Menu Close

218. සුහදිනියේ – 21 | සතුරන් සමඟ එළිපිට සටනට

කලින් කොටසට 

“නිමන්ති…?”

“ආ… තීක්ෂණ…. කියන්න”

“මධුලිකා එක්ක…”

“………………………??”

“……………………….”

“ආ… මම එයාව ඇරලුවා ෆ්ලැට් එකට..  “

“…………………..”

“අපි සැලෝන් එකට ගියා”

“හරි”

සැනින් මම ඇමතුම විසන්ධි කලෙමි. එසේනම් මධුලිකා විරංග සමඟ ගොස් නැත. රුපලාවන්‍යාගාරයට යන්නට ඇත්තේ කාට පෙනෙන්නට හැඩ වෙන්නද? ඊර්ෂ්‍යාවෙන් කොල පැහැ ගැන්වී ඇත්තාක් මෙන් මට දැනෙන්නට විය.

ඔරලෝසුවේ කටු ගනිමින් මම හොරගල් අහුලන්නට වීමි. මම තව හොරාවක්ත් විනාඩි හතලිහකින් යා යුතු ගමනක් ඇත. තාත්තාට හසු නොවී සිටීමෙන් එය බාධාවක් නොකර සිදුකරගත හැකිවනු ඇත. තාත්තා මා සෙවීමක් නොකොට පිටත්වනු මට ඇසුනි.

සැනෙකින් පතොරොම් හතරක් සහිත රිවෝල්වරය ඉනේ සඟවාගත් මම  එළියට බැස්සේ ඒ අවසරයෙනි. මගේ ගමන බොහෝ කලබලකාරී වන්නට ඇත.

“ලොකු…. විනෝද් අංකල්ලාගේ ගෙදර යන්න ඕනේ…. එයාලගේ ගෙට ගෙවදිනවා හෙට උදේ…”

අම්මා මා සාලයේදී අල්ලා ගත්තාය. ඉනෙහි රෝවෝල්වරය ගැන අවධානයෙන් මම ජීප් රථයේ යතුර ගත්තේ කිසිවක් නොකියමිනි.

“.. .මෙන්න මේක ගෙනිහින් දෙන්න එහෙට…. කැවුම් කොකිස් ටික මැණිකේ හැදුවා… අළුවා ටික අද හවස යනකොට අරගෙන යනවා… ආ මේක ගන්න”

මේ උගුලෙන් ගැලවිල්ලක් නැති හැඩකි. එවිටම සුදම් නිවසට පැමිණියේ පාසල නිමවීමෙන් පසුවයි.

“මේ සුදම් අතේ යවන්නකෝ.. මට හදිස්සි ගමනක් තියෙනවා.”

දුරකථනය නාද වන්නට විය. සුන්දර් මා අමතයි. මම අම්මා කියන්නක් කනකට නොගෙන මිදුලට බැස්සෙමි.

මිදුලේ ඈත කෙලවකට ගිය මම වටපිට බලා කතා කලෙමි.

“කියන්න සුන්දර්… මොකද උනේ? තාත්තා ඇහුවද මගේද කියල?”

“බයවෙන්න එපා සර්…. මම කිව්වා ඉත්තෑවෝ වෙඩිතියන්න පොඩි සර් ගෙනාව කියල. වෙපන් එක ඒ උනාට ගෙනිච්ච සර්.. “

“………………….”

“මට සැකයි ඒ උනාට මොකක් හරි අවුලක් තියෙනවා… “

“ඒ කියන්නේ සුන්දර් ?”

“බංගලාවේ මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා. මම අද ආවහම දැක්කේ.”

“මිනිස්සු තුන්දෙනෙක්?? සුන්දර් දන්නේ නැති? “

“ඔව් සර්.. මම උන්ව දන්නේ නෑ “

“ඩඩාට කිව්වේ නැද්ද? කොහෙන්ද උන් ඇතුලට ආවේ? පොලිසියට කියන්න වෙයිනෙ!”

“මේකයි සර්…”

සුන්දර් අපහසුවෙන් මෙන් කතාකරන්නට විය.

“ලොකු සර් තමයි කිව්වේ උන්ව තියාගන්න කියල. ඒ උනාට සර් උන් මහා දවලුත් හරක් මස් බැදලා අරක්කු බොනවා… සර් දන්නවනේ සර් මෙහෙ ඉන්නේ හින්දු මිනිස්සුනේ… උන් දැක්කොත් සෑහෙන ප්‍රශ්නයක් වෙයි”

මගේ හිත ගැස්සී ගියේය. තාත්තාගේ අනුදැනුම ඇතිව මැරයින් යයි කියනා තිදෙනෙක් එහි හිටින බවත් ඔවුන් පැමිණ ඇත්තේ යහපත් යමකට නොවන බවත් මට වැටහෙන්නට වෙලාවක් නොගියේය. තාත්තා එවැන්නක් කරන්නට ඇත්තේ කුමන අරමුණකින්ද? මෙහි සුන්දර් විසින් මට සඟවන කොටසක් ඇති බව මට ඉව වැටුණි.

“මට තමුසේ ඇත්ත කියනවා… උන්ව තමුසේ දන්නේ නැද්ද?”

මගේ හඬ කවරදාටත් වඩා තීව්‍ර විය.

“දන්නේ නැහැ සර්”

“එහෙනම් කොහොමද ආවේ? නිකම්ම ආවා?”

“මම එනකොට මෙහෙට ඇවිත්, මුරකාරයා ගේට්ටු ඇරලා දීලා. මම දන්නෙත් නැහැ සර්”

“හ්ම්ම්… තමුසේ මට උන්ගේ පින්තුර ටිකක් අරගෙන එවනවා… මම ඩඩාට කතාකරලා බලන්න විදියක් නැහැ. වෙපන් එකේ සිද්දිය නිසා. මොකක් හරි මට නොකියපු දෙයක් තියෙනවා නම් පස්සේ හරි කියනවා… “

“……………….”

මම හඬ යම් පාලනයට නතු කලේ කෝපය මේ මොහොතේ සුන්දර් මා වෙත දක්වන විවෘතභාවයට බාධාවක් වන බැවිනි.

“උන් කියන දේවල් පොඩ්ඩක් අහගෙන  ඉන්න, බයවෙන්න එපා මගේ වැඩෙත් එක්ක සම්බන්ධයක් නැහැ… උන් එක්ක වලියට යන්න එපා, හරිද?”

දුරකථන ඇමතුම විසන්ධි වීමෙන් පසුව මම ඇනවුම් කරනලද කැබ් රථයකින් ගරාජයට ගොස්, සුදම් සිටියදී ප්‍රහාරයට ලක්වුණු ක’රීනා මෝටර් රථය සාදා ඇතිදැයි පරික්ෂා කොට, නැවත කුලී රියෙන් කලින් කතිකා කරගත් ස්ථානයට ගියෙමි.

ප්‍රධාන පාරෙන් හැරුණු අතුරු පාරක් දිගේ සෑහෙන දුරකට ගිය පසුව මුඩුව ගිය වෙල්යායකට මුහුණලා  පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අභාවයට යන ලී මෝලකි. වාහනය නවත්වා තැබීමට තිබුණු ඉඩෙහි නොයෙකුත් සුන්බුන් විසිරි තිබුණි. මම මෝටර් රථය ඉතා හොඳින් පෙනෙන තැනක නවත්වා, මම සිටිනා ඉසව්ව පිළිබඳව තාරුක අයියාට කෙටි පණිවිඩයක් ලියා යැව්වෙමි. කලින් සැලසුම් කරගත් පරිදි , මට යම් කරදරයක් වන්නට පෙරම  ඔහු මා වෙනුවෙන් එනු ඇති බව මට විශ්වාසය.

මගේ ටී කමිසයට හැඳ සිටි කාගෝ වර්ගයේ කලිසමේ යට සාක්කුව මතුපිටින් ස්පර්ශ කල මම මගේ කුඩා කිනිස්ස ඇතිදැයි තහවුරු කරගතිමි. වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත කරනවිටම ගොඩනැගිල්ලේ වම් කොනේ තිබුණු දිරාගිය ලෑලි දොර තුලින් මිනිස් හිසක් එළියට ආවේය.

ඒ මම බලාපොරොත්තු වූ මිනිසාය. අප සැලසුම් කරගත් පරිදි ඔහු මා හඳුනා ගන්නවා මිස, අපගේ පෙර සැලසුම ගැන ඉඟියක් ලබා නොදිය යුතුව තිබිණි. ඒ කවරක් උවත්, ඔහුගේ ඇස්වල බිය නොමදව තිබිණි.

මම වාහනයෙන් බැස, මුදල් ගෙවා , එයට යන්නට හැරියෙමි. වඩාත්ම සංකීර්ණ අවස්තාව උදාවී ඇත්තේ අදයි.

මම සිත තුල චකිතය තබාගෙන වුවද මම පිටතට නොපෙනෙන ලෙස හැසිරෙන බව මට යන්තමින් දැනෙන්නට වුයේ ඔහුගේ මුහුණේ මා දැකීමෙන් ඇතිවූ බිය නිසාය.

“විල්සන්….. “

මිනිසා එළියට අඩියක් තැබුවේය. මම ඔහු දෙස එක එල්ලේ බලා සිටියෙමි. ඔහු වඩාත් පුදුම වන්නට ඇත්තේ ඔහුගේ නම , මම සොයාගැනීම ගැන වන්නට ඇත.

“ඇතුලේ ඉන්න එකාට දොර ගාවින් අයින් වෙන්න කියනවා… නැතිනම් මම නරක මිනිහා කියන්න එපා… උගේ දොර පොල්ල මදි මාව බිම දාන්න”

එසේ කියමින් මම මෙතෙක් ඉනේ සඟවාගෙන සිටි රෝවෝල්වරය අතට ගෙන මගේ පපුව ඉදිරියෙන් හරස්කොට තබාගත්තෙමි. විල්සන් ; හෙවත් මධුලිකා පසුපස එදා පැමිණි දෙදෙනාගෙන් අල්ලාගත් කෙසඟ මිනිසා ඇස්ගෙඩි දොඹගෙඩි සේ නෙරාගත්වනම මා දෙස බලා සිටියේය.

ජනේලය අසල සෙවනැල්ලෙන් ක්ෂණයෙන් හඳුනාගත් රුවත්, ඒ සමඟම සෙලවුනු තිරස් රූපයත්, පොල්ලක් අතින් ගත් මිනිසකු ගැන මට ක්ෂණික ඉවක් ලබාදුන්නේය. මගේ උකුසු ඇස් කවදත් අනතුරක් හඳුනාගනී. මට නැගුනේ සෝපහාස සිනහවක් වන්නට ඇත. තත්පර තුනක පමණ නිහඬතාවය පරයා මම මගේ රිවොල්වරයේ හැමරය ඇද කෙලින්ම දොර දෙසට එල්ලකලෙමි. කෙසඟ විල්සන් බයට පත්විය.

“උඹට වෙඩි තිබ්බත් දන්නවනේ, මේ පැත්ත පලාතක කවුරුත් නැහැ කියල!”

මම රුදුරු බැල්මෙන් විල්සන් දෙස බලාගත්වනම කීවෙමි.

“වෙඩි තියන්න එපා සර්….”

විල්සන් දෑත ඔසවාගෙන ඇතුලත උන් මිනිසා දෙස බලා කන්නලව් කරන්නට විය. මගේ අනුමානය නිවැරදි නම් ඒ සිටින්නේ මට අවැසි පුද්ගලයාය. මම ඉවසීමෙන් බලා සිටියෙමි. තවත් තත්පර කිහිපයකට පසුව දොර අසලින් මිනිස් රුවක් මෑත්ව ආයේය.

ඒ කවරෙකුත් නොවේ, මධුලිකා හඹා එන , ඇයගේ ඇවැස්ස මස්සිනා ; ‘වාසුල’ ය! ඔහු අත තවමත් අඟල් දෙකේ දෙකේ තරමේ පොල්ලක් තිබිණි.

විල්සන් ; එදින මම අල්ලාගත් වාසුලගේ පණිවිඩකරු ; මා වෙනුවෙන් නොව මගේ මුදල් වෙනුවෙන් මට අවශ්‍ය දේ කරදී තිබිණ. එනම්, වාසුල කෙසේ හෝ මට මුහුණට මුහුණ මුණගස්වන ලෙසයි. ඒ සඳහා මම ඔහුට ඒ මොහොතේ ලබාදුන් රුපියල් දස දහස ප්‍රමාණවත් බව මට වැටහුනේ, ඒ මොහොතේ වඩාත්ම මුදල් කතාකරන නිසාය.  අදාළ දිනය ,වෙලාව, ස්ථානය විල්සන් සඳහන් කලේ ඒ ඔවුන් ඉඳහිට ගංජා උරන්නට එතැනට එන බව කියූ බැවිනි.

මම රිවෝල්වරය පහත දමා, නැවතත් ඉනේ ගසාගෙන ඉදිරියට අත්දෙක බැඳ ගත්තෙමි.

මධුලිකා විසින් අඳිනලද සිතුවමට ඔහු බොහෝ සමානය. ඇය කොතරම් දක්ෂ චිත්‍රශිල්පිනියක්ද? කැරලි ගැසුණු කොණ්ඩයත් , රවුම්ව ගිය දෙවුරටත් වඩා කැපී පෙනුනේ ඔහුගේ සෘජු නැහැයයි. මම ඔහු දෙසත්, ඔහු මා දෙස නොව වෙන පැත්තකටත් රවාගෙන බලා සිටියේය.

“මිස්ට වාසුල….. ! ඔබතුමාව හම්බෙනකල් තමයි මම බලාගෙන හිටියේ”

මගේ හඬේ සෝපහාසය ගැබ්වී තිබෙන්නට ඇත. වාසුල කේන්තියෙන් පුපුරා යන්නට කොතරම් ආසන්නව සිටියාද යත් ඔහුගේ මුහුණ අබ අහුරක් පුපුරන්නට තරම් ගිනියම්ව පැවතුනි. අත තිබුණු මුගුර වඩ වඩාත් තරව අල්වාගෙන සිටි ඔහු එකවරම මගේ මුහුණ බැලුවේය. මම සැහැල්ලු සිනහවක් පෑවෙමි.

“…. ගහගන්න, මරාගන්න නෙවෙයි මිස්ටර් වාසුල.. මම ආවේ කතාකරන්න”

“කතාකරන්න? උඹත් එක්ක මට කතාවක් නැහැ මිනිහෝ… කෙල්ලව දීපන්.. එච්චරයි!”

වාසුලගේ හඬ ඝර්ජනාවක් බඳුය. විල්සන් වෙව්ලන සිරුරෙන් හැකිලී යනු මම දුටිමි. මම සිටිවනම නොසෙල්වී බලා සිටියෙමි. ඉක්මනින්ම රිවොල්වරයත්, කිනිස්සත් තිබෙන ස්ථාන සිතින් නැවතත් සිහිකැඳවාගත් මම සැහැල්ලු ලෙස බලා සිටියෙමි. මගේ සිනහව ඔහු තවත් කෝපගන්වන ස්වරූපයකි.

 “මේ කියන්නේ කවුරු ගැනද? මට කියන්නකෝ දැන් මොකටද කාවද හොයන්නේ කියල?”

මගේ සැහැල්ලු කතාව ඔහුගේ කෝපය අවුලන්නක් වනවා සේය.

“ඒ මගේ නෑනා ! මගේ ලේ…. උඹට කිසි අයිතියක් නැහැ”

“හැබෑට? “

“උඹ හැප්පෙන්නේ වැරදි මිනිහා එක්ක… මට පුළුවන් උඹව මෙතනම මරලා දාන්න!”

එසැනින් නිවසේ සිට තිදෙනෙකුත්, මට ඉඳුරා පිටුපසින් ඇති ලට පට වලට මුවාවී සිටි දෙදෙනෙකුත් මතුවුහ. ඔවුන් අත හොකී පිති සහ බයිසිකල් චේන් තිබිණි. ඔවුන්ගේ සෙවනැලි යන්තමට දැක තිබුණු නිසා ඔවුන්ගේ දැක්ම මා තුල අමුතු තිගැස්මක් ඇති නොකළේය. වාසුලගේ මම විසින් අධ්‍යනය කරන ලද ගති ස්වභාවය අනුව, ඔහු තනිවම මෙලෙස නොඑන බව මම දන්නා කරුණකි.

මම වහා මුළු වටයක්ම ඇස යොදා බැලුවෙමි. ඔවුන් හැඩිදැඩිය, ගැටුමකින් දිනාගත නොහැකිය. මම නොදැමුණු බවකින් වාසුල දෙස සෘජු බැල්මක් හෙළුවෙමි.

“ගහගන්න මරාගන්න ඕනේ නම් පිරිමියෙක් වගේ මගෙත් එක්ක කෙලින්ම ගහගන්න එනවා! හෙන්චය්යෝ රොත්තක් දාලා තනි මිනිහෙක්ට ගහන්නේ!”

මම නිවුණු හඬින් කීවෙමි. වාසුල ගිනියම් ඇසින් මා දෙස බලාගත්වනම සිටියේය.

“…. මට වහෙන් ඔරෝ හරියන්නේ නැහැ මිස්ටර්. මම කැමති කෙලින් කතාවට, මගේ වැඩ කෙලින්. මගේ අතෙත් ගන් එකක් තියෙනවා. ඒක ගෙනාවේ ආරක්ෂාවට මිසක් බල්ලෝ මරන්න නෙවෙයි… වැදගත් විදියට කතාකරන්න කැමතිනම් ; අපි කතාකරලා විසඳගම්මු ප්‍රශ්නේ… එහෙම අකමැති නම්, ගහගන්න වෙන දවසක් දාගෙන ගහගම්මු”

මෙතෙක් වෙලා හැකිලී උන් විල්සන් වාසුල අසලට ලංවී යමක් කියනු පෙනුනි. වාසුල සිය අතේ තිබුණු මුගුර හරහට අල්වා වමතින් එහි අග අතෙහි රඳවා ගත්තේය. මම රිවෝල්වරයට ක්ෂණික ළඟාවීමකට හිතින් සැරසී කල්පනාකාරීව සිටියෙමි.

“කෙල්ල දීපන්.. උඹට මුකුත් කරන්නේ නැහැ අපි”

“මොන කෙල්ලද?”

“උඹ දන්නවනේ කව්ද කියල?”

මම මගේ දකුණු පය ඉදිරියට තබද්දී මා වටකොට සිටි සියල්ලෝම ක්ෂණයෙන් මා වටකොට සිටගත්තෝය. මම බියක් නොපෙන්වා එක වරක් රවුමට බැල්මක් හෙලුවෙමි.

“නෑ මම දන්නේ නැහැ”

“එතකොට උඹ දන්නේ නැද්ද උඹ ගාව ඉන්න කෙල්ල කවුද කියල??”

වාසුල උපහාසයෙන් ඇසුවේ මා දෙස කෝපයෙන් රවා බලමිනි.

“දැන් මිස්ටර් වාසුල කියන්නේ මෙතන ඉන්න මේ හයදෙනාත් දැනගන්න ඕනේ කියලද ඒ කෙල්ල කාගේ කවුද කියල?”

මගේ නිල ඇල්ලීම තිතටම ගැලපුනේය. වාසුලගේ මුහුණ බල සිටියදී කළු වී කුඩාවට හැකිලුනේය. මම ඔහුදෙස බලාගත්වනම සිටියෙමි.

මම පාවිච්චි කලේ මා සතු සියුම්ම අවියයි. මේ කිසිවෙකු මධුලිකා කවුරුන්ද කියා නොදන්නා බව මම හොඳින් තේරුම්ගෙන සිටියෙමි. ඔවුන් ඒ බව දන්නවා නම් වාසුලගේ මේ අවම ගෙවීම් සහ හෙට්ටුකිරීම් මැද නිහඬව සිටින්නේ නැත. මධුලිකා යනු බිලියන ගණනක බුදලයකි. ඇගේ කෙසේ වෙතත්, ඇගේ පියාගේ නම කියූ සැනින් ඒ බව නොදන්නා වයසේ සිටින කිසිවකුත් මේ අතර නොමැති බවට නොරහසකි.

මා වටා උන් සියලු දෙනා එකිනෙකා දෙස බලනුත්, වඩාත්ම විල්සන් කලබල වී ඇති අයුරුත් මට හොඳින් නිරීක්ෂණය විය. මම නිහඬව බලා සිටියෙමි.

“විල්සන්!…”

වාසුල විල්සන් සමඟ යමක් මන්ත්‍රණය කළේය. ඊට විනාඩියක් පසුවෙද්දී විල්සන් අනෙක් මැරයින් පස්දෙනා සමඟ එතැනින් පිටත්ව යනු පෙනුනි.

මම උන් තැනම නිසොල්මන්ව බලා සිටියෙමි. වාසුල කලබලයෙන් ඔබමොබ සක්මන් කළේය. ඔහු අත තවමත් රැඳී මුගුර නිසා මම සිටියේ සුදානම් ශරිරයෙනි. නමුත් වෙනසක් නොපෙන්වන්නට මම හැකි සැමවිටම උත්සහ කලෙමි. සතුරාගේ අවිය, අප දක්වන බිය බව මම හොඳින් තේරුම්ගෙන සිටියෙමි.

නොසන්සුන් බව යම් තරමකට පහව ගියා සේ වාසුල මුගුර බිමට තදකොට ඊට බරදී සිටගත්තේය.

“මිස්ටර් වාසුල දන්නවනේ එහෙනම් නෑනා ඉන්නේ මගේ ගාව කියල. ඇයි මට කෙලින්ම කතා නොකළේ?”

වාසුල යම් මානසික ආතතියකින් පෙලෙන බවක් පෙනුනි. එවිටම ඔහුට දුරකථන ඇමතුමක් පැමිණියද ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත.

“කෙල්ලව දීපන්. මම තමයි කෙල්ලට ඉන්න එකම නෑයා. කොන්වන්ට් එකෙන්..”

“කොන්වන්ට් එකෙන් අරගෙන ගියේ ඔයාද එහෙනම්? මිස්ටර් වාසුල ආවේ නෑනේ එයාව ගෙනියන්න? බාරකාරයා විදියට ඔබතුමාව නම් කරලද තිබ්බේ?”

වාසුල යම් පමණකට පුදුම වී මගේ දෙස බැලුවේය. ඔහුගේ දුරකථනය නැවත නාද විය. ඔහු එවර දුරකතනයට පිළිතුරු දුන්නේය.

“හලෝ? ඔව්… ඔව්….. ඔ.. ඔව්…. නෑ! එහෙම බැහැ… මට බෑ.. ඔව්… ඔව්…. කියන්න බෑ.. හරි.. කොච්චර වෙලා යයිද? ඔව්… ඔව්… නෑ”

වාසුල දුරකතනයේ සිහියෙන් මට යම් තරමකට පිටුපා රහසින් යමක් මතුළේය. අමතන්නේ කවුරුන් විය හැකිද?

ඇමතුම නිමකළ ඔහු නැවත මා දෙස බලා සිටියේය.

“මොකද්ද දැන් ප්ලෑන් එක?”

“ප්ලෑන් ? මම නෙවෙයි මිස්ටර් වාසුල මොකද්ද ප්ලෑන් කරන්නේ?”

“මට වැඩි කතා ඕනේ නැහැ… කෙල්ලව බාරදෙන්න අපිට. අපි එයාගේ නෑයෝ… මම තමයි….”

“ඔව්… ඒ ගර්ල් ගේ නැතිවුණු තාත්තගේ , මල්ලිගේ පුතා… එතකොට ආච්චි මැරුණේ මේ ළඟදී… මිස්ටර් වාසුල කොන්වන්ට් එකෙන් එයාව අරගෙන ගියා ; කොටින්ම පැහැරගෙන ගියා. කාගේ වෙලාවටද මන්ද ගර්ල් එතැනින් පැනගත්තා. ඔව්.. ඇත්ත….,  ගර්ල් ඉන්නේ මගේ ගාව තමයි… දැන් මොකක් කරන්නද හදන්නේ?”

වාසුල කලබල වූ බවක් පෙනුනි.

“…. බූදල් නඩුව අයින් කරගත්තානේ… ගර්ල්ව බැන්දොත් පුළුවන් බූදලේ අයිතිකරගන්න. එහෙම නේද?”

මම සෘජු බැල්මක් හෙලමින් කීවෙමි. වාසුල සෑහෙන කැළඹීමෙන් ඒ මේ අත ඇස යොමමින් සිටියේය.

“…. මිස්ටර් වාසුල….. මිස්ටර් ජයවර්ධන ජිවතුන් අතර හිටියොත් මේ කතාව වෙනස් වෙනවා… එහෙම නේ?”

“ඒ.. ඒ.. එහෙම වෙන්න විදියක් නැහැ.. ලොකු තාත්තා මැරිලා…”

මගේ තියුණු අස්දෙස ඔහුට බලා සිටීමට හැකියාවක් නැතුවාක් මෙන් දුර්මුඛව සිටියේය.

“විශ්වාසද?”

වාසුල පිළිතුරක් නොදී මා දෙස සැකයෙන් බලා සිටියේය.

“…. මිස්ටර් වාසුල… මාව ෆලෝ කරන්න, ඔත්තු බලන්න වෙහෙසවෙන්න එපා. මොකද ඔයත් දන්නවා ඇතිනේ ඒ ගර්ල්ට දැන් වයස දහඅට පැනලා. තවදුරටත් කාගේවත් බාරයේ ඉන්න ඕනෙත් නැහැ. මේ වෙනකොට පොලිසියට ඉව වැටිලා තියෙන්නේ ඔයාගේ මේ හැංගි මුත්තම….”

වාසුල කිසිවක් නොකියේය. මොවුන් කණ්ඩායම පොලිසියට අතිශය බියක් දක්වන බව වැටහීම මම ප්‍රයෝජනයට ගත්තෙමි.

ඈතින් වාහනයක් අප කරා එන හඬක් ඇසුනි. වාසුල කලබල නොවුයෙන් ඔහු දැනුවත්ව කවුරුන්හෝ එන බවක් මට වැටහුණි. මම වහා මනස මා සතු ආයුධ වලට යොමුකලමි.

“තමුසෙට මේකට මැදිහත්වෙන්න ඕනෙකම මොකද්ද? තමුසේ කවුද? කාගේ කවුද?”

එවිටම අංක තහඩු ඉවත්කළ පැරණි මොඩලයේ ලාන්සර් රථයක් වංගුවෙන් මතුවිය. මට සිනහවක් නැගුණි. වාසුල කලබල විය.

ඒ ඔහුගේ නොවේ, මගේ මිත්‍රයාය ; තාරුක අයියාය.

“කවුරු උනත්, මම ඒ ගර්ල්ව දෙන්නේ නැහැ. “

“……………………..”

“මාව අවතක්සේරු කරලා හිතන්න එපා. මිස්ටර්ගේ මැරයෝ මගේ පස්සෙන් එවන්නත් එපා. මම මිනීමරන්න කැමති නැහැ. බැරුවට නෙවෙයි ; කැමති නැහැ”

මම රිවෝල්වරය එකවරම ඉවතට ගෙන අහසට වරක් වෙඩි තැබුවෙමි. අතහැර දැමුණු වෙල්යාය සිසාරා දෙදුරුම් කෑ වෙඩි හඬට බියෙන් කුරුල්ලන් රෑනක් හඬගා අහසට පැන පියඹා යනු මට පෙනුනි. පළමු වෙඩි හඬ වාතලය දෙදුරුම් කවන අතරේ, ඒ ආවේගයෙන්ම මා අතින් දෙවැනි වරටත් රිවෝල්වරය ක්‍රියාත්මක වුයේය. දෙවන වෙඩිහඬ සමඟම වාසුල සෑහෙන තැති ගත් බවක් පෙනුනි. තාරුක අයියා ඒ වනවිට වාහනය ‘යූ’ වංගුවකින් හරවා මගේ දෙපා අසල නතර කර අවසානය.

ක්ෂණයෙන් එයට ගොඩවූ මම රැගෙන තාරුක අයියා විදුලි වේගයෙන් එතනින් පිටත් වී ගියේය. කිසිවක් සිතාගත නොහැකිව වාසුල අප දෙස බලාගෙන සිටිනු  පැති කණ්නාඩියකින් මට පෙනුනි.

***************************************

තාත්තා, දුලිප් මාරසිංග සහ මධුලිකා සම්බන්ධව දැනගත් සියල්ල පවසා අවසානයේ මම නළල අල්ලා, හිස ඒ මේ අත හැරෙව්වෙමි.

“මගේ ඔලුව අවුල් වෙලා මචං..”

තාරුක අයියා මදක් මා දෙස බලා සිටියේ කුමක් කියන්නටද කියා සිතමින් නොවේ. ඔහුට කියන්නට යමක් තිබිණි.

“මචං…. මම මේ ජයවර්ධන සීන් එක ටිකක් ස්ටඩි කළා…. “

“………………..?”

“මිනිහගේ පොලිටිකල් බැක්ග්‍රවුඩ් එකක් තියෙනවා…”

මම හිස් ඔසවා තාරුක අයියා දෙස බැලුවෙමි. මම තාත්තා මෙම ප්‍රේහෙලිකාවට ගෑවීම ගැන කම්පනයට පත්ව සිටිමි. ඒ , තාත්තා හා සටන් කිරීම කිසිසේත් සෙල්ලමක් නොවන නිසාය. තාත්තා ඉතා සියුම් මෙහෙයුම්කරුවෙකි. සත්‍ය වශයෙන්ම මම තාත්තාට බිය වෙමි. කෙටියෙන් පැවසුවොත් ඔවුන් මධුලිකා සොයනවා යනු, මේ කතාවේ මගේ පරාජය නියතයක් බවයි.

“මොනාද හොයාගත්තේ?”

“සංජිවී කියන්නේ මිස්ටර් ජයවර්ධනගේ පාවිච්චි කරපු නම නෙවෙයි. ‘ඩේමියන් සංජිවී ජයවර්ධන’ , ඩේමියන් කියන කොටස පස්සේ අයින් කරලා. “

තාරුක අයියා වාහනයෙන් බැස සිය කාර්යාලයට ඇවිද යද්දී, මම ඔහු පසුපසින් වැටුනෙමි.

“ඒකෙ මොකක්ද ඉතින් අමුත්ත? උඹ කියන්නේ නම වෙනස් කරලා කියලද? ආ… ඔව්.. උප්පැන්න සහතිකේ තිබ්බා තමයි ඩේමියන් කියන කොටසත්. ඉතින් ඒක අයින් කරලා නෑනේ..”

ඔහු කුඩා සෝපාවේ පසෙකින් හිඳගත්තේය. මම ඉනේ තිබුණු රෝවෝල්වරය ෆිල්ටරය පසුපස තබා, වතුර කෝප්පයක් පුරවා ගතිමි.

“මෙහෙමයි වැඩේ…. ඒ කාලේ තිබ්බ තත්වය අනුව පොලිටික්ස් කරන්න සිංහල බෞද්ධකම විතරක් මදි… ඒකට හොඳ නමක් ඕනේ කළා… සංජිවී කියන්නේ සිංහල නමක්. ඉතින් මිනිහා මිනිහාගේ ව්‍යාපාර වල ඔක්කොම යොදාගත්තේ සංජිවී කියන නම. අපේ පොලිටිකල් අයියලාට ඕක ඉව වැටෙනවා…”

මම සිතන්නට වීමි.

“… ලංකාවේ ඉකොනොමි එකට මොකක් හරි වෙනවය කියලට වඩා, උන්ට ඔය වගේ තර්ජනයක් ඉව වැටෙනවා බොහොම ඉක්මනින්….”

“හ්ම්ම්…?”

මම වතුර කෝප්පය හිස්කොට ඔහු අසල අනෙක් පුටුවට බර උනෙමි.

“අපේ පොලිටික්කෝ ඉන්නත් පුළුවන් ඒ මනුස්සයා අතුරුදහන් උන එක පිටිපස්සේ”

“උඹ කියන්නේ දුලිප් සතරසිංහ?..”

“නෑ… “

“එහෙනම්?”

මම ලොකු ප්‍රේහෙලිකාවකට මැදිව තාරුක අයියා දෙස බැලුවෙමි.

“දුලිප්ගේ තාත්තා… කොල්වින් සතරසිංහ…! ආරංචියේ හැටියට ජයවර්ධන චන්දෙ ඉල්ලන්න හිටියේ ඒ පාටි එකෙන්… දුලිප්ට, ජයවර්ධන එක්ක හැප්පෙන්න විදියක් නැහැ.. සල්ලි ගත්තත්, බලය ගත්තත්, මිනිස්සුන්ගේ කැමැත්ත ගත්තත් දුලිප් ගොඩක් පිටිපස්සෙන් හිටියේ.. එකම දේ තිබ්බ නමත් මිනිහා හදාගත්තා. කොල්වින්ට මිනිහාව කපන්න බෑ පුතාව ඉස්සරහට ගන්න, මොකද පාටි එකේ උනුත් ජයවර්ධනට කැමතියි… ඔක්කොටමත් වඩා මිනිස්සු ජයවර්ධනට කැමතියි…ජයවර්ධන ඉල්ලන පාටියක් අනිවාර්යයෙන් උඩින්ම දිනන බව හමෝක දැනගෙන හිටියා… “

“උඹ කියන්නේ කොල්වින් සතරසිංහ මිස්ටර් ජයවර්ධනව මැරුවා කියලද?”

මම බියට පත්වී ඇසුවෙමි.

“නෑ මම එහෙම හිතන්නේ නැහැ.. නමුත් එහෙම සාධාරණ සැකයක් තිබ්බා. කොල්වින් කියන්නේ ලෝකේ කාලා වතුර බීපු මිනිහෙක්. මිනිහා වැඩක් කරන්නේ ආයේ මාක්ස් ඉතුරුවෙන්න නෙවෙයි. ඒ නිසයි සැක.. මොකද ජයවර්ධන අතුරුදහන් වෙලා සතියකින් තමයි ටිකට් එක ලැබිලා තියෙන්නේ දුලිප්ට. ඒ නඩුව උනත් පොලිටිකට් අජෙන්ඩා එකක් කියලයි හැමෝම කියන්නේ..”

මම කල්පනාවට වැටුනෙමි.

“එතකොට අපේ ඩඩා කොහොමද ඒකට සම්බන්ධ?”

“ඒක නම් හොයන්න ඕනේ… අංකල් මේ කිසි දෙයක් දන්නේ නැතුව දුලිප් සතරසිංහට උදව් කරනවා වෙන්නත් පුළුවන්..”

“උඹ කවද්ද මේ ගැන දැනගත්තේ?”

“ඊයේ හවස… උඹ අද මේ වැඩේ ඉවර වෙච්ච ගමන් කොහොමත් මේ ගැන කතාකරන්න හිටියේ. අංකල් මේකට ගෑවිච්ච එක නම් පොඩ්ඩක් විතර කේස් තමයි”

“කොහොමද හොයාගත්තේ?”

තාරුක අයියා සැහැල්ලුවට සිනාසෙයි.

“ලංකාවේ ඇතුලේ ගොඩක් ඇත්ත කියන්නේ ඕපාදුප හැටියට.. කතන්දර… සුරංගනා කතා වගේ පෙනුනට ඒවා ගොඩක් ඇත්ත. ඇත්ත වගේ පෙනෙන දේවල් ගොඩක් සුරංගනා කතා. නඩු හැටියට තියෙන්නේ ඔක්කොම හදපු කතා.. ඇත්ත කතා මිනිස්සුන්ට මදි. අපේ ෆීල්ඩ් එකේ ඕක ඊටත් වැඩියි… ෆීල්ඩ් එකේ පරණ ලෝයර්ස්ලා දුසිමක් එක්ක ගිය සතියේ වැඩක් වැටුනා. උන් සෑහෙන උදව් කළා හොයාගන්න. තව හොයමු!”

“මචන් වාකිෂ්ඨ හොයාගත්තා නම්…”

“ඔව්.. පොටක් පාදගන්න ඕනී ඒකට… “

තාරුක අයියා නැගිට ගොස් සිය කාර්යාල මේසයේ ලාච්චුවක් විවෘත කළේය.

“…. ඒ මොකක් උනත් උඹ ඔය වෙපන් එක පාවිච්චි කරන්න එපා.. මෙහෙ තියලා පලයන්”

මම තාරුක අයියා දෙස බැලුවෙමි.

“මට මධුලිකාට ආරක්ෂාවක් ඕනේ…”

“ඒක නෙවෙයි…. උඹේ අර යාලුවා කෝ?”

මම එකවරම කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව තාරුක අයියා දෙස මෝඩයෙකු සේ බලා සිටියෙමි. ඔහුගේ මුහුණේ සෝපහාස යයි සැලකිය හැකි සිනහවක් රැඳී තිබිණි.

“පොඩි අවුලක් අයියා…”

තාරුක අයියා දෑතම ඉදිරියට බැඳගෙන මා දෙස බලා සිටියේය.

“….. ඌ කෙල්ලට කැමතියි”

තත්පර කිහිපයක් මා දෙස නිසොල්මනේ බලා හුන් තාරුක අයියා මහා හඬින් සිනාසුනේය.

“මට හිනාවෙන්න එපා බං.. මම හෙන අවුලෙන් ඉන්නේ”

අනතුරුව වරදක් කල අයෙකු සේ ඔහු මා වෙත දුව ආවේය. සැබෑවටම මගේ ඇස්වල අග තෙමි තිබිණ.

“සමාවෙයන් මචං.. මම එහෙම හිතල නෙවෙයි හිනා උනේ”

“හ්ම්ම්.. අවුලක් නැහැ… “

“ඇත්තටම මොකද්ද උනේ? උඹේ කෙල්ලට ඌ කැමතිය කියන්නේ? ඒ මොන කුනුහරපයක්ද බන් ඒ?”

තාරුක අයියා මා අසලම සිටගෙන මගේ පිටට අත තබාගෙන සිටී. ඔහුට කුමක් කියන්නද , කෙසේ කියන්නද කියා මට වැටහෙන්නේ නැත.

“මේකයි සීන් එක… කෙල්ල හදිස්සියේ මාව බැන්දේ ඒකිට ආරක්ෂාවක් ඕනේ නිසා.. ලව් ඉලව්වක් හින්ද නෙවෙයි… වෙන්න ඕනේ…. “

මගේ උගුර සිරවීගෙන ආවේය.

“…. අනිත් එක.. ඒ කෙල්ල චුට්ටක් මම ගැනත් ටිකක් ටිකක් දන්නවා මම හිතන්නේ… ඉතින්… මේ… “

මම තටමන්නට වීමි.

“හ්ම්ම්.. මට තේරෙනවා…. ගෑනු හිත වෙනස්වෙන්න යන්නේ තත්පරයයි… හොඳට හෝ නරකට…. “

තාරුක අයියා මගේ පිටට තට්ටුවක් දැම්මේය.

“උඹ මොකද්ද එහෙනම් කෙල්ල එක්ක කරන්න හදන්නේ? වෙස්සන්තරද උඹ?”

“දන්නේ නැහැ මචං..”

“කෙල්ල?”

“දන්නේ නැහැ මචං…”

“ඒ කියන්නේ උඹේ දන්නේ නැද්ද කෙල්ල කැමති කාටද කියල?”

මම පිළිතුරක් නොදුන්නෙමි. එය පවසන්නට තරම් මා සතුව කාරනා තිබේද? ඇගේ උපන්දිනය දා ඈ මට පැවසුවේ ඇයත් විරංගත් අතර එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් ඈ එලෙස මට නැවත නොපැවසුවාය. තාරුක අයියා සේම, ලිඛිත විවාහයක් මිස ඇයට මා කෙරෙහි ආකර්ෂණයක් නැතුවා වන්නට ඇත. එසේ නම් ඈ මා වෙත ඔතරම් යුතුකම් කරන්නේ?

“…. තොපි දෙන්නා සෙක්ස් කළේවත් නැද්ද?”

“……………”

මම බිම බලාගත්වනම සිටියෙමි. තාරුක අයියා එවර නැවතත් ‘බක බක’ ගාමින් සිනාසෙන්නට විය. මට ලැජ්ජාවක් ඉතිරිව ඇතිවාද?

“…………. උඹව නම් විස්වාස කරන්නත් බෑ… මට හිනා යනවා බන්.. වෙන උන්ට ඔක්කොම කරනවා කසාද බැඳගන්න බැරුව… උඹල දෙන්න කසාදත් බැඳලා… ආ.. කකුල කැඩිලා තිබ්බනේ කෙල්ලගේ… උඹට ඉතින් ඕක අවුලක් උනා නෙවෙයිනේ…”

මට සිනහවක් නැගුණි.

“නිකන් ඉඳපන් යකෝ විකාර කියවන්නේ නැතුව”

මම නැගිට ගොස් ෆිල්ටරය පිටුපස තැබූ රිවෝල්වරය අතටගෙන එය දෙස බැල්මක් හෙලුවෙමි.

“උඹේ යාළුවා උඹට ගේමක් දෙනවා එහෙම නෙවෙයි නේ?”

“නෑ බන්.. මම එහෙම හිතන්නේ නැහැ.. ඌ මගේ අටේ පන්තියේ ඉඳන් යාළුවා…”

තාරුක අයියා මදක් නිහඩ වුයෙන් මට ඔහුගේ මුහුණ ඉබේම බැලුණි. ඔහු කල්පනාකාරිය.

“උඹ කිව්වද කෙල්ල කාගේ කවුද කියලා ඌ එක්ක?”

“හ්ම්ම්… මම හිතන්නේ නැහැ”

“ඌ දන්නවා වෙන්න බැරිද?”

“හ්ම්ම්…. මම නම් කිව්වේ නැහැ… නමුත් දන්නවා වෙන්නත් පුළුවන්.. මධුලිකා කිව්වා වෙන්න පුළුවන්. ඌ මධුලිකා එක්ක හොඳයි”

මම වේදනාවෙන් අවසාන කොටස පැවසුවෙමි.

“ඌ උඹේ හොඳම යාලුවාද?”

“ඔව්… මධුලිකා බේරගන්න තැන ඉඳලා මෙතෙක් මගෙත් එක්ක ඌ හිටියා.. ඌ නිතරම කිව්වා මධුලිකාට නරකක් කරන්න එපා කියලා.. ඌ හිතාගෙන ඉන්නේ මම මධුලිකාව මිස්යුස් කරයි කියලා. ඒ හින්දා අපි දෙන්නා අතරේ පොඩි පොඩි කතා ඇතිවුනා.. ඒ උනාට ඌ..”

මම අතොරක් නැතිව කියවාගෙන ගොස් නතර වුනෙමි. මගේ සිතේ ඇති වේදනාව හෝ පීඩනය පිටකරන්නට අයෙකු නැත. තාරුක අයියා මට විස්වාස මුත් ඔහු කෙරෙහි මට ඇත්තේ සම වයසේ අයෙකුගේ නිදහස් බැඳීමක් නොවන නිසා සිතැඟි පවසන්නට එය බාධාවක් වන්නට ඇත.

“හ්ම්ම්..”

මම ඔහුගේ කුඩා නානකාමරයට ගොස් මුහුණ සෝදා ගත්තේ නෙත් වල කඳුළු වසන් කරන්නට මෙනි. නැවත මම එනවිටදී තාරුක අයියා සිය මේසය මත දිගහැරිනලද ලිපිගොනුවක් පිරික්සමින් උන්නේය.

“අපේ ඊළඟ ප්ලෑන් එකට කලින් මේ ඩඩාගේ සීන් එක මොකක් හරි කරගන්න ඕනේ..”

තාරුක පිරික්සමින් උන් ලිපිගොනුවේ ඇලී ගැලී උන් බැවින් මගේ වචන එතරම් ගණනක් නොවිය.

“තීක්ෂණ….. මධුලිකා කියන්නේ බිලියන ගණනක ඩිල් එකක්… ඒක මතක තියාගෙන වැඩකරපන්. මම දන්නවා උඹට සල්ලි වැදගත් නැහැ කියලා. මතක තියාගනින් උඹ ඇරෙන්න වටේ ඉන්න ඔක්කොම මධුලිකාට නෙවෙයි, ඒකිගේ සල්ලි වලටයි නහින්නේ කියල. උඹේ යාළුවාත් එතනද කියන්න මම දන්නේ නැහැ”

මගේ හිස ගලක වැදුනාක් මෙන් සෙලවී ගියේය. මගේ විශ්මය තාරුක අයියා නිරීක්ෂණය කරන්නට ඇත.

“… අවුරුදු ගානක එක්පිරියන්ස් එකෙන් කියන්නේ. එකට කාපු උන් විතරක් නෙවෙයි , සහෝදරයොත් අනික්පැත්ත ගහනවා සල්ලි වලට. නිකන් සල්ලි නෙවෙයි, බිලියන ගානක සල්ලි වලට…”

මම නිරුත්තර වීමි.

“.. නිකන් හිතපන් ඩිරෙක්ටර් බෝඩ් එකකින් දුවන, කිසි අවුලක් නැති බිලියන් ගානක බිස්නස් වලින් නිකන්ම උඹේ අතට සල්ලි ගලන්න ගන්නවා මෙහෙම මෙහෙම කරනකොට… කවුද අකමැති? ජයවර්ධන ඒවා ඔක්කොම සැලසුම් කරලා තිබ්බේ මිනිහා පොලිටික්ස් වලට එන්න කලින්. ඒවාට ඕනේ ක්‍රමවේද ඔක්කොම හදලා, නීති හදලා තිබ්බේ. ඒකයි ඒ මිනිහාගේ සහෝදරයාට ඒක හයිජැක් කරන්න බැරි උනේ… වාකිෂ්ඨ කියන්නේ ඒ වගේ සුපිරි වැඩකාරයෙක්.”

තාරුක අයියා ලිපිගොනුවෙන් ගත එක එක ලියකියවිලි වෙන වෙනම මේසය මත තබද්දී මම ඒ දෙස බලා සිටියෙමි. එහි තිබුනේ මෙම සිද්ධි සම්බන්ධයෙන් ඔහු එකතුකරගත් තොරතුරුය. ඒ අතර පුවත්පත් ලිපි සහ ජායාරුපද විය. ජයවර්ධන මහතාගේ කළු සහ සුදු ජායාරුපයක් ඒ අතර විය. මම එය අතට ගතිමි.

මනාව පීරන ලද හිසකේ සහිතව ඉතා පිළිවෙල ඇඳුමකින් යුතු ඔහු චීන කොලරය සහිත යුරෝපිය ඇඳුමකින් සැරසී සිටියේය. ඔහුගේ ඇස් හරියටම මධුලිකාගේ මෙන් තීව්‍රය. නැහැය කැපිපෙනෙන ලස්සනකින් යුතුය. මධුලිකාට ඇත්තේ එවන් තියුණු පෙනුමකි. ඈ තුල ඇති ඒ ලාලිත්‍ය ඇගේ මවගෙන් ලද්දක් විය යුතුය. පුද්ගලයෙකු ඇද – බැඳ ගන්නා මනා පෙනුමක් සංජිවී  ජයවර්ධන සතු බව අමුතුවෙන් කිවයුතු නැත. දුලිප් සතරසිංග ඔහු අභිමුව කුඩා බළල් පැටියෙකු සේ මට දිස්වෙන්නේ ඔහු තුල ඇති ගෞරවය නිසාද?

“ඩඩා මිස්ටර් ජයවර්ධනව සෑහෙන්න ගරුකරන කෙනෙක්… එයා සල්ලි වලට මොනවත් කරයි කියලා හිතන්න බැහැ”

“එහෙනම් සමහර වෙලාවට දුලිප් සතරසිංහට උදව් කරනවා වෙන්න ඇති. දෙන්නා යාළුවොනේ”

තාරුක අයියා සියල්ල ගැන දැනුවත් බව පෙන්නුම් කිරීම මට සහනයක් සහ අසහනයක් විය. සහනය නම්, මට වඩාත් ඔහු උපකාරී වනු ඇති බැවිනි. අසහනය නම්, මගේ සිතැඟි කියවන්නට ඔහුට එලෙසින්ම හැකිවනු බව සිතීමය. මම ඇතුලතින් මෙතරම් දුර්වලව කිසිවිටෙක සිට නැති බැවින් මා තුල ඇති අධිමානය එයට හරස් කපනවා විය හැකිය.

“ඩඩා එක්ක ලේසි නැහැ මචෝ… උඹ දන්නවනේ… “

“ඔව්… අංකල්ට ඉව වැටුනොත් ගොඩක් දේවල් වෙනස් වෙයි. “

“කොටින්ම කියනවා නම් එයාලගේ ටාගට් එක තියෙන්නේ එයාලගේ අතේ දුරෙන්.. මධුලිකා ඉන්නේ ෆ්ලැට් එකේ… ඒ මදිවට දුලිප් දීපු ෆ්ලැට් එකේ… උන් නිකමට හරි ආවොත් ඔක්කොම ඉවරයි”

“අපි ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ මචං…”

තාරුක අයියා මා දෙස බලද්දී මගේ සිතට ධෛර්යයක් කාන්දු වීගෙන ආවේය. අනතුරුව අප දෙදෙනා මන්ත්‍රණය ආරම්භ කළෙමු.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: