Menu Close

‘පෙර පාසැල් ගිය පළමු දවස’

First Day of Kindergarten | Margaret Hasse

පාසල් බස් රියේ පඩි බොහෝ උස නමුත්

විලියම් එඩිතරව එය නැඟ ගනී 
දොරවල් වැසේ 
ඇඟිලි සලකුණු වැකි කිලිටි වූ කවුළුවකින් ඔහු එබී බලයි 
මම පාරේ කෙළවර සිට
සොල්දාදු බිරිඳක් ලෙසින්
ඔහුට අත වනමි 
දහවල් දොළහට 
කහ පැහැති බස් රිය 
මා යළිත් සිටගෙන සිටින එතැනටම
ඔහුව ගෙනත් ඇරලවයි 
ඔහු නැති අතරේ 
මා වරුවක්ම එතැන බලා සිටි බව 
ඔහු සිතයි 
මා උදය වරුවෙම ටෙනිස් ගැසූ බව දැනගත් විට 
ඔහුගේ මුහුණ ඇකිලී යන්නේ  
කුණු කූඩයට දැමූ කඩදාසියක් ලෙසිනි
ඔහුගෙන් ස්වාධීනව මට සැරිසරනු හැකි බව 
දැන් ඔහුට වැටහෙමිනි 
අතැර දැමීම නම් ගැඹුරු ලිඳෙන් 
ඉනූ කඳුළු ඔහුගේ දෑසේ මතුවේ 
මා ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි 
ඔහුගේ ලොකුම කළකිරීමයි 


Bus steps are too high, but William clambers up gamely.
Doors shut. He peers out a print-marked window.
From the street corner, I wave like a soldier’s bride
as his bus turns a corner and pulls away.

At noon, the yellow bus returns him to the same place
where I’m standing again.
He thinks I stayed, waiting in his absence.
When he finds out I played tennis all morning,

his forehead crumples like paper in a wastebasket.
Now he knows I can move on my own without him,
tears drawn from the well of desertion form in his eyes.

I’m his first love, and his greatest disappointment. 

– Margaret Hasse, “First Day of Kindergarten” from Milk and Tides, published by Nodin Books.

Margaret Hasse ගේ මේ කවිය බොහොම හදවතට සමීප කවියක්. දරුවා මුලින්ම පාසැලට/පෙරපාසලට ගිය දවසේ එයා එනකම් එතැනම බලාගෙන ඉන්න ජාතියේ, නැත්නම් මේ විදිහට ටෙනිස් ගහන්න යන ජාතියේ අම්මලා දෙවර්ගයම ඉන්නවා. බොහෝ විට පලවෙනි ළමයා තමන්ගේ ග්‍රහණයෙන් මිදීම අම්මලාට දරාගන්න අමාරු බවත්, දෙවෙනි, තුන්වෙනි, අන්තිම ළමයින්ගෙන් මේ වගේ පොඩි වෙලාවකට හෝ නිදහස් වීම තාවකාලික සහනයක් බවත් මම දැකලා තියෙනවා. සමහරවිට කවියේ එන විලියම් මේ අම්මාගේත් වැඩිමලා නොවෙන්න පුළුවන්. ඒත් අම්මලාට තමන් නැතිව පැවැත්මක් නැහැ කියලා නම් පුංචි ළමයි නිතර හිතනවා. ඒ තමන් උපන් දවසේ ඉඳන් අම්මලා තමන්ටම කැප වෙලා ඉන්නවා දකින නිසා.
මගේ පුතාට අවුරුදු තුනක් විතර කාලේ දවසක් එයාව එයාගේ යාළුවෙක්ගේ උපන් දින උත්සවයකට ඇරලවලා මම ඒ පැය දෙකේදී ගෙදරට වුවමනා දේවල් කිහිපයක් ගන්න වෙළඳ සැලකට ගියා. ආයෙත් පුතාව ගන්න ගියාම ‘අම්මා මං  එනකම් මොකද කළේ?’ කියලා එයා මගෙන් ඇහුවා. ‘පුතා එනකම් මම මේ පඩිය උඩට වෙලා අඬ අඬා හිටියේ!’ මම හිනාවෙලා විහිලුවට කිව්වා.
ඒත් පුතා ඒක බාරගත්තේ බොහොම බැරෑරුම් විදිහට “ඇයි ඉතින් ඇඬුවේ.. මම ඉක්මනට එන බව අම්මා දන්නවානේ!” පුතා හිනාවක් වත් නැතිව ව පිළිතුරු දුන්නා. මං විහිලුවට කී දේ ඇත්තක් හැටියට එයා බාරගත්තු බව මට තේරුණා. තමන් නැතිව අම්මා එහෙම අඬ අඬා ඉන්න ඉඩ තියෙන බවට පුතාගේ තිබුණු ඒ ඒකායන විස්වාසය නිසා මං කීවේ බොරුවක් බව එයාට කියන්න මට දුක හිතුණා. බොහොම කාලෙකට පස්සේ මේ කවිය දකිද්දි මට මේ සිද්ධිය ආයෙත් මතක් වුණා.

මිනිස් හැසිරීම් වල පුංචි අහුමුලු වල තියෙන මේ වගේ දිලිසෙන තැන් තමන්ගේ කවි වල මතුකරන්න Margaret Hasse බොහොම දක්ෂයි

Photo by Annie Spratt- free photos on Unsplash.com

%d bloggers like this: