Menu Close

221. සුහදිනියේ – 24 | අවදානම් ක්‍රියාන්විතයක්, මධුලිකා සතුරන් අතට හසුවේද?

කලින් කොටසට 

ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව අසද්දී මහන්සියට මගේ හුස්ම වැටුනේ කඩින් කඩය. මම ලොකු හුස්මක් ගෙන නැවතත් මගේ ප්‍රශ්නය ප්‍රතිරාව කලෙමි.

“ගෝමස් ඉන්නවද?”

“ගෝමස් කියන්නේ කවුද? මහත්තය කවුද?”

“එතකොට අද රෑට සෙකියුරිටි ඉන්නේ ගෝමස් නෙවෙයිද?”

“ඒක නම් මම දන්නා නැහැ මහත්තය. අද මේ දැන් මම ඉන්නේ! වෙන කවුරුත් නෙවෙයි.. “

ආරක්ෂක නිලධාරියා අතිශය කටුක ලෙස කතාකරන්නට විය. මහා රාත්‍රිය මධ්‍යයේ හැකි උපරිම කෙටි පාරවල් හරහා මම විද්‍යාලය තෙක් පයින්ම පැමිණියේ ඒ මොහොතේ තත්වය අනුව මට කරන්නට යමක් නැති බැවිනි.

ගෝමස් යනු මගේ පාසලේ රාත්‍රී මුරකරුය. තාත්තා සමඟ පැමිණි මිනිසුන් දෙදෙනා සාකච්චා කලේ පැහැරගන්නට නියමිත තරුණියගේ පාසලේ මුරකරු ගැන බැවින් ගෝමස් හමුවීමට මම තීරණය කලෙමි.

ගෝමස් අද මුර සේවයේ නොමැත. ඔහු ගැන මෙම අකාරුණික මිනිසාගෙන් විමසා පලක් නොවන හැඩකි. ගෝමස් මම හඳුනන නිසා මම මෙහි පැමිණියේ ඒ හැඳුනුම්කම යටතේ සහ ඔහු ගැන මම දන්නා රහස දඩමීමා කරගෙන මේ ක්‍රියාන්විතයෙන් ඔහුව ඉවත් කරන්නටය. නමුත් එය තනිකරම අසාර්ථකය. මට ඇත්තේ තව එකම විකල්පයක් පමණි. ඒ මධුලිකා එතැනින් හෙට උදේ එලියට එම වැලැක්වීමයි.

නමුත්, මේ ‘මී දෙන’ මා කියන්නක් අසන්නට සුදානම් නැතිය. ඇය සිතන්නේ ඈ පිටතට යනවාට මම ඉරිසියා කරන බවකි. ඇය එසේ යනවාට මම ඊර්ශ්‍යා කල බව සැබෑවකි. නමුදු දැන් සැබෑ හේතුව එය නොවේ. පැහැරගන්නට තැත් කරන්නේ කවුරුන්දැයි මට ගොතා කියන්නටද නොහැකිය. නමුත් කුමක්හෝ නිර්මාණශීලි බොරුවක් මගේ කටට නොආවෙන් දැන් නිවැරදි කරවන්නට ප්‍රමාද වැඩිය.

මගේ සිත කෝපයෙන් සහ භීතියෙන් රත්ව ගොස් ඇත. වඩාත් භීතිය ඇතිවුයේ මෙවර මගේ විරුද්ධ පාර්ශවයේ සිටින්නේ මගේ පියා හෝ ඔහු හා සම්බන්ධ අයෙකු බැවිනි. සුළු අත්වැරදීමකින් මේ සියලු රහස් එළිවන්නටත් , මධුලිකාගේ ජීවිතය අනතුරේ හෙලන්නටත් ප්‍රමාණවත්ය.

ඉක්මන් ගමනින් මම නැවත නිවස වෙත දිව විත් , හති හලමින් කාමරයට රිංගා ගත් මම නැවත සිතන්නට වීමි.

නිමන්තිගේ දුරකතනයට අමතන්නට සිහිවුයේ එම මොහොතේය. අවාසනාවට එයද නිවාදමා තිබිණි. ඇයට මධුලිකා  පැහැරගැනීමේ අවදානමක් ඇති බවත් , ඉක්මනින් මා අමතන ලෙසත් පවසා කෙටි පණිවිඩයක් තියනවා හැරෙන්නට ඈ ඉන්නා ඉසව්වක් හෝ මම දැන සිටියේ නැත.

නිවසේ තාත්තා සිටින මේ මොහොතේ වාහනයකින් මගට බැසීම කොහෙත්ම කල නොහැක්කකි. එබැවින් පසුවදා උදෑසන වනතුරු මට ඉවසන්නට සිදුවේ. නමුත් පසුවදා ඔවුන් උදෑසන කියට පිටත් වන්නේද, එසේ ගොස් සිටින අතරේ මට මධුලිකා එතැනින් ගලවාගෙන යන්නට ඉඩක් ලැබේද යන්න සිතාගැනීම අපහසුය.

ඔවුන්ට පෙර මා එහි යා යුතුය.එබැවින් ඔවුන් පිටත් වූ පසුව ගොස්, ඔවුන්ට පෙර මම එහි ළඟාවිය යුතුය. එය තරමක් අවදානම් සහගත ගණනය කිරීමකි.

නමුත් විකල්පයක් නොමැත. ඇති එකම මග එපමණකි.

ඊට පෙර මම වහා පහලට ගොස්, ක’රීනා මෝටර් රථය පන නොගන්වා තල්ලු කරගෙන විත් තාත්තාගේ මොන්ටෙරෝ ජීප් රථය පිටතට ගත නොහැකි පමණට මග අහුරා නතර කර, යතුර කාමරයේ තබාගත්තෙමි. එසේ කලේ, පසුවදා මට පළමුව තාත්තා පිටත්වන්නේ නම්, එය මට දැනගැනීමට ඉඩ හසර ලබාගැනීමටයි. නින්ද ගිය පසු අවට සිදුවන කිසිවක් ගැන හෝ නිනව්වක් නොවන මට ඊට වඩා යමක් කළහැකි නොවීය.

මගේ අවාසනාව අවසන්ව නොතිබිණි.

රාත්‍රියේ දිවීමෙන් ඇතිවූ මහන්සියට, රාත්‍රී ස්නානයෙන් යම් සහනයක් සැලසුනෙන් , මට ඉක්මන් මෙන්ම ගැඹුරු නින්දක් ළඟා වන්නට ඇතිය.

කුමක් හෝ අමුත්තක් නිසා නින්දෙන් ගැස්සී අවදිවුන මට එකවරම වෙලාව බැලුණි. අවාසනාවක මහත! පාන්දර දෙකට පමණ නින්දට බට මට , ඒ වනවිට උදෑසන දහයට විනාඩි හතක පමණ වෙලාවක් ඔරලෝසුව දක්වා සිටියේය!!

කවර ආකාරයකින් මම පහල මාලයට පැමිණියාදැයි මම නොදනිමි. එසේ එනවිට, තාත්තාගේ වාහනය හරස්කොට මම නතරකල ක’රීනා මෝටර් රථය එලෙසම තිබියදී, මගේ ජීප් රථය අතුරුදහන්ව තිබිණි. මගේ හිස ගිනිගත්තේය.

මෝඩ මම ක’රීනා මෝටර් රථයේ යතුර තබාගත්තා මිස, ජීප් රථයේ යතුර සුපුරුදු පරිදි පොදු යතුරු රඳවනයේ තිබෙන්නට හැර ඇත.

“ලොකු… !මොකද මේ?”

මට සුපර් මෑන් ශක්තිය ලැබුනාද නොදනිමි. මම සාලය හරහා දිවගිය වේගයට අම්මා සාලයට පැමිණෙමින් ඇසුවාය.  විදුලි වේගයෙන් මම කාමරයට දුවගොස් මගේ අල්මාරියේ සඟවා තිබුණු බොරු කොණ්ඩයත්, අවියත්, පිහියත්, දුරකථනයත් ගෙන කරීනා මෝටර් රථයට නැග්ගේ අව සිහියෙන් මෙනි.

“.. මොකද ළමයෝ??? පිස්සු හැදිලද?… මේ මොකෙක් වැහිලද?”

ඒ කිසිවක් නොවේ මගේ කනකට වැටුනේ! මෝටර් රථය මම මහා මාර්ගයට ගත්තේ මහා හඬක් නංවමිනි. මම දුරකථනය ස්පිකර් දමා මධුලිකා ඇමතුවෙමි. දුරකථනය නාදවෙයි.

“ආන්සර් කරපිය කෙල්ල! ආන්සර් කරපිය…..”

මම නොනවත්වා මුමුණන්නට වීමි. දුරකථනය පිළිතුරක් නොලබාම විසන්ධි විය. වාහනය පදවන ගමන් මම පිස්සෙකු සේ දොඩවන්නට වීමි. මම තෙවරක් එලෙස උත්සහ කලද මධුලිකාගේ පසින් එයට පිළිතුරක් ලැබුනේ නැත.

“ආන්සර් කරපන් මෝඩියේ….. උඹට මොකක් හරි උනොත් මම මරනවා එකෙක්ව!”

මම වාහනය තුල ගුගුරා හැලුනෙමි. ගැහැණු ළමයෙකු විෂයෙහි භාවිතා කරන යම් නොසරුප් වදනක් වේද, ඒ සියල්ලම කියමින් මම මධුලිකාට වාහනය දෙදරන්නට බෙරිහන් දුන්නෙමි. එය අසන්නට මධුලිකා නොවීය. රථවාහන නීති උල්ලංඝනය කරමින්, උන්මන්තක මෝඩයෙකු සේ මම රථය පදවාගෙන ගියේ අවසිහියෙන් මෙනි.

මහල් නිවාසය පෙනෙන මානයේ අතුරු පාරක වාහනය ගාල්කළ මම වහා තුවාන් අයියා ඇමතුවෙමි.

ඒ වනවිටත් මම යමක් සිතින් සැලසුම් කරගෙන උන් බැවින් බොරු කොණ්ඩය පැළඳ , මහල් නිවාසය අසල ඇති ඇඳුම් සාප්පු සංකීර්ණයට ඇතුළුවී , මහල් නිවාසය ඉදිරිපස මනාව පෙනෙන තැනකට පැමිණ තාරුක අයියා ඇමතුවෙමි.

ඔහුගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත. බොහෝවිට ඔහු එදින උසාවි යන්නට ඇත. කරන්නට වෙන විකල්පයක් නොමැත. මෙය මම තනිව සැලසුම් කලයුතුය.

ඉදිරිපස හොඳින් නිරීක්ෂණය කල මට කිසිම අමුත්තක් දකින්නට ලැබුනේ නැත. නමුත් මම එහිම ඇස රඳවාගෙන නැවතත් මධුලිකා ඇමතුවෙමි. තවමත් ඇය පිළිතුරු නොදෙයි. මම නිමන්තිගේ අංකයට කතා කලෙමි. එයද නාදවෙනවා මිස ප්‍රතිචාරයක් නොමැත. සිදුවී ඇත්තේ කුමක්දැයි මට තවමත් සිතාගත නොහැක.

වෙලාව උදෑසන 10 පසුවී විනාඩි තුනකි. මම ප්‍රමාද වුවා වැඩිද? දැනටමත් මධුලිකා ඔවුන් විසින් පැහැරගෙන ගොස්ද?

තවත් ප්‍රමාද වීමෙන් පලක් නැත. අවදානමක් ගැනීමෙන්ද පලක් නැත. මම ඇඳුම් සාප්පුවෙන් එලියට ආවෙමි. එළියට අඩිය තබනවාත් සමඟම අතුරු පාරකින් කොරගසන මිනිසෙක් සහ හැඩි – දැඩි මිනිසෙකුගේ රුවක් මතුවිය. එකවරම සිත ගැස්සී ගියද, මම වෙනසක් නොපෙන්වා ඇවිද ගියේ මගේ බොරු කොණ්ඩය විසින් යම් ආවරණයක් තිබෙන බැවිනි.

මම ඔවුන් දෙදෙනා හඳුනාගතිමි. හැඩරුවෙන් ඔවුන් ඊයේ රාත්‍රියේ අප නිවසේ රියදුරු නිලකාමරයේ නවාතැන්ගෙන සිටි දෙදෙනාය. තවමත් ඒ දෙදෙනා හිස් ආවරණය කරමින් තොප්පි පැළඳ සිටියහ. ඔවුන්ගේ මුහුණු දෙස බලන්නට මට අවකාශයක් නොවිණි.

තාත්තා මේ අසලද?

මම පාර මාරු වී ඔවුන් සිටි ස්ථානය කරා ගමන් කලෙමි. ඒ අසල කාසි මගින් ක්‍රියා කරන මහජන දුරකථන කුටියක් තිබිණි. එයට ආවරණයක් තිබුනේ නැත. මම සාක්කුවෙන් ගත් කාසියක් ගෙන එහි ඔබා ඉතා ග්‍රාම්‍ය තාලයෙන් අංක එකින් එක ඔබන්නට වුයේ ඔවුන් දෙදෙනා වෙත ඇරුණු කන් වලිනි.

“….. මේක තමයි ඉස්සරහ තැන…. උඹ ඕක වටේ පිටිපස්සට පලයන්…”

“හරි… ( පැහැදිලි නැත ) තියෙනවා නේ?”

“ඔව්.. ඒවා හරි… අපේ උන් තව ටිකකින් එනවා”

මගේ අනුමානය නිවැරදිය. මොවුන් මධුලිකා පැහැරගැනීමට පැමිණ ඇත. මම බොරු කොණ්ඩයෙන් යම් පමණකට ආවරණයක් ලබා ඇතිද, තාත්තා දුටුවහොත් මා හඳුනාගන්නවා නිසැකය. කලබල වීම අවාසි සහගතය.

කොරයක් සහිත මිනිසා පාර මාරුවී මහල් නිවාඩ ගොඩනැගිල්ල දෙසට එන්නට විය.මම දුරකථන ඇමතුම අසාර්තක වූ බවක් හඟවා පාර මාරු වී, මට ඉදිරියෙන් යන කොරයක් ඇති මිනිසා පසුකොටගෙන යන අතරතුර බොරුවට කකුල පටලැවී වැටෙන්නට මෙන් ගොස් ඔහුගේ ඇඟේ හැප්පුනෙමි. එලෙස කලේ මම වැටෙන්නට යාම ඔහුගේ ඇස ගැටෙන පරිදිය.

“හනේ… සොරි… වෙරි සොරි.. මගේ කකුල පැටලුනා”

මගේ කපටිකමට ඔහු හසුවිය. වැටෙන්නට යන මා අල්ලාගන්නට ක්ෂණිකව ඉදිරිපත් වූ ඔහුගේ ඉනෙන් බදා ඇල්ලු මට, එහි තිබෙන ගිනි අවියක හැඩතලය දැනෙන්නට ඒ මොහොත හොඳටම ප්‍රමාණවත් විය.

මොවුන් සතුව ගිනි අවියක් තිබේ. එකක් බැගින් දෙදෙනාට දෙකක් තිබෙනවා විය හැකිය. මොවුන් වෘතිය මට්ටමෙන් කෙසේ වෙතත් යම් පමණක අත්දැකීමක් ඇති මැරයින් බවක් මට ඉවෙන් මෙන් දැනේ. අවදානමක් ගැනීම කෙසේවත් කල නොහැක. මම ගිනි අවියක් අත දැරුවත්, කිසිවිටෙක එයින් වෙඩිතබා සතුරෙකු හෝ ඝාතනය කරන්නට මට අවැසි නොවීය. එහෙත් අවශ්‍යතාවයක් වුවහොත් එය පාවිච්චි නොකර සිටින්නට මට හැකියාවක් නැත.

මම මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපස දොරටුවේ මුරකුටිය වෙතට ඇවිද ගියෙමි. බොරු කොණ්ඩය නිසා මගේ අනන්‍යතාවය තහවුරු කිරීම අපහසුවකුත්, ඒ සමඟම එය ඉවත් කිරීමේ අවදානමකුත් අතර මම දෙගිඩියාවෙන් වුවද නොසෙල්වී ගමන් කලෙමි. මුරකුටිය අසල යම් කලබලයක් පෙනුනි. මම අත තිබිණු යතුරු කැරැල්ල බිම දමා බිමට නැමී එය අහුලන්නා සේ පසුපස බැලුවෙමි. කොර මිනිසා ගොඩනැගිල්ලේ පසුපසට යන්නට ඇත. උසින් මහතින් යුතු මැරයා ඈත සිට බලා සිටිනු මට පෙනේ.

ඔහු මා සැක කලාද?

මුර කුටිය අසල සුදුජාතික කාන්තාවක් ඉහල ස්වරයකින් ආරක්ෂක නිලධාරියෙකුට කතාකරන බවත් එය සමථයකට පත් කරන්නට ඊට උසස් නිලධාරියෙකු උත්සහ කරන බවත් මට පෙනුනි. මම වැඩි කල එළියක් නොකොට එතනින් ක්ෂණයෙන් රිංගා ආවෙමි. මා වෙත අවධානයෙන් සිටියා නම්, මැරයාද මෙලෙසම එනු ඇති සිතුනු මම ඉක්මනින් එතන තිබුණු කණුවකට මුවා වුනෙමි.

ආපසු බැලු මට පෙනුනේ මම අනුමාන කල පරිදිම මැරයා මා අනුගමනය කරමින් ඇතුල් වන්නට උත්සහ කරන අයුරුය. මට තරු පෙනුනි. ඔහුගේ අවාසනාවට, ආරක්ෂක නිලධාරියාගේ ඇස ගැටුණු ඔහුව එහිදී වලක්වා ගන්නවාත්, ඔහු මා ආ දිශාවට අත දිගුකොට යමක් කියනවාත්, ඒ මොහොතින් මා ආ මග දෙස බලා ; මගේ සේයාවක් නොදැක හිස් දෙපසට වනමින් ආරක්ෂක නිලධාරියා එය ප්‍රතික්ෂේප කරනවාත් පෙනුනි. මැරයා පසුබැස ගියේය.

ඔහු මා හඳුනා ගත්තාද?

මම ගොඩනැගිල්ලේ පසෙක ඇති හදිසි පිටවීමේ දොරටුවෙන් එක මහලක් ඉහලට නැග , ඉන් අනතුරුව විදුලි සෝපානයට පැනගත්තේ බොරු කොණ්ඩය හකුලාගෙනය.

සෝපානය අදාළ මහලට පැමිණෙත්ම, දොර ඇරෙන නිමේෂයෙන් එලියට පැන මම මධුල්කාගේ නිවසට දුව ගොස් දොරට තට්ටු කළා නොව හෙන ගෙඩි අතහරිනවා මෙන් තඩිබෑවෙමි.

 හැරුණු දොර තල්ලු කරගෙන මම නිවසට ඇතුළු වුයේ පන්දම අතින් ගත යකදුරෙකු පරිද්දෙන් විය යුතුය. මධුලිකාට ඒ ක්ෂණයෙන් කෑගසුනි.

“යමු.. යමු.. මෙහෙන් යමු!”

මම ක්ෂණයෙන් ගෙතුලට ගොස් මගේ කාමරයට වැදී මගේ ඇඳුම් අවුස්සන්නට වීමි. මධුලිකා භීතියෙන් වෙව්ලන්නට වී මා පසුපසින් ආවාය. කළු පැහැති කලිසමක් සහ මඩ ගොම පැහැති අත්දිග කමිසයක් ගත් මම විමතියෙන් මා දෙස බලා සිටින මධුලිකා වෙත විසිකලෙමි.

“….ඇඳගන්නවා මේක !”
 

ඒ ක්ෂණයෙන් භීතියට පත්ව මා දෙස බලා සිටින සේවිකාව දෙසට හැරුනෙමි.

“නැන්දා… ඔයාට දැන් ලෙඩවෙලා වගේ ඉන්න ඕනේ.. කලන්තේ හැදිලා.. අර සෝෆා එකේ ඇලවෙන්න.. ඉක්මනට… ඔය හේදිල්ල පැත්තකට දාලා මම කියනදේ කරනවා ගෑනියේ!”

තුවාන් අයියාගෙන් ඇමතුමකි. මම එයට පිළිතුරු දුන්නේ විශාල ජනෙල් කවුළුවේ තිර අතරින් ඇස පමණක් එලියට දමා පහල පාර ගැන උකුසු ඇස යොමමිනි.

“කියපන්..”

“වාහනේ එව්වා… ඉස්සරහ දොරෙන් වරෙන්.. එතකොට අවුලක් නැහැ… “

“එල මචන්”

චොක්ලට් පැහැති වෑන් රථයක් අසල උස මහතා මිනිසා එහි රියදුරු සමඟ කතාවකි. එහි විදුරු සියල්ල අඳුරුය. ඔවුන් ක්‍රියාන්විතයට සුදානම්ය!

“මම එවනවා අපේ ඉන්ටර්න් ඩොකෙක් ඒකෙ.. ඌ මුකුත් දන්නේ නැහැ.. දන්නේ ලෙඩාව ගේන්න කියන එක විතරයි.. “

“එල මචන්…. උඹ ඕනේ ඒ උනාට මට!”

චොක්ලට් පැහැති වෑන් රථය අතුරු පාරකට හරවා නතර කරන විට එයින් තව දෙදෙනෙකු බිමට බටහ. මහත ගෝරිල්ලා දුරකතනයෙන් කා සමඟ හෝ සංවාදයක් අතරේ අප උන් ගොඩනැගිල්ල දෙස දෙතුන් වරක් බලමින් සිටියේය.

“කෙලින්ම උඹලා වරෙන් මගේ ඩිස්පෙන්සරියට… විනාඩි පහලොවෙන් මම එතන!”

“හරි… එළකිරි”

මම වහා ආපසු හැරෙනවිට සෝෆාවේ මෙහෙකාරිය බියපත්ව හිඳගෙන සිටි අතර මධුලිකා මම ලබාදුන් ඇඳුම්  අත ඇතිව මා දෙස භීතියෙන් බලා සිටියාය.

“ඇඳගන්න නේද කිව්වේ!”

මම ගුගුලා හැලී මධුලිකා අත තිබුණු කමිසය  ඈගේ හිසෙන් දමා බලෙන් මෙන් අත් දෙක අන්දවා ගනිද්දී මධුලිකා තරහෙන් මෙන් සිටිනු මට දැනුනි. කිසිවක් කතාකරන්නට වෙලාවක් නොවේ. ඈතින් සයිරන් හඬ ඇසුනි.

“හරි.. ලැස්ති වෙන්න දැන්…!! දුවල ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ගන්න… කිසිම දෙයක් තියන්න එපා… ඉක්මනට… ඇඳුම් තිබුනාවේ… “

එසේ කිව්වද මමද මධුලිකා සමඟ එක්ව වහ වහා ගමන් මල්ලකට ඇගේ කාමරයේ මේසය මත තිබුණු ලියකියවිලි සියල්ල හලාගෙන හලාගෙන ගියෙමි. සයිරන් හඬ මහල් නිවාස ගොඩනැගිල්ල පාමුලට සේන්දු විය. කලබලයෙන් එක් ලාච්චුවක් විවෘත කරද්දීම එහි ලොකු වර්ණ පින්තුරයක් දැක මම ගල් වී ගියෙමි.

එහි සිටියේ මමයි!

මධුලිකා එය ක්ෂණයෙන් උදුරාගෙන බෑගයට එබුවාය.

වෙනත් දෙයක් හෝ කතා කරන්නට වෙලාවක් නොවේ, නිවසින් පිටත දිවගෙන එන පියවර හඬවල් රැසක් ඇසෙත්ම මම බෑගය වසා මධුලිකාවත් ඇදගෙන සාලයට පැන්නෙමි. සේවිකාව මම කියූ ලෙසම සෝෆාවේ වැතිර දෑස පියාගෙන උන්නාය.

පියවර හඬ සමඟ කටහඬ ලංව ඇසුනි. මම දොර හැර එලියට පැමිණියේ බොරු කොණ්ඩයද සමඟිනි. ආරක්ෂක නිලධාරියෙකු සමඟ හෙදියන් දෙදනෙකු කලබලයෙන් අප වෙත ආවෝය.

“මේ මෙතන.. මේ ඉන්නේ.. සිහිය නැති උනා… ඩොක්ටර් අන්සාර් කිව්වා ක්ලිනික් එකට ගේන්න කියලා”

මම සේවිකාව දක්වමින් කීවෙමි. හෙදියක් වහා ඉදිරිපත්ව නාඩි පරික්ෂා කල අතර මම ආරක්ෂක නිලධාරියා යම් පමණකට සමබර කරගත්තෙමි.

මධුලිකා ඒ වනවිට මම දුන් මගේ ඇඳුම් ඇඟලාගෙන , බෑගය අතින් ගෙන සිටියාය. කුඩා බුහුටි සිරුරක් හිමි ඇය මගේ ඇඳුම් හැඳ සිටිනවිට පඹයෙකු මෙන් විසුළු පෙනුමක් ගෙන තිබුනද ඒ මොහොතේ සිනහවන්නට අවසරයක් නොවිය. අප නිවස අගුලු දමා, සාමාන්‍ය සෝපානයට විරුද්ධ පස ඇති සේවා සඳහා යොදාගන්නා සෝපානයෙන් පහලට පැමිණියෙමු. මම සේවිකාව ඔවුන් විසින් ගෙන ආ ඇඳෙහි සතපවා සිටි බැවින්, මධුලිකා ආවරණය වන පරදී සිටගත්තෙමි.

වහාම ඇඳෙහි සතපවන ලද සේවිකාව රෝගියා ලෙසත්, අප දෙදෙනා ඇගේ භාරකාරයින් ලෙසත් අප තිදෙනා ගිලන් රථයට නංවා ගැනුනි.

“ඩොක්ටර් අන්සාර් ගේ ප්ලේස් එකට යන්න… මේ එයාගේ පේෂන්ට් කෙනෙක්”

ගිලන් රථය පිටත්විය. මැරයින් සහිත වෑන් රථයත්, ගෝරිලි මිනිසාත් පසුකරමින් අප ආරක්‍ෂිත ලෙස එතනින් පැනගනිද්දී මගේ සිත යම් පමණකට සැහැල්ලුවක් දැනුනි.

**********************************

“උද්දච්චකම…! තියෙන හිතුවක්කාරකමනේ…!!”

මගේ කටහඬ වඩා උස්ව නැගෙන්නට විය. මධුලිකා මා දෙස බලා සිටියේ මා හළු කරන තරම් කෝපයෙනි.

“කාගේද දන්නේ නැහැ උද්දච්චකම! කවුද දන්නේ.. එක එක වෙලාවට එක එක කතන්දර… මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ?”

මධුලිකා මගේ පපුවට අත තබා මා පසුපසට තල්ලු කළාය. පසුපට විසිවුවද මම එකවරම මධුලිකාගේ උරපතුව තදකොට මිරිකා ගත්තෙමි.

“හිතාගෙන ඉන්නේද? හිතාගෙන ඉන්නේ ‘තමුන්’ කවුරු කියලද? ගහන්න හිතෙනවා උස්සල පොලවේ”

“ඉතින් ගහන එකනේ තියෙන්නේ.. “

මට ඉබේම මධුලිකාගේ මුව තදකොට ඇල්ලුනි. වැරෙන් මුව මිරිකුණු හෙයින් මධුලිකා මට තද කම්මුල් පහරක් එල්ල කළාය. ආවේගයට මගේ අත බුරුල් වුයේ නැත. ඒ වෙනුවට මට ඇගේ කම්මුල් පහර එල්ලකළ අත හසුවුනි. මගේ ඇස් වල විදුලියක් මෙන් පිටවන ආවේගය සමඟින් මම මධුලිකාගේ ඇස්දෙක දෙස බලාගෙන සිටියෙමි. අප දෙදෙනාම එකිනෙකාට රවාගනිමින් සිටියෙමු.

“අනේ මහත්තයා… අනේ බේබි.. අනේ…. “

සේවිකාව මධුලිකාත් මමත් අතරට පැන එල්ලුනේ මගේ අතෙහිය. මගේ අත්වල ඒ මොහොතේ තිබුනේ යකඩ වැනි ශක්තියකි. මගේ ග්‍රහණය ලිහිල් වුයේ නැති බැවින් මධුලිකා හඬක් නගාගත නොහැකිව දැඟලුවාය. ඇගේ අනෙක් අතෙහි නිය මගේ වම් පපුවේ ටී කමිසය පසාරු කරගෙන ගොස් තිබිණි.

“තොපි දෙන්නා මෙතන මරාගන්නේ නැතුව ඉන්නවද..?”

තුවාන් අයියා පැමිණියෙන් මගේ බැල්ම ඔහු වෙත යොමුවිය.

බලවත් ලැජ්ජාවක් මට ඇතිවුයේ මම තරුණියක් හා බළල් ස්වරුපයෙන් පොරකාගන්නවා ඔහු දුටු හෙයිනි. එය තීව්‍ර වුයේ ඔහුගේ මුවේ තිබුණු සෝපහාස සිනහව නිසාය. මධුලිකා ඉවතට තල්ලු කරමින් මම එතනින් ඉවත්විමි.

තුවාන් අයියා මා පසුපස පැමිණියද මම නොනවත්වා යමින් ඔහුගේ ප්‍රතිකාර අංගනයෙන් එලියට පැමිණියෙමි.

“මචන් ඔහොම හිටපන්… අඩෝ…!”

තුවාන් අයියා මා පසුපස දිව විත් මග අහුරා හිටගත්තේය.

“.. උඹ ඔහොම කෑගහලා හරියනවද බලපන්. හරි හරි දැන්.. කොහෙවත් යන්න එපා… වරෙන් වරෙන්”

සියල්ලටම වඩා ලැජ්ජාවය. මධුලිකාගේ හිතුවක්කාරකම මා පාරවා තිබේ. ඈ මුහුණදුන් ජිවිත අවදානම ගැන කිසිම වගක් ඇයට නැතුවා වැනිය. ඈ එයට මා වරදකරු කරන්නේ ඇයි?

තුවාන් අයියා විසින් සනසන ලදුව මම නැවත ඔහුගේ පරිශ්‍රයට ගොස්, ඊට යාබදව ඇති ඔහුගේ විවෙකාංගනයට ගියෙමි. ඩිස්පැන්සරියට යාකොට හැදු කුඩා ඇනෙක්සියක් බඳු එහි අවශ්‍ය සියලු පහසුකම් තිබිණි. මම එහි තිබුණු කුඩා පුටුවකට බරවී හුස්මක් හෙලුවෙමි.

“පොඩ්ඩක් බලපන් අර මොට්ටි මොකක් කරනවද කියල.. තුවාලද දන්නේ නැහැ…”

කිසිවක් නොකියා තුවාන් අයියා මධුලිකා සහ සේවිකාව සිටි කොටසට ගියේය. මගේ දකුණු පැත්තේ පපුව දැවිල්ලක් ඇතිකළ බැවින් කමිසය ඔසවා බැලු මට පෙනුනේ එය නියපොතු වැදී තුවාලව ලේ ගලන බවයි.

‘කොටිච්චි…! නපුරිච්චි….. යක්ශනී වගේ මාව හූරලා…’

තරහක් සමඟම මට සිනහවක් නැගුණි. අප දෙදනා පෙරපාසල් දරුවන් දෙදෙනෙකු මෙන් එකිනෙකා හූරා, හපාගෙන ඇති හැඩකි. මම ඇගේ කට මිරිකු අතර ඈ මා සූරා ඇත!

නැවත එන තුවාන් අයියා සිනාසෙමිනි.

“උඹලා දෙන්නා නම්!….. කියලා වැඩක් නැහැ බන්…”

ඔහු සිනාසෙමින් පැමිණ මා අත පුළුන් කැබැල්ලක් දිගු කළේය.

“… ආ…. ඕකෙන් පොඩ්ඩක් අතුල්ලගනින් හුරපුවා…”

මම විමතියෙන් ඔහු දෙස බැලුවෙමි. ඔහු දුටුවාද ඈ සුරනවා?

“.. ගනින් ගනින්.. එයාම තමයි එව්වේ…හීරුවා.. මොකද කියලා බලලා බෙහෙතක් දෙන්න කියල… හික් හික්. හික්… “

මම පුළුන් කැබැල්ල අතට ගත්තෙමි. තුවාන් අයියා දෙස බැලිය නොහැකිය. එසේනම් මධුලිකා විසින් ඔහුට මා සීරු බව පවසා ඇත. මමද තදින් ඈ මිරිකා අල්ලා ගත්තෙමි. ඇයට තුවාලද?

“තු.. තුවාලද ?”

මම කමිසය තුලින් අත යවා පුළුන් කැබැල්ලෙන් පිසගත්තෙමි. තාරකා පංතියක් විසිරෙන තරමට දැවිල්ලකි.

“කාටද?”

“ම-ධු-ට….”

“ඔය යසට ඉන්නේ… ! ……………….. අඬනවා..”

මගේ සිත උණුවී ගියේය. එහෙත් කිසිවක් නොකීවෙමි. තුවාන් අයියාගේ සේවකයෙක් මා අත තේ කෝප්පයක් තැබුවේය. මම එය අසල ටීපෝව මත තබා පුටුවේ පසුපසට හේත්තු වී කල්පනාවට වැටුනෙමි.

මධුලිකාත් සේවිකාවත් යන දෙදෙනාම එකවරමත් ආරක්ෂිතවත් පිටතට ගතහැකි ක්‍රමයක් ලෙස මට කල්පනා වුනේ තුවාන් අයියාගේ ආධාරයෙන් එතැනට ගිලන් රථයක් ගෙන්වාගෙන එයින් පිටත්වීම බවයි. තුවාන් අන්සාර් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු නිසාත් ඔහු මගේ මේ පැටලවිලි ගැන යම් පමණකට දැනසිටි නිසාත් පොඩි කතාබහකින් මට අවැසි පරිදි සියල්ල සිදුවිය. ඔහුගේ ඩිස්පැන්සරිය කියා පැවසුවද එය තරමක සේවා ස්ථානයක් නිසා මධුලිකාටත් සේවිකාවටත් සිටීමට වෙනම කාමරයක් ලබාගත හැකිවිය.

නමුත් එහි පැමිණි මොහොතේ මගේ කලබලයත්, මධුලිකාගේ කලබලයත් එක්ව අප දෙදෙනා රණ්ඩු කරන්නට වීම දැන් මට පෙනෙන්නේ බොළඳ, මෝඩ වැඩක් ලෙසය. නමුත් ලැජ්ජාව නිසාත්, මගේ අභිමානය නිසාත් මට ඇගෙන් සමාව ඉල්ලන්නට නොසිතේ. මම කරන්නට උත්සහ කලේ ඈට යහපතකි. මුරණ්ඩු ඇය විසින් මෙලෙස මට ප්‍රතිචාර දැක්වීම අනුමත කරන්නට හැකිද?

උදෑසන ආහාරයක් හෝ නොමැතිව කල වික්‍රමයෙන් පසුව හෙම්බත්වී සිටි මට පිහිටට සිටියේ තුවාන් අයියාය. වෙලාව ඒ වනවිට දහවල් දොළහට ආසන්නව පැවතුනි.

“මචං උඹලා දැන් කොහෙද යන්නේ?”

මා සතුව පිළිතුරක් නොවුනි. මම කල්පනා කලෙමි.

“හරියට තැනක් හොයාගන්නකල් හොටෙල් එකකට වත් යන්න ඕනේ.”

මම කල්පනාබරිතව පැවසීමි. තුවාන් අයියාද කල්පනාවට වැටෙන්නට ඇත. මද වෙලාවකින් ඔහු හඬ අවදි කළේය.

“අපේ ගෙදර යමු. මොකක්හරි කරනකල් ඉන්න පුළුවන්. ඉඩ තියෙනවා”

මම තුවාන් අයියා දෙස බැලුවෙමි.

ඔහු මගේ පාසල් යහළුවෙකුගේ අයියාය. තාර්කිකව සොයා බැලුවද සැකයක් සිතෙන තැනක් නොවන්නට සෑහෙන්න ඉඩක් තිබේ. මේ මොහොතේ තිබෙන තත්වයට අනුව, කවදා වනතුරු සිටින්නට වේදැයි නිත්‍ය වශයෙන් කිව නොහැකිය. ඒ සැමටම වඩා හෝටල් කාමරයක් යනු විස්තර සපයා ලබාගතයුත්තක් බැවින් අපගේ තොරතුරු තුන්වන පාර්ශවයකට යාමට ඇති ඉඩකඩ වැඩිය. ඒ අතින් ගත්කල තුවාන් අයියාගේ නිවසට යාම නුවණට හුරුය. නමුත් ඔහුට කරදරයක් වන්නට හැකිද?

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: