Menu Close

The Seventh Seal

ලොව අති විශිෂ්ඨතම සිනමාකරුවකු ලෙස සැලකෙන Ingmar Bergmanගේ මුල් පෙළේ නිර්මාණයක් වන The Seventh Seal (1957), සිනමාව හදාරන කිසිවකුට මගහැර යා නොහැකි පුරෝගාමී නිර්මාණයක්. 

කුරුස යුද්ධයට සහභාගී වූ  නයිට්වරයකු වන Antonius Block හා ඔහුගේ සහචරයා (squire) වන Jöns ගේ යුධ භූමියේ සිට ආපසු පැමිණීමේ වෙහෙසකාරී ගමන කතාවේ පසුබිම සපයනවා. හැබැයි මේ ගමනේ මුළ සිටම මේ දෙදෙනා පස්සේ  (විශේෂයෙන් නයිට්වරයාගේ) තවත් කෙනෙක් පැමිණෙනවා. ඒ කළු කබා පැළඳගත් යක්ෂයා හෙවත් මරණය. 

සිනමා පටයේ යටි අරුත තුළ දිගහැරෙන්නේ සැබැවින්ම මාරයාගේ හෝරාවක කියන්න පුළුවන්.  එක් පැත්තකින් කුරුස යුද්ධය ලෙසත් අනික් පැත්තෙන් මහාමාරිය ලෙසිනුත් මාරයාගේ මුහුණු සමාන්තර අවකාශයේ ජීවත් වෙනවා. නයිට්වරයා සහ සහචරයා නිශ්ඵල යුද්ධයක පැටලී ඉන් ඉවත් වී නැවත පැමිණෙමින් හිටියත් මරණයේ ඒ අඳුරු සෙවණැලි සම්පූර්ණයෙන් ඔවුන් වෙතින් පළා ගිහින් නෑ. මේ දෙදෙනා ගමන ආරම්භ කරන්නේ බියකරු කාන්තාරයකින්. ඒ ගමනේදී මහාමාරිය හැදී හෝ බීමට ජලය නොමැතිවීම නිසා මිය ගිහින් විකෘති වුණ මිනිසුන්ගේ සිරුරු හමුවෙනවා. නගරයට පැමිණී පසු ඔවුන්ට මිනිසුන් මරා වස්තුව කොල්ලකා පලා යන සොරුන් හමුවෙනවා. මායාකාරියන් ලෙස සලකා ගිනි තැබීමේ දඬුවමට මුහුණ දෙන සිරකාරියන් මුණගැහෙනවා. 

මරණය මුලින්ම ඇස ගැසුණු විගස ඔහු කවුදැ‘යි නයිට්වරයා යක්ෂයාගෙන් විමසනවා. තමා මරණය බවත්, ඔහුව කැඳවාගෙන යාමට පැමිණි බවත් පිළිතුරු ලැබෙනවා. නමුත් නයිට්වරයා උපායෙන් ගැලවීමට කටයුතු කරන අතර තමා මාරයා සමග චෙස් ක්‍රීඩාවක නියැලීමට කැමති බව පවසනවා. ක්‍රීඩාව ආරම්භවෙද්දීම තමා මේ තරගය දිනුවහොත් තමාට නිදහසේ ඉන්න ඉඩ ලබා දිය යුතු බව නයිට්වරයා උපක්‍රමශීලීව මරණයට පවසනවා. සිනමා පටය දිග හැරෙමින් ඉදිරියට යන්නේ මේ චෙස් ක්‍රීඩාව අතරතුර සිදුවන තවත් අතුරුකතා රාශියක් සමග. ඒ නයිට්වරයා සියලු අභියෝගයන්ගෙන් සියුම්ව ගැලවි නයිට්වරයා අවසානයේ තම බිරිඳ කරා යන තෙක්. මෙය බොහෝ විට මුලික කතා රාමුව අතින් හෝමර්ගේ ඔඩිසියත්, එයම පාදක කොට ලියැවුණු ජොයිස්ගේ යුලිසීසුත් සිහි කරනවා. නමුත් බර්ග්මාන් නම් විශිෂ්ඨ සිනමා ශිල්පියා තම අග්‍රගණ්‍ය සිනමා කෘතියක් වන The Seventh Seal ගොඩනගන සිනමාත්මක අනන්‍යතාව අති විශිෂ්ඨ අතර, පෙර කීවා සේ සිනමා කලාව හැදෑරීමේදී අතහැර නොහැකි ආදර්ශන කෘතියක්ද වෙනවා. විශේෂයෙන් ඉවසිලිසහගත, නිර්මාණාත්මක රූප සංරචණයේදී අතහැර නොහැකි සිනමාපටයක් වී තියෙනවා. මෙතෙක් වේලා නයිට්වරයාට පමණක් පේන මාරයා හිටි ගමන් තම දිගැති කළු පැහැ කබායෙන් කැමරා කාචය වසා දමනවා. එය රූපරාමුවකින් තව රූප රාමුවකට මාරුවන උපක්‍රමයක් හැටියට පමණක් නොව, ඒ සමග ඇතිවන රූපමය අඳුරේ ගිල්වෙන ප්‍රේක්ෂකයා මාරණයේ ගුප්ත සහ අඳුරු පරිවාරයට ගිල්වන්න බර්ග්මාන්ගේ ඒ විශිෂ්ඨ උපක්‍රමය සමත්වෙනවා. 

මේ දෙදනා යන්නේ ඉතාමක් වෙහෙසකාරී ගමනක්. අශ්වයින් දෙදෙනාටත් එසේයි. නයිට්වරයාත් ඔහුගේ සහචරයා වන Jönsගේ කතාවන් තුළ ඇතැම්විට අතාර්කික, නමුත් දාර්ශනික සංඥා මතු කරනවා. ඇතැම්විට ස්වාමි සේවක මායිම් බොඳ වුණ හැසිරීම් හා කතාවන් ඇතැම්විට පෙන්නන්වා. මේ ගෙමන් කරමින් ඉන්න ගමනේ අතීරණාත්මක බව එයින් මතු වෙනවා. 

මේ දෙදෙනා ගමන් ගම්මාන තුළින් ගමන් කරමින් සිටියදී එක් තැනකදී පල්ලියක් මුණ ගැසෙනවා. එම පල්ලිය අලුතින් සිතුවම් වන එකක්. Jöns පල්ලියේ සිතුවම් ශිල්පියා සමග නිර්මාණය වෙමින් පවතින සිතුවම් ගැන කතා කරනවා. ඒ අතර නයිට්වරයා පාපොච්ඡාරණය කිරීමට යනවා. ඒ දැලෙන් එපිට සිටින මුහුණ කළු කබායකින් ආවරණය කරගත් පල්ලියේ නියෝජිතයා සමග. එහිදී තමා අවතාරමය ලෝකයක ජීවත්වන බවත්. සිහිනයන්හි සිරකරුවකු වී ඇති බවත් නයිට්වරයා පාපොච්ඡාරණය කරනවා. එසේ නමුත් තමන්ට දෙවියන්ගේ ලෝකය තුළ ජීවත් විය යුතු බවත් කියනවා. දෙවියන් ඇතැ.යි සිතා තමන් අඳුරේ මොරදුන්නත් දෙවියන් එතන නොමැති බවත් කියනවා. එසේම තමා යක්ෂයා සමග චෙස් ක්‍රීඩාවක නියැලී සිටින බවත් තම ජීවිතය රැඳී ඇත්තේ ඒ මත බවත් ඔහු කියනවා. තමා යක්ෂයා ක්‍රීඩාවෙන් පරාජය කරන්න යන්නේ කෙසේදැ‘යි දැලට එපිටින් ප්‍රශ්නයක් ඇසෙන අතර එහිදී ඔහු එම චෙස් තරගයේ තම උපක්‍රමය කියනවා. ‘මම ඒක  මතක තියාගන්නම්‘ කියමින් පූජකයා තම කළු කබායෙන් වසා සිටි මූණ පෙන්නනවා. සැබවින් ම ඒ ඉඳ ඇත්තේ යක්ෂයා යි. ඒ අනුව ඔහු අතින් තමන් මරණය සමග කරන චෙස් ක්‍රීඩාවේ රහස් මරණය විසින් දැනගන්නවා. බර්ග්මාන්ගේ සිනමාවේ දැක්වෙන ගැඹුරු යථාර්ථයන් හා මනෝභාවයන් නූතන සිනමාව තුළ පේන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම මෙහි සමස්ත කතා වස්තුවම ගොඩ නැගී ඇත්තේ පෙළට ගොඩනැගූ කථාවක් කියන්නට නෙමෙයි. දිව්‍යත්වය සහ මරණය වැනි කාරණා පිළිබඳ දාර්ශනික චින්තාවක් කලාත්මකව ඉදිරිපත් කරන්න. 

ගමන අතර තුර තම මවගේ මරණය නිසා අතරමන් වුණ තරුණියක් Jöns සමග එකතු වී මේ ගමනේ ගමන් සගයින් වනවා. ඊට අමතරව නිතර දෙව් මව ඇතුළු ප්‍රභාමත් දිව්‍යමය දර්ශන දකින අමුතු සර්කස්කරුවා (Jof) හා ඔහුගේ බිරිඳ (Mia) හා අලුත උපන් දරුවා පසුව එකතුවනවා. සර්කස් කරුවාගේ අධ්‍යක්ෂ වරයා වන අනික් නළුවා සමග රහසේ පැන යන ස්ත්‍රියගේ සැමියා වන ගැමියත්. පසුව එක්වන එම කාන්තාවත් අවසන මොවුන්ගේ ගමනට එකතු වෙනවා. ඒ මේ ගෙවමින් සිටින භීම සමයේ මරණයෙන් ගැලවීමට පමණක් නොවේ බොහෝ විට ඔවුන්ගේ ජීවිත තුළ විශාල බලාපොරොත්තු හා අරමුණු පේන්නේ නෑ. චෙස් ක්‍රීඩාව අතර තුර කතාව බැඳ තබන්නේ මේ අයගේ ජීවිත පිළිබඳ උප වෘත්තාන්තයන්. ඒ සියල්ල මරණයත් දිව්‍යත්වයත් සියුම්ලෙස තේමාත්මක කරගන්නවා. බර්ග්මාන් තිරය මත චිත්‍රණය කරන මායාකාරී, අතීරණාත්මක අඳුර, වර්ණ සිනමා පටයක් තුළින් එතරම් ම නිර්මාණශීලීව යොදාගත හැකිද යන්න මේ සිනමාපටයේ අපූර්ව රූපරාමු දෙස බලද්දී නිතැතින් සිහියට එනවා. 

අවසන නයිට්වරයා ඇතුළු කණ්ඩායම තම ගමනාන්තය වෙත එනවා. ඒ නයිට්වරයාගේ නිවස. කතාව ඉවර වෙන්නේ යක්ෂයා නයිට්වරයාගේ නිවසට පැමිණීමෙන්. මෙතෙක් යක්ෂයා දැක තිබ්බේ නයිට්වරයාත්, අතරමගදී තම බිරිඳ හා දරුවා සමග නයිට්වරයා ඇතුළු කණ්ඩායමෙන් පළා ගිය සර්කස් කරුවාත් (Jof) විතරයි. නමුත් මේ මොහොතේ නයිට්වරයාගේ නිවසේ හිටි සෑම දෙනාම (නයිට්වරයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ සහචරයා වන Jöns සහ ඔවුන්ගේ ගමනට අතරමැදදී මුණගැසුනු. Jöns  විසින් බේරාගන්නා ලද තරුණිය, බිරිඳ පලා යෑම නිසා ශෝක වූ ගැමියා, ඔහුගේ පළාගිය බිරිඳ ආදී සියල්ල) යක්ෂයා (මරණය) දකිනවා. 

කතාවේ අවසන් දර්ශනය වන්නේ පසුදා අවධිවන Jof හා (නයිට්වරයා සමග මරණය චෙස් අඳිමින් සිටීම දැකීම නිසා පළා ගිය සර්කස් කරුවා) ඔහුගේ බිරිඳ (Mia) ඈත කඳුයාය මතින් මරණයේ නර්තනය (Danse Macabre) දැකීම තුළින්. මෙතෙක් දුරක් දෙව් මව ඇතුළු ප්‍රභාත්මක සහ සතුට දනවන දිව්‍යම දර්ශන දකිමින් හිටි සාපේක්ෂකව දරිද්‍ර දිවියක් ගෙවමින් හිටි මේ අපූරු සර්කස්කරුවට එක් වතාවක් මරණය ප්‍රාදූර්භූත කරවන්නේත් ඔහුට හා ඔහු බිරිඳත් සිනමා කෘතියේ අවසන් දර්ශනය ලෙස මරණයේ නර්තනය (Danse Macabre) මුණගස්සන්නේ ඇයි? එසේම නයිට්වරයා සමග චෙස් අදිමින් පැමිණි තම ගමන් සගයාව මෙතෙක් දුරක් පැමිණි ‘මරණය‘ මෙතෙක් වේලා නොදුටු සෑම දෙනාටම නයිට්වරයාගේ නිවස තුළ සිනමාකරුවා විසින් මුණ ගස්සන්නේ ඇයි?  එය මෙතෙක් වේලා නයිට්වරයාගේ ආත්මීය අන්ධකාරයක්ව තිබුණු මරණයේ විශ්වීය පැවැත්ම පිළිබඳ ප්‍රබල සංකේතාත්මක ඉඟිකිරීමක් නොවේද? නයිට්වරයා දුරකතර ගෙවාගෙන තම නිවහන වූ බිරිඳ අසලට පැමිණියත් යක්ෂයා පරාජය කරමින් චෙස් තරගය ජයග්‍රහණය නයිට්වරයාට ලබා දෙන්නට සිනමාකරු කටයුතු නොකරයි. තවදුරටත් එය අවසන් නොවුණ චෙස් තරගයකි. යක්ෂයා සමග චෙස්අදිමින් එදිනෙදා දිවිහරිමින් අවසානයේ ඔහු වෙතම ළඟාවීමට නියමිත සකලවිධ මනුෂ්‍ය පාත්‍රයා පිළිබඳ මීට වඩා ගෙතිය හැකි සිනමාත්මක ගෙත්තමක් තිබේද?

සැබවින්ම තම පියාගේ දැඩි ආගමික හික්මීම් රාමුව යටතේ තම ළමා කාලය ගෙවූ බර්ග්මාන් එම ආගමික සංකල්ප සංකේතාත්මකව  තම සිනමා භාවිතය තුළ යොදාගන්නාවා. තම ස්ව්‍යං චරිතාපදානය වන ‘‘Laterna Magica‘‘ හි බර්ග්මාන් කුඩාකල තමන් අතිවිඳිනු ලැබූ ආගමික ලෝකය තම සිනමාවට අනුත්ප්‍රාස සැපයූ හැටි ගැන මෙසේ පවසනවා.

  “I devoted my interest to the church’s mysterious world of low arches, thick walls, the smell of eternity, the coloured sunlight quivering above the strangest vegetation of medieval paintings and carved figures on ceilings and walls. There was everything that one’s imagination could desire—angels, saints, dragons, prophets, devils, humans..” 

මරණයේ නර්තනය (Danse Macabre) හෙළිදරව් පොතේ එන ‘බැටලු පැටවාගේ කතාව‘ (The Lamb opening the book/scroll with seven seals) වැනි මධ්‍යන කිතුදහමට අදාල ප්‍රබල පුරාවෘත්තමය සංකේතාවලියක් සමස්ත සිනමා කෘතිය පුරා ම දක්නට ලැබෙන අතර, මරණය සමග චෙස් ඇදීම පවා එවන්  ඓතිහාසික පුරාවෘත්තයකි. ද සෙවන්ත් සීල්හි යටි අර්ථය මනාව කියවාගත හැක්කේ ඒවා පිළිබඳ සැබෑ අවධානයෙන් සිටින විමසිලිවන්ත ප්‍රේක්ෂකයාට පමණක් කීවෝතින් ගැටලුවක් නැත. 

සමස්ත සිනමා පටය පුරා දුවන, නයිට්වරයා හා මරණය සමග චෙස් අදින අඳුරු සෙවණැලි සහිත දර්ශන රූගත කිරීමේදී මන්දාලෝක කරණය (Low  Key Lights) සිනමාකරුවා විසින් භාවිත කරන ආකාරයත්, සැමවිටම සුබ සිහින දකින අමුතු සර්කස් කරුවා වන Jofගේ ලෝකය නිරූපණයේදී උච්ච ආලේක කරණය (High Key Lights) භාවිත කරමින් සිනමා පටය පුරා ආලෝකයේ පරතරය බර්ග්මාන් විසින් චිත්‍රණය කරන ආකාරය විශ්මය සහගතයි. සැබැවින්ම The Seventh Seal වැදගත්වන්නේ කැමරාකරණය හා සිනමාවේ තාක්ෂණික භාවිතයන් පිළිබඳ හැදෑරිය හැකි පරමාදර්ශී සිනමා කෘතියක් හැටියව විතරක් නෙමෙයි. කැමරාවට අල්ලාගත හැකි රූප රාමු තුළ කොතරම් ගැඹුරු දාර්ශනික තේමාවක් ගැබ්කරගන්න පුළුවන්ද කියන තේමාත්මක කාරණයත් The Seventh Seal තුළින්ම ඉගනගන්න පුළුවන්. 

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2019 ජූනි 06)
%d bloggers like this: