Menu Close

උපන් ලපය – Taliko, A Short Story by Nodar Dumbadze

මම උපන් ගම ඇහැලියගොඩ. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට කලින් අපේ ගමේ ලීලාවතී විජේනායක අනුස්මරණ ගොඩනැගිල්ලේ වසරකට වරක් සෝවියට් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වුණා. පොතක් කීපයක් මිලට ගත් විට සෝවියට් දේශය ගැන ලියැවුණු පොත් පත් සඟරා කිහිපයකුත් නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙසේ ලැබුණු දේවල් අතර ස්පුට්නික්සඟරා කිහිපයකුත් තිබුණා. මේ එක සඟරාවක තාලිකෝනමින් කෙටිකතාවක් තිබුණා. මෙය ලියා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වුණු ජෝර්ජියාවේ ලේඛකයකු වූ නෝඩාර් ඩම්බඩ්සේ. 

නෝඩාර් ඩම්බඩ්සේ


විකිපීඩියාවේ සඳහන් වෙන අන්දමට ඔහු ඉපදිලා තියෙන්නේ 1928 ජූලි 14 වැනිදා ජෝර්ජියාවේ ට්බිලිසි කියන පළාතේ. 1984 සැප්තැම්බර් 4 වැනිදා ඔහු මිය ගිහින් තියෙනවා. ට්බිලිසි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පුවත්පත් කලාවේදියෙක් සහ නව කතාකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටියා. ඔහු නවකතා කෙටිකතා සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කොට තිබෙනවා. කොහොම හරි මේ තාලිකෝකෙටි කතාව මම කාන්තා පුවත්පතක් වෙනුවෙන් පරිවර්තනය කළා. එය 1992 ජූලි 15 වැනිදා පළ වුණා. ඒ පුවත්පතේ පිටුවකට මෙය කැටි කරන්න එහි සංස්කාරවරයා මෙය කපා කොටා සංක්ෂිප්ත කොට තිබුණා. මේ කෙටිකතාව මට බ්ලොග් එකට නැවත ලියන්න හිතුනත්, සම්පූර්ණ මුල් කතාව සොයා ගන්න හැටියක් තිබුණේ නැහැ. උස්බෙකිස්තාන් බසින් මේ  කතාව සොයා ගත්තත්, (මේ තියෙන්නේ උස්බෙකිස්තාන් කතාව) ඒ බස ගැන නොදන්නා නිසා එයින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. එය ගූගල් පරිවර්තකයෙන් ඉංග්‍රීසි බසට පෙරළා ගත්තත් එය නිවැරදි පරිවර්තනයක් නොවෙන බව පෙනෙනවා. කොහොම වුනත්, අවසානයේ මා සිතුවා සංක්ෂිප්ත කළ කෙටිකතාව හෝ බ්ලොග් එකට ලියන්න. මේ තියෙන්න ඒ කතාවයි.


තාලිකෝ, ඔයාගේ කලිසම ටිකක් පාත් කරන්නකෝ.

මම පැවසූයෙමි.

කලිසම!

ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය. ඇය මෙන්ම ඇගේ යෙහෙළිය ට්සිලායා ද මගේ ඉල්ලීමෙන් වික්ෂිප්ත වූවාය.

මම කලිසම පාත් කරන්නේ මොකටද මෝඩයෝ?”

තාලිකෝ සිනහවෙමින් ඇසුවාය.

මට ඔයාගේ උපන් ලපය බලන්න ඕනෑ.

මම පිළිතුරු දුනිමි.

මොන උපන් ලපේද?”

ඔයාගේ බුරියට පහළින් දකුණු අත පැත්තේ තියෙන්නේ.

කුඩා රතු කැටයක පැහැය ගත් මෑ ඇටයක් වැනි සිය සිය සුන්දර උපන් ලපය තාලිකෝ පෙන්වූවාය.

මේ උපන් ලපේ එතනට වඩා මෙතන තිබුණා නම් හරි ලස්සනයි.

තාලිකෝ සිය කම්මුල පෙන්වමින් පවසා, දෑත් අතරින් හිස පහත් කොට කොලුවකු විලස දියට පැන පිහිනා ගියාය.

ඒ සිදුවීමෙන් වසර හතළිහක් ගෙවී ගියේය.

මම වසරක් චියාගවුරි පාසලේ කනිෂ්ඨ පංතියේ ඉගෙනුම ලබා පසුව මගේ මවගේ ඥාතීන් වෙසෙන සුඛුමි ගමට ගියෙමි.  ඉන් පසු මම කිහිප වරක්ම චියාගවුරි වෙත පැමිණිය ද මට තාලිකෝ හමු වූයේ නැත. ඇය ඉතා රූමත් බවත්, රූ සපුවෙන් ඇයට සම කළ හැකි කිසිවෙක් අවට කිසිදු ගමක නොමැති බවත් පමණක් මට දැනගන්නට ලැබිණි.

ලේඛකයකු ලෙස කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව, වසර හතළිහකට පසු මා අද ගමට පැමිණියෙමි. ඒ මගේ මිත්තණියගේ මළගමට සහභාගී වනු පිණිසය.

කෙසේ නමුත් ගමේ උදවිය, මගේ මිත්තණියට අවසන් ගෞරව දක්වන්නට උත්සුක වනවාට වඩා උනන්දු වූයේ මාගේ ආ ගිය තොරතුරු දැන ගැනීමට බව මට පෙනුණි. ඔවුන් මග හැර නැවුම් හුස්මක් ගැනීමට මම නිවසින් මදක් පිටතට පැමිණියෙමි. අද ද කිසිදු වෙනසක් නොමැතිව ගළා යන චර්ට්චිකාලා ගඟ ඔස්සේ මම පහළට ඇවිද ගියෙමි.

සැඳෑවේදී මගේ ඥාතීන්, අසල්වැසියන් අවමංගල භෝජනයට එකතු වන්නට පෙර මම මුළුතැන්ගෙයට වැදුණෙමි.

මුළුතැන්ගෙයෙහි බොහෝ දෙනෙක් ආහාර පිළියෙල කිරීමෙහි යුහුසුළුව සිටියහ.

මෙසේ සිටින අතරතුරේ යමෙක් මා අමතනු ඇසුණි. ඒ ගැහැනු කටහඬකි.

සුබ සැන්දෑවක් වේවා නෝඩාර්!

මම ඒ හඬ ආ දෙසට හැරුණෙමි. මා ඉදිරියේ සිටියේ සුන්දර ගැහැනියකි. ඉතා කදිම දුඹුරු පැහැ දෙනෙත්, රන්වන් කෙහෙරැළි ඒ සුන්දරත්වය තීව්‍ර කළේය. ඇගේ මුහුණ උණුසුම් හසරැල්ලකින් ඔපවත්ව තිබිණි.

සුබ සැන්දෑවක් වේවා!

මම ද එසේ පිළිතුරු දුන්නත්, මට මහත් අපහසු ස්වභාවයක් දැනුණි. ඈ කවුදැයි නිශ්චිතව හඳුනා නොගත්ත ද, මා ඇය දන්නා බව නම් මට හැඟුණි.

ඇයි ඔබට මෙයාව අඳුනගන්න බැරි වුණාද? මේ තමයි අපේ තාලිකෝ!

මගේ මිතුරකු වූ ජියා උරහිසට බරවෙමින් පැවසූවේය.

දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ! තාලිකෝ!

මට කෑගැසිණි. සැබවින්ම ඒ ඇයම වූවාය. ඒ දෙනෙත්, ඇසිපිය, නිකට, ඍජු නැහැය, නළල් තලය, සුදු දත් දෙපෙළ වටකොට ගත් රතු දෙතොල් . . . . . .
උණුසුම් හැඟීමකින් මගේ හදවත දිය වී යනවා සේ මට දැනුණි.

ඉතින් කොහොමද තාලිකෝ?”

ඇගේ අවසරයක් නොමැතිවම, මගේ ලෙයිනු සැදුණු, මගේම ඥාතියකු සේ හඟිමින් දෑත් විහිදුවා මම ඇයව තරයේ වැළැඳ ගතිමි. ඇය හා ගත කළ මගේ බාල කාලය තවත් වරක් මා අබියස මැවුණා මෙන් මට දැනුණි.

තාලිකෝ! මගෙ තාලිකෝ! 

මම නැවත නැවතත් පැවසීමි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු මට දැනුණි. ඒවා නවත්වා ගත්තේ මහත් අසීරුවෙනි.

ඉතින් කොහොමද?”
මගේ දෙනෙත් ඇගෙන් ඉවතට ගන්නට මට නොහැකි විය. ඇගේ දෙකොපුල් රත් පැහැ ගැන් වී තිබිණි. ඒ උදුනේ උණුසුමටද. නැතහොත් මගේ අනපේක්ෂිත වැළැඳගැනීම නිසාදැයි මම නොදත්තෙමි.

ඔව් මම හොඳින් ඉන්නවා. ඉතින් නෝඩාර් ඔබ කොහොමද?”

මම ඔබව අවුරුදු හතළිහකින් පස්සේ දැක්කේ.

ඔව් මම දන්නවා.

ඇය දෙනෙත් පහළට නැඹුරු කොට පිළිතුරු දුන්නාය.

ඔබ විවාහ වෙලාය කියන කතාව ඇත්තද?”

ඔව් හුඟක් කල්.

දරුවෝ කී දෙනෙක් ඉන්නවද?”

හත් දෙනයි!

කීයක්?”

හත්දෙනයි. ඇයි ඔබ පුදුමෙන් වගේ අහන්නේ?. මට මුනුබුරෙකුත් ඉන්නවා. නම බාටා. අවුරුදු හතරයි.

ඒකත් එහෙමද? හොඳයි අද මම ඔබේ ප්‍රීතිමත් පවුල් ජීවිතේ කඩා දමන්නයි යන්නේ.” 

කවටකමක් වුවත්, මම ඇයට තර්ජනාත්මක ලෙස පැවසීමි.

මොකක්?”

ඇය විස්මයෙන් ඇසුවාය.

ඒක කරන්නේ මෙහෙමයි. ඔබේ පෙකණියට යටින් දකුණු අත පැත්තේ තියෙන උපන් ලපේ ගැන අද මම ඔබේ සැමියාට කියනවා. එතකොට ඔබේ පවුල් ජීවිතේ ඉවරෙටම ඉවරයි . . .!

අයියෝ, මට පිස්සු හැදෙයි. ඔබ කොහොමද මගෙ පෙකණියට යටින් තියෙන උපන් ලපේ ගැන දන්නේ?”

ඔබට චර්ට්චිකාලා ගඟේ අපි නාපු කාලේ මතක නැද්ද?”

තාලිකෝ බොහෝ වේලාවක් නිහඬව සිටියාය. පසුව අමිහිරි බවක් මුසු වී හඬකින්,

මගේ සැමියා, අවිඩිඩෝ කවදාවත්, එකම එක සැරයක්වත් මේ උපන් ලපේ දැකලා නැහැ.

යි පැවසුවාය. මට මගේ දෙසවන් අදහා ගන්නට නොහැකි මෙන් මෙන් දැනුණි. මගේ උගුර කට වියළි ගියේය.

මොකක්ද ඔබ කිව්වේ?”

මගේ මහළු සැමියා කවදාවත් මගේ උපන් ලපේ දැකලා නැහැ!

ඇය එවර එය පැවසූයේ සිනහවෙමිනි.

සිදුවීම එතැනින් අවසන් වුවත්, නව කතාකරුවකු ලෙස මම කතාවේ ඉතිරිය මෙසේ නිර්මාණය කළෙමි.

එදා රාත්‍රියේ අවුල් වූ සිතකින් නිවසට පැමිණි තාලිකෝ දැවයෙන් තැනූ යහනෙහි වැතිර වහලය දෙස නිසොල්මන්ව බලා සිටියාය. මැදියම් රැය එළැඹෙත්ම වෙහෙසව නමුත් මහත් සතුටකින් යුතුව ඇගේ සැමියා කුටිය තුළට පැමිණියේය. ඔහු සිය බිරිඳගේ පසෙකින් සෙමින් වැතිරුණේය.

ඔයා නිදිද? පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ” 

ඔහු තාලිකෝගේ කණට කෙඳිරුවේය. තාලිකෝ සිය සැමියා දෙසට හැරුණාය.

තාලිකෝ, ඔයාගේ බුරියට යටින් දකුණු අත පැත්තේ තියෙන ලස්සන උපන් ලපය මට පෙන්නන්නකෝ.

තාලිකෝට හීන් දාඩිය දැම්මේය.

අවිඩිඩෝ කවුද ඔයාට මේ උපන් ලපේ ගැන කිව්වේ?”

අපේ මුණුබුරා නේ කිව්වේ. එයාගේ බුරියට යටිනුත් රතුපාට උපන් ලපයක් තියෙනවා. මම ඒක දැක්කා. එතකොට බාටා කියනවා ආච්චිගෙත් මේ වගේම උපන් ලපයක් තියෙනවා කියලා.

තාලිකෝ ගැඹුරු හුස්මක් ගත්තාය. මොහොතක් නිසොල්මන්ව සිට සිය සැමියා වැළඳගෙන හඬන්නට පටන් ගත්තාය.

මේ මොකද? මොකක් වෙලාද? ඇයි මේ අඬන්නේ?”

අවිඩිඩෝගේ සිත කාන්සාවකින් පිරී ගියේය. ඔහු සිය බිරිඳ සනසන්නට උත්සාහ කළේය. තමා වැළපෙනුයේ මන්දැයි විස්තර කරන්නට තාලිකෝට හැකියාවක් තිබුණේ නැත. ඇය වැළපෙනුයේ මන්දැයි අවිඩිඩෝට ද සිතා ගන්නට හැකියාවක් තිබුණේ නැත.


%d bloggers like this: