Menu Close

මදිමු මදිමු රෙදි

අනාදිමත් කාලේකට ඉස්සරින් අපේ ගෙදර තිබුනේ රෙඩ් හාර්ට් අයන් තඩියක් ය.හාල් මුට්ට තුනක් විතර බර රිදී පාට අයන් රාජයාගේ හැඬලයත් උශ්නත්ව පාලක සුවීචියත් කලු පාට ය.අයන් එකේ රස්නේට අමතරින් ඒකෙ බරටත් රෙදි අයන් වෙනවා කියලාය ඒ දවස්වල මට හිතුනේ.

පස්සෙන් පහු වයසට ගිය රෙඩ් හාට් ඩෙඩ් හාට් වී ස්වර්ගස්ථ වුනාට පස්සෙන් පහු පුළුන් රොදක් සේ සැහැල්ලු ප්ලාස්ටික් අයන්වතීලා අපේ ගෙදරට ගොඩවදිනවා ය.මේ අයන්වතීලා හරිම නුහුගුණකාරියෝ ය.උන්දැලාගෙන් වැඩක් ගන්නට ඇඟේ මුලු බර යොදා සියලු දිරි දරා අයන් බෝඩ් එක උඩ නැගගෙන අයන් කරන්නට ඕනෑ ය.ඒ මදිවාට මේ අයන්වතීලාගේ හොස්ස ළගින් මැස්සා යන්ට බෑය.එහෙ බලා මෙහෙ බලද්දී ගිනි පත්තු වෙලා රෙදි පිච්චිලා ය.

ඇච්චා කාලේ ඔය අයන්වතී අතින්වත් අල්ලන්නට මංතුමීට තහනම් ය.ඒත් මංතුමී අම්මාට උදව් පදව් කරන්නට කැමති බොහොම අහිංසක දැරියක නිසාවෙන් පහක් හයක් විතර වූ උපන්දිනයක්දා අම්මා සප්‍රයිස් කරන්නට උපන්දින ගවුම තනියෙන් අයන් කරගන්නට යනවා ය.අයන්වතී ගවුම උඩින් නවා බලාගෙන හිටිල්ල අවැඩදායක බව මංතුමී ප්‍රායෝගිකව අත් හදා බැලුවේත් එදා ය.උපන්දින  ගවුමේ අයන්වතීගේ මූනත්තහඩුවේ හැඩේටම ලොකු හිලක් තිබ්බත් උපන් දිනේ හින්දාවෙන් මවුතුමීගෙන් මංතුමීට පොදු සමාවක් ලැබුන විත්තියක් මතක ය.

ඕන් ඔය ආකාරයෙන් අයන්වතී භාවිතාවට අත් පොත් තැබුවත් පහු වෙද්දීනම් හිතෙන්නේ මේ මලකරදර අයන්වතී එපාම කියා ය.ඕක වැඩිපුරම හිතෙන්න ගන්නේ මහරෑට නිදිමරගාතේ සුදු ගවුමේ රැලි මදින්ට ගියාම ය.

අපේ ගෙදර බවලත් ඇත්තන් අයන් එකෙන් රෙදි උණු කිරීමේ කලාවේ කෙළ පැමිණි ඇත්තියන් ය.මවුතුමීගේ  සාරි කන්දරාවේ අයන්වතීගේ මාර්ක් එක නොහිටි සාරියක් හොයා ගන්නවා බොරු ය.කලාතුරකින් සාරිය බේරිලානම් අනිවාරතේ සාරි හැට්ටේ කොහේ හරි අයන් හිල්මාක් එකක් තියෙනවාම ය.

මවුතුමීගේ දෝනියන්දෑ හැටියට ඒ සාරි පිලිස්සුම් කලාවේ අත්ගුණය  මංතුමීටත් උරුම වීඇති බව දෑහින් දැක ඇති වෙලාම දැන් මංතුමී වැඩි හරියක් අඳින්නේ (අඳිනවානම්)අයන්වතීට මුලිච්චි නොවෙන සාරි ය.

ගෘහවාසී බවලතුන්ගේ තවත් නොහොබිනාම පුරුද්දක් වෙන්නේ රෙදි ඇගේ ලාගෙන අයන් කිරිල්ල ය.පිරිමි පරාණ දුටු තැන දෙස් දෙවොල් තියා හෙළා දැක්කත් බවලතුන්ට ආවේණික සිලෙක්ටිව් බිහිරි බාවය පාවිච්චි කරමින් ඒ දොස්පරොස් නොසලකා හැර ඇඟේ තියෙනා සාරි වල පොඩි වුන රැලි, ඇඟේ තියෙනා බ්ලවුස්වල පොඩිවුන කොලර් ආදිය මට්ටු කිරිල්ලට මංතුමීත් මවුතුමීත් උපන් හපන්නුය.
ගුරුන්ටත් ඉඳහිට අකුරු වරදින නිසාවෙන් ඉඳහිට මේතුමීලා දෙන්නාගේම බෙලිත් අයන්වතී මුණ ගැසී ඇතත් තවමත් ඉඳහිට ඒ නොහොබිනා පුරුද්ද අත අත නෑරම එන බව කණගාටුවෙන් උනත් කියන්නට ඕනෑ ය.

කාලයක් ගෙදර හිටි අයන් රාජයාගේ වතුර විදින ගැජට්ටුවකුත් තිබුනා ය.වතුර විද විද අයන් කිරිල්ල මුල් කාලේ හරිම ආකස්මික අත්දැකීමක් වුනත් ටික දවසක් යද්දී ඔය වතුර කුටීරයෙන් වතුර ගලන්න බේරෙන්න අරගෙන අයන් කරන්නට ගිය රෙද්ද වොශින් මැශින් එකේ දැම්මා වගේ වෙන්න ගත්තාම ඒක ඊට එහා ගිය වේදනාවක් වෙනවාය.එතකොට අප්පොච්චා කරන්නේ වතුර කුටීරේ ගලවා විසික් කොරන එක ය.ඊට පස්සෙන් පහු ඉස්සරහ මදේ නැති අයන්වතී කෙනෙකුත් ආදේශකයක් හැටියට අතින් වතුර ඉහගන්නට වතුර පුරවාපු කප් පොඩිත්තකුත් අයන්බෝඩ් එක උඩ ය.

මේ මොන ආඩපාලි කීවත් අයන්වතී ප්‍රයෝජනවත් වෙච්ච අවස්ථාත් නැතුවා නොවේය.ඉරිදා මහ රෑ හෝදන්ට මතක් වූ මේස් සඳුදා උදේ ඉස්කෝලේ යන්නට තෙත හින්දා දුන්නේ අයන්වතී ය.දහම්පාසල් යන්නට මල් කඩන්නට ගොස් අප්පොච්චිගේ දාරපත මාලු ටැංකියට ළමා සාරිය පිටින්ම පත බෑවුනු වෙලේ අයන්වතී නොහිටියානම් දහම්පාසල් යන්න ළමා සාරිය වේලාගන්න වෙන්නේ නැති ය.

කැම්පස් එන්න ආවා ම රූමීටත් මටත් බඩු ගන්නට යන්නේ අප්පොච්චිලා ඩබලය. අවුරුදු ගානක් එකට ඉන්නා අපි දෙන්නා ඊට පස්සෙන් පහු බෝඩිම් දෙකකට වෙන් වෙද්දී අයන්වතී මා එක්ක එද්දී කේතල්වතී රූමිත් එක්ක යනවා ය.
පස්සේ කාලෙක හොස්ටල් එකේ කාමර පේළිය සතු වූ ජාතික සම්පත් අතරින් එකක් බවට පත් වෙන්නේ ඒ අයන්වතීම ය.

පස්සට ඉර එළිය වැටෙන තුරු නිදාගෙන නැගිට පස්ස දාච්ච කඩියා වාගේ ෆැකල්ටි දුවන්න ලෑස්ති වෙන්න බලද්දී අයන්වතී රෝන්දේ ගහන්න ගොහින් ය.දොරෙන් එළියට බෙල්ල දමා බැන අඩ ගහද්දී වෙනින් කාමරේකට රිංගාගෙන ඉන්නා රස්තියාදුකාර අයන්වතීව කාමර හිමිකාරියෝ කකුල්කෙටියෙන් ඇදගෙන ආයේම කාමරේට ගෙනැවිත් බාර දෙනවා ය. හතරවටේ රෝන්දේ ගහන්න ගියෝතින් හතර හන්දි කඩනා බවට මංතුමී කී දවසක්   තරවටු කළත් ඒවා සතපහකට මායිම් නොකරනා අයන්වතී පහුවදා උදේත් සවාරියේම ය.

මංතුමීලෑ දිහෑ අයන්වතීලා පාවිච්චියේ පසු ව්පරම කෙරෙන්නෙත් ඉස්තිරී පුරුශ  දෙජාතිය දෙයාකාරයකට.බවලත් ඇත්තෝ අයන්වතීලා ඕෆ් කිරිල්ලක් ගැන වැඩි උනන්දුවක් නොදක්වනා අතර බවලත්තු විතරක්  රෙදි මැද්දානම් අනිවාර්යයෙන්ම පහුවදා වෙන්නට කලියෙන් ගිනි නිවන හමුදාවට ගෙවල් පැත්තේ එන්නට වෙලාය.

එතකොට බලවත්තු (කියා හිතන් ඉන්නා ඇත්තෝ) ඔන් කර තිබෙනා අයන්වතීලා කෙරෙහි දක්වන්නේ අසීමිත භීතිකාවක් ය.විශේෂයෙන්ම අපේ පියාණන්දෑ උන්දෑ අයන්වතී  පාවිච්චියෙන් පසු පස් ගමනකුත් වෙන කවුරුන් හෝ පාවිච්චි කළාට පස්සෙන් පහු දහ ගමනකුත් ගමනක් යන්න ගෙයින් එළියට බහිනවානම් අමතර තව  විසි ගමනකුත් අයන්වතීගේ විදුලි සැපයුම කප්පාදු වෙලා දැයි පිරික්සනවා ය.ගෙයි දොර වහද්දිත් වැහුවාට පසුවත් ගේට්ටුව වහද්දිත් වාහනේට ගොඩ වෙද්දිත් මඟක් දුර යද්දිත් කෝකටත් කියා ආයෙමත්  අයන් එක ඕෆ් කලා කියලා ශුවර් දැයි අහනවා ය.සීයට සීයක් ශුවර් වුනත් ඔය අන්තිම වතාව අහද්දී මංතුමීට හැඟෙන්නේ ශුවර් එකටම අයන්වතී තාමත් ඔන් එකේ වෙන්නට ඇති බවත් හවස ගෙදර එද්දී ගේ ගිනි අරන් ඇති බවත් ය.

ඔය බවලත් බලවත් ඇත්තන්ගේ බල සංතුලනයක් මේ වෙනතුරු තිබුන හින්දාවෙන් දෙයියනේ කියා  ගම ගිනි තියනා අයන්තුමීලා හොයාගෙන ගිනිනිවන හමුදාවේ උන්දැලා මේ වෙනකන් අපේ දිහා එන්ට හිතලා නෑ ය.

පලි:අදත් එකක් පිච්චුනා ඉතින් 😥😥😥

ඉගිලෙන ලියමන්

2019.07.10

%d bloggers like this: