Menu Close

Hotel Mumbai


සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිනමා රූපී භාෂාව තුළ සියලු ආචාරධාර්මික පරිමිතියන් ආරක්ෂා වන අයුරින් ගොණු කරන්නේ කෙසේද? එසේ නිර්මාණය කළ හැකිද? එකී ආචාර්යධාර්මික වගකීම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අහිංසකයින්ගේ  සහ ඔවුන්ගේ පවුල්වල අයගේ කේන්ද්‍රීය සීමාවේ පමණක් රැඳී තිබෙන්නක් නොවේ. ත්‍රස්තයින් නියෝජනය කරන සීමිත ත්‍රස්ත හැඟීම් හා අරමුණු වෙනත් පාර්ශ්වයක්, ආගමක් හෝ සංස්කෘතියක් වෙත ප්‍රක්ෂේපණය නොවීමට වගබලා ගැනීම මේ වගේ තැනකදී සිනමා කලා කරුවාගේ ප්‍රමුඛම අභියෝගය. Hotel Mumbai සිනමාවේ වගකීම සහ කලාව පැත්තෙන් අපට කියා දෙන පාඩම ඒක.
ඕස්ට්‍රේලියානු සිනමා අධ්‍යක්ෂවරයෙක් වන Anthony Maras විසින් අධ්‍යක්ෂණය කරන ලද Hotel Mumbai සිනමාපටය පසුබිම් කරගන්නේ 2018 නොවැම්බර් 26වන දින ඉන්දියාවේ මුම්බායි නගරයේ ඇතිවුණ ත්‍රස්ත ප්‍රහාරය. කෲර ලෙස වෙඩි තබමින්, බෝම්බ ගසමින්, ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබා ගනිමින් පැය ගණනාවක් පුරා පැවති මේ ප්‍රහාරය Lashkar-e-Taiba නමින් හැඳින්වෙන ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් මගින් කරන ලද්දක් බව පසුව හොයා ගන්නවා. ඒ සංවිධානයට අයත් පුහුණුව ලත් ත්‍රස්තවාදීන් දහ දෙනෙකු විසින් මේ කුරිරු ප්‍රහාරය ඉන්දියාවේ මුම්බායි නගරය කේන්දු කරගෙන පැවති දුම්රිය පොළක්, තරුපහේ හෝටල්, ආපන ශාලා, රෝහල් සහ මහාමාර්ගයේ පවා හිතුමතේ වෙඩි තබමින් මේ ප්‍රහාරය එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් අහිංසක සිවිල් ජනතාවත් විදේශ සංචාරකයිනුත් 166ක් මිය යන බවත් තුන්සීයකට අධික සංඛ්‍යාවක් මිය යන බවත් ඉන්දියාව වාර්තා කරනවා. ත්‍රස්තවාදීන් දස දෙනාගෙන් නම දෙනෙක් ද මිය යනවා. ත්‍රස්තයින්ට එරෙහි මෙහෙයුම සම්පූර්ණයෙන් ඉවර කළ බව ප්‍රකාශ කිරීමට ඉන්දියාවට දින කිහිපයක් යනවා. නමුත් සිනමාපටය නවදිල්ලි නුවර සිට ඉන්දියානු විශේෂ කාර්ය බලකාය ගෙන්වමින් ත්‍රස්තයින් ඝාතනය කිරීම දක්වා පැය දහයක් ඉක්මවන තීරණාත්මක කාලසීමාවක ජීවිතයත් මරණයත් සමග සටන් කළ හෝටලයට පැමිණි අමුත්තන් සහ කාර්ය මණ්ඩලයේ සංවේදී හා තීරණාත්මක හැසිරිම් හකුලා දක්වනවා. ඔඒ වගේම එසේ ගතවන පැය ගණනාව තුළ ත්‍රස්තයින් කලබලයක් නැතිව විනොදයෙන් මෙන් මිනිසුන් මරා දමමින් හෝටලය ගිනිතබන ආකාරය නිරූපණය වනවා.

Hotel Mumbai සිනමා පටයත් ඊට අදාල සැබෑ ත්‍රස්ත සිදුවීමත් බැලූ බැල්මට එවැනිම ත්‍රස්ත කණ්ඩායමක් විසින් මනුෂ්‍යත්වයට එරෙහිව පසුගියදා (අප්‍රේල් 21) ලංකාවේදී සිදු කරනු ලැබූ පාස්කු ප්‍රහාරය සිහි කරවන්නක් සහ ඒ දෙස සංසන්දනාත්මක ව නැවත හැරී බලන්නට බල කරන්නක් කියලා කියන්න පුළුවන්. Anthony Maras සහ ඔහුගේ සම තිරපිටපත් රචකයා වන John Collee තම සිනමා කෘතියට මුම්බායි ප්‍රහාරයේ සියලු සිදුවීම් යොදා ගන්නෙ නෑ. ත්‍රස්තවාදීන් දහ දෙනාගෙන් දෙදෙනෙකු විසින් දුම්රිය ස්ථානයේ සිටින මගීන්ය හිතුමතිකව වෙඩිතබා පොලීස් රථයක් ද පැහැරගනිමින් මාර්ග අවට ඇති ජනතාවට වෙඩීතැබීමත් වෙනත් අවන් හලකට (Leopold Café) වෙඩි තබමින් සහ බෝම්බ ගැසීම මගින් අදාල දිගු ප්‍රහාර මාලාවේ බාහිර සිදුවීම් අවසන් කරනවා. මුලු කතාවේ අවකාශය ම ගොඩනගන්නේ Leopold Café බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අය සමග ම ත්‍රස්තවාදීන් සවු දෙනෙක් ද ඒ නුදුරේ ඇති තරු පහේ හෝටලයක් වන The Taj Mahal Palace හෝටලයට ඇතුලු වූ පසුව සිදුවන සංවේදී කතාවත් එක්ක.
ත්‍රස්තවාදීන් හෝටලයේ සිටින සෑම කෙනාටම ඉවක් බවක් නැතිව වෙඩි තියනවා. බෝම්බ ගහනවා. මේ අතර ප්‍රධාන කෝකියා වන හේමන්ත් ඔබ්රෝයි සහ තවත් හෝටල් සේවකයකු වන අර්ජුන් ඇතුලු පරහිතකාමී හෝටල් සේවකයින් කීපදෙනෙක් මේ තීරණාත්මක මොහොතේ තමන්ගේ ජීවිතය පවා අනතුරේ හෙළා ගනිමින් තම හෝටලේට පැමිණි අමුත්තන්ගේ ජීවිතය කෙසේ හෝ බේරාගන්න උත්සාහ කරනවා. ත්‍රස්තවාදීන් හෝටලේ තියෙන සියලුම පොදු ස්ථාන පීරා යමින් මිනිසුන් මරා දමනවා පමණක් නොව, හෝටල් සේවකයින් හැටියටත් ඇතැම් විට බේරාගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් හැටියටත් කාමරවලට තට්ටු කරමින් කිසිත් නොදනිමින් එළියට එන දෙස් විදෙස් නවාතැන්කරුවන් ද කුරිරු ලෙස ඝාතනය කරනවා. හෝටලේ ඉන්න ප්‍රධාන පාරිභෝගිකයින් අතර රටේ ප්‍රධාන ප්‍රභූවරියකගේ දියණියක් වන ‘සාරා කශානිත්’ ඇගේ ඇමරිකානු සැමියා වන ‘ඩේවිඩ් ඩන්කන’ සහ ඔවුන්ගේ අලුත උපන් දරුවාත් මිතුරියකුත් සිටිනවා. ඊට අමතරව සෝවියට් විශේෂ බලකායේ ප්‍රධානියෙක් සහ ධනවතකු වන ‘විසිලි ගොතෙස්කි’ නම් රුසියානු ප්‍රභූවරයෙක් ඇතුළු විශාල දෙස් විදෙස් ප්‍රභූවරුන් සිටිනවා.  
මේ පිරිසගෙන් බොහෝමයක් ශාලාවේ ආරක්ෂිත ම ස්ථානය වන Chambers Lounge වෙත ගෙන යෑමට අර්ජුන්, ප්‍රධාන කෝකියා ඇතුලු කාර්ය මණ්ඩලය සමත් වෙනවා.  සාරාගෙ දරුවා ඇගේ මිතුරිය සමග කාමරයේම සිටින අතර, වෙඩි හඬ ඇසී ඇය දරුවාද සමග කාමරයේ රහස් තැනක සැඟවෙනවා, ඒ අතර තම ජීවිතය බේරාගැනීමට වෙනත් කාන්තාවක් කාමරයට දිව එන අතර, ඒ කාමරයේ නේවාසිකව සිටි කාන්තාව ඇය බව සිතමින් ඇයට වෙඩිතබා ත්‍රස්තවාදීන් කාමරයෙන් පිටවෙනවා. සාරාගේ සැමියා වන ඩේවිඩ් තම දරුවාත් මිතුරියත් බේරාගැනීමට Chambers Lounge වෙතින් පිටවීමේදී ත්‍රස්තයින් අතට පත් වෙන අතර, ඔහු ඇමරිකානුවකු නිසා ඔවුන් එකවැර ඝාතනය නොකර බැඳ තබාගන්නවා. මක් නිසාද යත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමරිකානුවන් සහ යුරෝපානුවන් එක දිගට තබා මාධ්‍ය කැමරා බලා සිටියදී ඝාතනය කිරීම.
මේ අතර මිනිසුන් රාශියක් Chambers Lounge තුළ සැඟව සිටින බව ත්‍රස්තයින් දැනගන්නවා. ඔවුන් එයට ඇතුල් වීමට ගත් උත්සාහය නිර්භීත පොලිස් නිලධාරීන් කීප දෙනෙක් නිසා නවතිනවා. ඉන්දියානු ආරක්ෂක අංශ තමංව බේරා ගනීවියැයි පැය ගණනාවක් බලා සිටි සාරා, විසිලි ඇතුලු පිරිස සේවකයින්ගේ දැඩි නොකැමැත්ත මත වුවත් Chambers Lounge එකෙන් පිටවී යන අතර ඔවුන් ත්‍රස්තයින් අතට පත් වෙනවා. විසිලි, සාරාගේ සැමියා ඇතුලු විදේශිකයින් මරා දැමෙන අතර, සාරා ඉස්ලාම් තරුණියක බව ත්‍රස්තයින්ට හෙළිවනවා.
අවුරුදු 20-30 වගේ සීමාවේ සිටින මේ දස දෙනාගෙන් යුතු ත්‍රස්ත කණ්ඩායම සම්පූර්ණයෙන් ම මෙහෙයවන්නේ නොපෙනෙනා සහෝදරයකු විසින්. ඔහු මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා දෙවියන් වෙනුවෙන් කරන මේ දේ වෙනුවෙන් දුරකථනයින් ත්‍රස්තයින් දිරිමත් කරනවා. සාරා ඇමරිකානුවකු විවාහ කරගත් ඉස්ලාම් තරුණියක බව දැනගත් පසු පවා ඔහු දුරකථනයෙන් උපදෙස් දෙන්නේ ඇය ද ඝාතනය කරන ලෙස. මෙය ත්‍රස්තවාදය පිළිබඳ ඉතා සංකීර්ණ අවබෝධයක් ලබා දෙන තැනක්. ත්‍රස්තයින්ගේ සැබෑ අරමුණ කිසියම් ජාතියක් හෝ ආගමක් වෙනුවෙන් පවතින්නක් නොවන බව එයින් පෙන්නනවා. එසේ නමුත් අදාල ත්‍රස්තවාදියා ඇයව ඝාතනය කරන්නේ නෑ. එය එක්තරා අතකට ත්‍රස්තවාදියා තුළ පවා තිබෙන සංකීර්ණ මානසිකත්වය නිරූපණය කරනවා.

මක් නිසාද යත් ඒ වනවිටත් ඔහුගේ කකුලට වෙඩි වැදී තිබුණු අතර, ඔහුට තමං කළ කාර්යයේ සැබෑ යථාර්ථය වටහෙන්න ගන්නේ ඉන් පසු. ඔහු දුරකථනයෙන් තම පියාට කතා කර තම සංවිධානයෙන් ඔවුන්ට මුදල් ලැබුණාදැයි අසන අතර එසේ මුදලක් නොලැබුණ බව පැවසෙනවා! ඒ අනුව තමං මුළාව ඇති බවට මොහු වටහාගන්න අතර ඉන් පසු ඔහු තුවක්කු බිම දානවා. සිනමාපටයේ කිසිදු තැනක ත්‍රස්තවාදියා තුළ ගැඹුරක් පෙන්නන්නෙ නෑ. අවසන් මොහොතේ සෙසු ත්‍රස්තවාදීන් තුළ පවා විශාල පරාජයක් පෙන්නුම් කෙරෙනවා. නමුත් ඔහු තමංට දුරකථනයෙන් අන දෙන්නා වන ලොකු සහෝදරයා කියූ දෙයට තවදුරටයත් ඇහුම්කම් දෙමින්, දෙවියන්ට ප්‍රසංශා කරමින් විශේෂ බලකායට මුහුණ දී මිය යනවා.

ඉංග්‍රීසි සිනමාපටයක් වන මෙහි ඇතැම් තැන් වල පමණක් හින්දි වැනි භාෂා භාවිත වෙනවා. ත්‍රස්තවාදයට අමතරව සිනමා පටය තුළ, මේ සුඛෝපභෝගී නගරයේ ඇති තරුපහේ හෝටලයක සේවය කරන අර්ජුන් වැනි පරහිතකාමී සේවකයින්ගේ දෛනික ජීවිතවල ඇති දිළිදුබව පිළිබඳ යථාර්ථය පෙන්නවා. ඒ විතරක් නෙමෙයි මේ තරුණ ත්‍රස්තයින් ලාංකීය පාස්කු ත්‍රස්තයින්ගෙන් වෙනස්වන ප්‍රධාන තැනක් තියෙනවා. ඒ තමයි මේ අය ඉතා දරිද්‍ර පරිසරයකින් ආ අය වීම. මොවුන් කවදාවත් දැක නොතිබුණු, හෝටලයේ ශ්‍රී විභුතිය දැක පුදුම වෙනවා. ඝානත සිදුකරන අතර තුර හෝටලයේ ඇති ජීවිතයට කා නැති ප්‍රනීත ආහාර අනුභව කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රහාරය සඳහා මෙහෙයවන්නෝ මේ පිරිස පොළඹවන්නේ ඉන්දියානුවන් ඇතුළු පිරිස තමංගේ දෙමව්පියන්ව හා සීයලාව කොල්ලකා මේ මට්ටමට පොහොසත් වී ඇති බවත්, මේ ප්‍රහාරය ඊට එරෙහිව සිදුකරන්නක් බවත් ඒත්තු ගන්වමින්.
Hotel Mumbai ත්‍රස්තයින් ධනවත් පාස්කු ත්‍රස්තයින් හා බලද්දී හරියන විදිහට මොළ හේදීමේ ත්‍රස්වාදයේ සංකීර්ණ දෘෂ්ටිවාදය ගැබ අපට අවබෝධ වෙනවා. නොපෙනෙන බලවේගයක් විසින් මේ තරුණයින් සිව් දෙනා මෙහෙයවන එක නොපෙනෙන දෙවියෙක් ගැන කරන උත්ප්‍රාසාත්මක නිරූපණයක්

සිනමා පටයේ තවත් සංකීර්ණම නිරූපණයක් වෙන්නේ මරණයේ භීතිය හමුවේ මේ මිනිසුන් හැසිරෙන අතාර්කිකත්වය. එක් අවස්ථාවක Chambers Lounge සිට සාරාට තම මවගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඇය සමග මෙතෙක් වෙලා ජීවිතය බේරාගැනීමේ අරගලයේ නිරත වූ මෙය අසා සිටි එක් කාන්තාවක් ඇය ත්‍රස්තයින්ගෙන් කෙනෙක් බව පවසමින් ඇයට විරෝධය පානවා. ඒ කාරණය තවත් සංකීර්ණ වන්නේ, සැබැවින්ම මුස්ලිම් ජාතිකයකු නොවන සහ හෝටල් කාර්ය මණ්ඩලයේ සේවකයෙක් කිහා හැමෝම හොඳින් දන්න අර්ජුන් ගැනද වින්දිතයින් සැක සහිතව බැලීම. ඒ සීක් ජාතිකයෙක් වන ඔහුගේ රැවුල සහ හිසේ පළඳින වේටිය නිසා. මේ අතීරණාත්මක මොහොතේ පැවති ජීවිත බිය හමුවේ අර්ජුන් තමංව බේරාගැනීමට මෙතෙක් වේලා වැඩිමනත්ම කැපවුණ කෙනා බව ඔවුන්ට අමතකව යනවා. වැදගත්ම කාරණය වන්නේ Hotel Mumbai සිනමා පඨය තුළ යම් ජාතියක් කෙරේවත් සංස්කෘතියක් කෙරේවත් ප්‍රේක්ෂකයා තුළ වෛරය දල්වන්නේ නෑ. ඒ අතින් බැලුවාම එය තිස් අවුරුදු යුද්ධයේ අවසන් කාලයේ ලංකාවෙ නිර්මාණය කළ අධිපති කථිකාව ඉස්සරහට ගෙනිච්ච සිංහල චිත්‍රපයවලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටින සිනමා නිර්මාණයක්. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන මතුවට අප රටේ සිනමා පඨයක් හැදුනොත් සරත් වීරසේකරලා, ජැක්සන් ඇන්තනීලාගෙන් තබා ජයන්ත චන්ද්‍රසිරිලාගේ  අතින්වත් සිදු වෙතැයි සිතිය නොහැකි මට්ටමේ වගකීම්සහගත භාවයක්.
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(රාවය 2019 ජූනි 23)
%d bloggers like this: