Menu Close

ගිහින් එන්න කානිවල් – විචාරශීලී සමාජීය ප්‍රවේශයක්


සුමුදු නිරාගී සෙනවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’ 2018 වර්ෂයේ හොඳම කෙටිකතා සංග්‍රහය හැටියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර කෙටිකතා සමුච්චයයි.
සිලි සිලි සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අගිනි ප්‍රේතවස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා නමැති කෙටිකතා අටකින් යුතු ගිහින් එන්න කානිවල් බැලූ බැල්මට සරල නමුත් ගැඹුරු යටි අර්ථයන් මතු කරන කෙටිකතා සමුච්චයක්.
පැරණි ග්‍රීක විචාරකයින් කලා විචාර සිද්ධාන්ත නිර්මාණය කරගැනීමේදී භාවිත කළේ ඒ වෙනකොට විද්‍යාවේ පැවති න්‍යාය ක්‍රමයන්මයි. ඊට මූලික හේතුව වුණේ ඇරිස්ටෝටල් වැනි පුරෝගාමී කලා විචාරකයින් විශිෂ්ඨ විද්‍යාඥයිනුත් වීම. එදා විද්‍යාවේ දැනුම එක්රැස් කළ යට දැක්වූ ප්‍රධාන ක්‍රමවේද දෙක වූයේ Genetic ක්‍රමය සහ Analytic ක්‍රමවේදයයි. Genetic ක්‍රමවේදයේදී සිදු කරනු ලැබුවේ යම් දෙයක් බීජ අවස්ථාවේ සිට ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කරමින් න්‍යාය ගොඩනගාගැනීමයි. Analytic ක්‍රමයේදී සිදුවුණේ ඉතාම හොඳ, පරිපූර්ණ ආදර්ශකයක් ගෙන එය සියුම් කොටස්වලට විච්ඡේදනය කරමින්, නිරීක්ෂණය කර න්‍යායන් ගොඩනැගීම. එකී විද්‍යාත්මක ක්‍රමවේදන්ගෙන් දෙවෙනි ක්‍රමවේදය හෙවත් Analytic ක්‍රමවේදය විශේෂයෙන් අනුයමිනුයි ඇරිස්ටෝටල් විසින් බටහිර කලා විචාර සිද්ධාන්ත සකස් කරනු ලැබුණේ. ඔහු එහිදී ඉතාම සර්වසම්පූර්ණ නාට්‍ය ආදර්ශකය ලෙස ගත්තේ සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස්’. ඊඩිපස් නාට්‍ය සියුම්ව කැබලිවලට බෙදා විශ්ලේෂණය කරමින් නාට්‍යයක සහ කලා කෘතියක තිබිය යුතු ලක්ෂණ ඔහු ගොඩනැගුවා. සුමුදු විරාගී සෙනවිරත්නගේ ගිහින් එන්න කානිවල් කෘතියත් සාම්ප්‍රදායික කෙටිකතා විචාර මූලධර්ම ඇනලිටිකව අත්දකින්න පුළුවන්, ඇරිස්ටෝටල්ගේ ඊඩිපස් වර්ගයේ පරිපූර්ණ ආදර්ශකයක් හැටියට ගන්න පුළුවන් සුජාත දරුවෙක්.
ගිහින් එන්න කානිවල් කෘතිය ගැනත් ලේඛිකාවගේ නිර්මාණ චාතූර්යය ගැනත් දල අවබෝධයක් ගන්න අපි ‘සිලි සිලි සිරි සිරි’ කියන කතාව විමසා බලමු. කතාවේ දෘෂ්‍ය තලය ලෙස ලේඛිකාව තෝරාගන්නේ ‘අබේරත්නගේ’ නිවසේ ආලින්දය. අබේරත්න තම බිරිඳ වන ‘චන්ද්‍රා’ සමග ස්වකීය නිවසෙහි කල්හරී. කතාවේ දෘෂ්‍ය තලය අබේරත්නගේ ආලින්දය වෙද්දී ලේඛිකාව කතාවේ කලාවකාශමය තලය පිහිටුවන්නේ මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන මිනිස් ජීවිත රාශියකට හානි වූ ලංකාවේ සැබෑ දේශපාලනික අවකාශය තුළ ය. අබේරත්න තම ආලින්දයට වී රූපවාහිණිය නරඔමින් සිටී. රූපවාහිණියේ විකාශය වන්නේ මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ ප්‍රවෘත්ති ය. මේ අතරේ අබේරත්නගේ මිතුරා වන ‘තෙන්නකෝන්’ අබේරත්නගේ නිවසට පැමිණ මේ සිදුවීම සම්බන්ධව දිගු කතාබහකට වැටෙයි. සමස්ත කතාවම දිගහැරෙන්නේ මේ දෙදෙනාගේ ඒ කතාබහ තුළ.
අබේරත්න සහ තෙන්නකෝන් ගැන වචනයෙන් පැහැදිලි නොකරන ලේඛිකාව ඔවුන් පිළිබඳව පාඨකයාට ඒත්තු යන්න හරී. ඒ දෙබස් වලිනි. අබේරත්නගේ බිරිඳ වන චන්ද්‍රා තම සැමියා සහ ඔහුගේ මිත්‍රයා වන තෙන්නකෝන්ට සිසිල් බීම ගේන්නේ මෙසේ කියමින්.


”…රස්නෙ හින්දා තේ හැදුවෙ නෑ ඔන්න. කැවුම් කොකිස් කාලා කූල් ඩ්‍රින්ක්නම් ගැලපෙන්නෙ නෑ හැබැයි. සීනි දාලා නෑ’’


”කොකිස් රහයි’’ තව කොකිසක් ගන්න ගමන් තෙන්නකෝන් කිව්වා. ”අපි ඩයබිටික්කාරයින්ට ඉතිං අවුරුද්දට කන්න තියෙන්නෙ කොකිස් විතරනෙ…..”


මේ වාක්‍ය කණ්ඩය තුළ අබේරත්නත් තෙන්නකෝනුත් චන්ද්‍රාත් අයිති පරම්පරාව ගැන චිත්තරූපයක් මවන්නට ලේඛිකාව සමත් වේ. ඒ මොවුන් මැදිවියෙහි පසුවන්නන් බව.
කුණු කන්දේ ඛේදවාචකය ගැන අබේරත්නත් තෙන්නකෝනුත් අතර සංවාදය දිගින් දිගට යයි. පරිසර විනාශයට මූලික හේතුව ල ‘සිලි සිලි බෑග්’ය කියන තැනට සංවාදය පැමිණේ. මීතොටමුල්ලේදී මෙච්චර විනාශයක් කැන්දපු ඒ සිලි සිලි බෑග් තමන් මුලින් ම දුටු දවස ගැන දෙදෙනාම සිහිකර දේ.
‘’..තෙන්නෙට මතකද සිලිබෑග්එකක් ඉස්සෙල්ලම දැක්ක දවස? මං දැක්කේ අසූ දෙකේ විතර. ඒ කාලෙ  අපේ පුතාට විජය පත්තරේ ගත්තනෙ. වතාවක් ඒ පත්තරේ එක්ක සුපර් මෑන් ප්‍රින්ට් කරලා තිබ්බ සුදුපාට සිලි සිලි බෑග් එකක් නොමිලෙ දුන්න. එදා තමයි සිලි සිලි බෑග් එකයි සුපර්මෑන්වයි ඉස් ඉස්සෙල්ලම දැක්කෙ.. ඉතිං ඒ වතාවේ නිවාඩුවට ගමේ යනකොට මිනිහ එයාගෙ ඇඳුම් ටික ඔය මල්ලෙ දාගෙන තනියෙම උස්සං තමයි ගියෙ..පොඩ්ඩක් ඉන්නකො අපේ පුතාගෙ ඇන්ටික් කලෙක්ෂන් එකේ ඒක තාම තියෙනවා මහිතෙ’’
අබේරත්න පුතාගේ කාමරයට ගොස් පරිස්සමට අරං තිබ්බ ‘සුපර් මෑන්’ ප්‍රින්ට් කළ සිලිසිලි බෑගය ගෙනත් තෙන්නකෝන්ට පෙන්නනයි. දෙවනුව තෙන්නකෝන් සිලිසිලි බෑග් සම්බන්ධ තමාගේ ඉතිහාසය සිහිකරයි. තමා දුෂ්කර සේවයට ගිය හැටි. එහිදී තම බිරිඳ වන දේවිකා සමග ගතකළ හැටි. දවසක් තම ශිෂ්‍යයෙක් වන සේනාරත්න එක්ක වෑකන්දට යනකොට කරුණා නමැති ගැමි ගැහැනියගේ නිවසේ මිනිස්සු, හරි අමුතු, සිලිසිලිගාන, සිලිසිලි බෑගයක් බලන්න එකතු වී හිටි හැටි, ඔහු සිහි කරයි. කරුණලෑ ගෙදරට කොළඹින් ආපු රියදුරන් සිලිසිලි බෑගයක් දී තිබුණේ අබේරත්න වෙසෙන (අර්ධනාගරිකයැ’යි සිතාගත හැකි) ප්‍රදේශයේදී ඔහු සිලිසිලි බෑගයක් දකින්න අවුරුදු ගණනාවකට කළින්. ඒ එක්දහස් නවසිය හැත්තෑ අටේ විතර.
සැබැවින්ම මේ සිලිසිලි බෑගයේ සරල ස්මරණයන් ඇතුළේ ගැඹුරු සමාජ යථාර්ථයක් ඉස්මතු කරන්න ලේඛිකාව සමත් වෙයි. මේ කතාව හුදෙක් ‘සිලි සිලි බෑගයක් ගැන කතාවක්’ නොවේ. ‘සිලි සිලි බෑගය’ යනු කතාවේ ඒකීය ධාරණාව බැඳ තබන උපක්‍රමික හුය පමණකි. මේ උපක්‍රමික හුය ඔස්සේ ලේඛිකාව යටි අර්ථයෙන් කියන්නේ ලංකාවේ අන්ත ග්‍රාමීය ප්‍රදේශවලට පවා නාගරීකරණය හා නිදහස් වෙළඳ ආර්ථිකයේ බලපෑම පැමිණීම පිළිබඳ කතාවයි. මේ බලපෑම නිසා මෙතෙක් කාලයක් බතින් බුලතින් ස්ව්‍යංපෝෂිත ප්‍රදේශ වල ජල මූලාශ්‍ර හිඳීයයි. උත්ප්‍රාසයට කරුණ වන්නේ නව ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙසට හිඳී ගිය ජල මූලාශ්‍ර වෙනුවට ඒ සමගම දියුණු වූ තාක්ෂණය හා නව ධනවාදයේම ව්‍යාපෘති භාවිත කරමින් ඒ ප්‍රදේශවලට කෘත්‍රිම ජලප්‍රවාහණ ඇලවල් නිර්මාණය වීම.
එසේම වැඩකට නැති සිලි බෑගයකටත් මෙකී නාගරීකරණය වීම සංකේතවත් කිරීම ඉතා උත්ප්‍රාසජනකය. සිලි සිලි මල්ලේ ඇත්තේ, පුහු අලංකාරයත් අරුත් සුන් සිලි සිලි හඬත් පමණක් නොවේද? ඒ හැර වෙනයම් වටානාකමක් තිබේද? ලේඛිකාව කතාවේ  යටි අරුතින් මතුකරන සත්‍යය එයයි.


”මීතොටමුල්ලෙ විතරක් නෙමෙයි හැම ලොකු ටවුමකම වාගෙ කුණු කන්දක් තියෙනව. ගම්පොළ එක දැනටමත් සැරින්සැරේ නාය යනවනෙ. ගොහාගොඩ එක. කෑගල්ලෙ එක. බලන්නෙපෑයැ මීතොටමුල්ලට වඩා ටිකයි පොඩි”


‘මීතොටමුල්ල’ සංකේතයක් ලෙස වැදගත් වෙන්නේ එය නූතන පරිභෝජනවාදී සමාජය ‘කුණු කන්දක්’ බවට දෙන සංසංදනාත්මක අර්ථය නිසාම නෙමෙයි. එය එක්තරා අතකට එම ක්‍රමයේ එක්  අත්‍යාවශ්‍ය පැතිකඩක් වූ පාරිසරික විනාශයේ උපරිම අවස්ථාවක් බව ඇත්ත. නමුත් මීතොටමුල්ලේ සැබෑ ඛේද වාචකය කතාව තුළට ගෙන ඒමෙන් ලේඛිකාව බාවිතයට ගන්නා සාහිත්‍යමය උපක්‍රමයක් ඇත. එනම් කතාව වඩාලාත් පාඨකයා තුළ විශ්වසනීයත්වයට පත් කිරීම යි.
 වැව් ඉහත්තාවට නිදහසේ පැමිණි තනි දළයා ආපසු නොපැමිණීම (මිනිසුන් විසින් ඝාතනය වීම නිසා) ඒ කාරණය පැහැදිලි කරන ප්‍රබල සංකේත හැටියට ලේඛිකාව කතාව තුළ යොදාගනී. එසේම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය විනාශ වී සාම්ප්‍රදායික සුවඳැල් හීනටි බෝග වෙනුවට අකුරු දෙකේ හයිබ්‍රිඩ් බෝග පැමිණීම වැනි කරුණු සංකේතාත්මකව ඉදිරිපත් කරයි.
අනුරාධපුරේ ‘කරුණා අක්කලාගෙ’ ගෙදර තියෙන අමුතු සිලිසිලි මල්ල ණයට ඉල්ලාගෙන ගමේ ගෑනු උජාරුවට පාරේ යති. අවසන තෙන්නකෝන්ගේ බිරිඳවන දේවිකා ටීචර් පවා එය ණයට ඉල්ලා ගන්නීය. ඉතාමත් සුළු කාරණයක් ඔස්සේ විශාල අතීත සමාජ විපරිණාමයක් විග්‍රහ කරන ලේඛිකාව අවසන අබේරත්නගේ ආලින්දයෙන් ම කතාව අවසන් කරන්නේ මෙහෙම.
”පුතාගෙ ඇන්ටික් සිලිසිලි මල්ල කතාව අස්සෙ හුළගේ ගිහින් තිබුණා. අබේරත්න ඒක අහුලගෙන නැමුවේ පරණ නැමුම් පාරවල් දිගේමයි. සුපර්මෑන්ව මුලින් ම බඩහරහා දෙකට නැමුණා. ඊට පස්සෙ ඔළුවයි කකුල් දෙකයි හරහා නැමුණා. ආයෙත් නැමුණා. ආයෙත්…ආයෙත්…’’
‘සුපර්මෑන්’ වනාහි නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමයේ වගෙම නූතන ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල සංකේතයක්. යම් අධ්‍යාපන පසුබිමක් හා නාගරික පසුබිමක් සහිත දේවිකා පවා සිලි සිලි බෑගය ණයට ඉල්ලා ගැනීම මෙන් ම, සුපර්මෑන් පරණ නැමුම්පාර දිගේම නැමීම සංකේතවත් කරන්නේ නව වෙළඳ ආර්ථිකයට ඔබ්බෙන් අතීතයක් දැක ඇති අබේරන්නලාට තෙන්නකෝන්ලාට පවා එය වෙනස් ආකාරයෙන් දකින්නටත් පරිභෝජනවාදි ආර්ථික ප්‍රවාහයෙන් ගැලවී වෙනත් අයුරින් ජීවත් වෙන්නටත් නොහැකි වූ අයුරු නොවේද?
නූතන කලා විචාර සංකල්පයන් ලෙස ‘ව්‍යුහවාදයත්’ , ‘පශ්චාත් ව්‍යුහවාදයත්’ කලා විචාරයට ඉගැන්වූ දෙයක් ඇත. එනම් කලා කෘතියක අර්ථ ඇත්තේ කෘතිය නිර්මාණය කළ ලේඛකයාගේ මනහෙසි නොව පාඨකයාගේ කියවීම තුළ බවයි. ඒ අනුව කෙටිකතා කරුවාගේ හෝ නවකතා කරුවාගේ කාර්යය වන්නේ නූතන විචාරශීලී පාඨකයාට විවිධාර්ථයෙන් කියවිය හැකි ‘නොවිසඳුනු’ නිර්මාණයක් ගෙන ඒමයි. නූතන කතා කලාව පිළිබඳ ඉතාලි ජාතික නවකතා කරුවකු හා විචාරකයකු වන ‘උම්බෙර්තෝ එකෝ’ කියන මේ කියමන බලන්න.
‘’කොටින්ම කියනවානම් හැම පඨිතයක් ම ඒකට අයිති වැඩවලින් සමහරක් කරන්න කියලා පාඨකයාගෙන් ඉල්ලන කම්මැලි යන්ත්‍රයක්. ග්‍රාහකයා තේරුම්ගත යුතු හැම දෙයක් ම පඨිතයකට කියන්න සිදුවුණොත් මොනතරම් ප්‍රශ්නයක්ද? ඒ පඨිතය කවදාවත් ඉවරවෙන එකක් නෑ’’ (අමුතු කතාව – ලියනගේ අමරකීර්ති)
සුමුදු නිරාගීගේ ගිහින් එන්න කානිවල් කෘතිය ද ඒ අර්ථයෙන් ගත් කල, පාඨකයා විසින් බේරාගත යුතු සියුම් ප්‍රවේශයන් රාශියක් ලබාදෙන ඉතා කම්මැලි පඨිතයක් කීවාට වරදක් නැත.
‘සිලි සිලි සිරි සිරි’ කතාව දෙස තවදුරටත් විචාරශිලීව බලමු. අබේරත්න, චන්ද්‍රා සහ තෙන්නකෝන් මැදිවියට පත් පුද්ගලයින් බව පෙර කීවෙමු. නමුත් මේ කතාව තුළ මතු කරන ඊළඟ වැදගත් අර්ථය වන්නේ ඔවුන්ගේ මැදිවියේ වර්තමාන ජීවිතය තුළ ඉස්මතු වන තවත් ඛේදනීය පැතිකඩක්. මේ අය තම ජීවිතයේ සැඳෑ සමයේ තම නිවෙස්වල හුදකාලාව ගතකරති. ඔවුන්ගේ හුදකලාව නසන්නට ඉන්නවානම් ඉන්නේ තමන්ගේම වයසේම පසුවන අහළ පහළ තෙන්නකෝන් වැනි උදවිය යි. මේ අය එකතු වූ කල කතා කරන්නේ තමන් තරුණ කාලයේ ගතකළ ආකාරයයි. ඒ අනුව මොවුන්ගේ ජීවිතය කිසියම් කාන්සාවකින් වෙලී පවතින බව පෙණේ.
අබේරත්නලාට දරුවන් සිටියත් ඔවුන් ඒ නිවෙස්වල ජීවත් නොවන බව කතාවෙන් පැහැදිලි වේ. මේ ආර්ථික ක්‍රමය සමග නොනිමි අරගලයක පැටලී ඇති ඔවුන් බොහෝ විට ඇත්තේ විදේශ රටක විය හැක. එසේත් නැතිනම් දෙමව්පියන්ගේ නිවසින් ඈත, අග නගරයේ විය හැක. දෙමව්පියන්ගේ ජීවිත දෙස බලන්නට ඔවුන්ට කාලයක් නැත. අබේරත්නලා තමන්ගේ පුතා කුඩා කල සෙල්ලම් කළ සිලිසිලි මල්ල ඉතා වටිනා වස්තුවක් සේ ආරක්ෂා කරමින් තබන් ඉන්නේ මේ කාන්සාව නිසාය. ඔවුහු එය නැමීමේදී සහ ඇල්ලීමේදී පවා පරිස්සම්කාරී වෙති. සිලි සිලි මල්ල දෝතින් අරං දරුවන්ගේ කුඩා කල පිළිබඳ ස්මරණයන් සිදුකරති. වැදගත්ම කාරණය වන්නේ, කතාවේ දෙවැනි අර්ථය වන මේ කාරණයෙන් ද පෙනෙන්නේද මේ තරගකාරී නූතන ආර්ථිකයේම ඵලයක් වීම ය. එහි උපරිම තලය වන මහළු මඩමක දිවිහැරීම කියන තත්ත්වයට අබේරත්නලා පත් නොවී තිබීම වාසනාවකි.
මෙම කෘතියේ ඇති ‘ගිහින් එන්න කානිවල්’ නමින්ම පළවන කෙටිකතාව නිරූපණය කරන්නේ මොන්ටේරෝ වාහනයේ නැගී, එහි සංරූෆ් එක විවෘත කරමින් සෙල්ෆි ගසමින් ගොස් සුපිරි අයිස්ක්‍රීම් හල්වල ‘මැරීන් ෆිෂ් කොලැජන්’ , ‘මේපල් වෝල්නට්’ ,  ‘පීනට් බටර් ඇන්ඩ් ජෙලි’ වැනි සුවහසක් වූ අයිස්ක්‍රීම් වර්ග අතරින් තමන් වඩා කැමති කුමක්ද යන්න තෝරාගැනීමට වදවන අබේරත්නලාගේ සහ තෙන්නකෝන්ලාගේ දරුවන්ගේ සහ මුණුබුරන්ගේ කතාන්දරයයි. එසේත් නැතිනම් සිලි සිලි සිරි සිරි කතාවේ නූතන ම අවස්ථාව ගමන හෙවත් වෙළඳ ධනවාදයේ නූතන ම චර්යාවයි.
ලේඛිකාව කතාව අවසන් කරන ආකාරය බලන්න.
”.. නැන්දා එක් වර්ගයක් මත සිය ඇගිලි තුඩු තැබුවාය. ‘ඔයත් වෝට් කරන්න’ ඇය කීවේ මට ය. ආදිත්‍ය අයියා මගේ උරහිස උඩින් අත දිගු කර කුමන හෝ අයිස්ක්‍රීම් වර්ගයක් ලකුණු කළේය. මම පුවරුව දෙස බලා සිටියෙමි.
Peppermint Bonbon
Sea  Salt Caramel
Cotton Candy
Blackberry
Hazelnut
Hibiscus beet
…………………………….
මොවුන්ගේ චර්යාව අයිස්ක්‍රීම් රසවිඳීමෙන් නවතින්නේ නැත. තමා අයිස්ක්‍රිම් රසවිඳිමෙන් පසුව ඒවාට වෝට් කරන එකද මොවුන් මෝස්තරයක් කරගනී.


උත්තම පුරුෂ දෘෂ්ටිකෝනයෙන් දිව යන කතාවේ, උත්තම පුරුෂ කථනය  අයිස්ක්‍රීම් කා විනෝදවන නාගරික මැද පන්තියට අයත් ‘ආදිත්‍ය අයියා’ වැනි දරුවෙක්ට නොදී එය ගමේ සිට නිවාඩුවට මාමලාගේ ගෙදර එන ‘විධුර’ නම් දරුවා ළඟ තැබීම කතුවරිය ගෙන ඇති වැදගත් රචනා උපක්‍රමයකි. කඩයට ගිහින් අයිස්ක්‍රීම් ඉල්ලද්දි ‘එලිපන්ට්හවුස්’ හරි ‘හයිලන්ඩ්’ හරි ඉල්ලන්න පමණක් දැනන් හිටි විදුර මේ කතාවට අනුව අයිතිවන්නේ මැද තැනකට.  මන්ද යත්, නවධනවාදයේ සංකේතයන් බඳු වූ ගාලුමුවදොර සුපිරි අඩවියේ සහ වැල්ලවත්ත සුවහසක් වූ සුපිරි වෙළඳ නාමයන් හා සළකුණු අතර තමන් සතු මුදලට කරන්න දෙයක් නැතිව ආදිත්‍ය අය්යලා රස්තයාදු වෙද්දී, මෙවන් සුපිරි වෙළඳසැල්වලින් අභිමුව ම අයිස්ක්‍රීම් කෝට්ටක් ලෙවකන තවත් එවැනි දරුවන් පිරිසකුත් , එදා වේල සරි කරගන්න සාරවිට විකුණා මිනිසුනුත් පාඨකයාට මුණගස්සන්න පුළුවන් වෙන්නේ විදුරගේ දෘෂ්ටිකෝණයට හිමි ආස්ථානය නිසාය. විදුරගේ ඇසින් අපිට පෙන්නන, නව ධනවාදය විසින් නිර්මාණය කර ඇති සමාජ විෂමතාව එය අපට සිහිකරන්නේ ”එක් පැත්තකින් ධනය බලය සහ යස ඉසුරු වර්ධනය වෙද්දී, ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් වර්ධනය වෙන්නේ දුප්පත්කම, නූගත්කම සහ වහල්භාවයයි’ කියන කාර්ල් මාක්ස්ගේ සුප්‍රකට කියමන.


‘අග්නි ප්‍රේත වස්තුව’ ගිහින් එන්න කානිවල් කතා සංග්‍රහයේ ඇති තවත් අපූර්ව නිර්මාණයක්. ‘පච්ච සෝමේ’ නමැති නිතර බීගෙන සිටින මිනිසා දෙස තවත් මිනිසුන් කීපදෙනෙක් බලන ආකාරය කතාවේ නිරූපණය කෙරේ. ඒ තිදෙනා වන්නේ ගුණේරිස් උපාසක උන්නැහේ, අතකොට බණ්ඩේ මාමා සහ රංකිරා යි. මොවුහු ‘නෝනක්කාගේ’ තේ කඩයට වි කල්මරමින් ඈතින් එන පච්ච සෝමේ මාමා දෙස බලා ඔහු ගැන විවේචනය කරති. පච්ච සෝමේ ගැන මේ අය තබන අවලාදයන් විවිධාකාර වුණත් පච්ච සෝමේ යනු තමන්ගේ වෙහෙස මහන්සියෙන් හම්බකරගෙන කාටවත් කරදරයක් නැතිව ජීවත්වන මිනිසෙක් බව පෙනේ. ඔහුගේ බීමත්කම ගැන විවේචනය කරන මේ පුද්ගලයින් කිසි දෙයක් නොකර වල්පල් කියවන, දවල් හීන දකිමින් නිදාසිටින අය බව කතාවෙන් ඍජුව නොපෙනුනත් එසේ පෙනෙන්නට ඉඩ හැර තිබේ. එය ලේඛිකාව සතු ඉතා පිරිපුන් හැකියාවකි.
‘ගිහින් එන්න කානිවල්’ කෙටිකතා සංග්‍රහයේ එන සියලුම කතා ඉතාමත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි, පාඨකයා හමුවේ ඉතාම විචාරශිලී ප්‍රවේශයන් විවෘත කරන  නිර්මාණයන්. ‘ගඩුව’, ‘කළුපෙට්ටිය’, ‘රාමු දෙකක කතාවක්’, ‘පෙතියා’ වැනි කතා සියල්ල කතාවේ මතුපිට අර්ථ ඉක්මවා ගිය සියුම් ව්‍යංගාර්ථයන් මවයි. එමෙන්ම මුලින් සඳහන් කළා සේ ඒවා සාම්ප්‍රදායික කෙටිකතා විචාර මූලධර්ම විශ්ලේෂණාත්මකව හසු කරගන්න පුළුවන් සැබෑ නිදර්ශන.
ගිහින් එන්න කානිවල් තුළින් පෙනීයන්නේ ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍ය සහ සිංහල සංස්කෘතිය පිළිබඳ ලේඛිකාව තුළ ඇති හසල අවබෝධය නූතන ම සමාජ දේශපාලනික ප්‍රකරණයන් තුළ පැළකිරීමට ලේඛිකාව දක්වන විශ්මයදනවන චාතූර්යයයි. මෙය සුමුදු නිරාගී සෙනවිරත්නගේ සම්මානනීය නවකතාව වන ‘දූල්වල අලංකාරය’ තුළ පවා පැහැදිලිව පේන ශූරකමකි.


– ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2019 ජූනි 16) 

%d bloggers like this: