Menu Close

වෙහෙස සටහන්..

නිදි නැතිව ගෙවිලා යන දින වල, අඩු නැතිව ඉතිරි වුන වෙහෙස, කළු පාට අඩ කවයක් වෙලා ඇස් පිහාටු යට ඉතිරි වෙලා… සීනි බෝතලේ පතුළ හූරලා අරගෙන හදා ගත්ත කහට කෝප්පයේ උණුසුම් සුවඳ අල්ලපු කාමරේ පැත්තෙන් ඇහෙන Lady Gaga ගේ “I’ll never love again” තාලය පැත්තට හෙමින් පාවෙලා යනවා… මේසේ උඩ ඔහේ ගොඩ ගැහිලා තියෙන කටුවට ගණන් හදපු කොළ, රතු පෑනෙන් ඇඳපු ශ්වසන පද්ධතිය, සටහන් අගිස්සක  මතක් වෙන මතක් වෙන වෙලාවට ලියපු සිංදු කෑලි, අහිංසක විදිහට මං දිහා බලාගෙන ඉන්නවා මට දැනෙනවා..මට මහන්සියි..මහන්සියි කියන එක වචන කරන්නත් බැරි තරමටම , මට මහන්සියි..

ලයිබ්‍රියේ කොණක,  කවුරුත්ම ඇවිත් ඉඳගන්නේ නැති හුදකලා මුල්ලක, තනියම ඉන්නකොට මම, මගේ කණ්ණාඩිය ගලවලා පැත්තකින් තියෙනවා..එතකොට මං ඉස්සරහ ඉන්න ළමයින්ව පේන්නේ බොඳ වෙලා… හරියට තීන්ත පෑනෙන් ලියපු ලියුමක් උඩට වතුර වැටුණාම වගේ.. හැම කෙනෙක්ම අපහැදිලි රූප වෙලා යනවා..එතකොට මට පුළුවන් මගේම කියලා  ලෝකයක් ඇතුළට ගහගෙන යනකන් හදවතේ හදගැස්ම ECG පටියක චිත්‍රයක් වෙන හැටි කියවන්න..මුහුද රැල්ලක් වගේ එක දිගට එක දිගට ඇඳෙන චිත්‍රයකින් හදවත ගැන කියවන්න ඉගෙන ගන්න…

මතක තියාගන්න බැරි තරම් කරුණු වලින්, මොළේ හැම ලාච්චුවක්ම පුරවන්න බැරි වුනාම, ඒ කරුණු පුංචි කඳුළු කැට වෙලා ඇස් අගිස්සේ එකතු වෙනවා.. ඒ වෙලාවට ඇස් පොඩි කරකර මොළේ තව ඉතිරි වෙලා තියෙන පුංචි ඉඩක් හරි හොයනවා ඇරෙන්න වෙන විකල්පයක් නම් නෑ තමා.. ඉතින් එහෙම වෙලාවලට තද කරලා ඇස් දෙක පියා ගන්නවා…

ආතතිය පුංචි චිරි චිරි වැස්සක් වෙලා පාඩම් මේසේ උඩ කොළ වල අකුරු එකින් එක මකලා දානකොට, ජනේලය වහලා දාන්න කෙනෙක් නැති එක ගැන හීනි දුකක් ඇවිත් හර්ත් කර්ණික කෝෂික ආවාරයේ පුංචි සිඳුරක් හදලා ගිහින්… කොච්චර පාඩම් කලත් ලියාගන්න බැරි ප්‍රශ්න පත්තරේකට පස්සේ, දුක කියන්න, දුක අහන්න කෙනෙක් නැති එක වගේ හරිම බොලඳ ගනයේ දේවල් ගැන වුනත් හිත රිදෙනවා…ජීවිතේ වසන්තය , විභාග ශාලාවක ලියාගන්න බැරි රසායනික සමීකරණයක් වේවී කියලා මට බයයි…’බය නොවී ඉන්න මම ඉන්නවා’ කියන කටහඬක් වත් නැතිකොට, තනියම ගෙවලා දාන්න තියෙන ජීවිතේ මාගලක් වගේ මහ විසාලෙට පාළුවට පේනකොට, කවුරු මොනවා කිව්වත් පුංචිම පුංචියට හරි දුක හිතෙනවා..

මතකයෙන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ගැන කියද්දි, ජීවිතේ අත්‍යවශ්‍යම කොටසක් හිස් වෙලා නේද කියලා හිතෙනකොට, ඒ හිස්තැන වහගන්න පුළුවන් තරමට දේවල් පාඩම් කරලා පුරවගන්න මට පුළුවන්..මේ අමාරුම අමාරු කාලේ “මට චීස් කේක් කන්න ආසයි” කිව්වාම “විභාගෙන් පස්සේ කමු” කියන්නවත් කෙනෙක් නැතිවුනාම පාළුයි නම් තමා.. ඒත් විභාගෙන් පස්සේ තනියම මොනවාම හරි කඩචෝරුවක් කන්න මම පර්ස් එකේ මුල්ලක දහයේ කාසියක් හංගලා තියාගන්නවා…ඒ දහය කාසිය හදවතේ පදාසයක් සූරගෙන ගිහින් විභාගය ඉවර වෙනකන් බලාගෙන ඉදීවී..

%d bloggers like this: