Menu Close

චිත්‍ර උපදෙස්

දැන් අපිට සීතල කාලේ. පුතාටයි මටයි ඉස්කෝලේ නිවාඩු. මේ ටිකේ සමහර දවස්වල දවල්ට ලස්සනට අව්ව තිබුණත් හවස් වෙද්දී හුළඟ හමලා වහින්න ගන්නවා. හොඳට උණුහුම් වෙලා පොත් කියවන්න කියාපු දවස් ටික.

“අම්මාටයි, තාත්තාටයි, සීයාටයි මම බොන්න hot chocolate හදන්නද?” එහෙම හවස් වරු වල පුතා අහන්නේ ළඟදී ඉගෙන ගත්ත ශිල්පය දක්වන්න ලෑස්ති වෙලා.

“Hot Chocolate කිව්වේ අම්මාගේ බ්ලොග් එක වගේද?” සීයා විහිළුවක් කරනවා.

කොල්ලා බොහොම ආඩම්බරයෙන් දුම් දාන mugs හතරක් අරගෙන එනවා.

“මට හිතයි hot chocolate කෝප්පයක් අඳින්න” මම පුතාට කියනවා. මම බොහොම ප්‍රාථමික විදිහට laptop එකේ Paint වලින් චිත්‍ර අඳිනවාට පුතා කැමති නැහැ. එක එක ජාතියේ චිත්‍ර අඳින apps එයා මට හොයලා දෙනවා හැමදාම. ඒත් මට ඒ එකක්වත් අල්ලන්නේ නැහැ. යල් පැනපු ක්‍රමයම තමයි හරියන්නේ. තෙල් සායම් චිත්‍රයක් අඳින විදිහ ගැන තියෙන උපදෙස් ටිකක් බලාගෙන මම Paint වලින්ම මේ චිත්‍රය අඳිනවා.

“හොඳයි, හොඳයි.. ගොඩාක් මහන්සි වුණු බව පේනවා. අලුත් ක්‍රමයකින් ඇන්දා නම් සෑහෙන්න දුරක් යන්න තිබ්බ කෙනෙක්!” කොල්ලා මේක බලලා මට අවවාදයකුත් දීලා යනවා.



%d bloggers like this: