Menu Close

අපිට ඕනේ මොඩල් එක – ස්වීඩන් මොඩලයද?

සමාජවාදය යනු කුමක්දැයි මම සිය දෙනෙකුගෙන් ඇසුවහොත් අඩුම ගණනේ එකිනෙකට වෙනස්  පිළිතුරු 50 ක් ලැබෙනු ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය එය මේ ලෙස සඳහන් කරයි. 

“නිෂ්පාදනය, බෙදා හැරීම සහ හුවමාරුව යන මාධ්‍යයන් සමස්තයක් ලෙස ප්‍රජාව සතු හෝ නියාමනය කළ යුතු යැයි යෝජනා කරන සමාජ, දේශපාලන හා ආර්ථික න්‍යායකි”.

මීට වසර කිහිපයකට පෙර මා කසකස්ථානයේ ගතකල මසක පමණ කාලයකදී මහාචාර්ය ටොල්ගටෝවිච් මගේ කුළුපඟ මිතුරෙක් විය. ඔහු කසකස්ථානය සෝවියට් දේශයට අයත්වූ කාලයේ ජාතික සමාජවාදී නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ටොල්ගටෝවිච්ගේ අර්ථදැක්වීම අනුව;

“සමාජවාදය යනු සමාජයක සියළුම දෙනා විසින්, සමාජයේ සියලුම දෙනාගේ යහ පැවැත්ම සහ අභිවෘද්ධිය පිළිබඳව සමුහයක් වශයෙන් මෙන්ම පෞද්ගලික මට්ටමින්ද වගකීම භාරගන්නා සමාජ, දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණයකි”.

ටොල්ගටෝවිච්ට අනුව මෙබඳු යාන්ත්‍රණයක් නීති සම්පාදනයෙන් පමණක් ඇති කල නොහැක. ඒ සඳහා ජනතාවගේ පෞද්ගලික මෙන්ම සාමුහික සිතුම් පැතුම් රටාවේද විශාල පරිවර්තනයක් ඇති කළ යුතුය. පුරෝගාමී සමාජවාදියාගේ ප්‍රධාන කාර්ය භාරය විය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් සහ චින්තන රටාව මෙම දිශානතිය ඔස්සේ අනුගත කිරීමයි. එය කල යුත්තේ මානව දයාව, කරුණාව මෙන්ම මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීම තුලම පුද්ගලයෙකුට හිමිවන යුතුකම් පිළිබඳව සංකල්ප පෙරදැරි කරගෙනය. මේ සඳහා ජනතාව තමන් අදහන ආගම දහමින් ඈත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බව ටෝල්ගටෝවිච් ගේ අදහසයි. 

“කසකස්ථානයේ නගරයෙන් ඈත් වූ ප්‍රදේශවල බොහෝ දුරට මේ සමාජවාදය පැවතුනා. එය විනාශ කලේ රුසියානු හා රුසියානු ගැති කසක් පාලකයන්. රුසියාවේ පැවතුනෙත්, රුසියානුවන් සෝවියට් දේශයේ අනෙකුත් රටවල ඇති කිරීමට උත්සහ කලෙත් නීතිය හා බලහත්කාරය මූලික කරගත් නිලධාරීවාදයක් මිසක් අපි බලාපොරොත්තු වුන සමාජවාදය නොවෙයි”. ටෝල්ගටෝවිච් කියාගෙන ගියේ තරමක් සංවේගයෙනි.

ඉහත කාරණා නිසාම 80 දශකයේ අග භාගයේදී ටෝල්ගටෝවිච් දැඩි සෝවියට් විරෝධියකු ලෙස කසකස්ථානයේ නිදහස වෙනුවෙන් සටනට පිවිස ඇත. නිදහස් රටක්වී වසර 25 කට පසුවත් කසකස්ථානය තුල රුසියානුවන් ඇති කල නිලධාරිවාදය පරාජය කිරීමට නොහැකිවීම ගැන ඔහු දැඩි ලෙස පසුතැවෙයි.

ටෝල්ගටෝවිච්ගේ අර්ථ දැක්වීම අනුව නම් ලෝකයේ මා දුටු ඉහළම සමාජවාදය ඇත්තේ ස්කැන්ඩිනේවියානු රටවල බව මගේ හැඟීමයි. ස්වීඩනයේ මා ගතකල වසර කිහිපයේදී මට එරට තුල පවතින ආර්ථික හා සමාජීය සහජීවනය පිළිබඳව මැනවින් අවබෝධකරගත හැකිවිය. 

ස්වීඩනය තරම් සමාජ සුබ සිද්ධිය තකා රජය විසින්  මුදල් වැයකරන රටක් තවත් ඇත්නම් ඒ ස්කැන්ඩිනේවියාවේම අනෙක් රටවල් අතරින් එකක් පමණි. 

මේ ලොව නොමිලේ ආහාර කියා දෙයක් නැත. ඔබ නොමිලේ ලබන සෑම දෙයකටම කවුරුන් හෝ මිල දැරිය යුතුය. ස්වීඩනයේ මේ සුබ සාධනය සඳහා මිල දරන්නේ කවුරුද? ඒ සමාජය විසින්මය. අඩු ආදායම්ලාභියාගේ (ස්වීඩනයේ ආදායම් මට්ටමින්) සිට ඉහලම ආදායම්ලාභියා දක්වා සියළුම දෙනා ක්‍රමයෙන් වැඩි වෙමින් 50% පමණ වනතෙක් තම ආදායමෙන් බදු ගෙවයි. 

ලොව සෑම රටකම පාහේ මෙම බදු ක්‍රමය ඇත. එහෙත් ස්වීඩනයේ ඇති වෙනස නම් සමාජයේ සෑම පුරවැසියෙකුම මෙම බදු ගෙවීම තම යුතුකමක් සහ වගකීමක් ලෙස තරයේ සැලකීමයි. නීතියේ සිදුරු අතරින් රිංගා යාමට හෝ බදු උපදේශකයන් යයි කියා ගන්නා පෞද්ගලික ආයතන වලින් ආදායම අඩු කර පෙන්වීම සඳහා උපදෙස් ගැනීමට ඔවුන් උත්සුක වන්නේ නැත. 

ඉහල  ආදායම් බදු ගෙවන පුද්ගලයන් සමාජයේ වැඩි ගෞරවයට පාත්‍රවේ. ඒ ඔවුන් විසින් රටේ සුබ සිද්ධියට වැඩි දායකත්වයක් ලබා දීම වෙනුවෙනි. රටේ පැවැත්ම ඇත්තේ තමන් බදු සඳහා වන දායකත්වයෙන් බව ඔවුහු තරයේ අදහති. එසේම සියළු රටවැසියෝ කාගේ මුදලින් ලබා ගත්තත් සියළු සම්පත් පරිභෝජනයෙහි ලා බොහෝ සෙයින් අරපරිස්සම් වෙති. පාසලේදී, රෝහලේදී, සරසවියේදී, භෝජනාගාරයේදී ඔවුහු තම යුතුකම් උපරිමයෙන් ඉටු කිරීමට වෙහෙසෙති. නාස්තිය අවම කරගැනීමට සැලකිලිමත් වෙති. 

පාසල් දරුවා මෙන්ම සරසවි සිසුවාද තමාට හැකි උපරිම අයුරින් අධ්‍යාපන කටයුතු වල යෙදෙයි. එමගින් තමන් නොමිලේ ලබන අධ්‍යාපනයට සාධාරණය ඉටුකරයි.

රෝහලෙන් නොමිලේ ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ඔවුන් නියමිත මාත්‍රාවට නියමිත ආකාරයෙන් ලබා ගනියි. එමගින් නැවත අසනීප වීමෙන් රට සිදුවන පාඩුව අවම කරගනියි. 

ආහාර ගැනීමේදී ඔවුන් නාස්තිය හෝ අධි පරිභෝජනය ශුන්‍ය කරගැනීමට කැපවෙයි. “මුදල් මගේය, එහෙත් ආහාර සැමගේය” යන සංකල්පය නොදන්නා ස්වීඩන් ජාතිකයෙකු නැති තරම්ය. එසේම අධිපෝෂණය හේතුවෙන් නොයෙකුත් ලෙඩ රෝග සෑදීම පිළිබඳව ඔවුහු බොහෝ සේ අවධානය යොමු කරති

කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ පාරිභාෂිකයේ  “යුතුකම් සහ වගකීම්” සඳහා ප්‍රධාන තැනක් හිමිවෙයි. “අයිතිවාසිකම්” සඳහා ඇත්තේ ඊට වඩා බෙහෙවින් අප්‍රධාන ස්ථානයකි. නමුත් ඔවුන් සියළු දෙනාටම තම අයිතිවාසිකම් නිතැනින්ම හිමි වෙයි.

මේ සිතුම් පැතුම් රටාව ස්වීඩනයේ, මාර්ග පිරිසිඳු කරන කම්කරුවාගේ සිට රටේ අග්‍රාමාත්‍ය වරයා දක්වා මුළු සමාජ පරාසය පුරාම විහිදෙයි. එය උඩ සිට පහළට ආවාද නැත්නම් පහළ සිට උඩට ගියාද, එසේත් නැත්නම් එකවරම මුළු සමාජ පරාසය පුරාම ඇතිවුනාදැයි මම නොදනිමි. 

ඕනෑම රටක අවසාන අරමුණ විය යුත්තේ මේ ස්වීඩන් මොඩලය කරා ළඟාවීම බව මගේ හැඟීමයි. නමුත් ලංකාව වැනි රටකට මේ කරා ලඟාවීමට අසීරු විශාල බාධකයක් ඇත.

ඒ ලාංකීය ජන විඥානයයි. 

වසර 2500 ක “ප්‍රෞඩ” ඉතිහාසයෙන් අප ලබාගෙන ඇත්තේ කුමක්ද?

මම ඔබව සමාජවාදයට බරවූ 70-77 රජය පැවති සමයට ගෙනයමි. 

එකල පාන් බෙදා හැරුනේ කෝටා ක්‍රමයටයි. ඔබට පාන් මිලදී ගත හැක්කේ පවුලේ සාමාජිකයන්ගේ ගණන අනුවය. අද ප්‍රමිතියෙන් නම් මෙම පාන්, පාන් යයි ඔබට හඳුන්වා දිය නොහැක. ගල් ගෙඩියක් වැනි තරමක් ඇඹුල් රසැති පිම්බුණ පිටිගුලියක් පාන් මිලදී ගන්නා ඔබට ලැබේ.  

මෙම පාන් විකිණීමේ බලතල ලබා දී තිබුණේ ප්‍රදේශයේ සමසමාජ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු අත්තකටය. මේ හැමතැනකම පාහේ සිදු වුනේ බේකරියෙන් පාන් ලැබුණු පසු හොඳම පාන් ගෙඩි ටික තමාගේ සහ තම පවුලේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් වෙන් කර තැබීමයි. ප්‍රදේශයේ අනෙකුත් පිරිස දිගු පෝලිමක සිටියදී, මෙම විශේෂ පුද්ගලයෝ පැමිණ පස්ස දොරෙන් පාන් ලබාගෙන ගියහ. සමහර දේශපාලන විරුද්ධවාදීන්ට හැමදාම ලැබුනේ බාගෙට පිපුණු විකෘති වූ පාන් ගෙඩියකි. 

“එකා සැමටත්, සැම එකාටත්” පාඨය යටතේ බිහිවූ සමුපකාරය මේ සමයේදී එහෙම පිටින්ම හොර ගුහාවක් විය. සමුපේ මැනේජර් යනු එවකට සිටි සමාජ ප්‍රභලයෙකි. “තමා තමාටත්, තමාගේ එකාටත්” යන්න බොහෝ සමුපකාර කළමනාකරුවන්ගේ තේමා පාඨය විය. 

මෙයින් මා කීමට උත්සහ කලේ 70-77 රජයේ වැරදි පෙන්වීම නොවෙයි. එම රජයේ ධනාත්මක ලක්‍ෂණ බොහොමයක් තිබුණි. අප අවධාරණය කරගත යුත්තේ ලාංකීය සමාජවාදියාගේ විඥානයද මෙය නම් අනෙක් ය පිළිබඳව කියනුම කවරේද යන්නයි?

ස්වීඩන් මොඩලයට අපට තව බොහෝ දුර ඇත. 


ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක – සිංහල බෞද්ධ මොඩලයද? 
%d bloggers like this: