Menu Close

සොබා දහම විසින් මවනු ලබන හේමන්තයේ මිහිර …….

     තු විපර්යාස තිබෙන රටවල වසන්තය, ගිම්හානය,හේමන්තය සහ සිසිරය (spring, summer, autumn and winter) යන අපූර්ව දේශගුණික ලක්ෂණ සහිත කාලසීමා හතරක් වෙන් කර ගත හැකිය. වසන්ත සමය ඉතාමත් සෞම්‍ය දේශගුණය සහිත කාලයයි. ගස් මල් පල වලින් බරවී තිබෙන මේ කාලයේ ගස්වැල් මෙන්ම මිනිසා ඇතුළු අනිකුත් සතා සීපාවන් තුළද, මහත් ප්‍රබෝධමත් ගතියක් දකින්නට ලැබේ.  ගිම්හානය තද හිරු රැස් සහිත, දිවා කාලය වැඩි, රාත්‍රී කාලය අඩු ඍතුවයි. මේ කාලයේදී මුහුදු වෙරළට ගොස් හිරු රැස්වල උණුසුම් පහස විඳආශ්වාදයක් විඳීම මහත් සුව දායකය.

ගිම්හානයේ පවතින උණුසුම ක්‍රමක්‍රමයෙන් අඩුවී යාමත් සමග එළඹෙන්නේ හේමන්තයයි. කඩින් කඩ කඩා හැලෙන වැසි සහ හිරිකඩය   සමග ඇතිවන හිරිගඩු පිපෙන සීතල සහිත හේමන්තයේ සුවිශේෂී ලක්ෂණයක් දකින්නට ලැබෙනුයේ පත්‍ර පතනය වන ශාක වලය. මේ කාලය එළඹෙන විට ‘සදාහරිත’ (ever-green) සහ  ‘පතනපත්‍ර’ (deciduous) ශාක වල මහත් වෙනසක් දකින්නට ලැබේ.

ඉදිරියේ එන සිසිර ඍතුවේ කර්කශ දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීම පිණිස මෙම ශාකවල  පත්‍ර සිය ප්‍රභාසංස්ලේෂණ කාර්යයන් නිමවා විවිධ වර්ණ විපර්යාසයන්ට භාජන වීම ස්වභාව ධර්මයේ අද්විතීය සිදුවීම් රටාවක් ලෙස සැලකිය හැකිය. සදාහරිත ශාක මෙම ලක්ෂණ නොමැතිව වෙනත් ආකාරයකින් කාලතරණය කරති.
සිසිරය ශීත ඍතුවයි. රාත්‍රී කාලය වැඩි, දහවල අඩු, මේ කාලයේ බොහෝවිට වටපිටාවේ අඳුරු ස්වභාවයක් දකින්නට ලැබේ. ඉඳහිට සුර්යාලෝකය යන්තමට පෙනී පැය කිහිපයකින් අවසන් වන බවද,  සිසිරයේදී දකින්නට ලැබේ. අධික ශීතලද නොසලකා, එය වාසි සහගත ස්වභාවික ක්‍රියාවලියක් බව පිළිගන්නා බොහෝ අය, සිසිරයේදී    හිම වැටෙන ප්‍රදේශවලට ගොස් , හිම ක්‍රීඩා වල නිරත වෙමින් මහත් චිත්ත සුවයක් ලබන බවද දකින්නට ලැබේ.

හේමන්තයේදී ශාකවල පත්‍ර වල කොළ පැහැය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස්, වෙනත් විවිධ වර්ණ සංකලණයන් ප්‍රදර්ශනය කරනු, දකින්නට ලැබේ. මෙය  වසන්තයේ දී දකින්නට ලැබෙන, ශාක මල්පල වලින් පිරියාම  තරමටම චමත්කාරජනක සංසිද්ධියකි.  ශාකවල මෙම වර්ණ සංකලනය සහ පත්‍ර පතිත වීම පිළිබඳව විවිධ කව් ගී සාහිත්‍යයට එකතු වී තිබේ.

හේමන්තයේදී විවිධ වර්ණ පෙන්වන ‘මේපල්’ පත්‍ර
Sharonda D. Chery නම් කිවිඳියක් විසින් ‘The Personality Of  Nature’ යන මැයින්  ලියන ලද පහත
දැක්වෙන ඉංග්‍රීසි පද්‍යය කියවා ආශ්වාදයක් ලැබූ මට, හේමන්ත සහ  සිසිර කාලයේදී ගස් කොලන් වල සිදුවන ආශ්චර්යාත්මක  සිදුවීම් මාලාව ගැන  මඳක් විමසා බැලීමට සිත්විය. කිවිඳියගේ පද්‍යය මෙසේය: 
As the season changes from hot to cold  
And I watch the leaves change their clothes
From green, to brown, from red to gold
They never seem to change their souls
.
They remain humble even as they grow old,
(As trees change from season to season, they continue to remain loyal and humble with their youthful spirits)
ශාක පත්‍ර පිලිබඳ ඇයගේ කවි සංකල්පනාව ගැන මගේ අදහස මෙසේය
උණුසුම ගෙවී තද සීතල වැඩි                 කරවා
තුරු ලිය කොළ වලත්  වෙනසක් ඇති    වනවා
කහ පැහැ ගැහී තද රතු පැහැයක්            එනවා
අවසන් මොහොත තෙක්  යුතුකම ඉටු  වෙනවා
ගිම්හානය ගියා, හේමන්තය                 එන වා
සිසිරය ළඟම එන ලකුණුත් ඇති         වෙනවා
වසන්තයේ ගහ කොළ සිරි අඩු              කරවා   
කොළ, කහ, රත් පැහැය වියැකී ගෙන   යනවා
දක්ෂිණ අර්ධ ගෝලයේ ඍතු විපර්යාස පවතින රටවල හේමන්තය මාර්තු මාසයේදී ආරම්භ වී මැයි මාසය දක්වා පවතී. සමහර විට මෙම සීමාවන් සතියක් දෙකක් ඉදිරියටද යන බව දකින්නට ලැබේ. උත්තර අර්ධ ගෝලයේ මෙම කාල වකවානුවේදී පවතිනුයේ වසන්ත සමයයි.
හේමන්තය එළඹීමත් සමගම සුර්යාලෝකය මඳ නිසාත්, උණුසුම අඩු නිසාත් ශාක පත්‍ර වල සිදුවන විපර්යාස රාශියක් පිළිබඳව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ කර තොරතුරු ලබාගෙන තිබේ. මෙසේ දකින්නට ලැබෙන ඉතාමත් පැහැදිලි ලක්ෂණය වනුයේ පත්‍රපතන ශාක පත්‍රවල සිදුවන වර්ණ විපර්යාසයයි. සූර්යාලෝකය සහ ශාක පත්‍ර වල ප්‍රභාසංස්ලේෂණය අතර ඉතාමත් පැහැදිලි සහ සම්බන්ධතාවක් තිබේ.
ශාක පත්‍ර වලට කොළ පැහැය ලැබෙනුයේ ඒවායේ අන්තර්ගත හරිතප්‍රද නිසාය. හරිතප්‍රද වලට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය උරාගෙන, වාතයෙන් ලැබෙන කාබන්ඩයොක්සයිඩ් වායුව, සහ මුල්මගින් උරාගන්නා ජලය භාවිත කර කබෝහයිඩ්රේට නිපදවා ගත හැකිය. සියලුම ජීවීන් හට ජීවය සපයනු ලබන මෙම සුවිශේෂී සංයෝගය නිපදවිය හැක්කේ හරිත ශාක වලට පමණකි.
එසේනම් හරිත පත්‍ර වල කොළ පැහැය නැතිවී යන්නේ ඇයි?
හරිත ශාක පත්‍රයක නිරතුරුව දකින්නට ලැබෙන්නේ කොළ පැහැයයි. මෙම කොළ පැහැති වර්ණකය හරිතප්‍රදයි. ඒ සමගම බොහෝ පත්‍රවල තිබෙන කැරොටින් සහ ඇන්තොසයනින් නම් වර්ණක, හරිතප්‍රද වලින් ආවරණය වී පවතී. මෙම වර්ණක, කබෝහයිඩ්රේට නිපදවීම සඳහා කෙලින්ම සම්බන්ධ නොවුවත්, පත්‍ර මගින් කෙරෙන වෙනත් කාර්යයන් සඳහා උපකාරි වේ.
හේමන්තය උදාවීමත් සමගම, ලැබෙන සුර්යාලෝක ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවන විට, ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියද ටිකින් ටික අඩුවී යයි. පත්‍රයේ ඉතිරිව ඇති සියලුම පෝෂණ ද්‍රව්‍ය, කඳෙහි ආහාර රැස්කරන ස්ථාන වලට මුදාහැර, පත්‍රයේ කොළ පැහැය නැතිවී  ‘වයෝවෘද්ධ’ බවකට පත්වේ.  මෙසේ වන විට පත්‍ර නටුවේ ඇති ෆ්ලොයම නාල ඔස්සේ ශාකයේ වෙනත් ස්ථාන වලට යැවෙන පෝෂක ප්‍රමාණය අඩුවන විට, පත්‍ර නටුව කඳට සවිවන ස්ථානයේ, බාධක පටකයක් (abscission)  සකස් වීම ආරම්භ කෙරේ.
මෙතෙක් කල් හරිතප්‍රද වල කොළ පැහැයෙන් ආවරණය වී තිබුණු, කැරොටින් (carotin) වර්ණකය පත්‍රවල ඉස්මතුවේ. (කැරට් අලයේ කහ පැහැය ලැබෙනුයේද  කැරොටින් නිසාය.)  මේ නිසා පත්‍ර මදටිය පැහැයට හුරු කහ පැහැයක් ගනී. ටික දිනකින් පත්‍රයේ ඇති කැරොටින් අවසන්වූ පසු තුන්වෙනි වර්ණකය වන ඇන්තොසයනින් (anthocyanin) දිස් වෙන්නට පටන් ගනී. ඇන්තොසයනින් රතු පැහැය ඇති වර්ණකයකි. මේ නිසා තුන්වන අවස්ථාවේදී, පත්‍ර රතු පැහැයෙන් වර්ණවත් වේ. මේ වන විට පත්‍ර නටුවේ බාධක පටකය සම්පූර්ණයෙන්ම වාගේ අවසන් නිසා, පත්‍රය කඳෙන් හෝ අතු රිකිල්ලෙන් වියෝවීම ඉතාමත් ආසන්නය. සමහර ශාක පත්‍ර වල මේ අන්තිම මොහොතේ තවත් වර්ණකයක් වන ලිග්නින් (lignin) ක්‍රියාත්මක වී, පත්‍ර වලට දූඹුරු පැහැයක් ලබාදේ. මේ වන විට බාධක පටකය සම්පූර්ණයෙන්ම වැඩී පත්‍රය සහ අතු රිකිල්ල අතර ඇති සම්බන්ධය සහමුලින්ම කපාහරී. බාධක පටකය ඉතා දුර්වල එකක් නිසා සිය කෘති අවසන් කළ මහලු පත්‍රය මඳ සුළඟකින් වුවද, එම ස්ථානයෙන් වෙන්වී,  මව් ශාකයෙන් ගැලවී ගොස් ගස යටම පතිත වේ.  මෙසේ සියලුම පත්‍ර වැටි ගිය පසු, ශාකය සති ගණනාවක්ම ඉපලක් මෙන් තිබී, ඍතුව අවසානයේදී නැවත  සුර්යාලෝකය ලැබෙන විට, යළි දළු ලා,  ප්‍රකෘති තත්වයට පත්වේ.
මෙසේ ශාක පත්‍ර වැටි යාම නිසාම හේමන්තයේ අග සති කිහිපය සහ සිසිරයේ  මුල් සති කිහිපය එකට ගොනු කර ‘පතනය’ (Fall) යනුවෙන්ද හැඳින්වේ.
මේ අතින් බලන කළ මෙම ශාක, ඒ රටවල දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්, සුවිශේෂී වර්ණ විපර්යාස රංගනයක් මගින් සොබා දහමට මහත් කළඑළියක්  ලබාදේ. හරිත වර්ණය තිබියදී මෙන්ම, ටික කලකට හෝ විවිධ වර්ණ සංකලනයන්ගෙන් සමන්විත තුරු වියන් දකින විට, තද ශීතල වටපිටාව ගැනද අමතක වී  මිහිරියාවක්ම ගෙන දේ.
ශීත රටවල් ලෙස හඳුන්වනු ලබන,  ඍතු විපර්යාස පවතින රටවල, පත්‍රපතන ශාකවල දකින්නට ලැබෙන මෙම ලක්ෂණය, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ඒ තරමටම දකින්නට නොලැබේ. අපගේ රබර්, කොට්ටන්, බෝ වැනි ශාක විශේෂ කිහිපයක සියලුම පරිණත පත්‍ර එක්වරම වාගේ වැටී  ගියත්, ඒවා සතියකදී පමණ අලුතින් දළු ලා පළමු තත්ත්වයට පත්වේ.

          පුප්ඵං මිලායාතී යථා ඉධම්මේ – කායෝ තථා යාථි විනාශ භාවං

යන ගාථා ධර්මයෙන් කියවෙන පරිදි පුෂ්පයක ඇති අනිත්‍ය බව, තම ආහාර තමන් විසින්ම නිපදවා ගනිමින්, විශාල මෙහෙයක් කර, විචිත්‍රවත් රැඟුමක් පා වියැකී යන ශාක පත්‍ර වලින්ද නොඅඩුව පෙන්වන බව අපට සිහියට නැගේ. ‘හටගැනීම, පැවතීම සහ වියැකී යාම’ මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට මෙන්ම වෙනත් භෞතික වස්තු වලටද උරුමයක් බව තේරුම් ගැනීමට හේමන්තයේ ශාක පත්‍ර බිමට පතිත වීමද  උපයෝගී කර ගනිමු.        

%d bloggers like this: