Menu Close

220. සුහදිනියේ – 23 | විරංග ගැන රහසක්! අනතුරක සේයාවක් ඉව වැටෙයි

කලින් කොටසට 

බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී මේසය වෙත ගෙන්වා ගන්නට අත වනනවිට, ඔහුට පිටුපසින් මුහුදේ කෙළිදෙලෙන් දඟලන කුඩා දරුවන් පිරිසක් ඇස ගැටුණි.

මම ඒ දෙස බලාගෙනම තාරුක අයියාට අතට අත දී පිලිගතිමි.

“බැංකුවෙන් ගත්තා විස්තර ටික”

මම ජයග්‍රාහි බවින් පවසමින් තාරුක අයියා අත ලියකියවිලි කිහිපය තැබුවෙමි. ඔහු ඒ දෙස බලා සිටිනවිටම ඇස් දිලිසී එනු මට පෙනුනි.

“හ්ම්ම්… මේ තියෙන්නේ බඩු ! “

“මම කිව්වේ… ඔහොම තමයි වෙන්න ඇත්තේ කියලා “

“උඹ දැන් මොකද්ද කරන්න හදන්නේ?”

මම කල්පනාවට වැටුනෙමි.

“ඌ මට එහෙම කරන එකෙක් නෙවෙයි. ඌව මේකට පටලවන්න ඇත්තේ බාප්පා කාරයා වෙන්න ඇති. ඉස්සර ඉඳන්ම විරංගයා මට කිය කීය හිටියේ බාප්පා කාරයා අංකුරා කියල.. “

“හදිස්සි වෙන්න එපා මචං… අපිට සාධාරණ සැකයක් මිසක් විශ්වාසයෙන්ම කියන්න බැහැ විරංග මේ හදන්නේ සල්ලි වලට තට්ටු කරන්නයි කියල. “

“කොහොම උනත් මම මේක උගෙන් අහන්න යන්නේ නැහැ”

“උඹ කෙල්ල එක්ක කතාකලාද?”

“නැහැ”

“කෝකටත් කෙල්ල එක්ක කතාකරලා හිටපන්”

තාරුක විසින් බීර ඇනවුම් කර නිමවනතුරු මම ඈත ක්ෂිතිජය දෙස බලාගෙන සිටියෙමි. විරංග ගැන අහිතක් මගේ සිතේ ඇතිවන්නේ නැත.

විරංග යනු නගරයේ ප්‍රකට රුපලාවන්‍යාගාරයක් කරමින් සිටි ඔහුගේ මවගේ පළමු විවාහයේ දරුවාය. ඔහුගේ මව දෙවන විවාහයක් සිදුකරගන්නා දිනවල සිට ඔහු අසල සිටි මම ඔහුගේ ජිවිතයේ සිදුවූ හැලහැප්පීම් බෙදාගත් අවස්ථා එමටය. විරංග ගැන මට අනුකම්පාවක් තිබෙන්නට ඇත. මුදල් අතින් කිසිවිටෙක අඩුවක් නොතිබුණද මවගේ ඇතැම් ක්‍රියාකලාප නිසා විරංග අසරණ වූ අවස්ථා එමටය.

කටකාර ; ඉක්මනින් කිපෙන චරිතයක් වන ඔහුගේ මවගේ දෙවන සැමියා හෙවත් තිලක් හේවාමද්දුම අතිශය නාස්තිකාර චරිතයකි. මෑතකදී ඔහු සතුවූ ඉන්ධන පිරවුම්හලක් සීල් තැබූ බව විරංග මට පවසා තිබුණි.

බාප්පා විසින් පාලනයකින් තොරව මුදල් වියදම් කරන බවත්, ඒ නිසා ගෙදර නිතර ගැටුම් ඇතිවන බවත් විරංග වරින්වර මට පවසා තිබුණු බැවින් ඔහුගේ සමාගමය මම වඩ වඩාත් වර්ධනය වන්නට හේතු වන්නට ඇත. විරංගගේ මවත් මගේ මවත් යම් පමණකට සමීප මිතුරියන් නිසා නිවසේ දබර වල පීඩනය අවම වන්නට ඇය සැමවිටම ඔහු මා සමඟ තබන්නට සැලකිලිමත් වන බවක් මටත් වැටහී තිබිණි.

ඒ බව හැදැරීමෙන් පසුව සහ විරංගගේ මෑතක වෙනස් හැසිරීම් ගත්කල ඔහුගේ ජිවිතයේ යම් ආකාරයක අර්බුදයක් ඇති බව සිතු නිසා මම හැඳුනුම්කමක් මාර්ගයෙන් ඔහුගේ බාප්පාගේ බැංකු ගිණුම් පරික්ෂා කලේ අදයි. ඒ අනුව විරංගගේ බාප්පා ලක්ෂ පන්සීය ඉක්මවන ණය කන්දක සිරවී සිටී.

ඔහු මධුලිකාට ඉවකරන්නේ ඒ නිසා බව විශ්වාස කරන්නට මම අකමැති වුවත් එසේ වන්නට හේතුපාදකවන දේවල් රැසක් පවතින නිසා යම් ආකාරයක සැකයක් තාරුක අයියා විසින් මා තුල රෝපණය කරනු ලැබිය. මගේ අනුමානය වුයේ එයට විරංගගේ බාප්පාගේ කවරහෝ සම්බන්ධයක් ඇති බවයි.

බීර වීදුරුව මා වෙත දිගුකල තාරුක අයියා ලියකියවිලි සුළගේ නොයන පරිද්දෙන් සිය මුදල් පසුම්බියට යටකළේය. මම ඈත සෙල්ලම් කරන කුඩා දරුවන් දෙස නෙත් යොමාගෙන කල්පනාවේ නිගමනව සිටියෙමි.

මේ මුහුදු සුළඟ ගෘන්ගාරය දනවයි. වඩ වඩාත් මධුලිකා සිහි කරවයි!

ජංගම දුරකථනය නාද වනවිට මම එයට එබුනෙමි. මධුලිකාය! මට නොදැනුවත්වම මගේ සිත පිපී ආවේය. දුරකථනයට පිලිතුරු දෙනවිටම තාරුක අයියා මට ඉඟි මැරුවේය. මම සිනාසී නිහඬ වුයෙමි.

“හලෝ..”

“තීක්ෂණ..”

ඇගේ හඬ මට මෙතරම් මිහිරිවට ඇහෙන්නේ ඇයිද කියා මම නොදනිමි. දුරකතනයෙන් කතාකරනවිට ඈ අතිශය සුභාෂිනියකි.

“හ්ම්ම්..? කියන්න”

“මම හෙට….. නිමන්ති එක්ක ආකේඩ් එකට යන්නද? එයාගේ ෆැමිලි එකේ පාටියක්ලු… එළියේ නෙවෙයි.. අර ඇතුලේ රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ… මාව ගන්න එන්නම් කිව්වා උදේ දහයට..”

මධුලිකා ගැන මට දුක සිතුනි. ඈ එම මහල් නිවාසයේ නිවාස අඩස්සියේ පසුවෙයි. මම ඇය මින්පසුව කොහේ හෝ රැගෙන යා යුතුය. නිමන්තිගේ පවුලෙන් ඈගේ පුන්චිඅම්මා අපගේ විවාහයට සාක්ෂිකාරියක ලෙස අත්සන් කල බැවින් ඈ ගැන පුර්ණ විශ්වාසය තබාගත හැකිය.

“හරි… මොකද්ද අඳින්නේ?”

අවසාන කොටස මගේ කටින් ගිලිහි ගියේ මගේ දැනුවත්කමක් නැතිව බව මට වැටහුනේ එය කටින් පිටවූ පසුව අප දෙදෙනා අතරම ඇතිවූ අමුතු නිහඩබව නිසාය. ව්‍යංගයෙන් මට පැවසිය යුතුව තිබුනේ ‘කොට ඇඳුමක් නම් අඳින්න එපා’ කියා නොවේද? මට මගේම දිව විකාගන්නට සිතුනි. මධුලිකා සිනාසෙන බවක් දුරකතනයට එන සුසුම් රැල්ලෙන් මට වැටහුණි.

“එදා ඔයා ගෙනාපු දිග කලිසම අඳින්නේ… කහපාට ටොප් එකට”

මට සිනහවක් නැගුණි. ඉන් අනතුරුව ඇමතුම විසන්ධි කොට මම දුරකථනය තබද්දී තාරුක අයියා මම බැංකුවෙන් ගෙනා කොළ අතර ගිලී හිඳ, මද සිනාවක් පා හිස දෙපසට වැනුවේය.

“මොකද?”

මම බිර වීදුරුවක් බි, කිසිවක් නොවුනා සේ ඔහු දෙස බලා සිනාසිමි. මගේ කන්පෙති රතුව ඇති බව මම දනිමි. තාරුක අයියා ඒ ගැන කිසිවක් කිවේ නැත.

ඒ වෙනුවට ඔහු මද වෙලාවකින් කතාව නැවතත් බරපතල අන්තයට ගෙනගියෙන් මම අපහසුතාවයෙන් මිදුනෙමි.

“මම හොයාගත්තා තව තොරතුරු වගයක් නඩුව ගැන. නඩුව කියන්නේ නඩු දෙකම ගැන… වැඩේ කියන්නේ ඒ කාලේ පත්තරවල දැන් වගේ සිද්දියක් උනහම ගෙදර ඉන්න බල්ලාගේ පුසගේ ඉඳල සනුහරේම පින්තුර දාන්නේ නැහැනේ. කොහොමත් මිස්ටර් ජයවර්ධන එයාගේ පවුලේ තොරතුරු පත්තර වලට දීපු කෙනෙක් නෙවෙයි…”

“මචන්… මධුලිකා ඇත්තටම මිස්ටර් ජයවර්ධනගේ දරුවෙක්ද?”

මට එකවරම ඇසුනි. තාරුක අයියා මා දෙස සැලකිල්ලෙන් බැලුවේය.

“ඒ ගැන හොයලා තිබ්බා මම හිතන්නේ බුදල් නඩුවේදී.. උඹට ඕනේ නම් මම ආයෙත් හොයලා බලන්නම්. මොකද එහෙම නඩුවක් ගියාම ඒ වගේ මුලික දේවල් කොහොමත් චෙක් කරනවනේ”

“ඩී එන් ඒ ටෙස්ට් එකක් කරලා මිසක් ඔප්පු කරන්න බැහැනේ.. මොකද දරුවා ඉපදෙනකොට මිස්ටර් විජේවර්ධන අතුරුදහන් වෙලා ඉවරයි… ඒක එහෙම නොවුනොත් දේපල රාජසන්තක වෙනවනේ….. ආන්ටිත් , ඒ කියන්නේ මිසිස් විජේවර්ධනත් මැරිලා නිසා”

“ලාස්ට් විල් එකේ කොපියක් හොයාගත්තා නම් හරි… ඔක්කොම තියෙන්නේ ලෝයර් ; වාකිෂ්ඨ ගාව.. මොකද බුදල් නඩුව විත්ඩ්‍රෝ කරපු නිසා. නඩු තීන්දුවක් දුන්නා නම් ඔක්කොම ගන්න තිබ්බා.”

“හ්ම්ම්”

මම බිර උගුරක් බි හුස්මක් ඉහලට ගත්තෙමි. මුහුද දෙසින් හමා එන සුළගේ ඇති තෙත් සහිත සීතල සිත මෙන්ම ගතද සුවපත් කරවයි.

“අද මම ගෙදර යද්දී අම්මයි ඩඩායි ආගියුමන්ට් එකක්”

තාරුක අයියා විමසිල්ලෙන් මගේ මුහුණ බැලුවේය.

අනතුරුව මම මට ඇසුන සහ පෙනුන දේවල් එකින් එක විස්තර කලෙමි. විස්තරය කියා නිමවනවාත් සමඟ එකවරම යමක් මතක් වූ මම වහා මෝටර් රථයට ගොස් මම මධුලිකා ගැන සටහන් කරන තොරතුරු ඇතුලත් කුඩා පොත රැගෙනවිත් එය පුරා වේගයෙන් ඇස යවන්නට වීමි. තාරුක අයියා මා දෙස නිහඬව බලා උන්නේය.

වහා තොරතුර සොයාගත් මට පුටුවෙන් නැගිට්ටුනි!

“මේ තියෙන්නේ! මයිකල්…!!”

“කවුද මයිකල්?”

“මයිකල් කියන්නේ මධුලිකාගේ බාප්පා, ඒ කියන්නේ විජේවර්ධනගේ මල්ලි; මයිකල් විජේවර්ධන!! ඩඩා කිව්වා , ගෙදරට ගේන්න යන්නේ මයිකල් කියන මිනිහට මොකද්දෝ නෑකමක් තියෙන කෙනෙක් කියලා. එතකොට එහෙම බැලුවහම අනුලා කියන්නේ මයිකල්ගේ කසින්, නැතිනම් වයිෆ්… එහෙමත් බැලුවහම  අපේ ගෙදරට මේ අපේ ඩඩා ගේන්න යන්නේ මධුලිකාව!!”

“මොකක්?”

මම කියූ දේ ගැන මමම පුදුම වුනෙමි. මධුලිකාව කොහොමද මගේ තාත්තා ගෙනෙන්නේ? ඇය ඉන්නේ මම සමඟයි. තාත්තා  විසින් මධුලිකා සිටින තැන සොයාගෙනද?

“උඹ ඔය කියන මයිකලුයි, අංකල් කියන මයිකලුයි එකෙක්ද දෙන්නෙක්ද කියන්න උඹ දන්නේ නැහැනේ… “

“ඔව්.. කියන්නත් බැහැ… දෙන්නෙක් නම් කේස් තමයි”

“ඒ දෙන්නා එක්කෙනෙක් නම්, අංකල් එහෙම ගේන්නේ උඹට කසාද බන්දලා දෙන්න නම්… මේක කජු වගේ සිම්පල්! අංකල් ඉන්නේ අපේ පැත්තේ!!”

අප දෙදෙනාටම එකවර සිනහවක් නැගුනේය.

“ඒත් මචන්…. අපේ ඩඩා කොහෙන්ද මධුලිකාව මෙහෙම ගේන්න කතාකරන්නේ? බන්දලා දෙනවා නම් එහෙම, ගෙනත් තියාගෙන ඉන්න වගේ විකාර  කේස් නෑනේ… හදන්න බලුපැටියෙක් ගේනවා වගේනේ බන් මේ කතාකරන්නේ!”

මම තවත් විමසිල්ලෙන් කල්පනා කලෙමි.

“….. අනිත් එක…… මධුලිකා හරි කවුරුහරි එහෙම ගෙනත් තියාගන්නවා කියන එක හරි අමුතු නැද්ද?”

“ඔව්! හරියට හරි!! මටත් හිතුනේ ඕකමයි… ඒක හරියට…. මට හිතෙන්නේ…. ශේප් එකේ හිරකරගෙන ඉඳිල්ලක් කියලා හිතෙන්නේ මට විතරද?”

“ඔව්.. වෙන්න පුළුවන්!”

“එහෙම දෙයක් කරන්නේ කාගේ උවමනාවටද? උඹම හිතපන්, අංකල්ට උඹව කාටහරි බන්දලා දෙන්න ඕනේ නම්, ඔහොම ගෙදර තියාගන්න එක පොඩි පහේ නාට්ටියක් නෙවෙයිද? අනිත් එක මධුලිකා නෙවෙයි නම්, අනාථ කෙල්ලෙක් ඇරුනහම එහෙම ගෙවල්වල තියාගන්න පුලුවන්ද කෙල්ලෝ බන්දන්න?”

“ඩඩා දුලිප් සතරසිංහ එක්ක එදා කතාකලේ මධුලිකා ගැන කියලා මට ෂුවර්… ඒ කතාවට ඇත්ත සහ තවමත් වලංගු නම්, එයාලා තාමත් මධුලිකාව තමයි හොයන්නේ. මධුලිකා හොයන ගමන්, වෙන කෙල්ලක් ගෙදරට ගෙනත් නතර කරගන්න එක සැකසහිතයි…”

“ඔව්!”

තාරුක අයියා මට එකඟ වී හිස සැලුවේය. ඒ සමඟම ඔහු කාටදෝ දුරකථන ඇමතුමක් ගත්තේය.

“මචන් මේ මම තාරුක කතාකරන්නේ.. අනේ බන් පොඩි උදව්වකට…. මට අර එදා උඹ අර ජයවර්ධන වර්සස් ජයවර්ධන කේස් එකේ ගත්ත විස්තර වල හරි වෙන කොහෙන්හරි කමක් නැහැ හොයලා කියනවද…. මයිකල් ජයවර්ධනගේ වයිෆ්ගේ නම මොකද්ද කියල?.. ඔව්… ඔව්… …… …………….. හෑ ! අම්මටසිරි! එහෙමද? හරි හරි.. උඹට විශ්වාසයි නේද? ආ.. හරි හරි.. ඔව් බන් ඒක අහන්න කතාකලේ… හරි පස්සේ හම්බෙමු… බායි!”

ඇමතුම විසන්ධිකල තාරුක අයියා මා දෙස බැලුවේ කළුවූ මුහුණෙනි.

“කවුද බන් මයිකල්ගේ වයිෆ්?”

“එයා.. හ්ම්ම්… උඹ කිව්වට දන්නේ නැහැ….”

“ඔව් බන් $$%#%$^ මම දැනගන්න විදියක් නෑනේ ඒ ගෑනි දැන් වයසට ගිහින්නේ… “

මම කෝපයෙන් කීවෙමි.

“ආ…. ඒ ගෑනි ඒ කාලේ නිලියක්…. සෑහෙන ප්‍රසිද්ධ”

“හරි හරි ඉතින් නිලියක් ඉතින් සල්ලිකාරයෙක් බඳිනවා කිව්වහම ඕක අද ඊයේ වෙච්ච දෙයක්ද? මොකද්ද ඉතින් නම කිව්වේ?”

තාරුක අයියා නොසැලකිල්ලෙන් මෙන් ඔරලෝසුව දෙස බැලුවේය.

“අපි යන්නත් ඕනේ නේද බන්.. මම තව ක්ලයන්ට්ස් ලා දෙන්නෙක්ට එන්නත් කිව්වා අපේ ගෙදරට”

මම ඔහුගේ වම් උරහිස තදකොට අල්වා ඔහුව නැවතත් පුටුවේ ඉන්දුවේ තියුණු බැල්මක් සමඟිනි.

“නම කියපන් ඉතින්!”

“නම නේ….?? හ්ම්ම්ම්… අලස් “

“මම කිව්වේ සම්පුර්ණ නම!”

මගේ හඬ වෙනස්ව ගියේය.

“අනුලා අලස් “

මට පුදුම නොවී සිටින්නට නොහැකි විය.

මම සොයන අනුලා බිසව ඇයද ? මගේ මවගේ පිළිකුලට බඳුන්වන අනුලා බිසව ඇයද ? එනම් මයිකල්ලා දෙදෙනා එක අයෙකු නම්, මයිකල් විවාහව සිටින්නේ එකල ජනප්‍රිය නිලියකුව සිටි අනුලා අලස් සමඟයි. ඈ සමඟ යම් අතීතයක් මගේ තාත්තාට ඇති බවක් මට ඉව වැටුනේ නිමේෂයකිනි.

පැහැදිලි වනවාට වඩා , එකින් එක අලුතෙන් එකතුවනවා සේ මට දැනේ… අත තිබුණු බීර වීදුරුව උගුඩුවෙකු සේ එකවරටම කටට හලාගත් මම, තාරුක අයියාට අවසිහියෙන් මෙන් සමුදී අවන්හලෙන් එළියට පැමිණියෙමි.

“උඹ අවුල් වෙන්න එපා…”

“නෑ එහෙම අවුලක් නැහැ…. “

“උඹට ඩ්‍රයිව් කරන්න පුලුවන්ද? මම උඹව බස්සන්නම්….”

“එපා.. උඹ පලයන්.. මම තව ටිකකින් එන්නම්…”

“ෂුවර්ද ?”

“ඔව්….! අවුලක් නැහැ… මම හොඳින්!!”

*********************************************

තාත්තා විසින් පැවසු වදන් මගේ සිත තුල නලියන බව මම දනිමි. ඔහු තුල මා ගොඩනගාගෙන සිටි සුරුවම කෙදිනකවත් පළුදු වන්නට ඔහු ඉඩතබා නැත. ඔහු සතු තියුණු බුද්ධිය සහ සවිමත් බව මම සැමවිටම සැලකුවේ සුවිසල් සඳුන් ගසක් මෙනි.

පෙරදින මාගේ කාමරයට පැමිණි තාත්තා මට අන් කවරදාටත් වඩා වෙනස් බව දැනුනි. ඊට මොහොතකට පෙර අම්මා සමඟ වූ කතාබහේ කිසිදු සෙවනැල්ලක් එහි නොතිබුණු අතර ඔහු මගේ උසස් අධ්‍යාපනය ගැන වඩාත් කතාකලේ ඇයිදැයි මට තවමත් ප්‍රේහෙලිකාවකි.

මම වැඩිපුරම කලේ මුනිවත රැකීමයි.

“ලොකූ කැමති දෙයක් කරන්න”

ඔහු පිටව ගියේ කවදාවත් ඔහුගෙන් පිටවී නොතිබුණු ඒ වච ටික පවසමිනි.

ඔහුගේ අභිමතයෙන් තොරව කිසිවක් මේ නිවාස තුල මෙතෙක් සිදුවී නොමැත.

විරෝධයක් එතරම්ම නැති වුවද තාත්තාගේ වචන වලට ඉහලින් අම්මා ක්‍රියා කරනවා කිසිවිට මම දැක නොතිබිණි.

තාත්තාගේ ආගමනය සහ කතාබහත්, තාරුක අයියා වෙතින් ලද තොරතුරුත් ගත්කල, මධුලිකා සම්බන්ධයෙන් මම ඊළඟට කලයුත්තේ කුමක්දැයි තීරණය කරන්නට දැන් කාලය එළඹ ඇති බව මට වැටහුණි. වාසුල එදින මා පැතිරවූ අණසක ඉදිරියේ පසුබැස ගියද මුදල් වඩාත් දරුණු මිනිසුන් බිහිකරන බව මම දන්නා බැවින්, ඔවුන්ගේ ඊළඟ සැලසුම ගැන ඔවුන්ට පෙරම මම අනුමාන කිරීම නුවනට හුරුබව මම තේරුම් ගත්තෙමි.

වාසුලගේත්, තාත්තාගේත් ඉලක්කය මධුලිකා නම් මේ ඉලක්කය පහසු නොවන්නේ තාත්තා මෙහි සෑහෙන පීඩනයක් මා වෙත එල්ලකරන බැවිනි.

වාසුල සමඟ මෙන් නොව, තාත්තා සමඟ මට මුහුණට මුහුණලා සටන්කළ නොහැක. සැඟවී සිට පහරදීම පවා අතිශය භයානකය. එක ක්ෂණයකින් මගේ මේ පටලැවිල්ල එළිදරව් වීමෙන් සියල්ල උඩු යටිකුරු විට හැකිය.

“ලොකූ කවදාහරි බඳින්නේ මම කැමති කෙනාව! ඒකෙ ආයේ දෙකක් නැහැ!!”

ලෙස ගුගුරා කියූ ඔහු මගේ මේ ක්ෂණික විවාහය කෙලෙසක දකීවිද? ඔහු පවසන මයිකල් සහ මධුලිකාගේ බාප්පා එක් අයෙකු නම්, දැනටමත් මධුලිකා විවාහ කරගෙන සිටින මට යම් හුස්මක් ගත හැකි වුවත්, කිසිවිටෙක පුරෝකථනය කල නොහැකි චරිතයක් වන තාත්තා එයට කුමන හෙනයක් අතහරිදැයි මට කෙලෙසකවත් සිතාගත නොහැක.

මේ සියල්ල අතරේ ඔහු ගැන මට මේ දැනෙන තොරතුරු විසින් මම යම් පමණකට කැළඹී සිටියෙමි. නමුත් අවසානයේ මම එක දෙයක් සිතට ගතිමි.

ඔහුගේ අතීතයෙන් මට කම් නැත ; වඩා වටින්නේ වර්තමානයයි. මේ කුමන දේවල් යටතේ හෝ මධුලිකාට මා අතින් සිදුවීමට නියමිතව තිබුණු කාර්යයන් සියල්ලම කෙසේහෝ සිදුකරන බවට මම මටම පොරොන්දුවක් ලබා දුන්නෙමි.

විරංග අමතා ඔහු නිවසට ගෙන්වාගත් මම පැය දෙකක් පමණ සුදම් සහ ඔහු සමඟ ක්‍රියාදාම චිත්‍රපටයක් නැරඹුවෙමි. විරංග මා ඉදිරියේ මුලදී අපහසුවක් පෙන් වුවද චිත්‍රපටය අවසානය වනවිට අප තිදෙනා යතා තත්වයට පත්වෙමින් සිටියෙමු. අම්මා අපට රාත්‍රී ආහාරයට කැඳවන තුරු අප සිටියේ කුඩා සාලයේ චිත්‍රපටයේ අවසාන අදියරේ ගිලෙමිනි.

“උඹ මධුට කතා කලාද?”

සුදම් නානකාමරයට ගිය මොහොතට මම එකවරම විරංගගෙන් ඇසුවෙමි.

“ඔව්!”

එය මම කිසිසේත්ම අපේක්ෂා නොකළ පිළිතුරකි. මගේ පපුව වේගයෙන් ක්‍රියාත්මක වන්නට විය.

“කවදද?”

“ඊයේ..”

ඊළඟ ප්‍රශ්නය මගේ මුව තුල සිරවී තිබී අමුතු හැඩයකින් පිටතට පැමිණියේය.

“මොකක් උනත්, උඹ මගේ හොඳම යාළුවා, උඹ ඒක මතකේ තියාගනින්!”

විරංගගේ මුහුණ තරමක් වෙනස්ව ගියේය. මම තියුණු විමසිලිමත් ඇසින් එය නිරීක්ෂණය කලෙමි.

පෙර දිනයේ මධුලිකාත් ඔහුත් අතර ඇතිවුයේ කුමන දෙබසක්ද? ඒ ගැන මධුලිකා කිසිවක් මට නොපැවසුවේ ඇයි? විරංග පවසන්නේ මුසාවක්ද? මධුලිකා සඟවන්නේ කවරක්ද? කවුරු හෝ මෙහි මට සඟවන යමක් තිබේ. එය මධුලිකා හෝ විරංග විය හැකිය. විරංග සඟවන එක කාරණයක් මම යම් පමණකට දනිමි. අවස්තාව එනතුරු මට කල් බලන්නට අවශ්‍යය.

සුදම් අප අතරට නැවත ඒමත්, අප කෑමට සුදානම් වීමත් නිසා එතැනින් කතාව නතර වී තිබුනද, විරංග යම් පමණක කැළඹීමෙන් සිටින බව මට වැටහුණි. ස්වභාවයෙන් දක්ෂ නළුවකු වන විරංග සිය සිතුවිලි මෙතරම් නොසඟවා පෙන්වාවිද?

විරංග පිටවගිය පසුව මම සුන්දර්ට ඇමතුමක් ගත්තෙමි. සෑහෙන වේලාවක් දුරකථනය නාද වුවද ඔහු එයට පිළිතුරු දුන්නේ නැත. මට යම් තරමක බියක් ඇතිවිය. ඔහු පැවසු පරිදි ඔහු නොදන්නා මැරයින් පිරිසක් එහි රැඳී සිටින බවත් ඔහුගේ සහ පිටස්තර අසල්වාසීන්ගෙන් ඔවුනට අයහපත් ප්‍රතිචාර ඇතිබව දැනගෙනත් සුන්දර්ගෙන් පිළිතුරක් නොමැතිවීම මම යම් පමණකට කලබලයට පත්කර තිබුණි.

කුමක් කලයුතුද සිතමින් මම රාත්‍රී නින්දට සුදානම්ව ස්නානය සඳහා නානකාමරයට වදින විටම තාත්තාගේ වාහනය පැමිණෙන හඬ ඇසුනෙන් මම ඉක්මනින් ගොස් බැල්කනියෙන් එබී බැලුවෙමි. ඔහුගේ මොන්ටෙරෝ ජීප් රථයට මිදුලේ පහන් ආලෝකය වැටී තිබුණු බැවින් ඇතුලත හොඳින් පෙනුනෙන්, ඇතුලත උන් දෙදෙනා ඈතදීම මගේ ඇස ගැටුණි.

එහි සිටි මිනිසුන් දෙදෙනා ගැන අමුතු සැකයක් මා සිත ජනිත කළේය. මේ රාත්‍රියේ කෙසේ වෙතත් තාත්තා දවාලක හෝ සේවකයින් සිය වාහනයේ දමාගෙන නිවසට එනවා මම දැක නැත්තෙමි. එහෙයින් මම ඉක්මනින් මුවා වී හොදින් නිරීක්ෂණය කලෙමි.

ඔහුගේ පසුපස ආසනයේ සිටි දෙදෙනෙකු වාහනය නතර කරනවාත් සමඟම බිමට බට අතර, ඔවුන් දෙදෙනාම නිවසට යාබදව ඇති තාත්තාගේ ගබඩා පරිශ්‍රයට ඇවිද යනු මට පෙනුනි. එක අයෙකු ඇවිදීමේදී සුළු කොරයක් මට නිරීක්ෂණය වූ අතර අනෙකා සෑහෙන ශරීර ප්‍රමාණයකින් යුක්තවූ බව මට නිරීක්ෂණය විය.

දෙදෙනාම හැඳ සිටියේ කළුපැහැති ඇඳුම් වීමත්, දෙදෙනාම හිස් ආවරණය කරමින් තොප්පි පැළඳ සිටීමත් මට සැකයක් ඇති කළේය.

තාත්තා වාහනය ගාල්කොට එළියට පැමිණ අපගේ නිවසේ ගේට්ටුවේ ආරක්ෂකයා වන විජේසිරි සමඟ කුමක් හෝ පවසන අයුරුත් ඉන් අනතුරුව විජේසිරි කලබලයෙන් ගේට්ටුව වසා ගබඩා කොටසට දිව යනුත් මට පෙනුනි.

අනතුරුව තාත්තා නිවසට ඇතුළුවන ශබ්දය ඇසුනි. අම්මාගේ කටහඬ ඒ හා බද්ධව අපැහැදිලිව ඇසුනි. මම එසැනින් මගේ කාමරයේ අනෙක්පස ජනේලයෙන්, ගබඩා පරිශ්‍රයට ඇති බැල්කනියට බැස්සෙමි. ස්නානය සඳහා සුදානම්ව සිටි මම හැඳ සිටියේ සවස හැඳගත් කොට කලිසම පමණි.

අඳුර අතරින් ඇවිදයන දෙදෙනා පසුපසින් විජේසිරි යනුත්, අවසානයේදී ඔහු විසින් රියදුරු නිල නිවාස ලෙස භාවිතා කරන ගොඩනැගිල්ලේ අගුලු හැරදා දුන් පසුව ඔවුන්  දෙදෙනා එයට ඇතුළු වෙනුත් මට පෙනුනි. අප නිවසේ සේවය කරන රියදුරු සිය මවගේ සහෝදරියකගේ අසනීපයක් සඳහා කලින් දින පිටවී ගියෙන්, නිල නිවාසය හිස්ව පැවතුනි.

මේ කවර අරුමයක්ද? මේ ඉන්නේ සුන්දර් එහි සිටිනවා යයි කියූ මැරයින් හෝ ඔවුන්ගෙන් කොටසක්ද? නැතිනම් වෙනත් පිරිසක්ද? මොවුන් කවුරුන්ද?

ගොඩනැගිල්ලට ඇතුළු වූ ඔවුන්ගේ තොරතුරු කිසිවක් පෙනෙන්නට කවුළුවක් මා සිටි දෙසට නොවීම පාඩුවකි. මම වහා ජනේලයෙන් කාමරයට පැන්නෙමි. මොවුන් කවුරුන්ද කියා දැනගතයුතුව ඇත. මම ඉක්මනින්  කුඩා පිහිය ඉනෙහි ගසාගෙන , එය වැසෙන්නට ටී කමිසයක් හැඳ, කුඩා විදුලි පන්දම සහ ජංගම දුරකථනය අතට ගෙන , හඬ නොනැගෙන පරිදි කාමරයේ දොර විවෘත කරගෙන පඩිපෙළ අසලට ගියේ පහලින් එන ශබ්ද අනුව මගේ ඊළඟ කුරුමානම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ගැනීමටය.

පිඟන් ගැටෙන ශබ්දය සහ ඇසෙන දෙබස්වල ස්වභාවය අනුව තාත්තා රාත්‍රී ආහාරය ගන්නට සුදානම් වන බවකි. අම්මාත් මැණිකාත් මේසයට අඩුපාඩු බලනු ඇසේ.

“ළමයි කාලද? ලොකූ කෝ?

“ඔව්.. ඔක්කොම කෑවා. නිදාගන්න ගියා දැන් ටිකක් වෙලා. ලොකු ඉන්නවා..”

තාත්තා යමක් කියනු ඇසුනත් එය කුමක්දැයි මට පැහැදිලි නැත.

“මම ඒවා කතාකරන්න ගියේ නැහැ සෙනේ… ඔයාම කියන්න එහෙනම්”

“නිදිනම් කමක් නැහැ, පස්සේ කතාකරන්නම්… කෝ එන්න මාලි කන්න”

මම අඩියට දෙකට ආපසු බැල්කනිය දෙසට දිවගියේ ඇඟිලිතුඩු වලිනි. දෙදෙනාගේ කෑමක් නම් එය මට අවැසි කාලය යම් පමණකට ලබාදෙනු ඇත. නමුත් ඉක්මන් කලයුතුය.

මම බැල්කනියේ මගේ හොර පාරෙන් බිමට බැස්සෙමි. ජංගම දුරකථනය කලිසම් සාක්කුවට දමාගෙන මම එක අතකින් පිහියද, අනෙක් අතින් නිවු විදුලි පන්දමද අතැතිව වටපිට සෝදිසියෙන් අදාළ ගොඩනැගිල්ල අසලට ලංවුයෙමි. ගොඩනැගිල්ලේ ඉදිරිපස හැරුණුවිට ඒ වටා සෑහෙන පඳුරු සෑහෙන ප්‍රමාණයක් වැවී තිබුණු අතර, ජනේලයක් පැවතියේ නිවසට විරුද්ධ දිශාවේ බැවින් මම පහත්ව ගමන්කොට ගොඩනැගිල්ලේ ඒ දෙසට ගියෙමි.

ඇතුලතින් කටහඬවල් දෙකක් නැගේ.

“… මට සිකරට් අමතක උනා බන්.. සක්! අපරාදේ”

“හෙට උදෙන්ම යන්නත් ඕනේ බන්… මට නම් පට්ට නිදිමතයි… “

“මේවා අලුත් මෙට්ට නේ… ?”

“මෙහෙ මරු මචන්… මට අර අපායේ ඉඳල ඇතිවෙලා බන් ඔක්කොම මෙට්ටවල මකුණෝ…. නින්දක් නෑනේ බන්….”

මම ජනේලය අසලින් පහත්ව සිටියේ මොවුන්ගේ කටහඬ ඇසෙන්නේ ඒ ආසන්නයේ බැවිනි.

“හරි හරි.. ඔය කොහෙත් එකයි…. අරුන් ටික මොකක් කරනවද දන්නේ නැහැ..”

ඔවුන් දෙදෙනා කාමරයේ ඔබමොබ ඇවිදින බවක් මට දැනුනි. බඩු භාණ්ඩ එකල මෙකල කරන ශබ්දයෙන් ඔවුන් නිදාගැනීමට සැරසෙන බවක් මට වැටහුණි.

“කෝ දීපන් බලන්න අර කියපු පින්තුරේ… “

“………………”

“අඩෝ මේක මේ පොඩි කාලේ පින්තුරයක්නේ… “

“හරි හරි බන්… ඔය කියන කෙල්ලගේ ඉස්කෝලේ තමයි අපේ මාමා කාරයා සෙකුරුටි ජොබ් එක කරන්නේ. මම මේ පින්තුරේ පෙන්නලා අහගත්තා විස්තරේ. කෙට්ටුයි කොට මොඩල් එකක්… මිනිහා කිව්ව විදියට නම් කොන්ඩේ සෑහෙන්න දිගයි. කොණ්ඩ දිග කෙල්ලෝ වැඩිය නෑනේ බන්.. ලේසියෙන් හොයාගන්න පුළුවන්…. ඌ දවසක් දැකල තියෙනවා කෙල්ල ජීප් එකකුත් පැදගෙන මහා රෑක ඔය කියන බිල්ඩිමට යනවා.. මිනිහා ඕෆ් වෙලා යන වෙලාවට.. මම හිතන්නේ දෙකට විතර වගේ… ඔතන පැයක් හිටියොත් අපිට හොයාගන්න පුළුවන් කෙල්ලව… මම කෝකටත් මාමා කාරයාටත් එන්න කිව්වා හෙට…”

මගේ පපුව දඩ බඩ ගාමින් ගැහෙන්නට විය. මොවුන් මේ පැමිණ ඇත්තේ මධුලිකා පැහැරගැන්නද? නැතිනම් මයිකල් කියන පුද්ගලයා ගේ ඥාති දියණිය පැහැරගැන්නටද?

මහා රාත්‍රියක ජීප් රථයක් පදවාගෙන ආ කෙල්ලෙකු? කොණ්ඩය දිග ; හුරුබුහුටි කෙල්ලෙකු ! ඒ මධුලිකා නොවේද? ඇය මම බීමත්ව සිටි දින මා රැගෙන නිවසට ආ බව සත්‍යකි. එසේනම් ඒ එන ගමනේදී ඈව මේ කියන පුද්ගලයින්ගේ මාමාට, ඇසගැටී ඇත. ඒ කියන මාමා ගෝමස්ද?

මගේ කකුල් මෙඩ්ලින් වාදනයකට මෙන් වෙව්ලන්නට වුයේ බියට නොවේ, පහත්ව නැමී සිටීමේදී පේශීන් තදින් තෙරපි තිබුණු බැවිනි. ජනේලය අවට කටුපඳුරු සහ සුන්බුන් බැවින් හිඳගෙන සිටීමටද නොහැකිය.

ඉන්පසුව ඒ ගැන නොවන කතා වලින් ඔවුන්ගේ කතාබහ පිරි ගියෙන් තවදුරටත් එතන රැඳී සිටීමෙන් පලක් නොවන බව මට වැටහුනෙන් මම එතනින් පිටත්වන්නට තීරණය කලෙමි. මට අවශ්‍ය වුයේ ඔවුන්ගේ පින්තුර ලබාගැනීමට වුවද එයට කිසිදු අවස්තාවක් ලැබුනේ නැත.

තවදුරටත් එහි රැඳී  තොරතුරු සොයාගන්නවාට වඩා, දැනගත් තොරතුරු අනුව ඉක්මනින් ක්‍රියාත්මක වීමට අවශ්‍යව ඇත. මධුලිකා ඇගේ යෙහෙළිය ; නිමන්ති ; සමඟ ඔවුන්ගේ පවුලේ සාදයකයට බැහැරට යන බවත්, ඈ රැගෙන ඒමට නිමන්ති එදින උදෑසන එහි එන බවත් සිහියට නැගීමෙන්, මම මධුලිකාට ඇති අවධානම තේරුම් ගතිමි. ඒ කතාව මධුලිකා පැහැරගන්නට නම්, එය වැලැක්විය යුතුය.

කාමරයට වැදී මම මධුලිකාට පළමු ඇමතුම දුන්නෙමි. සෑහෙන වෙලාවක් නාදවිමෙන් අනතුරුව එයට ඇගේ පිළිතුර සැපයුනි.

“මධුලිකා ! හෙට නිමන්තිලා එක්ක එලියට යන්න එපා!!”

මම කලබලයෙන් පැවසුවේ ගත් ක්ෂනයෙනි.

“ඒ මොකද ඒ?”
එවන්ම ක්ෂණයකින් මධුලිකා අකුණක් සේ පොලා පැන්නාය.

“ඔයාව කිඩ්නැප් කරන්න වගේ හදන්නේ”

“කවුද? කොහෙද?”

“ඒක හරියටම කියන අමාරුයි… කිඩ්නැප් කරන්න හදනවා නම්, ඔයා ඔය ගමන් නොගිහින් හිටියාම හරිනේ… අපාට්මන්ට් එකට වෙලා ඉන්න මම කියනකල්”

තත්පර කිහිපයක නිහඬතාවයකි.

“තීක්ෂණ.. ඔන්න දැන් මගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ.. ඔයාට ඉරිසියයි නේ මම නිමන්ති එක්ක එලියට යනවා කිව්වහම.. ඒකනේ මේ කිඩ්නැප් කතාවක් කියන්නේ..”

මධුලිකා කෝපයෙන්  කෑගැසුවාය.

“අනේ නැහැ මධු…”

“එහෙනම් මොකද්ද මේ කිඩ්නැප් කතාව? කවුද දැන් කිඩ්නැප් කරන්න ඉන්නේ?”

මට එයට පිළිතුරක් දීමට නොහැක. තාත්තා කියා කියන්නේ කෙලෙසකද? වාසුල කියා බොරුවක් කියන්නට හැකියාවක් නැත්තේ ඒ වනවිටත් එලෙස තර්ජනයක් නොමැති බව මම ඈට පවසා ඇති හෙයිනි. මම ගිරයට හසුවූ පුවකක් මෙන් නිරුත්තරව ගියෙමි.

“කවුද කියන එක නෙවෙයි.. එහෙම එකක් වෙන්න පුළුවන්.. මම කියන එක අහල ඔයා අපාට්මන්ට් එකේ ඉන්න!”

“ඔයා හරි නරකයි තීක්ෂණ… “

“…………….!!??? “

“මම හෙට එහෙම ගියාම මොකද? බයවෙන්න දෙයක් නැහැනේ! ඔයාට හොඳයි බිබී රස්තියාදුවේ යන්න. මේක අස්සේ හිරවෙලා ඉඳලා මටත් දැන් පිස්සු හැදෙන්න එන්නේ.. ඉඳල ඉඳල යන්න හදන එක ඔහොම බ්ලොක් කරන්න එපා..!”

මධුලිකා වේදනාවෙන් මෙන් කෑගසයි.

“ලොකු…!”

දොරට තට්ටුවක් සමග මගේ කාමරයේ දොර අසලින්ම අසුනේ තාත්තාගේ කටහඬයි. මම ගල්ගැසී ගොස් වහා අන්ද මන්දව  ජංගම දුරකථනය ඇඳ මත වූ පොරෝනා අතරට විසිකොට නිශ්චල වීමි. කාමරයේ සියලු විදුලිපහන් නිවා දමා තිබුණු නිසා මගේ නිශ්ශබ්දතාවය සමඟ තත්පර විස්සකින් පමණ පසුව , මම නින්දට වැටි ඇතිබව සිතා ගැනීමෙන් පසුව තාත්තාගේ පියවර සෙමෙන් ඈතට නික්මයනු මට ඇසුනේ සැනසුම් සුසුමක් සමඟය.

මම දුරකථනය ඇඳ පුරා අතගා සොයාගෙන නැවතත් මධුලිකා ඇමතුවේ නාන කාමරයට වැදීමෙන් පසුවයි. මධුලිකා දුරකථනය නිවාදමා ඇත!

මගේ හිස් ගිනි ගත්තේය.

මේ පිස්සු ; හිතුවක්කාර මනුස්ස දියණිය මම කියන්න වටහා නොගෙන අරගලයක් කරන්නට සුදානම් වෙයි. කෙතරම් උත්සහ කලද ඈ නැවත සම්බන්ධ කරගන්නට නොහැකි විය. කෝපය විසීන් මම අමනුස්සයෙකු කරන තරමකි. මම කාමරයේ ඔබ මොබ සැරිසරමින් ඊළඟට කරන්නේ කුමක්දැයි කල්පනා කලෙමි.

ඔවුන්ගේ සැලැස්මට අනුව, මධුලිකා ඔවුන් හරියටම නොහඳුනති. ඒ සඳහා ඔවුන්ට උපකාර කරන්නේ මගේ අනුමානයේ හැටියට ගෝමස් වන්නට ඉඩක් ඇත. ඔහුගේ දුරකථනය අංකයක් මා සතුව නොමැත. මම වහා විදුහලේ සාමාන්‍ය දුරකතනයට ඇමතුමක් ගත්තෙමි. එය නාදවනවා මිස කිසිවෙකු පිළිතුරු නොසපයයි.

මට දැන් ඇත්තේ සීමිත විකල්ප ගණනකි.

********** මතු සම්බන්ධයි ***********

%d bloggers like this: