Menu Close

පැරණි මගණ නගරය හෙවත් මෝදරගම් ආරුව අසල මුවදොරගම

කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ පොන්පරප්පුවෙන් පසු කොවුලාට හමුවන ගම වනුයේ මුවදොරගමය (පොන්පරප්පුව පිළිබඳ පෙර ලිපිය කියවීමට Link >>). මේ එම මුවදොරගම කෝකිල සන්දේශ කවියා වර්ණනා කල ආකාරයයි.

වතළ කැලුම් දසනග ලවනත හමුව
සිවුමැලි තුම් රන්ලිය නූ ලිය සුමුව
වෙත සිත පෙම් කර සිටිනා සලෙල මුව
දකු මනරම් මුවදොරගම තොද යොමුව

මෙහි අර්ථය මෙසේ පැහැදිලි කල හැක.

දත් කෙලවරෙන් විහිදුනා වූ කාන්ති ඇති, තොල් හමුව සුකුමාර වූ, උතුම් වූ රන් ලලනාවන් බඳුවූ, සියුමැලි වූ, ගැහැණුන් කෙරෙහි සිත් පෙම් වඩවමින් සිටිනා සල්ලාල ජනයා ඇති මනරම් මුවදොරගම ඔබ දැක ගන්න.

කෝට්ටේ යුගයට අයත් ක්‍රි.ව. 1440 – 1446 අතර කාලයේ රචිත ලෙස සැලකෙන කෝකිල සන්දේශය පවසන එම මුවදොරගම අද දක්නට නොමැත. එහෙත් එහි නම මෝදරගම් ආරු ලෙසින් ද්‍රවිඩ ඌරුවට වෙනස් වී මරිච්චුකඩ්ඩි නම් ගමට දකුණෙන් මුහුදට වැටෙන ගංගාවේ ශේෂව ඇත. කලා ඔයට පසු මන්නාරම දෙසට යාමේදී හමුවන එකම ප්‍රධාන ගංගාව මෝදරගම් ආරුව වන බැවින් එහි මුවදොර හෙවත් මෝය අසල පෙර තිබූ ගම මුවදොරගම ලෙස හඳුනාගැනීම නිවැරදි බව පෙනේ.

මෝදරගම් ආරුව මතින් වැටී ඇති මරිච්චුකඩ්ඩි – පුත්තලම B379 මාර්ගයහි පාලම

කෝකිලයාට අනතුරුව සසල වන්නා වූ තරංග පන්තියේ ක්‍රීඩා කරන්නා වූ මසුන් සහ පක්ෂීන් ඇති, මුතු සහ හක්ගෙඩි ආදියෙන් පිරී තිබෙන්නා වූ ගංගාවෙහි බැස එයින් එතෙර වන්නා වූ කාන්තාවන් දැක, මුසලිය නම් වූ එම ගංගාවේ මුවදොර අසලන් පියාසර කරන ලෙස කවියා පවසන්නේ මේ ආකාරයෙනි.

සසලිය තරඟ පෙළ කෙළෙනා දියාසර
අසලිය දිමුතු මුතු සක් පිරි දියාසර
බැසලිය පැන තරනා දැක කරැ පියාසර
මුසලිය මුවදොරින් සකි කර පියාසර

සයිමන් කාසි චිට්ටි මුදලියර් වරයාගේ Ceylon Gazetteer හි සඳහන් වන ලෙසට මූසාලි (Mosely) යනු මන්නාරම් ප්‍රදේශයේ එක් කොට්ඨාශයක් වන අතර එය නැගෙනහිරින් වන්නියෙන්ද (Wanny), බටහිරින් මුහුදෙන් (Gulf of Manaar) සහ දකුණින් මෝදරගම් ගංගාවෙන්ද (Moregam river), උතුරින් අරිප්පු ගංගාවෙන්ද (Arrippo river එනම් අරුවි ආරු නොහොත් මල්වතු ඔය) මායිම් වන ප්‍රදේශයයි. මෙහි බහුලව වෙසෙන්නේ ප්‍රතිවිරුද්ධ මුහුදු වෙරලේ සිට එනම් ඉන්දියානු අර්ධද්විපයේ නැගෙනහිර වෙරලේ සිට පැමිණි යෝනක ජනයා (Moors) වන අතර මුළු මුසාලි ප්‍රදේශයේම ගම් 85 ඒ වන විට තිබී ඇත. මුතු කිමිදීම මෙන්ම ගොවිතැනද ඔවුන්ගේ ජිවනෝපාය මාර්ග වී ඇති අතර ප්‍රදේශයේ බහුලව සිටි අලි ඇල්ලීමද එක් සුවිශේෂ යෝනක කොට්ඨාශයක් විසින් සිදු කර ඇත. ඒ අනුව කෝකිල සංදේශයේ සඳහන් වන මුසලිය යන ස්ථාන නාමයද පසු කලක මෝදරගම් ආරුවත්, අරුවි ආරු හෙවත් මල්වතු ඔයත් අතර ප්‍රදේශය හැඳින්වීම උදෙසා කාසි චිට්ටි මුදලියර්වරයා සිය ග්‍රන්ථය රචනා කරන වර්ෂ 1834 දක්වාම තිබී ඇති අතර, අදද මුසලි ලෙසින් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයක් එම ප්‍රදේශයේ ඇති අතර එහි මුසලි නම් වූ ගමක්ද ඇත (නමුත් එම ගම පිහිටා ඇත්තේ මෝදරගම් ආරු මුවදොරේ සිට සැතපුම් 15 පමණ උතුරින් සිලවතුරෙයි අසලය ).

මෝදරගම් ආරුව මතින් වැටී ඇති මරිච්චුකඩ්ඩි – පුත්තලම B379 මාර්ගයහි පාලම

පසුගිය වසර කිහිපයක් පුරා මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වූ ‘විල්පත්තු‘ වනය වනසා ඉස්ලාම් ජනපදකරණය කිරීම පිළිබඳව වූ සිදුවීම් සැබවින්ම සිදුවන්නේ මෙම මුසලි කලාපයේ වන අතර මෝදරගම් ආරුවත්, කලා ඔයත් අතර පිහිටි විල්පත්තු ජාතික උද්‍යානයේ කිසිදු ජනපදකරණයක් ඇත්ත වශයෙන්ම සිදුවී නොමැත. කෙසේ නමුත් රැකිය යුතු ස්වභාවික වනාන්තරය අක්කර 2000-3000 අතර ප්‍රමාණයක් මෙම අන්තවාදී ඉස්ලාම් ජනපදකරණය මගින් විනාශ වී ඇති අතර, මෙම ප්‍රදේශයම ඒ සඳහා තෝරාගැනීමේ සහ එය ප්‍රධාන මාර්ගය දෙපස පටු තීරුවක් ඔස්සේ සැලකිය යුතු දුරක් ඔස්සේ විහිද යන ලෙසින් සිදුකිරීමේ දිගු කාලීන අන්තවාදී අරමුණු ඇති බවද පෙනේ. ශිඝ්‍රයෙන් වැඩිවන ජන වර්ධනයක් සහිත ඉස්ලාම් ජානපදිකයන්ට අවශ්‍යය අනාගත ඉඩම් ඔවුන්ට පහසුවෙන් දැනට මාර්ගය දෙපස ඉදිවී ඇති නිවාස වල සිට විශේෂයෙන් නැගෙනහිර දෙසට රට තුලට ඇති වනාන්තර විනාශ කරමින් ලබාගත හැකි අතරම, හලාවත සිට මන්නාරම දක්වා හෝ තව දුරටත් යාපනය දක්වාම මුළු බටහිර වෙරලම අනාගත පුංචි අරාබියක් බවට පත් කර ගැනීමද කර ගත හැක.