Menu Close

ලංකාවේ පලමු වෘත්තීය නර්තනවෙදිනිය – වජිරා චිත්‍රසේන

ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුල කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුනේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපට වල කාන්තාවන්ගේ චරිත වලට පණ පෙව්වේ පිරිමින් ය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විටයි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හදුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවේ. හතලිහ දශකය මද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගත්තා. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මුලික අඩිතාලම් දමමින් වර්තමානයේදී ද දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කරමින් පවතියි. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය නමින් ‘වජිරා චිත්‍රසේන’ යි.
වජිරා චිත්‍රසේන

කුඩා කල

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දිනයි.පියා කළුතර නගර සභාවේ සේවය කල අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියකි. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා කලදී ම මියගියේ ඇදුම රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් වජිරා අධ්‍යාපනය ලත් අතර ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආශාව තිබුනේ ඇයට වඩා ඇගේ මවටයි.

චිත්‍රසේන හමුවීම

වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේන ව හමුවීම තුලින්. වජිරා කුඩා අවධියේදී තරුණ චිත්‍රසේන, කළුතර නගර සභාවේ නගර ශාලාවේ ‘විධුර’ නාටකය රග දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කල අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍යයන් බැලීමට පැමිණ ඇති අතර සමහර දවස් වලට එම නාට්‍යයන් රග දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරයන් සදහා වජිරාගේ නිවසට ද පැමිණ තිබෙනවා. මෙසේ චිත්‍රසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම ද වජිරාගේ නිවසට පැමිණ තිබෙනවා. මෙකල වජිරා ඉතා කුඩා වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධියයි. එකල චිත්‍රසේනයන්ගේ සහයක ශිල්පිනිය ලෙස කටයුතු කලේ මම ඉහතදී සදහන් කල චන්ද්‍රලේඛා ය. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට යන්නේ මෙම අවධියේ සිටයි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනයන්ගේ නිවසේයි. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වෙයි. එවිට යට වයස අවු. 18 කි.
වජිරා චිත්‍රසේන, අයිරාංගනී සේරසිංහ සහ නන්දා මලිනී 

චිත්‍රසේන කලායතනය පිහිටුවීම

1943 දි ලංකාව පුරා විසිරී සිටි දක්ෂ නර්තන ශිල්පියන් සහ බෙර වාදකයන් එකතු කර ගනිමින් චිත්‍රසේන නාට්‍ය සංසදය ඇරඹුණි. 1944 දි මෙය තවත් දියුණු වූ අතර එහි ප්‍රතිපලය වුයේ කොල්ලුපිටිය චිත්‍රසේන කලායතනය බිහි වීමයි. මෙම කලායතනය තුල නර්තන කලාව පමණක් නොව ඊට සම්බන්ධ අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් විද්වත් කතිකාවත් ගොඩනැගුණි. ඒ සදහා සම්බන්ධ වූ ය අතර සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල සහ සෝමබන්ධු විද්‍යාපති (චිත්‍රසේනයන්ගේ පළමු නැටුම් ශිෂ්‍යයා) ආදීන් විශේෂ වේ.

කලා ජීවිතය

වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ ‘විධුර’ නාට්‍ය තුලිනි. ඇය එහි නාග කන්‍යාවකට රගපා තිබේ. විධුර නාට්‍යය සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසිනි. එකල ‘පැජන්ට් ඔෆ් ලංකා’ යන නමින් තිබු සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කළේය. ඒ ‘විජය සහ කුවේණි’ සහ ‘රාවණා හා සීතා’ ය. ඇය රවණා හා සිතා නාට්‍යයේ මුවෙකුට පනපොවා තිබේ. වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ ‘කුමුදුනි’ මුද්‍රා නාට්‍ය මගිනි. එය නිර්මාණය වුයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය යි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බදු වූ ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කරයි. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කල හපනා ,ගිනි හොරා ,වන මල් සහ ඇන්ටිගනි යන කලාකෘති වලට නිර්මාණය කල රංග වින්‍යාසයන් තුලින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වේ. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි.  චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග  1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේදී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදුනාය. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව ,පෝලන්තය , නැගෙනහිර ජර්මනිය ,ප්‍රංශය ,ඕලන්දය ,ස්විට්සර්ලන්තය ,සිංගප්පූරුව ඇතුළු රටවල් වලට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහලින් තැබීමට කටයුතු කලෝය.


ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවෙදිනිය වෙමින් කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවෙදිනියන්ට තම කුසලතා පෙන්වීමට මගක් සකස් කිරීමේ මුලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අය කලාවට දායාද කල අතර සිය ගණනක් කළා ගුරුන් හා ගුරුවරියන් බිහි කර හා බිහි කරමින් පවතියි. චිත්‍රසේන කලායතනය තුලින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තැබමින් කල සේවය ඉතා ප්‍රශංසනීයයි.  

මුලාශ්‍රයයන්:
1)චිත්‍රසේන – e-thaksalawa.moe.gov.lk
2)චිත්‍රසේන – apekattiya.wordpress.com
3)අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා, චිත්‍රසේනයි මමයි නැටුවා – slbcsns.blogspot.com
4)ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා – සිළුමිණ පුවත්පත
5)අපි කනබොන තැන්වල නටන්නේ නෑ – slbcsns.blogspot.com
6)ලාංකේය නර්තන වේදිකාවේ පුරෝගාමී නර්තන කලාකාරිනිය – srilankantheatre.blogspot.com
%d bloggers like this: