Menu Close

සීයාගෙන් IOT පාඩමක්

අද සර්ට මහන්සියි වගේ
ඔව් පු‍තේ, අද උදේ නුවර ඉදලයි ආවේ. පැය 3 කට වැඩිය ඩ්‍රයිව් කරලනේ ඉන්නේ
සර්.. දැන් සීයාට කොහොමද?”
ඒ වචනේ ම‍ෙගේ පපුවට ඇන්නා වගේ දැනුනා.. 
උසස් පෙළ පන්තියේ ඉන්න පුතාලා හැමෝමත් මගේම දරුවෝ කියලා එයාලාම මට පෙන්නලා දුන්නා.
සීයාට දැන් ගොඩක් හොදයි. දැන් එයාට හොදට ඇවිදින්න පුළුවන්… “ 
හැබැයි ඒකත් දැන් ප්‍රශ්නයක් වෙලා. එයාට සිහි කල්පනාව ටිකක් මදි වෙලාවකට. ඒක හරියන්න තව ටික කාලයක් යයි කියලා වෙද මහත්තයා කිව්වා” 
අනික දැන් දවල්ට ගෙදර ඉන්නේ සීයයි ආච්චියි විතරයිනේ
ඉතිං සර්.. සීයා හදිස්සියේ කොහේ හරි ගියොත්… එයාට එන්න මතක නැති වෙයිනේ
ඒකට නං ඉතිං මං උත්තරයක් හොයාගත්තා.. මේ තියෙන්නේ. මේ තමයි මේ වෙලාවේ සීයා ඉන්න තැන ගූගල් මැප් එකෙන්.එයා කොහේ ගියත් මට මෙහේ ඉදලා එයා ඉන්න තැන බලා ගන්න පුළුවන්. ඒක පොඩි අත් ඔර්ලෝසුවක්. මට ඕනේ නං ඒකට කෝල් කරන්නත් පුළුවන්.

ෂා.. මරුනේ

මං දරුවොත් එක්ක සීයගේ ඔර්ලෝසුවේ විස්තර කතා කලා. සීයාගේ පින්තූර බැලුවා. ඔර්ලෝසුවෙන් පින්තූරෙකුත් ගත්තා මෙහේ ඉදලාම. ඒ ව‍ගේ තව උපකරණ ගැනත් ගොඩක් දේවල් කතා කලා. එදා පීරියඩ් එක ඉවර වෙලා බෙල් එක ගහන කල්ම ඒ දේවල් ගැනයි අපි කතා කලේ.
සර්.. ඒ මොනවා වුනත් අපේ අම්මට එහෙම ඔය ඔර්ලෝසුව ගැන කියන්න එපා.. හොදද? ඊට පස්සේ එයා ඕකක් මටත් බදියි..”  පන්තිය ඉවර වෙලා යන ගමන් එක දරුවෙක් කිව්වා.
එයාලගේ විෂය නිර්දේශයේ තියෙන IOT පාඩමෙන් ගොඩක් හරිය ඒ පීරියඩ් එකේදි කතා කලා කියලා සමහර විට ඒ දරුවෝ දන්නෙත් නැතිව ඇති. 
_______________________________
පසු සටහන
ලංකාවේ වැඩිහිටියෝ බොහෝ දෙනෙක් නොසිතූ ලෙස ආ ගිය අතක් නැතිව යනවා. සමහරු ගොඩක් මහන්සි වෙලා ආයෙම හොයා ගන්න කොට එයාලට ගොඩක් කරදර වෙලා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට එයාලට අමතන වීම් හින්දා. දෙයක් වුනාට පස්සේ දුක් වෙන්නේ නැතිව තාක්ෂණය පාවිච්චි කරලා කරන්න පුළුවන් දේ කරන එක හොදයි. 
දැන් නම් තාත්තට ගොඩක් හොදයි. කල්පනාවත් ටික ටික හරි යනවා. තව ටික දවසකින් එයා හොදටම හොද වේවි.
ඔන්න එතකොට තමයි ඊළග කාරනේ. තාත්තා කියන්නේ ගොඩක් ඇවිදලා පුරුදු කෙනෙක්. එයා දවසට කිලෝමීටර දෙක තුනක් කොහේ හරි ඇවිදිනවා. එක්කෝ පන්සලට, නැත්තං කඩේ ළගට යනවා පත්තරේ බලන්න. එහෙමත් නැත්තං ලොතරැයියක් ගේන්න ටවුමටම පයින් යනවා වෙලාවකට. ඒ එයාගේ හැටි. අපි කවුරුවත් එයාව පාලනය කරන්න යන්නේ නෑ. එහෙම කරන්නත් බැහැ. සමහර වෙලාවට කියලා යන්නෙත් නැහැ. මුරණ්ඩු කම වත් තරහකට වත් නෙවෙයි. ඒ එයාගේ හැටි. 
එක දවසක් එයා අඹතැන්නට පියින් ගිහින් එන වෙලාවක කලන්තයක් හැදිලා දන්න කියන කෙනෙක් ලග ඉදලා ත්‍රී විල් එකක් කතා කරලා ගෙදර එවලා තිබ්බා. ඒ වගේ කරදරයක් වුනොත් කාට කියන්නද?
ඒත් දැන් එච්චර බය නැහැ. තාත්තා යන එන තැන් එයාගේ අතේ බැදලා තියන GPS Tracker එක හින්දා ඕනෙම තැනක ඉදලා බලා ගන්න පුළුවන්. හදිසියේ බස් එකක නැගලා ගියත් උපකරණය දන්න කෙනෙක් දන්නවා මෙයාව Track වෙන කෙනෙක් කියලා. ඒ හින්දා වෙන අයගේ සැලකිල්ලත් සෙවිල්ලත් ලැබෙන්න පුළුවන්. 

අනික ඔක්කොටම වඩා හොද දේ තමයි තාත්තා මේකට ගොඩක් කැමති එක. එයා ඒක හරිම ආසාවෙන් තියාගෙන ඉන්නේ. මමත් දවසකට සැරයක් විතර ඒකට කතා කරනවානේ. 

මම මේ උපකරණය ගත්තේ රුපියල් අටදාහකට අතුරුගිරියේ තැනකින්. ‍ඒක දවස් දෙකකට වැඩිය බැටරි කාලයක් තියනවා. මොබිටෙල් එකෙත් මේ වගේම ඔරලෝසුවක් තියෙනවා. දරුවන් වෙනුවෙන්. ඒක රුපියල් හයදාහයි. හැබැයි ඒකේ බැටරිය දවසකට අඩුවෙන් තියෙන්නේ. ඩයලොග් එකේ තියෙනවා සුරතල් සතුන්ට දාන්න පුළුවන් කොලර් එකක්. ඒක වුනත් ඉනේ පටියකට වාගේ දාන්න පුළුවන්. ඒක රුපියල් දහ දාහක් වෙනවා. ඒ‍කේ දවස් හතරක් විතර බැටරි තියෙනවා. අන්තර්ජාලයේ හෙව්වොත් මේ වගේ උපකරණ ගොඩක් හොයා ගන්න පුළුවන්. ඒවා හදන්නේ අපේ කාර්යයන් පහසු කර ගන්න නම්, ඉතිං ඒවා පාවිච්චි කරන එක අපේ වැඩක්….
%d bloggers like this: