Menu Close

145. ළඳුනේ; මේ බජාර් එකේ ලලක්කා !

“I believe that sex is one of the most beautiful, natural, wholesome things that money can buy.” 
― Steve Martin

පසු ගිය සති අන්තය ගෙවී ගියේ ඉතාමත්ම අවිවේකීව.

රැකියාවේ එදිනෙදා වැඩ වලට අමතරව ඥාතියෙකුගේ නිවසක තිබූ ආගමික කටයුත්තකට සක්‍රීයව මැදිහත් වීම; මෙම අවිවේකී බවට ප්‍රධාන අමුද්‍රව්‍යය සැපයූවා යැයි කීවොත් නිවැරදියි.

මේ සර්ව රාත්‍රික පිරිත් දේශණය අතර තුර මාහට මගේ නෑදෑ මිතුරෙකු සමග හෝරා කිහිපයක් දොඩමළු වීමට ලැබීම කිසියම් භාග්‍යයක් උනා.

ඔහු සහන් විජේසිංහ – ජනාධිපති විදුහලේ ඉතිහාසය හා මාධ්‍යය ඇදුරිඳු කීවොත් වඩාත් නිවැරදියි.
 කතාව ඇරඹුනේ ඔහුගේ අලුත් අත් දැකීමක් කියන්නට ගොසින්.

“අයියේ මේ ළඟදි දවසක් මම පංතියට ගිහින් කොල්ලො ටිකත් එක්ක පොඩි තෙලකට සෙට් උනා.

 නිකමට දැන ගන්න ඕන උනා උන්ගේ රසාඥ්ඥතාවයේ නිම් වළලු කොතනදැයිද කියා. එක එකාගෙන් උන් කැමතිම ගීත අහගෙන යන කොට කියැවුනේ “ගෑනිට වඳින ගාථා” වගේ අඳෝනාවල්!
ඒ අතර එකෙක්ගෙන් කියැවුනා “ළඳුනේ . . ” ගීතය. ඇත්තටම මටත් හරිම සතුටුයි. මම මේ ගීතය ගැන උන් එක්ක මගේ පමණට පොඩි සංවාදයක් ඇරඹුවා!

‘ලැම පමනක් ලොවට පෙනෙන . . . . .’
‘අඳුරේ පව් කරණ දනා . . . . . . . . .’

ඔය වගේ වැකි මම ඔවුන් එක්ක කතාවට ගත්තා.

ම්හු! මුන්ට ගානක් වත් නෑ.  මට තේරුණා මුන් එක්ක මේ සිංදුව ගැන කතා කරණ එක මෙලෝ තේරුමක් නැති කාරණයක් කියලා!
 භාගෙට භාගයක් මේ සිංදුව අහලාවත් නැති ගානයි.

පස්සෙ මගේ ඔළුවට ආවා මරු අදහසක්. මම ඇහුවා උන්ගෙන්  ” දැන් ඔයාලා අහල තියෙනවද ‘බජාර් එකේ ලලක්කා . . . . ‘ සිංදුව?”

අප්පට සිරි ඔක්කොම අහලා තියෙනවා !

“මම පටන් ගත්තා ලලක්කා විචාරය . . !

බජාර් එකේ ලලක්කා -මල්ලි හිත හොඳ අක්කා
සුර සැප වින්දා – කාගෙත් වත ගොත රැක්කා . . ‘

මෙවන් වෘථිමය කාන්තාවක සතුව ඇති වඩාත් වටිනා කියන ගතිගුණය වන්නේ තම පාරිභෝගිකයින් පිළිබඳව දක්වන රහස්‍ය භාවය.
මේ ලලක්කා එය තදින් අරක්ෂා කල කෙනෙක්. . . . . . . . . . . . 

‘නංගි රොසක්කා – එතනම කසිප්පු වික්කා
දැක්කා නොදැක්කා වාගෙයි නංගිට අක්කා . . . . ‘

මේ ලලක්කා ඉබේ මේ සමාජය තුලට පැමිණි චරිතයක් නොවේ. ඇය පැමිණෙන්නේ තම සමාජ පසුබිම තුලින්.
අක්කාගෙ රැකියාව නංගීත්; නංගිගේ රැකියා ස්වභාවය අක්කාත් එකිනෙකාට නිවැරදිව හා අවභෝධයකින් යුතුව දනී. 
එය ගැටළුවක් වී නොමැත.
මන්ද එය දෙදෙනාගෙ මව වන  ඉසක්කාද එම අවකාශය තුලම සිට
‘නෝන පලා ගන්නවාද අසා’ එළවළු විකුනණ බැවින්!

කොල්ලන්ට වැදුනා කියන්නකො අයියෙ සුපිරියටම! “

සෑහෙන්න ට්‍රයි කරලා එකම අච්චුවේ යන්ත්‍රාණුසාරයෙන් ගී ගයන අමරසිරි!

මේ ප්‍රස්තූතය ගැනම කපුගේ කියා තියෙන්නේ මොන තරම් ලගන්නා සුළු භාවය කින්ද කියා මේ පෝස්ටුව ගුවන් ගත කොට දිනක් ගත වෙද්දී මට හිතුනා! “සීත පිනි බිඳු කඳුලු සලනා – මලානික තරු වැළපෙනා ” 


ගීතය තුල ඇයගේ දුක්ඛිත භාවය, ඇගේ අසරණ කම, ඇය ලක්වූ සමාජ අසාධාරණය මොනවට චිත්‍රණය වෙනවා. ඒ වචන වලින් ඔබ්බට ගිය හඬින් – වොයිස් එකෙන්! වචන වලින්, මෙලඩි එකෙන් සවන් දෙන්නා යන උපරීම දුරෙන් ඔබ්බට ඔහුව හෝ ඇයව ගෙන යන්නේ මේ මම කියන වොයිස් එකයි. මිනිස්සු හින්දි අනුකාරක ගී ඇසුවේ මෙලඩියටමද? වචන වලටමද? උත්තර එපා. එම සින්දුවේම ඔරිජිනල් හින්දි සින්දුව කලින් රස වින්දේ මෙලඩිය නිසා පමනක්ද?වොයිස් එක නිසාමය. 


භාරතයේ ගෝල්ඩන් වොයිස් සම්මානය දිනා ගත් රාජේන්ද්‍ර කපූර් “ගීත්” චිත්‍ර පටයට එක් ගීතයක් ගායනා කරණවා – ජිස් කෙ සෆ්නේ කියලා. අසා බලන්න එම කෝමල මධුර හඬ කෙතරම් සුන්දර දැයි කියා!


ගීතයක් ගායනයේදී ජෙෆ් බෝයිකොට් බැට් කරණවා වගේ කඩුල්ල ඉදිරියේ නොසිට තම භාව ප්‍රකාශනය; වචන වලින්, හඬින්, එහි උස් පහත් කිරීම් තුලින්, ටෙම්පො එක , පිච් එක යනාදී වශයෙන් කී නොකී සියළු කාරණා වලින් විචිත්‍ර කල යුතුයි කියන එක තමයි මම නම හිතන්නේ.

 (තරඟාවලියකින් පසු අසන්ත ද මැල් ගෙන් ජෙෆ් බෝයිකොට් පිළිබඳව විම සීමේදී ඔහු ප්‍රකාශ කොට සිටියේ “ඒක හරියට තාප්පයකට බෝල් කරණවා වගේ” කියාය. මන්ද විකට් කූරු තුනට ඔබ්බෙන් යන කිසිදු පන්දුවකට ඔහු පහර දීමට නොපෙලබෙන ක්‍රීඩකයෙකු ලෙසට ප්‍රසිද්ධය!)


“එළ! පෞද්ගලිකවම මම උනත් ‘ළඳුනේ’ ට වඩා ‘ලලක්කාට’ කැමතියි. මම මගේ කට හඬ අවදි කලා. 

සහන්ට පිළිතුරක් දිය යුතුය! සහන් මල්ලි; ‘මේ මොකක්ද මේ?’ කියන්නාක් මෙන් බලා ඉන්නවා.

අපරාදෙ කියන්න බෑ; ඒ කැමැත්තට ලොකුම දායකත්වය කරණ්නේ  අමරසිරි පීරිස් මයි!
මොකද එයා සිංදු කියන නැත්නම් කියවන කෙනෙක් මිසක් ගායනා කරණ කෙනෙක් කියල නම් නොදැනෙණ බැවින් !”

“ඇයි අයියේ එහෙම කියන්නේ?” මගෙන් ලද බලාපොරොත්තු නොවූ ප්‍රකාශය නිසා සහන් ඉච්ඡාභංගත්වයට පත් වෙලා වගෙයි මට පෙනුනේ.

“දැං බලන්න සිංහල තේරෙණ්නෙ නැති කෙනෙකුට ‘ලඳුනෙ’ යි ‘කණ්‍යාවී’ යි ‘ඇපල් මලයි’ මොකක් ඇහුවත් එයාට හිතෙන්නේ ගෑනි මැරිලා මිනිහා කියන සිංදු විදියට නේ?

මේ ළඟදි අමරසිරි කලානේ ප්ලෙ බැක් එකක් මොකද්ද ෆිල්ම් එකකට. අර ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . . . ‘ කියන්නේ. හිතන්නකො ඕක වැඩිය ඕන නෑ පුන්සිරි සොයිසට දුන්නා නම් ඕක අහන්න පුළුවන් විදියට කියාවි.
ඒකෙ අඳෝනාවක් මිසක ඒ දුකට මුල්වූ ආදරය , ප්‍රේමය එහි සුන්දරත්වය හැඟෙන්නේ නෑනෙ!”

“හරි කවුද අයියේ ඔයා කියන විදියේ වේරියේශන් එකක් ඇතුව සිංදු කියලා තියෙන්නේ?”

මුද්දරේ එන්නට කලින්ම “පීච්ං” සීල් එක වැදුනු ජෝති !

“අපෝ සෑහෙන්න ඉන්නවා. වැඩිය ඕන නෑ ගන්නකො ජෝතිව. ‘අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ . . ‘ එකයි ‘රොබින් හුඩ් වගේ ලක් දිව පතල උන නමයි’  කියන සිංදුවයි ‘සොභාව හංගා මේ ලෝ තලේ . . . . . ‘ කියන එකයි ගැයෙන හඬ කොයි තරම් වෙනස් ද?

 අමරපෙම් ලතාවෙ ඩුවට් එක!
  ඇන්ජි ‘අමරපෙම් ලතාවේ – රණ් මලක් උදාවේ
 අඳුන් සඳුන් සුව මැවේ – මනෝ මන්දිරේ’   කියලා සිංදුවේ පිච් එක නවලා පාත් කරලා තිබ්බාම කෝමද ජෝති  

‘ඉසුරුමුණි කතාවේ – යුවල දැන් සිනාසේ ‘  කියන කොට ඒ හඬේ තියෙන ප්‍රේමණීය බව?

ජොතිගේ සිංදු කියා ජීවත්වන දෙන්නෙක් !?


 ඔය වගේ සිංදුනම් කොච්චර තියෙනවද? ඔයා අහලා තියෙනවද ‘කන්දෙන් කන්දට – ලන්දෙන් ලන්දට’ කියන සිංදුව?”

“ම් . . . මට මතකයක් නෑ . . !”

“එතකොට
‘සමනොළ මුදුනේ සිරිපද සිඹසිඹ – උදා ඉරක් පායයි
සැණසිළි සුවදෙන – නවමල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි . . . //’  සිංදුව?

හැත්තෑහතේ ජේආර් ගෙ ආණ්ඩුව ධර්මිෂ්ඨ සමාජයක් උදා කලා නොකලා ඒ සිංදුව හරිම ආකර්ෂණීය ගීතයක්. හරියට හැත්තෑදෙකේ ජනරජ සීන් එකත් එක්ක එලියට ආපු වික්ටර්ගේ ‘අපි ඔක්කොම රජවරු . . . . ‘ ගීතය වගේ . . “

“ඔයා මොකද හිතන්නේ වික්ටර් ගැන?” සහන් කථාව තවත් දුරකට ගෙන ගියා.

වයසට නොගිය – හඬ, හැඩ හා වැඩ

“වැඩ්ඩෙක්නෙ !? දැන් ඔය ‘ඔක්කොම රජවරු’ සිංදුවයි, ‘තනිවෙන්නට මගේ ලොවේ ‘ සිංදුවයි අරණ් බලන්නකො වෙනස හඬ ආරේ . . !?”

“ඔව් ඇයි ‘සඳ කැන් වැසිලා – අඳුරේ එතිලා’ ?

‘සඳ කැන් වැසිලා – අඳුරේ එතිලා
ඝනඳුරු රෑ – තනිකම නෑ
සොයා එන්න ඝනඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමනියි . . .

ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු – ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ . . . “ අප දෙදෙනාම සෙමෙන් මිමිණීය.

“ඒ භාව ප්‍රකාශනය තම හඬින් මතු කල නොහැකි නම්;  අපිත් ගායක ගායිකාවෝත් අතර වෙනසක් නැති වෙනවාකියන එකද ඔයා මේ කියන්නේ?” මම අමාරුවෙන් කියන්න හදපු දේ සහන් හරියට ෆ්‍රේම් කරගෙන තිබුනා. ඒක මට ලොකු දෙයක්!

“අනිවා! මේ කියන්නේ මධුර මනෝහර කටහඬක් තිබිය යුතුයි කියන එක නම් නොවෙයි.  අවකාශයේ තියෙන ශබ්ද අතුරින් මිහිරි හඬවල් ‘නාද’ වෙනවා. මේ නාද කිසියම් රටාවකට හැඩයකට පෙල ගැස්වීමයි සංගිතයෙන් කෙරෙණ්නේ. ඒ නිසාම කිසියම් මිහිරියාවක්, හැඩයක් තිබිය යුතුමයි. මම කියන්නේ සංගීතයේ මහා සම්ප්‍රදාය ගැන!”මම පැහැදිලි කලා!

මේ කාලයේ සිංහල සංගීතය තුල සක්‍රීයව සිටින ගායකයින් ගෙන් කවුද අයියා හිතන්නේ ඔය වේරියේශන් එක  කරණ අය ඉන්නේ?

“ඉන්න අයියලා ගෙන් මං නං හිතන්නේ සුපිරියටම ඒ වේරියේශන් එක තියෙන්නේ එඩ්වඩ් ගේ කියලයි.” මම කීමි.

“ඔව් මාත් හිතන්නේ ‘කැරකෙන රෝදේ . . ‘, ‘මාරම්බරී . . ‘, ‘පින්න මලෙ . . .’ , ‘පලංචියෙ . . ‘, ඔව් ඇත්තටම වෙනස් තමයි. සහන් ගීත කිහිපයක් මතක් කලේය.

“ඇයි ‘මුව මුක්තා ලතා . . ‘ වැඩිය එපා ‘කටු අකුලේ . .’ සිංදුවයි ‘මගෙ කඳුලින් නිමාවූ ‘ එකයි ‘සිරි යහනෙ යි . . . ‘  . . . . “

සදා තරුණ – අමරදේව

“එතකොට අමරදේව මාස්ටර්?”

“ඔව් එයාට තිබුනේ අතිශය ශෝකා කූල හඬක් තමයි. ඒත් කොහොමද ‘පාවෙනා නිල් වලාවේ’, එතනින් ගියාම ‘ස්වර්න විමානෙට . . .’ වගේ සිංදු?”

“අයියෙ මම කැමතිම සිංදුවක් ‘සීතාදේවි’ ෆිල්ම් එකේ ‘නිම් හිම් සෙව්වා  . . .’ සින්දුව !”


“ඔව් එක සුපිරිම සිංදුවක් තමයි. ඇයි ‘සත් සමුදුරේ’ සිංදු දෙක අරණ් බලන්නකෝ වෙනස?”


“අන්න ඔයාව හොයනවා.  . . . . ! හාමුදුරුවන්ව පංසලට ඇරලවන්න . . . . ” තවත් කුඩා ඥාතියෙකු අපෙ අඹ කයිය අල කලේය !

“අප්පට සිරි! මම ගිහින් එන්නම් අයියේ . . . . !”

 “එළ! “

මේ තව එකක් “ආලෙ බැන්ද මගෙ පනේ සෝමාවතී මාගෙ සෝමාවතී . .” ඒක කොහොමද? එතනින් නැගිට යන සහන්ට ඇසෙන්නට මා කීවෙමි.

“ඒකත් මාස්ටර්ගෙ නේද?”


“ඒකනේ !?”

සරමට බැස – බිම ඉඳගෙන – බජව් දැම්ම – අතීතයක් !


%d bloggers like this: