Menu Close

Festen තුළින් ආ Dogme 95 සිනමාව


ලාස් වොන් ට්‍රියර් (Lars von Trier) සහ තෝමස් වින්ටර්බර්ග් (Thomas Vinterberg) නම් සුවිශේෂී ඩෙන්මාර්ක සිනමාකරුවන් දෙදෙනා  1995 වන විට ලෝක සිනමාව දිහා වෙනත් මානයකින් හැරිලා බලන්න පටන් අරං තිබ්බා. එහිදී ඔවුන්ගේ මූලික නිරීක්ෂණයට යොමුවෙලා තිබ්බේ, සිනමාව දිනෙන් දින දියුණුවන තාක්ෂණය පසුපස හැල්මේ දුවන්නට ගොස් ඔද්දල්ව ඇති බව. එසේම මේ හේතුවෙන් සිනමාව ස්වකීය ස්වභාවික හැඩය, වර්ණයන් සග ගුණාංගයන් අහිමිකරගනිමින් සිටින බව ඔවුන්ට තේරුම් යනවා. ඉතිං මේ කලකිරුණු තත්ත්වයෙන් මිදී, සිනමාවට යළි ස්වභාවික ජීවගුණයක් ලබාදෙන්නේ කොහොමද කියලා ඒ අය කල්පනා කරන්න ගන්නවා. ඒ කල්පනාව තවදුරටත් තීව්‍ර කරන්නට, ඒ දෙදෙනාට යථාර්ථවාදී සිනමාව සහ ප්‍රංශ නව රැල්ලේ සිනමාව ගෙන එනු ලැබූ නව්‍යතාවන් අස්වැසිල්ලක් බව තේරෙනවා.
ලෝක සිනමාවේ ස්ව්‍යාවික හැඩය ආරක්ෂා කළ හැකි බලපෑම්සහගත සිනමා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ඒ අනුව මේ අය වටහාගන්නවා. ඒ 1995 මාර්තු 13 වන දින Dogme 95 නමින් එන්නේ ඒ සිනමා ව්‍යාපාරය. එදින පැරීසියේදී පැවති Le cinéma vers son son deuxième siècle සිනමා සමුළුවේදී මුල්වරට ප්‍රකාශයට පත් කළ මේ ව්‍යාපාරය තුළ ඩොග්මේ 95 ප්‍රතිපත්ති ප්‍රකාශනය” (Dogme 95 Manifesto) සහ “නිර්මලත්වයේ පොරොන්දුව” (Vows of Chastity) අඩංගු වෙනවා.
තාක්ෂණය පසුපස හැල්මේ දුවයන, ව්‍යාජ සිනමා කලාව වෙනුවට නව හික්මීමකින් යුතු සිනමා කලාවක් බිහිකිරීම සඳහා (ඩොග්මේ 95 සිනමාවට අදාල) අවශ්‍ය තීති 10කින් යුත් “Vows of Chastity” ගොඩනැගීමේදී ඔවුන්ට ප්‍රංශ සිනමා විචාරකයකු වූ ‘François Truffaut’ විසින් ලියන ලද “Une certaine tendance du cinéma français” ලිපිය අනුප්‍රාස සැපයෙනවා. ඒ යට සඳහන් කළ ප්‍රංශ නවරැල්ලට සහ යථාර්ථවාදී සිනමාවට අමතරව.
1995 මාර්තු 13 වන දින පෙරබිමට ගෙනා ඩොග්මේ සිනමා නීති භාවිත කරමින් ඒ ලේබලය යටතේ ම වසර දහයක් පමණ කාලයක් සිනමා නිර්මාණයන් ඉරිදියට බිහිකරන්නට ඩොග්මේ 95 ව්‍යාපාරය තුළට තවත් සිනමාකරුවන් රාශියක් එක් වෙනවා. ඒ අතර මුල්කාලීනව ම තවත් ඩෙන්මාර්ක සිනමා කරුවන් ම වන Søren Kragh-Jacobsen , Kristian Levring ආදීන් එකතුවනවා. තවද Jean-Marc Barr නම් ප්‍රංශ සිනමා කරුවාද, Harmony Korine, James Merendino නම් ඇමරිකානු සිනමා කරුවන්ද José Luis Márques නම් ආර්ජන්ටිනියානු සිනමා කරුවාද, තවත් ඩෙන්මාර්ක සිනමාකාරියන් වන  Lone Scherfig  හා Susanne Bier , ස්වීඩන් සිනමා කරුවකු වන Åke Sandgren ද  Martin Rengell නම් ස්විස්ටර්ලන්ත නිර්මාණ කරුවාද, Ole Christian Madsen නම් සුවිශේෂී ඩෙන්මාර්ක සිනමා කරුවාද තවත් ලෝකයේ නන් දෙසින් පැමිණි Vladamir Gyorski, Juan Pinzás, Vincent Lannoo, Mona J. Hoel වැනි සිනමාකරුවන් රාශියක් ද ඩොග්මේ 95 සාමූහිකය සමග අත්වැල් බැඳගන්නවා.
මෙම නිර්මාණකරුවන් තම සිනමා කලාව වෙනුවෙන් භාවිත කරන ලද,  1995 මාර්තු 13 වන දින ගෙනා “Vows of Chastity” දිවුරුමේ නීති දල වශයෙන් මෙසේයි.  (1) සිනමා කෘතිය අදාල පසුතලයේ ම නිර්මාණය කිරීම. ඒ අනුව රංග උපකරණ කෘතිමව පසුතලයට ගෙන ඒමෙන් වැලකිය යුතුය. (2) පසුතලයේ පවතින ශබ්දයන් ම සිනමාවට භාවිත කළ යුතු අතර පසුව නිපදවනු ලැබූ කෘත්‍රිම ශබ්දයන් භාවිතයෙන් වැලකිය යුතුය (3) කැමරාව සෑමවිටම සෑමවිටම අතෙහි රඳවා මෙහෙයවිය යුතුය (4) කෘතීම ආලෝක භාවිතය අවම කළ යුතු අතර හැකි හැම විට ම සැබෑ වර්ණයන් ගෙන් ම රූපගත කළ යුතුය. (5) ද්‍රෘෂ්‍ය ප්‍රයෝග සහ ෆිල්ටර්ස් භාවිතයෙන් වැළකිය යුතුය (6) සිනමාපටයට ගැඔුරක් එක් නොකරන දර්ශන චිත්‍රපටයට නො ගෙන ආ යුතුය (7) භූගෝලීය දූරස්ථභාවයෙන් ඈත් කළ යුතුය (8) ශානරීය බෙදීමක් පදනම් කරගනිමින් සිනමාපට නොකළ යුතුය (9) සිනමාපටය Academy 35 mm. මාධ්‍යයෙන් රූගත කළ යුතුය (10) සිනමා කෘතිය අධ්‍යක්ෂවරයාට බැර නොකළ යුතුය.
අදාල මූලධර්මයන්ට අනුව නිර්මාණය කෙරුණ මුල්ම ඩොග්මේ 95 සිනමා පටය අප මෙහි සාකච්ඡා කරන The Celebration (Festen).  එය ඩොග්මේ අනූපහ ව්‍යාපාරය නිර්මාණය කිරීමට පුරෝගාමී වුණ Thomas Vinterberg විසින් 1998දී අධ්‍යක්ෂණය කෙරුණක්. දෙවැනි ඩොග්මේ 95 සිනමාපටය අනෙක් පුරෝගාමියා වන Lars von Trier විසින් ඒ වසරේම නිෂ්පාදනය කෙරුණ The Idiots.  මීට අමතරව යට දැක් වූ ඩොග්මේ 95 සාමූහිකයේ සුවිශේෂී නිර්මාණකරුවන් විසින් Mifune’s Last Song (1999), The King Is Alive (2000), Lovers (1999), Julien Donkey-Boy (1999), Fuckland (2000),  Italian for Beginners (2000), Amerikana (2001), Joy Ride (2000), Truly Human (2001), Kira’s Reason: A Love Story (2001), Resin (2001), Open Hearts (2002), El desenlace (2005) ආදී වශයෙන් ලොව පුරා විශාල සිනමා පට සංඛ්‍යාවක් බිහි කෙරුණා. එමෙන් ම එදා සිට අද දක්වා ලොව බිහිවන බොහෝ සිනමාපට  ඍජුව ඩොග්මේ 95 ලේබලය යටතේ නිර්මාණය නොවුණත් අදාල මූලධර්මයන්ගෙන් විශාල ආභාසයක් ලද නිර්මාණයන් හැටියට දැකින්න පුළුවන්. ඩොග්මේ 95 නිසා වුණේ සිනමාවේ හැඩය, වර්ණය සහ ගුණාංගයන් ජීවමාන වීම විතරක් නෙමෙයි. ඒ නිසා සිනමා පට නිෂ්පාදනය කිරීමට අධික වියදමක් දැරිය නොහැකි සිනමා කරුවාට සාපේක්ෂ වශයෙන් අඩු මුදලකින් ඉතාමත් වටිනා කෘතියක් ලොවට දායාද කිරීමට පාර පෙන්නූ බව කියන්න පුළුවන්.
දැන් අප ඩොග්මේ 95 ව්‍යාපාරයේ මුල්ම ආදර්ශකය වන  The Celebration (Festen) දෙස හැරෙමු. Thomas Vinterberg අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ තිර රචනයක්, පරිණත රංගනයක් හා නව්‍ය කතා තේමාවක් අඩංගු The Celebration හැත්තෑ එක්වන ඇකඩමි සම්මාන උලෙළේ සහ 1998 කැන්ස් සම්මාන උලෙළේ විශේෂ ඇගයීමට ලක් වුණු අපූර්ව සිනමා පටයක් බව මුලින්ම කියන්න අවශයයි.
ව්‍යාපාරිකයකු වන Helge තම බිරිඳ වන Else ද සමග තම හැටවෙනි උපන්දිනය සමරන්න තීරණය කරනවා. ඒ තම පවුලේ හෝටලය තුළ.  මේ සඳහා ඔවුන්ගේ පවුලේ මිතුරන් මෙන්ම නොයෙක් තැන්වල පදිංචිව සිටින තම දරුවනුත්  දරුවනුත් පැමිණෙනවා. මේ පවුලේ වැඩිමල් පුතා වන්නේ Christian. මේ දෙපළගේ බාල පුතා Michael වන අතර ඔහුද ඔහුගේ බිරිඳ හා දරුවන් සමග සාදයට එක් වෙනවා. එසේම Helene නම් දියණිය ද තම පියාගේ උපන්දින සාදයට තම පෙම්වතා සමග පැමිණෙනවා. Helge සහ Else යුවළට Linda තවත් සුරූපී දියණියක් සිට ඇති අතර, ඇය මෑතකදී හෝටලයේ තම කාමරය තුළ සිය දිවි නසා ගත් බව පැවසෙනවා.
කතාවේ මුල් අඩ ගෙවෙන්නේ කලාතුරකින් එකතුවුණ සහෝදරයින් දෙදෙනා සහ සහෝදරියගේ සතුටත්, උපන්දින සාදයට පැමිණි අය පිළිගැනීමට Helge  පවුලේ කටයුතු කිරීම ආදිය තුළ. මේ අතර Helene තම මියගිය සහෝදරියගේ කාමරයට ගොස් නිරීක්ෂණය කරන අතර එහිදී ඇය සිය දිවි නසාගැනීමට පෙර ලියා සීලිමේ විදුලි බුබුලු තුළ (lamp shed)  සියුම් ව සඟවනු ලැබූ ලිපියක් ඇයට හමුවේ. එහි යම් තීරණාත්මක හෙළිදරව්වක් ඇති බව ඇගේ වේදනා සහගත ඉරියව්වලින් හැඟවෙන අතර, ඒ රහස කා සමගවත් නොකියා ඇය  අදාල ලිපිය සියුම් ලෙස තම අත්බෑගයේ සඟවා ගනී.
කතාව තීව්‍රත්වයට පත්වන්නේ දිවා ආහාර වෙලාවේ උපන්දිනා සාද කතාවන් පැවැත්වන අවස්ථාවේදීය. එහිදී Helgeගේ වැඩිමල් පුතා වන Christian තම කතාව තුළ තම ළමා කාලය විග්‍රහ කරන අතර එහිදී ඔහු තම පියා වන Helge විසින් තමනුත් තම මියගිය සොයුරිය වන Lindaත් අපචාරයට ලක්වුණ බව හෙළිදරව් කර වාඩිවෙනවා. මේ අතර උත්සව සභාවේ සිටින Helge මිතුරන් ඇතුලු අනික් අය එම කතාව සමතයකට පත් කරමින් තමංගේ කතාවන් සිදු කරනවා.  තම පියා ගැන සිදුකරන වර්ණනා දරාගන්න බැරිව Christian නැවතත් නැගිට සියලු දෙනාටම තම මධුවිත ඔසවා තම පියා වෙනුවෙන් සව්දිය පුරන්නට ආරාධනා කරනවා. ඒ මගේ සහෝදරිය මැරූ ඝාතකයාට සුබපැතුම්‘’ කියමින්.
උපන්දින සාදය තුළදී පුතකු විසින් පියකුට කරන මේ සිතාගැනීමට බැරි හෙළිදරව්ව ගැන උත්සව සභාවම කලබල වන අතර ඇතැමුන් සාදයෙන් පිටවී යන්න හදනවා. ඒ අය අස්වසා නවත්වාගන්න බාල සහෝදරයා ඇතුලු කණ්ඩායම වෙහෙස වෙනවා.  මේ අතර පියා තම වැඩිමහල් පුතා වෙනත් තැනකට රැගෙන ගොස් ඔහුට දොස් පවරනවා. ඔහු තවමත් විවාහක නැති බවත්, ස්ත්‍රින් විෂයේ ඔහු දුර්වලයකු බවත්, කුඩා කල සිටම ඔහුගේ මනස නිරෝගී නොවන බවත් කියනවා. තම පවුලට එරෙහිව කෙළ ගසාගැනීම ගැන ඔහු තවදුරටත් ඔහුට දෝෂාරෝපණය කරනවා. මවගේ Else උත්සව සභා කතාව තුළද ඇය  මේ කාරණය ව්‍යංගව මතු කරනවා. තම දරුවන් සහ බිරිඳ සමග ආ බාල පුතණුවන්ට ස්තූතිවන්ත වන අතර, තම පෙම්වතා සමග ආ දියණියට ද ස්තූතිවන්ත වනවා. ඒ වගේම වැඩිමහල් පුතා කුඩාකල සිට නිර්මාණශීලී බවත් ඔහු සෑම වෙලාවේම කතා ගොතන බවත්, පියා ගැන මේ ගෙතුවේද එවන් කතාවක් බවත් ඇය පවසනවා. ඒ නිසා අසුනෙන් නැගිට පියාගෙන් සමාව ගන්න ලෙස පවසනවා. මෙහිදී අසුනෙන් නැගිට්ට ඔහු පියා විසින් තමාට කරනු ලැබූ ලිංගික ක්‍රියාවක් විග්‍රහ කරනවා. සාද සභාවට නොගැලපෙන තම සහෝදරයාගේ විකාර කතාව නවත්ත ගන්නා ලෙස Michael  තම වැඩිමහල් සහෝදරයාට කියනවා. බැරිම තැන ඔහු ඈතකට ඇදන් ගොස් ගසක බැඳ තබනවා.
මේ අතර හෝටල් සේවිකාවක වන Pia (ඇය මේ පවුලේ බාල පුතණුවා වන Michael විසින් මවක වන බවත්, පසුව දරුවා ගබ්සා කරගත් බවත් පැවසෙනවා. ඒ වගේම මේ මොහොත වන විට වැඩිමල් Christianනුත් ඇගෙත් ආදර සම්බන්ධයක් දලුලා එනවා) විසින් Helene තම අත්බෑගයේ සඟවා තැබූ ඇයගේ මියගිය සොෙහායුරිය ලිවූ ලිපිය දකින අතර. බැඳ තිබූ රැහැන් ගලවා ආපසු හෝටලයට පැමිණි Christianට දෙනවා. එය කියවූ ඔහු එය සැඟවූ සොහොයුරිය වන, මෙතෙක් නිහහඬව සිටි Heleneට නැවත දෙනවා. ඒ නිසා තමංගේ කතාවේදී මුලු සභාවම විමතියට පත් කරමින් තම මියගිය සොයුරිය වන ලින්ඩාගේ ලිපිය කියවන්න ඇයට සිදුවනවා. එහිදී පියා තරහින් පිටව යන අතර, මෙතෙක්කල් මේ කතාව බොරුවකැයි සිතා සිටි Michael තම පියාට පහර දෙනවා. සිනමා පටය නිමවන්නේ පසුදා උදෑසන කෑම මේසයේදී Helge විසින් තම වරද පිළිගැනීමෙන්. ඔහුට පවුලේ කෑම මේසයෙන් ඉවත්වන්න කියා Michael කියන අතර ඒ අනුව ඔහුට එයින් ඉවත්වෙන්න සිදුවනවා.


සිනමා පටය සියුම්ව බලද්දී ඒ පුරාවට Dogme 95 නීති දකින්න පුළුවන්. නිර්මාණාත්මක නමුත් තරමක් අඳුරු රූප රාමු සිනමා පටය තුළ ස්වභාවික ආලෝකකරණය නිර්මාණාත්මකව යොදාගෙන ඇති හැටි පෙන්නනවා. එසේම තරමක් සියුම්ව සෙලවෙන දූර සහ සමීප රූපරාමු Dogme 95 කැමරා මෙහෙයවීමේ සිද්ධාන්ත පෙන්නවා. එසේ නමුත් වරදකාරී පියකුගේ උපන්දිනයක් සැමරීමට ආ දරුවන්ගේත්, පියාගේත් සිතුවිලි කම්පණය හා හදගැස්ම ත් මානසික කඩාවැටීම මනාව පෙන්වන සාධකයක් වෙලා තියෙනවා. ඒ අඳුරු රූපරාමු තුළින් විටක මිය ගිය දියණියගේ ආත්මීය වේදනාව මතුවෙලා නැතිවෙනවා.

– ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



(රාවය 2019 ජූනි 30)

%d bloggers like this: