Menu Close

වෛද්‍යවරු හැම වෙලාවකම කියන්නේ ඇත්තමද?

දොස්තර මහත්තුරු කියන හැම දෙයක්ම ඇත්තද? මේ දවස්වල සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මේ ගැටලුව බොහෝ දෙනෙකුට ඇති වෙන්න පුළුවන්.

වෛද්‍යවරයෙක් කියන්නේ අපේ සමාජයේ තිබෙන ඉහළම වෘත්තියක්. වෘත්තිය ඉහළ වුනත් ඒ වෘත්තිය තුළ ඉන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු කරන හැම දෙයක්ම ඔවුනුත් කරනවා. මත්පැන් බිම සිරුරට අහිතකරයි කියලා අප හැමෝටම වඩා දන්නේ ඔවුන් වුනත්, මත්පැන් පානය කරන වෛද්‍යවරු එමටයි. වෘත්තිය උතුම් වුනත්, ඒ උතුම් බවට නොගැළපෙන දේවල් කරන වෛද්‍යවරු එමටයි. ගබ්සා කිරීම්, වද කිරීම්, ගසා කෑම්, අල්ලස් ගැනීම්, අධික ලෙස මුදල් අය කරමින් රෝගීන්ව සූරා කෑම් කරන වෛද්‍යවරු එමටයි. ඔවුන් තමන්ගේ වෘත්තිය ඇතුළේ ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහනවා. වෘත්තිය කොයි තරම් උතුම් ද කියන එක ඒ නිසා ඔවුන්ට බාධාවක් නොවෙයි. මේ නිසා අපේ සමාජයේ වෘත්තිය අනුව මිනිස්සු මනින්න යනවා නම් ඒක තමයි මෝඩම වැඩේ.

ඇත්තටම වෛද්‍යවරු කියන්නේ ඇත්තමද? හැමෝම නැතත් ඇතැම් අය මුදල් ගරා ගන්න රෝගීන්ට ගජ බින්න අත අරිනවා. මට පෞද්ගලිකව සිද්ධ වුණු දෙයකින් මට ඒක එහෙමයි කියලා කියන්න පුළුවන්.

2016 අවුරුද්දේ ගම්පහ ස්ටේෂන් එකේදි කෝච්චියක් අල්ලගන්න ගිහින් දුවලා මම වැටෙනවා. ඒක ටිකක් දරුණු වැටීමක් වගේම ඒ නිසා මගේ දකුණු උරහිසේ Grater Tubercle කියන ස්ථානයේ පිපිරීමක් සිද්ධ වෙනවා. පහළ ඇති එක්ස් කිරණ සටහනේ ඒක පෙනෙනවා. මේක ගත්තේ මේ සිදුවීමෙන් දවස් කිහිපයකට පසුව නිසා පිපිරීම අඩුවෙන් පෙනෙන්නේ.

මේ රතු පාට කවයෙන් පෙනෙන්නේ බිඳී ගිය ස්ථානය. පිපිරුණු පසු අස්ථිය ඝන වී ඇත්තේ අවිධිමත් ආකාරයටයි. එය විධිමත් ලෙස ඝන වූවා නම් එය තිබිය යුත්තේ මෙහි පෑනකින් ඇඳ ඇති සීමාවේ පෙනෙන පරිදි ගෝලාකාරව. මෙය පෑනකින් ඇඳ පෙන්නුවේ මා අවසන් වතාවට හමු වූ විකලාංග වෛද්‍යවරයා විසින්. ඉහතින් ගැට්ටක් සහිතව ඝන වීම නිසයි අත ඔසවන්නට ඇති හැකියාව නැති වී තිබුණේ. 



මේක සාමාන්‍ය දෙයක් කියා හිතන මම දේශීය වෛද්‍යවරයෙක් හමුවට ගොස් තෙල් බෙහෙත් සාත්තුවක් දාගන්නවා. සතියක් පමණ ගත වෙද්දි මට අත උස්සා ගන්නට නොහැකි තත්වයක් ඇති වෙනවා. මම නැවත දේශීය වෛද්‍යවරයා හමු වෙනවා. ඔහු පවසන්නේ ටික දවසක් තෙල් සාත්තුව කරද්දි මෙය සුව වන බවයි. ටික දිනක් තෙල් ගෑවත් අත උස්සාගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.  එවිට මම හිතවත් සාමාන්‍ය වෛද්‍යවරයෙක් හමුවන්නට ගිහින් මේ සිද්ධිය කියනවා. ඔහු තමාගේ දැනුමේ හැටියට අත පරීක්ෂා කරලා බලා කියනවා ඇතැම් විට මේක ස්නායු ගැටලුවක් වෙන්න පුළුවන්, ඒ නිසා ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා.

මම කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී ස්නායූ වෛද්‍යවරයෙක් හමුවෙනවා. ඔහු අත සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලා කියනවා මේක ස්නායූ රෝගයක් නෙවෙයි, කොහොම වුනත් කෝකටත් කියලා බෙහෙත් ටිකක් නියම කරන්නම් ඒක අරගන්න කියලා. ඒකෙන් අඩු වුණේ නැත්නම් ඉක්මනින්ම Rheumatologist (රක්තවේද වෛද්‍යවරයෙක්)  හමුවෙන්න කියා ඔහු කියනවා.

ඔහුගේ බෙහෙත්වලින් සුවයක් නොලැබෙන නිසා මම Rheumatologist කෙනෙක් මුණ ගැහෙනවා. ඒ අවස්ථාවේ දී තමයි එක්ස් කිරණ ඡායාරූපයක් ගන්න කියා උපදෙස් දෙන්නේ. මුලින්ම පෙන්වා තියෙන්නේ ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූපයයි. Grater Tubercle කියන තැන පිපිරීමක් සිදුවී ඇති බවත්, දැන් එය නැවත සවි වී ගෙන යන බවත්, සවි වී ඇත්තේ අවිධිමත් ආකාරයකින් නිසා අත ඔසවන්නට නොහැකි වී ඇති බවත් ඔහු පවසනවා. මේ නිසා ඔහුගේ උපදේශය වන්නේ වහාම විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු (orthopedic surgeon) හමු විය යුතු බවයි. දකුණු අත කෙසේ හෝ සුව කර ගත යුතු නිසා මා වහා ප්‍රමාද නොවී විකලාංග වෛද්‍යවරයකු හමු වෙනවා.

ඔහු පවසන්නේ උරහිසේ MRI Scan එකක් කළ යුතු බවයි. කොළඹ පෞද්ගලික රෝහලක දී මේ Scan එක කර ගන්නවා. පසුව වෙනත් දවසක මේ වාර්තාවත් සමග නැවත විකලාංග ශල්‍ය වෛද්‍යවරයා  හමු වෙන්නට යනවා. එහිදී ඔහු පවසන කතාවෙන් මා වික්ෂිප්ත වෙනවා.

Grater Tubercle කොටස සහ උරහිස් අස්ථිය සම්බන්ධ වන මාංශ පේශියේ කණ්ඩරාව (Tendon) කොටස ඉරී ඇති බවත්, දැන් නූල් කැබලි කිහිපයක් සේ ඉතිරිව ඇති පේශී කොටස්වලින් පමණක් අත රැඳී ඇති බවත්, ඒ නිසා අත ඔසවන්නට ඇති හැකියාව නැතිවී ඇති බවත් ඔහු ඒ අවස්ථාවේ දී පවසනවා. 

ඔහු පැවසූ පරිදි හානිවී ඇත්තේ මේ රතු කවයෙන් පෙන්වා ඇති කණ්ඩරා කොටසයි



ඔහු ඒ සඳහා ශල්‍යකර්මයක් නිර්දේශ කරනවා. ඒ අනුව ටයිටේනියම්වලින් සකසන ලද ඇණ වැනි දෙයකින් කෘත්‍රිමව මාංශ පේශී කොටසක් සවි කළ යුතු බව ඔහු පවසනවා. මේ සඳහා ලක්ෂ 4ක පමණ මුදල් වැය විය හැකි බවත්, ඒ මුදල් සූදානම් කොට ගෙන ඔහුව හමු වන ලෙසත් උපදෙස් දෙනවා. මේ ශල්‍යකර්මය ඉක්මනින් සිදුකරන්නට නොහැකි වුවහොත් සදාකාලයටම අත ඔසවාගන්නට කිසිසේත්ම  හැකියාවක් නොලැබෙන බව ඔහු පවසනවා.


ලක්ෂ හතරක් එකපාරම හොයන්න?

ලක්ෂ හතරක් එකවර සොයා ගන්නට මට හැකියාවක් නැති බව මට අවබෝධ වෙනවා. ආයතනයෙන් ලබා දෙන රක්ෂණයෙන් ද ලැබෙන්නේ එක් ලක්ෂ විසිපන්දහසක් පමණයි.

පසුව මෙය රජයේ රෝහලකින් සිදුකරගන්නට සිතන මම කොළඹ මහ රෝහලේ විකලාංග සායනයකට සහභාගී වෙනවා. එහි සිටි එක් විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් පවසන්නේ උරහිස ප්‍රදේශයේ මාංශ පේශී ඝන වී ඇති නිසා අත ඔසවන්නට ඇති හැකියාව නැති බවයි. එහිදී ඔහු කුමක් හෝ යන්ත්‍රයකින් උරහිසට කම්පන වාර සෑහෙන ගණනක් දෙනවා ඉන් පසුව මට අත ඔසනවා තබා සොලවා ගන්නටත් නොහැකි වෙනවා. වෛද්‍යවරයා පවසන්නේ මේ ප්‍රතිකාරය ගැනීම සඳහා නැවත දිනයක පැමිණෙන ලෙසයි. කෙසේ නමුත් වැඩි වේලාවක් ගත වෙන්නට පෙර උරහිස අධික ලෙස වේදනා දෙන්නට වීම නිසා ඒ ප්‍රතිකාරය ගැනීමට යාමෙන් මම වැළකී සිටිනවා.

දැන් මම දකුණ අත නැවත එසවීම පිළිබඳ බලාපොරොත්තු අතහැර ගන්නවා.

නමුත් නැවතත් යමක් කල්පනා කරනවා.

ජාතික රෝහලේ දැනට සේවයේ නියුතු විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවීමෙන් ඔහුගේ මාර්ගයෙන් මේ ශල්‍යකර්මය කර ගත හැකි දැයි මට සිතෙනවා. මම පෞද්ගලික රෝහලක දී එක් වෛද්‍යවරයෙක් හමු වෙනවා. මා එදින ඔහුගේ අවසන් රෝගියා නිසා සෑහෙන වේලාවක් රැගෙන මේ තත්වය මට පැහැදිලි කරනවා.

ඔහු පවසන්නේ ශල්‍යකර්ම කරන්නට ගොස් නැති ලෙඩ දමා නො ගන්නා ලෙසයි. දැන් අස්ථියේ පිපිරුම සවි වී ඇති නිසා ඒවා වෙනස් කරන්නට යාමෙන් පලක් නැති බව ඔහු පවසනවා. ප්‍රතිකාර අමතක කර දමා පුරුදු පරිදි ගෙදර දොරේ වැඩ කරගෙන සිටින ලෙසත්, ලක්ෂ හතරක් ඉල්ලා සිටි වෛද්‍යවරයා පැවසූ පරිදි අත මාංශ පේශී කැබලිවලින් එල්ලී තිබෙන්නට හැකියාවක් නැති බවත් පවසනවා. අතට හොඳින් ව්‍යයාම ලැබෙන්නේ නම් අවුරුද්දක් පමණ ගත් වෙද්දී සියල්ල යථා තත්වයට හැරෙන බවත් ඔහු පවසනවා.

අවසානයේ මම ඔහුගේ උපදෙස් පිළිපදිනවා.

අවුරුද්දක් පමණ ගතවෙද්දී ඔහු පැවසූ පරිදි මගේ අත ටිකෙන් ටික යථා තත්වයට පත් වෙනවා.

ඔන්න ඕක තමයි මගේ කතාව.

ඉතින් වෛද්‍යවරු හැම වෙලාවකම කියන්නේ ඇත්තමද?
%d bloggers like this: