Menu Close

හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම

මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ හැටියට ඒ පොත දිරවා ගන්නට ශක්තියක් නැති වෙන්න ඇති කියල දැන් මට හිතෙනව. මොකද වැඩි දුරක් නොකියවාම මම එය පැත්තකට දාපු බව හොදටම මතක හින්ද. ඒකාකාරී නීරස පරිවර්තනයක් විදියටයි මට ඒක දැනුණෙ. නමුත් මේ යන්නෙ ඒ ගැන කතා කරන්න නෙවෙයි. ඒ කතාවෙ තිබ්බ හිත තදින්ම ඇදුණ සිදුවීමක් වෙච්ච ට්‍රවුට් මත්ස්‍යය යන් බිලී බෑමේ කොටස නිසා ගුටි කාපු සිදුවීමක් ගැන.

ඔය හෙමිංවේ ත් මාලු බාන්න හරි රුසිය කියල කියනවනෙ. අවුරුදු විස්සක්ම අමෙරිකාවෙ ඉදන් කියුබාවට ඇවිත් පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ ඔහු කැමති මාලු වර්ග සිටිය නිසා බව කියවෙනව. තමන්ගෙ නමින් කියුබාවෙ තිබුණ මාලු බෑමේ තරඟයකදි පිදෙල් කැස්ත්‍රෝට තමන්ගෙ අතිංම මෙඩ්ල් එකක් දීපු මනුස්සයෙක් තමයි හෙමින්වේ කියන්නෙ. කියුබාව හෙමින්වේට සලකල තියෙන්නෙ තමන්ගේම පුත්‍රයෙක් විදියට. අමෙරිකාව කියුබාව එක්ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතහැරල දැම්මට පස්සෙ අකමැත්තෙන් සිය රට ගිය ඔහු ඊට වසරක් වගේ කෙටි කාලෙකට පස්සෙ ඔහුගෙ ප්‍රියතම කාණු දෙකේ තුවක්කුවෙන් හිසට වෙඩි තබාගෙන මියනන්නෙ තමන්ගෙ පුතාට දුන්න පොරොන්දුවත් අමතක කරමින්. අදත් හුඟක් සංචාරකයන් කියුබාවට ගියහම අනිවාර්යෙන් යන තැනක් තමයි ඔහු කියුබාවෙදි ජීවත් වුණ ෆින්කා කියන නිවස.

ඔය උඩ කිව්ව කතාව කියවල මාලු බාන්න ආසාවක් ඇති වෙලා මගෙ පැටි වියේ මිත්‍රයෙක් වෙච්ච රංජන් එක්ක බිලී කටු තියා තංගුස් නූලක් වත් නැතිව පත සයිස් පොල් කෑලි(සමහරක් පොල් කෑලි ඇලේ හිටිය මාලුන්ට ත් වඩා ලොකුයි) ටික්කුයි ආය කටු නමල හදාගත්ත බිලි කොකුයි සන් නූල් කෑලි ටික්කුයි ඇරං සන් නූලට ආය කටු නමල හදාගත්ත බිලි කොක්ක අමුණල ඒකට අර පොල් කෑලි එල්ලං බලා හිටියත් එක මාළුවෙක්වත් ඇම කෑවෙ නෑ. ඒත් මේ අගනා උත්සාහය දැකපු අපේ හිතාදර පිය තුමා මට යි අරූටයි දෙන්නටම මදි නොකියන්න ගුටි පූජාවකින් නං සංග්‍රහ කළා.
මලයට තියෙන්නෙත් මේවගේකක්
ඔය කතාව මට මතක් වුණේ අපේ පරම්පරාවෙ එකම ධීවරය වෙච්ච අපේ අම්මගෙ මල්ලි හෙවත් මගෙ මාම ගෙ පුත්‍රයා හෙවත් මගෙ ඇවැස්ස මස්සිනා වෙච්ච සමන් එක්ක මා ඔයේ මාලු බාන්න ගිය වෙලාවෙ. ප්‍රොෆෙෂනල් විදියට මාලු බාන්නෙ කෝමද කියල ඌ මට පෙන්නල දුන්න. ඒ මගෙ පළමු ගුටි කෑමෙන් පස්සෙ දෙවනි වතාවට මාලු බාන්න සම්බන්ධ වුණ වතාව. ඊට කලින් වතාව මැදිරිගිරියට ආසන්න කවුඩුල්ල වැවේ වම් ඉවුරෙ. මම මාස කීපයක් හිඟුරක්‍ගොඩ නැවතිල හිටිය අපෙ තාත්තගෙ මල්ලි-මගෙ බාප්පගෙ ගෙදර. එහෙ ඉද්දි එක දවසක මලයයි උගෙ නසරානි යාලුවො දෙන්නෙක් තුන් දෙනෙකුයි එක්ක උදෙන්ම නැඟිටල පණුවො එහෙමත් කොටාගෙන පාන් රාත්තල් දෙක තුනකුත් ඇරං පොල් ගෙඩියකුත් ඇරං සැමන් ටින් එක්කුයි තව තව ලට්ට පට්ට ටිකකුයි ඒ මල්ලටම දාගෙන බයිසිකල් වලිංම අස්සෙ පස්සෙ පාරවල් වලින් දාගෙන පැයක් විතර කොකං ගහල කවුඩුල්ල වැවට ආව. ඇත්තම බිලී කොක්කක් ඇත්තටම ඇල්ලුවෙ එදා. පණුවො අල්ලන්නත් හිරිකිතයි. මලය මට පස් පඩංගුවෙ බැණ බැණ පණුවො අමුනනව මං වැවට දාල බලං ඉන්නව. අරුං මාලු අල්ලනව මං මාලුන්ට කන්ඩ දානව. කෝම හරි මල්ලියි උගෙ යාලුවො දෙන්නයි මාලු විස්සක් විතර අල්ලන්න ඇති. ලොකු මාලු තුන් දෙනෙක් විතර හිටිය. අනික් උං ඔක්කම අඩියට වඩා අඩුයි. මම මාලු අල්ලන්න ගෙනාව ඇම මාලුන්ට කන්න දෙනව විතරයි මාලු අල්ලන්නෑ කියල මගෙ බිලි පිත්තත් උදුරල මාව වැව් ඉවුරට පන්නල අරුං මාලු බෑවැන් ඒහෙම හරි මාලු ඇල්ලුව. නැත්තං ඒකත් නෑ. හැබැයි  පොලුයි පානුයි සැමන් අනං මනං ලට්ට පට්ටයි නං දිවිය බෝජනේ පරාදයි. හෙහ් මට අදත් එච්චරයි පුලුවන්, කන්ඩ විතරයි.
(ඔය තියෙන්නෙ මාලු අල්ලපු තැන පැනොරාමා එකක්. ඕක ඇරං ටික වෙලාවකින් ෆෝන් එක ඕෆ් වුණා. ඊට පස්සෙ ඕනම පිංතූර ටික ගන්න බැරි වුණා.)
ඉතිං තුන් වෙනි වතාව ඒ කියන්නෙ මේ ලියමන ලියන්න හේතු භූත වෙච්ච දවසත් වෙනසක් නෑ. උදේ අපි දෙන්නගෙ හොඳම යාලුවෙක්ගෙ නංගි කෙනෙක් බඳිනව කියල දෙන්නටම වෙඩිමට එන්න කියල තිබ්බ. ඒකට ගිහිං දෙන්න එක්ක බියර් එකක් බොන ගමන් තමයි මාලු බාන්න යන කතාව ඇදුණෙ. උඹත් යමං කියල මට කිව්වට මුලදි ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ.  ඒත් මූ ගෙදරටම බිලි පිතියි අනං මනං ලට්ට පට්ට ටික උස්සං ආවම බෑ කියන්නත් බෑනෙ. ඉතිං මාත් පස්සෙං වැටුණ. මා ඔයට යන ගමං උගෙ හැම නසරාණි වැඩටම උල් පන්දං දෙන තවත් පොඩි එකෙකුයි අල්ලං මා ඔය දිහට්ට පල්ලං බැස්ස. යන ගමං ලීටර් දෙකේ මෙගා බෝතල් දෙක්කුත් උස්සං එනව දැක්කත් එච්චර අහන්න ගියෙ නෑ. ඔය ගාවට ඇවිත් සමන උගෙ ලට්ට පට්ට ටික ලෑස්ති කලා. ප්‍රොෆෙෂනල් බිලි පිත්තක් ටීවී වලින් ඇර දැක්කෙ එදා ඔන්න. මේකෙ මූ ‍ලොකු පොඩි සයිස් එක එක ජාතියෙ කටු හයක් විතර අමුණල තිබ්බ. ඕකට ඇමත් අමුණල ඔය දිහට්ට ඇම විසික් කරල බිලි පිත්ත බිමිං තියල අර ගෙනාව මෙගා බෝතලුත් එකින් එක අතට ගත්ත. ඇරං ඒවැයි ඔතල තිබ්බ තංගුස් එක දිගෑරල ඒවටත් බිලි කොක්කක් අමුණල ඔයට විසි කරල බලං ඉන්නව. අර ආපු පොඩි ඇම්ඩ ඔන්න හා හා පුරා කියල එකෙක් ඇල්ලුව. ඒක නං චූටි එකෙක්. (දෙන්න ගෙනාව ඇම ඉවර වුණාට පස්සෙ ඒ අල්ලපු පොඩි මාලු දෙන්න තුන්දෙනා ඇමට ඇරං තමා මාලු බෑවෙ). ඉතිං මාලු අල්ලන ගමං මුං කලිං අල්ලන්න ගිහිං වෙච්ච දේවල් ටික්කුත් කියනව.
දෙන්න දවසක් මුහුදෙ මාලු බාන්න කියල බිලි පිති ඒමත් ඇරං මීගමු ගිහිං. උදේ ඉදං හවස් වෙනකං ට්‍රයි කරලත් මාලු දෙන්නයි ලු අහුවුණේ. එහෙම කියල සැලෙන උං නෙවී. ආයෙත් දවසක දවස් දෙකක් විතර  කූඩාරං ගහං ඉදල මාලු අල්ලන්න යන්න ලෑස්ති වෙන කතාවකුත් ඒ අස්සෙ කියනව ඇහුණ.
තවත් දවසක මූ ගුටි කන්න ගිහිං බේරිලා තියෙන්නෙ  නූලෙං. මාලු අල්ලල නෙවී බයික් එකේ හුලං ඇරල. සමන් කොලුවයි උගෙ යාලුවෙක් වෙච්ච නසරාණි බාබුවයි(මේක නං මට අදටත් පෙන්නන්න බෑ. ඒක වෙනම කතාවක්) දෙන්න එක්ක සෙට් වෙලා පිට ගමක තියෙන පොඩි ඔයකට ගිහිං මාලු අල්ලන්න. දෙන්න මාලු අල්ලගෙන(එදත් මාලු දහයක් පහලවක් විතර සෙට් වෙලා) ප්‍රිතිමත් සිතින් එනකොට දෙන්න ගිය බයික් එකේ කවුදෝ කාවයියෙක් හුලං ඇරල. බාබුව බයික්කෙක දාල ගිහිං තිබිල තියෙන්නෙ ගඩොල් පෝරණුවක අවසර ගන්නෙ නැතිව. ඒකට තද වෙච්ච අයිතිකාරය තමයි මුං එක්ක මළට හුලං යවල තියෙන්නෙ. කොහොම හරි දෙන්න ගුටි කන්නෙ නැතිව ඇවිත් තියෙන්නෙ ත්  අනූ නමයෙන්. 
ඔය වගේ කතා ගොඩයි. ඒත් ඉතිං ලිපිය දික් නොවෙන්නත් ඕනන‍ෙ. ‍කොහොම හරි දෙන්නම ගෙනාව ඇමත් ඉවර වෙලා රෑත් වුණා.අර ඇම්ඩට අහුවුණ මාලුවො කීප දෙනා විතරයි. සමන් කොලුවගෙ දවස හරි නැති වෙල‍ා. ඒ අතර මල් කොරලි , ගුරාමි, ‍ලේල්ලෙක් (එහෙම තමයි ඒ මාලුවට කිව්වෙ) වගෙම  තව පොඩි පොඩි උං කීප දෙනෙක් හිටියත් දැං නම මතක නෑ. වෙච්ච විශේෂම දේ තමයි ඉස්සෙක්ගෙ අණ්ඩක් ගැලවිල ආව එක. ඒක අඩියකට වැඩිය දිගයි. ඉස්ස ගෙ සයිස් එක හිතා ගත්තහැකි නෙ. ඒ ගැන නං සමන අර ඇම්ඩන් කොලුවට සෑහෙන්න දෙස් තිව්ව ඌ හදිසි වෙල‍ා යොත හයියෙන් ඇද්ද කියල. පහළ දාල තියෙන්නෙ අල්ලපු ඉස්සන්ගෙ පොටෝවක් දෙකක්. ආයෙත් මම නං මාලු බාන කර්තව්‍යයට සහභාගී වෙන්නෙ නැහැ කියල තීරණය කළා. ඒ තරං හයිය හිතක් මට නෑ කියල අර අල්ලපු මාලු උඩ පැන පැන ජීවිතේ වෙනුවෙන් අරගල කරපු හැටි දැක්කම මට තේරුණා.
(ඔය අඟල් 6 ටයිල් කැට. අර ගැලවිල ආව කිව්ව අණ්ඩ මේකගෙන් එක හමාරක් විතර)


%d bloggers like this: