Menu Close

219. සුහදිනියේ – 22 | අළුත් ප්‍රේහෙලිකාවක! තීක්ෂණ අභියෝග අතර මැදිව

කලින් කොටසට 

ඇඳුම් සාප්පුවේ ඒ මේ අත ඇවිදිමින් මම හැකි අයුරින් ඇඳුම් තෝරා ගතිමි. මධුලිකා සමඟ පැමිණ ඇඳුම් මිලටගන්නට ඇත්නම් කියා මට සිතුනු වාර අනන්තය. උපන්දිනයදා ඈ හැඳ උන් ගවුමේ තව පැහැයක් සෑහෙන උත්සහයකින් පසුව සොයාගන්නට මට හැකිවිය. කොට ඇඳුම් සියල්ල මම සිතින් ඈට අන්දවා බැලුවෙමි. දිග කලිසම් පහ හයක් මිලට ගත්තේ මම නොමැති වෙලාවට අඳිනු ඇතැයි සිතමිනි.

මේ කුමන විකාරයක්ද කියා මට වැටහෙන්නේ නැත. මම සිටිනා විට කොට ඇඳුම් අඳින්නට කියා කියන්නේ කෙලෙසද? මගේ සිත ඇත්තටම සිතන්නේ කුමක්දැයි මටම නිනව්වක් නැතුවාසේය. මම මධුලිකා විරංගට භාරකරන්නට… නැත මගේ සිත එලෙසින් සුදානමක් නැත. එය මධුලිකා තීරණය කරනු ඇත. ඒ සඳහා මම ඈට වඩාත් හොඳින් සලකන්න පටන්ගෙනද?

මට තරමක ලැජ්ජාවක් දැනුනි. ඇය දිනාගන්නට කියා මම ඇයට බොරුවක් කරනවාද? නැතිනම් කවරදාකවත් මම තරුණියක් මෙලෙස සැලකිල්ලෙන් රැකබලාගැනීමක් සිදුකොට නැත. එය මගේ ස්වභාවික තත්වයක් නොවේ. එසේ නම් මම මේ ඇයට කරන්නේ වංචාවක්ද?

මධුලිකා පාසලේ ගතකල සමයේ මට පෑ ආඩම්බරය නිසා ඇයව මිත්‍රකරගෙන නොසන්ඩාල ලෙස පහත හෙලන්නට නොවේද මම සැලසුම් කලේ? එනිසා නොවේද මම විරංග සමඟ ඈ ලුහුබැන්දේ ? විරංග ඒ ගැන ඈ සමඟ පවසා ඇතිද? මෙතෙක් පවසා නැතත් ඒවා පැවසීමෙන් ඔහුට ඈ දිනාගැනීමට හැකියාවක් ඇත. මගේ හදවත වේදනාවෙන් පෙළන්නේ ඇගෙන් පළිගන්නට නොහැකි නිසාද? නැතිනම් ඈ ලබාගන්නට නොහැකි නිසාද?

දහසකුත් සිතුවිලි අතර සිරවී සිටිද්දී නිවසේ දොර විවර විය. මධුලිකා දොර අභියස සිට ඉතාම ප්‍රියමනාප ආදරණිය යයි කියා මට සිතෙන, සිනහවකින් මා දෙස බලා සිට පසෙකට වී ඇතුල් වීමට මට ඉඩහළේය. මම අත වූ ඇඳුම් බෑග් තොගය ඇය වෙත පෑවෙමි. ඈ එයින් එකක් පමණක් ගෙන ඒ තුලට එබී බැලුවේ පුස් පැටියෙකු මෙනි.

“කාටද?”

“ඔයාට”

“එන්න ඇතුලට..”

“මම දැන් යන්න ඕනේ”

මම ඇගේ මුහුණ මගහැරියෙමි. ඇස් කොනෙන් ඈ වෙත ඇති නොසතුට දැක මම කුරිරු සතුටක් වින්දෙමි.

‘ඈ මම එනතුරු බලා සිටියාද? නැතිනම් විරංග?’
‘මධුලිකා මට කැමතියි. නැතිනම් මෙහෙම කරන්නේ නැහැ ‘

එකවරම මධුලිකා මගේ දකුණු අතෙහි ඉහල මස්ගොබයෙන් අල්ලා ගෙතුලට ඇදගත්තේය.

“කොහේ යන්නද? ඉන්න කිව්වේ!”

මම ඊට බොහෝ කැමැති වීමි. මට සිනහවක් පහල විය. ඒ සතුටට බව මට විස්වාසය. මම මේ මගේ යහළුවා සමඟ කරනා තරඟයක්ද?

“… එදත් ගියා… මට කතාකරන්න ඉන්නෙත් නැහැ… මොකද්ද වෙන්නේ දන්නෙත් නැහැ… මේක අස්සට වෙලා ඉඳල මගේ ඔලුවත් අවුල් වෙලා”

නියම ගැහැණු ප්‍රහාරයකි. මධුලිකා ඉනට අත් ගසාගෙන මා දෙස බලාසිටියේ නෝක්කාඩු දෑසිනි. ඇගේ දෑස මට සිහිකලේ ජයවර්ධන මහතාගේ දෑසයි. ඒ තරම් තීව්‍ර බැල්මකි!

මම ඇඳුම් මලු දෙක තුනම එතනම බිම තබා ගොස් කිසිවක් නොවූ පරිද්දෙන් සෝපාවේ හිඳගතිමි. මධුලිකා මා පසුපස විත් මා අසලම හිඳගත්තාය. ඇගේ බුහුටි සරාගී දෙපා නොදැක්කා සේ ඉන්නට මට සිදුවිය. සැහැල්ලු ඇඳුමට ඈ සෑහෙන මා කළඹවා හමාරය.

“හරි.. මොනාද දැන් දැනගන්න ඕනේ?”

මධුලිකා මා දෙසට හැරි සෝපාවේ දෙකකුල් හකුලා ඉඳගත්තාය. මම ඇගේ ඉහලට කර තදකර බඳින ලද කේශකලාපයේ ඇති ආකර්ෂණය සිතින් ආවර්ජනය කලෙමි.

“එදා ගියේ ගැන්ග්ස්ටර් වගේ ඇඳගෙන, ආවේ කකුල් ලෙලි ගිහින්.. මොකද උනේ?”

“ආ.. ඒකද… බයික් එකෙන් වැටුනානේ… “

“……..?”

“අපේ ස්ටේට් එකේ මැනේජර් එක්ක ගියේ”

“නිකන්ම වැටුනා?”

“ඔව්…”

එය මෝඩ කතාවක් බව දැන දැනම මම එලෙස කීවේ , මගේ වීරක්‍රියා ගැන මෝඩකම් සේම ඈ දැනුවත් නොවන පරිදිය.

“අරෙහෙම ඇඳගෙන?”

මම කට දෙපසට ඇදෙනසේ බොරු සිනහවක් පා හිස ඉහල පහල සෙලෙව්වෙමි. මධුලිකාට සිනහවක් නැගුණි. මම කියන්නේ මුසාවක් බව ඈට නොදැනුනා යයි මම කිසිවිටෙක නොසිතමි.

“නැන්දා… අපිට කූල් මොනාහරි ගේන්නකෝ………..”

මධුලිකාගේ මේ ප්‍රබෝධය විසින් මා කුල්මත් කරන ලෙසකි.

“…… බිව්වේ මොකටද එහෙනම්?”

හෙනගෙඩියක් පුපුරන්නා සේ මධුලිකා ඇසුවාය.

“ඒක මේ…”

මට කියන්නට දෙයක් නොවුනි. මෝඩයෙකු සේ මම ඈ දෙස බලාගෙන කල්පනා කලේ කුමක් කියන්නද කියාය.

“දන්නවද…. මම ගිහින් තමයි ඔයාව එදා ගෙනාවේ කියල?”

මගේ යටි හනුව පහලට ගොස් මුව විවර විය. මධුලිකාගේ ඇස්වල තිබ්බේ මවක විසින් දරුවකුට කරනා තරවටුවක පෙනුමයි. මගේ මවගේ ඇස්වල එම පෙනුමට මම බොහෝ බියය. මධුලිකා මේ කරන්නේ විහිළුවක්ද?

“… බීල බීල දෙකට කැඩෙන්න බීලා… කියෝ කියෝ…. මහා රෑ පාරවල් ගානේ ඉන්නවා… කවුරුහරි ඇවිත් මොනවා කරලා ගියත් දන්නේ නැහැ.. “

මධුලිකා කඩාගෙන පැන්නේ එකවරම නොවේ. මදින් මද උස්ව ගිය හඬ අවසානයේදී වඩා උස්ව නැගී ගියේය. මම පුටුව තුල ගිලී පොඩිපට්ටම් වී ගියෙමි. එසේනම් එදින රාත්‍රියේ මා මෙහි ගෙනාවේ මධුලිකාද? මෙය නම් නවනින්ගිරාවකි!

“හරි ඉතින් මම බිව්වේ මට ඕන නිසා!”

අතිශය මෝඩයින් විසින් පමණක් කරනා ප්‍රකාශයක් කිරීමෙන් මා සතුව තිබුණු අවසාන සළුවත් ගිලිහි ගියේය.

“ඇත්තද? බිලා එහෙනම් මගේ නම කියෝ කියෝ දඟලන්නේ නැතුව ඉන්න තිබ්බනේ එහෙනම්”

මහපාරේ නිරුවත් වුවා සේ මට දැනේ. මම ජින් මතින් කරනා දේවල් ගැන මටම මතකයක් නැතිබව මම දනිමි. අවසිහියෙන් මම ඇගේ නම කියෙව්වේ මොන විනාසයකටදැයි මට දැන් සිතේ.

ඇලඩින්ගේ පුදුම පහනෙන් පැන නැගි භූතයා මට ලැබුනේ නම් මම ලැබෙන එකම වරය ලෙස මුදල් හෝ කිසිවක් නොව ඒ සිද්ධිය කිසිදු සලකුණක් ඉතිරි නොකොට මකා දමන්නට ඉල්ලමි. කාගේ හෝ අවාසනාවට මම ඇලඩින් නොවෙමි. එවන් භුතයෙකුද නොහඳුනනිමි.

සේවිකාව විසින් ගෙනනලද සිසිල්බීම වීදුරුව වස කුප්පියක් වේවායි මට පතන්නට සිතුනි. එහෙයින් එය එක හුස්මට හිස්කළ මම සෝෆාවෙන් නැගිට ගොස් උසැති කවුළුව වසා පැවති තිර ආවරණයෙන් පිටත බැලුවෙමි.

කියන්නට දෙයක් නැත. මම දොඩවන්නට ඇත්තේ මොනවා විය හැකිද? මගේ මුවින් පිටවන්නට ඇත්තේ මධුලිකා ගැන අශෝභන දේවල් නම්, මේ වනවිට මගේ තත්වය අතිශය සෝචනීය බව නොකිව මනාය.

“හරි දැන් ඕව අමතක කරමු… “

“………………..($###$%$)”

“ඒක නෙවෙයි තීක්ෂණ…. මම අද මගේ පරණ නෝට් බුක් එකකින් හොයාගත්තා මගේ ස්වීඩන් ඉන්න යාළුවෙකුගේ නම්බර් එකක්.. මම එයාට කතාකලා. ස්ටීව් ගේ කසින් ගේ දුවෙක්. එයාලා එහෙ හොඳ ෆැමිලි එකක්. නම ඇන්ජෙලා. එයා කිව්වා මට එහෙ හයර් ස්ටඩිස් වලට එන්න කියලා. ස්කොල් එකක් ගන්න බැරිවෙන එකක් නැහැලු…”

මගේ හිස වැඩකරන්නේ නැතුවා වැනිය. මගේ අපහසුතාවය පහව යන්නට මෙන් මධුලිකා සිහින් සංගීත රාවයක් වාදනය වන්නට හැරියේය.

එසේ නම් මගේ ඇඳුම් මාරු කරන්නට ඇත්තේ මධුලිකා වන්නට බොහෝ ඉඩකඩ තිබේ. එය අතිශය විකාර ; අසමජ්ජාති තත්වයකි. එලෙස වන්නේ තරුණියක ඉදිරියේ නිරුවත්විම මට නුපුරුදු බැවින් නොවේ, මධුලිකා ඉදිරියේ මම අව සිහියෙන් එවැන්නක් වූ නිසාය.

මම ලැජ්ජාවට මුහුණ වසාගෙන සිටින බව නොරහසකි. මධුලිකා මා අසලින් සිටගත් බව ඇගෙන් විහිදෙන විලවුන් සුවඳ මට පවසයි.

“…. මම පාස්පෝට් එක අලුතෙන් හදාගන්න ඕනේ… පාස්පෝට් එක තිබ්බේ සිස්ටර් ගාව”

“හරි… මම එක්කගෙන යන්නම් එතනට. දවසින් කරගන්න පුළුවන්නේ”

මම සෙමෙන් පැවසුවෙමි.

“ඔයා පරෙස්සමෙන් ඉන්න තීක්ෂණ… මට හරි බයයි උන් ඔයාට අනතුරක් කරයි කියල”

ඇගේ වචනවල ස්වරය බොහෝ මෘදු විය. මද වෙලාවකට පෙර කොටි දෙනක මෙන් මගේ ඇඟට කඩාපැන, ඉන් පසුව මිනිත්තුවේ සෝපහාසයෙන් මා ලජ්ජාවට පත්කර, දැන් මගේ සිත සනසන අයුරු! මැය මෙතරම්ම මම වසඟයට ගන්නේ ඇයි?

“හ්ම්ම්…”

මට කියන්නට යමක් තිබුනද ප්‍රවිෂ්ටයක් අවැසි විය.

“බාප්පිලා ඔයාට  කරදරයක් කරයි කියලා බයෙන් මම ඉන්නේ. එක්කෝ…. මම උන්ට කතාකරන්නද? කොහොමත් දේපල වලට නම් එයාලා මාව ඔච්චර හොයන්නේ මම මැරි කරලා කියලා කියපු ගමන් ඒ ඔක්කොම වැඩක් නැහැ කියලා තේරුම් ගනී..”

මට පුදුම සිතුනි. ඇය එවැන්නක් කරන්නේ කුමක් නිසාද? මට ආපසු හැරී ඈ දෙස බැලුනේ ඉබේටමය. මධුලිකා අහිංසක ලෙස බලා සිටියාය.

“මට වාසුල හම්බ උනා”

“මොනවා? කවදද? ඌ ඔයාව ෆලෝ කලාද? මොකද උනේ?”

මධුලිකා මගේ අතේ එල්ලී කියවන්නට වුවාය. සත්‍ය පවසා මගේ වීරත්වය හෝ අසත්‍ය පවසා ඈ මුලාකරන්නට හෝ මට අවැසි නොවීය.

“මම ඌ එක්ක කතාකලා. මම කවුද කියලා උන් දන්නවද කියන්න මම දන්නේ නැහැ. මොකක් උනත් ඌ හෙන මෝඩයෙක්”

“මොනාද කිව්වේ? ඔව්.. වාසුල අයියා හරි කේන්තිකාරයෙක් කියලා මමත් අහලා තියෙනවා. බාප්පිට උනත් හරියට කේන්ති යනවලු. මමී කොහොමත් බයෙන් හිටියේ මගේ ජිවිතයට කරදරයක් කරයි කියලා. මට දැන් මේ සේරම එපා වෙලා තියෙන්නේ තීක්ෂණ. සල්ලි වැඩක් නැහැ මට.. මට මගේ පාඩුවේ ඉන්න තියෙනවා නම් එච්චරයි… “

“…………”

“එක්කෝ මේ ඔක්කොම උන්ටම ගන්න කියල දීලා නිකන් හිටියා නම් හරි…. එකමදේ මට මගේ තාත්තිගේ ආසාව ඉෂ්ඨ කරන්න නොලැබෙන එකයි. ස්ටීව් උනත් හැමදාම කිව්වේ තාත්තිගේ ආසාව ඉෂ්ඨ කරන්න හොඳට ඉගෙනගෙන ආයෙමත් ලංකාවට එන්න කියලා… ස්ටීව් ඒ තරම් හොඳ කෙනෙක්.. කවදාවත් හිතුවේ නැහැ එයාට එහෙම දෙයක් වෙයි කියල. මමීට උනත් ආසාවක් තිබ්බා ලංකාවට ආයෙමත් ඇවිත් ජිවිතේ ගෙවන්න….”

මධුලිකාගේ දෑස් වලින් කඳුළු කඩාහැලෙන්නට වුයේ අවසාන කොටසේදීය. මම ඈ මගේ උරහිසකට වාරු කරගතිමි.

“බයවෙන්න එපා මධු… ඔයා පරදින්නේ නැහැ මම ඉන්නකල්. ඔයාට සල්ලි වැදගත් නැති උනාට සල්ලි වලට කෑදර මිනිස්සුන්ට ඒවා වටිනවා ජිවිත වලට වඩා… ඔයාගේ තාත්තා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂම මනුස්සයෙක්. කාගේ හරි උවමනාවට හරි අවාසනාවකට හරි එයා දැන් ඔයා ගාව නැහැ. එයාගේ බලාපොරොත්තුව ඔයා නම්, ඔයා ඒක ඒ විදියට ඉෂ්ඨ කරන්න උත්සහ කරන්න. මම ඔයාගේ ඕනේ දේකට උදව් කරන්නම්”

මධුලිකා මගේ පපුවට තුරුළු වී තදින් මා වැළඳ ගත්තාය. මම ඊට ඉඩදී ඇගේ දුක සමනය කරගැනීමට උපකාර කලෙමි. ඈ කෙරෙහි මා තුල ඇත්තේ අනුකම්පාවක් පමණක් නොවේ. මිත්‍රයෙකු වශයෙන් ඈ මා කෙරෙහි තබා ඇති විශ්වාසය මා විසින් රැකිය යුතුව ඇත. මධුලිකා කෙරෙහි ඇති සරාගික බැඳීම ඒ සියල්ල ඉදිරියේ මග අහුරා සිටින්නේ ඇයිදැයි මම මගෙන්ම ප්‍රශ්න කලෙමි.

විනාඩි තිහකින් පමණ මධුලිකා යථාතත්වයට පැමිණියාය. අප දෙදෙනාටම ඒ මොහොත අවශ්‍යව තිබුනා වැනිය. ඇගේ අතින් අල්වාගෙන සිටීමක්, නෙත්සරක් හෝ වැළඳගැන්මක් විසින් දෙදෙනාම සමනය කරන අයුරු කවර රසායනයක්දැයි සිතනවිට මට තාරුක අයියාගේ කවටකම සිහියට නැගෙයි.

අනතුරුව මම කලේ තාරුක අයියාත් මමත් සැලසුම් කල පරිදි ඇගේ නීතිඥයා වන ක්ලිෆර්ඩ් වාකිෂ්ඨ ගැන මට අවැසි තොරතුරු ලබාගැනීමයි. මෙතෙක් මම සොයාගත් තොරතුරු වලින් පෙරා වෙන් කරනලද යම් ප්‍රමාණයක් මධුලිකා ඉදිරියේ පවසන්නට මට සිදු වුනත් මධුලිකාගේ පියාගේ දේශපාලන සම්බන්ධය හෝ මගේ පියාගේ සම්බන්ධය ගැන කිසිවක් ඇයට නොකියන්නට ප්‍රවේශම් වීමි.

***************************************************

 තාත්තාගේ වාහන කිසිවක් නවත්වා තිබුන බවට සලකුණක් නොවූ බැවින් මම නිවසට පිවිසුනේ ප්‍රධාන දොරටුවෙනි. නිවස තුලට පිවිසෙත්ම උස් හඬවල් දෙකක අපැහැදිලි කලබල කතාවක් කන වැකුනෙන් මගේ ගමන අඩාල විය.

අතරින් පතර ‘ලොකූ’ , ‘කරන්න බෑ’ , ‘දැන්ම එපා’ යනුවෙන් වචන ඇසුනද පැහැදිලි වැකියක් ඇසුනේ නැතත් කටහඬවල් දෙක අම්මාගේත්, තාත්තාගේත් බව හඳුනාගැනීමට හැකිවිය. එය පැමිණියේ සාලයේ පැතිකඩක ඇති අපගේ කුඩා සාලයෙනි.

‘ලොකූ’ යන වචනය ඇසුණු නිසාත්, තාත්තාගේ අතට හසුවූ මගේ තුවක්කුව නිසාත් ඉබේටම මම ඒ දෙසට ඇදී ගියේය. ඔවුන් සිටිනා ඉසව්ව නිර්ණය කරගත් මම ඔවුන්ගේ අවධානයට
ලක්නොවන මුල්ලකට වී සැලකිල්ලෙන් සවන් දෙන්නට පටන් ගත්තෙමි.

“.. එහෙම නෙවෙයි මාලි…”

ඒ තාත්තගේ කටහඬයි. එය ඇසුනේ තරමක් පහතිනි.

“එහෙම නෙවෙයි කියලා හරියන්නේ නැහැ සෙනේ…. අර උරචක්කරමාලේ ගේ අස්සෙම රිංගනවා… මම කැමති නැහැ ගින්දරයි පුලුනුයි එකට තියලා පස්සේ දුක්වෙන්න. කොහොමත් ඒ පවුලේ අය ළමයි හදන විදියට අපි කවුරුත් කැමති නෑනේ ඒ කෙල්ලට”

මේ කියන්නේ චාපා ගැනද?

තාත්තා යමක් කියනු ඇසුනත් මට එය පැහැදිලි වුයේ නැත. මම වඩාත් උවමනාවෙන් සවන්දෙන්නට වීමි.

“… මම කැමතියි කතාකරලා තියනවට.. මොකද ලොකූ උනත් එතකොට වෙන දේවල් ගැන හිතන එකක් නැහැ… ඔයා එයාට බිස්නස් ටික ඔහොම්මම දෙනවා නම් මම නම් තවත් කැමතියි”

“ලොකූ කවදාහරි බඳින්නේ මම කැමති කෙනාව! ඒකෙ ආයේ දෙකක් නැහැ!!”

තාත්තාගේ හඬ උස්ව නැගී ආයේය. මම ගල්ගැසී ගියෙමි.

“තාම ඔයා පරණ කෝන්තර හිතේ තියාගෙන ඉඳල , තමන්ට වෙච්ච දේ මගේ දරුවටත් කරන්නද හදන්නේ?”

ඉන්පසුව තාත්තා යමක් කීවාද, එසේ කිවා නම් අඩු හඬකින් කීවාද, එසේ නොමැති නම් නිශ්ශබ්දතාවයක් තිබුනාද කියා හරි හරි තෝරා ගැනීමට මට හැකි උනේ නැත.

“එහෙම එකක් නැහැ මාලි”

“එහෙම එකක් නැත්තම් කොහොම එකක්ද තියෙන්නේ? “

“………………”

“කොච්චර කොහොම කිව්වත් අනුලා ගැන ඔයාගේ හිත තාමත් එහෙම්මමනේ!”

“පිස්සුද මාලි.. මොනාද මේ කියවන්නේ? “

අම්මාගේ ඉකි බිඳුම සෙමෙන් ඇසෙන්නට විය. මම පියවරක් ඉදිරියට තබා බැලුවේ ඔවුන් වෙතට වඩාත් සමීප වන්නටය.

“අවුරුදු හයක් තිස්සේ මම විඳේව්වා හොඳටම.. ඉහි ඉහි…. ඔයා මට අන්තිමට පොරොන්දු උනා අනුලා ගැන කවදාවත් මේ ගෙදර ආයේ කතාවක් ඇදෙන්න ඉඩතියන්නේ නැහැ කියල”

“ඉතින් මාලි මම අදටත්, මේ මොහොතේත් ඒ පොරොන්දුව රකිනවනේ…”

හිස පොවා බලන මට සිය උරතලයට වාරු කරගත් අම්මා සමඟ මට පිටුපා සිටින තාත්තා දක්නට ලැබුණි. මම ඇඟිලිතුඩු වලින් තවත් පියවරක් ඉදිරියට තැබුවේ ඔවුන්ගේ මේ රණ්ඩුව කුමක්ද කියාත්, රණ්ඩුවේ මගේ නම ගෑවුනේ කෙලෙසකට කියාත් ඇතිවූ අතිශය කුතුහලය නිසාය.

මා හා රණ්ඩු කරන මධුලිකා ඉබේමට මට සිහිවිය.

කවුරුන්ද මේ ‘අනුලා’ බිසව මම නොදන්නා?

කුරුළු ජෝඩුවක් සේ පෙමින් සිටින අම්මාත් තාත්තාත් මිස කිසිදා තුන්වන පාර්ශවයේ ගැහැනියක ගැන කියමින් තාත්තා වරදකරුවන රණ්ඩුවක් මගේ ජිවිත කාලයේ කවරදාවත් මට අසා පුරුදු නැත.

“මම කොහොමත්ම ඔයා කියන දේට කැමති නැහැ..”

අම්මා කඳුළු පිසගනිමින් තාත්තාගෙන් මෑත්ව සිටියාය.

“.. ඒ ගෑනිගේ ලේ ගෑවිච්ච පුළුන් පොදක්වත් මේ ගෙදර හරියෙන් පාවෙලා යනවටවත් මම කැමති නැහැ. එච්චරයි!”

අම්මා අධිපතිනියක් වනවා මම දැක ඇත්තේ අප සම්බන්ධයෙන් වුවද, තාත්තා අභිමුව එලෙස සිංහනාදයක් කරන්නට තරම් ප්‍රභල වන්නට පාදක වූ අනුලා කවුරුන්ද?

“දැන් කවුද කිව්වේ අනුලාගේ ලේ ගෑවිලා කියලා?”

“ඔය ඉතින් කියන්නේ ඒ ගෑනිගේ මනුස්සයාගේ කාගේදෝ ළමයා ගැනනේ”

“ඔව් එහෙම තමයි… එයාගේ.. මම කිව්වේ අනුලාගේ ලේ නෑනේ ඒ ළමයට!”

අම්මා වටපිට බලනු දුටුවෙන් මම හිස හකුලා ගත් බැවින් ඈ ඊට දුන් පිළිතුර හරිහැටි මට ඇසුනේ නැත.

මම හිස හරවනවාත් සමඟම මා අසලම සිටගෙන උන්නේ තාත්තාත් , අම්මාත් ඉන්නා දෙසට තේ බන්දේසිය රැගෙන යමින් සිටි මැණිකාය. ඈ මා දැක ත්‍රස්තව ගල්ගැසී උන්නාය. මගේ කන්දීම ඇගේ  අතටම හසුවිය. මම වහා තොල් මත දබර ඇඟිල්ල තබා  මැණිකාගේ කතාව වලක්වා ගත්තෙමි. තත්පර කිහිපයක් බියෙන් හැකිලී උන් මැණිකාට මම කිවේ කුමක්ද කියා වැටහෙන්නට ඇත. මම ඈට යන්නට සන් කලෙමි.

තේ බන්දේසිය රැගෙන එනවිට දෙදෙනාගේ කතාව කොහොමත් නතරව තිබිණි. එතැන බන්දේසිය තබා නැවත මැණිකා හැරී යන ගමනේදී මා දෙසවත් නොබලා අඩියට දෙකට පැන දිව්වාය. ඇය මට කොහොමත් බියක් දක්වන්නේ මගේ මවාගත් නපුරුකම විසින් හොරවැඩ සඳහා අවකාශය ලබාගන්නට බව මම දනිතත් ඈ නොදන්නීය.

නැවත කතාව ආරම්භ වනතුරු මම ඉවසීමෙන් සෑහෙන වෙලාවක් ගතකරන්නට ඇත. මගේ දුරකථනය  නාදවිය. මගේ වෙලාවට එය සයිලන්ට් දමා තිබුණු බැවින් කම්පනය වන විටම නිහඬ කරන්නට හැකිවිය. අමතන්නේ තාරුක අයියා වුවද, මෙම කතාව වඩා වැදගත් බැවින් මම ඔහුට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

“ඒ උනාට මම කැමති නැහැ”

“බන්දන්නම නෙවෙයි.. අපිට තියෙන්නේ ඒ ළමයව තියාගන්න……. අපි ගාව…”

තාත්තා අපහසුවෙන් පවසනු මට ඇසුනි.

“….මයිකල් දැනගන්න ඕනේ නැහැ ඒ ගැන”

“ඒ මොකද්ද ඒ අපබ්‍රන්සේ? මයිකල් දන්නේ නැතුව කොහොමද අපි එයාව මෙහෙ තියාගන්නේ?”

තාත්තා යමක් කියුවත් ඒ කුමක්දැයි මට පැහැදිලිව ඇසුනේ නැත. දැන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්න ආසන්නය. ඉන්පසු කිසිවක් මට ඇසුනේ නැත. සියල්ල අඩු හඬිනි. මම උපරිමයෙන් උත්සහ කලද කිසිවක්ම උකහාගැනීමට නොහැකි විය.

“කොහොමහරි අනුලා මේ ගෙදර පස් පෑගුවොත් , මම මොහොතක් ඉන්නේ නෑ යනවා යන්න වත්තල!”

අම්මාගේ හඬ ඇසුනේ කන අසලින්ම වගේය. මට සිහි නැතුව ගියාක් මෙන් අඩියට දෙකට එතැනින් පැනගතිමි. ඈ ආපසු එනවා වන්නට ඇත. බියවූ තරම කෙතරම්ද කිවහොත් මම නතර වුයේ ඉහළමාලයේය.

මගේ සිතුවිලි සියල්ල මේ ප්‍රේහෙලිකාව පුරා පිළිතුරු සොයමින් ඒ මේ අත ගමන් කරමිනි. තාත්තා අනුලා හෝ මයිකල් කියා කෙනෙකුගේ දරුවෙකු හෝ ඥාති දරුවෙකු අප නිවසේ නතර කරගන්නට උත්සහ කරයි. ඒ අනුලාව සම්බන්ධ යම් අතීතයක් තාත්තාට ඇති හැඩකි. ඒ නතර කිරීමත් මා සම්බන්ද විවාහයක් හෝ එවන් යමක් ඒ අතරය. අම්මා බලවත් සේ විරුද්ධව සිටී. එසේ සිතුවහොත් නතර කරන්නට යන්නේ තරුණියක් වීමට ඉඩක් ඇත. නැතිනම් සමලිංගික විවාහයක් තාත්තා මා වෙනුවෙන් සැලසුම් කරනවා වන්නට නොහැකිය.

මේ අව් අස්සේ මගේ විවාහය එලියට ආවොත් මම කපෝතිය!

මම තාරුක අයියා ඇමතුවෙමි.

“ගෙදරද?”

“ඔව්”

“මොකක් හරි පොටක් පෑදුනාද?”

“දන්නේ නැහැ… ඒ උනාට දෙයක් කියන්න තියෙනවා..”

“කියපන්”

“මෙහෙදී බැහැ.. මම කියන්නම් ඇවිත්. කෝල් කලේ ඇයි ?”

“පොඩි සීන් එකක්… අපි ඉක්මනට සෙට් වෙන්න ඕනේ… උඹේ අර කබානා ප්ලේස් එකට වරෙන්… හවස පහට”

“හරි”

මම ඇමතුම විසන්ධි කලෙමි. සුන්දර් කියූ තත්වය මට තාරුක අයියාට කියන්නට නොහැකි වූ බව මතක් විය. දුරකථනය ගෙන සුන්දර්ගේ අංකය ඔබන්නට වීමි.

“ලොකූ ආවද…..? ලොකූ……………………? ඉන්නවද????”

අම්මාගේ කටහඬ පහලින් ඇසෙද්දී මම ක්ෂණිකව ඇමතුම නතරකොට ඉක්මනින් කෙලින්වී සිටගත්තෙමි. අම්මා හෝ කවුරුන් හෝ ඉහලමාලයේ කාමරය දෙසට ඇවිද එන අඩි ශබ්දය මට ඇසුනේ මගේ හදවත ගැහෙන වේගයෙනි. බියක් පෙන්වීම අවාසියකි. ඇවිද ආ පුද්ගලයා දොර අසල සිටගන්නවා මට දැනුනි.

මම දොර විවර කලෙමි. ප්‍රතාපවත් ලෙස සිටගෙන සිටියේ තාත්තාය. ඔහුගේ පෙනුමෙන්ම තිගැස්සී ගියද මම ඉක්මනින් සාමාන්‍ය වීමි.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: