Menu Close

ශේක්ෂ්පියර්ගෙන් ‘කෑල්ලක්‘ වෙනුවට…

(2019 ජූනි 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


අද සටහනට මත්තෙන් නුදුරු දිනක මා වෙත හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක සංක්ෂිප්තයක් ඔබ වෙත තැබීම සාකච්ඡාවට කැඳවීමට අදහස් කරන මාතෘකාවට අවශ්‍ය පසුබිම තනා දෙන බැව් විශ්වාස කරමි. එය පහත පරිදි ය.

සර්සර්ට මතකද මාව? මං කතා කරන්නෙසර්ගෙන් ඉගෙන ගත්ත අහවලා

මොකද මතක නැත්තෙ? ඉතින්? මොකද හදිසියෙම?“

“අනේ සර්… මේ මං වැඩ කරන ඉස්කෝලෙ ඩ්‍රාමා මිස්ට පොඩි උදව්වකට… ශේක්ෂ්පියර් නාට්‍ය පිටපතක් හොයාගන්න බැරි වෙයි ද?“

“මොකක්ද පිටපත? මගෙ ළඟත් එකක් දෙකක් ඇති… යුනිවසිටි ලයිබ්‍රරි එකෙත් ඇතිනෙ…“

“ඔය රජ කතා කීපයක්ම එයා ලිව්වනෙ නේද? මොකක් හරි එව්වැයින් හොඳ එකක්… මේ පාර පාසැල් නාට්‍යවලට අපි කරන්න යන්නෙ ශේක්ෂ්පියර් නාට්‍ය… ඒකයි…!“

“හරියටම පිටපත කිව්වනං මට ලේසියි හොයල දෙන්න. සේරම පරිවර්තනය වෙලත් නෑනෙ…“

“සර් ඔය හොඳ මොකක් හරි එකක් තෝරල දෙන්න… “

මේ මෙවැනි ඉල්ලීම් සහිතව මා වෙත ලැබුණු එකම ඇමතුම නොවේ. පේරාදෙණියේ සේවයට යළි එක්වී ගෙවුණු පසුගිය වසරකට මඳක් වැඩි කාල සීමාව තුළ පාසැල් නාට්‍ය තරග මුල් කරගනිමින්, පිටපත් සොයාගැනීමට, හොඳ ‘ප්ලොට්‘එකක් සොයා ගැනීමට, තරග සඳහා ඉදිරිපත් කරන නාට්‍යවල ‘හොඳ නරක‘ හදා ගැනීමට යනාදී වශයෙන් විවිධ ඇමතුම් කිහිපයක්ම මවෙත ලැබිණි. ඒ බොහෝ ඇමතුම් ‘හදිසි‘ ඇමතුම් වූ අතර, දිනයකින් දෙකකින්, ඉක්මන් පිළිතුරු අපේක්ෂිත ස්වරූපයේ ඇමතුම් විය.

නාට්‍ය ඉතිහාසයේ සශ්‍රීකම සමයක් ලෙස ගැනෙන ග්‍රීක නාට්‍ය සමය පිළිබඳ කතාබහෙහි මූලිකව ගැනෙන්නේ ද ‘ඇතැන්ස්‘ නාට්‍ය උළෙල ප්‍රමුඛ නාට්‍ය තරගයන් ය. යුරිපිඩීස් සහ ඇරිස්ටොෆනීස් ඇතුළු, වසර දෙදහසකට ද ඔබ්බෙන් ජීවත් වූ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උත්සවවලින් ජය හිමිකරගත් නාට්‍ය අතුරින්, පිටපත් ලෙස ආරක්ෂාව ලැබ, දිගු අඳුරු මධ්‍යකාලය ඔස්සේ වත්මන තෙක් සුරක්ෂිත වූ පිටපත් අපි අද සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය වෙත තබමින් හදාරමින් ද, අපගේ වේදිකා මත ප්‍රතිනිර්මාණය කොට රස විඳිමින් ද සේවනය කරමු. ගැමි නාටක හෝ සමකාලීන අභිචාර හා බැඳුණු නාටක තරග කොට ජය ලැබ ඇති බවක් නොපෙනෙතත්, ග්‍රීක හා රෝම නාට්‍ය සමයන්හි සිට විවිධ අවස්ථාවල මුණගැසෙන නෙක් ස්වභාවයේ නාට්‍ය උළෙල හා තරග රංග වේදිකා මත සිදු කළ ප්‍රකාශනයන් තවෙකක් පරයා යන්නට තරම් ඉහළින් නිර්මාණය කර ඇති ද යන විනිශ්චයට ද ලක් වෙමින් අද වන තෙක් පැමිණ ඇති බවට සාක්ෂි බොහොමයක් වෙයි.

ලාංකික නූතන නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය බොහොමයක් ද 60-70 දශකවල පටන් වැඩී නැගුණු නාට්‍ය උත්සවවල දී ඇගයුමට පාත්‍ර වූ, තරග කොට ජය ලැබූ, නාට්‍ය බව ඒ නාට්‍යවල වටපිට විමසන විට හඳුනාගන්නට ලැබේ. රාජ්‍ය නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙල වැනි ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙලවල සිට ‘දහදිය සිත්තම‘, ‘වේදිකාවෙන් මහ පොළවට‘ වැනි විවිධ සංගම්, වෘත්තීය සංවිධාන, විශ්වවිද්‍යාල යනාදී ආයතන මෙහෙයවන නාට්‍ය උළෙල ද විවිධ ‘සශ්‍රීක මට්ටම්වලින්‘ මෙරට නාට්‍ය බිම වෙත දොර විවර කර ඇති බැව් පෙනේ. රාජ්‍යයේ සෘජු අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙල වෙත වැඩි වශයෙන් නාට්‍ය නිෂ්පාදකයින්ගේ ආකර්ෂණයක් ඇති බැව් හඳුනාගැනීම අපහසු නොවන අතරම බොහෝ විට, උළෙල කෙළවර, විනිශ්චයන්හි ගුණදොස් පිළිබඳව වාර්ෂිකව කෙරෙන පසු-විවාද ද හමු නොවන්නේ නොවේ.

ඒ සියල්ල එසේ වුව, පාසැල් සෞන්දර්ය අධ්‍යාපනය තුළ ඉහළ අංකයක් ලැබ ගන්නා නාට්‍ය හා රංග කලාවෙහි ප්‍රමුඛ විමසුම නාට්‍ය තරග විය යුතු ද?

නර්තනය, සංගීතය, චිත්‍ර කලාව යනාදී සෙසු සෞන්දර්ය කලාප වෙත ද මේ පැනයම අදාල වන අතර, මගේ ප්‍රමුඛ අධ්‍යයන ක්ෂේත්‍රයක් වෙත තබා මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කැමැත්තෙමි. සෙසු කලාප වෙත සාකච්ඡාව දිගු කිරීම අපට දෙවනුව කළ හැකි ය.

වර්තමානය වන විට නාට්‍ය හා රංග කලාව, වසර කිහිපයකට පෙර පැවති ආකාරය බිඳ හෙළමින්, පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉම් රේඛා පුළුල් කොටගෙන ඇත. එය දැන් අපට හමුවන්නේ පාසැලෙහි හත්වැනි වසරේ සිට අධ්‍යයනය කළ හැකි විෂයයක් ලෙසිනි. එනිසාම නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඇති උනන්දුව අතීතයට සාපේක්ෂව අධ්‍යාපන ලෝකය තුළ ඉහළ ය. නමුත් ඒ කෙලෙසකින් ද?

එක් අතෙකින් එය පාසැල්වල පෙර සිට පැවති සෞන්දර්ය විෂයය ඒකක අතරට පැමිණි අලුත් සාමාජිකයෙකි! දැන් දරුවන්ට නටන්නටත්, ගයන්නටත් නොඑසේනම් අඳින්නටත් ‘බැරි‘ නම් නාට්‍ය විෂයය තෝරාගන්නට පුළුවන. “මම නාට්‍ය කරන්න පන්තියෙ ඉතුරු වුණේ ඉතිරි දේවල්වලට තෝරගත්තෙ නැති නිසා“ යැයි ‘ප්‍රේමී කවි නළුව‘ නමැති විශිෂ්ට කෙටි නාට්‍යයේ ප්‍රධාන චරිතය වේදිකාවක් මත සිටම කියන්නේ මේ සත්‍යයයි. දෙවනුව එය නව ටියුෂන් දොරකි. මෙම විෂයය න්‍යායාත්මක පිළිතුරුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඉල්ලා සිටින්නක් වන බැවින් නාට්‍ය රංගනය ආදියට හැකියාවක් ඇති නාට්‍ය ගුරුවරුන්ට දැන් හොඳ ඉල්ලුමක් ඇත. එමෙන්ම විෂයය නිර්දේශවල හමුවන නිර්දේශ නාට්‍ය නිෂ්පාදනය කිරීම හා පාසැල් දර්ශන සංවිධානය කරමින් ඒ දරුවන් වෙත අලෙවි කිරීම මෙහිලා හමුවන තවත් නව කලාපයකි. ඒ හා සමගාමීව නැගී ඇති සිවුවැනි අංකය ඉහළ තරගකාරීත්වයක් ඇති පාසැල් නාට්‍ය තරග උණුසුමයි!

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව 2019 වසරේ පාසැල් නාට්‍ය තරග ළමා තේමාත්මක නාට්‍ය, කෙටි කතා පාදක, විශ්ව සාහිත්‍ය පාදක, ඒක-පාත්‍ර නාට්‍ය, ග්‍රීක හා රෝම ප්‍රහසන නාට්‍ය, නූතන නාට්‍යකරුවන්ගේ නාට්‍ය, ෂේක්ස්පියර් නාට්‍ය, සංස්කෘත නාට්‍ය, කතා පුවතක් ඉදිරිපත් කිරීම, ඒකල භාෂණ, යුගල භාෂණ, ගැමි නාටක, අභිරූපණ ලෙස ඉසව් ගණනාවක් ඔස්සේ දිවෙන්නකි. මෙම වසරේ පටන් ඒ සඳහා වන නවතම හඳුන්වා දීම ‘සංසද රංගය‘ නමින් සිංහල යෙදුමෙන් හඳුන්වා දී ඇති Forum Theatre තරග ඉසව්වයි. පළාත් මට්ටමෙන් ඇරඹ, විද්‍යාලයේ වන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව හෝ වෙනයම් කාණ්ඩකරණයන් යටතේ වේදිකාගතව විහිදෙන මෙම නාට්‍ය තරග විශාල කාලයක්, ශ්‍රමයක් හා කැපකිරීමක් සමග නැගී ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ගේ ජයපැන් බීම ඔස්සේ කෙළවර වෙයි.

ශිෂ්‍ය අවදියේ ලැබුණු පාසැල් තරගවලින් ලද පැසසුම් හා ඇගයුම් වින්දෙකු ලෙස පාසැල් නාට්‍ය විෂයයෙහි තරග ස්වරූප අහෝසි විය යුතු යැයි යන සාහසික යෝජනාවක් වෙත යොමුවීම හෝ ඒ තරගාවලි සංවිධානය කරමින් හා මෙහෙයවමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞන්දර්ය නිලධාරීන් සිදු කරන කැපකිරීම් අවතක්සේරු කිරීම වැනි ඉමකට තල්ලු වීම අසාධාරණ බව දන්නා නමුත් ඒ සියල්ල හමුවේ වුව මේ තරගවල වත්මන් ස්වරූපයන්හි ඇති ගැටළු සාකච්ඡාවකට කැඳවීම සෞන්දර්ය අධ්‍යාපනයේ මූලික හැඩරුව තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය බැව් හඟිමි.

අසීමිත තරග උණුසුම හා අපේක්ෂා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ද්විතීයික අධ්‍යාපන සමයෙහි ස්ථාපිත කළ හැකි සහ කළ යුතු අදහස වෙනත් මානයක් ඔස්සේ විහිදුවමින් රටෙහි අනාගත පරපුර හමුවේ සෞන්දර්යය යන්න ද තවත් තරග කලාපයක් ලෙස ධාරණය කිරීම මෙම වත්මන් තත්වයෙහි මා දකින බිහිසුණුම අනතුරයි. සෞන්දර්ය කලා සේවනය හා වින්දනය පැවතිය යුත්තේ අධි-තරගකාරීව නැගෙන, එකිනෙකා පරයා යෑම සඳහාම වලිකන සමාජයක් නිවා දැමීම පිණිස වුවත් ඒ කලාපය තුළත් යළි තරගය අධි නිශ්චය වීම නාට්‍යයේ මූලික අපේක්ෂා නසා දමන්නකි. ග්‍රීක-රෝම ප්‍රහසනයක හෝ ශේක්ෂ්පියර් නාට්‍යයක තෝරාගත් කොටසක් ‘අනෙකාට වඩා කදිමෙට‘ රඟ පා දක්වමින් පළමුවැනියා වී තුටු වීම හෝ පරාජය වී දුක්වීමට වඩා ඉහළ වටිනාකමක් ලැබෙන්නේ අදාල කලා ස්වරූප හා චරිත වඩා සියුම් හා තීව්‍ර කියවීමක් හරහා බිහිකර ගැනීමට ඉඩ සොයාගත යුතු සංවේදී සමාජය වෙත ය. සීසර්ගේ නසා දැමීම අභියස මාක් ඇන්ටනිගේ විශ්වය දිනූ ඒකල භාෂණය ‘ටක්කෙටම කියා‘ පළමුවැනියා වීමට වඩා අනගි ජයග්‍රහණය වන්නේ ශේක්ෂිපියරියානු කෘතිය මතු නොව සැබෑ සීසරියානු අතීතය තුළ ද මුණගැසෙන බෘෘටස්ලා හඳුනාගැනීමට තරම් අනාගත පරපුර සවිඥාණික කරවීම ය.

ඒ සඳහා අවශ්‍ය ‘මොකක් හෝ නාට්‍ය කෑල්ලක්‘ නොවේ. ඉතා පිරිපහදු කොට තෝරාගත් පෙළ කියැවීම්, මනා හැදෑරීම් සහිත මාර්ගෝපදේශන සහ දියුණු අනාගත දැක්මකි; සෞන්දර්ය අධ්‍යාපනයේ නිසි යෙදවුම පිළිබඳ පැහැදිලි අදහසකි.

-ප්‍රියන්ත ෆොන්සේකා –

සේයාරුව: http://www.pulse.lk

%d bloggers like this: