Menu Close

214. සුහදිනියේ – 19 | සැබෑ සතුරන් කවුරුන්ද?

කලින් කොටසට 

මගේ කෝපය මදකින් හෝ අඩු වුයේ නැත. කෙල්ලන්ට අත ඔසවන නින්දිත ක්‍රියාව නොකරන නිසා මිස චාපාට වැරෙන් කම්මුල් පහරක් එල්ලකිරීමේ නොතින් ආශාවකින් මගේ සිත නොසන්සුන්ව ගියේය.

“තමුසේ…. තමුසේ මාර හැපින්නක් අයිසේ!”

ඇගෙන් ප්‍රති පිළිතුරු ලැබෙන බව සිතුනු නිසාම මම යලිත් ඇගේ මුව වසා තිබුණු රිදී පැහැ ප්ලාස්ටරය අලවා දැමුයේ තද කෝපයෙනි. චාපා වේදනාවෙන් මුරගෑවාය. තාරුක මදකට මා පසෙකට කැඳවාගෙන ගියේය.

“මචන්.. මේ වෙලාවේ මල පැනලා වැඩකරලා බැහැ. මොලේ කල්පනා කරපන්… “

“…#%$# තමයි !”

 “මේකි කියනවනේ උන් උඹ වෙන කෙල්ලෙක් එක්ක ෆ්ලැට් එකේ ඉන්නවා කියලා තමයි මෙච්චර හරියක් කලේ කියල. උඹ මේ මෝඩ කෙල්ලට බැනල වැඩක් නැහැ… “

 “…….@#$#%$%%$”

“ඉරිසියාව ලොකුනේ බන් රුසියාවට වඩා”

“හ්ම්ම්….”

මහල් නිවාසයට මීටර් සියයක් පමණ ඈතින් ඇති ත්‍රිරෝද රථ ගාලේ උන් චාපා ගමන් ගන්නා හිතවත් රියදුරෙකුගේ මාර්ගයෙන් මා පිළිබඳව ඔත්තු බැලීමෙන්, මම තවත් තරුණියක් මහල් නිවාසයේ තබාගෙන සිටින බව අසා කෝපයට පත් ඇය ; මා ලුහුබැඳ පැමිණ ඇත. මවිසින් ඔත්තුකරුවන් දෙදෙනා ඉලක්ක කොට කල ප්‍රහාරයෙන් කලබලව රියදුරු ඈ අතහැර පලාගොස් ඇත. කලබලය අතරතුර බියටපත් චාපා ලුහුබැඳ අල්වාගෙන ඇත්තේ තාරුක අයියා විසිනි.

“.. වෙලාවට මේ මෝඩිට වෙන කරදරයක් උනේ නැත්තේ… පොලිසියෙන් තමයි එහෙනම් කෙලවර වෙන්නේ මමත්!”

මම නොසන්සුන්කමෙන් දෙතුන් වරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. චාපාට කළයුත්ත ඉක්මනින් තීරණය කල යුතුය. නිවසේ සිටින සුදම් විසින් ගැටළුවක් නොමැතිබව සඳහන්කොට කෙටි පණිවිඩයක් එවා තිබුනද ඉක්මනින් මෙතැනින් විසිරී යාම යහපත්ය.

චාපාට නෑසෙන දුරකට ගොස් මධුලිකා ඇමතු මම අනතුරක් නොමැතිව ඈ සිටිදැයි ස්ථිර කරගත්තෙමි. දුරකථනය තුලින් අගේ කටහඩ ඇසෙද්දී මම උණුහුමකට වැගිරී යන ඉටි රුවක් මෙන් සැලී යනවා මට දැනේ.  ඇය තුල ඇති මේ අමුතු චමත්කාරය කුමක්දැයි මට තවම නොවැටහේ.

සුන්දර් අමතා ඔහුගේ සුරක්ෂිත බවද තහවුරු කරගත් මම නැවත එද්දී මුවෙහි ඇලවූ ප්ලාස්ටරය නොමැතිව චාපා හොටු පෙරමින් ; හඬමින් උන්නේ පසෙක තාරුක අයියාද සිටියදීය. තාරුක අයියා මම ඇසෙන් ඉඟි කලේ නිහඬ වන ලෙසයි.

“.. ඉහි ඉහි…. මෙයාට ඒ උනාට වටින්නේ නෑනේ වෙන ගර්ල් කෙනෙක් එක්ක එහෙ ඉන්න… නෑ.. ඒ කිව්වේ…. මට කිව්වනම් ඉවරයිනේ… මට තේරුම් ගන්න බැරි නෑනේ… ආන්ටි එහෙම දැනගත්තොත්..”

“අනේ මේ චාපා…!”

මට ඉවසීම නොපෙනී යන්නට විය. ඉදිරියට අඩියක් තැබූ මට බියවී චාපා හිස හකුලවා ගුලි වුවාය. තාරුක අයියා මැද්දට පැන්නේය.

“…….. මචන්.. මේ… දැන් මේවා කතාකරන්න බැහැ”

“ඉහි ඉහි.. ඉහි…. මම කියන්නේ බොරුද.. බලන්නකෝ මගේ වැරැද්ද වගේනේ. මෙයා මේ කොහෙද යන කරදරයක් දාගෙන.. ඉහි ඉහි… මම මොනවා කරන්නද?”

“………. මොකටද බන් මේකිගේ මේ ප්ලාස්ටර් එක ගැලෙව්වේ… ඔන්න ඕක අලෝපන්! නැතිනම් කපනවා කට කන් දෙක ගාවටම!”

මම තාරුක අයියාට මුමුණන හඬින් කීවේ දත්මිටිකමිනි. තාරුක අයියා සිනාසෙයි.

මම ඉක්මනින් කළයුත්ත කුමක්දැයි තීරණය කලෙමි. මේ සිටින තත්වය යටතේ චාපා ඇගේ නිවසට ඇරලවන්නට නොහැකිය. වෙනත් තැනක රඳවන්නට තරම් විශ්වාසයක්ද නොමැත. මම චාපාගේ දෑත් බැඳ තිබුණු වරපට කපා දමා වාහනයෙන් බිමට බස්සවා ගත්තෙමි.

“අයියා යන්න එහෙනම්…. මම දැන් ගෙදර යන්න ඕනේ… මම කෝල් එකක් දෙන්නම්”

මෝටර් රථයේ තිබුණු බෝතලයකින් වතුර උගුරක් බී මම මගේ සුපුරුදු හොර පාරෙන් බැල්කනිය ඔස්සේ කාමරයට පැමිණියේ චාපා සමඟය.

ඈ මගේ අතෙහි එල්ලී සිටියේ බියටද, නැතිනම් උවමනාවෙන්මද කියා නොදනිතත් ඒ සෑම මොහොතකදීම මධුලිකා සිහිවීම මට වලක්වාගත නොහැකි විය. චාපාගේ පමණට වඩා තෙරපුම්, සුසුම් කිසිවක් මට දැනුනේ නැත. මැඩගත් කෝපය විසින් මා ගොළුවකු කර තිබුණු අතර යාන්ත්‍රිකව ඇය ගෙනයාමේදී මගෙන් වූ ඇඟිල්ලෙන් ඇනීම්; තල්ලු කිරීම් හැමකදිම චාපා මගේ මුහුණ බලනු මම උවමනාවෙන්ම මගහැරියෙමි. මම එවන් නරුමයෙකු වග මමද දැන සිටියෙමි.

සුදම්ගේ ඔත්තු සේවාවෙන් දැනගත් පරිදි තාත්තා නිවසේ නැති බැවින් අපගේ අනෙක් මෙහෙයුමට යම් සහනයක් ඇත. නමුත් චාපා සිටීම මහත් වදයකි. ඇය කොහෙත්ම විශ්වාසවන්ත නොවේ. එබැවින් චාපා අසල සුදම්ව රඳවා යන්නට මම අවදානම් තීරණයක් ගත්තෙමි.

මධුලිකා පිළිබඳව අගක් මුලක් නොදන්නා සුදම්ගෙන් ඇයට ලබාගතහැකි තොරතුරක් නොවීම මට වාසියකි. එහෙයින් සුදම්ගේ කාමරයට චාපා දමා යාම වඩාත් ආරක්ෂාකාරී බව මට වැටහුණි. සුදම් කිසි විටෙක මට විරුද්ධව ක්‍රියා නොකරන බවත් ; මගේ තොරතුරක් චාපාට නොදෙන බවත් මට ස්ථිරය.

කාමරයට පැමිණි මම , මෙතෙක් මගේ පොතක සටහන් කරනලද සිද්ධි දාමය යන්තමින් කියවා බැලුවෙමි. ඒ අනුව මොවුන්ගෙන් ඇසියයුතු ප්‍රශ්න එකිනෙක ගොනුකර ගත්තෙමි. වත්තේ ඩිස්පැන්සරියට ප්‍රධානය කරන්නට කියා තාත්තා ලබාදුන් පන්දාහේ නෝට්ටු සහිත රුපියල් පනස්දහස, ජැකට්ටුවේ ඇතුල් පැත්තෙහි රුවාගත්තේ සැලසුමක් සිතෙහි තබාගනිමිනි.

මධුලිකා විසින් අඳිනලද වාසුලගේ පින්තුරයේ පිටපත් හතර පහ අතුරෙන් එකක් සාක්කුවේ රුවාගත් මම මගේ සුපුරුදු කොලොම්බියා පිහිය ඉනෙහි රුවා ගත්තෙමි.

අවශ්‍ය වුවහොත් ගන්නට පොයින්ට් 38 රිවෝල්වරය ජැකට්ටුවේ ඇතුල් කෙලවරේ සඟවා ගත් මම බැල්කනියේ පිටුපස කොටසින් බිමට පැන , මිනිසුන් දෙදෙනා සිරකොට ඇති ගොඩනැගිල්ල කරා ඇවිද ගියේ ඉතා අඩු ආලෝක කදම්භයක් ඇති විදුලි පන්දමේ ආධාරයෙනි.

****************************************

 සිහින් කෙට්ටු මිනිසා අනෙකාට දෙස් දෙවොල් තබන්නටත් ; හොටු පෙරමින් අඬන්නත් විය.

“මම උඹට කිව්වනේ බාන්… මේක හරියන කෙලියක් නෙවෙයි කියල… “

“………..”

“දැකපු ගමන් මම  කිව්වේ ඌ අං ගිලපු පෙරේතයෙක් කියල…. ඇහැව්වද.. නෑ! “

“………….”

“..උඹ ඉතින් අර අතින් කාල හරක් බලන මේ අටමගුලට මාව මේකරා”

තරබාරු මිනිසාගේ මුහුණ තවත් විකෘතිව පෙනුනේය.

මට සිනහව වලකාගන්නට අපහසු වුවත් අඳුරේ ආධාරයෙන් සැඟවී ගත්තෙමි. ඒ වනවිට දෙදෙනාම එතැන විසිරි තිබුණු කොන්ක්‍රීට් කැබලි දෙකක් මත ගෝටයිම්බරයින් දෙදෙනෙකු සේ බුම්මාගෙන සිටියෝය. මා අත වූ විදුලි පන්දමට වඩා සඳ එලිය හාත්පස ආලෝකමත් කර තිබුණි. එකිනෙකාගේ  හැඟීම් නොපෙනුනත්, අඳුරට හුරුවූ නෙත් වලින් ඔවුන්ගේ සියුම් ආවේග යම් පමණකට අනුමාන කළහැකි විය.

“මම කියන එක විස්වාස නැතිනම් කෙලින්ම ඒ මහත්තයට කතා කරලා අහගන්න”

තරබාරු මිනිසා හිස දෙපසට වැනුවේය.

“මට ඕන් නෑ මහත්තය. එහෙම අවුලක් නෑ. මට දැන් වැඩේ තේරෙනවා…. “

ඔහු ඉන්පසු හිස ඉහලට පහළට සොලවන්නට විය.

“…..මමත් මේ වැඩේ කැමැත්තකින් කරපු එකක් නෙවෙයි… මේ අර නෙවිල් මහත්තයාගේ වචනේ අහකදාන්න බැරි හන්දා මිසක්…. “

“අනේ මේ අයියේ… උඹනේ ගාන දැක්ක ගමන් පැනලා හා කිව්වේ… දැන් එනවා මෙතන…”

“අනේ මෙහ්.. උඹ කට වහගනින්….”

දෙදෙනාම එකිනෙකාට චෝදනා කරගනිමිනි.

වදදී යමක් දැනගන්නවාට වඩා වඩාත් උචිත වන්නේ මොවුන්ගේ විශ්වාසය දිනාගෙන සෙමෙන්; සුක්ෂමව ක්‍රියාකිරීම බව මම විස්වාස කලෙමි. සුදම් සිටියා නම් මේ කතාව වෙනස් ආරක් ගන්නට ඉඩ තිබුණි.

වාසුල විසින් දියත්කරනලද අසාර්ථක සැලසුම් සියල්ලම පිටුපස සිට එහි අසාර්ථකත්වයෙන්ම බැටකෑමෙන් මොවුන් හෙම්බත්ව සිටින බවට සාක්ෂි ඔවුන් තුලින්ම ප්‍රදර්ශනය වීම වලක්වනු නොහැකිවිය. එබැවින් මගෙන් ලද මේ අනුකම්පා සහගත ප්‍රතිචාරය විසින් ඔවුන්ගේ ඉබි මනස යම් තරමකට පොඟවන්නට දායක වන්නට ඇත.

පළමුව මම කලේ මගේ වයස ඉක්මවන බලයක් ඔවුන් තුලට කාවද්දීමයි. එය සරලය. මා අත වූ රිවෝල්වරය එයට ප්‍රමාණවත් ඉන්ධන සැපයු අතර එයට අනුපාන වශයෙන් ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් මෙන් බැමි වලින් මුදවා නිදහස් කලෙමි. ඊට ප්‍රථමව වාසුල විසින් දියත්කරන ලද සැලසුම්වල ඇති නිෂ්ඵලත්වය හැඟෙන පරිද්දෙන් මම දිගු දේශනාව ඔවුන්ගේ මනස් හිරිවට්ටවන්නට ඇත.

දැන් හිරිවැටී හමාරය ; ඇත්තේ දත ගලවාගන්නටය!

“ඔයාලට ඌ සල්ලි දුන්නෙත් නැහැනේ….”

මම ගත් කටටම කීවෙමි. එය මගේ සාධාරණ අනුමානයකි. කෙට්ටු මිනිසා දුන්නක් සේ කෙලින්වී සිටගත්තේය.

“අනේ ඔව් සර්….. පළවෙනියට දීපු දාහ එතනම තියාගෙන මුන් ගල් අරක්කු ගැහුවේ. ඊට පස්සේ සතයක් හම්බුනෙත් නැහැ”

“…………..”

“ඒ උනාට එදා කිව්වේ මේක දවස් දෙකේ වැඩේ… කෙල්ල ගෙනිච්චා.. දවස් දෙකක් තියාගත්තා.. ඒ මහත්තයා කියන තැනකට දුන්නා.. එච්චරයි…. පන්දාහනේ බන් දවස් දෙකට! “

“…………..”

“දැන් බලපන් සති ගානක් තිස්සේ.. කරපන්.. මේක කරපන්.. මේම මේම මේ කරනවා..

“හරි හරි බන්…. එහෙම තමයි වැඩේ කලාට පස්සෙනේ ගාන ගෙවන්නේ… ඇයි උඹට එදා අර කෙල්ල ගෙනිච්ච දවසේ බොන්න දුන්නේ ඇතිවෙන්න.. හුහ්…. “

කතාබහ මට වාසි සහගත ලෙසම ; මට අවැසි මාතෘකාවට යොමුවිය.

තරබාරු මිනිසා යම් තරමකට පෙඟී නැති හැඩකි. එහෙයින් ඔහු සමඟ ගනුදෙනුව පරෙස්සමින් කලයුතු වන්නේය.

“මම ඔය දෙන්නටම පනස්දාහක් දෙනවා!”

එවර නම් දෙදෙනාම උඩගොස් බිමට පතිත වුවා සේ බිරාන්තව ගියෝය.

“… කරන්න තියෙන්නේ මෙච්චරයි…. එකඟද?”

“හරි සර්.. මොකද්ද?”

කෙසඟ කොටුකිතයියා පැනගෙන පිළිතුරු දුන්නේය. තරබාරු මිනිසා බලාසිටියා පමණි. එනම්, ඔවුන්ව වාසුල ලබාගෙන තිබෙන්නේ අඩුම වියදමකිනි. එය වාසියකි. අවදානම ඇත්තේ බෙහෙතත්; විසත් දෙකම ඇත්තේ මාත්‍රාව අනුව වීමයි. මොවුන් කවුරුන්දැයි මම කිසිවක්ම නොදැන ගන්නා අවදානම බිහිසුණුය.

මගේ මුදලට අනුව සිදුවිය යුත්ත පැහැදිලිව පැවසු පසුව පමණක් තරබාරු මිනිසා එකඟතාවයකට පැමිණියේය.

මොවුන් දෙදෙනා අතුරෙන් කෙට්ටු මිනිසා යම් පමණකට දුර්වල මනසක් ඇති අයෙක් බවත් ; සුරාවට ඇබ්බැහිව මුදල් කෑදර කමකට මිස, මෙවන් වැඩ වල හුරුවක් ඇති අයෙක් නොවන බවත් මට ඒ වනවිට වැටහී තිබිණි. තරබාරු මිනිසා යම් පමණක කල්පනාකාරී අයෙකු බව , මා හඳුනාගැනීමෙන්ම මට පසක් විය. මධුලිකා පැහැරගත් මොහොතේ අප එහි යද්දී මොහු අප දෙස විමසිල්ලෙන් බැලුවා මට මතකයේ තිබිණි. අනෙකා නම් එතන එදින සිටියේ නැති බැවින් පසුව එක්වූ අයෙක් ලෙස සැලකිය හැකිය.

ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නට මම ඉදිරිපත් කල කරුණු වලට අමතරව වඩාත්ම බලපාන්නට ඇත්තේ වාසුල වෙතින් සිදුවී ඇති කුහක සිද්ධි වන්නට ඇත. ඒ අනුව වාසුල යනු අතිශය ලෝභයෙන් යුතු කෙනෙකු ලෙසත්, යම් පමණකට කලබල කාරයෙකු බවත් මට වැටහුණි. එම දුර්වලතා මට සෑහෙන ප්‍රයෝජනයක් වනු ඇත.

නමුත්, මුග්ධ බව එක්වූ කලබලකාරී හැසිරීම අතිශය භයානක විය හැකිය. මධුලිකාගේ ජීවිතය පවා අනතුරේ හෙලන්නට එය ප්‍රමාණවත් වනු ඇත.

සතුරාගේ ස්වභාවය හඳුනාගැනීම බොහෝ අනතුරු මගහරිමින් සැලසුම් කරන්නට අවැසි ඉඩ පහසුව සලසාදෙයි.

අම්මා නිතරම පවසන ආකාරයට මොවුන් දෙදෙනා මේ වනවිට කතාවෙන් මම ග්‍රහණය කොටගෙන හමාරය. කතාවෙන් මම මිනිසුන් දිනාගන්නා බව ; ඈ ඒ ගැන ආඩම්බරයෙන් තාත්තා සමඟ පවසනු මට ඇසී ඇත. මෙතෙක් මම එය යොදවා තිබුනේ ගැහැණු ළමයින් විෂයෙහි පමණකි.

මධුලිකා මගේ කතාවට වශී වුවාදැයි සැක සහිත වුවත් එය අසාර්ථක වී නොමැත.

ඇය සිහිවී මගේ සිත මිහිරියාවකින් පිරී ගියේය. මේ ප්‍රේමය දැයි මට වැටහෙන්නේ නැත. මගේ අකීකරු සිතුවිලි මිස ; මධුලිකා කෙරෙහි මා තුල වෙනත් යමක් ඇති වේයැයි මට තෝරා ගන්නට නොහැකිය.

සාක්කුවට අත යවා මුදල් මිටිය එලියට ගත් මම, එයින් එකින් එක ගණන්කොට ; අයෙකුට කොළ දෙක බැගින් වෙන් කලමි. ඔවුන්ගේ ඇස්වල වූ වෙනස්කම මගේ උකුසු ඇස්වලට හොඳින් ග්‍රහණය විය.

“මම දැන් දෙන්නටම දහාදාහ ගානේ ඇඩ්වාන්ස් කරනවා.. මේ දැන්! මට උඹලව විස්වාස  පුළුවන් කියලා සහතිකයක් දෙන්නේ කොහොමද?”

ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස බැලුවෝය.

*********************************

මා සිත වූ කැළඹීම උකහාගත්තා සේ ජීප් රථය සැරදමා නිවසේ මිදුලට ඇතුල් වෙද්දී, වෙනදා මෙන්ම මගේ ඇස්දෙක රැඳුනේ ඉහල මාලයේ දකුණු පැත්තේ කෙලවරේ ඇති කාමරය දෙසටයි. එහි විදුලි පහන් එළිය ක්ෂණයෙන් අතුරුදහන් විය. මම අඩියට දෙකට ජීප් රථයෙන් බැස නිවසේ දොරට තට්ටු කලෙමි. විනාඩි කිහිපයක් තට්ටු කලපසු දොර විවර විය, විරංග ගේ බාප්පා දොර අසල විය.

ඔහුගේ මුහුණ පැහැදිලි වෙනසක් පෙන්නුම් කලේ නැත.

“අංකල් කෝ විරංග?”

දෑතම ඉනෙහි රුවා ගනිමින් මම ඇසුවේ යම් තීව්‍ර හඬකිනි. වික්ෂිප්ත මුහුණෙන් ඔහු මා දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් යොමුකළේ, ආපසු හැරී නිවස තුල බලමිනි.

“… විරංග ගෙදර ඉන්නවද.. අංකල් ?”

********** මතු සම්බන්ධයි **********
%d bloggers like this: