Menu Close

ලෙඩ්ඩු බලන්නට රෝහල් එනකොට

ලංකාවෙ අපි මනුස්සකමෙන් බොහොම පොහොසත් ජාතියක්.කෙනෙක්ට දුකක් කරදරයක් උනාම කිසිම කොන්දේසියක් නැතිව ඒ මනුස්සයාට උදව්වට එන්න අපේ හුඟ දෙනෙක් පැකිලෙන්නෙ නැහැ.ඉතින් ලෙඩක් දුකක් වුනාම ලෙඩ වෙච්ච මනුස්සයා ගෙ සැප දුක බලලා යන්න ඉස්පිරිතාලෙට එහෙමත් නැත්නම් ගෙදරට පොඩි වෙලාවකට හරි ගොඩ වෙලා යන්නෙ ඒ ලෙන්ගතු කම හින්දාම වෙන්න පුලුවන් .

ඒත් සමහර වෙලාවට මේ ලෙන්ගතු කම නිසාවෙන් රෝගියාට අවැඩක් හිරිහැරයක් වෙන වෙලාවලුත් නැතුවාම නොවෙයි. ලෙඩාට වගේම බාග වෙලාවට මේ ලෙඩ්ඩු බලන ගමන ඔබටත් එතරම් හිතකර නොවෙන්නට පුළුවන් .

ඉස්පිරිතාලෙ ලෙඩෙක් නැවැත්තුවම  බලන්න එන අයගෙන් වෙන්න ඕනෙ මොකද්ද ?
බොහෝ වෙලාවට ලෙඩා ගෙ ගෙදර මිනිස්සුන්ට   උදව්වක් හැටියට ලෙඩාට අවශ්‍ය වන යම් දෙයක් ගෙනිහින් දීලා,ලෙඩාගේ හිත හැදෙන්න  කතා බහ කරලා එන එක.

ඉස්පිරිතාල කියන්නෙ ලෙඩ රෝග බහුල තැන්.විශේෂයෙන්ම ශ්වසන මාර්ගය මුඛ මාර්ගය හරහා බෝ වන ආසාදන  එක් රැස් වෙච්ච තැන්.ඒ වුනාට සමහරු ලෙඩ්ඩු බලන්න එන්නෙ පොඩි කිරි සප්පයොත් අරන්.අම්මලා ලෙඩ්ඩු බලද්දි මේ දඟ මලු බිම පෙරළිලා වාට්ටුවේ හැම අහුමුල්ලකම බඩ ගාලා ලෙඩ්ඩු වාඩි වෙන පුටු ටිකත් අත ගාලා ඒ අත කිහිප පාරක්ම කටේත් ඔබා ගෙන ඉවරයි. නෑවිත් ම බැරිනම් මිසක් පොඩි දරුවන්,වයසක උදවිය ,බඩදරු අම්මලා ඉස්පිරිතාලෙ නොඑනවානම් අපි කැමති.මොකද මේ උදවියට සාමාන්‍ය අයට වඩා පහසුවෙන් ආසාදන වැලඳීමේ අවදානමක් තිබෙනවා වගේම ආසාදනයකින් ඔවුන්ට ඇති වෙන අවදානමත් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් නිසාවෙන් .

ඉස්පිරිතාලෙන් ඔබ ගෙදර ගෙනියන්න පුළුවන් ආසාදන වගේමයි ඔබේ හිතවත් ලෙඩාට ඔබ ගෙනැවිත් භාර දීලා යන අසනීප.රෝගී වෙලා නේවාසිකව ප්‍රතිකාර ලබන ලෙඩෙක්ගෙ විශේෂයෙන්ම පිළිකා සඳහා පිළිකානාශක බෙහෙත් ලබාගන්නා ලෙඩෙක්ගෙ සිරුරේ ප්‍රතිශක්තිය සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අඩු වෙන්නට පුලුවන් .ඉතින් රෝගියා ආසාදනවලින් වළක්වා ගන්න අපි කොච්චර උත්සාහ කළත් වැඩක් නොවෙන්නේ  ලෙඩ්ඩු බලන පැය ආපු ගමන් ඔබ ඇවිදින් රෝගියා වට කරගන්න නිසාවෙන්
.
ඇතැම් වෙලාවක තමන්ට අසනීපයක් තියෙන බව දැනදැනත් ලෙඩා බලන්න නාවොත් හිත නරක් වේය කියලා හිතාගෙන ලෙඩ්ඩු බලන්න එන උදවිය ඕනෑ තරම්.වෙනත් අසනීපයකට රෝහල්ගත වෙච්ච ලෙඩාට බලන්න එන ඇත්තෝ තෑගි ගෙනාපු ආසාදනේකුත් එක්කහු වුනාම කොරේ පිටට මරේ වගේම තමා.
ඉතින් විශේෂයෙන් කළ යුතු උදව්වක් නැතිනම් මේ වගේ ලෙඩ්ඩු බලන්න නොයා ඉන්නා එක තමයි ලෙඩා වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් හොඳම උදව්ව.

ආසාදන අවදානමක් නැතත් ලෙඩ්ඩු බලන්න එන උදවිය නිසාවෙන් ලෙඩා තෙහෙට්ටු වෙන එක තවත් ගැටලුවක් .වෙලාවකට
ලෙඩ්ඩු බලන වෙලාවෙ  හදිසියකට ඇඳේ ඉන්න ලෙඩා හොයාගන්නත් බෑ නෑගම් ආ කට්ටිය ලෙඩා   වට කරගත්තම  ගිහින් පොකුරු පිටින්.එපා කිව්වම කියන මනුස්සයාව මැල්ලුම් හදන්න යන එක තමයි වෙන්නෙ.බොහෝ වෙලාවට ලෙඩෙක් බලන්න යන අය සීමා කරන්නෙ හැමෝගෙම හොඳ ට.සමහර වෙලාවට ලෙඩ්ඩු බලන පැය ඉවර වෙනකන් ලෙඩාට වෙනවා ආපු අයට ලෙඩේ විස්තර කරන්න.වෙලාවකට අල්ලපු ඇඳේ ලෙඩාගෙ විස්තරත්.බලන්න ආපු අයගෙ හිත නරක් කරන්නත් හොඳ නැහැනෙ.

ලෙඩාට වගේමයි කාර්‍ය මන්ඩලයටත් ඇති වෙන තෙහෙට්ටුව.සමහර වෙලාවට එකම ලෙඩා ගැන දහපාලොස් සැරයක් විස්තර අහනවා.වැඩක් නැති වෙලාවක වුනත් එකම දේ දහ දොලොස් සැරයක් අහන කොට කෙනෙක්ට හිතේ පොඩි නුරුස්නා ගතියක් ඇතිවෙන්නත් පුලුවන් කියලා හිතන්නෙ නම් නැහැ.

ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න එන්න නියමිත වෙලාවක් වෙන් කරලා තියෙන බව දන්නවනෙ.
ඇයි මෙහෙම වෙලාවක් වෙන් කරන්නෙ?

බොහෝ වෙලාවට ලෙඩ්ඩු බලන්න එන වෙලාවට ඔබ දකින්නේ ඇඳක් උඩට වෙලා ඔබ එනතුරු බලාගෙන ඉන්න ලෙඩ්ඩුනෙ.නමුත් වාට්ටුවක බොහොමයක් රාජකාරි සිදු වෙන්නෙ මේ ලෙඩ්ඩු බලන පැයට කලින් හෝ පස්සෙ.රෝගීන්ට බෙහෙත් ලබා දෙන එක, වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන එක, වාට්ටුවේ සිදු කරන පරීක්ෂණ කරන එක , වෙනත් පරීක්ෂණවලට රෝගීන්  වෙනත් වාට්ටු,සායන, පරීක්ෂණවලට යොමු කරන එක  මේ ඔක්කොම සිදු කෙරෙන්නෙ ඔබ නොදකින වෙලාවෙ.ඒ බොහෝ විට ලෙඩාගෙ පුද්ගලිකත්වය ගැන සලකන නිසාවෙන්.

නමුත් කලාතුරකින් රෝගීන් බලන්නට වෙන් කරන වෙලාවෙත් යම් හදිසි ප්‍රතිකාරයක් හෝ පරීක්ෂණයක් වාට්ටුවේ හෝ වෙනත් තැනක සිදු කරන්නට වෙන වෙලාවල් තිබෙනවා.
මේ වගේ වෙලාවක ඔබට ලෙඩා බලන්නට මඟ හැරෙනවාට වඩා ලෙඩා වෙනුවෙන් සිදු කරන ප්‍රතිකාරය වැදගත් විදිහටයි අපි සලකන්නේ.

ඒ වගේම තමයි අල්ලපු ඇඳේ ඉන්න ලෙඩාට මොකක් හරි විශේෂ දෙයක් වෙනවනම් පෙරහැර බලන්න වගේ තමන්ගේ ලෙඩා අමතක කරලා දාලා එක වටේ පිරෙන අමුත්තෝ අපිට හරිම කරදරයක් .ඇතැම් වෙලාවකට මේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා ලෙඩ්ඩු බලන වෙලාවේ වුනත්  හැම කෙනාවම වාට්ටුවෙන් ඉවත් කරන්නට අපිට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා.

සමහර වෙලාවට විශේෂයෙන්ම පිළිකාවක්වගේ අසනීපයකදී ලෙඩා ගැන විස්තර ලබා දෙන්නෙ ලෙඩාට හා පවුලේ සමීපතමයන්ට පමණයි.මොකද ලෙඩාගෙ පුද්ගලිකත්වය අපි ගරු කරන නිසාවෙන්.
ඒත් ඉතින් ඒ වගේ අවස්ථාවකත්  ලෙඩා කියන්න අකමැති බව දැන දැනත් සමහර ඇත්තෝ ඇවිත් ඒ විස්තර සෞඛ්‍ය කාර්‍ය මන්ඩලය හාරාවුස්සලා දැන ගන්න හදන වෙලාවලුත් නැත්තෙ නෑ.

ඊලඟට ලෙඩා බලලා ඉවර වුනාම ගෙදර යන එක.මේ රාජකාරියට ලෙඩ්ඩු බලන්න එන උනන්දුව බොහෝ දෙනෙක් ට නැහැ.
ඒ වගේම බොහෝ අය වාට්ටුවෙන් පිටතට ගිහින්  පොකුරු ගැහිලා මිතුරු හවුල් පවත්වන්නෙ,මේක ඉස්පිරිතාලෙ  කියලා අමතක කරලා.කලිනුත් කිව්වා වගේ ලෙඩ්ඩු බලන වෙලාව අහවර වෙනකන් අපි බලාගෙන ඉන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපේ රාජකාරි ආපහු පටන්ගන්න.ඉතින් ඔබ වාට්ටුවෙන් ඉවත් වෙන්න වෙලාව ගන්නවා කියන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපෙන් වෙන්න තියෙන දේවල් කරගන්න ප්‍රමාද වෙන එකයි.
හුඟක් වෙලාවට රෝහල් ආරක්ෂක අංශයේ අයට සිද්ධ වෙනවා වාට්ටු ගානෙ ඇවිදිමින් මොන්ටිසෝරි යන පොඩි ළමයින්ට වාගේ වෙලාව මතක් කර කර ලෙඩ්ඩු බලන්න ආ ඇත්තො එළියට යොමු කරන්න.
ඒ වෙලාවට සමහර ඇත්තො තාවකාලිකව බීරො වෙනවා, සමහරුන්ට සිංහල තේරෙන්නෙ නැතුව යනවා.ලෙඩ්ඩු බැලිල්ල පැත්තක තියලා තමන්ගෙ රස්සාව කරන සිකුරුටි අංකල් එක්ක පැටලෙන්න යන ඇත්තොත් නැතුවා නෙවෙයි.

තවත් අපිට වෙන කරදරයක් තමයි ලෙඩ්ඩු බලලා යන්න එන ඇත්‍තන් දොස්තරගෙ රාජකාරියත් කරන්න යන එක.ඉස්පිරිතාලෙට රාජකාරි කරන අපේ එකම බලාපොරොත්තුව ලෙඩ්ඩු හැකි ඉක්මනින් සනීප කරලා ගෙදර යවන එක.හැම ලෙඩෙක් වෙනුවෙන්ම යම් සැලසුමක් අපිට තියෙනවා.ඒ සැලැස්ම අනුව ලෙඩාට වගේම ලෙඩාගේ උපස්ථානයට ළඟ ඉන්නා ඇත්‍තන්ටත් අපි උපදෙස් දෙනවා.ඒත් ලෙඩ්ඩු බලන්න එන සමහර ඇත්තන් අපේ මේ සැලැස්මවල් උඩු යටිකුරු කරනවා.කන්න දෙන්න එපා කියලා තියෙන ලෙඩාට බලෙන් ම ගෙනාව මොකක් හරි හට්ටියකින් ඩිංගක් කවලා යනවා.ළඟ ඉන්න ලෙඩාගෙ අයිතිකාරයා එක්ක කතාවෙන් අහුලගත්තු උපදෙස් මේ ලෙඩාගෙ අයිතිකාරයාගෙ ඔලුවට ඔබනවා.
තමන් දන්න ඔය ලෙඩේම හැදිච්ච කෙනෙක් මාස දෙකෙන් මැරිලා ගිය හැටිය ලෙඩාටයි අයිතිකාරයාටයි ච්ත්තරපටිය වාගෙ විස්තර කරලා කියනවා.
එහෙමත් නැතිනම් මේවාගේ අසනීපවලට ඉස්පිරිතාලෙ බෙහෙත් අල්ලන්නැති විත්තියත් අහවල් තැන බෙහෙත්වලින් තමන්ගෙ අල්ලපු ගෙදර අක්කාගේ නැන්දාගේ පුතා එක්ක එක බස් එකේ ඉස්කෝලේ ගිය හාදයාගේ මල්ලිගේ නෝනාගේ සාරිහැට්ට මහන නැන්දාගේ මහත්තයා මේ අසනීපය නිට්ටාවට සනීප කර ගත්තු බවත් වගකීමෙන් කියා හිටිනවා .ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙද්දී ලෙඩාටත් ගෙදර ඇත්තන්ටත් හිතේ අමාරුවටත් බෙහෙත් කරන්නට වෙලා අහවරයි.

ගිලානෝපස්තානය කියන්නේ ඇත්තටම උතුම් දෙයක්. නිවැරදි අවබෝධයක්  ඇතුව  කරනවා නම් ලෙඩ්ඩු බලන්න යන ඔබෙන් ලෙඩාට හොඳක් වෙනවා වගේම ඔහේ යන්නන්වාලේ ලෙඩ්ඩු බලන්නට යාමෙන් වෙන්නේ ඔබත් ලෙඩාත් දෙන්නාටම අපහසුවක් වෙන එකයි.

ඉගිලෙන ලියමන් 2019.07.12

%d bloggers like this: