Menu Close

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා !

ආදරණීය  පුණ්‍යා…

සමාවෙන්න,එහෙම ආමත්‍රණය කරන්න මට අයිතියක්වත් යුතුකමක්වත් නෑ කියල
ඔබට හිතේවි.එත් ඔබ මට සදාදරණීයයි ඒ නිසාම මං ඔබට මෙහෙම අමතන්නම්.
ඉතින් ඔබ දන්නවාද මේ මොහොතෙත් මා තරමක් අවසිහියෙන්.ඒ අවසිහියෙන්ම අද මාර්තු හත්වෙනිදාවක් නොවුනත් මං ඔබව හොයාගෙන කුමරි උයනට ආව.ඔබේ ලයාදර සුවඳ රැදුනු මේ ඉසව්ව…ඔබේ ස්පර්ශය උණුහුම රැඳුනු මේ සීතල ගල් බංකුව මාව තවතවත් මත් කරනව.මට ඔබව මඟ හැරි හැරී ගෙවුණු ඒ වසර ගනනාවටම වඩා ඔබව හමුවීමෙන් පසු ගෙවෙන මේ දවස් මාව උන්මන්තකයෙක් කරන්නට හදනව.

මා ආදරය කියවූයේ… මා ප්‍රේමය කියවූයේ… ඔබ රේවතට ලියූ ලිපියෙන්.. ඒ හැඟීම් …ඔබේ ඒ මුතු අකුරු…මාව ගෙනිහින් නතර කලේ ඔබට හිතා ගන්නවත් බැරි තරම් දුරක.  ඔබේ ඒ සෙනෙහස් හැඟීම් වලට මම මගේ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තායි කිව්වොත් ඒ තමා ඇත්ත.සමාවෙන්න ,ඒ මම ඔබට දොස් කියනවානම් නොවෙයි.ඒ රිදුමම.. ඒ ප්‍රේමයම… ඒ අහිමිවීමම… පස්සෙ කාලෙක මාව  ලොවක් දන්නා , ලොවක් පෙම් කරන ප්‍රේමණීය ගායකයෙකු කල බවද  ඒ හා සමානම ඇත්තක්.

ඔබ රේවත නමින් ඉපිද රේවත නමින්ම මියැදෙන්නට උපන්නියකි.ඒ ප්‍රේමය ළඟ මා ඔබට බැඳි ඒකපාර්ශික ප්‍රේමය දෙවෙනිදැයි මා නොදනිමි.මා දන්නා එකම දෙය ඔබට බොහෝ පසුවී මා ඉපදීම මට ඔබ හමුවන්නට තිබූ සියලු අවකාශයන් අවහිර කල බවයි.එකී දෛවයට මා මියෙන තුරුම දෙස් තබමි.

අප අපට මුණගැහුණු …මගේ ඇස් ඔබේ ඇස් හා සම්මුඛ වූ… ඒ එකම මොහොතේ ඔබ මා මෙතෙක් දරාගෙන උන් ප්‍රේමය කියවන්නට ඇත.ඒ නිසාම ඔබ නැවත කවදාවත් මේ ඇස් ඉස්සරහට නොඑන බව මා දනිමි.ඔබ  මෙතෙක් නමින්, හඬින්, රුවින් පමණක් දැන හුන් වාදීශ අදත් හෙටත් මතුවටත් ඔබම නමින් පමණක් ම ගයනු ඇත.

සදාදරණීය පුණ්‍යා ,

සමුගන්නට පෙර මම ඔබට මෙසේ කියමි.යලි උපදිනා බවයකදී එකම කාලයක ඉපිද එකම ඉසව්වකදී වෙන කාටත් අයිති වන්නට කලින් හමුවී අප අපට මඟහැරුණු තැන ඉදන් ජීවිතේ විඳින්නමා ඔබ සොයා එමි.ඒක පොරොන්දුවක්..ඔව් ඒක ගිවිසාගැනීමක්…ඔබ රේවත හා ගිවිසාගත් පරිදිම පොරොන්දුවක්.
                                                      මං ,
                                    ඔබේ නොවූ ඔබේ ප්‍රේමය,
                                                   වාදීශ.

 ( අද දෙවෙනි පාරටත් සමනල සංධ්වනිය බැලුවා.ඒක බලල ඉවර වෙද්දි හිතේ ලියවෙච්ච ටික ඔන්න ඔහෙ  මේකට ඇමිණුවා.)

%d bloggers like this: