Menu Close

පස දුෂණය අඩුකරන නවතම තාක්ෂණය Phytoremediation

නිතර දෙවේලේ පරිසර දුෂණයත් එහි විපාකත් එයින් ගැලවීමට කල හැකි දේත් ගැන කතාකරනු දක්නට ලැබෙනවා. ගස් සිටවීම ඉන් එක පහසු ක්‍රමයක්. ගස් සිටවීමේදී එය සිටවන පරිසරය ගැනත්, ගසට එම පරිසරය කෙරේ ඇති තිබෙන වරණිය හැකියාව ගැනත් සැලකීම අත්‍යවශ්‍යයි. එම ගසෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට සිටවිය යුතු ස්ථානයද සැලකිය යුතුයි.

පරිසර දුෂණයේ එක කොටසක් පාංශු දූෂණය. පස දූෂණය වෙන්න හේතු ගණනාවක් තියනව. ප්‍රධානම වෙන්නේ පසට එකතුවෙන විවිධ රසායන ද්‍රව්‍ය. කෘෂිකර්මය හා වගාවන්හිදී කෘමි නාශක, වල්පැල නාශක, පොහොර ආදී ලෙස හිතාමතා එකතු කරන රසායන ද්‍රව්‍ය වගේම, එදිනෙදා කටයුතු හා කර්මාන්ත අතුරු ඵල ලෙසත් පසට රසායනිකයන් එකතු වෙනවා. මෙම රසායන ද්‍රව්‍ය තුල තිබෙන තඹ, කැඩ්මියම්, රසදිය, ඊයම්, ආසනික් වැනි බැර ලෝහ පසේ එකතුවීමක් වෙන නිසා එය ගහකොළ සතුන්ට වගේම මිනිසාටත් අහිතකර විදියට බලපානවා.
පසෙන් අහිතකර හා විෂ බැර ලෝහ ඉවත් කරන්න පහසු ක්‍රම තියෙනව. අඩු වියදම් නවීන තාක්ෂණික ක්‍රමයක් හඳුන්වන්නේ Phytoremediation (ශාක මගින් සංතුලනය)  නමින්. මෙහිදී කරන්නේ ශාක වර්ග වවල ඒ මගින් පසේ හෝ ජලයේ තිබෙන අහිතකර ලෝහ ඉවත්කිරීම, පරිවහනය කිරීම, ස්ථාවර කිරීම හා/ හෝ විනාශ කිරීමයි.
මේ හැකියාව හැම ගස් වර්ගයටම නැහැ. ඒ නිසා එම හැකියාව තියෙන ගස් වර්ග අධ්‍යයනය කර හඳුනාගැනීම වැදගත්. (මේවට සිංහල යෙදුම් යොදන්නේ නැහැ. වඩා වැදගත් එක් එක්  ශාකය සතු හැකියාව හා සුදුසු ශාක වර්ග හඳුනාගැනීම)

1. Rhizodegradation: මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ශාක මුල් අවට ඇති පසේ හෝ ජලයේයි.  මෙහිදී ශාකය මගින් පසට දියරයක් ශ්‍රාවය කරනවා. එමගින් පසේ සිටින ක්ෂුද්‍ර ජීවින්ව  පසේ ඇති විෂ ඉවත්කිරීමට උත්තේජනය කරනවා.  එම ක්ෂුද්‍ර ජීවින් මෙම විෂ සහිත උපස්තරය  මත වැඩිලා වෙනත් අහිතකර නොවෙන ද්‍රව්‍ය බවට පත් කරනවා. පහසුවෙන් වැවිය හැකි සුරියකාන්ත මෙම හැකියාව තිබෙන ශාකයක්. ශාකය තුළට ලෝහ උරාගැනිමක් සිදු නොවෙන නිසා ශාක කොටස් (ඇට, තෙල්) ආහාරයට ගන්න පුළුවන්. චර්නොබිල් බලාගාරයේ පිපිරීම් නිසා විකිරනශීලි වූ පසේ විෂ ඉවත් කිරීමට සුර්යකාන්ත යොදාගෙන සාර්ථක වූ බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා. මෙහිදී කර ඇත්තේ මුල් ආසන්නයේ යුරේනියම්  ලෝහ අඩංගු විකිරණ එකතුවීමට ඉඩ දී මුල් පස සමග ඉවත්කර, සෝදා වෙන්කර ගැනීමයි.

2. Phytostabilization: මෙහිදී විෂ ද්‍රව්‍ය ගමන් කල නොහැකි ලෙස පස සමග බැඳ දැමීමට ශාකය මැදිහත් වේ. බැර ලෝහ පසේ හෝ ජලයේ තිබුනත් මේ නිසා පරිවහනය වළකිනව. ගසට උරාගැනිමක් නැති නිසා අහර ලෙස ගැනීම ගැටළුවක් නැහැ. කුරුඳු වලට මේ හැකියාව තියනවා.

3. Phytoextraction : මෙහිදී ශාකය පසෙන් ජලය හා ලවන උරාගන්නා විට ඒ සමග පසේ තිබෙන බැර ලෝහත් උරාගන්නවා.  ලෝහය විනාශවීමක් නොවෙන අතර, ශාකයේ මුල්, කඳ  හා පත්‍ර දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ ශාකය තුළ බර ලෝහ අඩංගු වෙනවා. ජෙරනියම් නමින් හඳුන්වන වවිධ වර්ණ මල් පිපෙන ශාකය මෙය සිදුකරනවා. විෂ සහිත පස්වල මෙම පැල වවා, පසුව උගුල්ලා වේලා දහනය කර අළුවල ඇති ලෝහ නිස්සාරණය කරගැනීම හෝ පැල අනතුරුදායක අපද්‍රව්‍ය ආකාරයට විනාශකර දැමීම සිදු කිරීම සිදුකරනවා.

4. Phyto_volatilization: පසේ ඇති කාබනික හා අකාබනික රසායන අඩංගු ජලය උරාගෙන ශාකය තුළදී වායු බවට පරිවර්තනය කර, වායු ලෙස ශාකයෙන් පරිසරයට මුදා හැරෙනවා. පොප්ලර් ගස් හා විලෝ ගස්, ජලයේ හා ගැඹුරු පසේ තැන්පත්ව ඇති ඇති කෘෂි රසායන, කෘමි නාශකවල විෂ ද්‍රවයන් උරාගෙන විෂ නොවෙන  වායු බවට පත්කරන බවට පර්යේෂණ දත්ත දක්වා තිබෙනවා. විලෝ ශාක ඩීසල්වලින් අපවිත්‍ර වූ භුමි පවිත්‍ර කිරීමට සාර්ථක ලෙස යොදාගන්නවා.

5. Phytodegration:  රසායන ද්‍රව්‍ය සහිත දුෂිත ජලය ශාකයට උරාගෙන ශාක පටක තුළදී ඒවා බිඳ හෙලීමේ හැකියාව සහිත ශාකවල මෙය සිදුවෙනවා. පොප්ලර් ගස් තුලදී මෙම ක්‍රියාවලියත් සිදුවෙනවා. අබ කුලයේ (brassicaceae) ශාක  බොහොමයක්ම මෙය සිදුකරන බව පර්යේෂණ අනාවරණ දක්වනවා. මේ ශාකවල පොලවට අසන්න කොටස්වල බැර ලෝහ අඩංගු වෙන්න හැකියාව තියෙනවා.

6. Phytohydraulics : මෙහිදී  සිදුවන්නේ ශාකයේ ස්වභාවික ක්‍රියාවලියේදී ඉතා විශාල ජල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නා නිසා භූගත ජලය චලනයන්ට උපකාර වීමයි. භූගත ජල මට්ටම දක්වා මූල පද්ධති විහිදුවන බොහෝ ශාක මේ ක්‍රමයෙන් ජලය පිරිසිදු කරනවා. ගංගා නිමනවල වැඩෙන විශාල ශාක මගින් මේ ක්‍රියාවලිය සිදුවෙනවා.

දිය හබරල, ජපන් ජබර, වැලිස්නේරියා, සැල්වීනියා, හයිඩ්රිල්ලා වැනි ජලජ ශාකත්, ජලාශ්‍රිත සමහර පන් වර්ගත් ජලයේ ඇති විෂ ද්‍රව්‍ය උරාගන්නව. ගිරිතිල්ල කුලයේ ශාකත්, සමහර පර්නාංග හා දිලිර වර්ගත්  පස ශෝධනය කරන බව අනාවරණය කරගෙන තියනවා.

හැම ශාකයම හැම බැර ලෝහයම සමග ක්‍රියා කරීමට අසමත් අතර, සමහර ශාක බැර ලෝහ කිහිපයක් ඉවත් කිරීමට සමත්. පොප්ලර්, අබ, ජෙරනියම්  හා සුරියකාන්ත ගැන බොහෝ පර්යේෂණ කර ඇති අතර එම ශාකවලින් ලෝහ වර්ග කිහිපයක්ම සාර්ථක ලෙස පසෙන් ඉවත් කරන බව සොයාගෙන තියෙනවා. සමහර ශාක ගැන තවමත් පර්යේෂණ කරමින් පවතිනවා.
එක පර්යේෂණයක් හෙළි කර ඇත්තේ භාවිතා කළ තේ කොළ පසට එකතු කිරීමෙන් ලැවැන්ඩර් ශාකයේ බැර ලෝහ උරාගෙන ඒවා ශාකය තුලදී බිඳ හෙලන ක්‍රියාවලිය ඉක්මන් වූ බවයි.
ඉතා පුළුල් පර්යේෂණ අවස්ථා මෙම නවතම තාක්ෂණික ක්ෂේත්‍රයේ තිබෙන බව මෙයින් පැහැදිලියි.

Hyper_accumilating plants ලෙස සොයා බැලුවහොත් මෙලෙස පර්යේෂණවලින් හෙළිවී ඇති ශාක විශේෂ ගැන දැනගන්නට පුළුවන්. ඒ තොරතුරුවල වැඩිපුරම තිබෙන්නේ වෙනත් රටවල ශාක විශේෂ ගැනයි.

මේ ශාක ගැන දැනගැනීමේ වැදගත්කම වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පසට හා ජලයට එකතුවන ජීවීන්ගේ පැවැත්මට අහිතකර මුලද්‍රව්‍ය, තවත් කාර්මික ක්‍රමයක් ආධාරයෙන් හෝ විශාල ලෙස පස් ඉවත් කිරීමෙන් හෝ තොරව පරිසර හිතකාමී ලෙස
*පහසුවෙන් 
*අඩු වියදමෙන් 

*සුර්ය බලයෙන් 
*විශාල ක්ෂේත්‍රයන් තුළ, ඉවත් කිරීමේ හැකියාවයි.
Phytoremediation සාපේක්ෂව නව තාක්ෂණික යොදාගැනීමක් නිසා පරිසරයට වන බලපෑම් ගැන තවමත් ප්‍රශ්න මතුවෙනවා. ලොව පුරා විශාල ලෙස පරිසරයේත්, විද්‍යාගාර හා හරිතාගාර තුලත් පර්යේෂණ කෙරෙමින් පවතින්නේ. ලංකාවේ ඇති කුඹුක්, මී, තෘණ වර්ග, තේ හා වෙනත් ශාක පිළිබඳවද මෙවැනි පර්යේෂණ කර, ප්‍රතිඵල පිලිබඳ ගොවින් හා සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමෙන් පස හා ජලය ශාක ආධාරයෙන් පවිත්‍ර කිරීමේ හැකියාව ඔවුන් විසින්ම ලබාගෙන වරක් භාවිතා කළ පස විවිධ අවශ්‍යතා සඳහා නැවත ඵලදායි ලෙස යොදාගන්නට හැකිවෙනු ඇති.

උදව්:
http://www.unep.or.jp/Ietc/Freshwater/
https://land8.com/5-best-plants-for-phytoremediation/
https://pubs.acs.org/doi/full/10.1021/acs.est.5b04113 (2016)
www.cpeo.org/techtree/ttdescript/phytrem.
www.nature.com/scitable/knowledge/library/phytoremediation
www.thebalance.com/six-types-of-phytoremediation
worldwidescience.org/potential+phytostabilization+plant
Science Prospectives 10 Academic: Christine Adam Carr
The high potential of Pelagonium plant for phytoremediation of heavy metals: 2013Mahdieh,M. et.al
The Effect of Tea residue in promoting phytoremediation of Lavandula Angustifoli mill.: 2014 Ziarati P., Azadi B.

%d bloggers like this: