Menu Close

අපිට ඕනේ මොඩල් එක – සිංගප්පුරු මොඩලයද?

අපි පස්වරු 2ට පමණ ගෙදරින් පිටත් වන අතර කිලෝමීටර 300 කට වඩා දුරගෙවා පස්වරු 6ට පමණ ජෝහොර් බාරු වෙත ලඟා වෙමු. එහි හෝටලයක රාත්‍රිය ගතකරන අප පසුදා උදෑසනින් අවදි වී ගමන ආරම්භ කර වුඩ්ලන්ඩ් පාලම හරහා සිංගප්පුරුවට වන්නෙමු. 


අපි මැලේසියාවේ ගතකල වසර දහයක කාලය තුල මම පස්වරක් සිංගප්පුරුවට ගොස් ඇත්තෙමි. මේවන විට මම හරියටම ලෝකයේ ඇති රටවල් 50 කට පා තබා ඇත. ඉන් මා යාමට අකමැතිම රට සිංගප්පුරුවයි. ප්‍රථම වර මා එහි ගියේ එහි සුන්දරත්වය නැරඹීමට කීවොත් සත්‍යයකි. අනෙක් සෑම වරකම ගියේ අත්‍යවශ්‍ය වූ කාරණාවකට පමණකි. 

සිංගප්පුරුව ලොව ඇති පිරිසිඳුම රටකි. එහි අගය කිරීමට බොහෝ දේ ඇත. අහස සිඹින ගොඩනැගිළි, විනෝද උයන්, තරු ගණනාවක හෝටල්, ඉතා ක්‍රමවත් මාර්ග පද්ධති,  ඕනෑම ක්‍රියාවලියක ඇති ක්‍රමවත්භාවය ආදී ධනාත්මක කරුණු රැසකින් හෙබි මේ නුවර මා යාමට අකමැතිම ස්ථානයක් වන්නේ කෙසේදැයි ඔබ විමතියෙන් අසනු ඇත. 

සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත. බස් රථයකට හෝ දුම්රියකට ගොඩ වන ඔබට තම ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ දෙනෙත් ඔබා නොගත් පුද්ගලයෙකු දැකිය හැකි නම් එය පුදුමයකි. 

තෝකියෝවේ හෝ  හොංකොන්  නුවරදීද ඔබ මීට සමාන මිනිසුන් දකිනු ඇත. එහෙත් ඔවුන් ඉතා ආචාරශීලි වන අතර ඔවුන්ගෙන් කලාත්මක වින්දනය සම්පුර්ණයෙන් ගිලිහි ගිය බවක් නොපෙනේ. වරක් සිංගප්පුරුවේ උමං දුම්රිය පොළකදී අතපසු වීමකින් වයස 16 ක පමණ දැරිවියකගේ  ජංගම දුරකතනයේ මගේ අත යාන්තමින් වැදුණු අතර ඇය ඉතා උස් හඬින් මට බැන වැදුනාය. එවන විට වසර 8 ක් පමණ මැලේසියාවේ ලයාන්විත මිනිසුන් සමග දිවි ගෙවා තිබු මම ඇය දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි. 

1965 ට පෙර මැලේසියාව සහ සිංගප්පුරුව එකම රටකි. එහි වාසය කලේ එකම ජන කොට්ඨාශයකි (මැලේ, චීන, ඉන්දියන් මිශ්‍ර). වසර 50කදී ආර්ථික වශයෙන් මැලේසියාවට වඩා බොහෝ දුර ගමනක් සිංගප්පුරුව ගියේය. දරුණු නීති රීති යටතේ සිංගප්පුරුව විශාල ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගත්තේය. එහි දුෂණය බිංදුවක් ලෙස බොහෝ දෙනා දකිති. සිංගප්පුරු ජාතිකයන් බොහෝ දෙනෙකු අතර ආගම, ජාතිය, වර්ගය වැනි සංකල්ප පිළිබඳව හැඟීමක් නැත. මේ නිසා මෙම බෙදීම් මත පදනම් වූ ගැටුම් එහි නැත. 

මේ සියළුම යහඵල වෙනුවෙන් අඩසියවසක් තුල සිංගප්පුරුව විශාල ගෙවීමක් කර ඇත. එනම් රටේ සංවර්ධනය භුක්ති විඳීමට මිනිසුන් වෙනුවට යන්ත්‍ර බිහි කිරීමයි. ඔබට වුඩ්ලන්ඩ් පාලමෙන් මෙපිට මැලේසියාවට පා තබන විට මේ වෙනස සැබවින්ම දැනෙනු ඇත.

මම හැමදාම කියන කළු සහ සුදු ලෝකය වෙතට මම නැවතත් ඔබව රැගෙන යමි. කළු කළු වන්නේද සුදු සුදු වන්නේද දකින්නාගේ විඥාණය මතය. මා සිංගප්පුරු ජාතිකයන් කිහිප දෙනෙකු සමගම ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් සියළු දෙනාම එම ජීවිතය පිළිබඳව තෘප්තිමත්ය. ඔවුන් සැම දෙනෙකුගේම සතියේ රටාව එක හා සමානය. ගමන, රැකියාව, රෙදි සේදීම, ආහාර පිසගැනීම සහ අනුභව කිරීමට අමතරව ඔවුන් කරන්නේ සිකුරාදා සවස පබ් එකකට ගොස් බියර් වීදුරුවක් බීමත්, රුපවාහිනිය නැරඹීමත්ය. 

මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල යෙදීම, විනෝද ගමන් යාම, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හෝ නැටුම් දර්ශන නැරඹීම ආදී ක්‍රියා ඔවුන්ගේ කාල සටහනේ නැත.

දුප්පත් සමාජ පන්තිවල බොහෝ දෙනාට මේ සිංගප්පුරු ජාතිකයා නොකරන දේවල් කිරීමට ශක්තියක් නැත. එහෙත් ආර්ථික ශක්තිය තිබියදීද එයින් ඈත්වීම ඛේදයක් ලෙස මම දකිමි. සමහර ආගමික සමාජ තුලද මේ තත්වය ඇත. එබඳු තමා විසින් තමාගේ මනසට විලංගු දමාගත් ප්‍රජාවන් පිළිබඳව මම මෙහිදී කතා නොකරමි.

සිංගප්පුරු ජාතිකයෙක් උපතේ සිට මරණය දක්වා ඔහුගේ ජීවිතය ක්‍රමලේඛනය (programmed) කර ඇති බව මට හැඟෙයි. මිනිස් ජීවිතයක් යනු මෙම රජයේ ක්‍රමලේඛන රාමුවෙන් ඔබ්බට ගිය භුතාර්ථයක් විය යුතුයැයි මම සිතමි. මෙම ක්‍රමලේඛනය සහ සමහර ආගමික-සංස්කෘතික රාමු තුල බලහත්කාරයෙන් යොදන මානසික විලංගුවක් අතර ලොකු වෙනසක් මට නොපෙනේ. විලංගු ලාගත් සිංගප්පුරු ජාතිකයා මෙන්ම ආගමික අනුගමිකයාද තම විලංගුව සැපයක් බව සිතයි. මට සිංගප්පුරුව පෙනෙන්නේ, ලෝකයේ ඇති සුවපහසුම සිපිරි ගෙය ලෙසයි. මෙය සමහර විට මගේ චින්තන දෝෂයක් විය හැක. 

ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුව පිලිබඳ ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් ඔහුගේ ක්‍රියා මාර්ගය පසසනු ඇත. මමද එතැන සිටිමි. 

පැය 24ක් තුල මැලේසියාව විසින් පසු පසට පයින් ගසා සිංගප්පුරුව තම ෆෙඩරේෂනයෙන් (Malaysian Federation) එලවා දැමුයේ එහි වෙසෙන මිලියන දෙකක ජනතාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකරය. ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩක මේ පියා දරුවන් මිලියන දෙකක් සමග තනිවිය. ඔහුට තිබුණේ තේරීම් දෙකකි. එකක් සිය දරුවන් සමග මිය යාමයි. නැතිනම් ඉතා කර්කෂක රළු පථයක දිවි පරදුවට තබා ජාතිය ඉදිරියට ගෙන යාමයි. ඔහු දෙවෙනි මාර්ගය තෝරාගත්තේය. 

ඒ ගමන සඳහා ඔහු තම දරුවන් යන්ත්‍ර බවට හැරවීය. යන්ත්‍රවලට රිදවිය නොහැක. මාර්ගයෙන් පිට පනින යන්ත්‍ර ඔහු අක්‍රිය කර කොටස්වලට ගලවා දැමිය. ඒ ගැන අනෙක් යන්ත්‍ර කිසිඳු හඬක් නොනැගීය. ඒ ඒවා යන්ත්‍ර නිසාය. වසර 50 ක පමණ දිගු ගමනකින් පසු ලී ක්වාන් යූ නික්ම ගියේ ඔහුගේ පොරොන්දු දේශය යථාර්තයක් වූ බව මැනවින් පසක් කරගනිමිනි. එහෙත් එහි සිටින දරුවන් යන්ත්‍ර බව ඔහු අවබෝධ කරගත්තාදැයි මම නොදනිමි.   

මේ කතාව මට කීමට සිත් වුයේ ලංකාවට අවශ්‍ය රාජ්‍ය පාලන මොඩලය හෙවත් ආකෘතිය පිළිබඳව යම් කතිකාවතක් ඇතිවී ඇති නිසයි. 

ලංකාවට අවශ්‍ය සිංගප්පුරු මොඩලයද? මගේ පෞද්ගලික අදහස නම් අනිවාර්යයෙන්ම එය නොවන බවයි.

1965 දී ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුවත්, අද පවතින ලංකාවත් සංසන්දනය කිරීම ඔබට බාරය.

කෙසේ නමුත් අපේ මොඩලයකට සිංගප්පුරුවෙන් ගත හැකි දේ බොහෝ ඇත. 

…….. ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක -ලාංකීය සමාජවාදී මොඩලයද?

%d bloggers like this: