Menu Close

නොලැබ කිවිඳුන් කුමට කවිකම්

නින්ද යන්නෙත් නැති, නින්දට යන්නත් බැරි රාත්‍රී කොයිතරම් නම් ගණනක් මනුස්සයෙක්ට තියෙන්න පුළුවන්ද.. ගෙවලා ඉවර ඒවා හැරුණහම, තාම එළඹිලා නැති එහෙම රාත්‍රීන් තව කොයිතරමක් ජීවිතේකට උදාවෙන්න පුළුවන්ද..

ගෙවෙන කීවැන්නද කියලා හසරක් නොදන්න එහෙම නින්ද යන්නෙත් නැති නින්දට යන්නත් බැරි මහා රෑක මම අහන්න සින්දුවක් හොයමින් හිටියේ. බටනලා හඬට මම කොයිතරම් නම් පෙරේතයිද කියන්න කාලෙකට කලිනුත් ලියා තියෙනවා. ගිනි මද්දහනක කූඹි ගුලක් වගේ සෙනඟ කන්දරාවක් යනෙන කොටුවේ පාර අයිනක හිටන් බටනලා හඬක් ඉවර වෙනකල් අහන් හිටිය පිස්සු ආත්මයක් මට වැහුණේ කවද්ද කියන්න මම දන්නේ නෑ, මතක ඇති කාලේ ඉඳන්ම එහෙම තමයි. අන්න ඒ ආත්මේ තමයි මේකත් හොයාගන්න ඇත්තේ සමහරවිට.

අහම්බෙන් වගේ හම්බවුණු මේ වාදනයට මම තාම ඉන්නේ පියවි ලෝකේ නෙවෙයි. 



නන්දා මාලනියගේ ‘කුරුටු ගෑ ගී පොත’.
එවන් කුරුටු ගෑ ගී පොත්, කවි පොත් මටත් තියෙනවා, කාලෙකින් ඇර නොබලපු, කෑ ගහන්නට බලා ඉන්න කුරුටු ගී තියෙනවා දුනු හී මානාගෙන ඉන්න හර්දය පාසා කරගෙන යන්න විදින්න සුදානමෙන්. හර්දය ළපටි කාලයේ වන තුවාල බරපතලයි, ඒ කැළැල් මැකෙන්නේ නෑ, ළපටි නිසා ඒ තුවාලවල දිග පළල අනුවයි හර්දය වැඩෙන්නේ. මගේ හර්දයත් ඒ වගේ. හර්දය වස්තුව නොකියන්නේ මං ඒ නිසයි. වස්තුවක් වෙන්න තරම් ඒක වටිනවාද කියා මම තව දුරටත් නොදන්නා නිසා.හර්දය මේරුවම හරිම හිතුවක්කාරයි. වයසට යද්දි මිනිස්සු වගේ. හැබැයි මේරුව හර්දයකට ළපටි කාලේ සටන් කරන්න අමාරුයි. රිදුම් දැනෙනවා වැඩියි, බර උහුලන්න අමාරුයි. මගේ හර්දයත් දැන් ඒ වගේ. ඒකත් ළපටි කාලේ වුණු තුවාලවලටම ඉලක්ක වෙන හී දරාගන්න සෑහෙන්න දුෂ්කරයි. ඒ හී හැදුවෙත් මමමයි, පසුතැවිල්ලේ විෂ කාලයක් තිස්සේ පදම් වෙලා නොහිතුව වෙලාවක, මහලා හා කරපු තුවාලෙක වැදුණම මේරුව හර්දය මැරෙන්නේ ටිකෙන් ටික.

කවිකම් ඉගෙන නොගත්තා වුණත් කවි උපද්දවපු ප්‍රස්තුතය ඒ පරිණත හර්දයේ කොහේ හරි තැනක ඉන්නවා වාගේ දැනෙන මොහොතවල්වල, අර හිතුවක්කාර මේරු හර්දය සමච්චල් හිනාවක් පාමින් හිටියට, ඒ හිනාව නොදන්නවා නෙවෙයි නොපෙන්නා ඉන්න උත්සහ කරන තුවාලය කොයිතරම් නම් තාමත් අළුත්ද කියලා. අමරණීය මරණීය තුවාල. 

සමහර වෙලාවට මේ මේරූ හර්දය ඕනෑවට වඩා යථාර්ථවාදී වෙන්න හදනවා. මතක තේරුමක් නැතිබව, පරණ තුවාල දැන් හොඳටම සුවවෙලා බව, හර්දයේ බිත්ති තවදුරටත් සුකොමළ නැතිබව, හර්දයත් ඇසුත් අතර අවබෝධතා ගිවිසුමක් නැතිබව වගේ රැඩිකල්වාදී, යථාර්තයෙන් හුඟක් දුර දේවල් කියන ඒ මේරූ හර්දයම මුහුණුපොතේ මතකයක් පාවුණත්  එක පයින් අතීත ලෝකයට දුවලා පොළෝ කුහරයක පැහෙමින් නටන ලෝදිය උල්පතකට පනිනවා.  වේදනාවට හුරුවීම කියන්නේ ඇබ්බැහියක්. දරුණු ඇබ්බැහියක්.

කුරුටු ගෑ ගී පොතේ පද විතරක්ම නෙවෙයි ඒ තුවාල පාරන්නේ, හඬ, තාලය ඒ සේරම. බටනලාව විරහවේ උපත. කුරුටු ගෑ ගී පොත බටනලාවෙන් වැයෙද්දී මන්ද්‍ර විරහවකත් ඒ වේදනාව දැන්නේ ත්‍රීව්‍ර ස්වරයෙන්. එහෙම වෙලාවකට මේරු හර්දය වුණත් කඳුළු වගුරමින් ගයන්නේ ‘නොලැබ කිවිඳුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ’ කියලා.

ඇහූ දෙයක්ද කියවූ දෙයක්ද කියා මතක නැහැ, ඒත් මේ බටනලාවෙන් වැයෙන්නේ මගේ හර්දය..

%d bloggers like this: