Menu Close

217. සුහදිනියේ – 20 | අනපේක්ෂිත දෙයක්! තීක්ෂණ කුමක් කරයිද?

කලින් කොටසට 

පෙරදිනයේ කරන ලද වික්‍රමාන්විතය අවසානයේ සුදම් වෙත රඳවා තබා සිටි චාපා, පසුවදා සුදම් පාසලට හැරලවන අතරමගදී, නිවසට ඇරලවන්නට හැකිවිය. ඒ සඳහා සෑහෙන කල්පනාවෙන් වැඩකටයුතු කලයුතු විය.

අම්මාට චාපා අඳුකොළ වී ඇති සෙයකි. නිවසේ විසල් බව නිසා කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් ගමන් කිරීමේ ක්‍රියාවලිය මම ඉගෙනුම් චර්යාවක් ලෙස කුඩා කල සිටම ප්‍රගුණ කර තිබීම සැම අතින්ම ප්‍රයෝජනවත් වුයේය. මුළුතැන්ගෙය දෙසට ගොස් ඔත්තු බලා ලත් අවසරයෙන් චාපා ජීප් රථයට නංවා ගන්නට හැකිවිය. චාපා සමඟ තනිවීමට මට අවැසි නොවුණු බැවින් මම සුදම් පාසලට ඇරලුවේ ඇය නිවසට දැමීමෙන් පසුවය.

“මොනාද ගෑනි ඊයේ කිව්වේ?”

චාපා බිමට බැස දොර වසා, පුම්බාගෙන ගිය පසු මම සුදම්ගෙන් ඇසුවේ වාහනය හසුරවන ගමන්, සැහැල්ලුවෙන් මෙනි. සුදම් එකවරම පිළිතුරක් නොදුන් බව නම් මතකය.

“…. මට බැන්නද? අවුලක් නැහැ… වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැනේ”

“උඹ චාපාට ‘චීට්’ කරනවද?”

මට සිනහවක් නැගුනා මතකය.

“ඒක කැෂුවල් රිලෙෂන්ශිප් එකක්.. චාපා සීරියස් අරගෙන. ටික දවසකින් හරියයි..”

සුදම් ඉන්පසු කිසිවක් නොකී බවත් , අප දෙදෙනා දෙදෙනාගේ පුද්ගලික ලෝක වල දොඩමළුව සිටි බවත් මතකයට නැගුනේ , ඉන්පසුව අප අතර සිදුවූ කිසිවක් මතකයට නගාගත නොහැකි බැවිනි. ඇත්ත වශයෙන්ම මම සිටියේ මධුලිකා ගැන සිතමිනි.

නැවත නිවසට පැමිණ ලබාගත් නින්දෙන් පසුව මම යථා තත්වයට පත්වුයෙන් සහ හදිසි ඉවකින් මෙන් විරංග සොයා ගියෙමි.

මේ සියල්ල උඩු යටිකුරු වුයේ ඒ ගමනින් පසුවය.

බීර වීදුරුව පෙන දමමින් මේසය මත සිට දසන් දක්වා සිනාසේ. ඒ සමඟම මුළු ලෝකයම සිනාසෙන බවක් මට දැනේ. අවටින් එන කොක් හඬලා සිනාසිම් වළකන්නට මම දෝතින්ම දෙසවන් වසාගතිමි.

වසාගත් සවන් තුලින් නැගෙන ‘ෂෝ’ හඬ මොහොතක් පැවත මැකියත්ම , නැවතත් සිනාවක් ඇසෙන්නට විය. පරාජිතව මම දෑත් මේසය මතට අත හැරියෙමි.

අවන්හලේ කළුවර මේසය හරහා යන තෙතබරිත මුහුදු සුළඟ ; බීර මත තුනී කරමින් මගේ සිත තවත් ගිලන් කරනවා වැනිය.

ජංගම දුරකථනය නැවතත් නාදවනු ඇසේ. ඇස් කොනින් ඒ මධුලිකා බව දැනගත්තද පිළිතුරු සපයන්නට හිතක් පහල නොවේ. මේ අධිකතර කම්පනය ; ශෝකය ; කෝපය යයි වෙන්කර හඳුනාගත නොහැකි තරමකි. ඇගෙන් ලද පිළිතුරු නොදුන් , තිස් දෙවැනි ඇමතුම ලෙස සටහන් කරමින් දුරකථනය නිහඬ විය.

ඇය මා ගැන වදවෙනවාද? නැතිනම් ඇගේ ආරක්ෂාව ගැන වද වෙනවාද?
ඇය සොයන්නේ මාවද? නැතිනම් මා සමඟ නිවසින් පිටව ආ විරංගව ද?

ඒ කුමක් උවත්, මේ මහා රාත්‍රියේ මට සිදුවුයේ කුමක්දැයි ඇය විපිළිසර වනවා කියා මගේ සිත මොරදෙන්නට පටන්ගත්තේය.

‘මම හොඳින්. ඔයා නිදාගන්න’

ඉතාම කෙටියෙන් , කෙටි පණිවිඩයක් ලියා යවා නැවතත් බීර උගුරක් බී , කකියන හිස මත මගේ වම් අල්ල තබාගනිමින් ; අවන්හලේ සෝපාවේ හේත්තු වුයෙමි.

අවන්හලේ සේවකයා මම ඇනවුම් කරනලද ජින් බෝතලය පිළිගන්වමින් , එය මේසය මත සකස් කරමින් සිටී. සියල්ල දියකර හැරීමට මට අවශ්‍යව ඇත. නමුදු වේලුනු හිතක ඇලුණු කොහොල්ලා තලියක් මෙන්, වෙන් කරන්නට උත්සහ කරන හැමවිටම අදිසි හස්තයකින් එන ඇලීමක් මා අසරණ කරයි.

මෙවන් අසරණ කමක් කවරදාවත් මට දැනී නැත.

මධුලිකා නිසා මම අගතියට පත්වූ බවක් කිසිම විටෙක මට සිතී නැතිවීම අරුමයකි. ගැහැණු ළමයින් යනු මගේ ජීවිතය අඩුවෙන්ම පාලනය කල සත්ව වර්ගයයි. වරින් වර, නොයෙකුත් ආකාරයෙන් තරුණියන් හා පැවති සබඳතා කෙසේ වුවද, වසරක් පමණ වන මගෙත් චාපාගේත් සබඳතාවයේදී හෝ ඔවුන් කිසිවෙකු කෙරෙහි සංවේදීව ක්‍රියාකිරීමක් තියා ඔවුන්ගේ කඳුළු හෝ මගේ සිත උණුකරවන්නට සමත් වී තිබුනේ නැත. මට සිහි කැඳවිය හැකි පරිදි එක් සබඳතාවයක් එක පැයකින් නතරවන්නට තුඩුදුන්නේ ඇය ඇගේ යෙහෙළියකට මා පෙන්වීම වැනි කාරණයකි.

නමුදු මධුලිකා කෙරෙහි මෙවන් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කුමක් බලාපොරොත්තුවෙන්දැයි ඇසුවහොත්, එය හුදෙක් ඇය යහනට ගන්නාතුරු බවක් පැවසීමට මට හැකියාවක් ඇතිද?

මේ මොහොත වනවිටදී තවත් උගතෝකෝටික ගැටළුවකට මට මුහුණ දීමට සිදුව ඇත. මිට හෝරාවට පමණ පෙර මමත් විරංගත්  අතර ඇතිවූ ඒ තීරණාත්මක කතාබහෙන් පසුව, ඇතිවූ කම්පනය තවමත් මගේ සර්වාංගය පුරාම ලේ නහර දක්වා කිඳාබැස පවතින බවකි. අද දින මෙම රාත්‍රියේදී මම තීරණයක් ගතයුතුව ඇත.

ඒ කවරක් වුවත්, මධුලිකා යනු මගේ වගකීමක් වී හමාරය.

මම ජින් බෝතලය තොලගාන්නට වීමි. වරින්වර පැමිණෙන කෙටි පණිවිඩ සියල්ලම මධුලිකා එව්වාදැයි මතකයක් මට නැත.

අවසන්වරට මතකයේ ඇත්තේ අවන්හල වසාදමන්නට ආසන්නයේ වත්තන්කොටගත් මම, අවසිහියෙන් මෙන් මගේ ජීප් රථයට පැමිණෙනවා පමණි.

*************************************

හිස තදින් කකියයි. ඇස් පියන් මත යකඩ මල්ලක් තැබුවාක් මෙන් බරක් දැනේ. යාන්තමට ඇරගත් දෑස පරිසරයට හුරුවත්ම මම සිටින්නේ සයනක බව දැනුනි. තව විනාඩියකින් පමණ ඒ කාමරය මහල් නිවාසය බව වැටහුණි. මම වහා ඇඳෙන් බිමට බැස්සා නොව පැන්නුනි. මගේ ඇඳුම් සියල්ල වෙනස්වී ඇති බව මට වැටහුනේ එවිටය.

සිතන්නට කාලයක් නොමැත, ඇත්තේ ඉටුකරන්නට වූ දේවල් කිහිපයකි. මම අසල වූ මේසය මත තිබුණු ජංගම දුරකථනය අතට ගත්තේ විදුලි වේගයෙන් වන්නට ඇත. මගේ අත වැදී අසල තිබුණු වතුර වීදුරුව ඒ මොහොතෙන්ම මේසයෙන් බිමට පැන ටයිල් පොලවේ මර හඬ නංවමින් බිඳී ගියේය.

‘දිඩි බිඩි’ හඬින් දුවගෙන ආ අයෙක් දොරෙන් මතුවිය. ඒ මධුලිකාය.

“මොකද උනේ? ඔයාට මොකද?”

“නෑ ප්‍රශ්නයක් නැහැ, මගේ අත වැදිලා වි-වීදුරුව.. බි-බිඳුන”

මගේ වචන සිර වෙන්නට ආවේ අන් කිසිවකින් නොවේ. ප්ලාස්ටරය කපා දමා , මම විසින්ම ගෙනෙනලද කොට කලිසම හැඳගෙන උන් ඇගේ දෙපා වල මගේ ඇස පැටලිමෙනි.

පෙරදිනයේ තුවාන් වෙත ගොස් ප්ලාස්ටරය කපන්නට විමසද්දී ඒ සඳහා සියල්ල මම පිළියෙළ කර දුන්නා මතකයට පැමිණියේය. 

‘මේ මොන මගුලක්ද මේ ඇඳගෙන ඉන්නේ?’

මට එසේ අසන්නට නොහැකිය. ඒ මම විසින්ම මිලට ගත් ඇඳුම් බැවිනි.

‘තුවාන් ගාවටත් ගියේ මෙහෙමද දන්නේ නැහැ ‘

‘කෙල්ලෝ දැකලා නෑ වගේ හැසිරෙන්න එපා මිනිහෝ ‘

මා තුල උන් මිනිසා අවි අමෝරාගෙන නැගී සිටියේය.

විසිරී ගිය සිත කෝපයේ රැහැනින් බැඳගත් මම ; මධුලිකා වෙත ඇලුණු දෑස ආයාසයෙන් ඉවත්කොටගෙන දුරකථනය ඔබන්නට වීමි. මධුලිකා තවමත් සිටගෙන සිටිනු මට පෙනුනද එය ගණනට නොගෙන ඉන්නට උත්සහ කරමින් සිටියෙමි.

“.. ඔයාට දැන්… කොහොමද?”

පිළිතුරක් නොදුන් මම වෙලාව පරික්ෂා කලෙමි. එහි වෙලාව සටහන්ව තිබුනේ උදෑසන නමය ලෙසිනි. මම කලබල වුයෙමි.

“ඔහ්… දෙවියනේ… හොඳටම පරක්කු වෙලා”

දුරකතනයේ සෑහෙන ප්‍රමාණයක් ඇමතුම් අතපසුව පැවතිනි. අම්මා සහ සුදම් කතාකොට තිබීම නිසා මම කලබලයෙන් ඇමතුමක් ගත්තේ මගේ මල්ලී වන සුදම්ටය. දුරකථනය ක්‍රියා විරහිතව ඇත.

‘ඔව්නේ! අද ඉස්කෝලේ දවසක්නේ!!’

ඉක්මනින් මම අම්මා ඇමතුවේ කරන්නට යමක් නැති නිසාය. හිත දෙගිඩියාවෙන් පසුවෙයි.

මධුලිකා තවමත් මා දෙස බලාගත්වනම සිටින්නීය. මම ඒ දෙස නොබලාම දුරකථනය කනෙහි රුවාගෙන නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සෑහෙන වරක් නාදවිමෙන් පසුව දුරකථනය තුලින් අම්මාගේ හඬ ඇසුනි.

“ලොකු… කොහෙද ඔයා ඉන්නේ?”

ඒ ප්‍රශ්නය වෙනදාට වඩා මා තුල තිගැස්මක් ඇතිකළේය.

“විරන්ගලාගේ ගෙදර ගිහින් එනකොට ටිකක් පරක්කු උනා. උදේ ස්පෝර්ට්ස් ක්ලබ් යන්න තියෙන හින්දා ෆ්ලැට් එකට ආව සපත්තු ගන්න”

සත්‍ය නොවන මුත් අර්ධ සත්‍යක් ගැටගසා කියාගන්නට මට හැකිවිය. අම්මා සමඟ සිටිනා තැන ගැන අමු අමුවේ බොරුවක් කීම එතරම් නුවණට හුරු නොවන වැඩකි.

“ආ… තාත්තා කිව්වා මස්කෙළිය වත්තේ වැඩටික බලන්න කියන්න කියලා. ෆැක්ටරි එකේ මොකක් හරි ප්‍රශ්නයක්. තාත්තා ගියා ඒක බලන්න. කෝකටත් ගෙදර එන්නකෝ ඔය ගමන ඉවර වෙලා. මට තව ගමනක් යන්නත් තියෙනවා. රන්ජි එක්ක ගිහින් බෑ ඒක “

එය නම් අමුතු ඉල්ලීමකි. අම්මා ඇගේ ගමන් වලට රියදුරු සහය මගෙන් බලාපොරොත්තු වන්නේ අඩුවෙනි. ප්‍රධානම හේතුව ලෙස කැපී පෙනුනේ මගේ වේගවත් රිය පැදවීමයි. ඉඳහිට කුඩා අනතුරක් හැරුනුකොට වාහන අනතුරක් ලෙස කිසිවක් නොවුනත් අම්මාගේ භීතිය නිසා ඇය මා සමඟ ගමනක් එන්නේ වෙනත් අයෙකු රිය පදවනවා නම් පමණකි.

මම ඒ ගැන සිහියෙන් නාන කාමරයට වැද ඇඳුම් උනා වතුර මල යට සිටගතිමි. එකවරම මගේ කල්පනාවට ආවේ මගේ ඇඳුම් මාරු කලේ කවුරුන්ද යන්නයි. ඊටත් වඩා පෙරදින රාත්‍රියේ මම මෙහි ආ කිසිම මතකයක් මට තිබුනේ නැත. එතරම් අවසිහියෙන් මම රථය පැදෙව්වා නම් විය නොහැක. මම සිහිය නැති තරමට බිමත්ව සිටි බැවින් කවුරුන් හෝ මා රැගෙන ආවා වන්නට ඇත. ඒ විරංග වන්නට කිසිම අවස්තාවක් නැත.

ස්නානයෙන් පසුව ඉක්මනින් පිටතට පැමිණෙන විට මගේ සයනය මත පිලිවෙලින් මදිනලද කලිසමක් සහ ටී කමිසයක් විය. මගේ පපුව සිරවෙන්නට ආසන්නය.

මේවා කරන්නේ ඇයද ?

ඇගෙන් කිසිවක් අසන්නට මගේ සිත ඉඩක් නොදේ. එකඟ කරගත නොහැකි සිත තදබල අපහසුතාවයක් මමත් ඇයත් අතර නිර්මාණය කොට ඇත. මම සයනයේ ඇඳුම් හා සමාන්තරව පසෙක පරෙස්සමට මෙන් තබා තිබුණු මගේ බ්ලන්කපින් (Blancpain) අත් ඔරලෝසුව බඳින අතරේ කල්පනා කලේ දවසේ ඉතිරි සැලසුම් ක්‍රියාත්මක කරන අයුරු වුවද වතුරෙහි ඔබනලද රබර් බෝලයක් සේ මධුලිකා හිස් ඔසවා නැගී සිටි.

කාමරයෙන් පිටත්ව මම කෙලින්ම පිවිසුනේ මුළුතැන්ගෙයටයි. මා දුටු සැනින් මෙහෙකාරිය එකත්පස්ව සිටියාය. ඇය අසල මට පිටුපා මධුලිකා පැන්ට්‍රිය මත තබාගෙන යමක් පිළියෙළ කරමින් උන්නාය. සැහැල්ලු ඇඳුම නිසා ඇගේ සිරුරේ හැඩතල වෙනදාටත් වඩා කැපී පෙනුනාද, නැතිනම් මගේ හිත විසින් ඒවා මට උළුප්පවා පෙන්නුවාද කියා එකවරම කිව නොහැකිය. මම ඈ පසුකරගෙන ගොස් ෆිල්ටරයෙන් වතුර වීදුරුවක් බොන්නට පටන් ගත්තෙමි. ජින් මත විසින් මම පිපාසිතයෙකු කල ඇති සෙයකි.

“මහත්තයට දැන් අඩුද?”

මම මෙහෙකාරිය දෙස බැලුවේ ක්ෂනයෙනි. ඈ තැති ගත්තාය. මධුලිකා උරහිස හරවා මෙහෙකාරිය දෙස බැල්මක් හෙළුවාය. ඇගේ මුහුණේ තිබුනේ කවර ආකාරයක සිනහවක්දයි මට වැටහුනේ නැත.

“අඩුයි”

අදාළ ප්‍රශ්නය නොතේරුණත් මම එසේ කියා ආපසු හැරුනෙමි. ඒ කියන්නේ මගේ බීමත්කම ඊයේ මෙතැන සංදර්ශනයක් කලාද? ජින් මත විසින් මම අවසිහියට පත්කරන බව මම දනිමි.

“උදේට කාලා යන්න”

මදුලිකාගේ හඬ මගේ කකුල් වලට යදම් වුවා මෙනි, මා ඉබේම නතර වුවද නැවතත් දොර දෙසට ගමන් කලෙමි.

“ගෙදර යන්න ඕනේ.. හදිස්සියක්”

කොතරම් රළු වන්නට උත්සහ කලද, මගේ හඬේ රළු බවක් නොතිබෙන්නට ඇත.

“නැන්දා…. යතුර දෙන්න අතනින් අරගෙන… අපරාදේ මම හැදුවා පස්තා… වෙරි හිඳන්නත් එක්ක”

අවසාන කොටස මධුලිකා කීවේ පහත හඬිනි. මට අනවරත ලැජ්ජාවක් දැනුනි. එය කෝපයෙන් වසාගන්නට මට අවැසි විය.

“කෝ මට යතුර දෙන්න… පරක්කු වෙනවා!”

උදෑසන ආහාරය ප්‍රතික්ෂේප කරන්නට හිතක් නැතත් මගේ මධුවිතේ ප්‍රමාදය හෝ ඒ ගැන කතා කරන්නට හෝ මගේ කැමැත්තක් නොවිණි. ඊටත් වඩා මධුලිකා පිලිබඳ මගේ හිතේ වූ වෙනස්කම් ගැන මට හිතන්නට කාලය අවැසි වී තිබිණි.

මේ සියල්ල අභිබවා ඇය සමඟ මොහොතක් හෝ හොඳින් කතාකොට මගේ සිතේ තෙරෙපෙන පීඩනය කියන්නට ඇතිනම් කියා හඬක් නැගෙනවා සේ ඇසේ.

මෙහෙකාරිය විසින් වාහනයේ යතුර ගෙනත් දෙනවා දැනුනු මම ආපසු නොහැරී අත දිගු කලෙමි. යතුර සමඟ ලැබුණු මෘදු ස්පර්ශය පැවසුවේ ඒ මධුලිකා බවයි. විලවුන් සුවඳ ඒ පසුපස පැමිණ මා විසිරුවා හරී. ඇය මෙතරම් විලවුන් පාවිච්චි කරන්නියක ලෙස මට මිට පෙර දැනී නැත. ඊටත් වඩා මම ඇයට මිලට ගෙන දුන්නේ මගේ ප්‍රියතම විලවුන් බැවින් මම වෙනදාට වඩා අවධානයෙන් එය පිරික්සනවාදෝ කියාත් නොසිතුනා නොවේ.

“පරෙස්සමෙන් ගිහින් එන්න… දනිස්සේ තුවාලෙට මම බෙහෙත් දැම්මා ඊයේ. ඒක පැසවයි තෙමාගන්න එපා.”

මගේ සිත පෑරී ගියේය. ඇය මේවා කරන්නේ ඇයි? මම මොහොතක් නිසොල්මන්ව සිටියෙමි. මගේ වම් උරහිස පිටුපසින් ඇති මස් ගොබයට මධුලිකාගේ අතක අල්ලේ පහස ඉතා හොඳින් දැනුනි.

“…. බොන්න එපා ඔහොම. සමාවෙන්න මගෙන් ඔයාට තියෙන කරදර වලට”

මධුලිකා පැවසුවේ ඉතා මෘදු හඬිනි.

විසල් විදුරු පවුරකට එල්ලවූ යකඩ මිටි පහරක් සේ මගේ මම සුනුවිසුනු වී යනවා සේ දැනුණි. මා ආපසු හැරුනේ ඉබේටම වන්නට ඇත. මධුලිකා කිසිදු අවසරයකින් හෝ චකිතයකින් තොරව මා තදින් බදා වැළඳගත්තේ මගේ දෑත් නිදහසේ විවෘතව පවතිද්දීය.

ඇය වෙතින් නික්මෙන විලවුන් සුවඳත්, මෘදු ස්පර්ශයේ ඇති උණුසුමත් සමඟ ඈ කෙරෙහි ඇති සරාගික බන්ධනය තීව්‍ර කොට ගෝනුසු විතක් විසින් අඩපණව ගිය පරිද්දෙන් මම නිසොල්මන්ව සිටියෙමි. විශ්වය විසින් ඒ මොහොතේ අවට සියල්ලම බලවත් ලෙස නවත්වාගෙන සිටින්නට ඇත. මගේ තාරුණ්‍ය විසින් මම අසරණ කොට හමාරය.

මම විසින් අතොරක් නොමැතිව සැලසුම් සදමින් කොටුකරගන්නට තැනු තරුණිය, අද මෙලෙස මා වෙත සිය විශ්වාසය තබා පැමිණ සිටින්නීය. ඇයට නොපනත්කමක් කරන්නට මගේ සිත මට ඉඩක් ලබා නොදේ. ඒ සියල්ලටම වඩා බරපතල ගැටළුවකට ඊයේ සිට මම මුහුණදී සිටින්නෙමි.

“… ස්තුතියි මේ කරන දේවල් වලට….. “

සිය වැළඳගැනීමෙන් මම අනපෙක්ෂිතවූ කැළඹීමකට පත්වූ බව වැටහුනා බැවින්දෝ මධුලිකා මගෙන් මෑත්ව බිම බලාගෙන පැවසුවාය. ඒ වන විටත් මම මගේ දෑත් දෙපසට විහිදුවාගෙන සිටියා මිස ඈට ප්‍රතිචාර නොදැක්වූ බව ඈ තේරුම් ගන්නට ඇත. මගේ මුව වියලි ගොස්ය; හදවත අධික වේගයෙන් පුපුරා හැලෙන්නට ආසන්නය. මගේ සිංහ සෙයියාව දියවී ගොස්ය. ඒ ගැන ඒ මොහොතේ මට ලැජ්ජාවක් දැනුනේ නැත.

“…. මට…”

මධුලිකා යමක් කියන්නට මෙන් තතනයි. මම අජිවිව බලා සිටියෙමි.ඒ ඈ දෙස නොවේ, ඇගේ රුව හා ගැටෙන වෙනත් දෙසකි.

“…. ඔයාට මාව කරදරයක්ද?”

සිය කැඩුණු වචන වලින් කියන්නට උත්සහ කරන දේ නවතා ඈ අලුතෙන්ම මගෙන් ප්‍රශ්න කල බවක් මට වැටහුණි. ඈ ගැන මහා අනුකම්පාවක් සිත තුල හටගත් බවවත් මට දැනුනේ නැත. ඒ සියල්ල මගේ තරුණ සිතට දැනෙන්නේ අඩුවෙනි.

“බයවෙන්න එපා… ඔයාට ඕනේ ආරක්ෂාව මම දෙනවා. ඔයාව ඉක්මනටම ආරක්‍ෂිත තැනකට මම යවනවා. එතකල් ඉන්න.. බයවෙන්න එපා”

කැඩුණු වචන අතරතුර හුස්ම අල්වමින් මම ඒ කොටස කියාගන්නට සමත් වීමි. ඈ දෙස බලන්නට අසමත් මම ඇගේ නෙත්සරට මෙතරම්ම බිය එහි ඇති තීව්‍ර බවද නැතිනම් අවංක භාවයද කියා මට එකවර තොරා ගත නොහැකිය.

මුළුතැන්ගෙයි කෙලවරේ සිට මෙහෙකාරිය එබී බලනු ඇස කොනෙන් මට පෙනුණි. අප අතර ඇතිවූ සංවාදය ඈට නොවැටහුනා කියා සිතන්නට නොහැකිය.

ඇයට යම් පමණකට ඉංග්‍රීසි දැනුමක් ඇති බව මට ඉව වැටි තිබුණු කාරණයකි.

මධුලිකා යමක් කියන්නට සැරසුනේය. මම ඒ බව නොතකා ආපසු හැරුනෙමි. ඇගේ අතින් මගේ ටී කමිසය මුදන්නට ඈ මද වෙලාවක් ගත්තේ ඇයි? මේ සියල්ල පෙළඹවීම් ලෙස මට පෙනෙන්නේ කවර කරුණක් නිසාද? මා සිත තුල වූ අර්බුදය උග්‍ර වන හැඩකි.

“දොර වහගන්න. පරෙස්සමෙන් ඉන්න”

මම ඉන්පසුව රථයට පැමිණෙන තුරුම බිම බලාගෙන පැමිණියෙමි. සිත තුවාල වී ඇති සැටියකි. කිසිදිනක නොදැනෙන වේදනාවක් පෙරදිනයට වඩා තීව්‍රව දැනේ. බලවත්ව නැගෙන සිතුවිලි වනය මුවහත් කඩුවකින් කපමින් සිය අණසක පතුරවන්නට ඉඩ නොදෙන අරගලයක මම නිරතව උන්නෙමි.

මධුලිකා පිලිබඳ නැගී එන සිතුවිලි වලින් මුදවාගත හැකි පමණට සිත සන්සුන් කරගන්නට මට සෑහෙන වෙලාවක් ගතවන්නට ඇත.

“මට සමාවෙයන් මචං”

විරංගගේ හඬ මගේ හිස තුල නැවතත් ප්‍රතිරාව නංවනවා ඇසුනි. ජීප් රථයේ දොර වසාගෙන මම මොහොතක් සුක්කානම මත හිස හොවා ගතිමි.

මම මහල් නිවාසයේ ඇති බවට චාපාට තමන් කියූ බව පිළිගත් විරංග, ඒ සඳහා පෙලඹවූ කාරණය මට වටහාගත හැකිය.

“මට… මට ඕනේ කළා…. මධුලිකාට… මම හිතුවේ මධුලිකා… උඹට… “

විරංගගේ ඒ මොහොතේ හඬ මට අමතක කල නොහැක. ඒ සියල්ලට වඩා ඔහු විසින් මා වෙත එල්ලකළ පළමු කුළුගෙඩි පහර දෙසවන් පුරා දෝංකාර දෙයි.

“මට.. ඒකි අමතක කරන්න බැහැ බන්… මම ට්‍රයි කළා! “

මගේ ප්‍රියතම මිත්‍රයා ; මගේ නාමික විවාහක බිරිඳ සමග ප්‍රේමයෙනි.

සියල්ල පැහැදිලි වෙමින් පවතී. මධුලිකා තුල මා කෙරෙහි අවිශ්වාසය තුලින් ඈ දිනාගන්නට සිතීම වරදක්ද නොවේ. නමුත් ඔහු කල දෙයින් සෑහෙන ජිවිත අවදානමක් නිර්මාණය වී තිබේ.

නැවත නැවතත් මගේ මතකය අවදිකරමින් යද්දී මට වැටහුනේ, එදින මම නොසිට විරංග සිටියා නම් ; ඇගේ තීරණය මම නොවී විරංග වීමට සෑහෙන අවස්තාවක් තිබිය හැකි බවකි. කිරුළු පලන් රජෙකුගේ අතින් අහම්බෙන් වූ අතපසුවකින් කිරීටය බිම වැටී සියල්ල තූ-තූ කොට ගියාක් මෙන්, මම නිරුත්තරව ; අසරණව ගොස් ඇත.

කිරීටයේ මිලටත් වඩා, එහි ඇති ආසක්තබව ප්‍රභල වග මට වැටහී හමාරය. ඔහු තුල මධුලිකා කෙරෙහි ඇත්තේ ප්‍රේමයක් විය හැකිය. මා තුල මධුලිකා කෙරෙහි ඇත්තේ කුමක්දැයි මටම වැටහීමක් නැත.

මේ සියලු දේ අතර, මධුලිකා කුමන තීරණයක් ගනීදැයි මට සිතාගත නොහැකිය.

බාහිරෙන් බලන ඕනෑම අයෙකුට, මධුලිකා මා සමඟට වඩා පහසුවෙන් ; සැහැල්ලුවෙන් විරංග සමඟ කතාබහ කරනු දකින්නට ලැබෙනු ඇත. ඇය සිටින්නේ මා බාරයේ නිසා කරන යුතුකම් ලෙස මේ සියල්ල එක ගොඩකට ගතහැකිද?

‘මට ඔයාට කතාකරන්න ඕනේ. පුළුවන් ඉක්මනින්’

දුරකථනය ලද ඇමතුම් විස්සක් පමණ නොසලකා හැරීමෙන් පසුව මධුලිකා වෙතින් ලද කෙටි පණිවිඩය මම පිළිතුරක් ලෙස කිසිවක් නොයවා අතහැරියෙමි. ඇයට විවෘත වන්නට මට ශක්තියක් නොමැති බවක් මට දැනේ. මේ වනවිටත් විරංග විසින් ඇය අමතා ඇතුවා වන්නට ඇත. 

නොසන්සුන් මනසකින් යුතුව මම නිවසට යනවිට නිවසේ පහල මහලේ යම් කලබලයක් මට ගරාජයේ සිටම දැනුනෙන්, මම එය මගහැර පිටුපස ඇති දොරටුවලින් ඇතුළුව ඉහළමාලයට ගියෙමි.

ජින් වලින් මත්වූ සිත පවා පිළිනොගන්නා තරමට මම කැළඹී සිටියෙමි. මෙය කාහට කියන්නද කියා සිතාගත නොහැක. මා සතු සියලු මෙවන් ගනුදෙනු මෙතක් බෙදාගත්හේ විරංග සමඟ පමණකි. අද වනවිට ඔහු මගේ මිත්‍රත්වය පැනයට නගා ඇත.

විරංග මගෙන් ඉල්වන්නේ මධුලිකාවද? ඈ වෙනුවෙන් යුක්තියද?

හැඳ සිටින ඇඳුම් පිටින්ම මම සයනයේ උඩුකුරුව වැතිර හිස් අවකාශය දෙස බලා සිටියෙමි. වායුසමීකරණය ක්‍රියාත්මක කරන්නට හෝ මට අවශ්‍යතාවයක් නොමැති විය. හාත්පස ජනෙල් තිර වලින් ආවරණය කරන ලද කාමරය මට අවැසි අඳුර සහ පුද්ගලිකත්වය හඳුනාගත්තා සේ මා රැක සිටිනවා යයි මට දැනුනි.

‘මම එළියට යනවා නිමන්ති  එක්ක ‘

මධුලිකාගෙන් ලද කෙටි පණිවිඩයට පිළිතුරක් යවම්දෝ නොයවම්දෝ යන දෙගිඩියාවෙන් හිඳ , දීර්ඝව ගෙවුණු විනාඩි කිහිපයකට පසුව මම ‘හරි’ කියා ලියා යැව්වෙමි.

ඈ විරංග සමඟ එළියට යාම මට මැවී පෙනෙන්නට විය. ඇගේ අතැඟිලි ඔහු අල්වන්නට පුළුවන; උරහිසට බර කරගෙන සිටින්නට පුළුවන. බලවත් ඊර්ෂ්‍යාවෙන් මගේ මුළු ගතම වෙව්ලන්නට විය.

‘පරෙස්සම් වෙන්න ‘

එසේ ලියා යවන්නට මට අවැසි විය, නමුත් එයට මම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විමි.

නිවසේ සිටියයොත් විරංග පැමිණිය හැකි නිසා නිමන්ති සමඟ ඈ පිටතට යනවාට මම කැමති වන තරමට මම මුග්ධ වීමි. ඈට ඇති ජිවිත තර්ජනයට වඩා ඈ වෙන කිසිවෙකුට නොදෙන්නට මම වැරවෑයම් කිරීම විහිළු සහගත බවක් මට ඒ මොහොතේ වැටහුනේ නැත.

“ලොකු….. ඔයා ආවද?”

අම්මා දොර අසල සිට කතාකරද්දී මම පියවි සිහියට එළඹී වහා සයනයෙන් බිමට පැන්නෙමි.

“ආ…. ඔව්… මේ… මේ දැන් ආවේ.. ඉන්න එන්නම්!”

************************************

අම්මාගේ ඒ ගමන මට පැහැදිලි අණ්ඩර දෙමළයකි! ඇය එහි එතරම් හදිසියේ ගියේත්, ඔතරම් තෑගී බෝග ගෙන ගියේත් ඇයිදැයි පවා මට පුදුමයකි. මිට පෙර ‘බණ්ඩාරනායක’ පවුලක් ගැන කිසිවිටෙක අප නිවසේ කතාබහ වී නොමැති වුවද අම්මා එහි ගොස් කතාබහ කරනවිට මට වැටහුනේ ඈ සමඟ ඔවුන් යම් කාලයක් දැන හඳුනාගෙන සිටින්නට ඇති බවයි.

මම සිටි මානසික තත්වය නිසා වාහනයට වී සිටින්නට උත්සහ කලද, අම්මාගෙන් මට විසුමක් නැතිවූ බැවින් මම අකමැත්තෙන් වුවද ඒ විසිතුරු විසල් සාලය මධ්‍යයෙහි විරාජමානව තිබුණු සෝපාවක හිඳගත්තෙමි.

නිවස ; වටපිටාව දෙස බැලු බැල්මෙන්ම ඔවුන් සෑහෙන ධනවතුන් බව මට වටහාගත හැකිවිය. අම්මා සමඟ ඉතා කුළුපඟව කතා කලේ නිවසේ ස්වාමි දියණිය බව මා දුටු මොහොතින්ම පුබුදුව ගිය ඇගේ වියපත් දෑසින් විද්‍යමාන වූ ප්‍රතාපවත් පෙනුම සහතික කළේය. මා හඳුන්වා දෙන විට මද සිනහවකින් සංග්‍රහ කොට සිටියා විනා මම කතාවක් නොකලෙමි. නමුත් අම්මාගේ කටින් නොයෙකුත් වර්ණනා මම ගැන ඒ මොහොතේ සිට ඇද හැලීම මා තරමක අපහසුතාවයකට පත් කළේය.

අනතුරුව මම කෙසේ හෝ එලියට පැන විසල් ලෙස තනා තිබුණු මිදුලේ තණකොළ ගොල්ල ඔස්සේ ඉබා ගාතේ යමින් සිටියේ මනසේ කැළඹීම සමථයකට පත්කරගන්නට මෙනි. තණකොළ පිට්ටනිය කෙලවර වන්නට නියමිතව තිබුනේ කුඩා ජල තටාකාංගනයකිනි. එය පෙනෙන නොපෙනෙන මානයේ මම නතර වුයෙමි.

මධුලිකාත් මමත් විරංගත් යන අප තිදෙනා අතුරෙන් අයෙකු වේදනාවට පත්වනු ඇත. බොහෝවිට ඒ මම බව වැටහීම දිනෙන් දින පැහැදිලි වෙමින් පැවතීම මා මෙතරම් වේදනාවට පත්කරන්නේ මෙවන් තරඟයකින් කිසිදා පැරදී නොමැති නිසාද?

“හලෝ..”

මම තිගැස්සී මෙන් හැරී බැලුවෙමි. සුරූපී තරුණියක් මා දෙස බලාගෙන සිනාවෙමින් සිටියාය. මම වරක් ආපසු හැරී බැලුවේ ඈ ආචාර කලේ මටමදැයි දැනගැනීමටය. කිසිවෙකු නැත, ඒ මටය! තරුණිය සිනාසෙයි.

“හලෝ.”

මම ප්‍රති ආචාර දක්වා යන්තම් සිනාවක් පෑවෙමි. බටර් පැහැති සමට ඈ ඇඳ සිටි කහපාට කොට ගවුම එක්කළේ අමුතුම ආලෝකයකි. මට මධුලිකා සිහිවිය. ඇගේ ගවුම ඊට කොටදැයි සිතින් විමසීමි…

“මම ටාෂා… මමී කිව්වා ඔයාට තේ බොන්න එන්න කියලා”

බටහිර ආරයට හැදී වැඩුණු ලක්ෂණ ඒ සියල්ලෙහිම පැවතිනි. මම හිස වනා ඈ පසුපස වැටුනෙමි.

“මම තීක්ෂණ… සමාවෙන්න මට කියන්න අමතක උනා”

“ආ…. ඔව් මම දන්නවා… ආන්ටි කිව්වා… ඒකට කමක් නෑ”

විසල් සාලයේ පසෙක ඇති වෙනත් දොරටුවකින් මා රැගෙන ගිය ටාෂා මධ්‍යම ප්‍රමාණයේ විසිත්ත කාමරයකට ඇතුළු වුවාය. එහි මධ්‍යයෙහි තිබුණු ගාම්භීර වටපිටාවට සරිලන මේසයේ පසෙක අම්මා ඇගේ යෙහෙළිය සමඟ උන්නාය.

“පුතා දැකල නෑනේ…. මේ ඉන්නේ මගේ පොඩි දුව ටාෂා…. එන්න පුතා මොනවද බොන්නේ? වයින් එක ගන්න ටාෂා අතනින්”

“එපා ආන්ටි මම තේ බොන්නම්”

මම පුටුවක් ඇද අසලින් හිඳගත්තෙමි. බන්දේසියක් පුරවා නොයෙකුත් කෑම තිබිණි. කුසගින්නක් ඇතත් කිසිවක් කන්නට හිත නොදේ. තවමත් හිසරදය පවතී.

‘ අපරාදේ පස්තා කාලා එන්න තිබ්බේ. මට වෙරි හින්දවන්නනේ හදලා තිබ්බේ. එක්කෝ මොන පස්තාද..? විරංග ට හදලා දෙයි…’

“කෝ පුතා මොනවත් ගන්නේ නැද්ද?.. තේ හදලා දෙන්නද? කෝ සෝමා ඔය තේ එක වක්කරන්න..”

සේවිකාව වහා තේ පෝච්චිය අතට ගත්තාය. කරුණු කියන්නට හෝ කිසිවක් කතා කරන්නට මට හිත නොදේ. මම ඔහේ වන්නක් වෙන්නට හැර සිටියෙමි.

“පුතා මේ ආන්ටි තමයි මගේ හොඳම යාලුවා… ඉස්කෝලේ කාලේ ඉඳල තාමත් මගේ හොඳම යාළුවා. දැන් අවුරුදු… කීයක්ද වෙරෝනිකා ඔයාල… ආ… ඔව්.. අවුරුදු තිහක්ම හිටියේ ස්වීඩන් වල….”

ඉතිරිය මගේ දෙසවන් වලට ආවේ මුනින් හැරවූ කළයට ජලය වත්කරන්නා පරිද්දෙනි. කිසිවක් මගේ දෙසවනේ රැඳුනේ නැත. යන්තම් කෘතිමව සිනාවෙමින් මම සිටියේ වෙනම ලෝකයකය.

ආපසු එද්දී අම්මා අතොරක් නොමැතිව ඔවුන් ගැන කියවන්නට වුවාය. ඒවා කිසිවක් මට මතකයට නගාගන්නට තරම්වත් උවමනාවෙන් අසා නොසිටියෙමි. අවසානයේ අම්මාට එය වැටහීමෙන් පසුව මට දොස් කියන්නට වුවාය. එයත් අසා සිටියෙමි.

“පුදුමයි… උඩින් නොගිහින් බිමින් ආව”

අම්මා එලෙස කියමින් කාර් රථයෙන් බැස ගියාය. මට නොදැනීම මගේ වාහන පැදවීම මන්දගාමී වී ඇති සැටියකි.

මධුලිකාගෙන් දැන් හෝරා දෙකකටත් වඩා කිසිදු ආරංචියක් නොමැත.

‘ඔයා හොඳින්ද?’

එලෙස නොයවා සිටින්නට මට නොහැකි වූ නමුත් මගේ කෙටි පණිවිඩය යැවු සැනින් පිළිතුරක් පැමිණියේය.

‘ඔව්’

නිවසට පිවිසෙත්ම සාලයේ පසෙක ඇති කන්තෝරු කාමරයට පිවිසෙන දොරටුව අභියස වත්තේ කළමනාකරුවා ; සුන්දර් ;  වාඩිවී සිටියේය. මගේ හොර සිත සලිතව ගියත් සුන්දර් රාජකාරිය මුල්කොට කතා කරමින් මගේ දෑස මගහරිමින් සිටියේ අම්මා නිසා බව මට වැටහෙන්න වැඩි වෙලාවක් නොගියේය. වත්තේ වැඩකටයුතු වල අවශ්‍ය කොටස් ඉටුකොට, මාසයේ පඩි වල ගණන් තැබුණු ලේඛන පිරික්සන මුවාවෙන් මම සුන්දර් සමඟ කන්තෝරු කාමරයට පිවිසුනෙමි.

“සර්.. සර්ගේ ලොකු සර්..”

ඔහුට කියන්නට ලැබුනේ එපමණකි. අම්මා මැණිකේ එවා තිබුනේ කන්තෝරු කාමරය අතුගාන්නටය. සුන්දර් අතින් පයින් කියූ පරිදි ඔහුට යමක් කියන්නට ඇත.

“සුන්දර්ට මම කෝල් එකක් දෙන්නම් මොනවාහරි තිබ්බොත්… දැන්”

“මගේ ෆෝන් එක බිම වැටිලා ඩිස්ප්ලේ එක කැඩිලා සර්.. කෝල් ගන්න බැහැ…”

මම වගේ මෝඩයෙක්! අවසානයට සුන්දර් ගැන සොයා බැලුවාට පසුව ඔහු ඇමතුමක් නොදීම ගැන මට කල්පනාවක් තිබුනේ නැත. මැණිකේ සිටි බැවින් අප දෙදෙනාට මන්ත්‍රනයකට ඉඩක් නොලැබුණු නිසා අලුත් දුරකතනයකට මුදල් දී ඉතිරි වැඩ සියල්ල හමාරකොට සුන්දර් පිටත්කොට හැරියෙමි.

ඒ සමඟම ඉහල මාලයට ගොස් කාමරයට වැද දොර වසාගත් මම සුන්දර්ට දුරකථන ඇමතුමක් ගත්තද, මම පවසන කිසිවක් ඔහුට නෑසුන බවක් හැඟී ගිය අතර ඔහුගේ හඬද මට අසුනේ කඩින් කඩය. දුරකථනය විසන්ධි කල මට ඇති එකම විකල්පය ඔහු නැවතත් මා අමතන තුරු බලා හිඳිම පමණකි. තාරුක අයියාගේ දුරකථනය ප්‍රතිචාරයක් නොදැක්විය. මේ සියල්ල විසින් මට පැවසුවේ මට විවේකයක් අවශ්‍ය බවද?

දහවල් ආහාරයට පුදුමයකට මෙන් එකවරම තාත්තා ප්‍රානිභුර්තව සිටියේය. එහෙයින් නිවසින් පැනගන්නට කිසිදු අවස්තාවක් නොවිය. මගේ සිත තිබුනේ සුන්දර් කියන්නට උත්සහ කලේ කුමක්ද යන්නයි. තාත්තාගේ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක ගැටළුවක් නිසා ඔහු එහි ගිය බව මව පවසද්දී, සුන්දර් කියන්නට උත්සහ කලේ කුමක් ගැනද?

“අර වෙරෝනිකා….. එයාලගේ ගෙදර ගියා මම”

අම්මා , තාත්තාට බත් හැන්දක් බෙදමින් කීවාය. මට මධුලිකා සිහිවිය.

“හ්ම්ම්”

“එයාලා ඇවිත් දැන් මාසයක් වෙනවා.. යන්න බැරි උනානේ… ඒක නෙවෙයි ප්‍රශ්නේ මොකද උනේ සෙනේ ?”

“මුකුත් නෑ… ස්ට්‍රයික් එක හෙටට කල් ගියා”

තාත්තා නොරුස්නා ස්වරයෙන් පැවසුවේ තවදුරටත් ඒ ගැන විමසනවාට ඇති නොකැමැත්ත පෙන්වන්නට මෙනි. අම්මා වහා මාතෘකාව වෙනස් කළාය. මම මගේ ලෝකයේ අතරමන් වී සිටියෙමි. නොනවත්වා සිහිවෙන මධුලිකා පිලිබඳ සිතුවිලි මඩින්නට නොහැකි තරමට දරුණු වී ඇති සැටියකි.

ඇය මා නොමැතිව උදෑසන ආහාරය ගන්නට ඇත. නිමන්ති සමඟ යයි කියා විරංග සමඟ යා හැකිය. ආරක්ෂක අංශයේ සියල්ලෝම විරංග හඳුනන බැවින් ඔහුට මහල් නිවාසයට යාම ගැටළුවක් නොවේ. මධුලිකා සමඟ මේ පිළිබඳව සෘජුව මම කතා නොකරන්නේ මන්ද? මම මගෙන්ම ප්‍රශ්න කලෙමි. ඇයගෙන් සත්‍ය තත්වය දැනගැනීමෙන් මට ඇතිවන චිත්ත භ්‍රාන්තියට මගේ ඇති බිය නිසාද? නැතිනම් ඇය අතහරින්නට මට නොහැකි නිසාද? විරංග කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව නිසාද?

“.. ඇහුනේ නැද්ද?”

කල්පනා වලාකුලෙන් බිමට පතිතව අන්ද මන්දව මම අම්මාගේ හඬින් සිහිය එලවාගන්නට උත්සහ කලෙමි. තාත්තා මා දෙස සිය තියුණු බැල්මෙන් බලාගෙන සිටිනු දැකීමෙන් මගේ හිසෙන් තරු පනිනු දැනුනි.

“ම.. ම මොකද්ද කිව්වේ?”

“මොකද්ද කිව්වේ නෙවෙයි, තාත්තා එක්ක විනෝද් අංකල්ලාගේ ගෙදර ගිහින් එන්න කියල කිව්වේ”

“දැන්?”

එවිටම කවුරු හෝ නිවසට ඇතුළුවන ගේට්ටුවෙන් වාහනයක් ඇතුල් කරනු ඇසුනි. වාහනය දුර සිට හඳුනන මගේ සිත නොපහන් වුවද චකිතයක් දැනුනේ, එලෙස පැමිණියේ අපට මහල් නිවාසය ලබාදුන් දේශපාලන හිතවතා ; දුලිප් සතරසිංහ ; වන බැවිනි.

පාරම්පරික පොහොසතුන් වන දුලිප් සතරසිංහ ලාංකිය දේශපාලන ලෝකයේ යම් පමණකට ගරුත්වයක් ඇති අයෙකු ලෙස ප්‍රකට ප්‍රභල අයෙකි. ඔහුගේත් , තාත්තාගේත් මිතුදම ඔවුන්ගේ පාසල් කාලයේ සිට පැවතී දෙයක් වුවද තාත්තා කිසිවිටෙක ඔහුගේ දේශපාලන ප්‍රචාරණයට සම්බන්ද වෙනවාත්, ඔහු තාත්තාගේ උපකාර ඉල්වනවාත් මම කිසිදින දැක නැත්තෙමි.

ඔහු සාමාන්‍යයෙන් තාත්තා අප නිවසේදී මුණගැසෙන්නේ කලාතුරකින් වන අතර ඒ කිසිම වතාවකදී තාත්තා විසින් අම්මා හෝ හඳුන්වා නොදීමට වගබලා ගත්තේය. එබැවින් දුලිප් සතරසිංහ සහ තාත්තා අතර වූ මිතුදම ඔවුන් දෙදෙනාගෙන් පිටතට කිසිදා කාන්දු වී නොතිබිණි.

සුපුරුදු පරිදි අම්මා පිටතට නොපැමිණ සිටි නමුදු මෑත කාලයේ එහි සිදුවූ මා සම්බන්ධ සිද්ධීන් නිසා ඉවත්ව යාමට මට සිතක් නොවීය.

‘ඔහු එන්නේ මහල් නිවාසය නැවත ඉල්ලන්නද?’

තාත්තාගේ පිළිගැනීමෙන් පසුව කෙලින්ම තාත්තා සමඟ කන්තෝරු කාමරයට වන් දුලිප් සතරසිංහ පසුපසින් දොර වැසී යනවා ඈත සිට මට පෙනුනි. සිතේ ඇති චකිතය නිසා මම ආහාර ගැනීම නිමාකොට හොරගල් අහුලමින් සිටියෙමි. ඔවුන්ගේ කතාබහ කිසිදිනෙක අසා නොසිටීමත්, හසුවුවහොත් තාත්තාගෙන් ලැබෙන ප්‍රතිචාරයේ බරපතලකම දන්නා නිසාත් පසුබා ගියද ඊට වඩා අවදානමක් ගැනීමට මා පෙලඹවූයේ කුමක්දැයි මම අද වනතුරුත් නොදන්නෙමි.

තාත්තාත් දුලිප් සතරසිංහත් සිටින කාමරයට ඇත්තේ නිවසේ සිට එක් දොරටුවක් පමණි. පසුව වෙන්කරන ලද බැවින් කුඩා කාමරයත් එම කාමරයත් හඬ පිටතට නොයන පරිද්දෙන් සදා තිබුණු අතර, කාමර දෙක වෙන්කළ දොරටුව පසුව ඉදිකළ බැවින් මෙහා පස සිට සවන් දීමට තරම් වනු ඇතැයි මම උපලක්පනය කලෙමි. නිල නොලත් වශයෙන් මට භාවිතයට ගන්නට ඉඩදුන් කුඩා කන්තෝරු කාමරයට පිටතින් ඇති දොරටුව විවෘත වන්නේ, ගරාජයේ නැගෙනහිර අන්තයට බැවින් එය කාගේහෝ අවධානයට ලක්වන්නේ නැත.

දොරටුවෙන් ඇතුළු වූ මම පා ඇඟිලි තුඩු වලින් ගොස් කාමර දෙක වෙන්කරන දොරටුව අසල බිම පහත්වී පුළුවන් උපරිමයෙන් කන තබමින් කටහඬක් පැහැදිලි කරගන්නට උත්සහ කලෙමි. කිසිවක් නෑසේ. මම දොරෙහි පසෙකින් ඇති ලිවර දෙස බැලුවෙමි. දාරුමය ශක්තිමත් දොර කාමර දෙක අතර ශක්තිමත් පවුරක්ව සිටියේය. කුඩා කාමරයට වායුසමීකරණය සවිකරද්දී සිදුරුකළ කවුළුවක් දුටු මම දොරේ පසෙකින් අඩිය තබා යන්තම් එසවී බැලුවෙමි.

මගේ ඉලක්කය නිවැරදිය. තාත්තා සිය සුපුරුදු පුටුවෙත්, ඊට ඉදිරියෙන් තිබෙන පුටුවේ දුලිප් සතරසිංහත් ලෙස හිඳගෙන සිටි අතර දෙදෙනාගේම මුහුණු බැරෑරුම් විය.

හදිසියේම දුලිප් සතරසිංහට දුරකථන ඇමතුමක් ආයෙන් ඔහු එයට පිළිතුරුදීමට මා සිටි දොර අසලටම ආවේය. හෙලවීමක් තබා හුස්මක් ගත නොහැකි ලෙස මම හුස්ම අල්වා ගත්තෙමි. එය දේශපාලන රැස්වීමක් පිලිබඳ කතාවකි. වචන දෙකෙන් තුනෙන් එය අවසන් කල ඔහු හැරී තාත්තා දෙස බැලුවේය.

“මචන්…… දැන් බලන් ඉඳලා බෑ… ඉලෙක්ෂන් එකට කලින් මේ වැඩේ ඉවරයක් කරන්න ඕනේ. ඉලෙක්ෂන් ළඟ උනාම මේ වගේ වැඩ වලට අතගහන්න ගිහින් මිඩියා උන්ගෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ”

තාත්තා නැගිට ඒ දෙසට ඇවිද ආවේය. ඔහුගේ මුහුණ සෑහෙන වෙනස්ව; කළුපැහැ ගැන්වී තිබිණ. තාත්තා මෙලෙස විස්සෝපව සිටිනු මම මතක ඇති කාලයක දැක නැත.

“මට තේරෙනවා… මම අතෑරලා නැහැ. මුලින්ම කෙල්ල ගියපු තැනක් හොයාගන්න ඕනේ. “

“සෙනේෂ් මේ වැඩේ ‘කොහොමහරි’ කෙරෙන්න ඕනේ..  වැඩේ කියන්නේ… මට මේ වැඩේට මගේ උන්ව බස්සන්න බැහැ.. සෙනෙෂ්ට තේරෙනවනේ! මම උඹේ ගාමන්ට් එකේ වැඩේට උන්ගේ ලිඩර්ට කතා කරලා තියෙන්නේ.”

“හොඳටම විස්වාසයි තව දවස් තුන හතරකින් මට ආරංචියක් ලැබෙයි. ලංකාව පුංචියි දුලිප් ; එහෙම හැංගිලා ඉන්න බැහැ”

තාත්තගේ හඬ තියුණුය, වේගවත්ය. මොවුන් මේ කියන්නේ මොනවාද කියා මට කිසිදු ඉඟියක් ලැබුනේ නැත. මට අදාළ දෙයක් නොවන දේශපාලන කතාවක් හෝ ව්‍යාපාර කතාවක් විය හැකිය. නමුත් කෙල්ලකු සම්බන්ද වන්නේ කවර දේශපාලන ව්‍යාපාරයක්ද? මම බසින්නට සුදානම් වුයේ තවදුරටත් අසා සිටීම පලක් නොවන බව සිතුනු බැවිනි.

“ජයවර්ධන ඇත්තටම මැරුණද මචං..? ඌ ආපහු ආවොත්??”

“මම හිතන්නේ ඔව්… බොඩි එක හම්බ උනේ නැතුවට”

“සංජිවී ජයවර්ධන කිව්වහම දන්නේ නැති කෙනෙක් නැති උනාට.. කවුද දන්නේ හැංගිලා ජිවත් වෙනවද කියල”

“නෑ.. වෙන්න බැහැ… හිටියත් ලංකාවේ ඇතුලේ කොහොමත් ඉන්න හැටියක් නැහැ.. හිටියා නම් කෙල්ලව හොයාගෙන එනවා  කොයි වෙලාවක හරි”

දුලිප් සතරසිංහ ගේ වදන් වලින් මම ගල්ගැසී ගියෙමි. මේ පවසන්නේ මධුලිකාගේ පියා ගැනද?

“මේ වෙලාවේ නාවොත් ආයේ එයි කියලා හිතන්නත් බැහැ. අවුරුදු දහ අටක් වෙනකල්ම ඉඳි කියලා හිතන්න අමාරුයි. මොනවා උනත් කෙල්ල අපි ගාවට ගත්ත ගමන් ඔක්කොම හරි!”

මගේ පපුව දවා ගියා සේ විය. මේ කියන්නේ මධුලිකා ගැන නොවේද? ඇය අල්ලාගන්නට නොවේද තාත්තත් දුලිප් සතරසිංහත් මේ මන්ත්‍රණය කරන්නේ? මට මගේ කන් අදහාගත නොහැකි තරමකි. මම කොතරම් වික්ෂිප්ත වී සිටියාද කිවහොත් එල්ලී සිටි දොරෙන් මම ‘දඩස්’ හඬින් බිමට වැටුනෙමි. ඒ සමඟම මගේ දුරකථනය මර හඬ නංවන්නට විය.

මට පහල වුයේ ගණදෙවි නුවණකි. පිම්මට පිටතට ඇති දොර අසලට පැන දුරකථනයට පිළිතුරු දුන්නේ ඉහළ හඬකිනි.

“හලෝ.. කවුද මේ?”

මම එලියට අඩිය තබා ආපසු හැරී සිටගත්තේ මම මිදුලේසිට ඇතුලට එන පරිද්දෙන් දක්වන්නටයි. ඇස් කොනින් තාත්තා ඒ වන විටත් කාමර දෙකෙහි දොර විවර කොට ඇතිබව මට පෙනුනි.

“සර්.. මම සුන්දර් ! ෆෝන් එකක් ගත්තා…. සර්ට කියන්න ලොකු සර්…”

“ආ… සුන්දර්ද ? ආ.. ඔව් ඔව්… මම මේ අහන්නමයි හිටියේ… “

“සර් ලොකු සර්….”

“ඔව්නේ පොත්වල පොඩි වෙනසක් තියෙනවා තමයි. පඩි ටික සේරම බේරලා ඔහොම්මම හවස එනවකො එහෙනම් ලොරියේම.. නෑ නෑ කිසි ප්‍රශ්නයක් නැහැ මම ඔක්කොම බලාගන්නම්”

සුන්දර්ගේ වචන පරයා මම කතා කළෙන් සුන්දර්ට යමක් වැටහෙන්නට ඇත.

“සර්ගේ වෙපන් එක ලොකු සර්ට අහු උනා!”

මගේ අතුනුබහන් සියල්ලම සීතලව ගොස් හිස බමන්නට උනේ ඒ වචන ඇසුණු සැනින්මයි. වෙලුනු තොල-කට තෙමමින් මම වෙනසක් නොමැතිව කතාකරන්නට උනා.

“හරි සුන්දර්.. එහෙනම් අක්කවත් බලලා රෑ වෙලාම එන්නකෝ. අක්කට අමාරු නම් මට කියන්න.. එහෙනම් තියන්නම්”

තාත්තා නුදුටුවාසේ මම එසැනින්ම නිවසේ පසෙකින් ඇති ඉහලමාලයට යන පිවිසුම දෙසට ඇවිද ගියෙමි. මගේ සර්වාංගයම ගැහෙන්නට පටන්ගෙන ඇත. තාත්තා මධුලිකාව සොයයි! ඈ ඉන්නේ අනතුරකද?

ඒ මදිවාට මගේ අවියක් තාත්තාට හසුව ඇත.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: