Menu Close

අමුතු සිත්තරා හෙවත් Zima Blue – 2 කොටස

මුල් කොටස

අප පැමිණි මගට වඩා වෙනස් මගකින් ඔහු මා සමග පිහිනුම් තටාකය වෙත ඇවිදගෙන  ගියා. බෝට්ටුවේ එන විට මා දුටු නිල්පාට රශ්මිය මේ තටාකයේ වූ නිල්පාට බව මට වැටහී ගියා.

“පිහිනුම් තටාකයක්?” මම ඇසුවා
“මෙතන තමා ඒ හැමදේම වෙන්නේ… මගේ අවසාන නිර්මාණය සහ සමුගැනීම”
එය එතරම් හොඳ තත්වයේ තිබුනේ නෑ… කුඩා රොබෝවන් කිහිප දෙනෙක් තටාකයේ කැඩුණු ටයිල් වෙනුවට අලුත් ටයිල් අල්ලමින් සිටි අතර, තවත් පිපිරුම් කිහිපයක් ද මා දුටුවා… 
“ග්‍රහලෝක පාට කරපු ඔබ අවසන් නිර්මාණය කරන්න මෙවැනි තැනක් තෝරා ගැනීම නිකං ගැලපෙන්නේ නෑ වගේ නේද..?”
“මට එහෙම හිතෙන්නේ නෑ… මෙතනින් හැමදේම ඉවර වෙයි… මං ඒ කරපු හැමදේම අවසානයේ මාව ගෙනාවේ මෙතෙන්ට…” ඔහු සන්සුන්ව පැවසුවා.
“මේ පරණ තටාකෙට..?”
“මේක පරණ තටාකයක් පමණක් නෙවෙයි…”
එසේ කියමින් ඔහු මා සමග ඇවිද ගියා…
“ඒ චිත්‍ර සියල්ල මම ඉතා කැමැත්තෙන් ඇන්දේ… ඒවා එතරම් විශාල වුනේ විශ්වය කියන්නේ විශාල තැනක් හින්ද…”
“ඒවා ඉතා විශිෂ්ටයි..!”
“ඒවා ජනප්‍රියයි, විශාලයි,  අමුතුයි…. නමුත් හැඟීම් විරහිතයි… මගේ හදවතින්ම මම ඇඳපු චිත්‍ර වුනත් ඒවායේ කිසිම ජීවයක් තිබුනේ නෑ…  “
මම කිසිවක් කිව්වේ නෑ… Zima ගේ චිත්‍ර ගැන මට හැමදාම තිබුනෙත් ඒ වගේ හැඟීමක්… ඒවායේ තිබුනේ ආකර්ශනීය  නමුත් හිතට හුදෙකලා ගතියක් දැනෙන හැඟීමක්. හරියට විශ්වය වගේ. බොහෝ දෙනෙක් ඒවා අගයන්න හේතුව වෙන්න ඇත්තේ ඒවා  Zima නම් සයිබෝගයාගේ  නිර්මාණ නිසා වෙන්න ඇති. හරියට කටින් පින්සලක් ගත්ත කෙනෙක් මොකක් ඇන්දත් මිනිස්සු ඒක අගයනවා වගේ …
“මගේ චිත්‍ර වල තිබුනේ සක්වළ ඇති සැටියෙන්. අලුත් දෙයක් තිබුනේ නෑ. ඒ චිත්‍ර වලින් මම ගැන කිසිවක්  කියාගන්න මම අසමත් වුනා. මගේ සුපිරි ශරීරය නිසා මම ඇවිදපු,  දැකපු, මට දැනුන කිසිම දෙයක් ඒ තරම් වැදගත් දේවල් නෙවෙයි. අතත්‍ය යාතාර්ථික පහසුකම් සහිත ඩ්‍රෝන්  එකක් තියෙන වෙන ඕනෑම ශිල්පියෙකුටත් මේවා මේ විදියටම අඳින්න පුළුවන් .”
“මම හිතන්නේ ඔබ ඔබ ගැන ඔයතරම් අඩුවෙන් සිතිය යුතු නෑ…” මම කීවෙමි.
“ඇත්තටම එහෙම එකක් නෑ… මට දැන් මෙහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මම වැදගත් නිර්මාණ කරපු නිසා කියල මම දන්නවා. නමුත්, ඔහු මදක් නැවතුණි. ” ඒක වුණේ කිසිම සැලසුමකින් තොරව… මගේ පාලනයකින් තොරව”

“ඔබ කියන්නේ නිල් වැඩ ගැනද ..?”

“නිල් වැඩ …” ඔහු හිස සලමින් පැවසුවා. “ඇත්තටම ඒක පොඩි අත් වැරද්දක්… තනි කළු කැන්වස් එකේ ඔය නිල්පාට පැල්ලමක් වැටුණා.  හැබැයි ඒක දැක්ක ගමන් මාව තිගැස්සුනා. හරියට කරන්ට් එක වැදුනා වගේ. මගේ ඇඟේ සර්කිට් එකක වයර් මාරු වුණා වගේ හැඟීමක් ඒක. හරියට ඒ වයර් මාරුව කොහේදෝ තිබුණු අමතක වෙච්ච මතකයක් එක පාරට පත්තු කළා වගේ. මගේ ජිවිතේ තිබ්බ වැදගත්ම පාට ඒක කියන එක මට ස්ථිර වුණා… “

“මොකක් ද ඒ මතකය ..?

“ඇත්තටම එහෙම මතකයක් මට තිබුනේ නෑ… මට දැනුන එකම දේ ඒ නිල්පාට මට කතා කළා වගේ හැඟීමක්. හරියට මම මගේ මුළු ජිවිත කාලෙම ඒ පාට හමුවෙනකම් බලාගෙන හිටිය වගේ. මගේ ඇතුලේ හිර වෙලා තිබ්බ දෙයක් එක පාරට එලියට පැන්න වගේ… “

ඔහු මදක් නිහඩව කල්පනාවට වැටුනේය…

“ඒ නිල්පාටෙ මොකක් දෝ දෙයක් තිබුනා. අවුරදු දාහකට කලින් Yves Klein කිව්වේ එක වර්ණයක් අනිකුත් වර්ණ සියල්ලම අභිබවා යන්නේ ඒ වර්ණයේ සාරය නිසා කියල. එක්තරා මනුස්සයෙක් එයාගේ මුළු ජිවිතයම තමන් කුඩා කාලයේදී දුටු නිල්පාටක් හොයමින් ඉඳල තියෙනවා. නමුත් ඔහුට ඒක හොයා ගන්න බැරි වෙනකොට ඔහු අවසානයේ තීරණය කරනවා එය තමන් හිතෙන් මවා ගත් පැහැයක් මිසක් ඇත්තට තියෙන එකක් නෙවෙයි කියල, නමුත් එක දවසක් අහම්බෙන් වගේ ඔහු ඒ වර්ණය දකිනවා. ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක හිටපු කුරුමිනියෙකුගේ පාට ඒක…”

“Zima Blue කියන්නේ මොකක් ද? කුරුමිනියෙකුගේ පාට ද?” මම ඇසුවා

“නෑ…කුරුමිනියෙක් නෙවෙයි. නමුත් මට උත්තරේ හොයා ගන්න ඕනේ වුනා. මට ඕනේ වුනා ඒ වර්ණය මට මෙතරම් බලපෑමක් කරන්නේ මොකද කියල හොයා ගන්න….”

” ඔබ ඔබට බලපෑම් කරන්න ඉඩ ඇරලා හිටියා නේද…? “

“මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ… නමුත් නිල් පාටේ බලපෑම වැඩි වෙන්න වෙන්න මට තේරුම් ගියා උත්තරේට ළඟා වෙන්න  පහසු බව… නිල්පාට තුල ගිලී යන්න ඉඩ හැරියොත් මට ඒක හොයා ගන්න පුළුවන් වෙයි කියල මට හිතුනා. මම කියන්නේ කවුද කියල හොයා ගන්න මට පුළුවන් වෙයි කියල මගේ හිත කිව්වා…”

“ඉතින්…? හොයා ගත්ත ද…? “

Zima නිහඩව සෙමෙන් ඉදිරියට ඇදුනා… ඔහු ඉතා ගැඹුරු කල්පනාවකට වැටුනා වගේ… අඳුරත් සමග හමා ආ සිහිල් සුළං රැල්ලත් එක්ක මට සීතලක් දැනුනා. මගේ කෝට් එක දාගෙන ආපු නැති එක ගැන මට මතක් වුනත් Zima ගෙන් එකක් ඉල්ලගන්න මට හිතුනේ නෑ… ඔහුගේ කල්පනාවෙන් ඔහුව මුදවන එක පාඩුයි කියල මට හිතුනා…”.

“මතකයන් වල ඇති වරදින සුළු බව ගැන අපි කතා කළා නේද…?” ඔහු ඇසුවා

“ඔව්”

“මගේ මතකයත් එතරම් සම්පුර්න වුනේ නෑ…”  මතක මොඩියුලයක් බද්ධ කර ගත්තට පස්සේ ඉඳල හැම දේම මතක තිබුනට ඊට කලින් ඒවා එතරම් පැහැදිලි නෑ…ඒ ටික පහුගිය අවුරුදු 300 ක් විතර… හැබැයි මම ඊට වඩා ගොඩක් වයසයි කියල මම දන්නවා”. මතක බද්ධයට කලින් සිද්දි ගැන තියෙන්නේ තරමක් නොපැහැදිලි කමක්. සමහර දේවල් එකට එකතු කර ගන්න අපහසු කමක් තිබුනා.”  සෙමින් නතර වූ ඔහු මා දෙස හැරෙමින් පැවසුවා.

බැසයන හිරුගේ මලානික තැඹිලි පැහැයෙන් ඔහුගේ මුහුණේ පසක් එලිය වැටී තිබුනා.

“මම තේරුම් ගත්තා මේ Zima Blue ගැන හරියටම හොයා ගන්න නම් මට මගේ මතකය සම්පුර්ණයෙන්ම අවුස්සලා එලියට ගන්න වෙනවා කියල… “

“ඉතින් කොච්චරක් දුරට හොයා ගත්ත ද…?”

“ඒක නිකන් පුරාවිද්‍යාව වගේ… මම ටිකෙන් ටික මතු කර ගන්න උත්සාහ කළා. මම  ඉස්සෙල්ලම කලේ මතක බද්ධයෙන් පස්සේ ඉතිරි වෙලා තිබ්බ එක පරණ මතකයක් ගැන හොයන එක.  ඒ මතකය මාව Kharkov 8 වලට අරන් ගියා.  ඒක Garlin Bight වල තියෙන ග්‍රහලෝකයක්. මෙහෙ ඉඳල ආලෝක වර්ෂ 90000ක්  විතර දුරින්. මට තිබ්බ මතකය තමයි එහෙ හිටපු එක මනුස්සයෙක්. ඔහුගේ නම කොබාගෝ…”

“AM ගේ උදව්වක් නැතුවත් මම Garlin Bight ගැන යම් යම් දේවල් දැනගෙන හිටියා. තව ජිවය තියෙන ග්‍රහ පද්ධතීන් 600ක් විතර ඔය Garlin Bight වල තියෙනවා. ඒ ටික ගැලක්ටික් බලවතුන් කිහිප දෙනෙකුට යටත් වෙච්ච චක්‍රාවාට නීති හරියට ක්‍රියාත්මක නොවෙච්ච ප්‍රදේශයක්.”

“Kharkov 8 කියන්නේ එයින් එක තැනක්. ප්‍රසිද්ද වෙලා තිබුනේ වෛද්‍ය කටයුතු වලට. අයතා සයිබර්නතික වැඩ ඕනේ දෙයක් වැඩි කරදරයක් නැතුව කර ගන්න හැකියාව එහි තියෙනවා…”

” එහිදීද එතකොට…?

“එහිදී තමයි මම මේ ඉන්න තත්වෙට පත්වුණේ…” Kharkov 8 වලින් පස්සේ ගොඩක් වෙනස් කම් මම කර ගත්තා… හැබැයි මගේ ශරීරයේ මදය මේ හමට යටින් දැම්මේ කොබාගෝ ගේ ක්ලිනික් එකේදී…

“ඒ කියන්නේ Kharkov 8 යන්න කලින් ඔබ සාමාන්‍ය මනුස්සයෙක්…?” මම ඇහුවා

“එතෙන්දි තමා මේ කතාව සංකීර්ණ වෙන්නේ… මම Kharkov 8 වලට ගිහින් කොබාගෝ ගැන හොයා බැලුවා. මට ඕනේ වුනේ සුලමුල හොයා ගන්න කොබාගෝ ගෙන් උදව්වක් ගන්න නමුත් ඒ වෙද්දී මිනිහා අතුරුදහන් වෙලා. එයාගේ මුණුපුරා තමයි ක්ලිනික් එක කරගෙන හිටියේ.”

“මුලින් පොඩ්ඩක් අදිමදි කලාට පොඩි සන්තෝසමක් දුන්නට පස්සේ සීයාගේ ලොග් සටහන් වල තියෙන තොරතුරු හොයල දෙන්න මුණුපුරා කැමති වුනා…”

මේ වෙද්දී අහසයි මුහුදයි දෙකම අලුපාටට හැරිලා තිබුනා…  නිල්පාට අතුරුදහන් වෙලා

“ඉතින් මොකද වුනේ…?”

“ඒ ලොග් සටහන් වලට අනුව මම කවදාවත් මනුස්සයෙක් වෙලා ඉඳල නෑ…” ඔහු මොහොතකට නිහඬ වුණා, ඔහුගේ හඬේ තිබුනේ විශ්වාසනීය බවක්. “මම ඒ ක්ලින්ක් එකට යන්න කලින් Zima කියල කෙනෙක් ඉඳල නෑ…”

“අයියෝ AM හිටියනම්….” මගේ හිත හිමිහිට මුමුනවා මට ඇහුනා

“ඒ කියන්නේ උඹ කවුද…?”

“යන්ත්‍රයක්… ඔහු කිව්වා. සම්පුර්ණ ස්වයංක්‍රීය කෘතීම බුද්ධියක් සහිත ඒ වෙද්දීත් ශතවර්ෂ ගණනාවක් පැරණි රොබෝවෙක්. නීතිමය වශයෙන් පුර්ණ ස්වාධින බවත් සහිතව.”

“නෑ…. ක්ෂණිකව දැනුන කම්පනයත් එක්ක මට කියවුනා. “ඔබ යාන්ත්‍රික කොටස් සහිත මනුෂයෙක්. මැෂින් එකක් නොවෙයි.”

“ක්ලින්ක් එකේ රෙකෝඩ් වල තිබුනේ මම යන්ත්‍රයක් කියල. මම එතෙන්ට ගිහින් තියෙන්නේ රොබෝවෙක් වශයෙන්. බුද්ධිමත් බවක් තිබුනට මම යන්ත්‍රයක්. එහිදී මගේ ඇඟේ තිබ්බ ඥානය සහ බුද්ධියට සම්බන්ධ කොටස් ජෛවමය සිරුරකට සම්බන්ද කෙරුවා.” ඔහු ඇඟිල්ලකින් සිය හිසේ එක පසෙකට තට්ටු කළා. “මේක ඇතුලේ යාන්ත්‍රික සහ ජිව කොටස් දෙකම එක වගේ බැඳිලා තියෙනවා. මට හරියට කියන්න අමාරුයි මොකකින් මොකක් පාලනය වෙනවද කියල…”

මා ඉදිරියේ සිටින මේ රුව දෙස මම මොහොතක් බලා සිටියා. මෙතෙක් කල් මා දුටු ඒ රුව යන්ත්‍රයක් ලෙස දැකීමට හිත හදාගැනීම කෙසේ වේදැයි මට ඒ මොහොතේ හිතා ගන්න බැරි වුණා.

“ක්ලින්ක් එකේ කොල්ලා ඔබට බොරු කියන්න ඇති…”

“මම හිතන්නේ නෑ…”. ඔහු ඉතා විශ්වාසයෙන් පැවසුවා.

“හ්ම් …”  මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.

“ඒ තොරතුරු බොරු වෙන්න බෑ. මම චෙක් කරලා බැලුවා. Kharkov 8 වලට රොබෝවෙක් ඇතුල්වෙලා තියෙනවා ක්ලිනික්  එකේ වැඩේට මාස දෙක තුනකට කලින්…”.

“ඒ උඹ නොවෙන්න පුළුවන්…”

” වෙන කිසිම රොබෝවෙක් දශක දෙක තුනකින් මෙහා එහෙට ගිහින් තිබුනේ නෑ. අනිත් එක ඒ රෝබෝවා කොහෙන්ද ආවේ කියලත් රෙකෝඩ් වල තිබුනා. “

“කොහෙන් ද? “

“Bight වලට එහා තියෙන තව ලෝකයක්.  Lintan 3, Muara දුපත් සමුහයේ…”

AM නැති අඩුව… ඒ කොහේදැයි මට කිසිදු අදහසක් නොවිණි.

“ඒ කොහෙද කියල මම නම් දන්නේ නෑ..”

“ඔව්… ඒ ලෝක කවුරුත් නිතර යන එන තැන් නෙවෙයි. මම හිතන්නේ ඒ පැත්තට යන lightbreakers වත් නැද්ද කොහෙද.. කොහොම වුනත් මම ඇවිල්ල තිබුනේ එහෙන්…”

“එහෙටත් ගිහින් බැලුව ද?”

“දෙපාරක් ගියා. ඔය Kharkov 8 වල ක්ලිනික් එකේ වැඩේට කලින් එක සැරයක් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ ළඟදිත් මම ගියා… විස්තර හොයන එක අමරු වෙන්න ගත්තේ එහෙදි… ” හැබැයි හැම වෙලාවෙම මම හරි තැනදි හරි ප්‍රශ්නේ අහල, හරි රෙකෝඩ් තියෙන තැන් හොයා ගත්තා. එහෙම නැත්නම් කවදාවත් හොයන්න වෙන්නේ නෑ. අන්තිමේදී මම කොහෙන්ද ආවේ කියල හොයා ගත්තා… හැබැයි… එකත් ආරම්භයම නෙමෙයි… නමුත් මම අතාරින්නෙ නැතුව දම්වැලේ පුරුක් එකින් එක හොයාගෙන ගියා… මට තිබ්බ එකම දේ තමා කොහොම හරි හොයා ගන්නවා කියන දැඩි උවමනාව…”

“ඇයි සල්ලි…”

“ඔව්.. සල්ලි නැත්නම් මොකුත් කර ගන්න වෙන්නේ නෑ… ඔහු මද සිනාවෙන් යුතුව පැවසුවා.

” ඉතින් මොකක් ද අන්තිමට හොයා ගත්තේ..?”

“Kharkov 8 වලට එද්දී මම මනුෂ්‍ය බුද්ධියට සමාන බුද්ධියකින් යුතු ස්වාධින රොබෝවෙක්. නමුත් මම ඒ මට්ටමට ඇවිල්ල තියෙන්නේ ක්‍රම ක්‍රමයෙන්…ටිකෙන් ටික මාව දියුණු කර ගනිමින්”

“ඒ කියන්නේ ඔබ විසින් ඔබව වැඩි දියුණු කරගෙන ද?”

“අන්තිම වෙනකොට මම ම කරගෙන තියෙනවා, ඒ කියන්නේ මට නීතිමය ස්වාධිනත්වය ලැබුනට පස්සේ. නමුත් එහෙම නීතිමය වශයෙන් මට බලයක් ලැබෙන්න නම් මගේ බුද්ධි මට්ටම යම්කිසි තලයකට එන්න ඕනේ… ඊට කලින් මම නිකන් සාමාන්‍ය යන්ත්‍රයක් එක වැඩක් කරන්න හදපු. නමුත් මාව පරම්පරාවෙන් පරම්පරාවට වැඩි දියුණු කරමින් ගෙනල්ල තියෙනවා. ඒ හැම කෙනාම මාව වැඩි දියුණු කරලා තියෙනවා.”

“ඒ කියන්නේ ඔබේ මුල එතකොට….?”

“කාගේ හරි පොඩි ප්‍රොජෙක්ට් එකක්…”

ඒ වනවිට රාත්‍රිය උදාවී තිබිණි.  Zima සහ මම නැවතත් තටාකය දෙසට පැමිණ සිටියෙමු. ඒ වන විට  තටාකය අලුත්වැඩියා කරමින් සිටි රොබෝවන් ගේ වැඩ අවසන් වී තිබුණු අතර, තටාකය වටා තිබුණු නැරඹුම් ආසන ආලෝකවත් කර තිබිණි.

“ඒක ලෑස්තියි දැන්… Zima පැවසිය. හෙට මේක සීල් කරලා අනිද්දට වතුර පුරවනවා. වතුර නියම තත්වයට එනකම් පිරිසිදු කරන්නත් වෙනවා…”

ඊට පස්සේ…? මම ඇසුවෙමි.

“ඊට පස්සේ මම මගේ අවසාන සංදර්ශනය කරනවා”

—————————————————-

තටාකය වෙත පැමිණෙන අතරතුර Zima මට ඔහුගේ ආරම්භය පිළිබඳව සියල්ල පැවසුවා. ඔහුගේ ආරම්භය සිදුවී තිබෙන්නේ පෘථිවියේ. මම ඉපදෙන්නත් ගොඩාක් කලින්. විනෝදාංශයක් විදියට රොබෝවන් හදපු තරුණ ගැහැණු ළමයෙකුගේ තවත් එක ප්‍රොජෙක්ට් එකක් ඔහු. ඒ කාලේ තමා ගොඩක් අය මේ රොබෝ තාක්ෂනය ගැන, කෘතීම බුද්ධිය ගැන එහෙම උනන්දුවෙන් පරීක්ෂණ කරන්න අරන් තියෙන්නේ.

මේ තරුණියගේ මුලිකම උනන්දුව වෙලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම, යාත්‍රා කිරීමේ  හැකියාව සහ ස්වාධීනව ගැටළු විසඳීමේ හැකියාව සහිත රොබෝවන් නිපදවීම.  ඇය මෙවැනි හැකියාවන් සහිත බොහෝ රොබෝවන් නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලේදී බොහෝ වෙලාවට කැඩුණු සෙල්ලම්බඩු, පරණ පරිගණක කොටස්, සහ එහෙන් මෙහෙන් හොයා ගන්න උපකරණ වලින් තමා මේ රොබෝ නම් යන්ත්‍ර හදල තියෙන්නේ. රොබෝ-මනස  විදියට ඔවුන් ඒ කාලේ යොදාගෙන තියෙන්නේ පරණ පරිගණක මතක කොටස් තමා. ඇත්තටම ඒවාට මනස කියන නම යොදන්න පුළුවන් ද කියල මට තේරෙන්නේ නැහැ. ප්‍රාථමික  මට්ටමේ වැඩසටහන් වලින් සකස් වුනු බුද්ධිමය හැකියාවන් සහිත රොබෝවන් මේවා.

මේ තරුණිය සිය නිවසේ බොහෝ කාර්යයන් සඳහා විවිද රොබෝවන් නිපදවපු කෙනෙක්. ගෙදර මකුළු දැල් කඩන්න, පින්තුර පිස දමන්න  බිත්ති පුරා දුවන රොබෝවෙක්,  ගෙදර ඉන්න පුංචි මැස්සන්, කැරපොත්තන් ගිල දමන යන්ත්‍රයක්, මේ යන්ත්‍රය බලය ලබාගෙන තියෙන්නේ මේ අල්ල ගන්න සතුන් ජීර්ණය කරගෙන ලැබෙන ජිව කොටස් වලින්. එක එක සෘතුවලට ගැලපෙන්න ගෙදර තීන්ත  ගාල පාට වෙනස් කරන තව රොබෝවෙක්.

මීට අමතරව ඇගේ පිහිනුම් තටාකයේ ජිවත් වෙච්ච පුංචි යන්ත්‍රයක්.

 මේ පිහිනුම් තටාකය පිරිසිදු කරන රෝබෝවා සම්පුර්ණ වර්ණ දෘෂ්ටිය සහිත, ඌ  ජිවත් වන පරිසරය පිළිබඳව සියලු දත්ත ලබාගෙන ඒ පිළිබඳව සරල හැඩයක් මවාගන්න පුළුවන් තරම් හැකියාවකින් යුතු වෙච්ච රොබෝවෙක්. තටාක පිරිසිදු කරන යන්ත්‍ර ඕනේ තරම් ඒ කාලේදී මිලදී ගැනීමට තිබුණත්, ඇය  සිය කැමත්තට අනුව හදපු රෝබෝවක් ඒක. ඒ ඒ අවස්ථාවට වඩා සුදුසුම සහ කාර්යක්ෂම ක්‍රමය තෝරාගෙන වැඩ කරන්න පුළුවන් මට්ටමට ඇය මේ රොබෝවට බුද්ධිය ලබා දී තිබුණා. ඒ වගේම ඇය සිදු කළ  සියලු නව අත් හදා බැලීම් වලට මේ පුංචි රෝබෝව ඇය පාවිච්චි කළා. ඇගේ  දැනුම සමග රෝබෝවාගේ හැකියාවන් ද මේ නිසා දිනෙන් දින වැඩි දියුණු වුනා.

ඇයගේ මේ රොබෝ නිෂ්පාදනය ඉතා කෙටි කලකින්ම විශාල ලාබ ලබන සමාගමක් බවට පත්කරන්න ඇයට හැකි වුනා. නමුත් ඇය කිසි කලක තමන්ගේ පරීක්ෂණ මී පැටියා වන්  වූ මේ පුංචි රෝබෝවා විකිණුවේ නැහැ.

කාලය ගෙවී ගොස් ඇය මිය පරලොව ගියා. මේ රෝබෝවා ඇගේ දරුවන් අතට ගොස් තව දුරටත් වැඩි දියුණු වුණා. තාක්ෂණයේ ඒ ඒ කාල වලදී ඇතිවූ නවතාවයන් ඒ හැම පරම්පරාවකම අය මේ පුංචි තටාක පිරිසිදු කරන්නාගේ හැකියාව දියුණු කරන්න සහ ඒවා අත්හදා බලන්න යොදා ගත්තා.

අන්තිමට  අඟහරු වල සිටි  ඇගේ මුණුපුරෙකුට  මේ පුංචි රෝබෝවා උරුම වුණා.

“මේ තියෙන්නේ ඒ පිහිනුම් තටාකය.” Zima පැවසුවා. “මම හිතන්නේ ඔබ ඒක අනුමාන කරන්න ඇති නේද ?”

“මෙච්චර කාලෙකට පස්සේ…!”

“ඔව් ඒක සෑහෙන පරණයි  තමයි. හැබැයි  සෙරමික් කියන්නේ සෑහෙන කාලයක් ඔරොත්තු දෙන ජාතියක්. අමාරුම වැඩේ වුනේ තියෙන තැන හරියටම හොයා ගන්න එක. මට මතුපිට පස්තට්ටුව මීටර් දෙකක් විතර හාරන්න වුනා  මේක මතු කර ගන්න. Silicon Valley කියල ඔවුන් ඒ දවස් වල හඳුන්වපු පළාතේ එක්තරා තැනක තමා මේ තටාකේ තිබුනේ. “

“මේ ටයිල් වල පාට නේද Zima Blue..? ” මම ඇසුවා

“Zima Blue කියන්නේ ටයිල් වල පාට තමා.. ඔහු ඉතා මෘදු ලෙස පැවසුවා.  “ඇය ඇගේ පිහිනුම් තටාකයේ ටයිල් වලට තෝරාගෙන තිබුනේ මේ පාට.”

“ඒ කියන්නේ ඔබට වැදගත් සමහර දේ මතකයි නේද ?”

“මේක තමා මගේ ආරම්භය. මේ නිල්පාට බිත්ති වල එහාට මෙහාට යන්න විතරක්  තරම් මොලයක් තිබ්බ පුංචි මැෂිමක් මම. නමුත්, ඒක තමා මගේ මුළු ලෝකයම වෙලා තිබුනේ. මම දැනන් හිටපු එකම දේත් එච්චරයි. ඇත්තටම මට දැනගන්න ඕනෙ වුනෙත්  එච්චරයි.”

“ඉතින් දැන්…?” මම සෙමින් ඇසුවා.

“දැන් ඉතින් මම ගෙදර යනවා… “

—————————————————

ඔහු ඒක කරනකොට මම එතැන සිටියා. ඔහුගේ අවසන් දර්ශනය නැරඹීමට  පැමිණි අයගෙන්  තටාකය වට කොට තිබූ ආසන පිරී ගොස් තිබුණා. අහසේ පාවුනු අභ්‍යවකාශ යානා රාශියක් දුපත වට කරගෙන සිදු වන දෙය දෙස බලා සිටියා.  දුපතට ඉහලින් වූ ආරක්ෂක ආවරණය මේ වෙන කොට ඉවත් කරලා තිබුනේ. යානා වල සිටි දස දහස් ගණනක් සහ තව යානා වලින් කරන ප්‍රක්ෂේපන නරඹමින් චක්‍රාවාට පුරා තව මිලියන ගණනක් මේ අවසාන දර්ශනය නැරඹීමට සැදී පැහැදී සිටියා. ඔවුන් ඒ වනවිට මේ පරණ තටාකය දෙස බලාගෙන හිටියේ. තටාකය කෙළවර සිටගෙන  සිටි Zima ගේ අභිමානවත් රුව මීළඟ මොහොතේ කරන්නට යන්නේ කුමක් දැයි ඔවුන් කිසිවෙකුට අදහසක් තිබුනේ නෑ… එහි ඇති වැදගත් කම ගැන ඔවුන් කිසිවෙකුට තේරුම් ගත හැකි වුණාදැයි මට හිතා ගන්න බෑ. ඔවුන් හැමෝගෙම බලාපොරොත්තුව වුණේ අවසාන දර්ශනය විදියට මෙතෙක් කිසිදාක නොදුටු උත්කර්ශවත් නිර්මාණයක් දකින්න.  නමුත් ඔවුන්ගේ දර්ශනපතය සම්පුර්නයෙන්ම වැසී තිබුනේ පරණ පිහිනුම් තටාකයකින්. ඔවුන් හැම දෙනාටම වගේ  තිබුන ප්‍රශ්නය වුනේ පරණ පිහිනුම් තටාකයක් කොහොමද අච්චර අහස ඉරාගෙන ඉහලට ගිය මහා නිර්මාණ, ග්‍රහලෝක  වට කරපු නිල්පාට පරද්දන විදියේ වැඩක් කරන්නේ කියන එක. ඔවුන් සැක කලේ  තටාකය නොමග යැවීමකට සුදානම් කරපු දෙයක් විදියට. කිසිදාක බලාපොරොත්තු නොවන මට්ටමේ මහා නිර්මාණයක්  කොහේ හෝ තැනක ඇතැයි ඔවුන් සියලු දෙනා සිතුවා. එය එලි දක්වන තුරු ඔවුන් දෑස් දල්වාගෙන බලා සිටියා.


ඒ ඔවුන් සිතු හැටි.

නමුත් මම ඇත්ත දැනගෙන හිටියා. Zima සිය සදාදර නිල් වර්ණයට මුහු වී යන හැටි මම බලාගෙන හිටියා. ඔහු මට කිව්වා හරියටම ඒක සිද්ද වෙන විදිය ගැන. ඉතා සෙමෙන්, ක්‍රමානුකුලව සිය සිරුරෙහි වූ අධි තාක්ෂණික සහ ඉහල බුද්ධියට සම්බන්ධ කොටස් ගලවා ඉවත් කිරීම. මේ ක්‍රියාව නැවත හැරවිය නොහැකි දෙයක් වුනත් ඔහුට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොවනු ඇත. ඔහු ඔහුට නැතිවූ දේ පිළිබඳව හැඟීමක් නොදැනෙන මට්ටමට මේ සියල්ල ගලවා ඉවත් කරනු ලැබුවා.

නමුත් ඔහු සිය සිරුරෙහි වූ තමා පිළිබඳව මුලික හැඟීම් දැනෙන සහ සිය අවට පිළිබඳව අවධානය දැනෙන කොටස් හෝ ඉතා සුළු ක්‍රියාවන් තුලින්  සතුට සහ සංතෘප්තිය ඇතිවීමට මුලික වන කොටස් ඉතිරි කර ගැනීමට වග බලා ගත්තා. ඔහුට අවශ්‍ය වුනේ  ඔහු කරන ඉතා සුළු හෝ නොවැදගත් යැයි පෙනෙන ක්‍රියාවන් ගෙන් ආත්මපුරණය කොට ගෙන ජිවත් වීමට.

සැබවින්ම ඔහුට තටාකය පිරිසිදු කරමින්, ඔහු දුටු ප්‍රථම වර්ණය වූ නිල් පැහැය සමග  ජිවත් වීමට පමණයි අවශ්‍යය වුයේ. ඔහු සෙවූ සත්‍යය සහ අවසානය වුයේ එයයි.

ඔහු මින්පසු කිසිදිනෙක මේ තටාකයෙන් ඉවතට නොයනු ඇත. ඔහුට අවශ්‍යය බලය සුර්ය ශක්තියෙන් සහ අභ්‍යන්තර පරමාණුක බැටරි වලින් අවශ්‍යය තරම් ලැබෙනු ඇත. දුපතේ සියලු කටයුතු ඒ ඒ අදාළ රොබෝවන් විසින් සිදු කරනු ඇත. සොබා දහමේ කරදර වලින්  සිය සගයා සහ තටාකය රැකගෙන ඔහුගේ සරල ජීවිතය ගෙන යාමට ඔවුන් උපකාරී වනු ඇත.

කාලය සියවස් ගණන් ගෙවී යනු ඇත.

අවුරුදු දහස් ගණන් හෝ මිලියන ගණන් ගෙවී ගියද Zima ට කිසිදාට මේ ක්‍රියාව එපා නොවනු ඇත. ඔහු තුල එපා වීමට ඉඩක් නැත. ඔහු තුල ඇති ප්‍රත්‍යක්ෂයෙන් දකින සහ විඳින ස්භාවය ඔහු තුල නිරන්තර ප්‍රහර්ෂය තබා  ගැනීමට හේතු වනු ඇත. තටාකය තුල එහාට මෙහාට පිහිනිමෙන් ලබන සරල සතුට ඇර වෙන කිසිවක් ඔහුට අතීතයේ කැලිෆෝනියාවේ දී ද අවශ්‍යය නොවීය. ඉන් අවුරුදු දහස්  ගණනකට පසු, චක්‍රාවාටයේ වෙනස් පසෙක වූ තාරකාවක් වටා භ්‍රමණය වන වෙනස් ලොවකදී එම තටාකයේම පිහිනිමෙන් ඔහු ලබන්නේ එම සතුට සහ සන්තෘප්තිය ම වේ.

————————————————–

ක්ලෙයා සිදුවූ සියල්ල දෙස මතක් කර බැලුවාය. බලාපොරොත්තු නොවූ ලෙස එදා දුපතෙහි සිදු වූ කතා බහ ඇතුළු බොහෝ සිදුවීම් ඇයට හොඳින් මතක තිබිණි. AM  නොමැති වීම ඇයට සිතු තරම් පාඩුවක් සිදු කර නොමැත. Zima නිවැරදි බව ඇයට සිතිණි. සිය ජීවිතය පුර්ව සැලසුමකට අනුව ගලා යාමට ඉඩ හැර තිබුණු බව ඇයට වැටහිණි. එය සැමවිටම ඉර බසින සැන්දෑවක් නම් රතු වයින් ලෙස ක්‍රමලේඛනය වී තිබණි. සුදු වයින් වලට එහි ඉඩක් තිබුනේ නැත.

AM  ට සමුදී ඇය මතක පද්ධතියක් ස්ථාපනය කර ගත්තාය. AM  තුල වූ පෙර මතක සියල්ල යලි පිහිටුවා ගත්තත් නැවත නැවත මතක් කිරීමේදී එම මතක වල තිබුණු අමුතු බව සහ සමහර නොපැහැදිලි තැන් ගැන ඇයට අමුත්තක් දැනිණි.

Zima කී දෙය ඇයට සිහි විය.

“මතකයන් වරදින සුළුයි. ඒවා එහෙම තමා”

මට තේරුම් ගියා Zima මේ කතාව කියන්න මාව තෝරාගන්න හේතුව, ඔහුට ඕනේ වුනා මට නිවැරදි මාර්ගය පෙන්වන්න. මම හුදෙක් චරිත කතා පමණක් ලියන්නෙක් නොවන බව ඇත්ත. මම ඇත්ත ඇති සැටියෙන් ලියන කෙනෙක්. ඔහු ඔහුගේ කතාව සහ මගේ ජීවිතය වෙනස් කරන්න හිතාගෙන මාව තෝර ගන්න ඇති. නැත්නම් සමහරවිට ඔහු සිය ජිවිතයේ මුලින් ම දුටු ඒ තරුණියගේ රුව සහ මගේ රුවෙහි ඇති යම් සමාන කමක නොපැහැදිලි මතකයක් නිසා දැයි මට කිසිදා දැන ගත නොහැක.

අවසානයේ මම Zima ගේ කතාව මගේ මුල්ම පුවත් පත වෙච්ච  Martian Chronicle වෙත යැව්වා.

මේ සියල්ල සිදු වෙලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. නමුත් පුදුමයකට වගේ Zima සහ මම තවම එකට.

මම තවමත් අවුරුදු දහයකට විස්සකට සැරයක් lightbreaker එකක නැගල යනවා Murjek වලට. දුපතේ ඉතිරි වෙලා තියෙන සමහර දේ එක්ක අතිතකාමය විඳින්න සහ මම වගේම තටාකය දෙපසට වෙලා ඔහේ පිහිනන Zima දෙස බලන අය සමග කාලය ගෙවන්න. ඔවුන් බොහෝ දෙනෙක් පත්තරේ ගිය Zima ගේ කතාව දන්නවා. නමුත් ඔවුන් තවමත් මේ අපූරු සිත්තරා තවත් අලුත් දෙයක් කොයි මොහොතක හෝ ඉදිරිපත් කරයි කියල බොළඳ බලාපොරොත්තුවකින් මෙන් ඇවිල්ල බලාගෙන ඉන්නවා. නැරඹුම් ආසන කවදාවත් පිරිලා යන්නේ නැති වුනාට ඒවා කවදාවත් හිස්ව තියෙනවා මම දැකලත් නෑ… එක අතකට එකේ පුදුම වෙන්න දේකුත් නෑ.. සමහර අයට ඒක තේරෙනවා.. සමහර අයට කවදාවත් තේරුම් ගන්නත් බෑ…

හරියට චිත්‍ර වගේ!

නිමි.

මේ කතාව Alastair Reynolds ගේ Zima Blue කියන විද්‍යා ප්‍රබන්ධය සහ ඒ ඇසුරෙන් Netflix වල විකාශය වන Love, Death + Robots කියන කතා මාලාවේ එන  Zima Blue කාටුනය ඇසුරෙන් ලියන ලද්දක්. පුංචි පුංචි වෙනස් කම් කිහිපයක් ඇරෙන්න ඔර්ජිනල් කතාව ඒ විදියටම ලියන්න තමා ට්‍රයි කලේ. මේක තමා මම කරපු පළවෙනි පරිවර්තනය.  තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා.

%d bloggers like this: