Menu Close

අපිට ඕනේ මොඩල් එක – ලාංකීය සමාජවාදී මොඩලයද?

ලංකාවට සමාජවාදය පැමිණෙන්නේ එංගලන්තයෙනි. එන් එම්, ලෙස්ලි, පිලිප්, රොබට්, කොල්වින් ආදීන් ට්‍රොස්කි දකින්නේ සුද්දාගේ ඇසෙනි. ඔවුන් රුසියාවේ සමාජවාදය කොතරම් ගැඹුරට හා ප්‍රායෝගිකව දුටුවාදැයි යන්න ගැටළුවකි. එස් ඒ වික්‍රමසිංහ කොමියුනිස්ට් පක්ෂය ගොඩනගන්නේද එංගලන්තයෙන් ඉගෙනගත් සමාජවාදයෙන් මිස චීනයේ හෝ රුසියාවේ සිදුවන බිම් මට්ටමේ සැබෑ වෙනස් කම් දැක නොවෙයි. 

මම ඉහත දේශපාලකයන්ට වඩා තරමක් වයසින් අඩු, වයෝවෘද්ධ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරුන් දෙදෙනෙකු සමග මේ පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් විස්තර කරන ආකාරයට එකල (1930-1950 කාලය තුල) සමාජවාදය ධනවත් බ්‍රිතාන්‍ය පවුල් වල තරුණ පැලැන්තියේ විලාසිතාවක් වී ඇත. යටත් විජිත වලින් පැමිණි ධනවත් තරුණ තරුණියන්ද මේ රැල්ලට අසුවිය. එකල සවස් වරුවේ ලංඩනයේ හයිඩ් පිටිය ආසියාතික තරුණ තරුණියන්ගේ ජනප්‍රියම සම්මුඛ ස්ථානය වූ බව ඔවුන් දෙපලම පැවසීය. කුඩා වේදිකාවක් මතට නැග සමාජවාදය පිළිබඳව ව්‍යක්ත දේශනයක් පැවැත්වීම ආසියාතික තරුණයන්ට තම රටෙන් පැමිණි තරුණියන් වශී කරගැනීමේ මූලික ක්‍රමෝපායක් බවට පත්වී ඇත. 

“පසු කාලයක තම රටවලට ගිය මේ සමහර තරුණ තරුණියෝ ඔවුන් දුටු එංගලන්ත සමාජවාදය එම රටවල ස්ථාපිත කරන්න උත්සහ ගත්තා. බොහෝ දෙනෙක් ඒ රටවල නායකයන් බවට පත්වුනා” එක් මහාචාර්ය වරයෙකු පැවසීය.

එංගලන්තයේදී ඔවුන් දකින්න ඇත්තේ රුසියාවේ හෝ චීනයේ වූ කර්කශක රළු සමාජවාදය නොව, බටර් තැවරූ මෘදු සමාජවාදයක් බව මට සිතේ. පුරෝගාමී සමාජවාදී  නායකත්වයෙන් පසු පැමිණි ඊළඟ සාම්ප්‍රදායික වමේ නායකයන්ද මේ පරාසයෙන් එපිට ලෝකයක් නොදුටු බව පෙනෙයි. මේ වන විට මහළු වියේ පසුවන මේ දෙවන පරපුරේ සමාජවාදී නායකත්වයට අදටත් මාර්ක්ස්, එංගල්ස්ලාගේ පොත් වලින් එහාට ගොස් යථාර්තය වටහා ගැනීම අපහසු වී ඇති බව මගේ හැඟීමයි.

මෙම දේශපාලකයන් සමාජවාදය බිහිවූ රුසියාවේ හෝ චීනයේ කාලයක් වාසය කර එම දේශපාලන තන්ත්‍රයේ රසය දැනගෙන සිටියා නම් ඔවුන් ඉතා ඉක්මනින් යමක් අවබෝධ කරගත යුතුව තිබුණි. එනම් ඒ සමාජවාදී මොඩලය ලංකාවට කිසිසේත් ගැලපෙන්නේ නැති බවයි. 

කෙසේ  නමුත් මේ සාම්ප්‍රදායික සමාජවාදී නායකයන් වෙතින් සූරිය මල් ව්‍යාපාරය ඇතුළු ධනාත්මක සමාජ කර්තව්‍යයන් රාශියක් සිදුවූ බව නම් නොකියාම බැරිය. ඔවුන් අතරින් හොරදෙටුවන් හෝ භීෂකයන් ඇති නොවීමම ජාතියේ භාග්‍යයකි. 

ලාංකීය ද්විතීක සමාජවාදී යුගය සනිටුහන් කරමින් රුසියාවේ ඉගෙනුම සඳහා යන විජේවීර ලංකාවට සංකල්පයක් ගෙන එයි. ඒ එම යුගයේදී එහි තිබු සමාජවාදය නොව, 1917 දී සිදු වුයේ යයි ඔහු අසා තිබූ හෝ ඔහු සිතා සිටින සිද්ධාන්තය බව මගේ හැඟීමයි. එය වෛරී චින්තනයක් මිස එවකට අඩසියවසක් පරිණත වී තිබූ රුසියානු  සමාජවාදය නොවේ. මන්ද රුසියානුවන් බොහෝ දෙනෙකු මට කියූ පරිදි රුසියානු සමාජවාදයේ ස්වර්ණමය යුගය ඇතිවුයේ 60 දශකයේ දෙවන භාගයේදීය. 

රුසියාවේදී තමාට මුහුණ පෑමට සිදුවූ යම් යම් අමිහිරි සිදුවීම් සහ අතරමගදී ලංකාවට පැමිණි පසු නැවත තම අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට පිවිසීමට එරට රජය තහනම් කිරීම මේ වෛරයට හේතු පාදක වන්න ඇත. 

ලංකාවේ තරුණයන් එදා සිට අද වන තෙක් “සමාජවාදය” නමින් දකින්නේ අඩු වැඩි වශයෙන්  මේ විජේවීර දායාද කල වෛරී චින්තනය බව මට වැටහේ. සරසවියේ වසර 4 ක උපාධිය සඳහා වසර 7 ක් ගතකල 88/89 සරසවි යුගයට අයත් අපේ පරපුරට මේ ගැන හොඳ අත්දැකීමක් ඇති බව මම දනිමි. 

මේ විජේවීර චින්තනය පෙරටු කොට ගත් මුල් කාලීන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය සහ එහි තිබූ පුහු බව පිළිබඳව විග්‍රහ කරන විට එම පිලේ අරටු බැසගත් (hardcore) සාමාජිකයන් බොහෝ විට කියන කතාවක් ඇත. එනම් 60 දශකය අග භාගය වනවිට ලංකාවේ පැවති සමාජ අසාධාරණයන් සහ දේශපාලන වාතාවරණය පිළිබඳව අපට අංශු මාත්‍රයක දැනුමක් නැති බවයි. මෙම ප්‍රකාශය පරාජිතයාට ඉතා පහසුවෙන් සැඟවිය හැකි නවාතැනකි.

60-70 යුගය තුල දකුණු කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය ආදී රටවල් පමණක් නොව ජපානය සහ සමහර යුරෝපා රටවල්ද ගත කලේ ඉතා දුෂ්කර පරිච්චේදයන්ය. ඉන් බොහෝ රටවල  වාතාවරණය ලංකාවේ එවකට තිබූ තත්වයට වඩා බෙහෙවින් පහල තිබුණි. ඔබ දකුණු කොරියාවේ සහ ජපානයේ මෙන්ම පසුකාලයක වියට්නාමයේ පිබිදීම පිළිබඳවද සොයා බලන්න. එවිට ඔබට සරල යථාර්තය වැටහෙනු ඇත. 

මෙම රටවල  නාගරික රැකියා විරහිත සහ දුෂ්කර ගම්බද තාරුණ්‍ය ප්‍රාදේශීය වශයෙනුත් ඉන්පසු ජාතික තලය තුලත් සාමුහිකව ක්‍රියාත්මක වන්නවිය. ඒ එකමුතුව විසින් ග්‍රාමීය සහ දුප්පත් නාගරික ස්ථර වල රැකියා උත්පාදනයට උර දුන්නේය. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ නායකත්වයකින් තොරව ඔවුන් කෘෂිකාර්මික කටයුතු සහ ඒ හා සබැඳි වාරි සහ කුඩා මාර්ග සංවර්ධනය කරන්න විය. රජයේ අවධානය ඒ කෙරේ යොමු වුයේ මේ තරුණ ක්‍රියාන්විතය ඉදිරියට යනු දැකීමෙනි. වියට්නාම්, දකුණු කොරියානු මෙන්ම තායිලන්ත රජයන්ද මේ කර්තව්‍යයට යොමු වුයේ එසේ නොකර සිටීමෙන් ඔවුන් ඉබේටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්වයක් ඇතිවෙමින් තිබුණු බැවිනි. 

“මගේ හිසට මගේ අතින් තල් අත්ත ඔසවාගෙන වැසි දියෙන් බේරී, මම අනෙකුත් අය වෙනුවෙන් තල් අතු කැපුවෙමි”. මෑතකදී මැලේසියාවේ යොවුන් හමුවක් ඇමතූ වියට්නාමයේ 80-දශකයේ ක්‍රියාකාරී වූ තරුණ නායකයෙක් එවකට තම ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රකශ කලේ ඒ ආකාරයෙනි.

අවශ්‍ය නම් රජයේ හෝ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ කිසිඳු සහයෝගයක් නොමැතිව රට වෙනුවෙන් කැපවීමට ජනතාව එකතුකළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් ප්‍රයෝගිකවම පෙන්වීය. 

එහෙත් දකුණු කොරියාවේ, වියට්නාමයේ, ජපානයේ තාරුණ්‍ය එම එකමුතුව තුලින් ජාතික සම්පත් ගොඩනගන විට ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ  මහජන සම්පත් විනාශ කර දැමුහ. 

ඔවුන් ජනතාව ජිවත් කරවන්න උර දෙන විට මොවුහු ජනතාව මරා දැමුහ. 

ඔවුන් දුප්පතුන් පොහොසතුන්ගේ ලොවට කැන්දාගෙන යන්න යත්ත දරන විට මොවුහු දුප්පතුන්ගේ දුප්පත්කම උත්කර්ෂවත් කළහ. 

ඔවුන් තමන්ගේ දැණුම, ශක්තිය සහ සමාජ චින්තනය පිළිබඳව දැඩි ලෙස විශ්වාසය තබද්දී මොවුහු ඈත එපිට රටක දශක ගණනාවකට පෙර අනුගමනය කල අසාර්ථක ක්‍රමවේදයක් දේවත්වයේ ලා සැලකූහ.

අන්තිමේදී මොවුන් තමා විසින් පරාජය කිරීමට වලි කෑ තක්කඩි ධනපති දේශපාලන ප්‍රවාහය වෙනුවෙන්ම වීල්බැරෝව තල්ලු කරන කුළී කාරයන්ගේ තත්වයට පත්වුහ. මෙය අතිශයින් ඛේදජනක වෘතාන්තයකි.  

විජේවීර විසින් බිහිකළ ජනතා විමුක්ති පෙරමුණට හෝ ඉන් කැඩී ගිය ශාකා වලට තවමත් රාජ්‍ය පාලන තන්ත්‍රය  පිළිබඳව පැහැදිලි චින්තනයක් හෝ අරමුණක් නොමැති බව මට සිතෙයි. නමුත් අවශ්‍ය නම් එය ඔවුනට ඉතා කෙටි කාලයකදී ගොඩනගා ගත නොහැකි යයි මම මින් අදහස් නොකරමි. 

මෙම වාමවාදී නායකත්වය රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේදී යම් යම් පරිවර්තනයන්ට භාජනය වෙමින් විටින් විට නව ලිබරල්වාදී චින්තනයක සේයා මතුකරයි. නමුත් සරසවි තුල ඔවුන්ගේ දේශපාලනය තවමත් 70 දශකයේ විජේවීර චින්තනයෙන් මිදී ඇති බවක් නම් නොපෙනෙයි. 

එහෙත් ලංකාවේ දැනට ඇති, හදවතට අවංකව දේශපාලනයෙහි නිරතවන එකම පක්ෂය ලෙස මම ජනතා විමුක්ති පෙරමුණ දකිමි. ලංකාවේ සිටින අන් සියළුම දේසපාලුවන්ට වඩා ඔවුන් සත්‍යවාදිය, දුෂණයෙන්, වංචාවෙන් තොරය. එහෙත් සමුහයක් ලෙස ඔවුන් තුල ලංකාව මුහුණ දී ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා වූ යථාර්තවාදී හා ප්‍රායෝගික රාජ්‍ය පාලන මොඩලයක් ඇතැයි මම නොසිතමි. 

සෝවියට් දේශය බිඳ වැටුණු සැණින් මිනිසුන් තුල වසර 70 වකට වඩා යටපත් කර තිබූ මිනිස් ස්වභාවය මතුවන්න විය. සාමූහික ආර්ථික ක්‍රමවේදයන් අත හැර දමා ඔවුන් පෞද්ගලික ආර්ථිකයකට වේගයෙන් ප්‍රවිෂ්ඨ විය. ආගම ජාතිය වැනි සංකල්ප දිය යට තෙරපාගෙන සිටි රබර් බෝල මෙන් උඩ මතුවිය. ජන සමුහයේ උන්නතිය වෙනුවට පවුලේ යහ පැවැත්ම පෙරමුණ ගත්තේය. 

මෙය මිනිස් ස්වභාවයයි. වසර දහස් ගණනක් ක්‍රමිකව විකාශනය වූ මිනිස් සිතුම් පැතුම් සමුදායන් යටපත් කල හැක්කේ කෙටි කාලයකට පමණකි. කූඩු කරන ලද ව්‍යග්‍රයාගේ ව්‍යග්‍ර ස්වරුපය ඉඩ ලද විගසින් යලි මතුවන්නා සේ මිනිසා තම මනස සහ දෑත බැඳී යදම් වලින්  නිදහස් වූ සැණින් ඔහුගේ මිනිස් ගති ගුණ මතුවෙයි.

රටක් ගොඩ ගැනීමට දෑත දැරිය යුත්තේ උදළු, නගුළු, මිටි, දෑකැති මිස AK47, T56, ගල් කටස්, ග්‍රෙනේඩ් නොවන බව පොල් පොට් පරපුරේ උදවිය ලෝකයට පෙන්වාදී ඇත. නූතන යුගයේ පරිඝනකය සහ මෘදුකාංග රටක් නොව ලෝකයක් ගොඩනගයි. අසාධාරණය, අසමානතාවය ජයගත හැක්කේ තමාටත්, රටටත් වැඩදායක යමක් කිරීමෙන් මිස කිසිවක් හෝ කිසිවෙක් විනාශ කිරීමෙන් නොවන බව ඉතිහාසය නැවත නැවතත් පුනරුච්චාරණය කරයි. 

ලාංකීය සමාජවාදී මොඩල් කිහිපයක් මේ වන විට ඇතිවී නැතිවී ගියත් ඒ එකක්වත් ලංකාවට ගැලපෙතැයි මට නොසිතේ. මෙහිදී මා ලාංකීය සමාජවාදයක් ගැන කතා කරන්නේ එය රුසියානු හෝ මා අසා ඇති අනෙකුත් සමාජවාදයන්ට තරමක් වෙනස් වන බැවිනි. මේ ගැන පහදන්න අප සමාජවාදයේ අර්ථ දැක්වීම් විග්‍රහ කල යුතුය. අපි ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු. 


ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක – ස්වීඩන් මොඩලයද? 


          


%d bloggers like this: