බව ක්‍ෂණයකින් වැටහුණි. 

ලංකාවේ රජයේ සරසවියකට ඇතුල් වීම සඳහා ඇත්තේ ඉතා බිහිසුණු තරඟයකි. වෛද්‍ය අංශයෙන් නම් මේ තරඟයෙන් ජය ගෙන ඇතුළුවන සියල්ලන්ටම උපාධියෙන් පසුව රජයේ රැකියාව ලැබෙයි. ඉන්පසු පශ්චාත් උපාධිය සඳහා මෙරට සරසවියකට ඇතුළු වීමට අපහසුවක් නැත. එය සමත් වූ පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රටක කෙටි පුහුණුවක් ලබා ගැනීමටද රජයෙන් මුදල් ලබා දෙයි.

මේ තත්වය යටතේ ලංකාවේ සරසවි ශ්‍රේණිගත කිරීමක් පිළිබඳව කතා කිරීම පැහැදිලිවම විකාරයකි. නැත්නම් බොරු වැඩකි. ලංකාවේ පවතින පසුබිම අනුව  ලංකාවේ සරසවියක ඉගෙන ගෙන, රජයේ ආයතනයක සේවය කරන අයෙකුට සරසවියේ තත්වය කුමක්ද යන්න අදාළ වන්නෙම නැත.  

එහෙත් මේ තත්වය ලංකාවේ සියලු දෙනාටම අදාළද?

අපි මැලේසියාව දෙසට හැරී බලමු.

මා දස වසරක් සේවය කල පුත්‍රා සරසවිය පුර්ණ විශ්ව විද්‍යාලයක් ලෙස බෞතිස්ම ලබන්නේ වසර 1997 දීය. මා 2009 වසරේ එහි සේවයට බැඳෙන විට එහි ලෝක ශ්‍රේණිගත කිරීම 700-800 අතර විය. 1997 සිට වසර 12 තුල එය ලබා තිබූ ප්‍රගතියේ ප්‍රමාණය ඔබට සිතාගැනීමට නම් දශක ගණනාවකට පෙර ලංකාවේ ඇරඹි සරසවි පිළිබඳව සලකා බැලීම සුදුසුය. වසර 2009 වනවිට එම එක සරසවියක්වත් ශ්‍රේණිගත කිරීමට පවා ලක්ව තිබුනේ නැත. 

පුත්‍රා සරසවිය රජයේ විශ්වවිද්‍යාලයකි. එහෙත් එහි ඉගෙන ගන්නා සියළුම සිසු සිසුවියන් මුදල් ගෙවිය යුතුය. මැලේසියානු සිසුවෙකුට මෙම මුදල සමාසිකයක් සඳහා රුපියල් 40,000 ක් පමණ වෙයි. මෙම මුදල ගෙවීම සඳහා දක්ෂතම සිසුන්ට පුර්ණ ශිෂ්‍යත්වද සමහරුන්ට අර්ධ ශිෂ්‍යත්වද රජයෙන් ලැබේ. මීට අමතරව පෞද්ගලික අංශයෙන්ද දක්ෂ සිසුන් සඳහා ඉතා ආකර්ෂණිය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙයි. විදේශීය සිසුන් ගෙවිය යුතු මුදල දේශීය සිසුන් ගෙවන මුදල මෙන් මෙන් දස ගුණයක් පමණ වෙයි. එනම් සමසකට රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලකි. මෙම විදේශීය සිසුන්ගෙන් ද්විත්ව වාසියක් සරසවියට ලැබේ. ඒ ගැන අපි පසුවට කතා කරමු.

පුත්‍ර සරසවියේද මම සිසුන් කෙරේ බලපාන ගැටළු රාශියක් දැක ඇත්තෙමි. නේවාසිකාගාරවල තත්වය, පුස්තකාලයේ අඩු පාඩු, වැසිකිළි ප්‍රමාණවත් නොවීම, විෂය නිර්දේශ යාවත්කාලින නොවීම ආදී ප්‍රශ්ණ එහි ඇත. ඒවාට නිරන්තරයෙන් විසදුම්ද ඉදිරිපත්වෙයි. සිසු-ගුරු සිසු-පාලක හමුවීම් නිතර සිදුවේ. එහෙත් මා සිටි දස වස තුල එක පැයකවත් සිසු උද්ඝෝෂණ, පන්ති වර්ජන තර්ජන එහිදී මා දැක නැත. ඒ වෙනුවට මා නිතරම දකින්නේ පාඩමෙන් පරිබාහිර අවස්ථාවල ඔවුන් දේශීය හෝ ජාත්‍යන්තර තරඟ සඳහා සුදානම්වන ආකාරයයි.

2010 වනවිට සරසවිය මගින් අපට “Vision -2020” නමින් නව දැක්මක් ඉදිරිපත් කරන ලදී. එහි මූලික ඉලක්කය වුයේ 2020 වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේදී පළමු සරසවි 200 අතරට පුත්‍රා සරසවිය පැමිණීමයි. මේ සඳහා බොහෝ කඩුළු සහ ඉලක්ක ආචාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණි. වඩාත්ම බර පැටවුනේ මහාචාර්යවරුන් වෙතටයි. ඉතා ඉහල තත්වයේ සඟරාවල පර්යේෂණ පත්‍රිකා පළ කිරීම, තම ජාත්‍යන්තර සබදතා ජාලය තුල පුත්‍රා සරසවිය ජනප්‍රිය කරවීම, සියළු ආචාර්යවරුන් ජාත්‍යන්තර ව්‍යපෘති සහ උපදේශක කටයුතු වලට සහභාගී වීම, දේශීය වශයෙන් ඉහල වැදගත්කමක් ඇති කරුණු වලදී පුත්‍රා සරසවිය වෙනුවෙන් පෙනී සිටීම ආදී වශයෙන් මෙම ඉලක්ක ඉදිරිපත් විය. 

මා ලංකාවේ සේවය කරන කල්හි උපදේශන (consultancy) කටයුතු වලට සහභාගී වීමට එරෙහිව එකට සිටින සඟයන්ම අවි අමෝරාගෙන එන අවස්ථා අනේකවත් මම දැක ඇත්තෙමි. එහෙත් මැලේසියාවේ තත්වය ඊට සාපුරාම වෙනස්ය. එකෙකුට අවස්ථාව ලැබුණු විට ඔහු කාක්කාට ආහාරයක් ලැබුනාසේ මුළු රෑනටම අඬගසයි. සරසවිය පාලක මණ්ඩලයද උපදේශන කටයුත්තෙන් තම සේවකයා අමතරව ලබන මුදල ගැන නොව සරසවියට ඉන් ලබාගත හැකි කීර්ති නාමය පිළිබඳව විමසිලිමත් වෙයි. 

වසර 2019 වන විට පුත්‍රා සරසවිය ලෝක ශ්‍රේණිගත කිරීමේ 159 වන ස්ථානයට පත්විය. අප සැමගේ උත්සාහයන් මල් පල ගැන්විණි. අද මා සත් සමුදුරෙන් එතෙර සිටියත් පුත්‍රා සරසවියේ සාර්ථකත්වය ගැන ඉතා සතුටටත් ආඩම්බරයටත් පත්වෙමි. ඒ මාද එහි සුවිශේෂී කොටස්කාරයෙකු වන බැවිනි. මගේ ඊළඟ ඉලක්කය දැන් මා සේවය කරන දකුණු අප්‍රිකාවේ විට්වොටර්ස්රෑන්ඩ් සරසවියද මෙම මාර්ගයේම ගෙනයාමයි. 

ඇයි පුත්‍රා සරසවියට අවශ්‍ය වුනේ ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියටම යන්න? මීට උත්තරය ලංකාවේ සරසවිවලට එය අවශ්‍ය නැත්තේ ඇයිද යන්නටද පිළිතුරු සපයයි. 

අද ලෝකයේ බොහෝ රටවල ඉහල තත්වයේ රැකියාවක් ලබා ගැනීමට ගිය විට අසන මූලික ප්‍රශ්ණයක් වන්නේ ඔබ ඉගෙන ගත් සරසවියේ රෑන්ක් එක කුමක්ද යන්නයි. ජාත්‍යන්තර තලයේ ගැවසෙන අයෙකුට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. පශ්චාත් උපාධියක් සඳහා යම් සරසවියකින් ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේදීද ලෝක සරසවි ශ්‍රේණිය ඉදිරියට පැමිණෙයි. මේ නිසා දක්ෂ සිසුන් සරසවියක් තෝරාගැනීමේදී ලෝක සරසවි ශ්‍රේණිය තම මූලික සාධකය කරගනී. විශේෂයෙන්ම මුදල් ගෙවා ඉගෙන ගන්නා පිරිස මේ පිලිබන්දව දැඩි අවධානයක් යොමු කරයි. මේ නිසා ඉහල ශ්‍රේණියක පවතින සරසවියකට සිසුන්ගෙන් ඉහල මුදලක් අයකළ හැකි අතර දක්ෂ සිසුන් ආකර්ෂණය කරගැනීමේදී අනෙක් සරසවිවලට හොඳ තරඟයක් ලබා දිය හැක. ලෝක සරසවි ශ්‍රේණියේ ඉහලට යාම තම රටටද ඉතා හොඳ කීර්තියක් අත්පත් කරදෙයි. 

මෙහිදී විදේශීය සිසුන් විශාල කාර්යභාරයක් සිදුකරයි. ඔවුන්ගෙන් ලැබෙන මුදල රටට ලැබෙන විදේශ විනිමයක්ද වන්නේය. සරසවියේ කීර්තිනාමය ලොවපුරා රැගෙන යන මූලික පණිවිඩ වාහකය ඔවුන්ය. මීට අමතරව විදේශීය සිසුන් හා දේශීය සිසුන් අතර ඇති අනුපාතය ලෝක සරසවි ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී සලකන මූලික අංගයකි. ශ්‍රේණිය වැඩිවන සරසවියකට විදේශීය සිසුන් වැඩි වශයෙන් පැමිණේ. ඒ සමගම සරසවියේ ශ්‍රේණිය ඉහල යයි. මෙය ධනාත්මක චක්‍රයක ක්‍රියාත්මක වෙයි.

ලංකාවේ රජයේ සරසවි වලට ඉහල ශ්‍රේණිගත කිරීමකට උත්සහ කිරීම සඳහා විශාල අවශ්‍යතාවයක් පවතින බවක් මට නම් නොපෙනේ. මේ සඳහා සමහර සිසුන්ට (විශේෂයෙන්ම විදේශ ශිෂ්‍යත්ව ලබා පශ්චාත් උපාධි සඳහා යාමට බලාපොරොත්තුවන පිරිසට) විශේෂ උනන්දුවක් ඇත. එහෙත් ඔවුනට කළහැකි දෙයක්ද නැත. අනෙක් අතට පෞද්ගලික සරසවි වලට මේ පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් එල්ල කිරීමට සිදුවනු ඇත. අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ පෞද්ගලික සරසවි තව ටික කාලයකින් රජයේ සරසවි අභිබවා වේගයෙන් ඉදිරියට යාම වනු ඇත. 



%d bloggers like this: