Menu Close

141. කළු ගඟ දිගේ . . . . . 6

පොලුයි – දෙලුයි !
බල මාළුයි!!

රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතවත් නිසි පමණක් නොව කිසි අහරක් නැතිව; ගඟක ඉවුරක; පරිසරයට නිරාවරණයව සිටි අයෙකු හට සීනි සම්බෝල පාන් එකක් සමග බිත්තර පාන් එකක් පමනක් යනු ගිරුවා පත්තුව මැදින් කෝඳුරුවෙක් ගියා වැනි දෙයකි.
තවත් ලිහිල් කර ලියනවා නම් වික්ටෝරියා පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වැනි නොදැනී යන කාරණයකි.

උදේ තේ බීම පුරුදුවූ අයෙකු හට හිස් බඩ කිසිදු ක්‍රියා කාරකමක් කිරීමට හිත දෙන්නේ නැති බව මා ඉවෙන් මෙන් දනිමි. ඇත්තෙන්ම මමත් එම කුලකයේ තවත් එක් අවයවයකි.
උදේ තේ එක සමග කිසියම් පැණි රසක් කන්නට මා කලක සිට පුරුදු වී ඇත්තෙමි. මේ පැණි රස කෑමට බොහෝ විට ගොදුරු වන්නේ ඉඟුරු විස්කෝතු කිහිපයකි!

පසිඳු සමග හක්බෙල්ලවක ගතකල සමහර උදෑසනයන් හීදී; මාගේ සොයා ගැනීමක් යැයි මා සළකන නෙස්ටොමොල්ට් යොදන ලද කෝපි කෝප්පයේ; තැටි පාන් අඩිය පොඟවා ගෙන කන්නට පුරුදු වූවේ පසිඳු ගෙන්මය!
පාන්; ජෑම් + බටර් + මාමයිට්  ගාගෙන කෑම පුරුදු වූවේ තවත් මගේ ලඟම ඥාතියෙකුවූ රොමේන් අයියා ගෙනි.

අතෙකින් සිතියමකි අතෙකින් ගෙන     බනිස
මරණ තුනක් පෙන්නයි තම  දත්          දෙතිස

කෙසේ වෙතත් ඇනෝ එතරම් කෑමට පැන්නූ අයෙක් නොවීය! ඒත් එය කණ්ඩායමේ කිසිවෙකුට අඩු පාඩුවක් සේ නොදැනෙන්නට මමත් පසිඳුත් හැකි උපරිමයෙන් කටයුතු  කලෙමු.
අපි යන විට කයාක දෙක  හරවා ඒවා මතුපිට එක් එක් කයාකය මත ගෙනයන දෑ බෙදා හැර තිබුණි.

පුරුදු පරිදි මම; වඩා බරසාර ෆයිබර් කයාකය තෝරා ගත්තෙමු. එසේම  කෝඩුකාර ඇනෝව මම මගේ කයාකයේ ඉදිරිපසට නංවා ගන්නට සිතා ගත්තෙමි.
ඒ ඔහුට අමතර ආරක්ෂාවක් දෙන අටියෙනි.  මෙම ආරක්ෂාව යන වචනයේ අර්ථ දෙකක් ගැබ්වී පවතී.

ඉන් පලමු වැන්න එම කයාකයේ ඇති සුවිශේෂී ස්ථායිතාවය ය. දෙවැන්න හදිසි අවස්ථාවකදී පෞද්ගලිකව මා හට කල හැකි මැදිහත්වීමය.

මා සම්බන්ධවන ඕනෑම ක්‍රියාකාර කමකදී බොහෝ විට මා පෙරමුණේ රාළ වෙමි. මන්ද අනෙකෙකු වෙත සිදුවන අනතුරක් නිවෙසියනට දන්වන්නට සිදුවීමට වඩා මරණය වාසනාවන්ත බැවින්ය.

බොහෝ විට මාහට හමුවන සියල්ලෝ මට වඩා වයසින් අඩු අය වෙති. එසේම ඔවුන් පැමිණෙන්නේ මාවෙත තබන මහත්වූ විශ්වාසය කරණ කොට ගෙන යැයි මා සිතමි. එහෙයින් ඔවුන්ගේ ජීවිත මත මා ලංසු තබන්නේ නැත.

වසික පමණක් නොව මාගේ දියණිය පවා තම මිතුරියක සමග මහ පාරේ ඇවිද යන විට ඇයව රැගෙන යන්නේ වඩාත් ආරක්ෂාකාරී ලෙස මාර්ගයට විරුද්ධ දෙසිනි.
මා ඔවුන් හට ආරක්ෂාව සැපයූ අයුරිණ් ඔවුන් ඔවුන්ගේ ළබැඳියනට ආරක්ෂාව සපයමින්ය!
මා කිසි දිනෙක ඔවුන්ව කුමන හදිසි අවස්ථාවකදීවත් පදික මාරුවකින් හැර වෙනයම් තැනකින් පාර පන්නවා නැත.
තවත් කාලයකින් ඔවුන්ද ඔවුන්ගේ දුවා දරුවනට එසේ ආදර්ශමත් වනු ඇත!

බයිසිකල් ගමන් වලදී ඉදිරියෙන් පදින්නේද ගඟාවන් දිගේ යන ගමන් වලදී හමුවන රැපිඩ් හෙවත් ඇලි තරණයේදී පළමුව එයට මුහුණ දෙන්නේද මාය.
ඒ මා තුල ඇති සුවිශේෂී හැකියාවක් හෝ නිර්භීත භාවයක් නිසා නොව කණ්ඩායම හැකි අවම අවදානමකට ලක් වනු පිණිසය!
මේ පිළිබඳව විවිධ අර්ථ කතනයන් දැක්විය හැක.

1. නායකත්වය පළමුව අනතුරකට ලක් වීමෙන් මුළු මහත් කණ්ඩායමම අනතුරේ වැටීමට මග පෑදෙනවා නොවේද?

2. අවිනිශ්චිත අවදනම් සහගත අවස්ථාවකදී; පළමුව වඩාත් ජේෂ්ඨ සාමාජිකයා එයට මුහුණදී එහි ස්වභාවය තෙරුම් ගන්නවා විනා වෙනත් සාමාජිකයෙකු ඒ වෙත යොමු කිරීමෙන් තත්වය වඩාත් බරපතල විය හැකි නොවේද?

මෙහිදී මා තෝරා ගන්නේ දෙවන පිළිවෙලයි.

ලංකාවේ අංක එකේ කිමිදුම් සමාගම වන මාස්ටර් ඩයිවර්ස් ආයතනය වෙතට ලැබෙන වඩාත් භාරදූර කටයුතු වලදී; එයට උර දෙන්නේ එහි සභාපති තැන්පත් ආරියශීල වික්‍රමනායක මහතා බව මා අසා ඇත.

වරක් මහවැළි ගඟ හා සම්බන්ධ එක් වාරි ගේට්ටුවක් (මාගේ මතකය නිවැරදි නම් පොල්ගොල්ල) සිරවී තිබුනු අවස්ථාවක, එසේම බෝවතැන්න උමග හා සම්බන්න්ධ කිමිදුම් කටයුතු වලදී දියට බැස්සේ එතුමාමය!
මෙය කියවන අය අතර; මේ ගැන මට වඩා දන්නා වෙතොත් අය මාවත් මෙම පෝස්ටුවත් නිවැරදි කරත්වා.

කෙසේ වෙතත් ඔහුට මගේ උත්තමාචාරය!


මම මේ ලියන්නේ 30/05/2019 දහවල් 12.24 ටය. ඉහත ආරියසීල වික්‍රමනායකයන්ගේ වික්‍රමය මෙසේ සිල්ලරට ලියා අත පිසදා ගෙන  හිත හදා ගැනීමට මාහට නොහැක. මා ‍You Tube හි මේ ගැන සොයා බැලූවද කිසිම ආරංචියක් සොයා ගැනීමට නොහැකිවිය.

පසුව මා අන්තර්ජාලයෙන් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ දූරකථන අංකය සොයා එය ඇමතීමි.

“හෙලෝ මාස්ටර් ඩයිවර්ස් . . . . . !?” එහා ඉමෙන් මිහිරි හඬක් නැගිනි.

“හෙලෝ මිස් මට ආරියසීල මහත්තයාගැන පොඩි විස්තරයක් දැන ගන්නට ඕනෙ  !”

“පොඩ්ඩක් ඉන්න මම මේක සර් ගේ සෙකට්‍රිට දාන්නම් . . . . !” ඊළඟ මිනිත්තුවේදී තවත් සුන්දර හඬක් අවදි විය . . . . .  !

“හෙලෝ . . . . . !?”

“හෙලෝ මිස්, මට අරියසීල මහත්තයා ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕනෙ. . . .අර මහවැළියේ ගේට් එකක් හිරවුනු වෙලාවෙ . . . . . . !?!?!?”

“ආ වික්ටෝරියා නේද? ඒ ගැන සියළුම විස්තර තියෙනවා සර් ගෙ “කෙම්බිමට ගමනක්” පොතේ. . . !”

“මට පොතනම් හොයා ගන්න බැරි උනා . . . පොඩ්ඩක් කතා කරණ්න ලැබුනොත් ඒක ලොකු දෙයක් . . . . “

” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .”

” . .  . . . . . . . . . . . . . . . . . . . . .”

“හරි මම වෙලාවක් වෙන් කරලා දෙන්නම්. 2.00 වෙන කොට මෙතනට එන්නකෝ  “

හරියටම 1.36 වන විට මම මාස්ටර් ඩයිවර්ස් ප්‍රධාන කාර්‍යාලයට ගියෙමි. තවත් පැය භාගයකින් පමන ආරියසීල වික්‍රමනායක මහතාගේ ලේකම්වරිය පැමිණ මාහට එතුමාගේ චරිතාපදානය වන “කෙම්බිමට ගමනක්” ග්‍රන්ථයේ පිටපතක් ගෙනත් දුන්නේ “මේකෙ ඔයාට ඕන විස්තරේ තියෙනවා කියවන්නකෝ . . . !” කියාය.

එම පොතේපලමු පරිච්ඡෙදයේ දැක්වෙන්නේ මා පෙර සඳහන් කල පුරාවෘථය ය. මා එය  මෙහි පෙලගස්වන්නම් තරමක සංස්කරණයකින් යුතුව.

හඹා ආ මග . . . !

1. වන පරිච්ඡේදය – එදින ඔහු එතැන සිටියේය

ලංකාද්වීපය පුරා තද වැසි ඇද වැටෙමින් තිබිණි.

රට මධ්‍යයේ පිහිටි උස් කඳු මුදුන් දෝවමින් පහතට ඇදෙන මහා දියවර දරාගත් මහවැලි ගංගාවද සැඩ රළ නංවමින් පෙරට ගලා ගියේය.

ඒ 1984 වසරේ ජුලි මාසයයි.වසර හයකට පසු මහවැලි ගඟේ ඉහළම ජල මට්ටමක වාර්තා වූ අවස්ථාව එය වූ අතර  රටේ ප්‍රදේශ රැසක් ඒ වන විට ගංවතුර උවදුරට ගොදුරු වී තිබිණි.

සිව් වසරකට පෙර මහවැලි ගඟට හුළු ගඟ එක්වන ස්ථානයට නුදුරිණ් තිබුනු දිය ඇල්ල වෙනුවට වික්ටෝරියා වේල්ල ඉඳිවී තිබුනි.

 මෙම වර්ෂාව සමග එම වේල්ලේ නිර්මාපකයෝ නොසන්සුන් වූහ. අපේක්ෂිත් ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් ජලය වෙල්ලෙන් උත්පාදිත ජලාශයේ එක්වෙමින් තිබුනි.

ජලාශය වේගයෙන් පිරී යන ආකාරය 
1984 ජුලි 25 සන්ඩේ ඔබ්සරවර් වාර්ථාකරු ලියා දක්වා තිබූ අයුරු . . !

ඒ අතරම මේ ජලය පිට කිරීම සඳහා වේල්ලේ පත්ලේ ඉඳිකර තිබුනු; දොඹකරයක ආධාරයෙන් කොන්ක්‍රීට් පීල්ලක් ඔස්සේ  ඉහළට ඔසවන  හා පහතට හෙලන දොරටුව හදිසියේ ක්‍රියා විරහිතව තිබීම නිසා තත්වය වඩාත් නරක අතට හැරෙමින් විය.

ජුලි මැද වන විට වේල්ලේ අඩි 250 ක උසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් පිරී තිබුනි.

දැවැන්ත වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර හැත්තෑ දෙකෝටි අසූ ලක්ෂයකි!

මෙය පරාක්‍රම සමුද්‍රය, කලා වැව හා නුවර වැව යන යෝධ  වැව් තුනේම ජල කඳටත් වඩා විශාල ධාරිතාවකි!

වික්ටෝරියා සතුටින් ඉපිල . . . . . !

වහා යෙදිය යුතු පිළියම වූයේ කෙසේ හෝ ජලාශය පත්ලට කිමිදී පත්ලේ අති දොරටුව විවෘථ කිරීමය! අවසානයේ මෙම අභියෝගය මහවැලි අමාත්‍යංශයෙන් ඉදිරිපත් වන්නේ එවකට තිස්පස් වියේ සිටි ආරිය සීල වික්‍රමනායක වෙතටය.
බොහෝ අයගේ විරෝධතා පසෙක ලා; මහ වැසි අතරේ ඇවැසි ආම්පන්න වාහන දෙක තුනක පටවා ගත් ආරියසීල තම සොහොයුරු රුවන් සමගින් විටෝරියා වැඩබිම වෙත ගියේය.

කිමිදුම් කරුවෙකු සාමාන්‍ය ක්‍රමවේධ ඔස්සේ ප්‍රායෝගිකව කිමිදෙන උපරිම දුර අඩි 180 කට වැඩි නොවේ. වික්ටෝරියාව පිහිටියේ මුහුදු මට්ටමෙන් මීටර 417 ක් උසිනි.

මුහුදු මට්ටමෙන් ඉහල යත්ම යත්ම වායුගෝලීය පීඩනය අඩුවන බැවින් කිමිදිය හැකි ගැඹුර තව තවත් අඩුවේ. ඒ නිසාම මෙම දෙශගුනික සාධක මැද අඩි 250 ක් කිමිදීම මුහුදු මට්ටමේ අඩි 350 ක් කිමිදීම හා සමානවේ.

“ඒ විතරද? ඒ පරිසරයේ උෂ්නත්වය අඩුයි. වතුරේ පතුලට යනකොට හොඳටම සීතලයි.
රොන්මඩ නිසා ගං වතුර සම්පූර්ණයෙන්ම බොර පාටයි. අඩි කීපයක් පහලට ගියාම සීයට සීයක්ම කළුවරයි.
ගංවතුරට ගසාගෙන ආ බොහෝ දේ නිසා විය හැකි අනතුරු ගැන කියන්නට බෑ.
ඔය සේරම බේරගෙන පතුලට ගියත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ යෝධ දොරටුවේ දෝෂය හඳුනාගැනීම. ඒ
වැඩේට ජලාශය පතුලේ ගත කරණ්න පුළුවන් උපරිම වෙලාව විනාඩි 7 යි!
ඒ වෙලාව පැන්නොත් මැරෙන්න පවා ඉඩ තියෙනවා.
ඒ වගේම එක දවසකට කිමිදෙන්න පුළුවන් එක වතාවක් විතරයි.
ජල පීඩනය නිසා රුධිරයේ දියවන වාතය ටිකෙන් ටික ඉවත් වන්නට දවසක විතර කාලයක් යනවා. ඒ නිසා එක සැරේකට වඩා කිමිදෙන්න බෑ!”

එසේම ජලාශය පත්ලට සැනින් ලඟා විය හැකි වුවද අඩි 250 ක ගැඹුරක සිට මතුපිටට පැමිණීමට පැය 2 කට ආසන්න කාලයක් ගත කලයුතු වේ.

එක් එක් ගැඹුරු මට්ටමට පැමිණ නියමිත වේලාවක් එම ස්ථානයේ රැඳී සිටිමින් නොපැමිණියහොත් කිමිදුම් කරුවා මරණයට හෝන් සදාකාලික අංගවිකල තාවයට පත්විය හැක. ඒ නයිට්‍රජන් රුධිරයේ දියවී යන හෙයින්ය.

අභියොගය ඉස්මත්තේ – සතුට ගලයි සැම චිත්තේ
කිමිදීමට සූදානම්ව.  වම් කෙලවරේ ආරිය සීල

අදාල දිනයේ දිය යට සිට මතු පිටට සම්මත් සංඥා ලබාදෙන ලණුවක්; බෝට්ටුවක රැඳී සිටි තම සොහොයුරු රුවන් වෙත තිබියදී පිටෙහි රැඳවූ ඔක්සිජන් ටැංකියක් සහිතව මහා දිය කඳට පැන ආරියසීල නොපෙනී ගියේය!

“මම හිතුවා වගේම අඩි 10 යනකොට වතුර යට සීයට සීයක් කළුවරයි. කිසි දෙයක් පෙනෙන්නේ නෑ.
 හොඳටම සීතලයි. මම කළේ ආරක්ෂක ආවරණයක් විදියට එක් අතක් ඉස්සරහට කරගෙන, ඔළුව පහළට දාලා ඊතලයක් වගේ කෙළින්ම පතුලට යන එක. ඒකට විනාඩි තුනක් ගත වෙන්න ඇති.”

ජලාශ පත්ලේ තිබුනු දොරටුව ක්‍රියා විරහිත වීමට හේතුව එහි ඉංජිනේරුවන් වූ යුරෝපියයන් නිගමනය කල හේතුව නොවීය.

දින තුනක් ඇතුලත තෙවතාවක් ආරියසීල වික්ටෝරියාව පතුලට ගොස්  පමිණියේය.

අවසන් වතාවේ කල කිමිදීමේදී එතෙක් විසන්ධිව තිබුනු දොඹකර කේබලය දොරටුවට සම්බන්ධ කිරීමට ඔහු සමත් විය!

ඉන් පසු ටොන් ගනනාවක් බරැති දොරටුව ඉහලට එසවුනු අතර වේල්ල බිඳී යාමේ අවදානම ක්‍රමක්‍රමයෙන් ඉවත් විය!

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “වික්‍රමනායක” යෙකුවිය.

මා එම ඡේදය කියවා අවසන් වන්නට මත්තෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය මා ඇමතිමි.

‘හරි! සර්ව හම්බෙන්න පුළුවන් යමු . . . . . . . !”

 තවත් විනාඩි ගනකින් මා ආරියසීල වික්‍රමනායක මහතා අභියස විය.

ගලිවරාණය . . !
අප එතුමාට සවන් දෙමු . . . . !”
https://www.youtube.com/watch?v=-OznXPOQ3Jw&feature=youtu.be

ඒ අපේ කාලයේ වීරයෙකුගේ යශෝරාවයයි.ඔහු ඉතා නිහතමාණී ධෛර්‍ය සම්පන්න මිනිසෙකි. එසේම ඔහුගේ නෙත් සඟල මහත් වූ තරුණ බවකින් දිළිසුනි. තවත් වසරකින් තම කිමිදුම් දිවියට වසර 50 ක් සපුරණ මේ මිනිසා යළිත් හෙට දවසේ වුවද වික්ටෝරියාවේ පතුලට බසින්නට හැකි ජවයකින් පිරිපුන් බවක් ඔහු කෙරෙණ් විද්‍යාමාන විය. සැබවින්ම ඔහු වීරයෙකි!

මේ ගැන තවත් පුවතක් මාහට මේ පෝස්ටුව දැම්මාටත් පසුව Youtube  යේ තිබී හමු වුනි. එයද හුදී ජන පහන් සංවේගය පිණිස මෙහි එල්ලමි. එය පුවතක් විනා ප්‍රකාශයක් නොවේ. එය ද අසා බලන්න. වෙනස වටහා ගන්න.


මේ මොහොතේ මට මෙවන්ම වූ තවත්  කථාවක් මතකයට එන්නේ නිරායාසයෙණි! අනේ; සමාවෙන්න එයත් මම මෙතනම ලියා තබන්නම් ඉතිහාසයට ඩිජිටල් මතකයක් ඇවැසි බැවින්.

මම මේ කථාව මුළුමණින්ම ලියන්නේ මතකයෙන්. ඒ නිසාම පොඩි පොඩි නිවැරදි කිරීම් තිබිය හැක. එහෙත් කථාවේ හරය සීයට සීයක්ම නිවැරදිය. මෙය වරක් “ලක්බිම” ඉරිදා සංග්‍රහයේ පවා ලියැවී තිබින.

එම ලිපියේ තොරතුරු සොයා ගැනීමට සුන්දර අයියා – සුන්දර නිහතමාණී ද මැල් ඇමතීමි. මන්ද එවකට ඔහු “ලක්බිමේ” ප්‍රධාන කතු වූ බැවින්. එහෙත් ඔහුට ලිපිය මතක තිබුනාට එහි අක් මුල් ගැන මතකයක් නොවීය! 

සියවස් ගනනාවක් බත සරි කල පින් කෙත . . !
මින්නේරි වැව.
මාගේ මතකය නිවැරදිනම් වසර 1957. මුළු මහත් ලංකාවේ විශාල වපසරියක් ගංවතුරෙන් යටවී ගිය වසරක් ලෙස එය පැරැණ්නෝ හඳුන්වති. ත්‍රිකුණාමලයට හා මඩකලපුවට දුම් රිය වෙන්වී යන ගල් ඔය හංදිය දුම් රිය නැවතුම් පලේ පවා; එදා 1957 දී ගංවතුර නැගි මට්ටම අදද දකින්නට හැකි අයුරින් දක්වා ඇත.

මුළු රජරටටම බලපෑ මෙම ගං වතුරිණ් වඩාත්ම තර්ජනයට ලක් වූවේ එහි වූ වැව් පද්ධතියය. 

මින්නේරිය වැව! ඔව් ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් නිර්මිත වර්ග කිලෝමීටර 18.9 ක වපසරියකින් යුත් වැව් රාජිනියද මෙම ගංවතුරේ තර්ජනයට ලක්වී තිබුනි.

වැව උතුරා වාන් දමා පිටාර මට්ටම පසුකොට ගතවෙන හැම පැයකදීම ජල මට්ටම ඉහල නගිමින් විය.

හදිසියේ මෙම ගැබ්බර වූ වැවේ වැව් බැම්ම අනපෙක්ෂිත ස්ථානයකින් පුපුරා ගිය හොත් සිදුවන ජීවිත හානි ප්‍රමාණය දහස් ගනනකි.

අදමෙන් විදේශයන්හී සිට පාර්ලිමේන්තුවට වඩිනා මන්ත්‍රී බහිරවයන් නොව පොලොවේ පය ගසා සිටි සී පී ද සිල්වා මහතා පොලොන්නරුව ආසනයේ පාර්ලිමෙන්තු නියොජිතයා ලෙස වැව් බැම්ම අසලට පැමිණියේය. 
සී පී ද සිල්වා – අපේ ගරුතර තාත්තා කී පරිදි මෙතුමාටත් කිරි වීදුරුවකට දමා වස දුන්නේලු . . !
තවත් මොහොතකින් සිදුවිය හැකි විනාශයෙන් පලාතේ දුගී දුප්පත් මිනිසුන් බේරා ගැනීමට කලයුතු එකම පිළියම ලෙස  විශේෂිත; අවම හානියක් ගෙන දෙන ස්ථානයකින්; වැව් බැම්ම කපා ජලය ඉවතට යෑමට ඉඩ හැරිය යුතු බව වාරි ඉංජිනේරුවෝ සී පී ද සිල්වා මහතා හට පැවසීය.

වැව් බැම්ම කපා දැමීමට බුල්ඩෝසරයක් උවමනාය. එයද සොයා ගත හැක. 1953 වසරෙදී නැවත හාරා ගැඹුර කරණ ලද වැවේ වර්ග කිලෝමීටර 19 කට ආසන්න ප්‍රමාණයක පැතිරුණු අති මහත් ජලධාරිතාව වැව්බැම්ම කපා දැමීමත් සමග ක්ෂණයකින් ගලා යාමට පටන් ගනී. එම යෝධ ජල ප්‍රවාහයට අනිවාර්යයෙන්ම ගොදුරුවන ඩෝසරය හා එහි ක්‍රියා කරු සුනාමියකට හසුවූ ගිනි පෙට්ටියක් වී යනු ඇත. 

මිසරයේ ගීසාහී ලොව ලොකුම පිරමීඩය අක්කර 13 ක් වන විට මින්නේරිය වැව අක්කර 4670 කි. එහි වැව් බැම්ම මීටර 13 ක් උස වන අතර එහි දිග කිලෝමීටර 2 ක් වන අතර වතුර ගැලුම් බිලියන 20 ක ධාරිතාවයක් එහි ඇත! මේ කියන්නේ ලීටර නොව ගැලුම්ය. මෙය ලීටර කිරීමට 4.56 න් ගුණ කල යුතුය!

“කවුද මේ වැඩේ කරණ්නේ ? මේක කරණ මනුස්සයා අනිවාර්‍යයෙන්ම වතුර පාරට බිලි වෙනවා . . . . . . ! සී පී ද සිල්වා මහතා ඔබ මොබ බලමින් කල්පණා කරණ්නට විය. කොයි එකටත් මේ ඩෝසරේ වැඩකරණ මනුස්සයාව එක්කගෙන එනවාකො  !”

තවත් ස්වල්ප වේලාවකින් කුඩා මිනිසෙකු සී පීද සිල්වා මහතා ඉදිරියේ විය.

“පුතා උඹට තේරෙණවා නේද වැඩේ. උඹ මේ වැඩේ නොකලොත් මිනිස්සු දස් ගානකට උන් හිටිතැන නැතිවේවි. මිනිස්සු පොඩි ලමයි ගෑනු වයසක උන්දැලා දාස් ගානක් මැරිලා යයි. 
උඹ මේ කරණ්න යන්නේ ලොකු පිං කමක්. උඹ කොහොමහරි ඩෝසරේ වැව් බැම්මේ වැදෙද්දිම අහකට පැනලා ජීවිතේ බේරා ගැනීමට බලපං පුතා !” 
කඳුළු පිරි දෑසින් සිල්වා මහතා  එකම ගැලවුම් කරුවාට එක හුස්මට කියා ගෙන ගියේය.

කුඩා මිනිසාටද ඇඬුම් ආවේය!  “ඔව් මහත්තයෝ මම කරණ්නම් . . .! මම මරුණොත් මගේ පවුල ඔබ වහන්සේ දුකක් නොදී බලා ගන්න ඕනෑ . . . . ! කියා සී.පී ද සිල්වා මහතාගේ දෙපා වැඳ ඩෝසරයට ගොඩ විය.

ඩෝසරය මහත් හඬක් නගමින් පන ගැන්විය. කුඩා මිනිසා එය හොඳින් සැර දමමින් ජවය එක් කර ගත්තේය. එය යකඩ පෙරලෙන කටුක හඬ නංවමින් ඉදිරියට සෙමෙන් සෙමෙන් ඇදෙන්නට පටන් ගත්තේය.
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 

විසල් යකඩ දම්වැල හෙවත් ට්‍රැක් මත දිවුනු ඩෝසරය කෙමෙන්  කෙමෙන් වේගය වැඩි කර ගනිමින් දිවැවිත්  සියවස් ගනනාවක් ඉපැරණි වැව් බැම්මට මරු පහරක් දුන්නේය.

ඩෝසරය වැව් බැම්මට වදීන්න ඔන්න මෙන්න තියා එතෙක් එය මෙහෙය වූ කුඩා මිනිසා ඉවතට පැන්නේය.

නිමේශයකි හෙන හඬ නවාගෙන වැව් බැම්ම බිඳී ගියේය. කුඩා මිනිසා හට තව දුරටත් ජීවත් වීමේ වාසනාව ලැබුනි.

ගං වතුර පහව ගිය පසු කැබැලිවී ගිය ඩෝසරය දියෙන් මතුවී තිබුනි!ජීවිතයේ අවසන් කාලය බොහෝ අසරනව මේ විරුවා සිටී බව මා අසා ඇත!

ඉතින් යලිත් අපේ කථාවට . . . . . . . . . !

කයාකයට ජීවිතාරක්ෂක කඹ, වෙන් කල පිහි, ජීවිතාරක්ෂක කබා, ජීවිතාරක්ෂක උපකරණය  (Bay watch type Life saving Can ), හෙල්මට් ආදිය වෙන කල පසු අපට ගෙන යෑමට ඇති පුද්ගලික දෑ වෙන් කර ගතිමු.

එයට, අපගේ ඇඳුම් කැඩුම් වලට අමතරව සිව් දෙනෙකුට සැහෙන කූඩාරමක් (Four Man Canopy). එක් අයෙකුට සෑහෙන කූඩාරමක් මූලික වශයෙන් අයත් විය.

(Four man tent එකකට අමතරව One man එකක් ගෙනියන්නේ අපගේ ඇඳුම් කැඩුම් හා ආහාර ආදිය ගබඩා කොට තැබීමටය. එයට හේතුව වන්නේ එකක් ඉඩ පසුව සඳහාය. අනෙක ආහාර ඉවට  පසුපස එන කූඹි ඇතුළු කෘමීන්ගේ සිට වලසුන් දක්වා සියළු සත්වයින් ගෙන් සිදුවිය හැකි අපල උපද්‍රවයන්ගෙන් ගැලවීමටය.)

“කළු ගඟේ . . 5” ට කොමෙන්ටුවක් සපයන කැන්ගරු දේශයේ  විජේභාහු මහතා; “ගලායන ගඟක් දිගේ යන්නට සිතියම් මොකටදැයි?” විමසයි.

 සත්තකින්ම ගොඩබිම මෙන් සැතපුම් කිලෝමීටර කනු, මගදිගට නගර ගම් දනව්, කඩ සාප්පු නැති ගඟක “මේ මොහොතේ අපි ඉන්නා ඉසව්ව!’ සොයා ගනීමට සිතියමක් වැදගත් වේ.

පසු කරන ඇල මාර්ග, පාලම් විශාල වංගු යානාදියෙන් අප ඉන්නා ඉසව්ව ගන දළ අදහසක් ගොඩ නගා ගත හැකි වේ.

එසේම ගඟ ගලන මාර්ගයට සාපේක්ෂව ජනාවාස ඇති ඉසව්වද නිර්ණය කර ගැනීමට සිතියමකින් සිදුවන පිටු බලය අති මහත්ය.

මහවැළිය මෙන් නොව කළු ගඟ ගලන්නේ ජනාවාස සමීපයෙන්මය.

එනිසාම ආහාර ගෙන යෑමක් අප වෙතින් සිදු නොවීය.

ගඟ දිගේ ගමනේදී පසු කරණ අවන් හල් තේ කඩ පමනක් නොව වයින් ස්ටෝරු හෙවත් තැබෑරුම් පවා අප සිතියම මත සටහන් නොනැවතී වැඩි පරිස්සමට ලැමිනේට් කරගෙනද සිටියෙමු!

අප කයාකයක් දියත් කරණ්නට මත්තෙන් එහි ඇති කුඩා සිදුරු ඇතුලතින් කඹයක් යවා සකස් කර ගනී.
එම රැහැන් පට දෙක; කයාකය මත අපගෙ පාරිභෝගික ද්‍රව්‍ය තබා ගැට ගැසීමට ප්‍රයෝජන වත් වේ.
එසේම කයාකය මතට නැගීමේදී, කයාකය හැසිරවීමේ දී, ජීවිතාරක්ෂක කඹයක් කයාකයට සම්බන්ධ කිරීමේදී ප්‍රයෝජනවත් වේ.

කයාක දෙකටම රැහැන් යෙදූ පසු මා පුරුදු පරිදි පසිඳු ඇමතූ වෙමි.

“පසිඳු මල්ලී! දෙවියන්ට කොල අත්තක් එල්ලාපං . . .!”

“ආ ! මම එල්ලන්නං . . . ” ඒ පසිඳු නොව තෙශාන්ත ය.

“හරි දෙන්නාම එල්ලපං! වැඩිවෙන්නෑ . . .! මා ඔවුන් දෙදෙනා අමතා කීවෙමි.
ඇත්තටම මේ කළු ගඟ දෑ  ඈ . . ?
කළුතරින් ගලන්නේ මේ ගඟමදැයි සිතෙන තරම්; අඩි 20 ක 25 ක පළලකින් ගඟ නිසොල්මන්ව තිබුණි.  
අප විසින් සකසා ගෙන ආ සිතියම් කට්ටල දෙක අතට ගෙන තරමක දළ අදහසක් ගඟ ගැන ගොඩනගා ගතිමු.

මා අත තිබූ ගෝ ප්‍රෝව ඇනෝ අතට පත් කලේ ඔහු වාර්ථා ගත “නිශ්ඵල” ඡායා රූප ශිල්පියෙකු ලෙස අටමා විසින් හඳුනා ගෙන තිබූ හෙයිනි. අප පිටත් වන්නට මොහොතක් තබා අපගේ ජන්ගමයන්ගේ තබා ගත් සක්කි සටහන් අමු අමුවේම වත් පොත් කරණය වූයේ තරුණයන් වෙතිනි.

දිය මතුපිට සිට අඟල කිහිපයක් හෝ නොපෙනෙන තරම් බොර පාට විය. කිසිදු ප්‍රාණියකු අසල ගැවසෙන බවක් නොපෙණුනි. වැලි තොටුපොළ අසල බෝට්ටු නැවත්වීමට මෙන් ජැටියක් සේ ලී හරස් කර තැනූ ගැටියක් විය. තවත් ලෙසකින් පවසනවානම් ඉවුර ගඟට හෝදා යෑම නවතා ලීමට කොට හරස් කොට උපක්‍රමයක් යොදා තිබුනි. 

එක් එක් ප්‍රමාණ්යේ සිරුරු වලට හිමිකම් කියන ලද අපට ගැලපෙන ප්‍රමාණවල ජීවිතාරක්ෂක කබා තිබුනේ කෙසේදැයි මට අදවත් සිතා ගත නොහැක.
වෙනදා මෙන් නොව අප සියළු දෙන හිස් ආවරණයන්ගෙන් ආරක්ෂා විමු.
වතාවත් සිදුකොට අවසානයේ මමද සමන් දෙවිඳු සිතින් නමැද ගඟට බසින්නට සැරසී අවසාන වචන කිහිපයට කට හඬ අවදි කලේය.

 ඒ වචන ටික කියන්නට තිබුනේ නැවුම් අත්දැකීමක් අභියස සිටි ඇනෝට පමණි. එහි සංෂිප්තය ගත හොත් “බය වෙන්න එපා මොනදේ උනත් කලබල නොවී ඉන්න! මැරෙණ්ණ දෙන්නේ නෑ!” යන්නය. ඔහු එම වචන මත තම මුළු හද පිරි විශ්වාසය තැබූ අයුරක් පෙනුනි.

 “ඔව් අපි යන්නයි හදන්නේ!” හදවතට දැනුම් දුන්නෙමි. 

සියල්ල අවසාන මොහොතේ යහපත් වෙමිනි. මෙම නිමේශය වෙන තෙක් තිබුනු බාධා  අපට මතක නැත. අළුත් දිනයක් අළුත් අත් දැකීමක් අළුත් බලා පොරොත්තුවක් සමගින් මා දියට බැස්සෙමි.

දැඩි ශීතලක් ඇතැයි මා උප කල්පණය කලද එවන් සිසිලසක් දියේ තිබුනේ නැත. ඇත්තෙන්ම තරමක උනුසුම් ස්වභාවයක් එහි විය. 
ඒ වන විට කාලය නිසාදෝ නො එසේනම් ස්ථානයේ ස්වභාවය නිසාදෝ මිනිස් පුළුටක් අහලක නොවීය. මා දියේ සිට පලමු කයාකය දියට බාගෙන හෙමින් සීරුවේ දියත් කලෙමි. 
එය අසල වූ ලී කූඤ්ඤයක ගැටගැසූ  පසු අනෙක් කයාකයද දියට ගත්තෙමි. මමත් සමග තෙශාන්ත හෝ පසිඳු දියෙහි සිටියා මතකය.

නමෝ විත්තියෙන් ඇනෝව කයාකයට ගොඩ කරගත් මා පුරුදු පරිදි කයාකයට නොදැනෙන සේ ඒ මතට පැන ගත්තෙමි. 

“අවුලක් නෑ. මේකෙ මහ ලොකු රටාවක් නෑ. මම පදින්න කියන පැත්තෙන් පැදහං. එපා කිව්වොත් නවත්තපං එච්චරයි. ඇල උනාට පෙරලෙන්නේ නෑ. වතුරට වැටුනත් ලයිෆ් ජැකට් එක හින්දා ගිලෙන්නේ නෑ !හරි එහෙනම් පදිමු!”

කුමන හේතුවකට හෝ අහේතුවකට පසිඳුත් තෙශාන්තත් පදින ලද කයාකය ගඟේ ඉහලට කෙටි දුරක් ගොස් වටයක් කර කැවී නියමිත දිශාවට හැරුණි.

සත්තකින්ම ගඟ ගලන්නේ කුමන දිශාවක සිට කුමන දිශාවකටදැයි සිතා ගත නොහැකි තරමට ගැලීම අතිශයින් මන්ද ගාමී විය.

ගඟට පිළිපන්න පළමු මොහොතේ පටන් හබල් ගැසීමට සිදු විය. 

“මල්ලි ෆොටෝ ටිකක ගනිං!” මම ඇනෝ අමතා කීය. 

ඡායා රූප ශිල්පය හා සම්බන්ධ සියළුම මෙව්ලම් හා ජංගම සියල්ල ඇනෝ ඉදිරියේ වූ හැච් එක් හෙවත් වල තුල වූ ඩ්‍රයි බෑගයේ ගබඩා කොට තිබුණි. එනිසා හදිසියේ ඡයා රූපයක් ගැනීම තබා කැමරාවක් ජන්ගමයක් මෑනීමටවත් නොහැකිවිය. එය විනාඩි 5ක 10ක ගෘහ කර්මාන්තයකි.

ඉර යාන්තමින් එබිකම් කරමින්ය. සැමදා සේම ජීවිතය පාවී යයි. අවශ්‍යම වෙනසක් ඇවැසි තැනක පමනක් හබලෙන් ගං දිය පිරිමදිමි. 
වඩාත්ම රුචි වන්නේ නිසොල්මනේ ගලා බසින්නටය. 
මග දිගට හමුවන දිය ඇලි ගල් පර අතුරිණ් සීරුවට ගමන් කල යුතුව ඇත. 
ඒ නොපෙනෙන සක් සුදක් දැකීමටය. 

ඒ හුනු පිරියම් කොට අහස් ගැබට විහිදී ගිය බලා පොරොත්තුවය.
                                                                                                                                                                                                         

බෝම අමාරුවෙන් , , හරියට බඩට කෑමක් බීමක් නැතිව . . . හරියමන් නින්දක් නැතිව . . . . යාන්තම් විළි වහ ගන්න ඉනට වස්තරයක් විතරක් තිබී අල්ලපු පොටෝ ටික . . !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම – කළුතරට !

%d bloggers like this: