Menu Close

චරිතයක අතීත වත දේශයක් ලෙස අමතක කිරීම

(2019 ජූනි 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍රපටය පිළිබඳ සංවාදයකට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයෙන් ලද ආරාධනයකට මා එහි යාමට උන්නේ ගෙවුණු අප්‍රේල් මාසයේ 27 වැනිදා ය. කෙසේ වෙතත්, අප්‍රේල් 21 වැනිදා සිදුවුණු ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු, එම සංවාදය යළි යෙදී තිබුණේ ඉන් ආසන්න වශයෙන් මසකට පසුව, එනම් මැයි මස 25 වැනිදා ය. චින්තන ධර්මදාසත්, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සත් සහභාගි වූ එම සංවාදයේදී මා යළිත් කතා කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පසුගිය අප්‍රේල් 01 වැනි දින පැවති ‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍රපටය පිළිබඳ සංවාදයේ දී මතු කළ කරුණ මය. එනම්, අදාල චරිතවල අතීතය පිළිබඳ කෙරෙන තියුණු පර්යේෂණයක් නොමැති වීම නිසා, වඩා ප්‍රබල අතීත වෘත්තයක් අහිමි වීම හේතුවෙන්, චිත්‍රපටයේ චරිත දියව යන අන්දම ය. ශ්‍රී ලංකාවේ පළමුවන ඔස්කාර් ප්‍රවේශය, මෑත ඉතිහාසයේ තීරණාත්මක දේශපාලනික චරිතයක් පිළිබඳ සිනමාත්මක ප්‍රවේශය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙරට සිනමා ඉතිහාසය තුළ සුවිශේෂ සඳහනක් නියත වශයෙන් ලබාගත හැකිව තිබූ ‘ගින්නෙන් උපන් සීතල‘ එය දුර්වල කොට ගත්තේ එහි චරිතවල අතීත කතන්දර ඔස්සේ ඇවිද ගොස් ප්‍රබල හා සියුම් මානව සබඳතා පිළිබඳ කරුණු උකහා නොපැමිණීම නිසා බැව් මම එහිදී සඳහන් කළෙමි.

ගින්නෙන් උපන් සීතල – විජේවීර සහ ගමනායක

 චිත්‍රපටයක චරිත ‘හුස්ම වැටෙන සහ ලේ මසින් සැදුණු‘ මිනිසුන් විය යුතු බැව් සිනමා තිර රචනය පිළිබඳ ‘ගුරු‘ සිඩ් ෆීල්ඩ් සඳහන් කරයි. ‘හුස්ම වැටෙන සහ ලේ මසින් සැදුණු‘ ජීවිත ඇත්තේ සැබෑ ලෝකයේ හමුවන ජීවමාන චරිතයන්ට ය. ඔවුන්ට අතීතයක් ඇත. ඒ අතීතයේ ඔවුන් කළ කී දෑ, ගණුදෙනු කළ වෙනත් ජීවිත, මානව සබඳතා ඇත. සිනමා කෘතියක චරිත වඩාත් ජීවමාන වන්නේ, චිත්‍රපටයේ මුණ නොගැසුණ ද, ඒ අතීත ජීවිතය පිළිබඳ හැඟවුමක් ඇති චරිත ප්‍රති-නිර්මාණය වීමත් සමග ය. රෝහණ විජේවීරගේ චරිතයට, කමල් අද්දරආරච්චිගේ රංගන කුසලතා හා නාරද තොටගමුවගේ වේශ නිරූපණ කුසලතා ඉක්මවූ ජීවිතයක් ලැබීමට ඉඩ ලැබෙන්නේ, හුදු අතීතයෙන් ලද තොරතුරු ඉක්මවූ සැබෑ මානව චරිත ඉතිහාසයක් නිමැවුණු පසු ය. ඒ සඳහා විජේවීර සමග ජීවිතය ගත කරන උපතිස්ස ගමනායකගේ පටන් වෛද්‍යවරයාගේ බිරිඳ දක්වා සැමට ද ‘හුස්ම වැටෙන සහ ලේ මසින් සැදුණු‘ජීවිත සහිත චරිත ඉතිහාස පැවතිය යුතු ය.


මෙරට සිනමාවේ බොහෝ සිනමා කෘති වඩාත් ඉහළ තාක්ෂණික භාවිතයන් සමග පැමිණිය ද තිර රචනා අවස්ථාවේ වන මෙවැනි දුර්වලතා සහ අතපසු කිරීම් හේතුවෙන් ආඛ්‍යානමය වශයෙන් දුර්වල ව යයි. අභව්‍ය චරිතයක් උපප්‍රධාන හෝ සහාය චරිත අතර වුව මුණගැසීම කෘතියේ විශ්වසනීයත්වය බිඳ දමන්නක් බැවින් ප්‍රේක්ෂකයා එය අත්හැර දැමීමට පෙළඹෙයි. මෙරට සිනමා ප්‍රේක්ෂාගාරයෙන් ප්‍රේක්ෂකයින් ඉවත්වීමට බලපාන වෙනත් බොහෝ කරුණු අතර චිත්‍රපටයක විශ්වසනීයත්වය පිළිබඳ කරුණ ද පෙරමුණේ වන බැව් මට ඉඳුරා කිව හැක්කේ විශ්වවිද්‍යාලවලදී හමුවන තරුණ පරපුර සිය සිනමා ආකර්ෂණ ලැයිස්තුව තුළ පෙරමුණේ හොලිවුඩය, බොලිවුඩය හෝ කොලිවුඩය තබා ලාංකික චිත්‍රපට පසුපසින් තබන්නට ඉහත හේතුව මුලින් තබන අවස්ථා හමුවී ඇති බැවිනි.

සිඩ් ෆීල්ඩ් සිය තිර රචනා න්‍යාය උගන්වන මූල කෘති කිහිපයකම සිනමා කෘතියක ප්‍රධාන අංගයක් ලෙස චරිතයට ඉහළ තැනක් ලබා දී ඇත. ඔහුට අනුව, චිත්‍රපටයක චරිතය යනු ක්‍රියාවයි. චිත්‍රපටය ඉදිරියට දිවෙන්නේ, පැහැදිලිව හඳුනාගත හැකි පෞරුෂයක් සහිත, චරිත ලක්ෂණ සහිත, ගතිගුණ ඇති, ඉලක්ක සහ ආධ්‍යාශයන් සහිත, ස්වකීය දැක්මක් සහිත චරිත සමග ගොඩනැගෙද්දී බැව් සිඩ් ෆීල්ඩ් කියයි. එසේම සිනමා කෘතිය පෙරට විහිද යෑම සමගම තව දුරටත් චරිතය හෙළිදරව් වෙමින්, අපට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය හඳුනාගන්නට ඉඩ ලැබිය යුතු ය.
වැලිකතර – ගෝරිං මුදලාලි
දක්ෂ තිර රචකයෙකු හා සමග දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු යට කී අංග වෙත අවධානය තබා ගනිමින් සිය ප්‍රධාන චරිතය මතු නොව උප ප්‍රධාන මෙන්ම සහාය චරිත ද කෙමෙන් නැගී වර්ධනය වන, ‘හුස්ම වැටෙන සහ ලේ මසින් සැදුණු‘ චරිත බවට පත් කරන්නට කටයුතු කරනු හඳුනාගත හැකි ය. මෙරට සිනමාවේ බිහි වූ දක්ෂතම තිර රචකයකු ලෙස තිස්ස අබේසේකර නම් කරන්නට හැකි වන්නේ ඔහු ලියූ බොහෝ තිර රචනාවල හමුවන සජීවී චරිත ද නිසා ය. ‘වැලිකතරේ‘ ගෝරිං මුදලාලිගේ චරිතයෙන් ජෝ අබේවික්‍රමට චරිතාංග නළුවෙකු ලෙස සිය හැරවුම ලබාගන්නට හැකිවන්නේ ද, තමන්ම රඟපෑ, දර්ශන දෙක තුනක පමණක් හමුවන කුඩාපොල තෙරුන්ගේ චරිතයෙන් ‘වීර පුරන් අප්පු‘ චිත්‍රපටයේ දී කැපී පෙනෙන්නට තිස්ස අබේසේකරටම හැකි වන්නේ ද එබැවිනි. ‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වූ, තත්‍ය ලොව ද මුණ ගැසුණු, රෝහණ විජේවීර චරිතයට ප්‍රබන්ධ චරිතයක් වන ‘විරාගයේ‘ අරවින්ද චරිතය ඉක්මවා යා නොහැක්කේ ද එබැවිනි.

අනෙත් අතට, චරිත අතීත වෘත්ත මතු නොව සියළුම ආසන්න අතීත කරුණු ද අමතක කර දමන ‘ජාතික විස්මෘතියකින්‘ අප රට පෙළෙන බැව් මා මින් පෙර ලිපි කිහිපයකම සටහන් කළ බැව් මතක ය. සිනමාවෙන් බැහැරට පැමිණ මෙරට තත්‍ය ජීවිතය තුළ හමුවන ‘චරිත‘ දෙස හැරී බැලීමෙන් ද මෙම චරිත අතීත වෘත්තයන් නොතකා හැරීමේ හෝ අමතක කර දැමීමේ බරපතල තත්වයක අප සමාජය පසුවන බව පෙනෙන්නට තිබේ. දේශපාලනිකව වඩාත් බිහිසුණු, සමාජ විරෝධී කටයුතු සිය මෑත ජීවිතය තුළ ක්‍රියාවට නැංවූ දේශපාලනික ක්‍රියාධරයෙකුගේ අතීතය, පූජ්‍ය පක්ෂ භූමිකාව උඩු යටිකුරු කරමින් ආගමික ශාස්ත්‍රෑවරයා සහ දර්ශනය අවභාවිතයේ යෙදවූ පූජකයෙකුගේ අතීතය ඇතුළු බොහෝ පුද්ගල චරිතවල අතීත වත් පොදු පුරවැසි සමාජය හමුවේ නොතකා හැරෙයි.

සිනමා තිරය සඳහා කතාන්දර ලියන්නන්ට සිය කතාවෙහි ප්‍රබන්ධ චරිත සඳහා අතීත ජීවන වෘත්තීන් ලියාගන්නැයි සිඩ් ෆීල්ඩ් යෝජනා කරයි. ප්‍රබන්ධ චරිතයක වුව, විශ්වසනීය වර්තමානය ගොඩ නැගෙන්නේ ඔහු හෝ ඇය විසින් කළ කී දෑ අනුව බැවිනි. චිත්‍රපටය තුළ අන්තර්ගත නොකළ ද, නරඹන්නන් වෙත මුද්‍රණය කර බෙදා නොහැරිය ද, ‘හුස්ම වැටෙන සහ ලේ මසින් සැදුණු‘ ජීවිත ලෙස හඳුනාගනිමින් සිනමා කෘතියේ සියළු ප්‍රධාන හා සහාය චරිතවලට අතීත කතා ලිවීම වැදගත් බැව් සිඩ් ෆීල්ඩ් යෝජනා කරන්නේ මේ මොහොතේ අප කරන කියන සියල්ල මෙන්ම කළ නොහැකි, මෙන්ම නොකරන සියල්ල ද අතීතයේ ගොඩ නැංවීම මතම තීරණය වන බැවිනි. හොඳ චිත්‍රපටවලදී චරිතවල මේ අතීත හැකියාවන් හා නොහැකියාවන් පිළිබඳ සියුම් ඉඟි මුණගැස්වීමට කටයුතු කරන නිර්මාණකරුවන් පසුව ඒ ඔස්සේ යමින් චරිතයේ තීරණාත්මක පිවිසුම් අප ඉදිරියේ විශ්වසනීය ලෙස පෙළ ගස්වයි.

පුරවැසි සමාජයක් ලෙස, අවශ්‍ය නම් අපට සැබෑ ජීවිත වෙත ද මේ සිඩ් ෆීල්ඩියානු භාවිතය කැඳවිය හැකි ය. අපගේ ඉදිරියට පැමිණ විශ්මිත අනාගතයන් ගැන සිහින සාදා පෙන්වන දේශපාලනික හා පූජ්‍ය චරිත ඇතුළු භූමිකාවල අතීත වෘත්ත විමසා, හැකිනම් යළි ලියා පෙළ ගස්වා, එම චරිතවල සැබෑ හැකියාවන් හා නොහැකියාවන් විමසා බැලිය හැකි ය.

පුරවැසි සමාජය එය සිදු කරන්නට ගන්නා කාලය දිගු විය හැකි වුව, සිනමා නිර්මාණකරුවන්ට ඒ සඳහා කල්යල් බලමින් ඉඳීම සඳහා අවසර ලබා දිය නොහැක. වගකීම්සහගත කලාකරුවන්ගේ අවංක භාවිතයන් නිරතුරුව සමාජයක පෙරගමන තීරණය කරනා හෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා –

%d bloggers like this: