Menu Close

The Post


විසි අවුරුද්දක් පමණ දිවෙන ‘වියට්නාම් යුද්ධයේ’ ඓතිහාසික සාධක අපි දන්නවා.  
ජපන් අධිරාජ්‍යය පාලනයෙන් මිදී දෙවන ලෝක යුද්ධයෙන් පසු (1945 සැප්තැම්බර් 02) නිදහස් රජයක් ලෙස ප්‍රකාශ කෙරෙන වියට්නාමයට ඒ නිදහස් හුස්ම වැඩිකල් ගන්න ලැබෙන්නෙ නෑ.

1847දී ගෙන ගිය ආක්‍රමණයෙන් පසුව තම යටත්විජිත සිතියමට වියට්නාමය එකතු කරගෙන හිටි ප්‍රංශය, නිදහස් වියට්නාමය නැවත (1946-1954) නතු කරගන්න ගන්නවා. දෙවනුව ඇමරිකාව ඒ භූමිකාවට අවතීර්ණවන්නේ  මාසයකුත් සති තුනක් සහ දින තුනක් තිස්සේ පැවති ඩියෙන් බියෙන් ෆූ සටනින් (Battle of Dien Bien Phu)  ප්‍රංශය පරාජය කරන්න වියට්නාම් කොමියුනිස්ට් විප්ලවවාදීන් සමත් වීමෙන් පසු.

වියට්නාමය තුළ ඇමරිකානු මැදිහත් වීම ජපාන හා ප්‍රංශ මැදිහත් වීමට වඩා බොහෝ සංකීර්ණ වුණා. උතුර සහ දකුණ ලෙස කොටස් දෙකකට බෙදුණු වියට්නාමයේ උතුරු කොටස තම පාලන අධිකාරියෙන් මිදේය යන ගෝලීය අධිරාජ්‍යවාදීන් සතුවූ බිය මීට මූලික වුණා. චීනයේ හා රුසියාවේ ආශිර්වාදය උතුරු වියට්නාමය සහ එහි පාලකයා වූ හෝචිමිං සතු වීම ඇමරිකානු ගැටලුව තවත් උඩුදුවවව්වා.

ඩී. අයිසන්හවර්, ජෝන් කෙනඩි, බී. ජොන්සන් සහ රිචඩ් නික්සන් යන ඇමරිකානු ජනාධිපතිවරුන් සිව් දෙනෙක් යටතේ විසි අවුරුද්දක් පුරාවට (1955 නොවැම්බර් සිට 1975 අප්‍රෙල් දක්වා) පවත්වාගෙන ගිය  අදාල සංහාරය තුළ මිනිස්කමට එරෙහිව සිදුකරනු ලැබූ අපරාධ හා බෝම්බ හෙළීම් රාශියක් වියට්නාමය තුළ සිදු කෙරුණා. ඒ විතරක් නෙමෙයි, ඇමරිකානු ආර්ථිකය හා ඇමරිකානු හමුදාවද ඒ තරමින් ම වන්දි ගෙව්වා. මක් නිසාද යත්, කවර තරමේ හානියකට මුහුණ දෙමින් නමුදු ඇමරිකානු සෙබලුන්ගේ මිනීපෙට්ටි සීයකට පමණ දෛනිකව ඇණ ගැහෙන මට්ටමින් වියට්නාම ගරිල්ලන් ඇමරිකාවට පාඩම් උගන්වමින් හිටියා.   

යුද්ධයේ ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම විට්කොන්ග් ගරිල්ලන්ට එරෙහිව තමන්ට ජයගත නොහැකි බව ඇමරිකානු රජයන් දැනන් හිටියා. එසේ නමුත් එවන් ආර්ථිකමය වශයෙන් පාඩුදායක සහ හමුදාමය වශයෙන් තමන්ට විනාශකාරී යුද්ධය නවත්වන්නත් සැබෑ තොරතුරු රටට හෙළි කරන්නත් අදාල පාලකයින් ඉදිරිපත් වුණේ නෑ. යුද්ධය මග නතර කළහොත් තම ප්‍රතිරූපයට හා ජනප්‍රියත්වයට කැළලක් වෙන බව දන්න ඔවුන් යුද්ධය සාර්ථක බව පෙන්වමින් එය පවත්වාගෙන ගියා. අවසානයේ වසර විස්සක් පැවති යුද්ධය අතහැර දමන්න මට්ටමට ඇමරිකාව පත් කරන්නට වියට්නාම් ගරිල්ලා බටයින්ගේ Tet Offensive වැනි සුවිෂේශී මෙහෙයුම් සමත් වුණා. ඒ අනුව තම හමුදාව වියට්නාමයෙන් ඉවත් කරගන්නටත්, ඒ වෙනුවට මතවාදීමය පරාජයෙන් බේරෙන්නට දකුණු වියට්නාම හමුදාව සන්නද්ධ කරන්නටත් නික්සන් කටයුතු කරනවා.

ස්ටිවන් ස්පිල්බර්ජ් විසින් අධ්‍යක්ෂණය කළ The Post (2017)සිනමා පටයේ කථාව පටන්ගන්නේ ඒ පසුබිම හරහා. නමුත් එය වියට්නාම් යුද්ධය ගැන කතාවක් නෙමෙයි.  (විට්කොන්ග් ගරිල්ලාවරුන් හමුවේ ඇමරිකානු සෙබලුන්ගේ අසාථකවීම හෙළි කෙරෙන එක් රූපරාමුවක් පමණක් තියෙනවා) වියට්නාම් යුද්ධය පිළිබඳ තොරතුරු වසන්කිරීමට ඇමරිකානු රජය ගත් වෑයමත්, ඒවා හෙළිදරව් කරන්නට එක් රජයේ නිලධාරියෙක් හා මාධ්‍ය ආයතන කිහිපයක් ගත් වෑයමක් සම්බන්ධ කතාවක්.

අපි ආයෙත් අර ඉතිහාසෙට මොහොතකට හැරෙමු.  වියට්නාම් යුද්ධයෙන් පසු අදාල කාරණය පිළිබඳ රහස් වාර්තාවක් කැඳවන්න ඇමරිකානු ජනාධිපති නික්සන් (1967) කටයුතු කළා. ඒ එවකට ආරක්ෂක ලේකම් ව හිටි රොබට් මැක්නමාරාගේ අධික්ෂණය යටතේ. පිටු තුන්දහසකිනුත් ඇමුණුම් හාරදහසකිනුත් යුත් ඒ රහසිගත වාර්තාව තුළ ඉහත කියු, වියට්නාම් යුද්ධයේ ඇමරිකානු භූමිකාව, ජරාජය දැන දැනත් පවත්වාගෙන යෑම, වියට්නාමයට කුරිරු බෝම්බ හෙළීම හා රාජ්‍ය නායකයින් මරණයට පත් කිරීම වගේ ඉතාම සංවේදී කාරණා අඩංගු වුණා.  මේ තොරතුරු හිතාමතා වසන් කරමින් ජාතියට කළ අපරාදය ගැන කලකිරෙන එම අධ්‍යන කණ්ඩායමේම විශ්ලේෂකකකු වූ ඩැනියෙල් එල්ස්බර්ග් ‘පෙන්ටගන් පත්‍රිකා’ (Pentagon Papers) ලෙසින් හැදින්වූ මේ පත්‍රිකා රහසේ පිට කරනවා.

අදාල පත්‍රිකාවලින් කොටස් මුලින් ම පළවන්නේ The New York Times පුවත්පතේ. නමුත් ඒයා පළවූ ගමන් රජය ඊට විරුද්ධව වාරණ නියෝග ගන්නවා. ස්පිල්බර්ජ් තම රූප තලය ගොඩනගන්නේ එවන් පසුබිමක එම තොරතුරු සොයාගැනීමටඋත්සාහකරීම හා ඒවා පළ කිරීම සම්බන්ධ අර්බුදයට මුහුණ දෙන, The New York Times තරමට ජනප්‍රිය නොවූ The Washington Post පුවත්පතේ මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුත් ඒ පුවත්පතේ හිමිකාරියත් ගන්නා වෑයම හාත්පසින් විවරණය කරන්න.

The Washington Post අයිතිකාරිය වන Kay Graham තම පියා විසින් ලබා දුන් පවුලේ පුවත්පතට සෑහෙන තරම් ඇලුම් කරනවා. එය වැටී ඇති මූල්‍යමය අර්බුදයෙන් බේරාගන්න කොටස් වෙළඳපොලේ  කොටස් විකුණන්න ඈ බලාපොරොත්තු වනවා. Ben Bradlee නම් සුවිශේෂි මාධ්‍යවේදියාගේ උනන්දුව යටතේ වොෂින්ටන් පත්‍රිකා The Washington Post පුවත්පතට හමුවන්නේ මේ කාලයේ. රජය විසින් The New York Times පුවත්පතේ ඒවා පළ කිරීම නිසා පුවත්පත වාරණයට ලක්ව තිබියදී, මේ පුවත්පතේත් ඒවා පළ කර ගැටලුවක් ඇති කරගන්නේනම් තමන්ට කොටස් මිළදීගත නොහැකිබව කොටස් මිළදීගන්නන් පවසනවා. Kay Graham ට තියෙන තවත් විශාලම ගැටලුව බැඳියාවන් පිළිබඳ කාරණය. මේවා හෙළිදරව් වීම නිසා හානියට පත්විය හැකි ඇතැම් ජනාධිපතිවරුන් සහ ආරක්ෂක ලේකම් මැක්නමාරා ඇගේ සමීප මිතුරන්. මාධ්‍යවේදීන්ගේ ජීවිතයට පවා හානි විය හැකි බව Ben Bradlee ඇතැම් අය පවසනවා. පුවත්පතේ සේවය කරන්නන් අතරින්, මේවා පළකළ යුතුය කියන මතයේ ඉන්නේ Ben Bradlee ඇතුලු ඉතාම ස්වල්ප දෙනෙක් විතරයි. රහසිගත තොරතුරු තබාගනිමින් ඒවා පළ කිරීම කරනවාද නොකරනවාද යනුවෙන් මේ අය විඳිනා මානසික ආතතිය ස්පිල්බර්ජ් මනාව නිරූපණය කරනවා.  රෑප රාමු හා කැමරා වේගයෙන් ගලායෑමට සැලැස්වීම මගින් තීරණය ගැනීමේ කාලය පිළිබඳව මනා ඟැඟීමක් දනවනවා.
පුවත්පත තමාට අහිමිවීමේ හා සිරබත්විඳීමේ අභීයෝගය අරගනිමින් Kay Graham තමාගේ රස්සාව නැතිවීමේ ඉඳන් තමාට එන ඕනම අභියෝගයක් බාරගන්නවාය කියන පදනම යටතේ Ben Bradlee ඇතුළු ඉතාම ස්වල්ප දෙනෙක් මේ තොරතුරු පහුවදා පුවත්පතේ පළකරන්න සූදානම් කරනවා. ඔවුන්ට මුහුණ දෙන්න වුණ තීරණාත්මක ම ප්‍රශ්නය එන්නේ අන්තිමේදී. ඒ තමයි මේ තොරතුරු The Washington Post වෙත ලැබුණේ ඒවා The New York Times වෙත ලැබුණු මූලාශ්‍රයෙන්මද බව. The New York Times  වාරණය කරන්න අධිකරණ නියෝගයක් දීලා තිබියදී, මේ තොරතුරුත් ඒ මූලාශ්‍රයෙන්ම ලැබුණු ඒවානම් ඒවා ඵල කිරීමෙන් අධිකරණයට අපහාස විය හැකි බව තර්ක කෙරෙනවා. කෙසේවෙතත් මේ සියල්ලට වඩා බෙන්ගේ සහ ග්‍රෑම්ගේ ආත්මශක්තිය වැඩියි.

අදාල කාරණා විශ්ලේෂණාත්මකව සහ නිර්භීතව The Washington Post හි පළ වූවාට පසුව, රටේ සෙසු පුවත්පතුත් ඒවා පළකරන්න පහුවදා ඉඳන් නිර්භීත වෙනවා. මේ වාර්තා සැඟවීම, මාධ්‍ය වාරණය සහ වියට්නාම මැදිහත්වීම වැනි කාරණාවන්ට විරුද්ධව මේ සමගම පුරවැසි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගොඩ නැගෙනවා. මේවා හෙළිදරව්වීම මාධ්‍යයේ වරදක් නොවන බවත්, ජනාධිපතිට රහස් රැකගත නොහැකිනම් ඔහු ජනාධිපතිකමට නුසුදුසු බවත් මතවාද ශක්තිමත් වෙනවා. එසේම මේ මගින් රාජ්‍ය ආරක්ෂාව අවතුරේ නොවැටෙන බවටත්, මේ මගින් හානි සිදුවන්නේ පාලකයින් කීපයකට විතරක් බවටත්, එසේ තිබියදී රාජ්‍ය ආරක්ෂාවට හානි සිදුවනවා කීම ‘රාජ්‍යනම් මමය’ ආකාරයේ සංකල්පයක් බවටත් යෝජනා වෙනවා.

අවසන ‘පුවත්පත් ඇත්තේ පාලකයා ආරක්ෂා කිරීමට නොව පාලිතයා ආරක්ෂා කිරීමට ය’  (Te press was to serve the governed, not the governors) යන ඓතිහාසික අධිකරණ තීන්දුවත් සමග සියලු පුවත්පත් ආයතනත් තොරතුරු දැනගැනීමේ අයිතියත් ජයග්‍රහණය කරනවා.

වසර තිහක් තිස්සේ පැවති යුද්ධයක් අපි වාර්තා කළේ කෙසේද? සාමාන්‍යයෙන් පෙරා දෙන මාධ්‍ය භාවිතාවක් හැර විචාරශීලී විවරණයක් කළ මාධ්‍ය ආයතන තිබුණේ කීයෙන් කීයද? පක්ෂ දේශපාලනික හා ආර්ථික අභිලාශයන් වෙනුවෙන් මාධ්‍ය ගණිකාවෘත්තියේ යොදවමින් රට ගිනි තබන මාධ්‍ය හැර, මහජනයාගේ පැත්තේ ඉඳගෙන තොරතුරු විශ්ලේෂණය කරන, හෙළිදරව් කරන මාධ්‍ය අපිට ඇත්තේ කීයද?

පාක්ෂික සහ අවස්ථාවාදී වුවමනාවක් වෙනුවෙන් හැරෙන්නට සංවේදී තොරතුරු ජනතාවට හෙළිදරව් කළ හැකි නිර්භීත රාජ්‍ය නිලධාරීන් අපට සීටීද? ප්‍රභූන් සමග පවත්වන්නා වූ පෞද්ගලික සම්බන්ධතා තොරතුරු දැනගැනීමේ නිදහස වෙනුවෙන් කැපකළ හැකි මාධ්‍ය හිමිකරුවො කීයෙන් කීදෙනෙක් ඇත්ද? ඒ සියල්ලටම වඩා මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු  තමංගේ වර්ගවාදී අවශ්‍යතාවන්ට අනුකූලව අවිචාරශීලීව වැළඳගන්නා සමාජයක් මිසක සැබෑ තොරතුරු දැනගැනීමේ නිදහස වෙනුවෙන් වදවන විචාරශීලී පුරවැසි සමාජයක් අපට තිබේද? The Post ලාංකික පොළවේ ඉතිරිකරන ප්‍රශ්න මේවා.

– ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(රාවය 2019 ජූනි 09)






%d bloggers like this: