Menu Close

මවුනගුරු මුණ(නො)ගැසීම

(2019 ජූනි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ලංකාවේ සමාජය හරියට දේදුන්නක් වගේ. අපිට ඒ පාට හතම ඕනෙ. එතකොටයි මේක ලස්සන!”


මේ ප්‍රකාශය මහාචාර්ය එස්. මවුනගුරුගේ මුවින් පිටවූයේ ගෙවුණු සති අන්තයේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් සඳහා සිදු කළ මහරු දේශනය කෙළවර ය. සිය 77වැනි උපන් දිනය පේරාදෙණියේ ලලිත කලා විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සමග සැමරූ මහාචාර්ය මවුනගුරු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දේශනයක් කිරීමට ඔහු තුළ තිබුණු, දශක 5ක තිස්සේ සැබෑ නොවුණු, සිහිනය සිය උපන් දිනය දා සැබෑ කරගැනීමෙන් පසු කොළඹ බලා යාමට පිටත් විය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ නාට්‍ය හා රංගකලා දමිළ භාෂිත විෂයය මාලා හා ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සිය සේවය ලබාදීමට ය.

06 වැනි වසරේ පටන් පාසැලේ අවසන් වසර දක්වා ද, ඉන් ද නොනැවතී විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ගණනාවක ද නාට්‍ය හා රංග කලාව උගන්වන හා ඉගෙන ගන්නා මෙරට සිංහල භාෂිත නාට්‍ය අධ්‍යාපනය මවුනගුරු භූමිකාව නිසි ඇගයුමක තබා නැත. සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේම උගත් සිසුවෙකු ලෙස, ඔහු හා මෙන්ම සෙසු සමකාලීන සිංහල නාට්‍ය ප්‍රමුඛ භූමිකා ඇසුරු කළ හා එක්ව කටයුතු කළ නාට්‍ය ක්‍රියාධරයෙකු ලෙස, මෙරට දමිළ නාට්‍ය කලාව තුළ සරච්චන්ද්‍ර හා සම-භූමිකාවක් රඟ දක්වමින් එහි ප්‍රගමනයට සක්‍රීය දායකත්වයක් ලබා දුන්, තවමත් ජීවමාන මවුනගුරු ‘දේශීය’ නාට්‍ය භාවිතය තුළ දැන හඳුනාගැනෙන්නේ ද අඩුවෙනි.

සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේ (එවකට යුනිවර්සිටි ඔෆ් සිලෝන්හි) සේවය කළ, පසුකාලීනව යාපනය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූමහාචාර්ය එස්.විද්‍යානන්දන්, මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම මෙන්ම ස්වීඩනයේ උප්සලා, ඉන්දියාවේ මදුරාසි සහ දිල්ලි මෙන්ම එංගලන්තයේ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාලවලද සේවය කළ මහාචාර්ය කේ. සිවතම්බි සහ ශ්‍රී ලංකා විශ්විද්‍යාලයීය (පසුව යාපනය විශ්වවිද්‍යාලය බවට පත් වුණු)  යාපන මණ්ඩපයේ සභාපතිවරයා වූ මහාචාර්ය කේ.කයිලාසපති යන ප්‍රධාන චරිත ත්‍රිත්වය නූතන දමිළ නාට්‍ය කලාවේ ප්‍රමුඛතමයන් වද්දී අද වන විටත් සක්‍රීය දායකත්වයක් දමිළ නාට්‍ය කලාව වෙත ලබා දෙමින් ඒ පෙරට විහිදුවන විද්වත් චරිතය මහාචාර්ය මවුනගුරු ය. මහාචාර්ය සරච්චන්ද්‍රඅතින් නිමැවෙන ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ ප්‍රමුඛ ශෛලිගත සම්ප්‍රදායේ ප්‍රධාන නාට්‍ය ධාරාවට සුහුරු ආලෝකයක් සැපයූ දමිළ නාට්‍ය කලාවට අයත් ‘කූත්තු’ නාට්‍ය සම්ප්‍රදාය භාවිතයට කැඳවමින් ඒ හරහා දමිළ ශෛලිගත නාට්‍යයේ මෑත හැඩතල තනන්නට මුල් තැන ගන්නේ ද මහාචාර්ය මවුනගුරු ය.

රාවණ පුරාවත යළි විමසමින් විසි දෙවැනි වියේ දී, ප්‍රධාන රාවණ චරිතයටද පණ පොවමින්, තරුණ මවුනගුරු නිර්මාණය කරන ‘රාවනේසන්’ නාට්‍යය ‘කූත්තු’ සම්ප්‍රදාය තුළ ද රැඳෙමින් සිදු කළ, ‘මනමෙ’ හා සමාන්තරව තැබිය හැකි ශ්‍රී ලාංකේය දමිළ නාට්‍ය නිර්මාණයකි. ‘මනමෙ’ රඟ දැක්වී වසර 9කට පසු ‘රාවනේසන්’ මුල්වරට රඟ දැක්වෙන්නේ ද පේරාදෙණියේ දී මය. දේශපාලනික පෙරළි හා සිවිල් යුද්ධය දමිළ ජන ජීවිතය වෙනස් මං පෙත් ඔස්සේ ගෙන යද්දී සමානුපාතිකව මහාචාර්ය මවුනගුරු ද සිය නාට්‍යය යළි යළිත් ප්‍රති-රචනා කරමින් නවමු කියවීම් හරහා සමාජ විවරණයන්ට ඉඩ සළසාගෙන ඇත්තේ ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ නාට්‍ය ද්විත්වයේ මූලික හැඩතල දශක 6ක් තිස්සේම ඒක රේඛීයව දිවෙද්දී ය.

83න් පස්සේ වැඩි දෙනෙක් රට දාල ගියා. මම ලංකාවෙ නතර වුණා. සිද්ධ වෙමින් පැවතුණු දේවල් එක්ක මම පර්යේෂකයෙක් හැටියට රාවණා චරිතය වගේම සාම්ප්‍රදායික දමිළ කූත්තු නාට්‍ය ගැන නැවත විමසලා බැලුව. 2000 වෙද්දි මම රාවණ චරිතය ගොඩ නැගුවෙ ගොඩක් මානුෂික චරිතයක් විදිහට. ඔහු යුද්ධයක් ආරම්භ කළා වුණත් යුද්ධයේ විනාශය දැකල ඒකෙන් එළියට එනව!

ඒත් එක්කම මම දැක්කෙ මේ කතන්දර පිරිමින්ගේ කතා විදියට. යුද්ධයේ දී විවිධ පැතිවලින් දැඩිම පීඩාව විඳින්නෙ ගැහැණිය. ඒ ගැන කතා කරන නාට්‍යයේ ඉන්නෙ පිරිමියා. රාවණාගෙ කාලෙ ඉඳන් ප්‍රභාකරන්ගෙ, රාජපක්ෂගෙ කාලෙට එනකම්ම මේව පිරිමින්ගෙ ජයග්‍රහණ එක්ක පරාජයන් ගැන කතා!”

මහාචාර්ය මවුනගුරුගේ මෙම අදහස් ඔහු වසර කිහිපයකට පෙර ‘ඩේලිඑෆ්ටී’ පුවත්පත වෙනුවෙන් තුලාසි මුත්තුලිංගම් ලියූ ලිපියක් සඳහා පළ කළ ඒවා ය. අපට පසුගිය සතියේ මුණගැසෙන්නේ ඒ අදහස් තව දුරටත් මනුෂ්‍යත්වය වෙතම යොමු කළ, පරිණත විද්වතෙකි; හෘදයාංගම මිනිසෙකි; අදහස්වලින් වියපත් නොවූ ‘තරුණයෙකි’!

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හෝ දේශීය නාට්‍ය කලාව යන යෙදුම සිංහල නාට්‍ය කලාව යන යෙදුමට වඩා වැඩි භාවිතයක පැවතිය ද පාසැල් හා/හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන කලාප තුළ, වෙසෙසින් සිංහල මාධ්‍ය ප්‍රධාන ධාරාවේ දී, දමිළ නාට්‍ය භාවිතය සාකච්ඡාවට ගැනෙන්නේ ‘පිටුවකට දෙකකට’ සීමාකොට තබමිනි. ඒ ග්‍රීක, රෝම සහ මධ්‍යකාලීන නාට්‍යය හරහා වත්මන්, සමකාලීන ප්‍රවණතා පිළිබඳ දිගු සංවාද අතර සඟවා තබමිනි. සොෆොක්ලීස් සිට දාරියෝ ෆෝ හරහා බොආල් තෙක් නාට්‍යකරුවන් ද, ‘ඊඩිපස්’ සිට ‘සංවාද මණ්ඩප රංගයන්’ දක්වා නාට්‍ය හා ප්‍රවණතා ද හඳුනන තරම් ප්‍රබලව අප ‘කූත්තු’ හා/හෝ ‘රාවනේසන්’ ද, විද්‍යානන්දන් හා/හෝ මවුනගුරු ද හඳුනන්නේ නැත.

83න් පස්සෙ දෙමළ නාට්‍ය යාපනේට තල්ලු වුණා. හොඳ දෙමළ නාට්‍ය ඉන් පස්සෙ කොළඹ හැදුණෙ නෑ. හැබැයි යාපනේ හැදුණ. යාපනේ නාට්‍ය කරන්න ඇති තරම් ප්‍රශ්න තිබුණ… අපේම ප්‍රශ්න. නොතිබුණේ වේදිකා, පසුතල, ආලෝකය වගේ වටේ දේවල්. අපි කළේ අතුරේ යනව වගේ වැඩක්. අපි හදන නාට්‍යවල ඇත්ත තේමාව තේරුණොත් එල්ටීටීඊ එක අපිව මරා දමන්න උනත් ඉඩ තිබ්බ. අපි හංගල ගැහුව…. මහ දවල් පෙන්නපු නාට්‍යවල අපි අපේ ගැටළු සාකච්ඡා කළා. කොළඹ තිබුණු සිංහල නාට්‍ය, උතුරා ගියපු තාක්ෂණයක් එක්ක තිබුණත්, කොයිතරම් දේශපාලනික වුණා ද කියන ගැටළුව අපට තිබුණ.

ඔබ උරණ වුණත්, විරුද්ධ වුණත් මහාචාර්ය සිවතම්බි වතාවක් කිව්ව කතාවක් මට කියන්න අවසර දෙන්න. ඔහු කිව්ව ‘සිංහල නාට්‍ය සුරුවම් නැති අලංකාර දේවාල වගේ කියල. දෙමළ නාට්‍යවල සුරුවම් තිබුණට කිසිම අලංකාර දේවාලයක් ඒ වටේ නෑ කියල’ එයා කතා කළේ තේමාවන් ගැන. බිහිසුණු යුද්ධයක් මැද්දේ අපේම කතා අපේ නාට්‍යවලට තිබුණ!”

මෙරට වේදිකාව පිළිබඳ ඉහත අදහස සීමාව ඉක්මවූ දරුණු විචාරයකැයි යමෙකු තර්ක කරන්නට ඉඩ ඇතත්, 30 වසරක සිවිල් යුද්ධයක බිහිසුණු බව, පරාජිත තරුණ අරගල දෙකක ඛේදනීය බව පිළිබඳ සාකච්ඡා කළ සිංහල නාට්‍ය සංඛ්‍යාව ගැන බලන්නැයි ඔහුට ආරාධනා කරමින් මහාචාර්ය සිවතම්බි දෙසට යම් නැඹුරු ඉසව්වක සිට ගන්නට මම කැමැත්තෙමි. අපට තවමත් ලක්ෂ ගණනක් වූ වස්තු බීජ මග හැරී ඇත. එයින් යම් කොටසක් ආලෝකය, සැරසිලි ඇතුළු මූලිකාංග නොමැතිව වුව ගෙන ආ දමිළ නාට්‍ය භාවිතය අත හැරී ඇත.
මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන්ම මහාචාර්ය මවුනගුරු ද එකිනෙකා පරයා නොයන පරිදි ස්වකීය භූමිකා තුළ, සිය භාෂා කලාප තුළ වෙසෙසි දායකත්වයන් ලබා දෙමින්, කටයුතු කළ ප්‍රාමාණික විද්වතුන් දෙදෙනෙකි.

අපි දෙමළ සමාජයට ලංකාවේ නාට්‍ය ගැන උගන්නද්දි කියල දෙනව සරච්චන්ද්‍රගෙ ඉඳන් හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක වගේම පරාක්‍රම නිරිඇල්ල හරහා වැදගත් හැමෝම ගැන. සිංහල නාට්‍ය සාකච්ඡාව ඇතුළෙ දෙමළ නාට්‍ය ගැන මොනවද කතා කරන්නෙ?”

මහාචාර්ය මවුනගුරු අසන ප්‍රශ්නය මගහැර යා නොහැකි, වහා පිළිතුරු සෙවිය යුතු පැනයකි.

-ප්‍රියන්ත ෆොන්සේකා – 

%d bloggers like this: