Menu Close

විකල්පය කල්පයක් තරම් දුරද?

නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කිරීම හරහා අත්පත් කරගන්නා යුක්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ බහුබූත එකක්. වෙළඳපොල ක‍්‍රමය ඇරුනම යෝජනා කරන්නෙ මොකක්ද කියල කීප දෙනෙක් අහද්දි එයා තවත් පෝස්ට් එකක් දාලා කියනවා ඒ ප‍්‍රශ්න අහන අය වෙළඳපොල පැවැත්ම සහ ක‍්‍රමයෙ වෙනස දන්නෙ නැතිලු . නිර්මාල් සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ගොඩක් විහිලූ කරන කෙනෙක්. කොහොමටත් මේක නිර්මාල්ගෙ පුද්ගලික හැඩයෙන් එලියට අරන් කතා කරන්න මං කැමතියි. මොකද මේ වෙළඳපොල ක‍්‍රමයට එරෙහි කෙදිරිය සෑම වාමාංශික ප‍්‍රභවයක් තියෙන තැනකම ඇහෙනවා. විශේෂයෙන් ලංකාවෙ ඇකඩමියාවෙ නිර්මාල්ලගෙ පටන් අර රුහුනෙ කොන්ඩොම් මහාචර්ය වෙනකල්ම පොදුවෙ ඔහේ ඉබාගාතෙ කියමින් පොඩි පාරිශූද්ද ගතියක් ෆීල් කරන කතාවක්.

අද අපි ජීවත්වෙන ලෝකෙ සකල විධ දියුණුව අත්පත් කරගත්තෙ වෙළඳපොල ක‍්‍රමයෙන්. කොටින්ම නිදහස් වෙළඳපොල සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙම අවියෝජනීය සංකල්ප දෙකක්. මානව සංහතියෙ සියලු ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන මේ විස්මිත ක‍්‍රමය ඇඩම් ස්මිත් කියන ස්කොට්ලන්ත මනුස්සයා 1750 ගනංවල පරිකල්පනය කරන ක‍්‍රමයක්. ඒකෙ අදහස වෙන්නෙ පුළුවන් තරම් රාජ්‍ය හෝ වෙනත් මධ්‍යගත අතපෙවීම් නැතුව නිදහස් විදිහට මිනිස් ගනුදෙනුවලට පවතින්න ඉඩ දෙන එක. ඇඩම් ස්මිත් විශ්වාස කළා තමන්ට හෝ තවත් සුලු කන්ඩායමකට පාලනය කරන හෝ යලි හසුරුවන ක‍්‍රමයකට වඩා ස්වභාවිකව ගොඩනැගෙන නිදහස් ගනුදෙනු විශාලයි කියල. තමන්ට නිශ්පාදනය කළ නොහැකි දේ අනෙකාගෙන් මිලදී ගන්නවා. තමන් වඩාත් දක්ෂ දේ නිෂ්පාදනය කරනවා. මේ වෙළඳපොල පාලනයට ආන්ඩුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට ස්මිත් කිව්වෙ ඉන්විසිබල් හෑන්ඩ් කියල. යම් කිසි බලාධිකාරියක බලහත්කාරී මැදිහත්වීමක් නොවේ නම් මේ වෙළඳපොල ස්වභාවිකවම ඉල්ලුම සහ සැපයුම අතර වඩාත් සාධාරණ දියුණු ප‍්‍රවේශයන් හ\ුනාගන්නවා. අසාධාරන, ප‍්‍රශ්නකාරී තත්වයන් විසඳාගන්නවා. උදා විදිහට එක කඩේක බනිස්වලට ඉල්ලුම වැඩි නම් ඒ වගේම බනිස් නිපදවන තව කඩ ඇති වෙනවා. ඒක හින්ද මුල් බනිස් කඩේට හිතුමතේට මිළ ඉහලදාන්න බැරි වෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. මේකට කවුරුවත් මැදිහත් වෙන්න ඔ්න නෑ කියලයි ස්මිත් කිව්වෙ. මේක තමයි ඉන්විසිබල් හෑන්ඩ් එක විදිහට හැඳින්නුවෙ.

ස්මිත් පොත් දෙකක් ලියනවා. එකක් වෙල්ත් ඔෆ් නේෂන්ස්. අනික තියරි ඔෆ් මොරල් සෙන්ටිමන්ට්ස්. වෙළඳ පොල ක‍්‍රමයත් ඒක නිසි විදිහට කළමනාකරනය කරගන්න අවශ්‍ය වෙන එතික්ස් ගැන ස්මිත් ගැඹුරට කතා කරනවා. වැදගත්ම දේ වෙන්නෙ ස්මිත් යෝජනා කරන එතික්ස් බලෙන් ආටෝප කරගත යුතු, උත්තර ගුනදර්ම නොවෙන එක. උදා විදිහට අනෙකා ගැන හැගීම ස්මිත් විස්තර කරන්නෙ අපේ සෙල්ෆ් ඉන්ටරෙස්ට් නැත්තං අපි ගැන සිතීමේම දිගුවක් විදිහට. තමන් ගැන නොහිතන කෙනෙකුට අනුන් ගැන හිතන්න පුලුවන්කමක් නෑ. තමන් ගැන නොහිතා ජාතියක් හෝ රටක් ගැන හිතන්න බෑ. එහෙම හිතවන ඇබ්ස්ට‍්‍රෑක්ට් සංකල්ප අනිවාර්යෙන්ම කැඳවන්නෙ විනාශයක්.

ස්මිත්ගේ සිතීමේ මං දකින ඉතා ගැඹුරු කාරණය වෙන්නෙ තමන්ගේ සීමිතකම පිළිබඳ අවබෝධය. ඒ කියන්නෙ අපි විසින් නිර්මාණය කරන ලද කවර ක‍්‍රමයකටවත් ස්වභාවික මිනිස් ගනුදෙනු තුලින් නිර්මාණය වන බහුවිධ හැඩයන් තරම් පළල් විවෘත වගේම දියුණු තත්වයන් නිර්මාණය කරන්න බැරි වග අවබෝධ කර ගැනීම. මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ ඒකාධිපතිවාදය හෝ කියන කවර ක‍්‍රමයක් වුනත් නිර්මාණය වෙන්නෙ සීමිත මිනිස් සිතීමක් අසීමිත විදිහට ගැනීමේ වරද ඇතුව. ඒ කියන්නෙ සමාජවාදීන් හෝ ඒකාධිපතිවාදීන් හිතන්නෙ තමන්ට පුළුවන් කියල ආර්ථිකය හසුරුවන්න. ඒකට ඒ අය තෝරගන්න ක‍්‍රමවේදය වෙන්නෙ නැවත නැවතත් පාලනය. ඒ පාලනය ඇතුලෙ රටවල්වලට සිද්ද වෙන දේවල් ගැන අපිට ඇත්ත අත්දැකීම් තියෙනවා.

ඒ වගේම ධනවාදය නැත්තං නිදහස් වෙළඳපොල ක‍්‍රමය කොයිතරම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තාද සහ ඒ තුලින් මානව සංහතිය කොයිතරම් ඉස්සරහට අරන් ගිහින් තියෙනවද කියන එක ගැනත් පර්යේෂන සංඛ්‍යාලේඛන සාක්ෂි දරනවා. ඒත් ලංකාවෙ ඇකඩමියාවෙ කිසිම බුද්දිමතෙක් එලිපිට ධනවාදය විසින් ලෝකය යහපත් කළා කියන ඇත්ත කියන්නෙ නෑ. ඇඩම් ස්මිත්ව උවමනාවෙන් මගඅරිමින් ලෝක හැම දෙයක්ම වැරදි විදිහට අර්තකථනය කරලා නෝන්ඩි වුනු මාක්ස්ව පුම්බ පුම්බ උඩ දානවා.

ලෝක මට්ටමෙන් ගත්තොත් මේ වෙද්දි දුප්පත්කම තුරන් වෙමින් යනවා. මිනිස් ආයුෂ, රෝග විනිෂ්චයන්, ප‍්‍රවාහනය, සන්නිවේදනය මේ සියල්ලෙහි හිතාගන්න බැරි තරම් දියුණුවක් අත්පත් කරගෙන සහ අත්පත් කරගනිමින් තියෙනවා. ඒ දියුණුව ලෝකෙ ඒ කොන මේ කොන  ඕනම කෙනෙකුට පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමකට ගෙනත් තියෙනවා. අපි ඒ සියලු සුවපහසු විඳිමින් එහෙම දියුනුවක් නෑ කියල විකල්ප යෝජනා කරනවා. මේ බාරගන්න බැරිකම ආගමික කාරණයක්.

ඒක සිද්ද වෙන්නෙ අපි කොයිතරම් දැනුම ලබාගත්තත් අපේ ගතානුගතික ආකෘතීන් ඒ දැනුමෙන් වෙනස් නොවෙන හින්ද. අපි දැනුම පාවිච්චි කරන්නෙ ගතානුගතිකය ශක්තිමත් කරන්න. කොටුවෙන් එලියට හිතනවා වෙනුවට කොටුව ඇතුලෙ පැවැත්ම සහතික කරන්න.  ඉස්සර එක්ස් එකේදි නිර්මාල්ලා මේ ගැන ලස්සන කතාවක් කියනවා. අපිට අලූත් ඉලෙක්ට්‍රොනික් බඩුව ආවට ඒකෙ කැටලොග් එක එන්නෙ නෑ කියල. ඒක හින්ද අපි පරණ කැටලොග් එකෙන් අලූත් බඩුව පාවිච්චි කරනවා.

නිදහස් වෙළඳපොල කියන්නෙ භාන්ඩ හා සේවා හුවමාරුවක් විතරක් නෙමෙයි. නිදහස් අදහස් හුවමාරුවත් එතනදි ප‍්‍රධානයි. උදා විදිහට චීනය නිදහස් වෙළඳපොල බාරගත්තා කියල කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ කතාව බොරුවක් වෙන්නෙ මේ හින්ද. චීනය නිදහස් අදහස් ගලායාම බාරගන්නෙ නෑ. ඒවා මතවාදීමය විදිහට පාලනය කරනවා. පුළුවන් තරම් අදහස් ප‍්‍රකාශ වීමට, හුවමාරු වීමට, එකිනෙක හා සංසර්ගයේ යෙදීමට ඉඩ නැත්නම් එතන නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් නෑ. හැම භාණ්ඩයක්ම සේවාවක්ම වෙන්නෙ අදහසක්.

අපි රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා සිටිනවා කියන්නෙ පාලනයක් ඉල්ලා සිටිනවා කියන එක. ඒක මතුපිටින් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ වගේ සේවාවක් එහෙම නැත්තං මත්ද්‍රව්‍ය වගේ භාන්ඩයක් මත පැනවෙන දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඇත්තටම අපි කරන්නෙ අදහස් පාලනයක් ඉල්ලා සිටීම. ඒ හරහා මතවාදයක් බලෙන් තහවුරු කිරීම. නිදහස් හුවමාරුව බාධා කිරීම. ලෝකෙ කොතනකවත් රාජ්‍ය මැදිහත්වීමකින් රටවල් දියුණු කරන්න පුළුවන් වුනේ නෑ. ඒක සිද්ද වුනේ පෞද්ගලික මිනිස්සු මැදිහත්වීමෙන්. ඒක සිද්ද වුනේ ලාභය වෙනුවෙන්. කෙනෙක් එයාගෙ ලාභය අරමුණු කරගෙන කරන නිෂ්පාදනය නිසා ගොඩක් අය පරිභෝජන වාසි ලබනවා.

නිදහස් වෙළඳපොලක පවතින ආචාර ධර්ම ඇඩම් ස්මිත් මොරල් සෙන්ටිමන්ට් පොතේ කතා කරනවා. එයා විසින් යෝජනා කරන වෙළඳපොල ක‍්‍රමයෙ දර්ශනය, සහ සමාජ මනෝ විද ්‍යාව ගැන තියෙන්නෙ ඒ පොතේ.

ඇඩම් ස්මිත් ඒ පොතේ කාරණා කීපයක් මතු කරනවා. මට අනුව මේ මොහොතේ අවශ්‍ය විකල්පය තියෙන්නෙ එතන. පලවෙනි එක සෙල්ෆ් ඉන්ටරෙස්ට් සහ සිම්පති කියන එක. ඒක ස්වභාවික මිනිස් ගුනයක්. අපිට තියෙනවා අපේ ජීවිත වඩා යහපත් කරන උවමනාවක් වගේම අනෙකාගේ දුක ගැන දැනෙන ස්වභාවික හැගීමක්. ඒක මානව සමාජ ගුනයක්. නිදහස් වෙළඳපොලේ ආචාර ධාර්මික පදනම වෙන්නෙ මේක.
අනික යුක්තිය හා සාධාරනය. අපි අපේ සුබසිද්දිය වෙනුවෙන් කරන වැඩවලදි අන් අයට හානි නොවිය යුතුයි කියන මූලධර්මය. රටක නීතිය ක‍්‍රියාත්මක විය යුත්තේ මේ විය හැකි අසාධාරණය පාලනය කරමින් මිනිස් ගනුදෙනු නිදහස් අවකාශයක් සහතික කරන්න.
තුන්වෙනුව ඉම්පාෂල් ස්පෙක්ටේටර් කියන එක. මේක ඩේවිඩ් හියුම්ගෙ අදහසක් එක්ක සමගාමීව ස්මිත් අරන් එන ගැඹුරු යෝජනාවක්. අපි කොයිතරම් සවිඥානකව අපිව තේරුම් ගන්නවාද කියන කාරණය උඩයි ස්මිත් සැබෑ යහපත්බව අර්ථ ගන්වන්නෙ. අපි කොයිතරම් ගැඹුරෙන් අපිව තේරුම් ගන්නවාද, අපිට පුලුවන් අනෙකාවත් ඒ තරම්ම ගැඹුරෙන් තේරුම් ගන්න. මෙතනදි අපි අපේ ආත්ම ලාභය වෙනුවෙන් වැඩ කරන වග පිලිගන්න තරම් නිහතමානී බවක් අනිවාර්යයි. නිකං පොදු අරමුනු වගේ මවාපෑමක් මෙතන නෑ. ඒ තේරුම් ගැනීම හරහා අපිට අපි වගේම අනෙකාවත් දැකිය හැකි සදාචාරමය හැගීමක් ඇති කරගන්න පුළුවන් කියල ස්මිත් කියනවා. මොරල් සෙන්ස් කියන එකේ පදනම තියෙන්නෙ මෙතනයි. පංතියක් වෙනුවට පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීමක්.

නිදහස් වෙළඳපොල ක‍්‍රමයෙ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒත් ඒ අඩුපාඩු ඒ ක‍්‍රමය විසින්ම ස්වයං සිද්ධව නිවැරදි කරගන්නවා. ඒක හුදු බොළඳ රොමාන්තික හැගීම් උඩ වැඩකරන ක‍්‍රමයක් නෙමෙයි. සමාජ මානවයෙක් විදිහට මිනිස් ගතිකයන් උඩ වැඩකරන ක‍්‍රමයක්. ස්මිත් මෙතනදි ලස්සන දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි රජයන් විසින් කළ යුතු කාර්ය කොටස.  නිදහස් අදහස්, භාන්ඩ හා සේවා හුවමාරුව වඩාත් පළල් කරන අවකාශයන් සහ යටිතලයන් නිර්මාණය කිරීමට රජයන් උත්සුක විය යුතුයි වගේම කිසි විටෙක රජයන් ව්‍යපාරවලට උදව් නොකළ යුතුයි කියල ස්මිත් කියනවා. රජයන් වෙළඳපොල ප‍්‍රවර්ධනයට මිස ව්‍යාපාර ප‍්‍රවර්ධනයට දායක නොවිය යුතුයි කියල. එයින් ඒකාධිකාරයන් බිහිවෙනවා. එය නිදහස් වෙළඳපොල බාධා කරනවා. ලංකාවෙ රජයන් නැවත නැවත කරන්නෙ මේකයි.

ලංකාවෙ නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙනවා කියල මං දකින්නෙ නෑ. මෙහෙ තියෙන්නෙ මුදලාලි ක‍්‍රමයක්. ඒක වෙළඳපොල ක‍්‍රමයට පූර්වව පැවති තත්වයක්. සල්ලි අප්සෙට් කියල හිතෙන එක, මනුස්සකම කියන්නෙ සල්ලි නැතුව වැඩ කරන එක වගේ අදහස් දරන එක සහ එනිසාම පුළුවන් තරම් හොරකම් වංචා දූෂන අත් යටින් ගනුදෙනු කරන එක නිදහස් වෙළඳපොල තත්වයන් බාධා වීමේ ලක්ෂණ. අපි කරන්න ඔ්න මේ වෙළඳපොල මෙහේ ස්ථාවර කරන්න පුළුවන් තරම් වැඩ කරන එක. ගතානුගතික රාමුවලින් එලියට මිනිස් ගනුදෙනු අරගෙන යන එක. මුදල් කියන්නෙ මිනිස්කම හානිකරන දෙයක් නෙමෙයි වඩාත් මිනිස්කම දියුණු කරන භාවිතයක් කියල තේරුම් ගන්න සමාජයක් නිර්මාණය කරන එක. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු සකලවිධ මිනිස් නිදහස සහ අයිතීන් පවතින්නෙ මේ නිදහස් වෙළඳපොල එක්ක සම්බන්ධවයි. අපි වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කරනවා කියන්නෙ කවුරුන් විසින් හෝ අපේ නිදහස සහ අයිතීන් නිශ්චය කරන බලහත්කාරී ක‍්‍රමයක ජීවිතය තෝරගන්නවා කියන එකයි.

%d bloggers like this: