Menu Close

අමුතු සිත්තරා හෙවත් Zima Blue – 1 කොටස

හ්ම් … විශ්වාස කරන්නත් අමාරුයි …
අන්තිමට… ඔහු හමුවෙනවා…

ක්ලෙයා අධිවේගී බෝට්ටුව තුල හරි බරි ගැසී වාඩි වෙමින් සිතුවාය …
ඒත් ඇයි ..?
ඇයි හදිස්සියේම ඔහු මට එන්න කිව්වේ … මෙච්චර කාලෙකට පස්සේ …
ඔහු අමුතු බව මම දන්නවා. ඔහු අමුතු බව හැමෝම දන්නවා…
සිය මාධ්‍ය ජීවිතය තුල ක්ලෙයාට මුණ ගැසුණු අපුරුම සහ ගුප්තම පුද්ගලයා ඔහු ය. මින් පෙර  ඇය හමුවූ කිසිවෙක් ඇගෙන් මෙසේ සැඟවී ගොස් නැත. නමුත් දැන් ඒ අවස්තාව උදා වෙමින් පවතී.

ඈතින් පෙනුණු චන්ද්‍රයන් දෙදෙනා සහිත පැහැබර  අහසේ පාවුනු සුදෝ සුදු  වලාකුළු පසුකරමින් නීලවරණ ජල තලය මත නොගෑවෙමින් ගමන් කරන යානය ඇගේ  කෙහෙරැල රන්වන් පැහැ වලා කැටිත්තක් මෙන් විහිදාලුවේය.

ඇයට ඇගේ පළමු පුවත් පත සිහිවිය.  ඇය පසුව සේවය කල වෙනත් පුවත්පත් සිය ගණනක් තිබුනත්, මේ මොහෙතේ පළමු පුවත්පත සිහිවීම,

“ඒයි  AM මොකක් ද ඒ පත්තරේ නම?”

සිය ගණනක් නම් අතුරින් ඒ නම සිහි පත් කර ගැනීමට නොවෙහෙසී ඇය සිය සගයාගේ පිහිට පැතුවාය.

“ඔහ් ! AM.”

ඇරයුම්පත සමග පැමිණි ඔහුගේ ඉල්ලීම, කිසිම රෙකෝඩින් උපකරණයක්, අඩුම වශයෙන් පෑනක් හෝ කොලයක් වත් නැතිව පැමිණෙන්න. හ්ම්ම් … ජැටියේ තනිකර පැමිණි ඇගේ පුංචි පියාඹන රොබෝවා ගැන අසරණ හැඟීමක් ජනිත විය. උඹ දැන් තනියෙන් ක්ලෙයා, දැන්වත් පුරුදු වෙයන්. ඇය සුසුමක් හෙලා කවුළුවෙන්  අනන්තය දෙස බලා සිටියාය.

“උඹට මගේ අන්තිම උපන්දිනේ සමරපු ග්‍රහලෝකේ මතකද AM?” සිය සගයාගේ පරාසය තුල ඇය සිටීදැයි බැලීමට ගත්  දඟකාර උත්සාහය නිෂ්පල විය.

ඇයට ඔහු  හමු වී ඇත. නමුත් ඒ ඔහු සමග ඔහු ගැන කතා කිරීමට නොව ඔහුගේ රසිකයෙක් ලෙස පමණි. 
ඇය අත වූ ඇරයුම් පතෙහි වූ ලා නිල්  වර්ණය වඩා සමාන වන්නේ ඈත පෙනෙන රැලි නොනගින දිය තලාවට ද  නැත්නම් නිල්වන් ගුවන් ගැබටදැයි ඇය සිත බැලුවාය. ඒ ඇය සදා ප්‍රිය කරන වර්ණයයි.

ඇය සැමදා චිත්‍ර වලට ඇලුම් කලාය. දැන් ඔහු ඔහුගේ අවසන් නිර්මාණය ඉදිරිපත් කිරීමට සැරසෙයි. ඇය  මෙන් තව දහස් ගණනක් ඔහුගේ මේ අවසන් එළිදැක්වීම ට පැමිණෙනු ඇත. ඔවුන් සැමටත් ඔහු ගේ කතාව අවැසි වනු ඇත.

“මට දැන ගන්න පුළුවන් ද මේ නිල්පාට කාඩ් එක තව කී  දෙනෙකුට විතර දුන්න ද කියල?” ක්ලෙයා ඇයට ඇරයුම් පත ලබා දුන්  රෝබෝවාගෙන් විමසිය.

“මම දන්න විදියට නම් ඔබට විතරයි ක්ලෙයා…”  ඒ වනවිට බොට්ටුවේම කොටසක් වී සිටි රොබෝ හඬ පැවසිය.

“හ්ම්ම්…”

“ඔහු මේ කරන්න හදන්නේ මොකක් ද කියල අදහසක් තියෙනව ද?”

“සමාවෙන්න ක්ලෙයා, මට ඒ ගැන නම් කිසිම අදහසක් නෑ… ඔබ දන්නවනේ ඔහුගේ විදිය.”

“බැරිවෙලා හරි මම මේක ප්‍රතික්ෂේප කළා නම් වෙන කාට හරි කතා කරනවද?”

“නෑ…” රෝබෝවා පැවසිය.  “නමුත් ඔබ කීයටවත් මේක ප්‍රතික්ෂේප කරයි ද?” රෝබෝවා මද සිනාවෙන් ඇසීය.

—————————————————————–

ඔහු චිත්‍ර ශිල්පියෙක්. 
නෑ… ඔහු තමා පසුගිය සහශ්‍රකයේ බිහිවූ හොඳම චිත්‍ර ශිල්පියා.
ඔහු මුලින්ම ඇන්දේ ආලේක්‍ය චිත්‍ර. ඒවා අති විශිෂ්ට සිතුවම්.  හැමෝටම ඕනේ වුනා ඔහු ලවා සිය ආලේක්‍යයක් ඇඳ ගන්න. අන්තර්තාරිය ගනුදෙනුකරුවන් පවා ඔහු සොයාගෙන ආවා.  නමුත් ඔහුට ටික කාලෙකින් මේ ඇල්මැරුණු, සෝබන මුහුණු අඳින එක එපා වුනා. ඔහුට ඕනේ වුනා ඊට වඩා ගැඹුරු  දෙයක් ඔහුගේ සිතුවම් වලින් ඉදිරිපත් කරන්න. ඔහු ආලේක්‍ය අඳින එක සම්පුරණයෙන් නතර කළා.  ඔහුගේ එම තීරණය නිසා  කලා ලෝකයම කැළඹී ගියා. නමුත් ඊට පස්සේ ඔහු ඇඳපු පළවෙනි සිතුවම ඔහු මෙතෙක් ඇඳපු සියලුම ආලේඛ්‍ය මුහුණු කුණු කූඩයට දැමිය යුතු තරම් විශිෂ්ට වුණා.

එහි ඔහු ඇන්දේ විශ්වය. 
විශ්වයේ නොයෙක් චක්‍රවාට, නෙබියුලා, මනස්කාන්ත ධුලි වලාකුළු ඔහු සිතුවම් කළා.

ඔහුගේ කිර්තිය චක්‍රාවාට පුරා පැතිරී ගියා.

ක්ලෙයා ඔහු සමග, ඔහුගේ මේ වෙනස් වීම ගැන කතා කරන්න දරපු සියලු උත්සාහයයන් ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහුට ඕනේ වුනේ නෑ තවත් එක තරුවක් වෙන්න. ඔහුට ඕනේ වුනේ විශ්වය වෙන්න.

ඔහු ප්‍රතික්ෂේප කලේ ක්ලෙයා පමණක් නොවෙයි. ඔහු ගැන සැබෑ තොරතුරු දන්න කිසිවෙකු කොහෙවත් හිටියේ නෑ…

ඔහු ඇන්දේ ඔහු දකින දේ.

Zima ගේ ශරීරය ඔහුට ඕනෑ තැනකට යන්න පුළුවන් විදියට හැඩ ගැහිලා තිබුනා. ආරක්‍ෂිත ඇඳුම් වලින් තොරව ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන්න ඔහුගේ ශරීරය ඔහු නිර්මාණය කරගෙන තිබුනා. ඔහුට තිබුනේ හැඩිදැඩි පිරිමි ශරීරයක්. හරියට ඇඟට ඇලෙන ඇඳුමක් ඇඳ ගෙන සිටින ක්‍රීඩකයෙක් වගේ ඔහු. නමුත් ඔබ ඔහුට කිට්ටුවී බැලුවොත් ඒ ඔහුගේ සම බව ඔබට වැටහේවි. ඔහුගේ හැඟීම් වලට අනුව එහි පාට සහ ස්භාවය වෙනස් වන ඒ ආවරණය ඇඳුමකින් කෙරෙන මුලිකම දේ ඉටු කරලා දෙනවට අමතරව ඔහුට රික්තයන් තුල විසීමට අවශ්‍ය පීඩනය ලබා දුන් අතරම යෝධ වායු ග්‍රහලෝක වල ගුරුත්වයට හසුවී තැලී  පොඩි වී  නොයාමට තරම් ශක්තිමත් වුනා. ඔහුගේ මේ සම ඔහුගේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය සියලුම සංවේදන ලබා දීමට සමත් වුණා. ඔහුට කොහෙත්ම හුස්ම ගැනීමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. මොකද  Zima ගේ ශරීරයේ සියලුම ක්‍රියා සංවෘත චක්‍රීය ජිව සැපයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වුනේ. ඔහුට කෑම බීම වල අවශ්‍යතාවයක් හෝ කිසිදු අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඔහුගේ සිරුර පුරා දිව ගිය නැනෝ බෝට්ටන් අධික විකිරණතාවයන්  හෝ අභ්‍යවකාශයේ ඇති අනෙකුත් අන්තරායන් ගෙන් සිදුවන හානි වහ වහා පිළිසකර කිරීමට සමත් වුවන්.

ඔහුගේ අසමසම නිර්මාණ වලට පදනම් වූ නෙබියුලාවන්, වාමන තාරුකා,  යකඩ දියවී ගලායන ගංගා ඇති ග්‍රහලෝක, දියමන්ති වැසි වසින චන්ද්‍රයින් මේ කිසිවක් ඔහුගේ ඇසින් ගැලවී නොයාමට ඔහුගේ මේ සිරුර උපකාරී වුනා. ඔහුගේ ඇස්  අධි සංවේදී කැමරා. විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සියලුම පරාසයන්ට සංවේදී වූ මේ ඇස් වලින් එන සංඥයා විශ්ලේෂණයට සමත් මොලයක් ඔහුට තිබුනා  Synaes-Thesic පාලමකින් සමන්විත වෙච්ච මේ මොලය නිසා ඔහුට මේ අනන්ත වර්ණාවලියෙන් එන තරංග සංගීතයක් බවට හරවාගෙන සමාස්වාදය කරන්න හැකියාව තිබුනා හරියට වර්ණ සංධ්වනියක් වගේ.

මේ සියල්ල Zima ගේ චිත්‍ර විශිෂ්ටත්වය කරා රැගෙන ගියා. තාරකා මණ්ඩල සහ මන්දාකිණි  වල මින් පෙර නොදැකපු කෝණ වලින් සිතුවම් ඇඳීමට ඔහුට හැකිවුනා. මේ නිර්මාණ වල තිබුණු අපූරු වර්ණ, ගැඹුර සහ වර්ණ හැඩතල කලා ලෝකය කුල්මත් කළා. මේ මහාපරිමාණ සිතුවම් චක්‍රාවාට පුරා පැතිරිනු බොහෝ ගනුදෙනු කරුවන් Zima වෙත ගෙන ඒමට සමත් වුනා. එසේම බොහෝ ග්‍රහලෝක වල ප්‍රසිද්ධ ස්ථාන අඩි සිය ගණනක් දිග පළලින් යුතු වූ මෙම නිර්මාණ වලින් හැඩ වුනා. සැබෑවට ඉතා සමාන තරම් විස්තර සහිතව නිර්මාණය කර තිබු මේ සිතුවම්  ඔහු එක සැරෙන් නිම කරලා දැම්මා. ඔහුට කෑම බීම හෝ නිදා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නොතිබුන නිසා අඩි දහස් ගණනක නිර්මාණයක් වුවත් නිම කිරීම ඔහුට ප්‍රශ්නයක් වුනේ නෑ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේවා විශිෂ්ට සිතුවම් උනත් ඒ කිසිම තැනක මිනිසෙකු හෝ අඩුම වශයෙන් මිනිසෙකුගේ සම්බන්ධයක් ඇති කිසිවක්  නොතිබීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබුනා.

සමහර විචාරකයෝ මෙහෙම කිව්වා, “ඒවා අතිවිශිෂ්ට වෙන්න පුළුවන් හැබැයි මම කීයටවත් එකක් මගේ ගෙදර සාලේ එල්ල ගන්නේ නෑ..”

කොහොම වුනත් Zima ට ඒ විවේචන වල බලපෑමක් දැනුනේ නෑ… තාරකා ක්ලස්ටර් පුරා විහිදුනු ගැනුම් කරුවන් ඔහුට හිටියා.  නමුත් මට තියෙන ප්‍රශ්නේ කීයෙන් කීදෙනෙක් ශිල්පියා ගැන දැනගෙන මේවා ගන්නවද?

Zima ගැන මම මුලින්ම දැන ගන්නකොට ඔහුට තිබුනේ ඔය වගේ තත්වයක්. මම ඔහු ගේ සාමාන්‍ය දේවල් ගැන ලියන්න දෙගිඩියාවෙන් ඉන්න කොට ඔහු කරපු අමුතු වැඩේ මේ සියල්ලටම මුල් වුණා කියල මට හිතෙනවා.

ඇත්තටම ඒ වෙනස අපි හැමෝටම එක පාරට දැනුනේ නෑ…

එක දවසක්, ඔහු තව සිතුවමක් එලි දැක්වුවා. සමහරු කිව්වා ඔහු ඒ සඳහා වෙනදට වඩා කාලයක් ගත්තා කියල. ඒක විශ්වයේ කොහේ හෝ තැනක තිබ්බ තරු පැටලුනු නෙබියුලාවක මනස්කාන්ත දර්ශනයක්. මියැදුණු ග්‍රහලොවක ආවාට කොනක සිට බලන්නේකුගේ ඇසින් දකින ලෙස සිතුවම් වුනු මේ දර්ශනයේ මැදට  වෙන්න තිබ්බ  ඉතා කුඩා නිල්පාට කොටුව එක පාරට පෙනුනේ හරියට නිල්පාට කැන්වස් එකේ පාට කරන්න අමතක වෙච්ච කොටසක් වගේ. චිත්‍රයත් සමග ඒ පුංචි කොටුවේ ඇති සම්බන්දය තේරුම් ගන්න එතන සිටි කාටවත් බැරි වුනා. කිසිදු සෙවනැල්ලක් හෝ වර්ණ හැඩතලයක් පසුබිම් දර්ශනයට කිසිම අයුරකින් ගැලපුනේ නෑ. නමුත් ඒ පුංචි නිල්පාට කොටුව උවමනාවෙන් අඳින ලද්දක්. Zima විසින් ඉතාමත් පරිස්සමින් අඳින ලද ඒ කොටුවෙන් අදහස් කරපු දේ කාටවත් තේරුනේ නෑ…

එතැන් පටන් ඔහු මැවූ සියලු සිතුවම් වල මෙවැනි නිල්පාට වර්ණ කැබලි දක්නට ලැබුණා. විටෙක හතරැස්, විටෙක ත්‍රිකෝණාකාර හෝ රවුම් වූ මෙම වර්ණ අණ්ඩ වල හැඩය සහ ප්‍රමාණය වෙනස් වුනත් ඒ නිල්පාට සැමවිටම එකක්ම බව ඔහුගේ රසිකයින්ට තේරුම් ගියේ තවත් සෑහෙන කාලෙකට පස්සේ.

ඒ වර්ණය තමයි Zima Blue. රන්වන් අකුරු මුද්‍රිත ක්ලෙයා අත වූ ඇරයුම් පතෙහි පාට.

එතැන් පටන් ගෙවුණු දශකයම  Zima ගේ චිත්‍ර වල ආධිපත්‍යය දරුවෙ මේ නිල්පාට වර්ණ හැඩතල. මින් පෙර මායාකාරී ලෙස වර්ණවත් වූ කොස්මික් විස්ටාවන් වසාලමින් මේ නිල් වර්ණය ඔහුගේ සිතුවම් වසා ගත්තා. වැදගත් ම දෙය වුනේ මින් පෙර චිත්‍ර වලට විශිෂ්ටත්වය ගෙනදුන් ඔහුගේ අති ශූර පින්සල් පහරවල් සහ අනන්ත වරණ මැවූ වර්ණ මිශ්‍රණ වෙනුවට කැඩපතක සුමට බවින් යුතුව මේ නිල් වර්ණය ඔහු ඇඳ තිබූ ආකාරයයි.

මේ නිල්වර්නාධිපත්‍යයෙන් තැති ගැන්වුණු ඔහුගේ සමහර ගැනුම් කරුවන් ඔහුගෙන් ඈත් වන්නට පටන් ගත්තා. නමුත්  වැඩි කල් යන්නට මත්තෙන් සම්පුර්ණ නිල්වර්ණයෙන් යුතු වූ සිතුවම ඔහු එලි දැක්වුවා. අඩි දහසක් උස ගොඩ නැගිල්ලක ඒක පසක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් වූ මේ තනි නීලවරණ සිතුවම බොහෝ දෙනෙක් හැඳින්වූවේ Zima නිල්වර්ණයෙන් කරන අවසාන නිර්මාණය විදියට.

නමුත් ඔවුන් වැරදි බව වැටහෙන්නට වැඩි කාලයක් ගියේ නෑ…

—————————————————–

ඒ වෙද්දී ගමනාන්තයට ළඟා වූ බෝට්ටුවේ මන්දනය ක්ලේයාව සිය සිතිවිල්ලෙන් මුදා ගත්තාය. ප්‍රමාණයෙන් කිලෝමීටරයක් පමණ වූ කුඩා දුපත හැර පෙනෙන තෙක්මානයේ වුයේ මහා සාගරය පමණි.

“මම හිතන්නේ ඔබ තමා මේක දකින පළවෙනි කෙනා.” බෝට්ටුවෙන් ගැලවී ක්ලෙයා අසලට පැමිණෙමින් රෝබෝවා පැවසිය.  “අහසටවත් නොපෙනන විදියට ආරක්ෂක ස්ථරයක් දාල තියෙන්නේ.”

කුඩා දිවයිනෙහි මැදට වන්නට වූ සානුවක් වන් කොටසේ ගහ කොල එළිපෙහෙළි වී සතරැස් නිල් පැහැ වන් රශ්මියක් විහිදෙමින් තිබිණි. ඒ වටකොට නැරඹුම් ආසන පේලි කිහිපයක් ද ක්ලේයාගේ නෙත ගැටුනාය.

සෙමින් නතර වූ බෝට්ටුවෙන් එළියට පැමිණීමට රෝබෝවා ඇයට උදව් කළේය. “Zima දැන් එයි. මොහොතක් ඉන්න” යැයි පවසා රෝබෝවා නැවත බෝට්ටුවට පැන ආපසු මහ මුහුදේ අතුරුදහන් වී ගියේය.

ගිලෙමින් තිබුණු හිරුත් සමග පැතිරෙමින් තිබුන අඳුර නිසා ක්ලෙයා තුල තනිකමක් මෝදු වන්නට ගත්තාය.

“ඔබ පැමිණ එක සතුටක් ක්ලෙයා.  මම ඔබව බලාපොරොත්තුවෙන් සිටියේ.”

අඳුර තුලින් මතුවූ ගැඹුරු හඬකින් ඇගේ තනිකම මකාලුයේය.

ඔහුගේ සවීමත් දකුණත ඈ වෙත දිගු විය. ක්ලෙයා ඒ අත ගෙන ඔහු වෙතට ඇදී  ගියාය. ඔහුගේ කෘතීම සමෙහි වූ අමුතු ගතිය ඇයට දැනුනාය.

“අපි අර බැල්කනියට යමු… තව ටිකකින් ඉර බහිනවා බලන්න පුළුවන්”

“ඔව් ඒක හොඳයි.” ඇයට ඉබේම කිය වුනාය.

ඔහු පසුපසින් ඇදෙන ක්ලෙයා ඔහුගේ හැඩි දැඩි සිරුර දෙස බලා සිටියාය. ඔහුගේ ප්‍රතාපවත් බව තවත් වැඩිවී ඇති බව ඇයට දැනුනි.  ඇගේ හදවතේ කම්පනය, ඔහුට එය කෙදිනක වත් දැනී ඇතිදැයි ඇය නොදන්නීය. සැබවින්ම ඔහුගේ පෙම්වතිය හෝ, ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ඇය කිසිවක් නොදත්තාය. ඔහුට එවැනි ජිවිතයක් තියෙනවද…? ඇයට සිතුණි.  ඔහුගේ මුළු ජිවිතයම සිතුවම් විය.

පරණ තාලයේ කුස්සියක් සහ සාලයක් පසුකරමින් ඔවුහු ඉදිරියට ගියෝය. අවුරුදු දහස් ගණන් පැරණි ගෘහභාණ්ඩ සහ විසිතුරු බඩු වලින් අමුතු ලෙස හැඩ ගැන්වූ නිවස ක්ලෙයා තුල ඇති කලේ ගුප්ත බවකි.

“කොහොමද ඔබේ ගමන?”

“හොඳයි. වරදක් නෑ”

හදිසියේම නතර වී ආපසු හැරුණු ඔහු “මට අමතක වුනා.  ඔබගේ  Aide Memoire යාව නොමැතිව පැමිණෙන්න යැයි මා දුන් උපදෙස රෝබෝවා ඔබට පැවසුවාදැයි” ඇසුවේය.

“ඔව්”

“ඒක හොඳයි ක්ලෙයා. මට කතා කරන්න ඕනේ වුනේ ඔබත් එක්ක මිසක් මේ කෘතීම මතක රෙකෝඩරයක් එක්ක නෙමෙයි”

“මාත් එක්ක?”

“ඔබට බහු භාෂා හැකියාව තියෙනවද ක්ලෙයා? නැත්නම් ඔබ තවම ඉගෙන ගනිමින් ද සිටින්නේ?

“කලබල වෙන්න එපා. මම ඔබට එන්න කිව්වේ ඔයාව පරික්ෂා කරන්න නෙමේ. බය වෙන්න කිසිම දෙයක් නෑ.. ඔබට රෑ වෙද්දී ආපසු යන්න පුළුවන්”

“මම කලබල නෑ… මේ මේ පොඩ්ඩක්…”

“මම නෙමේ නේද ඔබ මුණ ගැහෙන පලවෙනි ප්‍රසිද්ද පුද්ගලයා? ක්ලෙයා ඇන්ඩර්සන්…  පුලිට්සර් සම්මානෙම කී සැරයක් ලැබිල තියෙනවද? ඔහු සිනා සෙමින් ඇසුවේය…

“මිනිස්සු මාව දැක්කම බය වෙනවා. මම එක දන්නවා. හැබැයි ඔවුන් මං ගැන දන්නේ නැති නිසයි ඒ.

“මම බය නෑ..නමුත් ඇයි මම ?”

“ඔබ හැමදාම කරුණාවෙන් ඉල්ලා සිටපු නිසා” ඔහු සිනාසෙමින් පැවසිය…

“මට ඕනේ ඇත්තම හේතුව…” ඇය පෙරලා ඇසිය.

“හරි, ඔබේ කරුණාවන්ත කම එකක්. ඒ ඇරුණාම මම ඔබේ වැඩ අගය කරන කෙනෙක්. බොහෝ දෙනෙක් ඔබව විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔවුන් ගේ ජිවිත කතා ලියද්දි…”

“ඔබ මැරෙන්න යන්නේ නෑනේ…පෙන්ෂන් ගන්නවා විතරයි නේද”

“ඒ මොකක් වුනත්, මම මේ ප්‍රසිද්ද ජිවිතෙන් ඈත් වෙනවා. ඔබේ වැඩ වල විශ්වාසනීයත්වය මට ඉතා වැදගත්. මම මෙච්චර කාලෙකට කාටවත් හානිවෙන යමක් ඔබ අතින් ලියවිලා තියෙනවා කියල අහල නෑ…”

“ඒ වගේ දේවල් වෙනවා… කොහොමත් මම යන එන හැමතැනම AM එක්ක යන්නේ ඒ නිසා… එතකොට කාටවත් පස්සේ ඇඟිල්ල දික් කරන්න බෑ…”

“මගේ කතාවේදී ඔබට එය අවශ්‍ය වෙන්නේ නෑ…” Zima පැවසිය.

ඇය ඔහු දෙස තියුණු ලෙස බැලුවාය…  “ඊට වඩා දෙයක් තියෙනවා කියල මට හිතෙනවා”

“මම කැමතියි ඔබට උදව් කරන්න… “

Zima ගේ නිල් කාලය ලෙස බොහෝ දෙනෙක් හැඳින් වූ ඒ කාලය තුල ඔහු විසින් නිම කල සිතුවම් ප්‍රමාණයෙන් අතිවිශාල විය. තනිකර නිල්පාට පමණක් වූ මේ අති විශාල නිල්  හැඩතල යනු අහස සිඹින ගොඩ නැගිලි වසාලන තරමේ ඒවාය. අභ්‍යවකාශ කක්ෂ වල සිට නිරීක්ෂණය කල හැකි තරමේ විශාල නිර්මාණය. මේ බොහෝ නිර්මාණ අභාවකාශයේ හෝ ගොඩ බිමෙහි රඳවා තැබීමට වෙනමම තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමට සිදුවිය. ඔහුට ඒ සඳහා වූ වියදම් ගැන ගැටලුවක් නොවුයේ ඔහුගේ අනුග්‍රාහකයින් Zima ගේ ලොකුම නිර්මාණය වෙනුවෙන් තරඟකාරීව වියදම් කිරීමට පෙළ ගැසී සිටි නිසාවෙනි.

මේ වන විට Zima ගැන නොදැන සිටියෙක් නොවිය. චිත්‍ර කලාව ගැන උනන්දුවක් නොදැක්වූ පිරිසට පවා ඔහු අති විශාල නිල්පාට හැඩ කැබලි තනන විකාර කාර සයිබෝගයා විය.  තමා ගැන හෝ තම නිල්පාට ව්‍යුහයන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදුන් අමුතු මිනිසා විය.

නමුත් ඒ මීට අවුරුදු සිය ගණනකට පෙරය.

Zima සිය නිල් කාලය පටන් ගත්තේ එලෙසිනි. ඉන්පසුව එළැඹියේ  අන්තර ග්‍රහලෝක මට්ටමේ නිල් සිතුවම් එළිදැක්වීමේ කාලයයි. කිලෝමීටර් සිය දහස් ගණනක් විශාල ඔහුගේ නිල් සිතුවම් විශ්වයේ අඳුරු පදාර්ථයේ වූ ගුප්ත බව මදක් සමනය කිරීමට සමත් විය.  ඔහු තව දුරටත් සිතුවම් සඳහා තීන්ත හෝ පින්සල් බාවිතා නොකළේය. නැනෝ බෝට්ටන් ගෙන් සමන්විත හමුදාවන් ඔහුගේ අන්තර්තාරිය නිමැවුම් සඳහා දායක විය. ඔහු ඒ වෙනුවෙන් නව අමුද්‍රව්‍ය සොයා ගැනීමට ඇස්ට්‍රොයිඩ් කුඩු පට්ටම් කළේය. මින් පෙර නොවූ විරූ අන්තර් ගැලැක්සිය ප්‍රදර්ශන සහ කලා පොලවල් ආරම්භ විය.  කොටින්ම ඔහු කුයිපර් පටිය වැනි ඇස්ට්‍රොයිඩ් කලාප සිය නිල් වර්ණයෙන් පින්තාරු කළේය. විශ්වයේ නිල් සලකුණු තැබුවේය. සෞරග්‍රහමණ්ඩලය හරහා යමින් තිබුණු දුම කේතුවක සංයුතිය වෙනස් කරමින් එහි වලිගය ඔහුගේ නිල් වර්ණය පමණක් විහිදුවන ලෙස සකස් කළේය.

මම Zima අල්කට්‍රොස් පද්ධතියේ වූ චන්ද්‍රයෙක් සිය නීලවරණයෙන් වසාලමින් කරන ලද නිර්මාණය කරනයුරු නැරඹීමට ගියෙමි. ඔහු ගැන යටපත්වී තිබුණු උනන්දුව නැවත ඇති වුයේ ඔහු “චන්ද්‍රාවරණය” නමින් හැඳින්වූ අති විශාල පෙට්ටියකට සඳ දමා වසන ඒ අපූරු සංසිද්දිය නරඹන විටය.  නිල්පාට කෙරෙහි වූ මේ ඇබ්බැහිය කලාවට එහා ගිය යමක් බව මට ප්‍රත්‍යක්ෂ වූයේ ඉලොනෙක්ස් යානයේ නැරඹුම් මැදිරියේ සිට අනන්ත විශ්වය සහ නිල්පාට කොටුව දෙස බලා සිටින විටය. ඔහුත් සමග සාකච්ඡාවකට යොමු කල ඉල්ලීම් සියල්ල ඉතා කූට ලෙස  මග හැර දැමුයේ ලිස්සන සුළු රස කතාවක් ගොතාලමිනි. තවදුරටත් රසකතා ඇසීමට මට උවමනා නොවීය.

මේ සිදුවීම් වලින් පසු මම බොහෝ කාලයක් බලා සිටියෙමි. මා මෙන්ම තවත් බොහෝ පිරිසක් මා මෙන්ම බලා සිටින බව මම දැන සිටියෙමි.  ඔහුගේ මේ අවසන් නිර්මාණය හෙවත් සමුගැනීමට ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරය.

———————————————

අප විදුරු දොරකින් ඇතුල් වී බැල්කනියකට පිවිසුනෙමු. ආරක්‍ෂිත වැටකින් තොරවූ එහි සිට හිරු ගිලමින් සිටි මුහුදේ මනස්කාන්ත දර්ශනයක් දිස්විය. වයින් බෝතල දෙකක්, අලංකාර මල් බඳුනක් සහ පළතුරු  වට්ටියකින් යුතු වූ මේසය දෙපස වූ පුටුව පෙන්වා ඔහු මට අසුන්ගන්නට ඇරයුම් කළේය.

“රතු ද සුදු ද ක්ලෙයා?” වයින් බෝතල් වෙත අත ගෙනයමින් ඔහු ඇසුවේය.

පිළිතුරැ දීමට මුව විවර කලද කිසිවක් සිතා ගැනීමට නොහැකිව මම මොහොතක් ගත කලෙමි. AM සිටියා නම් මේ මොහොතට වඩා ගැලපෙන්නේ රතු වයින් ද සුදු වයින් ද යන්න මම කට අරින පමාවෙන් මට දන්වනු ඇත. AM අසල නොමැති කම මගේ සිතිවිලි මෙසේ සිර කරනු ඇතැයි මට මේ වන තෙක් වැටහී තිබුනේ නැත.

“රතු. මම හිතන්නේ.” Zima මට පෙර ඇසුවේය.  ඔබේ අකමැත්තක් නැතිනම්!”

“මම තීරණයක් ගන්න බැරි කෙනෙක් නෙමේ…” මම කීවෙමි.

මගේ වීදුරුව ගෙන වයින් පිරවූ ඔහු එය මදක් ඔසවා වයින් තුලින් අහස දෙස බැලුවේ වයින් වල පැහැදිලි බව පරික්ෂා කිරීමට මෙනි. “මම එහෙම හිතුවේ නෑ…” ඔහු කියමින් ඔහු මා වෙත එය දිගු කළේය.

“AM නැතිව මට නිකන් හුරු නෑ වගේ… ඒකයි”

“ඔබට ඒක අමුත්තක් නොවිය යුතුයි නේද? ඔබ අවුරුදු සියගණනක් ජිවත් වුනේ එහෙම නේ…”

“මගේ ස්භාවික විදිය ගැන ද ඔබ කියන්නේ..?”

ඔහුගේ වීදුරුව පුරවා වයින් හලා ගත් ඔහු එය තොල ගෑම පසෙක තබා මල් බඳුනේ වූ මල් වල සුවඳ බැලුවේය.

“ඔව්”

“නමුත් අවුරුදු 1000ක් විතර ජිවත් වීම ස්භාවික දෙයක් නෙමේ නේද? මගේ උප්පත්ති මතකය මීට අවුරුදු 700කට විතර කලින් සම්පුර්ණයෙන්ම පිරිලා තිබුනේ. දැන් එක නිකන් ලී බඩු පිරිච්ච ගෙයක් වගේ. අලුතින් මොනවා හරි දාන්න නම් තියෙන එකක් විසි කරන්න වෙනවා.” මම කීවෙමි.

“අපි වයින් ගැන හිතල බලමු පොඩ්ඩකට…” Zima  සන්සුන්ව පැවසුවේය. “සාමාන්යෙන් නම් මේ වගේ වෙලාවකට සුදුසු වයින් වර්ගය ගැන AM ඔබට කියනවනේ නේද… ?”

“ඔව්” මම නොසැලකිල්ලෙන් පැවසුවෙමි.

“AM හැමවෙලාවෙම තේරීම් දෙකකින් එකක් ගැන ඔබට කියනවද? උදාහරනෙකට එක්කෝ හැමවෙලේම රතු වයින් ද? නැත්නම් හැම වෙලේම සුදු වයින් ද?

“ඒක ඒ තරම් සරල නෑ… නමුත් මම දිගින් දිගටම එක වර්ගයකට කැමති වෙනවා නම් AM මට එහම කියාවි. නමුත් මම එහෙම නෑ… සමහර වෙලාවට මම රතු වයින් වලට කැමතියි, සමහර වෙලාවට සුදු. තවත් වෙලාවකට මට මොන වයින් ජාතියක් වත් ඕනේ වෙන්නේ නෑ. ” රොබෝවෙක් පැමිණ ඇරයුම් පතක් දී, මගේ රෝබෝවාගෙන් මාව වෙන් කරගෙන බෝට්ටුවක දමා මෙහි ගෙනවිත් මේ කරන විකාරය මොකක් දැයි මා තුල නොරිස්සුමක් ඇති වුයේ නිරායාසයෙනි.

“ඒ කියන්නේ AM ගේ උත්තර සසම්භාවී ද?

“එහෙම කියන්නත් බෑ… AM මාත් එක්ක පහුගිය අවුරුදු තුන් හාරසීයක් තිස්සේ ඉන්නවා. මම වයින් බොන අවස්ථා සිය ගණනකදී මාත් එක්ක හිටියා. ඒ හැම අවස්තාවම එකිනෙකට වෙනස්. ඒ එක් ඒක අවස්ථාවට යෙදෙන පරාමිතීන් ට අනුකුලව මම ගන්න තීරණය ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. බොහෝ වෙලාවට ඒවා විශ්වාසනීයයි.”

“ඔබ උගේ තේරීම සද්ද නොකර බාර ගන්නවද?”

“ඔව්” මම රතු වයින් ටිකක් තොලගා පැවසීමි. “නිකන් බොරුවට මගේ ස්වාධින තීරණ ගැන වද වෙන එක හරි ලාමකයි නේද..? ඌ කියන වයින් ජාතිය බිව්වා කියල මට මේ වෙනකම් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ.”

“හැබැයි ඉතින් ඔබ ඉඳල හිටලා වත් තමන්ගේම කියල තීරණ නොගත්තොත් ඔබේ මුළු ජිවිත කාලෙම සරලව ගණනය කරන්න පුළුවන් කෘතීම උත්තර මත දිවීමක් වෙනවා නේද?”

“වෙන්න පුළුවන්… හැබැයි ඉතින් ඒක ඒ තරම් නරක නෑනෙ… මට එහෙම ඉන්න එක මේ වෙනකම් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ…”

“මම ඔබව අපහසුතාවයට පත් කරනවා නෙවෙයි. ” Zima මද සිනාවෙන් යුතුව පුටුවේ හාන්සි වෙමින් පැවසිය.  “මේ දවස් වල ගොඩක් අය ළඟ ඔය AM ලා නෑ නේද?” ඔහු ඇතිවෙමින් තිබුණු අපහසුකාරී හැඟීම තුරන් කිරීමට උත්සාහ කළේය.

“මම දන්නේ නෑ…” මම පැවසීමි.

“මම හිතන්නේ ගැලක්ටික් ජනගහනයෙන් සියයට එකක්වත් නෑ…” ඔහු වයින් වීදුරුව තුලින් අහස බලමින් පැවසීය… “හැමෝම දැන් සාමාන්‍ය ක්‍රමේට හැඩගැහිලා…”

“අවුරුදු දහස් ගණනක මතකයන් යන්ත්‍ර විසින් පාලනය කරනවා… ඉතින් මොකද වෙන්නේ..?”

“වෙනස් ස්වරුපයක යන්ත්‍ර විසින්” Zima  පැවසිය. ස්නායුක බද්ධ කිරීම්!… එයින් පුද්ගලයාට ඔහු හෝ ඇය පිළිබඳව තිබෙන හැඟීම සමග සමෝධානය වෙලා පවතින්නේ. එසේම ඔබගේ උත්පත්ති මතකයෙන් වෙන් කර ගත නොහැකි වන ලෙස ඔබ හා බැඳී සිටිනවා. AM ගෙන් වයින් ගැන අහල උත්තරයක් එනකම් බලාගෙන ඉන්නවා වගේ නෙමෙයි. ඔබ ඉබේම දන්නවා ඔබට ඕනේ වයින් වර්ගය.”

“මොකද්ද ඉතින් වෙනස? මගේ සියලු අත්දැකීම් 100% නිවැරදිව AM ගබඩා කර ගන්නවා. මට ඕනේ වෙලාවට මොහොතකින් මට ඒවා ලැබෙනවා. ඉතාම කාර්යක්ෂමයි… ඉතින්…?”

“නමුත් මේ යන්ත්‍ර ඔබ හිතන තරම් සුරක්ෂිත නෑ… ” ඔහු පැවසිය.

“ඒවායේ ගබඩා වන දත්ත නිතරම නැවත සුරැකිමකට ලක් වෙනවා. ඔබ ඔය කියන නියුරල් ඉම්ප්ලාන්ට්ස් සහ මේ යන්ත්‍ර අතර ලොකු වෙනසක් නෑ… දත්ත අනාරක්ෂිතයි කියන එක එතරම් හොඳ තර්කයක් නෙමෙයි නේද?”

“ඔබ හරි. ඇත්තටම ඔබ හරි. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු ගැටලුවක් තියෙනවා. AM කියන්නේ ඕනෑවට වඩා නිවැරදි යන්ත්‍රයක්. කිසිම වරදකට හෝ අමතක වීමකට එහි ඉඩක් නෑ..”

“ඉතින්… ඒක නෙමෙයි ද අවශ්‍යය වෙන්නේ…?”

“අපි මෙහෙම හිතමු. ඔබ යමක් ගැන හිතනකොට… සමරවිට මේ කතාබහම වෙන්න පුළුවන්, තව අවුරුදු සීයකින් ඔබ මේ කතා බහ ගැන කල්පනා කරනකොට මේ අද සිදුවෙන සමහර පුංචි දේවල් ඔබේ මතකයෙන් ගිලිහී තිබෙන්න පුළුවන්…නමුත් ඒ අමතක වෙන පුංචි දේවල් වෙනත් විදියක මතකයක් ලෙස ඔබේ මතකයේ ගබඩා වෙලා තියෙන්න පුළුවන්. නැවත නැවත මතක් කරනකොට අලුත් ස්වරුපයෙන්, හැඩයෙන් ඒවා ඔබ වෙත එන්න පුළුවන්… තව අවුරුදු දාහකින් ඔබ මේ ගැන සිතද්දී මේ සියල්ල මායාවක් වගේ ඔබේ සිතේ තිබේවි. නමුත් මේ සිද්දිය සත්‍යයක් බවත් ඔබ දැන සිටීවි.

“නමුත් AM මා සමග සිටියානම් මේ සියල්ල කිසිදු බාධාවකින් තොරව මගේ මතකයේ හැමදාම තියේවි.”

“ඔව් එසේ තියේවි. නමුත් ඒක ස්භාවික ද? ඒක ෆොටෝග්‍රෆික් මතකයක් නොවෙයි ද? යන්ත්‍රයක් තුල කෘතිමව ගබඩා වෙච්ච? ඔබට අලුතින් නිර්මාණය කරන්න දෙයක් හෝ අමතක වෙච්ච සමහර දේ නොතිබීම අස්වාභාවිකයි.” ඔහු කතාව නතර කර මම නැවත වීදුරුව පුරවා ගන්නා තෙක් සිටියේය. “මෙහෙම හිතන්න, ඔබ මෙවැනි සැන්දෑවන් වලදී AM ගේ උපදෙස් මත දිගටම රතු වයින් ගත්තා කියල. ඔබට කිසි අමුත්තක් දැනෙන එකක් නෑ. නමුත් එක්තරා සැන්දෑවක ඔබ ඔබට ඕනේ නිසා සුදු වයින් බීලා ටිකක් වෙරි වෙනවා. ඔබට මේ හැමදේම ඉතා චමත්කාර ජනක ලෙස දැනෙන්න ගන්නවා. මේ රන්වන් පාට ආලෝකය පිරි සැන්දෑව, අහසේ මැවෙන වර්ණ රටා, මේ සුළඟ… හැමදේම ඔබ තුල අපුර්වත්වයක් ජනිත කරවනවා.”

“මම තොර ගන්න වයින් වර්ගය ඒ වෙනසට බල පාන්නේ නෑ නේද..?”

“නෑ බලපාන්නේ නෑ… ඔබ හරි. නමුත් AM,  ඔබට ඒ දැනුන වෙනස ගැන සංවේදී වෙන්නේ නෑ…. එක හා සමාන අවස්තාවලදී ඔබ ගන්නා එක වෙනස් තීරණයක් AM ට අදාළ නෑ. උගේ ක්‍රමයට අනුව මීළඟට ඔබ සහභාගී වන මෙවැනි අවස්තාවන් වලදීත් ඌ ඔබට රතු වයින් ම බොන්න කියාවි. ඔබගේ රටාව පිළිබඳව දත්ත වෙනස් කරගන්න ඔබ කරපු ඒ එක වෙනස AM ට ප්‍රමාණවත් නෑ. “

ඔහු කුමක් කියන්නට සැරසේ දැයි යම් ගැටලුකාරී තත්වයක් මේ මොහොතේදී ක්ලේයාට දැනිණි. ” සාමාන්‍ය මිනිස් මතකයත් ඒ විදියට හැසිරෙන්නේ නෑනේ…”

“නෑ එහෙම නෙවෙයි. මිනිස් මතකය ඔබට දැනුන ඒ අපුර්වත්වයට වඩා වැඩි ඉඩක් දෙනවා. ඒ හැන්දෑවේදී ඔබට දැනුන සොඳුරු හැඟීම් වලට ඉඩ දීලා පුංචි පුංචි අපහසු කම් යටපත් කරන්න පුළුවන්. ඔය ඔබේ මුහුණ ළඟින් පියාඹන මැස්සා, ආපසු යන්න බෝට්ටුව එයිද නොඑයි ද කියල හිතේ තියෙන නොසන්සුන් කම නැතුව ඔබට දැනුන රසය හොඳින් මතක තියේවි. ඉන්පසුව එන බොහෝ අවස්තාවලදී ඔබ ඊට පස්සේ සුදු වයින් තෝරා ගනීවි. කාලයක් තිස්සේ ඔබ රතු වයින් බීමෙන් ගොඩ නගා ගෙන තිබුණු එකාකාරී බව ඔබට එක්වරම වෙනස් කරන්න පුළුවන්. නමුත් AMට එහෙම කරන්න බෑ… ඔබ බොහෝ වාර ගානක් සුදු වයින් බිව්වොත් පමණක් සමහරවිට ඌ ඔබට නැවත සුදු වයින් යෝජනා කරාවි. නමුත් ඒක එක වර සිද්ද වෙන්නේ නෑ…”

“හරි… නමුත් මගේ මතකය මගේ ඔලුව ඇතුලත තිබීමත්, එළියෙන් පියාඹන රොබෝවෙක් ලෙස තිබීමත් අතර මොකක් ද තියෙන වෙනස…?” මගේ රොබෝ මතකයන් ගැන නොව ඔහු ගැන කතා කිරීමට තිබුනා යැයි සිතමින් මම ඇසුවෙමි.

“හෙහ්… එතන තමයි සියලු වෙනස් කම් තියෙන්නේ…” ඔහු කිවේය. “ඔය පියාඹන රෝබොට්ටන්ගේ මතකය සදාකාලිකයි… ඔබ කොපමණ වාර ගණනක් නැවත නැවත ඒවා ඉල්ලා සිටියත් කිසිම වෙනසක් නැතිව ඒවා ලැබෙනවා. නමුත් බද්ධ කරපු මතකය එහෙම නෙමෙයි. ඔබේ උත්පත්ති මතකය සමග අනුරුපිව ගලාගෙන යනවා. ඔබට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ… අන්න ඒ හේතුව නිසාම ඒවා නම්‍යශිලියි, වෙනස් වන සුළුයි, විකෘති වෙන්න පුළුවන්…”

“වරදින සුළුයි….” මම කීවෙමි.

“වැරදීම් නැති තැන කලාවක් කොහෙද…කලාවක් නැතිව සත්‍යයක් තියෙන්නේ නෑ..”

“හහ්… එහෙනම් වැරදීම් ඔබව සත්‍යය වෙත යොමු කරනවා…! ” ඒක හොඳයි…

“මම අදහස් කලේ උපමා රූපක සත්‍යයයක් ගැන… හරියට රන්වන් පාට සැන්දෑව වගේ… පුංචි මැස්සා ගැන මතකය ඒ සත්‍යයට හානියක් ගෙන දෙනවා.”

“මෙතන රන්වන් පාට සැන්දෑවක් හෝ මැස්සෙක් ඇත්තේ නෑ…” මම කීවෙමි. මේවන විට මගේ ඉවසීමේ සීමාව පනිමින් තිබිණි. “Zima මේ බලන්න. ඔබගේ මේ ආරාධනාව  ගැන මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. නමුත් මම ආවේ මගේ මතකය පාවිච්චි කරන විදිය ගැන ඔබ සමග හරබර සාකච්ඡාවකට නෙවෙයි.”

“ඇත්තටම මේ හැමදේටම හේතුවක් තියෙනවා. ඒ හේතුව එක පැත්තකින් මම ගැන. ඒ වගේම ඔබ ගැන. හොඳයි, අපි දැන් පොඩ්ඩක් ඇවිදින්න යමු”. ඔහු වීදුරුව තබමින් පැවසිය. “අපි යමු පිහිනුම් තටාකය පැත්තට…”

“නමුත් තවම ඉර බැහැල ගිහින් නෑනේ…”

“හෙට කොහොමත් අලුත් ඉරක් පායනවනේ… ” ඔහු සිනා සෙමින් පැවසිය…

දෙවන කොටස

%d bloggers like this: